Friday, October 21, 2016

අපි නොදන්න චෙක්පත් - දෙවන කොටස

අපි නොදන්න චෙක්පත් පලමුවෙනි කොටසින් චෙක්පතක් කියන්නේ මොකක්ද කියලා වගේම චෙක්පතක මූලික කොටස් මොනවද කියලා මම සටහන් කලානේ. අද ලිපියෙන් චෙක්පත් රේඛණයන් ගැන හා වලංගු කාල සීමාවන් ගැන විස්තර කරන්න තමයි හදන්නේ.

සාමාන්‍ය විදිහට චෙක්පතක් ලිව්ව දිනයේ සිට මාස හයක් දක්වා වලංගු වෙනවා අතරම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට චෙක්පත ලිවූ දින සිට වසර දෙකක කාලයක් ඇතුලත හැකියාව තිබෙනවා. චෙක්පතක් රේඛණය කරනවා කියන්නේ මොකක්ද? ගොඩක් අය චෙක්එක ලියලා වම්පැත්තේ උඩ කෙලවරේ සමාන්තර ඉරිකෑලි දෙකක් ගහනවා දැකලා ඇති. ඒ හැරුණම සාමාන්‍ය හා විශේෂ කියලා රේඛණය කොටස් දෙකකට බෙදන්න පුලුවන්. චෙක්පතකට රේඛණයක් යොදන්නේ ඒමගින් චෙක්පතේ ආරක්ෂාව වැඩිකර ගන්නයි

අපි බලමු චෙක්පත් සදහා රේඛණයන් යොදන ආකාරය

  • ආදායකයාගේ ගිණුමට පමණයි

ඉහත චෙක්පතේ තියෙන්නේ ආදායකයාගේ ගිණුමට පමණයි(Account Payee only) කියලා. මේක නම් හැමවෙලාවෙම වගේ බහුලව යෙදෙන රේඛණයක්. මේකෙන් කියවෙන්නේ මේ චෙක්පතේ වටිනාකම ලබා ගන්න පුලුවන් වෙන්නේ චෙක්පතේ ආදායකයා වශයෙන් නම සදහන් වෙන තැනැත්තාට පමණයි. ඒ වගේම මේක බැංකුවේ කවුන්ටරයෙන් මාරුකර ගන්න බෑ. අනිවාර්යෙන්ම ආදායකයාගේ නමට තියෙන ජංගම ගිණුමක තැන්පත් කරලා මාරුකරගත යුතුයි.

  • ගණුදෙණු කල නොහැක
චෙක්පත් වලින් තියෙන වටිනාම ප්‍රයෝජනයක් තමයි තමන්ට ලැබුන චෙක්පත තමන්ගේ ගණුදෙණුවක් පියවන්නට තවත් අයෙකුට පිටසන් කර ලබාදීමට හැකිවීම. මේක ව්‍යාපාරිකයින් අතර හරිම ජනප්‍රිය ක්‍ර‍මයක් වුනත් සමහරුන් කැමති නෑ තමන් දුන්න චෙක්පතක් අතින් අත යනවට ඒවගේ උදවිය යොදන රේඛණයක් තමයි ගණුදෙණූ කල නොහැක.
මේක යෙදුවහම ඒ චෙක්පත වලංගු වෙන්නේ් මුහුණතේ නම සටහන්ව පවතින ආදායකයට පමණයි.

  • උපරිම මුදලට සීමා පැණවීම

සමහර අවස්ථාවන් වලදී මුදල් අගයක් සටහන් නොකර චෙක්පත් ලබාදීමේදී ආරක්ෂාව තකා උපරිම මුදලක් රේඛණයක් ලෙසින් යෙදිය හැකියි. උදාහරණයක් ලෙස ඉහත චෙක්පතේ රුපියල් 14000/- නොයික්මවිය යුතුයි යනුවෙන් රේඛණයක් යොදා තියෙනවා. ඒවිට චෙක්පත ලද තැනැත්තාට චෙක්පතේ අගය ලෙස සටහන්කර මුදල් ගත හැක්කේ රුපියල් දාහතර දහසක් හෝ ඊ්ට අඩු අගයක් පමණයි

  •  වලංගුවන කාලය සීමා කිරීම

සාමාන්‍යයෙන් චෙක්පතක් වලංගු කාලසීමාව මාස හයයි. නමුත් සමහර අවස්ථාවල දින සීමාවන් පණවමින් චෙක්පත් නිකුත් කරනවා. බොහෝවිට රාජ්‍ය ආයතන වලින් කරනු ලබන ගෙවීම මෙලෙස දින සීමාවට යටත්ව නිකුත් කරනවා. ඉහත උදාහරණයේ පරිදි දින 30 60 90 වශයෙන් සීමාවන් යෙදීමට හැකියාව තිබෙනවා. එලෙස සදහන් දින ගණන පසුවුවහොත් ඒ චෙක්පත අඟරු චෙක්පතක් බවට පත්වනවා

  • විශේෂ රේඛණයන්
ඉහත ජායාරූපයේ තියෙන්නේ විශේෂ රේඛණයන්ගෙන් එකක්. මේකේ තියෙන විදිහට මේ චෙක්පත අනිවාර්යෙන්ම ලංකා බැංකුවේ මැල්සිරිපුර ශාඛාවේ ආදායකයා නමින්ම ඇති ගිණුමක තැන්පත් කිරීමෙන් පමණක් මුදල් ලබාගැනීමට පුලුවන්. වෙනත් කිසිදු ආකාරයකට මුදල් ලබා ගත නොහැකියි. නැතහොත් චෙක්පත යලිත් අණකරුවෙත ලබාදී වෙනත් චෙක්පතක් ලබා ගැනීම හෝ යොදා ඇති රේඛණය අවලංගු කරගත යුතුයි.

ඊලග කොටසින් චෙක්පත් ලියද්දී බහුලව කරන අතපසුවීම් වගේම චෙක්පත් අඟරු වෙන්න බලපාන හේතු පැහැදිලි කරන්නම්.

පසු සටහන

  • මම මෙහි විස්තර කලේ අවශ්‍යමයි කියලා හිතුන රේඛණයන් විතරයි. ඒ වගේම චෙක්පතක කාලය දික්කරගන්න ක්‍ර‍ම යොදපු රේඛණයන් අවලංගු කරගන්න විධි මම සටහන් කලේ නෑ. නමුත් කියවන ඔයාලට චෙක්පත් සම්බන්දයෙන් දැනගන්න දෙයක් එහෙම තියෙනවානම් හරි නොපැහැදිලි තැනක් එහෙම තියෙනවානම් අහන්න

ඒ වගත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ ........

Thursday, October 6, 2016

අපි නොදන්න චෙක්පත් - පලමු කොටස

ජීවිතේ එකවතාවකදී හරි ඔබටත් චෙක්පත් ලැබිලා ඇති එහෙමත් නැත්නම් ඔබ චෙක්පත් මගින් ගෙවීමක් සිදුකරලා ඇති. ඔබේ නමට ලැබුණ චෙක්පත බැංකුවේ කවුන්ටරයෙන් මුදල් බවට පත්කරගෙන හෝ ගිණුමට තැන්පත්කරලා මුදල් අරගෙනත් ඇති නමුත් ඒ පිටිපස්සේ තියෙන විශාල ක්‍රියාවලිය ගැන ඔබ දැනගෙන සිටියාද? 
දැනට ඉන්න ලංකා බැංකු ශාඛාවේ මම චෙක්පත් සම්බන්දව කාලයක් තිස්සේ කටයුතු කරන හින්දා අපේ ගණුදෙණූකරුවෝ කරන වැරදි ගොඩක් නිරීක්ෂණය කරලා තියෙනවා. දැනට මේ ඉන්න තැනට සාමාන්‍ය දවසක නම් චෙක්පත් 250-300 අතර ප්‍ර‍මානයක්ද වැටුප් ආසන්න දවස්වලට චෙක්පත් 850 ත් 1000ත් අතර ප්‍ර‍මානයක් දෛනිකව දැබෙනවා උනත් හැමදාමත් චෙක්පත් 30ත් 50ත් අතර ගණනක් අඟරු(Return) වෙනවා.ඒක හින්දා චෙක්පත්වල ඉතිහාසය වගේම නිතර කරන වැරදිත් මේ ලිපි පෙලෙන් කියන්න මම අදහස් කරනවා.
මේ ලෝකේ හා හාපුරා කියලා චෙක්පත් පාවිච්චිය ආරම්බ කරලා තියෙන්නේ 1659 තරම් ඈත කාලයේ එංගලන්තයේ Bank of England කියන ආයතනයකින්. ඒක අද කාලේ වගේ ලස්සනය මුද්‍ර‍ණය කරපු විධිමත් ආකාරයේ චෙක්පතක් නෙවෙයි.අද පවතින ආකාරයට සමාන වෙන්න මුද්‍ර‍ණය කරපු චෙක්පත් භාවිතය ආරම්බ වෙලා තියෙන්නේ 1717 දී එංගලන්තයේ ලන්ඩන් නුවරදී. 
ලොව පලමු චෙක්පත

මේ චෙක්පත් වල නිශ්කාෂණ(Clearing) කටයුතු කෙරෙන්නේ කොහොමද කියල දන්නවද? මේ ක්‍රියාවලිය අපිට පුලුවන් කොටස් තුනකට බෙදන්න
  1. එකම බැංකුවක එකම ශාඛාවක් අතර ගණුදෙණු වෙන චෙක්පත්
  2. එකම බැංකුවක විවිධ ශාඛාවන් අතර සිදුවන චෙක්පත් ගණුදෙණු
  3. බැංකු ආයතන දෙකක් අතර සිදුවන චෙක්පත් ගණුදෙණු
අංක එක යටතේ සිදුවෙන ගණුදෙණුවක් නම් උදාහරණ ලෙස ලංකා බැංකුවේ පුද්ගලික ශාඛාවේ ගිණුම් හිමියෙකුට ඒ ශාඛාවේම චෙක්පතක් ලැබුනොත් ආදාල කාරණා ස්ම්පූර්ණ වෙනවානම්(ගිණුමේ මුදල් පැවතීම,ආදර්ශ අත්සන් නිවරදි වීම ආදී) ඒ මොහොතේදීම චෙක්පත මුදල් කරගැනීමට හෝ ගිණුමට තැන්පත් කර ගන්නට පුලුවන්.

අංක දෙක යටතට එන ගණුදෙණුවක් නම් උදාහරණ ලෙස ලංකා බැංකුවේ හාලිඇල ශාඛාවේ චෙක්පතක් ලංකා බැංකුවේම මරදාන ශාඛාවේ ගිණුමකට දැම්මොත් ඒක එදා දවසේ වැඩ ඉවරවෙන්න කලින්(සවස 3ත් 4.45ත් අතර) නිශ්කාශණ කටයුතු සිද්ධවෙනවා.

අංක තුන යටතට එන ගණුදෙණූ නම් උදාහරණ විදිහට ලංකා බැංකුවේ ගිණුම් හිමියෙකුට සම්පත් බැංකුවේ චෙක්පතක් ලැබුනොත් ඒක නිශ්කාශණය වෙන්නේ ඊලගට වැඩකරන දවසේ දවල් 2.30 පස්සේ (සිකුරාදා දවසක තැන්පත්  කලානම් සදුදා දවල් 2.30 පස්සේ තමා)

ඉස්සර නම් මේ ලංකාවේ හතරදිග්භාගෙම චෙක්පත් දිනපතාම කුරියර් සර්විස් මගින් කොළඹට ගෙන්න ගත්තා. යාපනය වගේ දුරපලාත් වල චෙක්පත් නිශ්කාශණය වෙන්න ගොඩක් කල්ගියා මොකද සියල්ල කොළඹටම ලැබිය යුතුනිසා. අද වෙනකොට මේ නිශ්කාශණ කටයුතු වලට වෙනම ආයතනයක් පිහිටුවා තිබෙනවා සීමාසහිත ලංකා ක්ලියර් (Lanka Clear) සමාගම ලෙසින්.
නිශ්කාශණ ක්‍රියාවලිය
අද වෙනකොට ලංකාවේ සෑම බැංකුවක්ම ලංකා ක්ලියර් වෙත තම චෙක්පත් යොමුකරන්නේ ස්කෑන් කරනලද ප්‍රතිම්භයන් ලෙසයි. ලංකා ක්ලියර් වසරකට ආසන්න වශයෙන් මිලියන පනහක චෙක්පත් නිශ්කාෂණ කටයුතු සිදු කරනවා. දෛනික පියවීම් කටයුතු අවසානයේ අඟරු චෙක්පත් නිවේදනත්(Cheque Return Notice - CRN)  ඔහුන් විසින්ම නිකුත් කරනු ලබනවා.
අපි බලමු චෙක්පතක මූලික කොටස්
  1. චෙක්පතේ දිනය (වි‍ශේෂයෙන් සදහනක් නොවේනම් දාතමේ සිට මාස හයකට වලංගුය) 
  2. බැංකුවේ නම සහ ශාඛාවේ නම
  3. හෝ රැගෙන එන්නාට යන විධානය
  4. ආදායකයාගේ නම
  5. චෙක්පතේ වටිනාකම ඉලක්කමෙන්  
  6. චෙක්පතේ වටිනාකම අකුරෙන්
  7. අණකරුගේ අත්සන
  8. චෙක්පත් අංකය
  9. චෙක්පත අයිති බැංකුවේ සංඛේත අංකය
  10. චෙක්පත අයිති බැංකු ශාඛාවේ සංඛේත අංකය
  11. චෙක්පත හිමියාගේ ජංගම ගිණුම් අංකය
  12. විද්යුත් කියවුම් දත්ත සහිත තීරුව
චෙක්පත් රේඛන වර්ග අඟරු වීමට බලපාන හේතු වගේම නිතර කරන වැරදිත් ඊලග කොටසින් ලියන්නම්.
මේ සම්බන්දයෙන් කියවන ඔයාලට ගැටලු වගේම දැනගන්න දෙයක් එහෙම ති‍යෙනවනම් අහන්න.

පසු සටහන
  • මම දැකපු අඩුම මුදලකට ආව චෙක්පතේ වටිනාකම ලෙස සටහන් වුනේ ශත 05 යි. 

ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි...