Sunday, January 10, 2016

බැංකුවේ ජීවිතේ පලමුවන කොටස - වැරදුණු කුරුමානම සහ කාමසූත්‍රය

කිසිදා නොකියන්නට සිතාගෙන සිටි කතා බොහෝම වන නමුත් අවසානවරට මම කිව්ව සිරියලතාගේ මල්වඩම කතාවෙන් පසු මාහට හොදින් පුරුදු අංකයකින් ලද දුරබණු ඇමතුමකින් ලැබුණේ තර්ජනයකි."අඩෝ තෝ ආයේ අපේ පැත්තේ එනවා එහෙම නෙවේ" යන්න ඒ සොදුරු තර්ජනයයි. තර්ජනයේ හිමිකරු කලින් කතාවේ ගරු රගපෑම කල මහමොළයයි. දීර්ඝ කාලයකින් පසුව අතීතය සිහිකරමින් කථාව ඇදීයන විටම ඔහු සිහිකෙරුවේ තවත් චරිතයක් කල අමතක නොවන රඟපෑමකි. හිරන්ත අයියාගේ ඉල්ලීමට ගරු කරමින් මම කිසිදා නොලියන්නට සිටි මේ ප්‍රේම කථාව කුශාන් වෙනුවෙන් අද මෙසේ සටහන් කරමී. අද කතාවෙහි මතු දැක්වෙන රොමියෝ ජුලියට් ගේ නම් දෙක පමණක් සත්‍ය නාමයන් නොවන බවත්, ආරූඩ කරගත් පුද්ලගනාමයන් උපයෝගී කරගෙන මෙය ඉදිරිපත් කරන බවද කියවන්නෝ සලකනු මැනවි.
මම දෙමටගොඩ පය ගැසු සමය වෙන විටත් අපේ කුශාන් අයියා තනිකඩ කොල්ලෙකි. බැංකු සේවකයන්ට උරුම වන ලබ්බයි තට්ටෙයි අඩුවයසින්ම ලැබෙමින් සිටියද එකල වයස අවුරුදු විසිඅටක් පමණ අයෙකි. ශ්‍රී ලංකා යක්ෂවිද්‍යාල පද්ධතියේ හන්තාන උප දෙපාර්ථමේන්තුවේ භෙෘතික විද්‍යා උපාධිදාරියෙකු වු මේ උත්තමයා නිකන් සිටින වේලාවට ඇසුරු කරන්නන්ට පූසෙකු මෙන් හීලෑ අයෙකි.නමුත් දිනයේ මුදල් බැලන්ස් නොවී මල පැන්න විට ඊරියකා ඉහමුදුනට වඩින බැවින් ඒ වේලාවට කවුරුත් ඒ පැත්තට නොයන්නට වල බලාගන්නේ තම ආරක්ෂාව තකාය. වැරදිලාවත් ගියහොත් අතට අහුවන දෙයක් පියබා ඔබවෙත පැමිණීමේ සම්භාවිතාව වැඩිය.
කුශානයාට අංගනවන් නයාට අඳුකොල මෙන් විය. සරසවියේදී අනුබව කරන ලද රසවත් බූට් එකක් නිසා "ගෑණු ජාතිය ජරා ජාතිය" යන තියරියෙන්ම සිටියෙකි අපේ කුශාන් ලොකු අයියා. මේ අතර අපිට අලුතින් පැමිණි සාමාජිකාව වුවේ රීජන්ට් වීදීයේ ශාඛාවෙන් පැමිනි අපේ තේජානි අක්කාය.ඇය ඉතා ඉක්මණින් අප හා මිතුරු වුවේ දිගුකලක් දැන සිටි අයෙකු විලසින්ය. මැදි වයස පසුකල ආච්චිලා සීයලා රැසක් මැද තරුණ වයසේ සිටියේ අප කිහිප දෙනෙකු පමණක් වීමද එසේ වීමට හේතුවක් වන්නට ඇත. සතියකට පැමිණියත් ඇය අවසානේ අප ශාඛාවටම සින්න වීමට බල පෑවේ ජයකොඩි මහතාගේ ඇඟ පුරා දුවා ඇති කට්ට මොලයයි. ඇගේ ආගමනය මේ තරම් විශාල වෙනසකට මුලපුරනු ඇතැයි අපි ඒ මොහොතේදී කිසිදු විටෙක නොසිතුවෙමු....
කොහොම කෙල්ලන්ට ගෙම්බර් දැම්මාත් අපේ ලොකු අයියාට අනංගයාගේ මල්සරින් බේරීමට නොහැකිවිය ඉදලා ඉදලා මල්සරා විද්දේ කුශාන් අයියාගේ පපුවටමය. එදා සිට වෙනස් කම් රැසකි. කොටින්ම කිවහොත් අපිත් එක්ක වෙනදා කෑමට යන කුශාන් දැන් ක්‍රෂ් එක කන්න යන වෙලාව බලාගෙනම කෑමට යන්නේ අනේ මල්ලි මේක කරලා දාපන් යැයි කරකරහිටපු දේ අපේ ඇගේ පටවලාය.නමුත් මේකා කෙලින්ම ආදරය ප්‍රකාශ කිරීමට බියවිය. ජයකොඩි සර් නම් කුශාන්  අයියාට දඩයම කරගන්නට හැකි පමණ සහයෝගය දැක්වූයේ රාජකාරී සදහා දෙදෙනාව එකට යොදවමින්ය. තේජානි අක්කාට ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නට යැයි ඉවෙන් මෙන් දැනී කුශාන් අයියාව මග හැර මගේ අංශයට පැමිණි අතර මුදල් අංශයේ සිටි මේකා මාවත් හර්ෂවත් බලෙන් මුදල් අංශයට තල්ලුකර දමා ණය අංශයට පැනගත්තේ තේජාණි අක්කාව අපි ඩැහැගෙන යාවි යන බියෙන් විය යුතුමය. ආරම්භ කල දෙයක අවසානයක් තිබිය යුතු නිසා අපි කුශාන් අයියාට බලකලේ අක්කාගෙන් කැමැත්ත විමසා බලන ලෙසයි.
අවසානයේ එයට අවශ්‍ය පසුබිම සකස් කිරීම භාරගත්තේ දිල් අක්කාය. ඇගේ නියෝග මත ඉහත ජායාරූපයේ පරිදි එදින තේජාණි අක්කා කෑමට එන වෙලාවට වෙන කිසිවෙකුටත් කෑමට උඩුමහලට යාම තහනම් විය. කිසිවෙකු හෝ කඩකලහොත් දඩුවම් ලැබෙන වරදකි. මෙහෙයුමට උර දුන් මමත් හර්ෂත් ජයකොඩි මහතාත් කෑම කාබරයට ආසන්න ගබඩාවේ කල් වේලා ඇතුව සැගවී සිටියෙමු. දිල් අක්කාත් සෙව්වන්දි අක්කාත් නොපෙනෙන තැන් වල ස්ථාන ගතවී සිටියහ. හිරන්ත අයියා පුරුෂ දහිරිය වඩවා ගෙන අක්කා සමග කතාව අරබා කල කී දෑ අසල සැගවී සිටි අපිට හොදින්ම ඇසුනු අතර සර් කිව්වේ මේකට ලව් කරන්න උගන්නන්න තමා විසින් වෙනම පංතියක් කල යුතු බවයි කෙසේ හෝ වේවා කුශාන් අයියාගේ පදුරවටේ තැලීම ඉවසා සිටීමට නොහැකි වු මමත් හර්ෂත් ගබඩාවෙන් එලියට එනවාත් සමගම අපටපෙර "මංගලම් ජය මංගලම් වේවා සිරිසුභ මංගලම්" යැයි කියමින් එතනට කඩාපැන්නේ අපේ වියපත් බඔරා වන ජයකොඩි කළමණාකාරතුමාය. කුශා හා තේජාණිට කිසිවක් සිතාගැනීමට ඉඩක් නොතබා අපේ අනික් කට්ටියද සැගවී සිටි තැන්වලින් මතුවන්න විය.
කාලය කෙමෙන් ගෙවී යන විට දෙදෙනාගේ ආදර කතාවද කෙමෙන් මොරන්නට විය. කුශාන් අයියා හා තේජානි අක්කා එකට කවුන්ටරයේ රාජකාරී කරමින් සිටිනා විටදී අපි ඇගට පතට නොදැනී කියන්නාවූ කටකැඩිච්ච කුප්ප කතා වලට අක්කා හෝ අයියා කවදාවත් අපි හා තරහාවුනේ නැත.මෙහිදී දෙදෙනාට කපුකම කිරීමට මඟුල් කපුවා වුයේ මමත් හර්ෂත්ය.
දෙදෙනාගේම උපන්දින යෙදී තිබුනේ එකම සතියක දින දෙකකදීය දෙදෙනාට දීමට තෑග්ගක් අපි පොදුවේ යොජනා කල විට ජයකොඩි සර් කිව්වේ නියම තෑග්ගක් තමා ගෙන එන බවයි.කුශාන් හා තේජානි තවම අතදරුවන් බැවින් තමා ගෙන එන තෑග්ග උන්ට මතුවට උවමනා විය හැකිබව සර් කිව්ව නමුදු කුමක්දැයි හෙලිකලේ නැත. පසුදා ජයකොඩි සර් ගෙන ආ තෑග්ග මා අතට පත් කලේ අනිත් උන්ට පෙන්වා ඉක්මණින්ම පාර්සල් කරන ලෙස කියමින්ය. තෑග්ග දුටු  උපන්දින කාරයන් හැර අනෙක් සියල්ලන්ම ඇතිපදම් සිනාසුනහ. කොටින්ම කිවුවොත් දෙදෙනාව දකින විට තෑග්ග අරඹයා විශේෂ හෑන්ඩ් සිග්නල් එකක් පවා දෙමටගොඩින් බිහිවිය. ත්‍යාගය වුයේ එකම පොතක පිටපත් දෙකකි. 
ඒ මහා ග්‍රන්ථ රාජයා නම් තරුණ තරුණියන් අත් පොතක් සේ දිවා රාත්‍රී පරිශීලනය කල යුතුයැයි පැවසෙන්නාවුද පුරාණ ඉන්දියාවේ විසු වාත්ස්‍යායන මහා පඬිතුමාණන් විසින් අදින් අවුරුදු එකදහස් හත්සීයකටත් පෙර කාලයකදී හුදී තරුණ තරුණියන්ට අනුකම්පාවෙන් චිත්‍ර සටහන් සහිතව ග්‍රන්ථාරූඪ කරන ලද ''කාම සූත්‍ර'' නම් වූ අනර්ඝ පුස්තකයේ ඔරිජිනල් ඉන්දියන් පිටපතයි. ජයකොඩි මහතා දෙදෙනා පිලිබද ඇතිවු ශෝකය හේතුවෙන් තෑග්ගට ගෙනැවිත් දුන්නේ ඒ මැහැඟි පුස්තකයයි. කාලය කෙමෙන් ගතවන විට දෙදෙනාගේ ආදරය ගලාගිය අතර 
"සියලු කාරනා අවසානයේදී කුශාන් අයියා හා තේජානි අක්කා විවාහ දිවියට ඇතුලත්ව මේ වන විට සාර්ථක විවාහ දිවියක් ගත කරයි " 
යනුවෙන් පවසා මේ කතාව අවසන් කරන්නට තිබුණේනම් කොච්චර හොදදැයි මෙය ලියන මොහොතේත් මට සිතුනද සත්‍ය වශයෙන් එසේ අවසන් කර ගැනීමට කුශාන් අයියා සමත් වුයේ නැති බව කණගාටුවෙන් වුවද පවසමි. එය කුශානයාගේම වැරැද්දෙන් සිදුවු දෙයක්මයි


මෙසේ කාලය කෙමෙන් ගතවන අතරතුර කුශාන් අයියාට සැකය නැමැති භයානක විශබීජය සිතට ඇතුල්වීමට පටන්ගෙන තිබිනි. නිතරම ඔහු අක්කා දෙස බැලුවේ සැකයෙනි. ඇයගේ ජංගම දුරබණුව සෑම දිනකම පරීක්ෂා කරන ලොකු අයියා නාදුනන අංකයක් තිබුනොත් පරලවෙයි. තරුණ ගණුදෙණුකරුවකු කරුමෙකට ඇයහා සිනාසුනහොත් මේකා දුම්මලවරම ගත් කපුවා මෙන් කෝප වෙයි. අක්කාට තිබූ ඇගේ නිදහස කෙමෙන් කෙමෙන් නැතිවනබව පැහැදිලිවම පෙනෙන්නට විය.මේ නිසාවෙන් කුශාන්ව වෙනත් අංශයක නිලධාරියා කර මම හෝ හර්ෂ මාරුවෙන් මාරුවට මුදල් අංශයට යවන්නට ජයකොඩි මහතා කටයුතු කලේය. 

කුශානයා සේවයට නොපැමිණි එක්තරා අදුරු වැසි දිනක දසකන් මන්ත්‍රණයක් අප උඩුමහලේ ඇතිවිය.මමත් ජයකොඩි මහතාත් දිල් අක්කා සහ තේජා අක්කාගේ පියානන් එහි මුසල සාමාජිකයන් විය. තේජානි අක්කා එදින ප්‍රකාශ කලේ අයියා පනවා ඇති නීතිරීති මත තමාට තවත් මෙම සබදතාවය පවත්වාගෙන යානොහැකි බවයි.තමාට සිරකාරියක ලෙස ජීවත්වීමට නොහැකි බවද ඇය පැවසුවාය. ඇය ජයකොඩි මහතාගෙන් ඉල්ලා සිටියේ තම ගම්පලාත ආසන්නයට ස්ථාන මාරුවක් ලබාගැනීමට උපකාර කරන ලෙසටයි. ජයකොඩි මහතා එයට එකගතාවය පලකල නිසා ඇය පසුවදාම සිය ලියකියවිලි ඉදිරිපත් කලාය.කුශාන් අයියාත් තේජා අක්කාත් සතුටින් දිවි ගෙවනු දැකීම අප කාර්යය මණ්ඩලයේ අවංක පැතුම උවත් එය දැන් බිදවැටී ඇති බැවින් අකමැත්තෙන් වුවද ජයකොඩි මහතා "A" පෙල අත්සන් තබා දුන් ඇයගේ ඉල්ලුම්පතට අනුප්‍රාප්තිකයෙකු රහිතවම නිදහස් කරන බව සදහන් කර"B"පෙල අත්සන් යෙදීමට මටත් හර්ෂටත් සිදුවිය.එය අප රාජකාරී ජීවිතය තුල මුහුණ දුන් අපහසුතම රාජකාරියක්ම විය.



මාසයකින් පමන ඇයට ස්ථාන මාරුවක් ලැබුන ඇතර එය ඇයට දැන්වීමට පෙර කුශාන්ව සතියක කාලයකට බොරැල්ල ශාඛාවට යැවීමට ජයකොඩි මහතා කටයුතු කලේ සැකයක් ඇති නොවන පරිදිය. පසුව පොරොන්දු වු පරිදිම අනුප්‍රාප්තිකයෙකු රහිතවම ඇයව නිදහස්කර හැරියේය. ඇය පිටත්වී යාමට පෙර මටත් හර්ෂට හා දිල් අක්කාට කල උදව් වෙනුවෙන් ස්තූති කලාය. ඇයට මාරුවීම ලද ස්ථානය කුශාන්ට නොකියන්නට අප සැවම එකගතාවයකට පැමිණියෙමු. කෙටිකලක් තුල අපහට නොමැකෙන මතක සටහන් රැසක් ඉතිරිකර එක්තරා ගුරුදාවක අප ශාඛාවේ පඩිපෙල අවසාන වරට බැස ඇය නික්ම ගියාය.

ඒ සියලු විනාශයන්ට මුල් වුයේ සැකයයි. ආදරය කරනා විට අනෙකා කෙරෙහි විශ්වාසය දැඩිනම් වෙනත් සොයා බැලීම් කිසිවක් අනවශ්‍ය බව මගේ අදහසයි. දෙදෙනාම එකිනෙකාට අවංකව කටයුතු කරයි නම් කිසිදු ගැටලුවක් ඇති නොවන්නේය. විශ්වාසය පරම ඤාතියා යැයි පැරැන්නන් කීවේද කට කහනවාට නොවේය.
                                                         
*********

පසු සටහන



  • ඒ සිදුවීමෙන් වසර එකහමාරකට පසුව තේජානි අක්කාව මෑතකදී පිට්ටු බම්බුවේදී මාහට යලිත් මුණගැසුනි. පොඩි එකෙකුවද වඩාගෙන රාජකාරී බහුල වේලාවක මා ඉදිරිපිට අසුන්ගත් ජොඩුව කවුදැයි බලන්නට හිසඔසවනවාත් සමගම මම දුටුවේ සුපුරුදු සිනාසුන මුහුනෙන් යුතුව සිටි තේජා අක්කාය. ඇය දුටු විට මටත්, මාව දුටු විට ඇයටත් සිනා පහල වුයේ ජයකොඩි මහතා දුන් ත්‍යාගය අරඹයා අප විතරක් තේරුම දන්නා හෑන්ඩ් සිග්නල් එක මතක්වෙලාය. ඇය පැවසුවේ අප ලබාදුන් "කාමසූත්‍රය" තවමත් ආරක්ෂිතව ඇය සතු බවයි. පැරණි කථාබහ මතක් වන විට පිට්ටු බම්බුවේ ඉහල මහලක සිටි හර්ෂට දුරබණු ඇමතුමක්දී ඔහුවද එහි කැදවා ගතිමි.... 

  • කුශාන් අයියා බොරැල්ලෙන් එනවිට කූඩුව හිස්වෙලාය. ඔහුට කුමක් උනාදැයි මම නොදනිමි. ඒ ආසන්න කාලයේදීම මමත් හර්ෂත් දෙමටගොඩින් සමුගෙන පැමිණියෙමු. අවසාන සමයේ කුශාන් ලොකු ලොකු ගණන් කෑශ් ෂෝට් කල බව මා සමග පසුකලක කිව්වේ සවී අයියාය. අද කුශාන්ද එහි නැත.

  • අදත් ඉදහිට දෙමටගොඩ යැවෙන සෑම උදෑසනකම සිනාමුසු මුහුනෙන් good morning කියා අපිව පිලිගත් තේජානි අක්කාද, ඕනෑම අබ්ලික් ගැටලුවකට නොවරදින අබ්ලික් උත්තර තිබු ඇවිදින විශ්ව කෝෂයක් බදුවු ජයකොඩි මහතාව කළමණාකරුගේ අසුනේද සිටින්නාක් මෙන්ද ශාඛාව තුලදී අදටත් මට මැවී පෙනේ. මක්නිසාදයත් ඔබ සැමගෙන දුන් මතකයන් නොමැකෙන ලෙස සැමදා මා සතු නිසාය...




ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.........

16 comments:

  1. //ඒ සියලු විනාශයන්ට මුල් වුයේ සැකයයි. ආදරය කරනා විට අනෙකා කෙරෙහි විශ්වාසය දැඩිනම් වෙනත් සොයා බැලීම් අනවශ්‍ය බව මගේ අදහසයි. //

    උපදේශයට උඹට පිං................ මේක ලොකුවට බ්ලොගයේ ඒල්ලන්න වටිනා ප්‍රකාශයක්....

    ReplyDelete
    Replies
    1. සැකය තමා ඔක්කෝටම මුල කුරුටු..
      ලොකුවට බ්ලොගයේ ඒල්ලන්න තරම් වටිනවාද ඕක??

      Delete
  2. aadara sabadhatha saha pawul kadaa bindha bindha dhamana pradhaanama aviya 'sakayai'

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ස්තූතියි
      පොඩි සැකයකට පුලුවන් මිනීමැරුමක් දක්වාම දුරට යන්න..
      දෙන්නාට දෙන්නා අවංකයි නම් ප්‍ර‍්ණයක් වෙන්නේ නෑනේ

      Delete
  3. ඒ කොල්ලා නන්නත්තාර උනාද ඊට පස්සේ

    ReplyDelete
    Replies
    1. කුෂාන් අදටත් තනිකඩයා. දැන් ඉන්නේ කඩවත පැත්තේ. මිනිහා විහින්මයි අක්කව නැතිකර ගත්තේ. ඔක්කොටම මුල සැකේ තමා

      Delete
  4. කුශාන්ට නම් කෙසේ වෙත්ත තේජානිට නම් අර කාමසූත්‍ර‍ තෑග්ග ප්‍රයොජනවත් වෙන්න ඇති කියලා හිතෙනවා.
    //ඇය අවසානේ අප ශාඛාවටම සින්න වීමට බල පෑවේ ජයකොඩි මහතාගේ ඇඟ පුරා දුවා ඇති කට්ට මොලයයි///
    මෙන්න මෙහෙම කෙනෙක්ව අපිට ආවානම් හොදයි මොකද මෙහේ ඉන්නේ කොන්ද පන නැති කැදයෙක් --සස්සා--

    ReplyDelete
    Replies
    1. මමත් හිතනවා ගොඩක් ප්‍රයොජනවත් වෙන්න ඇති කියලා මොකද මේක ඉංදියන් කාමසූත්‍ර‍ පිටපත හින්දා. ගොඩක් තැන්වල ඉන්නේ කැදයෝ තමා ඇනෝ

      Delete
  5. විශ්වාසා පරමා ඥාතී කියලා මාටින් ලූතර් කිං කියල තියෙනවනේ

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද. මමනම් අහලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ දේශණා නලා කියලයි

      Delete
  6. හයියෝ කඩලා දුන්න ගෙඩිය කා ගන්ඩ බැරි වෙලානේ .

    ReplyDelete
    Replies
    1. අපි ගෙඩිය කඩලා උයලා අතට දීලා මදිවට අනාගතයට උදව්වක් වෙන්න කාමසූත්‍ර‍ත් දීලත් මේකට අතට ගත්තු දේ කටේ දාගන්න බැරි උනා..
      කරුමේ කියන්නේ ඔකට තමයි

      Delete
  7. උඹලට තිබ්බ දෙන්න වෙන්කරන්න කලින් කුශාන්ට අවවාද කරන්න හෝ කුශාන්ට හරි දේ කියල දෙන්න.....

    ReplyDelete
    Replies
    1. ජයකොඩි සර් වගේම අපිත් ඔකට කට කැඩෙනකම් කිව්වට වැඩක් උනේ නෑ.කරපු අවවාද ගඟට කපපු ඉනි වගේ. අවසානයේදී තමා අක්කා තීරණයක් ගන්න ඇත්තේ.
      අක්කා දකුණු පලාතේ කෙනෙක්

      Delete
  8. අපිට ලැබෙන දේ කොහොම කළත් ලැබෙනවා. නොලැබෙන දේ මොනව කළත් ලැබෙන්නෙම නෑ... අන්තිමේ හිතෙන්නෙ එහෙමයි. කොහොමත් කුෂාන්ට පෞරුෂයෙ දුර්වලතාවයක් තිබිල තියෙනව වගේ පේනවා.

    ReplyDelete
    Replies
    1. මුලදී හොදට දෙන්නා සාමදානෙන් උන්නා.එකපාරටම තමා මිනිහට සැකේ ඔලුවට ආවේ.අපි ගොඩක් කැමැත්තෙන් හිටියා දෙන්නා එකතු වෙනවා දකින්න නමුත් කුශාන් සීමාව ඉක්මවලා ගියා.
      අදටත් අපේ පරණ කට්ටිය මතක් කරනවා ඒ දෙන්නා හිටපු හැටි.
      කරුමේ වෙන්න ඇති.

      Delete