Monday, April 3, 2017

අපි නොදන්න චෙක්පත් - දෙවන කොටස

අපි නොදන්න චෙක්පත් පලමුවෙනි කොටසින් චෙක්පතක් කියන්නේ මොකක්ද කියලා වගේම චෙක්පතක මූලික කොටස් මොනවද කියලා මම සටහන් කලානේ. අද ලිපියෙන් චෙක්පත් රේඛණයන් ගැන හා වලංගු කාල සීමාවන් ගැන විස්තර කරන්න තමයි හදන්නේ.

සාමාන්‍ය විදිහට චෙක්පතක් ලිව්වා නම් ලිව්ව දිනයත් ඇතුලත්ව මාස හයක කාලයක් දක්වා වලංගු වන අතරම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට චෙක්පත ලිවූ දින සිට වසර දෙකක කාලයක් ඇතුලත හැකියාව තිබෙනවා. චෙක්පතක් රේඛණය කරනවා කියන්නේ මොකක්ද? ගොඩක් අය චෙක්එක ලියලා වම්පැත්තේ උඩ කෙලවරේ සමාන්තර ඉරිකෑලි දෙකක් ගහනවා දැකලා ඇති. ඒ හැරුණම සාමාන්‍ය හා විශේෂ කියලා රේඛණය කොටස් දෙකකට බෙදන්න පුලුවන්. චෙක්පතකට රේඛණයක් යොදන්නේ ඒමගින් චෙක්පතේ ආරක්ෂාව වැඩිකර ගන්නයි

අපි බලමු චෙක්පත් සදහා රේඛණයන් යොදන ආකාරය

  • ආදායකයාගේ ගිණුමට පමණයි

ඉහත චෙක්පතේ තියෙන්නේ ආදායකයාගේ ගිණුමට පමණයි(Account Payee only) කියලා. මේක නම් හැමවෙලාවෙම වගේ බහුලව යෙදෙන රේඛණයක්. මේකෙන් කියවෙන්නේ මේ චෙක්පතේ වටිනාකම ලබා ගන්න පුලුවන් වෙන්නේ චෙක්පතේ ආදායකයා වශයෙන් නම සදහන් වෙන තැනැත්තාට පමණයි. ඒ වගේම මේක බැංකුවේ කවුන්ටරයෙන් මාරුකර ගන්න බෑ. අනිවාර්යෙන්ම ආදායකයාගේ නමට තියෙන ජංගම ගිණුමක තැන්පත් කරලා මාරුකරගත යුතුයි.

  • ගණුදෙණු කල නොහැක
චෙක්පත් වලින් තියෙන වටිනාම ප්‍රයෝජනයක් තමයි තමන්ට ලැබුන චෙක්පත තමන්ගේ ගණුදෙණුවක් පියවන්නට තවත් අයෙකුට පිටසන් කර ලබාදීමට හැකිවීම. මේක ව්‍යාපාරිකයින් අතර හරිම ජනප්‍රිය ක්‍ර‍මයක් වුනත් සමහරුන් කැමති නෑ තමන් දුන්න චෙක්පතක් අතින් අත යනවට ඒවගේ උදවිය යොදන රේඛණයක් තමයි ගණුදෙණූ කල නොහැක.
මේක යෙදුවහම ඒ චෙක්පත වලංගු වෙන්නේ් මුහුණතේ නම සටහන්ව පවතින ආදායකයාට තම ගණුදෙණුව පියවා ගැනීම සදහා පමණයි.

  • උපරිම මුදලට සීමා පැණවීම

සමහර අවස්ථාවන් වලදී මුදල් අගයක් සටහන් නොකර චෙක්පත් ලබාදීමේදී ආරක්ෂාව තකා උපරිම මුදලක් රේඛණයක් ලෙසින් යෙදිය හැකියි. උදාහරණයක් ලෙස ඉහත චෙක්පතේ රුපියල් 14000/- නොයික්මවිය යුතුයි යනුවෙන් රේඛණයක් යොදා තියෙනවා. ඒවිට චෙක්පත ලද තැනැත්තාට චෙක්පතේ අගය ලෙස සටහන්කර මුදල් ගත හැක්කේ රුපියල් දාහතර දහසක් හෝ ඊ්ට අඩු අගයක් පමණයි

  •  වලංගුවන කාලය සීමා කිරීම

සාමාන්‍යයෙන් චෙක්පතක් වලංගු කාලසීමාව මාස හයයි. නමුත් සමහර අවස්ථාවල දින සීමාවන් පණවමින් චෙක්පත් නිකුත් කරනවා. බොහෝවිට රාජ්‍ය ආයතන වලින් කරනු ලබන ගෙවීම මෙලෙස දින සීමාවට යටත්ව නිකුත් කරනවා. ඉහත උදාහරණයේ පරිදි දින 30 60 90 වශයෙන් සීමාවන් යෙදීමට හැකියාව තිබෙනවා. එලෙස සදහන් දින ගණන පසුවුවහොත් ඒ චෙක්පත අඟරු චෙක්පතක් බවට පත්වනවා

  • විශේෂ රේඛණයන්
ඉහත ජායාරූපයේ තියෙන්නේ විශේෂ රේඛණයන්ගෙන් එකක්. මේකේ තියෙන විදිහට මේ චෙක්පත අනිවාර්යෙන්ම ලංකා බැංකුවේ මැල්සිරිපුර ශාඛාවේ ආදායකයා නමින්ම ඇති ගිණුමක තැන්පත් කිරීමෙන් පමණක් මුදල් ලබාගැනීමට පුලුවන්. වෙනත් කිසිදු ආකාරයකට මුදල් ලබා ගත නොහැකියි. නැතහොත් චෙක්පත යලිත් අණකරුවෙත ලබාදී වෙනත් චෙක්පතක් ලබා ගැනීම හෝ යොදා ඇති රේඛණය අවලංගු කරගත යුතුයි.

රේඛණයන් අවලංගු කරවා ගැනීම

 සෑම චෙක්පතකම රේඛණයන් අවලංගු කරගත හැකි අවස්ථාවන් දෙකක් පවතිනවා 
  • චෙක්පත ලිවු තැනැත්තා හෝ අායතනය මගින්
ආදායකයාගේ ගිණුමට පමණයි යණුවෙන් සදහන් රේඛණය ඉවත් කර ගැනීමට නම් චෙක්පත ලිව්ව පුද්ගලයා විසින් රේඛණ්‍ය අවලංගුයි(Crossing cancel) යනුවෙන් ලියා යලිත් සිය ආදර්ශ අත්සන යෙදිය යුතුයි එවිට රේඛණය බලාත්මක වන්නේ නැහැ.
උපරිම දින සීමාවක් සදහන් චෙක්පත් වල කාලය දිගු කරවා ගැනීමට පුලුවන්. ඉහත පරිදිම චෙක්පත ලිව්ව පුද්ගලයා හෝ ආයතනය විසින් චෙක්පතේ උපරිම දිනය ඉක්මවා යෑමට පෙර දිනය දීර්ඝ කර අවශ්‍ය අත්සන් යලිත් වරක් චෙක්පතෙහි යෙදිය යුතුයි. 

ඉහත උදාහරණයේ චෙක්පත 12/11/2015 නිකුත්කලත් එය ලබාගත් තැනැත්තාට දින තිහක් තුල තැන්පත් කිරීමට නොහැකි වන නිසා යලිත් 12/12/2015 සිට තවත් දින 30 සදහා දීර්ඝ කරදී තිබෙනවා. නමුත් මතක තබා ගන්න මෙම දීර්ඝ කිරීම සිදුවිය යුත්තේ චෙක්පත් දිනය පසුවන්නට පෙරයි. 13/12/2015 මෙය දීර්ඝ කලා නම් චෙක්පත අඟරු වෙනවා


  •  තැන්පත් කල බැංකුව මගින්

ඔබ සිතන්නේ රේඛණයන් සිදුකරන්නේ ගණුදෙණුකරුවන් පමණක් කියලාද? නැහැ බැංකුව විසිනුත් චෙක්පත් වල රේඛණයන් සිදුකරනවා එය නිශ්කාෂණ මුද්‍රාව(Clearing Stamp) යනුවෙන් හදුන්වනු ලබනවා.

ඉහත චෙක්පතෙහි යොදා ඇත්තේ එම මුද්‍රාවයි. ස්කෑන් කරණු ලබන චෙක්පත් ප්‍ර‍තිම්භයන් ලංකා ක්ලියර් ආයතනයට යැවීමේදී ශාඛාවේ අනන්‍යතාවය තහවුරුකිරීම සදහා බැංකුවේ නමත් ශාඛාවේ නමත් සහ ශාඛාවේ අංකය සහිත මුද්‍රාවක් යොදනු ලැබේ. ඉන්පසුව එම චෙක්පත කිසිදු විටක වෙනත් බැංකුවකට යොමු කිරීමට නොහැකිය. සාමාන්‍යයෙන් අපි චෙක්පත් එකතු කරන්නේ එකම වේලාවකට නොවන අතර සෑමදිනකම පැයෙන් පැයට චෙක්පත් ලබාගෙන ඒසදහා නිශ්කාෂණ මුද්‍රාවන් යොදා නිශ්කාෂණ ක්‍රියාවලියට යොමුකරවනු ලැබේ. එම නිසා හදිසියේවත් තැන්පත් කල චෙක්පතක් යලි ගෙනයාමට ගණුදෙණුකරුවකුට අවශ්‍ය උවහොත් "සියලුම නිශ්කාෂණ මුද්‍රාවන් අවලංගුයි" (All Clearing crossings Cancel) යන මුද්‍රාව තබා එහි නිශ්කාෂණ කටයුතු භාර නිළධාරියා හෝ වෙනත් බළලත් අයෙකු විසින් තම අත්සන යොදා ලබාගත යුතුයි.

ඊලග කොටස් වලින් චෙක්පත් ලියද්දී බහුලව කරන අතපසුවීම්, චෙක්පත් අඟරු වෙන්න බලපාන හේතු, අඟරු චෙක්පත් නිවේදනය(CRN) වගේම සංචාරක චෙක්පත් ගැනත් පැහැදිලි කරන්නම්.



පසු සටහන

  • මම මෙහි විස්තර කලේ අවශ්‍යමයි කියලා හිතුන රේඛණයන් විතරයි.  නමුත් කියවන ඔයාලට චෙක්පත් සම්බන්දයෙන් දැනගන්න දෙයක් එහෙම තියෙනවානම් හරි නොපැහැදිලි තැනක් එහෙම තියෙනවානම් අහන්න

ඒ වගත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ ........

8 comments:

  1. චෙක්පත් එක්ක වැඩිය සම්බන්ධ කමක් නොතිබුණත් කොහේදී කොතැනක හෝ වැදගත් වෙන අවස්ථා එමටයි.....වටිනා ලිපියක් සුදුපූසෝ.....ජය වේවා

    ReplyDelete
  2. Poosa meka mata poos niwahanedee pera dinayaka adaraen kiyaa dunna mathakai. Sakala siyalu sathwayinge suwa setha patha post karapu eka nam hondai pooso.

    ReplyDelete
    Replies
    1. සංචාරක චෙක්පත් ගැන විතරයි කියලා දෙන්න බැරිවුනේ

      Delete
  3. කලින් ලිපිය

    lanka clear ලංකා බැංකු මූලස්ථානයේ 23 වන මහලේ පිහිටා තිබෙනවා.

    23 නෙමෙයි 18

    ReplyDelete
  4. Chek path horakam krala maru krnna puluwan da.. ehma unam nadu dala aya krannapuluwan da..

    ReplyDelete
    Replies
    1. චෙක්පොතක් හොරකම් කලාට වැඩක් නෑ ආදර්ශ අත්සන නැතුව
      චෙක්පොත නැතිවූ බවට දැන්වූ විගසින්ම එම චෙක්පොතට අදාල චෙක්පත් අංක අවලංගු කරන්න පුලුවන්

      Delete