Wednesday, March 15, 2017

අපි නොදන්න චෙක්පත් - පලමු කොටස

ජීවිතේ කවදහරි දවසක ඔයාලටත් මොකක්හරි දේකට චෙක්පතක් ලැබිලා ඇතිනේද? එහෙමත් නැත්නම් ඔබ චෙක්පත් මගින් ගෙවීමක් සිදුකරලා තියෙනවා වෙන්නත් පුලුවන්. ඔයාගේ නමට ලැබුණ චෙක්පත බැංකුවේ කවුන්ටරයට ගෙනිහින් මුදල් බවට පත්කරගෙන හෝ ගිණුමට තැන්පත්කරලා මුදල් අරගෙනත් ඇති නමුත් ඒ පිටිපස්සේ තියෙන විශාල ක්‍රියාවලිය ගැන ඔයාල ටිකක් හරි දැනගෙන සිටියාද? 
මම චෙක්පත් සම්බන්දව කාලයක් තිස්සේ කටයුතු කරන හින්දා අපේ ගණුදෙණූකරුවෝ කරන වැරදි ගොඩක් නිරීක්ෂණය කරලා තියෙනවා. දැනට මේ ඉන්න තැනට සාමාන්‍ය දවසක නම් චෙක්පත් 250-300 අතර ප්‍ර‍මානයක්ද වැටුප් හා වැටුප් අත්තිකාරම් ආසන්න දවස්වලට චෙක්පත් 850 ත් 1000ත් අතර ප්‍ර‍මානයක් දෛනිකව දැබෙනවා උනත් හැමදාමත් චෙක්පත් 70ත් 100ත් අතර ගණනක් අඟරු(Return) වෙනවා.ඒක හින්දා චෙක්පත්වල ඉතිහාසය වගේම නිතර කරන වැරදිත් මේ ලිපි පෙලෙන් කියන්න මම අදහස් කරනවා.
චෙක්පත් නිකුත් කරන්නේ ජංගම ගිණුම් සදහා පමණක් වන අතර එය පුද්ගලික ජංගම ගිණුම් සහ ව්‍යාපාරික ජංගම ගිණුම් ලෙස ප්‍ර‍ධාන වශයෙන් කොටස් දෙකකට බෙදා තිබෙනවා. ජංගම ගිණුම් ව්‍යාපාරිකයින්  සදහා ඉතා වැදගත් ගිණුම් වර්ගයකි. මුදල් මගින් ගනුදෙනු කරනු වෙනුවට චෙක්පත් මගින් ගනුදෙනු කිරිමට මෙම ගිණුම් තුල අවකාශ ලැබී ඇත. එමගින් තම මුදල් සදහා වැඩි ආරක්ෂාවක් හිමිවේ. ව්‍යාපාරික ජංගම ගිණුම් ඇරඹිමට ආයතනය ලියාපදිංචි කර ති‍බිම වදගත් අතර එවිට එහි නමින් ජංගම ගිණුම් පවත්වා ගෙන යා හැකිය. ජංගම ගිණුම් වල තැන්පතු සදහා බැංකුව විසින් කිසිදු පොලියක් නොගෙවන අතර බැංකුව විසින් ජංගම ගිණුම් සදහා පමණක් සපයන  අනෙකුත් සේවාවන් සදහා සේවා ගාස්තුවක් අය කෙරෙන අතර සමහර බැංකු ශේෂය යම් අවම ම්ට්ටමට වඩා අඩුවෙන් ඇති විටද සේවා ගාස්තුවක් අය කරයි. ප්‍රමාණවත් තරම් ශේෂයක් නොමැති විට නිකුත් කරන ලද චෙක්පත සදහා ගෙවීම් කිරිම බැංකුව ප්‍රතික්ෂේප කරන අතර එවැනි ‍අගර‍ැ වෙක්පත් සදහා ‍අගර‍ැ වෙක්පත් ගාස්තුවක්ද අයකෙරේ. බැංකුව විසින් සැම මාසයක් අවසානයේදි ගිණුම් හිමියා වෙත එම මාසය තුල සිදුවු ගනුදෙනු පිලිබදව විස්තරයක් නිකුත් කරනු ඇත. ලංකා බැංකුවේ ජංගම ගිණුම් ඇරඹීමට අදාල අවම අගයන් පහත පරිදි නියමකර තිබෙනවා


ශාඛා වර්ගය                     ව්‍යාපාරික ජංගම          ගිණුම්                              පුද්ගලික                                                  ජංගම ගිණුම් 

අධි ශ්‍රේණිය 15,000 10,000
‘A’ ශ්‍රේණිය 15,000 5,000
‘B’ ශ්‍රේණිය  10,000 5,000
‘C’ ශ්‍රේණිය 5,000 2,500

මීට අමතරව මූලස්ථාන ආයතනික ශාඛාවේ ඕනෑම ජංගම ගිණුමක අවම තැන්පතුව රුපියල් ලක්ෂයක් ලෙසද පුද්ගලික ශාඛාව මහනුවර අධිශ්‍රේණි හා පිටකොටුව ශඛාවන් සදහා අවම තැන්පතුව රුපියල් විසිපන්දහසක් ලෙසද නියමකර තිබෙනවා (මේ අවම තැන්පතු අගයන් ලංකා බැංකුවේ ජංගම ගිණුම් සදහා පමණයි) 

මේ ලෝකේ හා හාපුරා කියලා චෙක්පත් පාවිච්චිය ආරම්බ කරලා තියෙන්නේ 1659 තරම් ඈත කාලයේ එංගලන්තයේ Bank of England කියන ආයතනයකින්. ඒක අද කාලේ වගේ ලස්සනය මුද්‍ර‍ණය කරපු විධිමත් ආකාරයේ චෙක්පතක් නෙවෙයි.අද පවතින ආකාරයට සමාන වෙන්න මුද්‍ර‍ණය කරපු චෙක්පත් භාවිතය ආරම්බ වෙලා තියෙන්නේ 1717 දී එංගලන්තයේ ලන්ඩන් නුවරදී. 
ලොව පලමු චෙක්පත

මේ චෙක්පත් වල නිශ්කාෂණ(Clearing) කටයුතු කෙරෙන්නේ කොහොමද කියල දන්නවද? මේ ක්‍රියාවලිය අපිට පුලුවන් කොටස් තුනකට බෙදන්න
  1. එකම බැංකුවක එකම ශාඛාවක් අතර ගණුදෙණු වෙන චෙක්පත්
  2. එකම බැංකුවක විවිධ ශාඛාවන් අතර සිදුවන චෙක්පත් ගණුදෙණු
  3. බැංකු ආයතන දෙකක් අතර සිදුවන චෙක්පත් ගණුදෙණු
අංක එක යටතේ සිදුවෙන ගණුදෙණුවක් නම් උදාහරණ ලෙස ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ ගිණුම් හිමියෙකුට ඒ ශාඛාවේම චෙක්පතක් ලැබුනොත් ආදාල කාරණා සම්පූර්ණ වෙනවානම්(ගිණුමේ මුදල් පැවතීම,ආදර්ශ අත්සන් නිවරදි වීම ආදී) ඒ මොහොතේදීම චෙක්පත මුදල් කරගැනීමට හෝ ගිණුමට තැන්පත් කර ගන්නට පුලුවන්.

අංක දෙක යටතට එන ගණුදෙණුවක් නම් උදාහරණ ලෙස ලංකා බැංකුවේ හාලිඇල ශාඛාවේ චෙක්පතක් ලංකා බැංකුවේම මරදාන ශාඛාවේ ගිණුමකට දැම්මොත් ඒක එදා දවසේ වැඩ ඉවරවෙන්න කලින්(තැන්පත් කල මොහොතේ සිට 4.30 අතර) නිශ්කාශණ කටයුතු සිද්ධවෙනවා.

අංක තුන යටතට එන ගණුදෙණුවක් නම් උදාහරණ විදිහට ලංකා බැංකුවේ ගිණුම් හිමියෙකුට සම්පත් බැංකුවේ චෙක්පතක් ලැබුනොත් ඒක නිශ්කාශණය වෙන්නේ ඊලගට වැඩකරන දවසේ දවල් 2.30 පස්සේ (සිකුරාදා දවසක තැන්පත්  කලානම් සදුදා දවල් 2.30 පස්සේ තමා)

ඉස්සර නම් මේ ලංකාවේ සතරදිගන්තෙම චෙක්පත් දිනපතාම කුරියර් සර්විස් මගින් කොළඹට ගෙන්න ගත්තා. විශේෂයෙන් යුද්ධය පැවති මුල්සමයේ යාපනය වගේ දුරපලාත් වල චෙක්පත් නිශ්කාශණය වෙන්න ගොඩක් කල්ගතවුනා මොකද ඒ චෙක්පත් සියල්ලම සජීවීව කොළඹටම ලැබිය යුතුනිසා. අද වෙනකොට මේ නිශ්කාශණ කටයුතු වලට වෙනම ආයතනයක් පිහිටුවා තිබෙනවා සීමාසහිත ලංකා ක්ලියර් (Lanka Clear) සමාගම ලෙසින්. එය ලංකා බැංකු මූලස්ථානයේ 23 වන මහලේ පිහිටා තිබෙනවා.
නිශ්කාශණ ක්‍රියාවලිය
අද වෙනකොට ලංකාවේ සෑම බැංකුවක්ම ලංකා ක්ලියර් වෙත තම චෙක්පත් යොමුකරන්නේ ස්කෑන් කරනලද ප්‍රතිම්භයන් ලෙසයි. ලංකා ක්ලියර් වසරකට ආසන්න වශයෙන් මිලියන පනහක චෙක්පත් නිශ්කාෂණ කටයුතු සිදු කරනවා. දෛනික පියවීම් කටයුතු අවසානයේ අඟරු චෙක්පත් නිවේදනත්(Cheque Return Notice - CRN)  ඔහුන් විසින්ම නිකුත් කරනු ලබනවා.
අපි බලමු චෙක්පතක මූලික කොටස්
  1. චෙක්පතේ දිනය (වි‍ශේෂයෙන් සදහනක් නොවේනම් දාතමේ සිට මාස හයකට වලංගුය) 
  2. බැංකුවේ නම සහ ශාඛාවේ නම
  3. හෝ රැගෙන එන්නාට යන විධානය
  4. ආදායකයාගේ නම
  5. චෙක්පතේ වටිනාකම ඉලක්කමෙන්  
  6. චෙක්පතේ වටිනාකම අකුරෙන්
  7. අණකරුගේ අත්සන
  8. චෙක්පත් අංකය
  9. චෙක්පත අයිති බැංකුවේ සංඛේත අංකය
  10. චෙක්පත අයිති බැංකු ශාඛාවේ සංඛේත අංකය
  11. චෙක්පත හිමියාගේ ජංගම ගිණුම් අංකය
  12. විද්යුත් කියවුම් දත්ත සහිත තීරුව
චෙක්පත් රේඛන වර්ග අඟරු වීමට බලපාන හේතු වගේම නිතර කරන වැරදිත් වගේම සංචාරක චෙක්පත් ගැනත් ඊලග කොටස් වලින් ලියන්නම්.
මේ සම්බන්දයෙන් කියවන ඔයාලට ගැටලු වගේම දැනගන්න දෙයක් එහෙම ති‍යෙනවනම් අහන්න.

පසු සටහන
  • මම දැකපු අඩුම අගයකට රිටන් උන චෙක්එකේ අගය ශත විස්සයි.
  • තමන්ගේ අත්සන තමන්ටම මතක නැතුව එන ගණුදෙණුකාර මහත්වරුත් නැතුවම නෙවෙයි..

ඒ වගත් මෙසේම අද චැක්පොත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ......

Wednesday, March 1, 2017

මල්සරාගේ කතාවස්තුව

දඩාස් ගාල මොකද්ද වැටෙනවා වගේ සද්දයක් ඇහිලා නිදාගෙන හිටපු මාව උඩගිහින් බිම වැටුණා. වෙලාව පාන්දර දෙකත් පහුවෙලා යකෝ මේ මහ රෑ ගේ ඇතුලෙන් සද්දයක් ඇහෙන්නේ ගෙට හොරෙක් පැන්නවත්ද? කෑගහන්නත් හදලා කෝකටත් බලන එක හොදයිනේ කියලා ඇදෙන් බැහැලා ඇවිල්ලා වටපිට බැලුවාග බලපුවම කාමරේ ජනේලෙ වහලා නැතුව හුලගට බිත්තියේ වදිනවා ඒක දැක්කම තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ. එතකොටමයි මතකෙට ආවේ මම ජනේලේ ලොක් කරලනේ නිදාගන්න ගියේ එහෙවු ජනේලේ කොහොමද ඇරුණේ.. ඕන දෙයක් වෙච්චාවේ කියලා ගිහින් ජනේලය වැහුවා. මේන්න බොලේ එතකොටම කවුදෝ එකෙක් මගේපිටිපස්සෙ ඉන්නව ඉන්නවා වගේ. හැරිලා බැලුවම කලුවට කලුවේ අඟුරු කැටයක් වගේ එකෙක් විරිත්තගෙන ඉන්නවා
තමුසේ කවුද ? ගොත ගගහා මම ඇහවා. මේන්න මේකා අඩන්න ගත්තේ නැතැයි පොඩි එකෙක් වගේ මම ආයෙත් ඇහුවා නෝ රිප්ලයි. කෝකටත් කියලා ගිහින් දැම්මා ලයිට් එක. ඒ දැක්ක දේට මාව උඩගියා

ඇමරිකාවේ ඔබාමා ඇදලා අයින් කරපු ඉරිච්ච ඩෙනිමකුයි ලංකාවේ රැප් කාරයෙක්ගෙන් ගත්තු ටීශර්ට් එකකුයි ඇදගෙන මදිවට රොකට් ලොන්චරයක් පිටේ එල්ලගෙන. පපුව පුරා අත්බෝම්බයි පතුරම්වැලුයි පුදුම වෙපන් ගොඩක් ෂුවර් එකටම බින්ලාඩන් ගේ හරි අයිඑස් කාරයන්ගේ ගෝලයෙක්ද මන්දා මුට මගෙ ගෙදර පුපුරවලා මොනවද හම්බවෙන්නේ

තමුසේ කවුද ඕයි මම ආයේ ඇහුවා

ඔන්න ඕකනේ අයිසේ තමුසෙලට දැන් සිංහල සිරිත් විරිතුත් අමතකයි. ඉස්සරනම් කියන්නේ ලංකාවේ ඉන්න උන් හොදට ආගන්තුක සත්කාර දන්නවා කියලා ඒත් තමුසේ මට ඉදගන්න කිව්වේවත් නෑනේ  මම මෙච්චර දුර ඉදලා ඇවිල්ලත් 

යකෝ මූ ලේසි පහසු එකෙක් නම් නෙවෙයි වගේ. ඉතින් ඕයි මේ යක්කු ගස්යන වෙලාවට මටත් හොරෙන් මගේ කාමරේට පැන්න තමුසේ වගේ හොරෙකුට වාඩි වෙන්න කියන්න මට පිස්සු කියලා හිතුවද? තමුසේ පිරිභාහරන්ගේ ගෝලයෙක්ද? නැත්තම් අයිඑස් කාරයෙක්ද?

පිස්සුද ඕයි මම තමයි අනංගයා
මාව උඩගියා මූ කොහොමද මල්සරා වෙන්නේ ඒත් කමක් නෑ අත ලගටම ආපු වෙලාවේ මේකට කියලා වැඩක් කරගන්න  පුලුවන්නේ කියලා හිතලා මම කිව්වා සොරි සොරි ආයෙ මොකද හිටගෙනඉන්නේ සුදුසු තැනක් බලලා ඉදගන්න කියලා මමත් අනිත් පුටුව ඇදගෙන වාඩිවුනා. අපි අහලා තිබුණ විදිහටනම් මල්සරා අරගෙන යන්නේ දුන්නයි මල් ඊතලයි නේද? අනික මේ ඇදුම මම හිමීට හිතේ තිබුණ සැක ඇරගන්න ප්‍ර‍ශ්ණ පත්තරේ දිග ඇරියා.

අයියෝ ඒකවත් දන්නේ නැද්ද? මේක විසිඑක්වෙනි සියවසනේ තාක්ෂණ යුගය එහෙව් එකේ දැන් දුණු ඊතල වලින් තියලා වැඩක් නැහැ නවීන තාක්ෂණය යොදා ගන්න ඕනේ. 

දැන් මොකද එකපාරටම ලංකාවට ආවේ?

අපේ ගෑනි ෂොපින් යන්න එන්නේ ලංකාවටනේ මල්ලී. පෙරේදා යනවා කියලා ගියා ගියාමයි ආවේ නෑනේ. ඒකයි මේ හොයන්න කියලා ආවේ.

ඇයි දෙයියනේ එහෙ දිව්‍ය සලුපිලි වගේම ලස්සන ලස්සන මල් ජාති එහෙම තියෙනවලු නේද?

පිස්සු කතාකරනවා ලංකාවේ කට්ටියක් මෙහෙට ආවනේ. ආව ගමන්ම උන් තිබුන ගස්ටික කපන්න පටන්ගත්තා අන්තිමේදී එකම ගහක්වත් නැතිවෙලා ගියා. දැන් ඒක හින්දා ඇමරිකාවෙන් ජපානෙන් ප්ලාස්ටික් ගසුයි මලුයි ගෙන්නලා තියෙන්නේ. ඒක නෙවෙයි මම අහන්නම හිටියේ මොකද මේ සායවල් කොට වෙන්න වෙන්න ගණං වැඩි?

මෙහෙමනේ ඕවට ගණං දාන්නේ රෙදිවල ප්‍ර‍මානෙට නෙවෙයිනේ, ඒක ඇන්දහම පේන ශරීර ප්‍ර‍මානය  අනුවනේග අනික මෙහෙ තියෙන විදුලිබිලයි වැඩකරන අන්ගේ පඩියි ඔක්කොම එකතු කරලා තමයි බිල දාන්නේ.
ඇත්තටම මම අහන්නමයි උන්නේ අපේ ලංකාවේ මගෝඩිස්තුමාලා පිංකරලද එහෙට යන්නේ?

ඒක ඇහුවා විතරයි මෙන්න මේකා හිනාවෙන්න තියාගත්තා. ඇත්තටම තමුසේ ලංකාවේ නෙවෙයිද ජීවත්වුනේ. මගෝඩිස්ලා පිං කරපු අය නෙවේ. යම රජ්ජුරුවන්ටයි අපේ ලොක්කටයි පගාව දීලා දිව්‍යලෝකෙට පැනගෙන දැන් එන හැමඑකාම පගාවක් දීලා හරි පස්සේ ගෙවීමේ ක්‍ර‍මයට හරි දිව්‍යලෝකෙට රිංග ගන්නවා. එහෙම ආපු උන් වෙන තැනකට යන්නත් කැමති නෑ දැන් යම ලෝකෙනුත් කෑල්ලක් බද්දට ගන්න හදන්නේ ඉඩ නැති හින්දම. ඒත් ප්‍ර‍ශ්නෙ වෙලා තියෙන්නේ යමයෝ ස්ට්‍ර‍යික් කරනවලු අපායට සෙනග එන්නේ නෑ කියලා.

අනංගයා ගෙදරටම ආව වෙලාවේ ට්‍රයි කරන ගෑණු ලමයා සෙට් කරගන්න හිතලා මම මිනිහට කිව්වා අනේ මේ මට පොඩි උදව්වක් කරන්නකෝ කියලා 

මල්ලි මම මගේ ගෑණි හොයාගන්න බැරුව ඉන්නවා ඔයා මෙහේ මඟුලක් කතා කරන්න කියනවා. හ්ම් කමක්නෑ කියනවා බලන්න ලමයාගේ නම එහෙම නැත්තම් මට පෙන්නනවකෝ ඒ ලමයව

මං අහගෙන අද උදේ ඒ ලමයා මොන්ටානා එකේ පංති එනවා කියලා, 200 බස් ස්ටෑන්ඩ් එකට ගියා නම් හරියටම පෙන්නන්න තිබුණා

හ්ම් ඒකත් එහෙමද? එහෙනම් එනවා යන්න

පිස්සුද මෙහෙම යන්න පුලුවන්ද? මම දත් මැදලා තියා මුණ හොදලවත් නෑ අනික ශොටක් දාගෙන මෙහෙම යන්න පුලුවන්ද

බය වෙන්න එපා ඕයි අපිව කවුරුත් දකින්නේ නෑ කියලා මිනිහා අර එල්ලගෙන හිටපු ග්‍රෙනේඩ්  එකක් අරගෙන පින් එක ඇදලා බිමට ගැහුවා. ඒ එක්කම ලොකු සද්දෙකුයි දුමකුයි පිටවුනා. මම ඇස් දෙක ඇරලා බලද්දී මෙන්න අපි කොළඹ බස් ස්ටෑන්ට් එක ඉස්සරහා


කොහොමහරි විනාඩියක්වත් ගියේ නෑ දූවිලි අවුස්සගෙන කොළඹ පැත්තේ ඉදලා ආව බස් එකක් සද්දෙට බ්‍රේක් ගහලා හොල්ට් එක ලග නතරකලා. එකෙන් බැස්ස ගෑණු කෙනෙක්ව දැක්ක ගමන් මල්සරා ගොයියා කෑ ගහපි මේ මගේ හාමිනේ කියලා.
ඒත් එක්කම හැන්ඩි කොල්ලෙකුගේ අතින් අල්ලගෙන මල්කුමාරි පබ්ලික් හෝල් එක පැත්තට යනවා බලන් හිටපු අනංග ගොයියා හාට් ඇටෑක් හැදිලා දිව්‍යලෝකෙටම චුතඋනා.
(එතනින් එහාට උනේ මොකක්ද කියලා බලාගන්න බැරිඋනා මොකද මාව නින්දෙන් ඇහැරුන හින්දා. මොකද මම දැක්කේ හීනයක් අනේ)



ඒ වගත් මෙසේමැයි අද නින්දෙන් ඇහැරී පහුරු ගෑ මම සුදුපූසා වම්හ.......