Thursday, February 18, 2016

ගල්ලෙන බිදීම හා ජයසිරි මාස්ටර්ගේ සර්පිනාව

කවුරුහරි කෙනෙක්ගෙන් තමා ගතකරපු ජීවිතේ ලස්සනම කාලේ මොකක්ද කියලා ඇහුවොත් මම හිතන්නේ 90% වඩා කියන්නේ පාසල් ගිය කාලේ කියලා තමා. කිසිම බරක්පතලක් නැතුව විනෝදෙන් ගත කරපු වලි වලට පන්ති පිටින්ම බැහැලා දුවන්නම නෙලපු ඒ සුන්දර කාලෙට ආයෙත් හිතෙන් හරි යන්න අපි කොච්චර ආසයිද? ඒ අතීතය ගැන මේ ලගකදී පන්ති සගයෝ මතක් කරපු නිසාම අද මේක ලියලා දාන්න ඕනේ කියලා හිතුවේ. මෙතනින් එහාට හම්බවෙන චරිතනාමයන් සියල්ලම මනක්කල්පිතයි ඒ වුනාට මේ සිද්ධි මාලාවන් අතීතයේ දවසක ඒ සුන්දර සංගීත කාබරේ ඇතුලේ  ඇත්තටම සිදුවෙච්ච දේවල් ඕංං.

අපේ ඉස්කෝලේ පෙරදිග සංගීත ගුරුවරු හතර දෙනෙක් හිටියා මේ අය අතරින් අපේ නසරාණි පන්තිය බාරව හිටියේ ජයසිරි සර් (ආදරේට අපේ කොල්ලෝ කිව්වේ සරිගම කන්නා කියලා) අපිත් ඉතින් හත වසරේ ඉදලා ලෙඩ කපුටෝ වැල කනවා වගේ සංගීනේ කලාට මෙලෝ සංසාරයක් තේරුනේ නම් නෑ. අර රාගය මේ රාගය මධ්‍යලය ගීතය කියාගෙන උගුරෙන් කෑගහන එකත් එක්තරා විදිහක විකාරයක් කියලා තමා ඒ කාලේ හිතුනේ. පුබුදු ගයාන් ලක්ෂිත ඉසුරු රිසිත තරංග නදීමාල් ජයනාත් අසංක සුපුන් සිතුම් වගේ මගේ අතිජාත මිත්‍රයෝ හතේ ඉදලා පෙරදිග සංගීතේ කලාට මම මුන්ට එකතු උනේ වෙස්ටර්න් මියුසික් කරපු යක්ෂණී මාත් එක්ක යුද්ධ ප්‍ර‍ාකාශ කලාට පස්සේ දහයේ පන්තියේ මැද විතර වගේ. කරපු අය දන්නවා ඇතිනේ සා/පෙ ලංවෙලා ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියෙනවා කියලා ගොඩයන්න(පැරණි නිර්දේශේ හැටියට ඒකාලේ ඕක තිබ්බේ සා/පෙලට කලින්) දැන් ඕකට කණ්ඩායම් හැදිලා නාට්‍ය ජවනිකාවකුත් කරන්න ඕනේ. අපි තෝරගත්තේ සිංහබාහු නාට්‍යයේ ජවනිකාවක් මේකට අවශ්‍ය කාන්තා චරිත සියල්ල රඟපෑවේ වතුර ටැංකිය අසල ඉස්කෝලේ මානවිකාවෝ විසින් මොකද ඒ කාලේදී පාසල් දෙකටම එකටයි ටෙස්ට් එක තිබ්බේ.
සිංහයාට ඇන්දේ මලිත් ගොයියා ඒ සිංහයාව මහාචාර්ය සරත්චන්ද්‍ර‍යන් දැක්කනම් නාට්ටි කෙරුවාවත් නවත්තන එකනම් ඉරහද වගේ විශ්වාසයි. ඒ කාලේ සිංහයා වෙච්ච මාර්ක් ඇන්තනී මහත්මයා හරි වර්ථමාන සිංහයා වන ජයනාත් බණ්ඩාර අපේ ඉංග්‍රීසි ඇදුරුතුමා මලිත් සිංහයාගේ ඇක්ටිං දැක්කනම් මඩුවලිගෙන් මූට තලන්නේ. අම්මපල්ලා මේ වගේ ලෙඩ සිංහයෙක් මම දැක්කමයි මුට පුරුදුකරන්න අපේ ජයසිරි සර්ට සෑහෙන්න ගේමක් දෙන්න උනා දැන් සිංදුව පුරුදුවෙන අතරතුරේ ගීතයේ පදයෙන් පදයට මූ අතින් වන්නේ විනාශයකි
ගල්ලෙන බිදලා...(ස්ටේජ් එකට පැන්න පාර සර්පිනාව ඩවුන්ද පල්ලං)
ලෙන්දොර ඇරලා...(ලෙන්දොර වෙනුවට මු ඇරපු දොර පලුව ගැලවිලා බිම)
නැතේ කිසිවෙක්.. ගොසින් සැමදෙන.. සිංහබා..... සිංහබා..... කියාගෙන සුප්පාදේවිට අත තියනවාත් එක්කම වේදිකාව දෙසින් ඇසුනේ ජර බරාස්ස් ශබ්දයෙන් යමක් ඉරීයන හඩකි ඒ සමගම විදුලි ආලෝකය විසන්දි කර තිරයද හනික පහත දමන ලදී අහෝ ඛේදයකි සුප්පා දේවියගේ උඩුකය වස්ත්‍රයේ කොටසක් සිංහයාගේ දෑතේය...... ක්ෂණිකවම ඇයවෙත පැමිණි ඇගේ මිතුරියන් නිසා ඇගේ ජාමේ බේරුනේය.අපි වාදනය නවතා පහල බලන විට දත්මිටි කමින් පැමිණි ජයසිරි සර් මලිතාගේ දුර්වල තැන් කිහිපයකටම තම ශක්තිය මුදාහලේ කිසිදු ලොබයකින් තොරවය.....
බඩා මලිතා සුප්පාදේවියට පණ පුදන්නට සූදානමින් සිටි අතර මුගේ සිහින කුමාරිය උනේ ඇයයි. ගම්පහ කොල ටයි පාසලේ සාඩම්බර නිපැයුමක් වු ඇය පසුව සමස්ථ ලංකා නාට්‍ය තරඟවලින් එම විදුහලට කීර්තියක් ගෙන එන්නට සමත් වුවාය. ඇය එදිනෙන් පසුව අපේ මලිතා දෙස ඇහැක් ඇර බැලුවේ නැත.
************* 
අපිට අවුරුදු ගාණක්ම සංගීතේ තිබ්බේ විවේක කාලයට පස්සේ පීරියඩ් වල. මේ කියන සංගීත කාමරේ පිහිටලා තිබ්බේ කාර්යාලයත් ගුරු විවේකාගාරයටත් අතර මැද්දෑවේ. මේකේ සියලුම සංගීත භාණ්ඩ තිබ්බා වගේම අරගෙන වාදනය කරන්නත් කිසිම තහනමක් තිබුනේ නම් නෑ ඒ කාලේ. අපි ඉන්ටවල් එකට පනිනවා සංගීත කාමරේට ඊට පස්සේ සර් එනකම්ම නන්ස්ටොප් ප්ලේ කරනවා අහගෙන ඉන්න අයට පිස්සු හැදෙන්නම. රිදම් ගිටාරය ජයනාත් බේස් ගිටාරය මමතුමා බොක්ස් ගිටාරය නදීමාල් වයලීන් සුපුන් පුබුදු අසංක  වගේම සරපිනාව වාදනය කල දමිත් කියන අපේ කට්ටිය. හැමදාම ගී සරණිය ඇරබුනේ එකම ගීතයකින් ඒ සිංදුව ඇහෙද්දී අපේ ජයසිරි සර් කොහේ හිටියත් සංගීත කාබරේට ඔටෝ ඇදිලා එනවා.
"ජයසිරි මාස්ටර්ගේ සර්පිනාව බල්ලෝ කාලා
මිනිහට මල පැනලලු දැන්
තබ්ලාවට අණ්ඩ දාලා හුලන් යනවා හෝස් ගාලා
ලොක්කගේ සරිගම අවුල් වෙලා දැන්"




කවදාවත් අපි පිස්සු නැටුවට සර් අපේ හිතරිදෙන්න වචනයක්වත් කිව්වේ නෑ. අපි සාමාන්‍යපෙල විභාගයේ ඇඩ්මිශන් ගත්තු දවසේ සර්ත් අපිත් එක්කම එකතුවෙලා සිංදු කිව්වා අදින් පස්සේ තොපි ඉතින් මේවා අල්ලන්න එන එකක් නෑනේ බං කියලා තමා සර් කිව්වේ. උසස්පෙලට අපේ පංතියේ කවුරුත් කලා විශයන් නොකල නිසාවෙන් ඒ සුන්දර සංගීත කාබරේ කරපු කියපුවා මතකයන්ට පමණක් සීමාවෙලා අතීතයට එක්කාසු උනා. අපෙන් පස්සේ නම් ඒ වගේ ආතල් ගත්තු කට්ටියක් නොසිටි බවයි මගේ හැගීම. 

පසු සටහන
  • මම සර්ව අන්තිමට හමුවුනේ පාසලෙන් අස්වීම ගන්න ගිය 2011 සැප්තැම්බර් මාසේ 19 වෙනිදා.එදා දිනේ අවුරුද්ද හැර හරියටම මට මතක තියෙන්නේ පන්තියේ උන්ගෙන් අන්තිමටම අස්වීම ගත්තටත් වඩා ඒ දවස පස්සෙන් පහු කාලෙක මගේ ජීවිතයට ඉතාම සුවිශේෂී එකක් වුන හින්දා. සර්ට නම් මාව අමතක වෙන්න විදිහක් නෑ මොකද වයලින් එකේ තත් හතරම එක සැරේ කඩපු එකෙකුට කියලා සර්ට හම්බඋනේ මම ගෝලයා විතරමයි. 
  • අදත්  විවෙික වෙලාවන් වලදී මටත් හොරෙන් හිතින් මම ඒ සංගීත කාබරේට යනවා පොඩි එකෙක් විදිහට. තාමත් ඒ කාබරේ පොඩි උන් සප්තස්වර ඉගෙනගන්නවා ඇති වගේම මම හිතන්නේ අද වෙද්දී නම් ජයසිරි සර් ඉස්කෝලේ නැතුවත් ඇති.

ඒ වගත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි..........................
 

Saturday, February 6, 2016

කවුන්ටරේ රසකතා - මාරු සල්ලි සහ බූට් සින්දු

පසුගිය දින කිහිපයේම අපි හවුලේ කල නසරාණි වැඩ ගැනම කිව්ව නිසාවෙන් ඒ හා සහ සම්බන්දවු සමහරක් පිරිසගෙන් සුන්දර තර්ජන ගර්ජන හා ගුජුප්සාජනක කෙටි පණිවිඩ මාගේ ජංගම දුරබණුවට ලැබෙන්නට විය. ඊට අමතරව කාමසූත්‍ර‍ පුස්ථකයේ ඔරිජිනල් ඉන්දියන් පිටපත ඉල්ලා ලැබෙන්නා වූ ඉල්ලීම්ද අතිමහත් වන නමුත් අවාසනාවක මහත නම් අයිතිකරුවා සතුව පැවති පිටපතද සොයාගත නොහැකි ලෙස අස්ථාන ගතවී තිබීමයි. විවිධ පුද්ගලයන් සමග රාජකාරී කරනාවිට ලද අත්දැකීම් ඉතාමත් සුන්දර නමුත් බොහෝමයක් කිසිදා එලි නොදක්වන ගොඩට දමා ඇත්තේ අදාල පාර්ශවයන් තවමත් සුජීවත්ව සිටින නිසාය. අද කියන්නට යන්නේ රාජකාරී කරන අතරතුර සිදුවු මතකයේ රැදුණු කෙටි සිදුවීම් කිහිපයකි.

****************

01. මාරු සල්ලි
බැංකුවකට සාමාන්‍යයෙන් එක එක ආකාරයේ ගණුදෙණු කරුවන් පැමිණෙති. ඉවසිලිවන්ත අය මෙන්ම මුලක්ගිණී කාරයන්ද ඒ අතර වෙයි. සමහරක් වැඩ දෙක කරන්නන්ද වෙයි. කොලොන්නාවට ආසන්න තැනක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වු අතර නාමය මාටින් ගුණදාස වැනි නමක් විය. මිනිහා ප්‍ර‍සිද්ධ වී සිටියේ කුණු ලෝබයෙකු ලෙසය. මුදල් ආපසු ගැනීමට කිසිදිනක ATM යන්ත්‍ර‍ක් භාවිතා නොකරන්නේ යන්ත්‍ර‍ පිලිබදව විශ්වාසයක් නැති නිසාය. කොටින්ම කිව්වොත් කවුන්ටරයේ අයකැමිවරයා ලබාදෙන මුදල තෙවතාවක් පමණ ඔහු ගණන් කරයි. තමාට පිටුපසින් තව සියයක් සිටියත් මොහුට ඒගැන වගේ වගක් නැත. කාලයකට පසුව හිරන්ත අයියාත් තේජා අක්කාත් කවුන්ටරයේ මල් කඩමින් කටයුතු කල සමය උදාවු අතර හිරන්ත අයියාට අපේ ව්‍යාපාරික තුමාව දැකීම නයාට අඳුකොල පේනවා වැනිය ඒ තරමටම ඔහු හා ගණුදෙණු කිරීම අප්‍ර‍සන්නය. දිනක් රුපියල් ලක්ෂයක චෙක්පතක් මාරු කරගැනීමට පැමිණි මාටිං අංකල්ට හිරන්ත අයියා තෙවරක් ගැන පන්දහයේ නොට්ටුවෙන් මුදල් නිකුත් කල අතර එතැන් සිට පහත දෙබස් අසන්නට ලැබුණි.

මාටින් - මල්ලී මට මේක මාරු කරලා දෙනවාද ඊලග සයිස් එකෙන්
හිරාන්ත අයියා යලිත් මුදල් ගෙන දෙදහසේ නොට්ටුවෙන් මුදල් නිකුත් කල අතර එය අතට ගත් මාටිං ගොයියා 

මාටින් - මල්ලී මට මේක මාරු කරලා දෙනවාද 1000/- න්
මුවින් නොබැන හිරන්තයා 1000/- නොට්ටු මිටිය අත තබනවාත් සමගම කල්පනා කල මාටිං අයියා මල්ලී එක්කෝ 500/- න් දෙන්න යැයි පවසමින් අවසානයේ 100/- කොලවලින් දෙන්නකෝ කියද්දී හිරන්තයාගේ මුණ කෝපයෙන් දිලිසෙන්නට වු අතර 100/- කොල වලින් මුදල් අතටගත් මාටිං යලිත් කල්පනා කර කට අරිනවාත් සමග එක්වරම නැඟීසිටි හිරන්තයා වරෙන් බන් යන්න කියා මාවද ඇදගෙන ගියේ වෝල්ට් එක එහෙමත් නැත්නම් බැංකුවේ සුරක්ෂිතාගාරයටයි.
ගිය විඟස සේප්පුව ඇර එවකට දිස්ත්‍රික්ක විසිපහට වෙන වෙනම නිකුත්කල කිරි කිරි අලුත් රුපියල් 10/- කාසි පිරවු බෑග් රුපියල් ලක්ෂයටම සමානවන්නට ගෙන පැමිණ ඉදා උඹට මාරු සල්ලි කියා මාටිං අයියාට දුන්නේ එයිට වඩා මාරු නෑ කියමින්ය. එක මල්ලක දසදහසක වටිනාකමින් යුතු කාසි දහසක් තිබු අතර මලු දහයම ඔසවාගත් මාටිං දුටු අප කළමණාකාර තුමා බඩ අල්ලන් හිනාවෙන අතරම මාටිං ලොක්කා බැංකුවෙන් අතුරුදහන් වුනේ මාරුසල්ලි පිලිබදව හොදම පාඩමක් ඉගෙන ගනිමිනි. එදිනෙන් පසුව යලි කිසිදා මාටිං අන්කල් අයකැමිවරයාට වාතයක් වෙන්න ආවේ නැත.ගණනින් දසදහසක් වු දහයේ කාසිවලට මාටිං කුමක් කලාදැයි අප දන්නේ නැත.නමුත් අදටත් අන්කල් මාටිං ගෙන් මාරුකාසි නැද්ද යනුවෙන් කවුරුන්හෝ ඇසුවොත් සිංහලේ ඇති සුන්දරම වචන ටිකක් අසා දැන ගැනීමට හැකිය. 

02. බූට් සින්දු 

කොළඹ පිට්ටු බම්බුවේ අන්තර්ජාතික අංශයට වෙලා දැහැමෙන් සෙමෙන් කාලය ගෙවන අතරතුර නවක කිහිපදෙනෙකුව පුහුණු පුරුදු කරන්නට මට සිදුවිය. කළණ මලයා පුහුණු කරන්නට මට කොන්ත්‍රාන්තුව ලැබුනේ එලෙසය. මරදාන අශෝක විද්‍යාලයේ සාඩම්බර නිශ්පාදනයක් වු මොහු ඉතා කාර්යක්ෂමව කටයුතු කල නිසාවෙන් විදේශ ප්‍රේෂණ ජාලයේ බේරුම්කරුවකු ලෙස කටයුතු කරන්නට අපි විසින් ඔහුට අවස්ථාව ලබා දුන්නෙමු. හොදින් සිටි කොල්ලා එක්වරම පිස්සු කෙලින්නට ගත්තේ අපේ වැඩ එක දෙක කරමින්ය. යන්නේ කොහේද මල්ලේ පොල් වැනි පිලිතුරු ලැබෙන නිසාවෙන් අප කිසිවක් ඔහුගෙන් විමසුවේ නැත. පසුය දැනඟත් පරිදි කොල්ලාගේ සිහින කුමරිය මු සමග තරහා වෙලාය කොටින්ම බූට් එකකට ආසන්න තත්වයකි. වරැද්ද උගේ අතේය. අපේ අංශයට පමණක් ඇසෙන පරිදි ගුවන්විදුලි යන්ත්‍ර‍ක් ධාවනය වෙයි. මා කියන දිනයේ කිසිදා නොවුන පරිදි ජාතික ගුවන් විහිලුවෙන් ඇසෙන්නට වු ගීත වෙනදානම් එකපෙලට වාදනය වන ඒවා නොවේය. මාගේ මතකය නිවරදි නම් වාදනය ඇරබුනේ පුන්සිරි සොයියා මහතාගේ "සුභා කියා මා ඔබ අමතන්නද" යන ගීතයෙනි. කළණ මලයා කරකර හිටපු දේ නවතා සිංදුව අසන අතර දත්මිටි කමින් රේඩියෝව ගිලින්නට මෙන් ඒදෙස බලයි. ඉන් පසුව පිලිවෙලින්
  • මිල්ටන් පෙරේරා මහතාගේ "එදා රෑ ගුවන්තොටුපලේදි" ගීතය
  • නාමල් උඩුගම ගේ "වෙන්වන්නේ නෑ සමුගන්නේ නෑ" ගීතය
  • නීලා වික්‍ර‍සිංහ මහත්මියගේ "පාරමී දම් පුරමු අපි දෙදෙනා" ගීතය
  • සෝමතිලක ජයමහ මහතාගේ "දමා යන්නට නොහැකි මිහිමත" ගීතය
  • බන්දුල විජේවීර මහතාගේ "කුල ගෙදරින් දුම්බර කදුවැටියේ" ගීතය
  • අමරදේවයන්ගේ පෙරදිනයක මා පෙම්කල යුවතිය ගීතය
  • ආදර හසුන චිත්‍ර‍පටයේ සුදු මුතු රළ පෙළ ගීතය 
  • අමරසිරි පීරිස් මහතාගේ "ඉකි ගසා හඩන අතීතයක කදුලු එක්ක" ගීතය
ආදී වශයෙන් වාදනය වන විට මීලග ගීතය ලෙස ඇසෙන්නට වුනේ තවත් විරහා ගීතයක් සේ පෙනෙන ගීතයකි. නමුත් මමද මේ ගීතයට දැඩි සේ ඇලුම්කරන නිසාවෙන් අපේ කා.කා.ස තැන්පත් සුමනසිරි අංකල් ට සද්දේ වැඩිකරන්නැයි ඉන්ටර්කෝමයෙන් ඇමතුමක් දී කීවෙමි. පුන්සිරි සොයිසා මහතාගේ තවත් ගීතයක් වු එය මෙසේ මහ හඩින් වාදනය විය.
"සුභාෂිණී ඔබ මගේ නමට එව් ඇරයුම් පත ලැබුණා
මනාලියක වී සුබ මොහොතින් අද යන බව එහි තිබුණා
ඊයේ වනතුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුනා"

යනුවෙන් ගීතය වාදනය වන අතරතුර කළණ මලයාගේ ඉවසීම පැන එකවරම සුමනසිරිට කෑ ගැසුවේ ඕක වහපන්කෝ බන් කියලාය. ඒකාලයේ ජනක මහතා දෙවියන් වහන්සේ වෙත යාමට පෙර අප සමඟ ගත කල සමය වු බැවින් ජනක් අයියා කළණ ගෙන් ඇහුවේ ඇයි උබට ඔය සිංදුව ඇහුණම මොකද වෙන්නේ නිකන් කිචි වගේද කියලාය. අනේ කොල්ලා දුන්න උත්තරය නිසා කම්පනයට පත් අප  කිසිදු කථාවකින් තොරවම අපි රේඩියෝව වසා දැමුවෙමු.කොල්ලා අඩමින් පැවසුවේ බුදු අයියේ මගේ කෙල්ලගේ නමත් ඕකමයි කියලායි.

පසු සටහන

  • පුන්සිරි මහතා ගයන මේ ගීතය මාගේ ජීවිතයටද දැඩි සමීප බවක් ඇති නිසාවෙන් මම මේ ගීතයට දැඩිලෙස ඇලුම්කරමි. මා පමණක් නොව ජනක අයියා හා සිතාර අයියාද මේ ගීතයට ඇලුම්කරන නිසාවෙන් ශබ්දය වැඩිකරන ලෙස අප පැවසුවෙමු.
  • මෙම ගීතයට පසුබිම් වු නිධාන කථාව අප සංවිධානය කල සංගීත සන්දර්ශණයක් අතරතුරදී පුන්සිරි සොයිසා මහතා අපහට විස්තර කලා මට අද මෙන් මතකය. ඒ පිලිබදව වෙනත් දිනක අකුරුකරමි.

ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........