Wednesday, December 21, 2016

බැංකුවේ ජීවිතේ තුන්වන කොටස - පුද්ගලික ණය හා හණමිටි අදහස්

වස්සානයේ හිරිකඩත් මීදුමත් අතරින් අවධි වූ ලෝකයෙන් තවමත් හිරුඑලිය වහන් වෙලාය. නගරය පුරා එහි අණසක පැතිරෙන විටදී තවත් වරක් නිදන්නට සිතුනත් හිරු එලිය පොලවට සැපත්වන නිමේෂයේදී රාජකාරි ස්ථානයත් වේලාවත් සිහිවන විටදී ක්ෂණිකවම නිදිමත මා වෙතින් පලා යයි.
රාජකාරී ස්ථානයේ පඩිපෙල නැග පුටුවේ වාඩි වූ මොහොතේ සිට විවිධාකාර ප්‍ර‍ශ්ණ හා ගැටෙමින් ලිපිගොණු අතර කාලය ගෙවෙන විට පුද්ගලික ජීවිතයේ සියල්ල අමතකය. රාජකාරි නිමවා ආපසු යන විට පමණක් මට මා ගැන මතකය අවධිවන තරමට වැඩ මා වසාගෙන ඇත. අද විස්තර කරන්නට යෙදෙන මේ සිදුවීම කලකට පෙර මම ණය අංශයේ පුහුණුවන නිළදාරියා ලෙස කොළඹට හූවක දුරින් පිහිටි ස්ථානයක සේවය කරමින් සිටියදී සිදුවූවකි. දිනක වැඩ ආරම්බකර සුලු මොහොතකින් මමත් මාණ්ඩලික සහකාර තේමියත් ණය ලිපිගොණු අතර අතරමං වී සිටි අතරතුර තරුණියන් දෙදෙනෙකු අප සිටි ස්ථානයට ඇතුල්විය.
"සර් මට පර්සනල් ලෝන් එකක් ගන්න ඕනේ මට නෙවෙයි නංගිට එයාගෙ වෙඩින් එකට"

නංගී මොකද කරන්නේ? කීයක් විතරද මිස් ගන්න බලාපොරොත්තු වෙන්නේ?

"එයා ජොබ් එකක් කරන්නේ නෑ සර් එයා කැළණිය යුනිවර්සිටි එකේ තර්ඩ් ඉයර්. ලක්ෂ පහක් විතර ගන්න තමයි බලන්නේ සර්. මටම ලෝන් එක ගන්න තිබුණා ඒත් මම දැනට එකක් අරන් තියෙන නිසා තමයි නංගිගේ නමින් ගන්නේ. අයියා දැනට රට ඉදලා සල්ලි එවන්නේ නංගිගේ ගිණුමට ඒකෙන් ණය වාරිකය කපා ගන්න පුලුවන්"

නංගි ජොබ් එකක් කරන්නෙත් නැතුව ලක්ෂ පහක් අරගෙන කොහොමද මිස් ගෙවන්නේ මාසෙකට 13500/- විතර ගෙවන්න වෙනවනේ. බැරිවෙලා හරි අයියා ලංකාවට ආවොත්?

"ඒ ආවත් අයියා එන්නේ නිවාඩුවටනේ සර් එයා දැන් අවුරුදු දහයක් තිස්සේ ඉදලා ඉන්නේ පිටරට. දැනටමත් එයා හතලිහක් පණහක් විතර එවනවනේ"

ලක්ෂ පහක්ම ඉල්ලන්නේ වෙඩින් එකටමද? "නංගිට දෙන්නයි වෙඩින් එකටයි දෙකටම සර්"
මට ලක්ෂ පහක්ම දෙනවා කියලා පොරොන්දු වෙන්න බැහැ. අයියගේ ආදායම සහතික කරන ලියවිලියි තියෙනවා නම් සේවා ගිවිසුමේ කොපියකුයි ඇප කාරයන්ගේ විස්තරයි අරගෙන එන්නකෝ අපි බලමු. මාස කිහිපයක් තිස්සේ කරවෙන්න පායන අව්ව හිතට ගතට මෙන්ම පරිසරයටද එකසේ බලපා ඇති සැටියකි. එය සාමාන්‍ය ජන ජීවිතයට කොතෙක් බලපෑමක් කර ඇත්දැයි ණය ඉල්ලාගෙන පැමිණෙන පිරිසෙන්ම පෙනේ කාළගුණයට කොතරම් දේ කල හැකිද?
අදින් වසර එකහමාරකට පෙර උකස් අංශයේ සිටින සමයේදී සිදුවූ දෙයක් සිහියට නැගේ

සර් මට මේක තියලා උපරිම ඕනේ. එවලේ ගැලවූ කරාබු ජෝඩුව හා මුද්දක් මා අත තබමින් ඇය පැවසුවාය. මේ මාසේ ඇද ගත්තේ නැත්තම් මහන්සිය ඔක්කොම ඉවරයි සර් අපේ කරුමෙට පායනවනේ වතුර දාන්න මෝටරේට භූමිතෙල් ගන්න තමයි සල්ලි ඕනේ සතියකට මෝටරේට විතරක් රුපියල් තුන්දාහක් විතර යනවා

"මේකට නම් උපරිමය දෙන්න පුලුවන් 8000/- වගේ තමා මිස්.
අයියෝ මම හිතුවේ පහලවක් වත් පුලුවන් වෙයි කියලා අඩුම 12000/- වත් බැරිද?"


මාගේ සහායක මා දෙස බලා දෙපසට හිස වනමින් නොහැකි බව හගවයි.
චක්‍රලේඛණ අණපණත් නීති සහ ආයතන සංග්‍ර‍හය අප වටකරගෙන අප දෙස විරිත්තමින් බලා සිටිනු පෙනෙයි. උපරිමය අටදාහ තමයි මිස්.



**********

"කොහොමද සර් මගේ වැඩේ අර විස්තර නම් ගන්න විදිහක් නෑ කියලා අයියා කිව්වා"

ලෝන් එක දෙන්න වෙන්නේ නංගිගේ නමටනේ මිස් එයා ජොබ් එකක් කරන්නෙත් නෑ ඒක හින්දා ලක්ෂ පහකට යන්න අමාරුයි. ලක්ෂ දෙකක් දෙන්නම් ගණුදෙණු කරලා තියෙන විදිහ ඇපකාරයෝ දිහා බලලා.

අයියෝ දෙකක් මදි සර් මම මැනේජර් එක්ක කතා කරන්නද? කිසි ප්‍ර‍ශ්ණයක් නෑ මිස් ගිහින් කතා කරන්න.
"සර් මට ඇප්ලිකේෂන් එක දෙන්න මැනේජර් කිව්වේත් දෙකක් තමයි. කමක් නෑ ඒකවත් ගන්නම්"
තත්පර විනාඩි පැය විදිහට ගෙවෙන කාලය තුල ලිපිගොණු අතර මම අතරමංවී ඇති සැටියකි
***********
මම දුන්න ලියවිලි ටික ආපහු ගන්න පුලුවන්ද සර් දැන් ලෝන් එක අරගෙන වැඩක් නෑ සර්...ඇයි වෙඩින් එක කලාද? 
නෑ සර්ලා හිතනවට වඩා ලෝකේ වෙනස් එයාලා සල්ලිම ඉල්ලනවා "ඉතින් ලෝන් එක හම්බවුනා නම් බොහෝදුරට වෙඩින් එක ගන්න තිබුණා. කමක් නෑ සර් අපි ගිහින් එන්නම්"

මම මට පිටුපා යන ඔහුන් දෙස බලා සිටියෙමි. රාජකාරීකාලයේදී මම මුහුණදුන් කණගාටුදායකම අවස්ථාවලින් එකක් එය විය. උදව් කිරීමට අපි තිදෙනාටම අවශ්‍ය වුවත් අයතන සංග්‍ර‍හය අණපණත් හා නානාප්‍ර‍කාර නීතිරීති මගින් අප සියලුදෙනාගේම සිත් හා දෑත් බන්ධනය කොට ඇත.

පසු සටහන

  • බොහෝවිට දෙදහස් දහසය වසර සදහා ලියවෙන මාගේ අවසාන පෝස්ටුව මෙයයි. ගෙවුන වසර දෙස යලිත් හැරී බැලුවහොත් සතුටත් දුකත් සමබරව විදින්නට ලද වසරක්ම විය. මගෙන් අනේක උදවුගෙන දැන් මා නොහදුනන තත්වයට පත්ව ඇති සොයුරියක් මොරටුව විශ්වවිද්‍යාලයේ වෙසෙත් ඒ පිලිබදව මතක්වන විට මහත්වූ ශෝකයක් දැනෙනමුත් සිටිනා තැනක සතුටින් අතුරු අන්තරාවකින් තොරව සිටීමට ලැබේවා යන්න මගේ පැතුමයි.
  • එසේම අවසාන වශයෙන් නත්තල සමරන කතෝලික සැමට සුභ නත්තලක්ද, බ්ලොග් අවකාශයේ සැරිසරන සියලුම දෙනාට ලබන්නා වූ දෙදහස් දාහත නව වසර ආයු වර්ණ සැප බල කීර්තිය හා යසසින් පිරි සියලු පැතුම් බලාපොරොත්තු පැතූලෙසින්ම ඉටුවන නීරෝගිමත් වාසනාවන්ත සුභ නව වසරක්ම වේවා.........

ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ...............

8 comments:

  1. යකෝ.. ඒකි උඹට බෑ කිව්වද? මම හිතුවෙ උඹ දාගෙන ඉන්නෙ කියලා. අවුලක් නෑ බං වැඩිය හිතන්නෙපා. උඹ ආයෙ එන වෙලාවක කියපන්.

    ReplyDelete
    Replies
    1. ආයේ එන වෙලාවක කියන්න තිබ්බා මේ ඇනෝතුමා කවුද කියලා කිව්වනම්. කටුබැද්දේ මට ඉතුරු අමිහිරි මතක ගොඩක එකතුවක් තමයි ඇනෝ

      Delete
  2. තමන්ගෙ රැකියාවෙ අණපනත් නිසා ඔහොම අවස්ථාවලට මුහුණ දෙන්න වුනාම
    පුදුම කළකිරීමක් දැනෙනව,නේද? ඕක මං හිතන්නෙ හැම රැකියාවකටම පොදුයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම හසිත සමහරක් නීති තියෙනවා යල්පැනපු. අපිට උදව්කරන්න ඕනකම තිබුණත් නීතිය නම් නීතියමයි. පිටින් ගියොත් වෙන්නේ අදාල නිලදාරියට ගෙදර යන්නයි.

      Delete
    2. මානුෂිකව හිතලා වැඩකරපු කිහිපදෙනෙකුටම ගෙදර යන්න උනා.
      රජයේ බැංකුවලට ගියාම දහසකුත් නීති කියලා අපේ මූනටම බනින වෙලාවල් තියෙනවා එයාලා තේරුම ගන්නේ නෑ ඒවා අපි හදපු නීති නෙවෙයි කියලා

      Delete
  3. ඒ අනේක වූ අණපනත්, නොදැනුවත්වම හෝ අර අසරණ අක්කටයි නංගිටයි කරලා තියෙන්නේ උදවුවක් කියල හිතෙන්නේ මට විතරද?

    කැම්පස් එකේ තර්ඩ් ඉයර් එකේ ඉන්න නංගිට, කැම්පස් අවුට් වෙලා රස්සාවක් කරලා, වෙඩින් එකට සල්ලි හොයාගෙන, වෙන හොඳ කොල්ලෙක් බඳින්න පුළුවන් වෙයි. ඒ වගේම මම දන්න පිරිමි ළමයි ඉන්නවා, සල්ලි වත්, ලොකු උත්සව වත්, බලාපොරොත්තු වෙන්නේ නැති!

    පූසාට ආදරේ කරන ලස්සන හාමිනේ කෙනෙක් ඉක්මනටම ලැබෙන්න ප්‍රර්ථනා කරනවා. මගේ සරසවිය ඔබට දුක්බර මතකයක් ගෙනදීම ගැන කණගාටුයි. මටත් මොරටුවේ මතක ගෙනදෙන්නේ මිශ්‍ර හැඟුමක්. ගොඩනැගිලි ගොඩක් එක්ක, කුඩා කැම්පස් එකක් නේ මොරටුව.

    ReplyDelete
    Replies
    1. ඔබට පමණක් නොවෙයි ඒ කාරණාව නම් අපටත් සිතුනා මුදල් මුල් කරගත් තැනකින් ගැලවුනා නොවෙද කියා

      ඔබලාගේ සරසවිය ඉතා සුන්දර ස්ථානයක්. දෙවියන් වැනි මිනිසුන්ව මට ඒ ඇතුලතදී හමුවෙලා තියෙනවා වගේම සරසවියෙන් පිටවුනත් ඒ ඇතිකරගත් මිතුරුදම් තවමත් පවතිනවා.

      ප්‍රාර්ථනාවට ස්තූතියි මට පසුගිය සතියේ දිනක ඇයව අහම්බෙන් සරසවි බිමේදීම ඉදිරියට හමුඋනත් මම ඇයව මගඇර ගියා ta මුණ ගැස්ණානම් මට මාව පාලනය කරගන්නට නොහැකි බව මම දන්න නිසා.
      කොහොම උනත් ඒ මතකය සිතින් අමතක කරන්න අමාරුයි

      Delete