Friday, July 15, 2016

කජුකැලය හරහා මතක කැම්පස් කටුබැද්ද දෙවන දිගහැරුම - ඔරු පාරු සහ ඩෙංගු උණ

පලමුවෙනි දිගහැරුම

ජාතියේ මහා පහන්ටැබේ රාජකාරී කල කාලය පිලිබදව තරම් යලිත් අතීතයට ගොස් ආවර්ජනය කිරීම තරම් සතුටක් ලේසියෙන් අත්වන්නේ නැත. ඒ කාලය ඉතාමත් සොදුරුය මිහිරිය. මේ දවස්වල මගේ මතකය කැරකෙමින් පවතින්නේ මොරටුව කටුබැද්දේය. තේරෙන භාෂාවකින් කියනවානම් මොරටුව විශ්වවිද්‍යාලය තුල ගත කල කාල සීමාවේ මතකයයි.
මහපොල රාජකාරී වලින්ම මම හදුනාගත්තු හොදම මිත්‍රයෙක් තමයි ඒ් කාලයේ අවසාන වසරේ ඉදපු මාධවන් කියන මිත්‍ර‍යා. යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේ පදිංචි කාරයෙක් වෙලා හිටපු මෙයා අපිත් එක්ක තදින් මිතුරුදම් ඇතිකරගත්තා. ක්‍රීඩාවන් රාශියක නිරතවෙලා හිටපු මාධවන් 2014 TPL දිනපු කණ්ඩායමෙත් සාමාජිකයෙක් වෙලා හිටපු බවත් හා TPL ගැන මතකය පස්සට කියන්නම්.

මෙයාගේ ප්‍ර‍ධානම විනෝදාංශය තමයි rowing නැත්තම් ඔරු පැදීම. ඒ වසර අවසාන වෙද්දි සරසවි ජීවිතෙන් සමුගන්න නියමිතව හිටපු මාධවන් ඇති හැකි සෑම වෙලාවකම අපිත් එක්ක වැඩකටයුතු කරගෙන හිටිය අපේ හොදම මිත්‍රයෙක්. ඒ කාලේ අපේ කලමණාකාරතුමත් කන්තලේ පැත්තෙන් ආව අතට පයට කැත්ත උදැල්ල වගේම හබලත් හොදට පුරුදු මහත්මයෙක්. දවසක් මාදවන්ගේත් අපේ කලමණාකාරතුමාගේත් අදහස වෙලා තිබ්බේ බොල්ගොඩ ගගේ ඔරු පදින්න යන්න. 
හතර දෙනෙකුට මෙන්ම දෙදෙනෙකුටත් පදින්න පුලුවන් වර්ගයේ යාත්‍රා තිබුනත් මාධවන් ගමනට තෝරගෙන තිබුනේ හතරදෙනෙකුට ගමන් කල හැකි ඔරුවක්. මාධවන් සමග සල්පිටිකෝරාල මහතාත් මට මෙහි නම අමතක තවත් සොයුරෙකුත් ගමනට ලෑස්ති වෙලා හිටියා. බොල්ගොඩ ගඟට බිල්ලක් වෙන්න මගේ තුන්හිතකවත් ආසාවක් නැතිහින්දා ගොඩ ඉන්න හදනකොට බලෙන්ම වගේ මාවත් ඔරුවට පටවාගත්තේ මාධවන් ගොයියාම තමා.
හබල පදවන මාධවන්ගේ දෑතට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි කියලා හිතාගෙන ඔරුවට නැගගත්තේ සිතේ සතුටකින්නම් නොවේය. ටිකෙන් ටික බොල්ගොඩ ගගේ මැදට ගියපසු සල්පිටිකෝරාල මහතාත් මාධවනුත් දුම්මල වරම් දෑතින් ගත් කපුවන්සේ පදින්නට ගත්තේ මැදින් වාඩිවී සිටි මට සිංහල භාෂාවේ ඇති සියලුම සුන්දර වචන සිහිගන්වමිනි. ඔරුව ගැස්සේන පැද්දෙන තාලයට සාපේක්ෂව මගේ ඔලුව කැරකෙන්නට වු අතර දවල්ට කාපුවා යලිත් උගුරට එන්නාක් බදුවිය. මම බලාගෙන සිටියේ දැන් පෙරලෙයි දැන් පෙරලෙයි කියලාය මොකද ඒ තරම් හොදින් පරිස්සමට අපේ මිත්‍ර‍යින් තිදෙනා ඔරුව පැද්ද නිසාය. 
මාධවන් ඔරුව අරගෙන ආවේද හොරපාරෙන් වන අතර කරුමෙකට හරි පෙරලුනොත් පූසාට පීනන්නටද බැරිය. පේනතෙක් මානයේ වෙනත් මිනිස් පුලුටක් පෙනෙන්නටද නැත

කෙසේ හෝ පැයක් පමණ විවිධ විවිධ ශිල්පක්‍ර‍ම අත්හදා බලමින් හිතේ හැටියට ඔරුපැද දෙදෙනාටම ඇතිවී යලිත් තොටුපලට දෙසට හබල්ගාන්නට වු පසුයි හිරවෙලා තිබ්බ මගේ හුස්ම ආපහු වැටෙන්නට ගත්තේ. තොටුපලට ගොඩබට මාව වත්කම් කර ගැනීමට මාධවන්ට සහ සල්පිටි මහතාට සිදුවූ බව නම් යන්තමින් මතකයේ රැදී ඇත. 


*********
මේ දවස්වල මේ සොදුරු නවාතැන් පලට තර්ජනයක් ඇතිවෙමින් පවතිනවාය. එනම් ඩෙංගු රෝගය වෙනකිසිදිනක නොවු අයුරින් වසංගත තත්වයෙන් විශ්වවිද්‍යාලය තුලත් ඒ අවට ප්‍රදේශයෙත් ඉතා සීඝ්‍රයෙන් පැතිරයමින් පැවතීමයි.
බොහෝ සිසු සිසුවියන්හට ඩෙංගු උණ වැලදිලාය. බොහොමයක් අධ්‍යනාංශ වල අර්ධ වාර්ෂිකයේ ඇගයිම් හා විභාග කටයුතු ආරම්බ වන සමය මේ වන අතර බොහෝමයක් මානවික මානවිකාවන් හට තම ඇගයීම් කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි තත්වයක් පවා මේවන විට ඇතිවී තිබේ. මාත් සමග කටයුතු කල මා දන්නා හදුනන කිහිප දෙනෙකුටම මේ වන විට ඩෙංගු උණ වැලදී තිබේ. එබැවින් මම පසුගිය දිනක ඔහුන් බැලීමට කලුබෝවිල රෝහලට ගියෙමි. හතර දෙනාගෙන් දෙදෙනෙකු රෝහලින් පිටව ගොස් තිබූ අතර අනෙක් දෙදෙනා සාමාන්‍ය වාට්ටුවක ප්‍ර‍තිකාර ලබමින් සිටියේය.
අනෙක් මිතුරන් දෙදෙනා බැලීමට මොරටුව සරසවියට යන අතර තුර  දැන ගන්නට ලැබුනේ මගේ ලගම හිතවත් සොයුරියකටද ඩෙංගු උණ සෑදී රෝහල්ගතව සිට යලිත් සරසවියට පැමිණ ඇති බවයි. එය ඇසූවිට මගේ සිත දැඩි කණගාටුවකින් පිරීයන්නට වූ අතර ඇයගේ තත්වයද දැන ගැනීමට මට සිත්විය. තේමිය සහ නිවන්ත යන මිතුරන් දෙදෙනාගේ සුවදුක් විමසා බලා අවසානයේ වෙන්ඩ ආචාර්ය ජික්කිත් සමග ඇගේ අධ්‍යනාංශය අැතුලටම ගියත් එම අධ්‍යනාංශයේ සිටින අප සුමිතුරා ඒ මොහොතේ මදකට බැහැරක ගිහිල්ලාය. දේශණ කටයුතු ඇතැයි සිතුණු නිසාවෙන් අපි දෙදෙනා ආපසු හැරී ආවෙමු.(ඒ මිත්‍ර‍යාද යලිත් පිටතදී මුණගැසිණු අතර ජායාරූපය පහල ඇත)

ඩෙංගු උණ මාරාන්තික රෝගයකි. එය සාමන්‍ය වශයෙන් සිව්වතාවක් වැලදිය හැකිබව වෛද්‍ය මතයයි. එක වරක් සුවවී යලිත් වැලදුනහොත් ඉතාමත් මාරාන්තික විය හැකිය. මේ දිනවල මොරටුව සරසවිය අවට මදුරු ගණත්වය ඉතා ඉහල මට්ටමක පවතින බව දැන ගැනීමට ලැබුනි. ආදරණිය නංගියේ මල්ලියේ ඔබට වරක් වැලදුනානම් අතිශයෙන්ම ප්‍රවේසම් වන්න මක්නිසාදයත් ඔබට දෙවන වර වැලදීමට හැකි සම්බාවිතාව ඉතාමත් මට්ටමක ඇති නිසාය. 

අවසාන වශයෙන්මේ වන විට ඩෙංගු උණෙන් පීඩාවිදින රෝහල්ගතවී සිටින සැමටම අතුරු අන්තරාවකින් තොරව ඉක්මනින්ම නීරෝගී සුවය ලැබේවායි පතන්නෙමි.

පස්සෙන් පහු සටහන



  • මේ සියල්ලටම මුලිකත්වය ගත් මාධවන් රාමසාමි මිතුරාව 2015 ජනවාරියෙන් පසුව යලිත් මුණගැසුනේ ලෙඩුන් බැලීමට කජුකැලයට ගිය මොහොතේදීය. ඉහත ජායාරූපයේ අංක පිලිවෙලට තේමිය මධුභාෂිතමාධවන් රාමසාමි, වෙන්ඩ Dr. ජික්කිත්වෙන්ඩ Dr.. මාස් පැරා පෙනී සිටී. දකුණුපස අංකනය නොකල ස්ථානයේ සිටින්නේ රැදී සිටින්නේ පූස්තෙමේය. අංක තුන සහ හතර ලෙක්චරවරුන් වන බැවින් බ්ලොග් දානවානම් මුහුණත් තහඩු වනසා දමන මෙන් ඉල්ලා සිටි නිසා මුහුණු පමණක් කාටුන් බවට පත්කලෙමි.
  • වල ගොඩඋඩ කැන්ටින් ගැනත් ලොකු දොස්තර නොනාගේ රසකතාත් Graduation Fashion Show 2015 මෙන්ම A හා රාහුල හොස්ටල් සහ තවත් කතා කිහිපයක් ඉදිරියේදී ලියවිය යුත්තේය. මේ ගෙවන්නේ අධික කාර්යබහුල කාලයක් නිසා සටහන් කෙටිවීම ගැන කියවන්නෝ කමත්වා.

ඒ වගත් මෙසේමැ අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදු පූසා වම්හ.......

Friday, July 1, 2016

මහපොල කජුකැලය හරහා බැංකුවේ මතක කැම්පස් කටුබැද්ද - පලමු දිගහැරුම

මමතුමා ජාතියේ මහා පහන්ටැබේ සේවය කල කාලය තුල විවිධ විවිධ අවස්මාථාවන්ට හා පුද්ගලයන්ට මුහුණ දී ඒ තුලින් මා ලද අත්දැකීම් බොහෝය. රසකතා ප්‍රේම ජවනිකා දුක්මුසු අවස්ථාවන් මෙන්ම විනෝද සමය රඟදැක්වූ අවස්ථා අනන්තය අප්‍ර‍මානය. අද  කියන්නට යන්නේ ඉතාම කෙටි කාලයක් රැදී සිටි නමුත් තදින් ඇලුම් කල තැනක ගතකල මතකයයි.
අප ආදරණිය නැසීගිය ප්‍ර‍ධාන කලමණාකාර ජනක් මහත්මා එක්දිනක අප සිටි තැනට පැමිණ පොඩි උදව්වක් ඉල්ලුවේය. එනම් එක මාසයක් සදහා කටුබැද්ද ශාඛාවෙහි වැඩ කටයුතු සදහා මොරටුවට යන්නටය. ජනක් මහතාට බෑ කියන්නටද අපට නොහැකිය. කොළඹ සරසවියෙන් පැමිණ සිටි මානවිකාවියන් දෙදෙනා  මොරටුවට හරවා යැවීම ප්‍රායෝගික නොවන නිසාවෙන් හා මානවිකාවන් ඔහුන් සතු මායම් සියල්ල පාවිච්චි කොට උන් දෙදෙනා ආඳන් මෙන් ලිස්සා ගියහ. රුචිත් මලයාත් යන්නට අකමැති වූ නිසාවෙන් ඕන මරාලයක් කියා මම කටුබැද්දට යන්නට සූදානම් වුනෙමි. ජනක මහත්මාගෙන් ලද සහන ස්ථාන මාරු පත්‍රිකාව දුටු විට මට තරු වල්ගා තරු මණ්කිදාණිද පෙනේන්නට විය. කටුබැද්ද කියලා කිවුවට කටුබැද්ද නොවේය. ඒ සොදුරු නවාතැන්පල මොරටුව විශ්වවිද්‍යාලයේ පිහිටුවා තිබූ ජාතියේ මහා පහන්ටැඹ ශාඛාව විය.
හා පුරා කියලා දෙදෙහස් දහහතරේ වප් මාසේ හත්වෙනිදා මම මොරටුව විශ්වවිද්‍යාලේ සුමනදාස බිල්ඩිමේ කෙරවලක පිහිටුවා තිබුණ ඒ සොදුරු කුඩා නවාතැන්පලට ගොඩබැස්සේ.  ඒ කාලේ වෙනකොට සල්පිටිකෝරාල මහතා තමා කළමණාකාර ආසනයට අධිපතිව වැඩ සිටියේ. කලමණාකරුත් සමග ස්ථීර සේවකයන් ගණනින් හතරක් විය යුතු වුවත් ඒවන විට සිටියේ තවත් එක් ලිපිකරුවෙකු පමණි. ඊට අමතරව විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් අපට සහයට සිටි අතර ඔහුන් පිලිබදව අවසානයේ සිහිකරමි.


මගේ මතකය නිවරදි නම් ඒ මාසයේ මහපොල ගෙවීම් සිදුවුනේ සයමසක ප්‍ර‍මාදයක් සහිතවය. මහපොල නිකුත්කල ආරංචියට උදෑසන සිටම මානවකයින් මානවිකාවන් පෝලිමේය. එක එක මට්ටමේ ගැටලු විසදා දීමට සිටියේ සල්පිටිකෝරාල මහතාත් මමත් පමණි. සමහරුන්ගේ අත්සන ආදර්ශ අත්සනට වඩා වෙනස්ය එවිට ලංකාවේ හතරදිග්භාගයේ ශාඛාවන්ට (ජාතිය)ඇමතිය යුතුය. ඇතමෙකුගේ ATM කාඩ්පත තාවකාලිකව අක්‍රීය වීම(Dormant) නිසා සල්ලි ගැනීමට නොහැකි වෙලාය. සමහරුන්ට අත්සන වෙනස් වුවත් ගෙවීම් කටයුතු කලේ නීතිරීති වලට වඩා මනුසත්කම පෙරදැරි කරගෙනය. මම පුද්ගලික විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය හැදෑරුවද මහපොලින් සිසුන්ට ලැබෙන සහනය මම හොදින්ම දන්නා නිසාවෙන් කිසිදු සිසුවෙකුට මුදල් නොගෙවා හරවා යැවීමට තරම් අප අකාරුණික නොවුනෙමු.
ඒ ගතකල කෙටි කාලසීමාව තුල එවකට උපකුලපති මහාචාර්ය සම්පත් මහතා රෙදිපිලි ප්‍ර‍වර්ධන අධ්‍යනාංශයේ හි එවකට අංශ ප්‍ර‍ධානීව සිටි ආචාර්ය ගුණසිංහ මහතා සහ තොරතුරු තාක්ශණ අංශයේ ආචාර්ය ලෝචන රණතුංග වැනි මිනිසුන් හදුනා ගැනීමට ලැබීමද ඇසුරු කරන්නට ලැබීමද මා ලද මහගු අවස්ථාවක් යැයි මා සිතමි.
මා සමඟ කටයුතු කල ඉන්ටර්න්වරු කිහිපදෙනාව මතක් නොකලහොත්   එය අතිවිශාල අඩුපාඩුවක් වන්නේය. පුරා මාසයක්ම මා සමග වලේ කැන්ටිමෙන් කමින් බොමින් ඉඩකඩ ඇති වේලාවක කජුකැලයේ මෙන්ම සමස්ථ සරසවියේම සුන්දරත්වය මට පෙන්වා දුන්නේ සත්සර හා රුවන් ඇතුලු මේ මිතුරු මිතුරියන් පිරිසයි.එක් දිනක් මාධවන් සමග බොල්ගොඩ ගගේ ඔරු පැද්ද ආකාරය අදටත් මැවී පෙනේ ඒ සදහා මග පෙන්වූ Rowing Club හි මුල් පුරුකක් වු මාධවන් අද යාපනය කන්කසන්තුරයේ පදිංචිව සිටී.
සත්සර ඕවිටිගල 
(Electronic & Communication, කාවින්දි අබේසිංහ (Textiles, මාධවන් රාමසාමි (Civil , දුමානි ජයවීර (Information Technology, රුවන් තාරක ප්‍ර‍භාෂ්වර (Electronic & Communication) , නිම්සරා ඩයස් (Computer Science, සුමිත්ත කළණසිරි (Computer Science) , නිවන්ත ප්‍රේමතිලක (Information Technology) , තේමිය මධුභාෂිත (Electronic & Communication මේ සටහන තබන අවස්ථාව වන විට මොහුන්ගෙන් සරසවියේ සිටින්නේ සිව්දෙනෙකු පමණි.
මාසයක කාලයෙන් පසුව මම සියල්ලන්ගෙන් සමුගෙන යලිත් අන්තර්ජාතික අංශයට පැමිණියද විටින් විට විශ්වවිද්‍යාල ශාඛාවට ගොස් රාජකාරී කර ඇතිමි. ඒමගින් ඇතිකර ගත් හිතමිතුරු කම් අතිමහත්ය.
වෙනදාට නම් මොරටුව සරසවිය ඇතුලට යාම මාහට ඉතා ප්‍රීතියක් ගෙනදෙන්නක් වුවද දැන් දැන් එහි යාමට මාගේ පය එසවෙන්නේ නැත. එහි දැන් ඇත්තේ ඉතාමත් වේදනා ගෙනදෙන මතකයක්ය. සිහිවන විටදීත් මගේ හදවත විශාල වේදනාවකින් පෙලෙන්නට වෙයි. කලකට පසුව මේ සටහන තබන්නට සිත් වුනේ ආසන්න දිනක මෙයට පා නගන්නට සිදුවු නිසාවෙනි. ඒ ලංකා බැංකුවේ මිතුරකුගේ ඉල්ලීමකට කලෙහිගුණ දන්නා නිසා බෑ කියන්නට බැරි නිසාවෙන්ය. 

කජු කැලේට පායපු හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න

අදුරුවල වසිනා කල
සරසවිබිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
නිතර තනිය දැනෙන්න...

උපකුලපති මහාචාර්ය සම්පත් තෙන්නකෝන් මහතා දැන් සරසවියේ නැත. නිවන්තට ඇමතුමක් දී ඔහු සමඟ ගොස් තොරතුරු තාක්ෂණ දෙපාර්ථමේන්තුවේ ආචාර්ය ලොචන රණතුංග මහතා හමුවී කතාබහකර පැරණි මතකය අවදිකර ගතිමි ඔහුට මා ගැන මතකයක් නොවීය. ගුණසිංහ මහතා මුණගැසීමටත් ඇගලුම් දෙපාර්ථමේන්තුව  ආසන්නයටම ගියත් ඒ අංශය තුලට යාම මට සිත් වේදනා ගෙනදෙන්නක් වන නිසාවෙන් මද වේලාවක් ඒදෙස යම්දෝ නොයම්දෝ කියා බලාසිට නොගොස් ආපසු පැමිණියෙමි. මා සමග සිටි ඉන්ටර්න්වරු අතරින් මුණගැසුණේ නිවන්ත හා නිම්සරා පමණි. තේමිය ක්‍රිකට් ගසන්නට ගොස් කකුල තලාගෙනය. දුමානි දේශණයකට සහබාගී වෙමින් සිටි අතර අනෙක් අය මේ වන විට සරසවිය හැරගොසින්ය. පැරා සහ ජික්කිත් ටෙම්පරි ලෙක්චර් පෝස්ටු ලබා මානවකයින්ට දැනුම බෙදමින් සිටින්නාහ. අබ්ලික් ප්‍ර‍ශ්ණ වලට අබ්ලික් උත්තර දුන් ලොකු දොස්තර නෝනාගේ සහ මාධවන්ගේ ඇඟ කිලිපොලා යන ඔරු පැදීම ඇතුලු තව තවත් මතකයන් ඉදිරියට.............

පසු සටහන
  • මහාචාර්ය සම්පත් මහතා වරක් ආචාර්ය ගුණසිංහ මහතා හරහා මට මිල මුදලටවත් කරගත නොහැකි උපකාරයක් කරදුන්නේය. මා මුණගැසුණානම් ඔහු අනිවාර්යෙන් ඒ පිලිබදව විමසනවා සිකුරුය. එයට දීමට වන පිලිතුර ඇසූ විට ඔහුට කෝපයකුත් මගේ හිතට දැඩි වේදනාවක්ද ගෙනදෙන්නක් මෙන්ම කෝපයත් වේදනාවත් එකතු වී තුන්වන පාර්ශවයේ අයෙකුට අගතියක්ද සිදුවිය හැකි නිසාවෙන් ඔහුගේ අධ්‍යයන අංශයට මම නොගියෙමි.රුවන් සමග සිටියදී පැරා දෙපාර්ථමේන්තුවෙන් එලියට එනවා දුටු නිසා අප එතනින් නික්ම ආවෙමු.

ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........