Friday, December 11, 2015

වර්ෂ අවසාන සාදය සහ සිරියලතාගේ මල්වඩම

ජාතියේ මහා පහන් ටැබේ සේවය කරන්නන්ට විනෝදය ලැබෙන ප්‍රධානතම අවස්ථාව වන්නේ වෙලද වර්ෂයක් අවසානයේ විගණන කටයුතු අහවර වු පසුව කාටත් ලැබෙන්නා වු සංක්‍රාන්ති සමය සැරීමට කළමණාකරුවන් සහ විධායක ශ්‍රේණියේ නිළධාරීන් පවත්වන්නා වු සාදයයි. මේ වන විට මමතුමා එවැනි වර්ෂාවසාන සාද දෙකකට සහභාගී වුවේ දෙදහස් දහතුනේ දෙමටගොඩ දීත් දෙදහස් දහසතරේ අන්තර්ජාතික අංශයේදීත්ය. මෙවර මා සහබාගී උනේ මාගේ අවසන් සාදයටයි. අද මම කියන්නට යන කාරණා සිදුවුයේ දෙදහස් දහතුන වසරේ අග සතියේ දිනක සුන්දර දෙමටගොඩ දී හා ඒ අසල කොලොන්නාව පාරේදීය.
එවකට දෙමටගොඩ ප්‍රධාන කළමණාකාරුගේ ආසනයට අධිපතිව වැඩ සිටියේ අර්තයේ පරිසමාප්ථියෙන්ම නියම මහත්මයෙකු වුද මම අදටත් හිසනමා ආචාර කරන්නා වු ප්‍රියන්ත ජයකොඩි මහතාය. මේ කාලයේ සිටි කණ්ඩායමේ සංයුතිය පහත පරිදි විය. ජයකොඩි මහතා සහ නාලනී මහත්මිය කළමණාකාර ශ්‍රේණියේද සෙව්වන්දි(කැළණියේ කොටජීවිතේ) හා ලසන්තිකා(බරණැස) දෙදෙන විධායක නිළධාරීන් ලෙසින්ද කණිෂ්ඨ විධායක නිළධාරීන් ලෙස හිරන්ත අයියා සහ දිල් අක්කා කටයුතු කලහ. මීට අමතරව පුහුණු නිළධාරී ලෙස මමතුමාත් ලිපිකරු ශ්‍රේණියේ පසිදු හේෂාණි ලසන්ති රසිකා හා චාමරද විය. ගුණේ,අයිවන්,හේමචන්ද්‍ර ආරක්ෂකයින්ය. ලකිත නිලූෂා යසිත් බුද්ධිනී පාසල් පුහුණු පදනමට ගත් උදවිය විය. සවී අයියා කාගේත් දුක්ගන්නා රාල බදු අපේ කා.කා.ස විය. සාදයට සම්පූර්ණයෙන්ම බරපැන දරන්නේ පලමුවෙන් සදහන් කල ශ්‍රේණි තුනෙහි උදවියයි. මීට අමතරව වසරේ ශාඛාවේ ලාබය මත ලැබෙන්නා වූ ප්‍රසාද මුදලක් වෙයි. එයද සම්පූර්ණයෙන්ම බැරවන්නේ විනෝද සමයේ ගිණුමටයි.
දෙමටගොඩ සිටින ආප්ප හා කොත්තු බාස්ලා පැමීණ ටෙම්පරි ජංගම නයිට් කඩයක් අටවන්නේ අප තුන්වන මහලේය. ඒ රාත්‍රී ආහාරය සදහාය. අපේ උන්ගේ අවශ්‍යතාවය මත ඉල්ලන ඕනෑම දෙයක් සකස්කර දෙන්නට ඉන්ද්‍රා හොටෙල්හි සාජා සහ ගුණපාල සුදානම්ය. නටන නැටුම් සදහා ඉන්දන අවශ්‍යවන්නන්ට නැටුම් තෙල් ද කලින්ම ගෙනත් ස්ටෝරුවේ ගබඩා කරලාය. එදා දිනයේ කටයුතු හැකි ඉක්මණින් අවසන් කර සියලු මුදල් සේප්පුවට තල්ලුකර අගුල් දැමු පසු අප සැනසම් සුසුම් හෙලුවේ විනෝද සමය හැකි ඉක්මනින් ඇරඔීමටයි. VAT 69 මුඩියක් කඩමින් සාදය ආරම්බ කිරීමට මුල පිරුවේ ජයකොඩි මහතාය. සාදය ගලායන විට එකවරම ගීත ගායනාවක් ඇසෙන්නට විය බෙග් මාස්ටර්ව නොමරා මරමින් ගීතය ගායනා කලේ ජයසේන මාස්ටර්ය. ගුණේත් අයිවනුත් වැදි නැටුම නැටුවේ බෝර 12 ගිනිඅවි ඉහලට ඔසවමින්ය.
මේ කියනා සමය වන විට සිරියලතා අපිට වද දුන්න හොදම කාලයයි. හිරන්ත අයියාත් මමත් පසනාත් නැටුම්තෙල් පාවිච්චි නොකරන නිසා මදකට ශාඛාවෙන් ඉවතට ආවිට දුටුවේ දෙමල ජාතිකයෙකුගේ අවමංගල්‍යකට ඉදිකර තිබු තොරණ ඉවත් කරමින් සිටි අපේ ගණුදෙණු කරුවන් පිරිසකි. සිරියලතාට රිටන් එකක් දෙන්නට බලාගෙන සිටි හිරන්ත අයියාට අමුතුම අදහසක් පහලවුයේ ක්ෂණිකවය.

වමේ පසන් /මැද හිරන්ත / දකුණේ මමතුමා

ශාඛාව ඇතුලත සිටි පාසල් පුහුණු මල්ලිලා තිදෙනා එලියට ගෙන්වා අදාල තොරණ ගලවා කරතබා ගත් අප පිරිස මහ රෑ එය රැගෙන දෙමටගොඩ කොලොන්නාව පාරේ පිහිටි සිරියලතාගේ නිවස බලා ගමන් කරන්නට වුයේ අමුතුම ඉදිකිරීමක් නිවස ආසන්නයේ නොමිලේ ඉදිකරදීමටය. ගලවාගෙන පැමිණි තොරන් රාජයා විනාඩි දහයකින් පමණ සිරියලතා ගේ නිවස ඉදිරියේ සිටගෙන හරිබරි ගැසුනේ සිරියලතාව පිලිගන්නට තමන් සුදානම් බව පෙන්නමිනි. ඒ මදිවට මේකා මාකර් පෑනකින් "Rest in Peace" ලෙස සහ මල්වඩමේ "From Chairman BOC" ද සටහන් කර ආපසු යන්නට හැරුනේ සාදයේ ඉතිරි කොටසට සහභාගී වන්නටය. මගදී නොමිලේ ලද ප්‍රවාහන පහසුකමක් උපයෝගී කර කිසිවක් නොවුනා සේ අප හොර පූසන් රැලක් මෙන් බැංකුවට රිංගා සාදයේ ඉතිරි කොටසට සහභාගී වීමු.
පසුව දා සිරියලතා පැමිණියේ වෙඩිකෑ ඊරියක් සේ කුපිතවය. රාත්‍රියේ නිවසට යන විට තම නිවස ඉදිරිපිට තම නමට තොරණක් සහ ලංකා බැංකුවෙන් මල්වඩමක් ඇති බව දුටු ඇයට මොනවා සිතුනා දැයි මම අදටත් කල්පනා කරමි. ඇය ජයකොඩි මහතාට පුන පුනා කිව්වේ මේක අපේම අයගේ වැඩක් බවත් වරදකරුවන්ට දඩුවම් දෙන තුරු ඇය කිසිදු ලේඛණයකට තම "B" පෙල අත්සන නොතබන බවයි. ජයකොඩි සර්ටද වාතයක් වී සිටි නිසා සර් හිරන්ත අයියාට ලේඛණ හා වව්චර් සදහා  "B" පෙල අත්සන් යෙදීමට බලය පවරා ඒ ගැටලුවටද විසදුම් ලබා දුනි. පසුව සිරියලතා පරාජය පිලිගත් අතර ඇය අප අතර බලු විය. 

පසු සටහන

  • මෙම සිදුවීම් මාලාව සිදුවී දැනට පුරා වසර දෙකක් ගතවී ඇති නමුත් තොරණත් මල්වඩමත් තිබූ ආකාරයට සිරියලතාට කුමක් සිතුණේදැයි මම අදටත් කල්පනා කරමි. ඒ හොරෙන් ගිය ගමනත් අප තොරණ ඇටැවු ආකාරය දැක්කේ දෙමටගොඩ පොලීසියේ ජංගම මුර රථයයි. ආපසු එදිදී බැංකුව ආසන්නයට අප ගෙනත් දැම්මේ එහි සිටි නිලදරුවන්ය.
  • ජයකොඩි මහතා දැන් විශ්‍රාමික අතර රවී අයියා හැර අපේ කට්ටිය කවුරුත් දැන් දෙමටගොඩ නැත පිරිස විසිරී ගොසින්ය. නමුත් ඒ ඇතිකරගත් මිතුරු බැදීම් අදටත් නොවෙනස්ව පවතී. මහා මෙලකරු හිරන්ත අයියා අද සහකාර කළමණාකරුවෙකි.
  •  අදටත් දෙමටගොඩ පසුකර යන විට මගේ සිහියට නැගෙන්නේ තොරණ දුටුව පසු පැමිණි සිරියලතා ගේ මුහුණත සහ විස්තරය කිව්ව පසු ජයකොඩි මහතා ඇතුලු පිරිස සිරියාලතා නැති තැන බිම පෙරලී සිනාසුනු ආකාරයයි.


මේ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි...........


Saturday, December 5, 2015

බැංකුවේ ජීවිතේ - VIP මිනීකාර් ටැක්සිය

පහතින් දැක්වෙන කතා දැන්ම ලියන්නට මාගේ තුන් හිතකවත් අදහසක් තිබුනේ නැත. අම්බලන්ගොඩ ගේ කොණ්ඩයා කතාවේ ඉහලින්ම තිබු කොමන්ටුවක් කියවීමෙන් මෙ ලිවිය යුතුයැයි මට සිත්විනි. ඒ ඇරත් කිහිප දෙනෙකු බැංකුවේ කතා ලියන ලෙස ඉල්ලා සිටි නිසාවෙන් මෙසේ ලියා පරසිද්ද කරන්නෙමි. මෙහි අද කියන කතාවේ සියලු චරිත නාම පුද්ගල නාම සහ ස්ථාන මනක්කලිපිත වන අතර සිදුවීම් සියල්ලම සත්‍ය වශයෙන් සිදුවු ඒවා වේ.  
ලංකා බැංකුවේ දෙමටගොඩින් සමුගෙන මම පැමිණියේ මුලස්ථානයේ අන්තර්ජාතික එන ‍ප්‍රේෂණ දෙපාර්ථමේන්තව වෙතටය. එහි අප කණ්ඩායම යලිදු එකතු වු අතර අප අතර සිටියේ ලංකාවේ ප්‍රසිද්ධම මල් ශාලාවක හිමිකරුවකුගේ පුත්‍ර රත්නයයි. අප මෙන් නොව හෙන හැඩි දැඩි සිරුරක් තිබූ මොහුට අපි අරවින්ද යැයි කියමු.
තරමක් දඩබ්බර ගති තිබු මොහු සැමදා වැඩට පැමිණියේ නවීන පන්නයේ සුදු පැහැති වෑන් රථයක වන අතර පොඩි පරහකට තිබුනේ මෙය මල්ශාලාවේ ශ්‍රී නාමය සදහන් කර තිබීමයි. අපගේ නිල ට්‍රාන්ස්පෝට් සර්විස් එක උනේ ඒ ශ්‍රී රථයයි. කොටුවේ දුම්රියපලට මරදාන දුම්රියපලට මෙන්ම බොරැල්ල දක්වා අපේ උන්ට නොමිලේ ගමන් පහසුකම් ලබා දුන්නේ මෙම රථයට පින්සිදුවන්නටය. 
අරවින්දගේ දෙපාර්ථමේන්තුවේ උද්ධච්ච නිලධාරියකු සැමදා එම රථයෙන් එන නිසා ඔහුව පාච්චල් මෙන්ම සමච්චලයටද ලක්කරන්නේ ඉමහත් සිත් පීඩා ගෙන දෙන අයුරිනි කොටින්ම කිවහොත් අරවින්දගේ රථයේ යාම පවා ඔහු පිලිකෙව් කරයි. අපි හව්ලේ ගිය චාරිකා රැසකම මානවිකාවන්ද පිරිවරාගෙන ගියේ මේ රථයේමය. මෙයට අධික කෝපයෙන් පසුවු අපේ එකාට නොසිතූ නොවිරූ ආකරයට තම කේන්තිය පිරිමහගන්නට වාසනාව උදාවිය. මාණ්ඩලික නිලධාරීන් හට පුහුණු සැසියකට මහරගම යාමට නියමිතව තිබූ අතර එය අනිවාර්ය කර තිබුනු අතර පිරිසකට බැංකුවේ බස් රථයෙන් ප්‍රවාහන පහසුකම් සපයා තිබු නමුත් වාහන ඇති පිරිස වෙන වෙනම යාමට රැදී සිටියහ. දෙපාර්ථමේන්තුවේ සහකාර මහා කළමණාකරු(AGM) ගේ නිල රථය ලෙඩ දුන් බැවින් අර උඩගු නිලධාරියාටත් යාමට නොහැකිව සිටියදී එතනට පැමිනි අරවින්ද දුටු සහකාර මහා කළමණාකාරතුමා ඇසුවේ පුතා අපිව මහරගමට දාලා එන්න පුලුවන්ද යනුවෙනි. අපේ එකා කිව්වේ මම අද ආවේ කාර් එකේ කැමතිනම් යමු අන්න කාර් එක කියා අත දිගු කර රථගාලේ නවතා තිබු කලු පැහැ අලුත්ම කාර් එකකටය.
ඉහත ජායාරූපයේ ඇති වර්ගයේ අලංකාර අලුත්ම මිනීකාර් එකක් බැබලි බැබලි එහිවිය. කවදා හරි මේකේ යන්න වෙන එකේ පුරුදුවෙන්න යමු යැයි කියා සහකාර මහා කළමණාකරු රථයට ගොඩ වුවත් උද්ධච්ච පිස්සු පුසා මුහුණ පුලුටු කරගෙන අහකබලාගත් අතම බලාසිටියේ සහකාර මහා කළමණාකරුගේ ඉවසීමේ රතුකටුව පන්නමිනි. මලේ උපරිමයට පැමිණ උද්ධච්ච නිලධාරියාට කෑගැසුවේ පිස්සු කෙලින්නේ නැතුව නැගපන් කියාය. අකමැත්තෙන් හර්ස් එකට නැග යාමට අවසානයේ ඔහුට සිදුවිය. නමුත් ඒ වෙලාවේ ඔහුගේ විරූපී ලැජ්ජාබර මුහුණ මට අදටත් මෙය ලියනවිටද මැවී පෙනෙයි.

පසු සටහන

  • අවසානයේදී ලොකු මහත්තයා VIP අවමංගල්‍ය සේවයේ නැගී මහරගම පුහුණු මධයස්ථානය වෙත ගියේ තවකෙක්ට කල අවමානයට දිස්ඪධර්මවේදනීය කර්මය පලදුන්නාක් මෙනි.
  • අදටත් එතුමාගෙන් සර් රයිඩ් එකක් යමු දැයි ඇසුවෝත් ලැබෙන්නේ හොදම සිංහලේ වචන පෙලකි.

මේ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වම්හ.....





Tuesday, December 1, 2015

X-Ban 2008 දෙවන කොටස

පලමු කොටස කෙසේ හෝ සජිත් සහ මමතුමා එදින පාසලට කල් ඇතිව පැමිණියේ උණබට වලට සහ මැටි කැපීමට යන කණ්ඩායම් වලට අදාල ගමන් අවසරපත් සහ අදාල වියදම් සදහා අවශ්‍ය වන මුදල් හැකි ඉක්මනින් නිකුත් කර කණ්ඩායම පිටත් කර යැවීම මගින් ඉදිකිරීමේ කටයුතු වේගවත් කර ගැනීමටය.අප දෙදෙනා ඈත සිටියදීම දුටුවේ විදුහල්පති ලබුතලේ සුදස්සන ස්වාමීන් වහන්සේ සහ පාසලේ විනය මණ්ඩල සාමාජිකයන් අප නිර්මාණය ඉදිකල ඉසව්වේ රැස්ව සිටියහ.
පෙරදින රාත්‍රී ඉදිකිරීම් වල නිරතව සිටි පිරිස බිම බලාගෙන සිටි අතර අපේ විදුහල්පති හාමුදුරුවෝ පිරිත් දෙසුමක් අරබා තිබුණු අතර එය මම කිසිදා අසා නැති පාලි සංස්කෘතික හා මධුර මනෝහර සුද්ධ සිංහල භාෂාවන් ගෙන් සමන්විත විය..
මම හිමින් සීරුවේ විනය පාලක ප්‍රේමරත්න මහතාට (කක්කුට්ටා) ලංවූයේ‍ මේ හදිසි දහම් දෙසුමට හේතු කාරනා නිවරදිව දැන ගැනීමටයි. සජිත්ව සහ මමතුමාව පසකට කැදවාගෙන ගිය ප්‍රේමරත්න සර් කිව්වේ කොල්ලෝ මුන් ඊයේ හවස උණගස් කපන්න පැන්න වත්තේ තිබ්බ තැඹිලි ගස් පාලුකරලා මදිවට තැඹිලි කෝම්බ වලින් අයිතිකාරයට ගහලා ඇවිල්ලා කියලාය.
                                         ප්‍රේමරත්න මහතා (කක්කුට්ටා)
පස්සේ පහු හොයනකොට ආරන්චි උනේ එදා ගිය අපේ මනීෂ ලක්ෂාන්/යසිරු/අසේල/වරුන ලක්මාල් කයන සෙට් එකෙන් ඉස්කෝලේ මොකක්ද කියලා අහපුවම මුන් බණ්ඩාරණායකේ කියලා හින්දා මිසක් නැත්තම් අපේ උන්ව අල්ලනවා බොරු බවයි. කෙසේ හෝ අපේ හාමුදුරුවන්ට දන්න සියලු ආකාරයන්ගෙන් කරුණු පහදවා බිම පෙරලී වැද වැටිලා යලි ඉතිරි කොටස ඉදිකරන්නට අවසර ගැනීමට අපට හැකිවිය. ප්‍රදර්ශණය ඇරබීමට සති දෙකක් පමණ වන විට මන්දගාමීව සිදුවූ ඉදිකිරීම් වේගවත් වූයේ උත්තර පත්‍ර පරීක්ෂාව අතහැර දමා පන්තිභාර කුසුම් මිස් පාසලට සම්ප්‍රාප්ත වු නිසාවෙනි.

                                      ගහ උඩ පැල ඉදිකරවාගෙන යන අතර තුර


                                                                      අර්ධ වශයෙන් සකස් කල නිර්මානය

මේ අතර විවිධ ආයතන වලින් ලද අනුග්‍රාහක මුදල් මෙන්ම මගේ නම විකුණා ගුරු මණ්ඩලයෙන් ගත් මුදල් සමග ගොට්ටා අතුරුදහන් වුයේ යලි පාසලෙන් ඉවත් වන තුරාවට දක්නට ඉඩක් නොතබමිනි. ඒ අපතයා ගැන අවසාන කොටසින් මා පවසන අතර ඒකා සෑහෙන වියදමක් දරා භාගෙට අටවා තිබු වී බිස්ස මහ හඩක් නගමින් බිමට පතබෑවුනේ ප්‍රදර්ශණය ඇරබීමට පෙර දින සවස් කාලයේදීය. සියලු කටයුතු අවසන් කර ප්‍රදර්ශණ කාර්ය මණ්ඩලයද පත්කර අප අවසන් නිමැවුම ඇතින් නිරීක්ෂනය කරමින් සිටිනා විට වී බිස්ස බිම සිප ගත්තේ රුපියල් හාරදහසක පමණ මුදලක් අපතේ හරිමිනි. වී බිස්සක් නැති ගැමි පෙදෙසක් කෙලෙස ප්‍රදර්ශණය කරම්ද යන්න ඒ වනවිට රැදී සිටි කුමාර සුපුන් මහේෂ් හා මට තිබු විශාලතම ගැටලුවයි. පෙර සසරක කල පිනක් පලදුන්නාක් මෙන් අපේ පිහිටට ආවේ ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ හමුදා සොයුරන් පිරියක් සහ ප්‍රදර්ශණ රාජකාරී පැමිනි තවත් හමුදා සොයුරන් පිරිසකි. මේජර් නිලන්ත සොයුරා ඇතුලු 30 පමණ වු කණ්ඩායම පෙර පැවති මට්ටමටම සකසා අවසන් වන විට අලුයම හතරේ කනිසමද පසුවී හමාරය.
අවසන් කොටස හා ප්‍රදර්ශණය අතරතුර සිදු වු දෑ මීලග කොටසින්..... 



මේ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වම්හ.....