Friday, July 28, 2017

කජුකැලය හරහා මතක කැම්පස් කටුබැද්ද සිව්වන දිගහැරුම -සුභා,ෆැෂන් ඩිසයින් සහ නික්මයාම

පළමු දිගහැරුම
දෙවන දිගහැරුම

තෙවන දිගහැරුම
ජාතියේ මහා පහන්ටැබේ රාජකාරී කල කාලය පිලිබදව තරම් යලිත් අතීතයට ගොස් ආවර්ජනය කිරීම තරම් සතුටක් ලේසියෙන් අත්වන්නේ නැතිතරම්ය. ඒ ගතකල කාලය ඉතාමත් සොදුරුය. මේ දවස්වල යලිත් මගේ මතකය කැරකෙමින් පවතින්නේ මොරටුව කටුබැද්දේය. තේරෙන භාෂාවකින් කියනවානම් මොරටුව විශ්වවිද්‍යාලය තුල ගත කල කාල සීමාවේ මතකයයි. ඉතිරි වී ඇත්තේ ඒ හා බැඳුණු මිහිරි හා අමිහිරි මතකයන් කිහිපයක් සිහිකිරීම පමණි. 

මගේ මතකයෙන් කිසිදිනක නොමැකෙන චරිතයක් වූවේ එකල ප්‍රධාන වෛද්‍යතුමියයි. ඇයගේ කියුම් කෙරුම් මීට පෙර ලිපියක සදහන් කලත් මෙයද නොකියාම බැරිය. එක්තරා දිනෙක මා යනවිට සරසවියේ සිසුවෙකු ඉතා වැදගත් ශරීරාංගයක් තුවාල වී ප්‍රතිකාර ගන්නට ඇවිල්ලාය. මානවකයා පවසන්නේ විනෝද චාරිකාව අතරතුර සියඇල්ල නැරබීමට යාමේදී පය ලිස්සා ගලක ඇතිල්ලීම නිසා මේ තුවාලය සිදුවු බවයි.

ඔහු සමග පැමිණි මිතුරන්ගෙන්ද විමසූ විට ඔහුන්ද සිසුවාගේ කියමන තහවුරු කල අතර ප්‍රධාන හෙද නිලධාරිවරයා බෙහෙත් දමමින් සිටියේය.
මේක නම් මේ ගලක ඇතිල්ලිලා වෙච්ච දෙයක් නම් නෙවෙයි මේකට වෙන හිස්ට්‍රියක් තියෙනවායැයි අපට පැවසූ දොස්තර නෝනා  යලිත් තුවාල ලද මානවකයාගෙන් ඇත්ත කියන්න යැයි පැවසූවිට ඔහු යලිත් පෙර හේතුවම පවසා සිටින්නට විය. 

එවිට මදක් කල්පනා කල වෙදදුරුතුමිය සියල්ලන්ටම ඇසෙන සේ ඇසුවේ "ඈ දරුවෝ ඔය කියන ගලට අත් දෙකකුයි කකුල් දෙකකුයිත් තිබුනාද පුතේ කියාලාය". එය ඇසූ සියල්ලන්ගේම මුවට සිනහව නැගුනු අතර මානවකයා පමණක් ලැජ්ජාවෙන් ඇබරෙන්නට විය.
*******
එකල කටුබැද්දේ රාජකාරී කල කාලයේ මමද මල් කඩමින් කාලය ගත කල සමයක් වූ අතර එයට උපරිම නිදහස පැවති ස්ථානයක් ලෙස මෙය මම නොබියව ප්‍රකාශ කරමි. මගේ මල්කැඩීමේ සහායිකාවද එකල අපොස උසස්පෙලට මුහුණදී විශ්වවිද්‍යාල වරම් බලාපොරොත්තුවෙන් පසුවූවාය. ඇයව සුභා ලෙසින් මම හදුන්වමි. එම වසරේ විශ්වවිද්‍යාල අත්පොත නිකුත් කල දිනම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් රැගෙන ආවේද පලමු වරට අන්තර්ජාලය මගින් අයදුම්පත යොමුකලේද මා විසිනි. 
දිවංගත අධ්‍යාපන අමාත්‍ය C.W.W කන්නංගර මැතිතුමාගේ සංකල්පයකට අනුව අරබන ලද පලමු මධ්‍ය විදුහල් පහෙන් එකක අධ්‍යාපනය හැදෑරු ඇය අධ්‍යාපන පහසුකම් අතින් දුෂ්කර යැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම විසින් සදහන් කර ඇති වියලි කලාපයේ දිස්ත්‍රික්කයකට අයත් නිසා ඇයගේ ඉසෙඩ් අගය ප්‍රමානවත් වූ අතර එවර අධ්‍යන වර්ෂය සදහා අවම කඩයිම් ලකුණු නිකුත් කලදා නිසකවම ඇය වඩාත් කැමැත්තෙන් සිටි විලාසිතා නිර්මාණවේදය පාඨමාලාවටම සුදුසුකම් ලබා ඇති බව දැන්වූවාය. මා හොදින් දන්නා මිතුරියක් එම පාඨමාලාවේම තෙවන වසරේ සිටි නිසා ඇය සුභාට අවශ්‍ය උදව් කිරීමට පොරොන්දු වූවාය.

කාලය ගත වන විට මා හට රාජකාරීමට වශයෙන් හා අධ්‍යාපනික වශයෙන් නොසිතූ ගැටලු කිහිපයකට මුහුණදීමට සිදුවූ අතර තෙමසක් පමණ කටුබැද්දෙන් ඉවත්වී ප්‍රධාන කාර්යාලයේ සේවයට ගිය අතර තවත් මසක් අධ්‍යන කටයුතු සදහා සම්පූර්ණයෙන්ම නිවාඩු ලදිමි. ඒ අතරතුර එක්වරම ඇය වෙනස්වන්නට ගත්තේ සිතා ගැනීමටවත් නොහැකි ආකාරයෙනි. සමාජ ජාල වලින් මා අවහිර වන්නට වූ අතර කෙටි කලකින් දුරකතන අංක අවහිර වන්නටද විය. මා හට මෙය මහත් ප්‍රෙහේලිකාවක්වූ අතර කුමක් වූවාදැයි මම නොදනිමි. අදටත් ඇයට සිදුවූ දෙය පිලිබදව මම කල්පනා කරමි. ඇතිවූ කණස්සල්ල නිසා සතියක් පමණ නිවාඩු ගෙන නිවසට වී සිටියේ සිත්වේදනාව දැඩි වූ නිසාය. ඇය පිලිබදව මගේ දෙපාර්ථමේන්තු ප්‍රධානී ජේෂ්ඨ කලමණාකාර ජනක මහතා දැනසිටියේය ඒ දිනක් ඇයගේ ව්‍යාපෘතියකට අවශ්‍ය අමුද්‍රව්‍ය සෙවීමට ගොස් සිටියදී පිටකොටුවේ මයුරා විදීයේදී අප මුණගැසීම නිසාය.
සිදුවුයේ කුමක්දැයි දැන ගැනීමට මුණගැසී කතා කරන්නට කිහිප වතාවක්ම උත්සහාකලත් ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූවාය. ඇයට මගේ නමට ලබාදී තිබූ සිම්පතද මම අවලංගු කර දැමුවේ ඇයගෙන් ප්‍රතිචාරයක් නොවූ තැනය. අවසානයේ මිතුරන්ගේ අවවාද උපදෙස් නිසා හිත හදාගත් මම තීරණයකට ආවෙමි.එනම් තව දුරටත් මොරටුව විශ්වවිද්‍යාල ශාඛාවේ හිතට එකගව කටයුතු කල නොහැකි නිසා යලිත් ස්ථාන මාරු අයදුම්කර කලින් සිටි දෙපාර්ථමේන්තුව වෙත යලි එන්නටය. මා වෙනුවෙන් ක්‍රිෂාන් කටුබැද්දට පැමිණි නිසා එක් සිකුරාදාවක සියලු මතකයන් රදවාගෙන කටුබැද්දෙන් නික්ම ආවෙමි. 
*******
මේ සිදුවීමෙන් අඩ වසරකට පමණ පසු අප්‍රේල් මස පැවැති අධ්‍යාපනික ප්‍රදර්ශනය නැරබීමට ගිය අතරතුරදී යලි වතායක් මම ඇයව දුටු නමුත් නොදුටුවාක් මෙන් මම එතැනින් නික්ම ආවෙමි.


කජුකැලේට පායුපු හඳ ලස්සනයිද කියන්න
හොස්ටල් එකේ සිට බැලුවත් තිබුනේ එයයි පෙනෙන්න
නොදැනිම අමතක වුනානේ නුඔට ඒගැන සිතන්න
මතකයේ රැදි රැවක් අද සිටියා මොරටුවෙදී දකින්න

වහිනා කල සරසවියට කුඩය යටින් යැවෙන්න
මගේ තනියට ආපු නුඔත් දැන් නැහැනේ පෙනෙන්න
ලතා මඞුළු අත වැනුවම සිතුනද අත් හරින්න
මරු වැල් වල පැටලුන විටදි සිතුනද හැරිලා දුවන්න


පාසල් බිම අතහැරලා ගෙන්දගමේ පය ගසන්න
එන විට නුඹ බැලුවේ හොඳම තැනට බැඳෙන්න
අන් අය ගැන නොතකාලා ජීවිත ගොඩ නගන්න
පලමුව නුඹට දිගු කල දෑතට කෙලියා නේද රිදෙන්න



උබේ මතකය ගුලි කරලා බොල්ගොඩ ගඟේ ගිලෙන්න

දැම්මත් එය පාවෙලා අද කටුබැද්දේ තිබුන දකින්න

මා ලඟ කිසිවක් යලි නැත උඹ වෙනුවෙන් පුදන්න
ඉඩ දෙනවද උඹට හොද ටොක්කක් අනින්න


කටුබැද්දේ මතකය ගැන කියාගෙන පැමිණි කතා පෙල අනුව තවත් කතා කිහිපයක්යම ඉදිරිපත් කල යුතු වුවත් සිතට එකගව තවදුරටත් කටුබැද්දේ මතකය අවදිකිරීම සිත්වේදනා ගෙන දෙන්නක් බැවින් මේ ලිපියත් සමග කජුකැලය හරහා කටුබැද්ද මතක කතාමාලාවට තාවකාලික විරාමයක් තබමි. පසුකලක ඉතිරිය ඉදිරිපත් කිරීමට අදහස් කරගෙන සිටිමි. 

පසු සටහන

  • මෙහි එන චරිත නාමයන් සෑම විටම කල්පිත චරිතනාමයන්ම වන අතර සිද්ධීන් පමණක් සත්‍ය වෙයි.
  • මා හට අවශ්‍ය අධ්‍යන නිවාඩු හා කෙටි නිවාඩු කිසිදු විමසීමකින් තොරවම අනුමත කරදුන්නාවූද අකාලයේ දෙවියන් වහන්සේ බැහැදැකීමට පිටත්වූ නැසීගිය ජේෂ්ඨ කලමණාකාර ජනක් මහතාවද ආදරයෙන් සිහිකරමි.


ඒ වගත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ......