Thursday, September 17, 2015

හපන්කම් පුරසාරම් සහ ගොන්කම්

අපිට එදිනෙදා ජීවිතයේදී විවධාකාරයේ පුද්ගලයින් සමාජයේදී නිරන්තරයෙන් මුනගැසේ. සමහරුන් තම දිවියෙන් ආදර්ශයන් අනුන්ට ලබාදෙමින් තමා පිලිබදව අන්සිත් තුල නොමැකෙන මතක සටහන් තබමින් සමුගන්නා අතරතුර තවත් සමහරුන් තම ගතිගුණ නිසාම මතක සටහන් නොමැතිවම කාලයේ වැලිතලාවට හසුව මග හැරීයයි. 
රාජකාරී මට්ටමේදී මට මේ දෙගොල්ලන්වම ඇසුරු කරන්න ලැබුණා. මගේ සුන්දර නවාතැන්පල වෙච්ච දෙමටගොඩත් අසුන්දර කරපු කෙනෙක් ගැනයි අද කියන්නේ. 
  විධායක නිලදාරිනියක් වෙලා උන්න මෙයාට මම සිරියලතා කියන්නම්. අපි කරපු පව් පලදීමක් විදිමක් විදිහට මෙයා දෙමටගොඩ ට ගොඩබැස්සේ අපි ඒ වෙනකම් කරගෙන් ආව වැඩ පිලිවෙල අනිත්පැත්ත කරකවමින්. මේ අපේ අලුත් නෝනට කැම්පස් වලින් ආව අලුත් කොල්ලෝ කෙල්ලෝ පේන්න බැරි ලෙඩක් තිබ්බා. ඒ අසනීපේ ප්‍රතිපල විදිහට සිරියලතා මගේ හැම වැඩක්ම එයාගෙන් අවසර අරගෙන කරන්නයි කියලා මට කිව්ව වෙලේ ඉදලා තමා මට වැඩ එපා උනේ. මට තිබ්බ වැඩ ඩබල් ට්‍රිපල් කරපු එක තමා මෙයා හැමදාම කලේ.
මට අවසර දීලා තබ්බා දේශන වලට යන හින්දා හවස හතර වෙනකොට off වෙලා යන්න අපේ සිරියලතා අක්කා මම කලින් යනවට කැමති නෑ දවසක් දෙකක් මට යන්න දුන්නේ නෑ මෙයා කලින්. බලලා බැරිතැන මම මම නොකියා ගිහින් දින දෙකක් නිවාඩු දාලා නොගිහින් හිටියා. 

දවස් දෙකකින් එද්දි මෙන්න සිරියලතා ඉන්නවා නිකන් ඉඩි අමීන් වගේ කන්න බලාගෙන. මගේ ඉවසීමේ සීමාවත් පැනලා යමින් තිබ්බ වෙලාවක මගේ කේන්තිය පිට උනේ මම යටතේ හිටපු ලකිත මල්ලිගෙන් හා නිලූෂා නංගිගෙන්. මෙයාව කාලයක් යද්දී බැංකුවටම එපා වෙලා මට්ටු කරන්න ඕනේ කියන අදහස ඇවිල්ලා තිබ්බා.



කවුරුවත් නොහිතපු වෙලාවක හිරකරගෙන හිටපු පීඩනය පිට වෙලා ගියා. දවසක් උසාවි නියෝගයකට අදාලව චෙක්පත් නික්කාෂණ වාර්ථාවක් මම හදලා දීලා ගියා අපේ සිරියාලතාට කොහොම හරි වාර්ථාව මෙයා යවලා නැතුව මම සතියකින් ඇවිත් බලනකොටත් මේසේ උඩ.
තමුන්ගේ වැරැද්ද පෙනි පෙනී මේ ගෑණි කියාපි මේ පූසා හින්දා තමා මේක යවන්න බැරි උනේ කියලා. මට උන්හිටි තැන අමතක උනා ඒ කතාව අහපු ගමන්. කළමණාකාරතුමා ඉස්සරහම හොද සුද්ධ සිංහලෙන් ජාතිය අමතලා 
වව්චර් මිටිය ගුවනේම පාකරලා යැව්වා. නිකන් දෙවෙනි ලෝක යුද්දේ කලා වගේ වව්චර් හැම තැනම පාවෙන්න ගත්තා. මේ ටිකත් උබම බලාගනින් එහෙනම් කියලා මම දබලා ගහලා පහලට ගිහින් හිටියා දවස් තුනක් යනකම් මම සිරියලතා ගේ අංශයට අදාලව කිසිම වැඩක් කලේ නෑ.

පස්සේ අපේ ජයකොඩි සර් ආයේ එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා පොරොන්දු උන හින්දා මම ආයෙත් Clearing Department එකේ වැඩකටයුතු පටන් ගත්තා. මට මගේ වැඩ ස්වාධීනව කරගෙන යන්න පුලුවන් තත්වයක් ඒ වෙද්දී ඇතිවෙලා තිබ්බා. මම දෙමටගොඩින් සමුගන්නා සමය වෙන කොට සිරියලතා අක්කට අඩුම ගානේ බැංකුවේ ආරක්ෂකයින් වත් ගරු නොකරන තත්වයක් ඇතිවෙලා තිබ්බේ.....

ඉතිරිය මතුවට.........


පසු වදන


  • නවක සේවකයන් හට ආදර්ෂයක් වන ලෙස පැරණි නිලධාරීන් හැසිරිය යුතු උනත් සමහරක් යල් පැණගිය හණමිටි අදහස් ඇත්තන් නිසා සමස්ථ පද්ධතියම බිද වැටීමට ඇති හැකියාට ඉහලය. ගණුදෙණු කරුවන්ට සැලකීමට නම් චක්‍ර ලේඛන අමතක කර සේවා සැපයීමට සුදානම් විය යුතු බව මගේ හැගීමයි.
  • තමාට ගරුත්වයක් ලබා ගැනීමට නම් තමුන් ප්‍රථමයෙන් අනිකාට ගරු කල යුතු වන්නේය.
  • දිනක් හදිසි විමර්ෂණයකදී වැඩ අතපසු කර තිබීම නිසා සිරියලතා තනතුරින් පහත හෙලා ඇති බව පසු කලෙක මට දැනුම් දුන්නේ ජයකොඩි මහතාය.


ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම  සුදු පූසා වෙමි....................


Tuesday, September 1, 2015

පුංචි පහේ අපි

මම එක වසරේ ඉදලා පහේ ශිෂ්‍යත්වය වෙනකම් ඉගෙන ගත්තේ ගම්පහ ගෝතමී කණිෂ්ඨ විදුහලේ. එක වසරේ ඉදලා පහට යනකම් අවුරුදු පහම පන්ති සගයෝ වෙනස් උනේ නෑ. ඔක්කොම කෙල්ලෝ කොල්ලෝ පනහක් හිටියා අපේ පන්තියේ. එක වසරේ පිණිබිදු පන්තියෙන් පටන් ගත්තු අපේ මිතුරු දම් වසරින් වසර වැඩිදියුණු උනා.
                             පිණිබිදු පන්ති බාර ශ්‍රීමතී චන්ද්‍රිකා ගුරුතුමිය ඇතුලු සිසුන්ගෙන් කොටසක්

එකදහස් නවසිය අනූහතේ අවුරුද්දේ පිණීබිදු පන්තියෙන් පටන් ගත්තු අපේ චාරිකාව අවුරුද්ද අවුරුද්ද ගෙවිල ගිහින් දෙදෙහස් එක වෙද්දී ජීවිතයේ පලවෙනි කඩයිම බවට පත් උනේ ශීෂ්‍යත්ව විභාගය යෙදිලා තිබ්බ නිසා. එකේ ඉදලා හතරට යනකම් පන්තිවල උන දේවල් මම වෙනම අකුරු කරන්නම්. දැනට පහේ පන්තියේ මතකය අවුස්සලා ගන්නම්.
පහේ පන්තිය ගැන කියනකොටම විශේෂ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා සිහිකල යුතුම. එක්කෙනෙක් තමා මේ පන්තිය භාරව උන්න ඊ.කුමාරසිංහ ගුරුතුමා. සර්ගේ අතේ තිබ්බ මුද්දෙන් ටොකු කාපු අයනම් දන්නවා සර්ගේ ටොක්කේ රස කොහොමද කියලා. මම සර්ව අන්තිමට දැක්කේ 2003 වසරේදි ගම්පහ දුම්රියපල අසලදි. 

කුමාරසිංහ සර්ට අනගි සහයක් දුන්න අනිත් කෙනා තමයි පුහුණු ගුරුවරියක ලෙස පලමු පත්වීම ලබාගෙන පැමිණි මනෝජා නිල්මිණී කුමාරි ගුරුතුමිය.
                                                          නිල්පාට සාරිය ඇදලා ඉන්නේ මනෝජා ගුරුතුමිය

කොහොම හරි උත්සහ කරලා අපේ පන්තියෙන් තමයි වැඩිම සමත් ලමුන් ගණනක් හිටියේ අනිත් පන්ති අටටම වඩා. අපේ පන්තියෙන් දහඅට දෙනෙක් සමත් වෙලා හිටියා.
                                                        5E පන්තියේ සමත් සියලු දෙනා කුමාරසිංහ මහතා සමග

ඒ අවුරුද්ද අවසානයේ සෑම හමුවීමකම වෙන්වීමක් ඇත කියන කියමන පසක් කරමින් අපි විවිධ විවිධ පාසල් වෙත යන්න වෙන්උනා. කවදාවත් අමතක කරන්නේ නෑ කියලා වෙන් උනත් අපේ කාර්යය බහුලත්වය මත ඔහුන්ව මතකයෙන් ගිලිහිලා ගියා. අදටත් සමහරුනගේ නමත් තවත් සමහරකුගේ රුවත් පමණයි අදටත් මතකයේ තියෙන්නේ..............

                                       *****************
වසර පහලවකට පස්සේ මගේ හිතවත් මිත්‍රයා ගයාන් සංඛ ගේ යෝජනාවක් පරිදි අපි අපේ කට්ටියව ආයේ හොයන්න ගත්තා මාස හයක් විතර උත්සහා කරලා දැනට පන්ති සගයෝ 25 අපේ මුහුණුපොතේ කණ්ඩායමට එකතු කර ගන්න පුලුවන් උනා.
සමහරුන් විදේශ ගතවෙලා තවත් පිරිසක් විශ්ව විද්‍යාල වල අධයාපනය හදාරනවා ඒ අතර සමහරු විවාහ දිවියටත් එලබිලා. 

මගේ අදහසක් තියෙනවා අපේ පන්තියේ කට්ටියවම අයේ එක තැනකට ගෙනනලා සුහද හමුවක් සූදානම් කරන්න. ඉතුරු විසිපස්දෙනා ගැන කිසිම නොරතුරක් මේ වෙනකම් හොයාගන්න බැරි උනා.
මේ බ්ලොක් අවකාසෙත් අපේ කට්ටිය ඉන්න පුලුවන්. එහෙම උනොත්
https://www.facebook.com/groups/1417266881900781/
ඉහත සබැදියෙන් එකතු වෙන්න කියලා ඉල්ලනවා...


පසු සටහන

  • කුමාරසිංහ සර් ගැන කිසිදු තොරතුරක් මේ වන විටදීත් සොයා ගැනීමට මම අපොහොසත්ව සිටිමි. අංක 17 කජුහේන බෙම්මුල්ල යන්න ඔහුගේ මා සතුව පවතින ලිපිනයයි. බෙම්මුල්ලේ වෙසෙන සොහොයුරෙක් හෝ සොයුරියක් වෙතොත් තොරතුරක් සොයා ගැනීමට මා හට උපකාර කරත්වා.
  • මනොජා ගුරුතුමිය නුගේගොඩ පසලක සේවය කරන අතරතුරක අහම්බෙන් මෙන් හදුනාගැනීමට හැකිවිය. ඇය සතුවත් කුමාරසිංහ මහතාගේ තොරතුරක් නැත.



ඒ වගත් මෙසේම පහුරු ගෑ මම  සුදු පූසා වම්හ....................