Friday, June 5, 2015

මා බාල කාලේ - සොදුරු සැරිසර

සුදු පුසා පැටියා කාලේ නිතරම පාහේ චාරිකා හෝ විනෝද ගමන් යාමට හැකියාව ලැබ තිබුනි මක්නිසාදයත් චාරිකා යාමටම උපන් පිරිසක් අප නිවාස ආසන්නයේම සිටීම නිසාය. නෑදෑ කමෙන් මාගේ මාමා වන වීරසිංහ මහතා වෘත්තියෙන් ලංකාවේ ප්‍රකට බැංකුවක කළමණාකරුවකු නිසා බැංකුව සතු නුවරඑලිය ළිදුල සහ බණ්ඩාරවෙල වැනි නිවාඩු නිකේතන වලට වසරකට තෙවරක් පමණ යාමටද හැකිවිය. නමුත් මේ කියන්නට යන්නේ කුඩා කල සිටම අප ගිය රාජාංගනයේ සහ නීලබැම්ම යන සුන්දර ප්‍රදේශ වල සැරිසැරූ චාරිකා මතකයයි.
අප දෙගොල්ලන්ගේම නෑදෑ පිරිසක් රාජාංගනයේ වාසය කලහ. එම නිසා සෑම වසරකම සිංහල අව්රුදු සමයට අප නොවරදවාම එහි ගියෙමු. 

පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිට ඇති මෙම ප්‍රදේශය පුත්තලමේ සිට 40Km පමණ දුරකින් යුක්ත විය. මා මේ සදහන් කරන කාලය වන විට අතිශයෙන්ම දුෂ්කර පෙදෙසක් ව පැවති අතර මම අවසාන වශයෙන් එහි යන සමය වන විට අප නෑදෑයන් වෙසෙන ප්‍රදේශයට විදුලි සැපයුමද ලබාදී නොතිබු අතර කාලය ආසන්න වශයෙන් අනූහත අනූඅට කාල සීමාව විය. සෑම අයෙකුම හේන ගොවිතැනින් තම දිවි සරු කර ගත්තවුන් විය.  






පහතින් ඇති ජායාරූපයේ ඇත්තේ අප නවාතැන් ගත් නිවසේ එකල තත්වයයි.



එම නිවසේ ද සහෝදරියක් සිටි අතර මාමාගේ පුතුන් දෙදෙනාත් සමග සිටි ලමා නඩය සතර දෙනෙකු විය. එම නිවාස ආසන්නයෙන්ම පිහිටා තිබු වැවෙහි නෑමට යාම අප එකල අපගේ ප්‍රධාන විනෝධාංශය විය. වැවට බසින අප ආපසු ගොඩට එන්නේ වැඩිහිටියෙකු අප සොයා පැමිණි විටකදී පමණි. 


                                           

නීල බැම්ම ප්‍රදේශය මායිම් වන්නේ විල්පත්තුව අභය භූමියටයි. එම පෙදෙස ඉතා සාරවත් වගා භූමියක් වන අතර බහුලව කුරක්කන්, බඩඉරිගු පැණිකොමඩු, රතුඅල, මාලුමිරිස් සහ දුම්කොල වගාකර තිබුනි.
වරක් අපේ නෑදෑ සොයුරිය වීර සහ පලු යනුවෙන් හදුන්වන පලතුරු වර්ගය අධිකව ආහාරයට ගෙන මත්ව මග දිගට කබරයා දිගේලි කරමින් පැමිණි ආකාරය සිහිවන විට අදටත් මට සිනහවක් නැගෙන්නේ එම මතකයන් ඉතාමත් සුන්දර හා රසවත් නිසාවෙනි. 

කාලයාගේ ඇවැමෙන් පහේ ශිෂ්‍යත්ව, O/L  සහ A/L යන විභාග මටත් අපේ මාමාගේ පුතුන් දෙදෙනාටත් පිට පිට පැමිණි නිසාවෙන් 2000 වර්ෂයෙන් පසුව මම මේ සොදුරු ගම්පියසට පයතබා නැත.

වසර 15 කාලයක් යනු ඉතාමත් දීර්ඝ කාලසීමාවකි. කාලය මැව් වෙනසක අරුමේ යන කියමන පසක් කරමින් එදා සිටි ලමා නඩයේ වැඩිමහල් සොයුරන් දෙපලම අධ්‍යාපනය සදහා විදෙස් ගතවී සිටී. වයසින් තෙවැන්නා ව සිටි මමද අධ්‍යාපන හා රැකියාව නිසා කාර්යබහුලව සිටිමි. එදා සිටි පොඩි නංගී අද වන විට සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටිමට සූදානමින් පසුවෙයි. මෑතකදී ඔහුන් පැමිණි විටක පැවසුවේ එකල පැවති ඉමහත් සුන්දරත්වය කෙමෙන් කෙමෙන් විනාශ වී ගොස් ඇති බවයි.

මෙම හේනවල ගත කල අවස්ථාවලදී ලද අත්දැකීම් සහ වැදගත් ස්ථාන පිලිබදව මගේ මතකය අවදි වන ආකාරයට ලිවීමට බලාපොරොත්තු වෙමි.


ප/ලි


  • මම ගෙවුනු ඒ සොදුරු අතීතයට බෙහෙවින් ඇලුම් කරන්නෙමි.
    ප්‍රීතියෙන් සතුටින් දුවපැන ගතකල සොදුරු කාලය වෙනුවට දැන් ඇත්තේ රුපියල් ශත මත දිවෙන පීඩාකාරී දිවියකි.
  • වසර 15 යාමට නොහැකි වුවද විවේකී අවස්ථාවදී මම සිතින් හෝ ඒ සොදුරු ස්ථාන වෙත ගමන් කරන්නෙමි.
    කෙදිනක හෝ අපට ඉතිරි වන්නේ ඒ කල කී දෑ වල රසවත් මතකය පමණකි.


ඒ වගත් මෙසේමැ පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........

2 comments:

  1. it's so true. although time passes memories we collect are so valuable nevertheless how old they are~

    ReplyDelete
    Replies
    1. කවදා හරි අපිට ඉතුරු වෙන්නේ මතකයන් විතරයි. යලි යලිත් අවර්ජනය කරල රසවිදින්න පුලුවන් මතක සටහන් ජීවිතයට එකතු කර ගන්නයි උත්සහා කරන්න ඕනේ. කැලෑ අස්සේ හේන් අස්සේ දුවපුවා තාමත් මට මැවිලා පේනවා අද ඊයේ උනා වගේම. අදහස් දැක්වීමට ස්තූතියි. ඔබට ජය..........

      Delete