Wednesday, September 21, 2016

පින් ඇති සරසවි වරමක් දෙන්නේ

අ.පො.ස උසස්පෙල සමත්වන සියලුම අයෙකුගේ සුන්දර සිහිනයක් වන්නේ සරසවි වරම් ලබාගැනීමටයි.අවාසනාවට එලෙස සරසවි වරම් ලබා ගැනීමට හැකි වන්නේ විසිහත්දහසකටත් වඩා අඩු සිසුසිසුවියන් පිරිසකට පමණක් වීමය. අධ්‍යන වර්ශ 2015/16 වසර සදහා අදාල වන අවම කඩයිම් ලකුණු අද මධ්‍යහනේ සිට නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රවේශ කොමිෂම කටයුතු කර තිබුණි.මෙවර 2015/16 වර්ශය සදහා පිලිගත් විශ්වවිද්‍යාල දාසතරක් මණ්ඩප තුනක් සහ උසස් ආයතන දහයක් සදහා විවිධ පාඨමාලා අනූහතක් උදෙසා සිසු සිසුවියන් විසිහත්දහස් අසූවක්(27080) ඇතුලත් කර ගැනීමට සියලු කටයුතු මේවන විට සකස්කර අවසානය.
පලමු වරට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීම අනිවාර්ය කල පසුගිය වතාවේ මෙන්ම මම මෙවරද නිවස ආසන්නයේ පස්දෙනෙකුගේ පමණ අයදුම්පත්‍ අන්තර්ජාලය හරහා යොමු කරදීමට කටයුතු කලෙමි. නමුත් මෙවර එයින් සරසවි වරම් හිමිකර ගත්තේ එක් මානවකයෙකු පමණක් වන අතර මම හදුනාගත් පරිදි අනෙක් අය සිදුකර ගත් වැරදි කිහිපයක් මම පහතින් සටහන් කරමි.

(01) මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1.4353 ක ඉසෙඩ් අගයක් සහිත වාණිජ අංශයේ සමත් එක් සහෝදරයෙකු වාණිජ පාඨමාලාවට ඇතුලත් කලේ කොළඹ ජයවර්ධනපුර කැළණිය යන විශ්වවිද්‍යාල පමණි.
ප්‍ර‍ථිපල සටහන
කඩයිම් ලකුණු නිකුත් වූ පසු

මේ සදහා වයඹ විශ්වවිද්‍යාලයත් යාපනය විශ්වවිද්‍යාලයත් ඇතුලත් කරගන්නා ලෙස මම කටකැඩෙනකම් කිව්වද එය තබ සතයකට මායිම් කලේ ඔහුනොවේය. උඹට එපානම් මට මොකදයැයි සිතූ මමද එය අයදුම්පතට එක්නොකල අතර මා ඒ සොහොයුරාට පැවසූ උපදෙසෙහි වටිනාකම ඔහුට තේරුනේ කඩයිම් ලකුණු නිකුත්කල පසුවය
 යාපනය සදහා අවම ලකුණ

යාපනය මාගේ කීමට ඇතුලත් කලානම් අද ඔහුටද සරසවි වරම් ලැබීමට වැඩි ඉඩකඩක් පැවති බව මගේ හැගීමයි. ගිය නුවන ලගාවන විට ඔහු ප්‍ර‍මාද වැඩිය.

(02) මම දැක්ක තවත් ලොකුම වැරැද්දක් තමයි පසුගිය අවුරුද්දේ Z-Scores අගය මත තීරණ අරගෙන සමහර වැදගත් හා තරගකාරීබවින් අඩු පහසුවෙන්ම ඇතුලත් වෙන්න පුලුවන්කම තියෙන පාඨමාලාවන් අතහැරලා දාන එක. විශ්ව විද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂම නිරන්තරයෙන් මතක් කරපු දෙයක් තමයි Z-Scores අගය සෑම වසරකම වෙනස්වෙන නිසා තමන්ගේ සුදුසුකම් මත අයදුම් කරන්න කියන එක.
උදාහරණයක් විදිහට අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තොත් 2014/15 අධ්‍යන වර්ෂයට විලාසිතා හා සැපයුම් ප්‍ර‍වර්ධනය පාඨමාලාවට අවම සුදුසුකම 0.8363 වුවද මෙවර 2015/16 අධ්‍යන වසරට එය 0.6169 දක්වා පහලට පැමිණ තිබෙනවා. එම නිසා පසුගිය වසරට පදනම්ව ගන්න තීරණත් අවාසිදායකයි.

(03) මේ වසරේ මම දැක්ක ඇසුව හොදම ගොන්කම මෙය යැයි බය නැතුව මට කියන්න පුලුවන්. කිසිවකු කියන දේ නාසන තවත් පණ්ඩිතයෙකු ( ඒ තුනක් එක්ක ටිකක් ඔලුවෙන් ඉදපු) සල්ලි ගෙවලත් කිසිම පෙර ඇතුලත්වීමේ පරීක්ෂණයකට(Aptitude Test) මුහුණදෙන්න ගියේ නෑ. නමුත් කණගාටුවට කරුණනම් ඒ සොයුරාට ලද පිලිතුරත් වුනේ තේරීපත්ව නැත යන්නයි.

පසු සටහන
  • හරියටම වසරකට පෙර අදවැනි දිනක අධ්‍යන වර්ෂ 2014/15 අදාලව අවම Z-Scores නිකුත් කල දින මම අතිශයෙන් සතුටට පත්වුනේ මම පුද්ගලිකවම සොයාබැලු විශේෂිත මානවිකාවක ඇය බලාපොරොත්තු වූ ස්ථානයටම සරසවි වරම් ලැබීම නිසාය. විශ්ව විද්‍යාල ප්‍රවේශ පුස්තකය නිකුත් තල තැන සිට මම ඇයට උදවු උපකාර කලෙමි. ප්‍රවේශ පුස්තකය නිකුත් කරන තුරු වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රවේශ කොමිසම ඉදිරිපිට සවස්වන තුරු ගතකල මතකය අදටත් මට මතකය.
  • එසේ සරසවි වරම් ලබා ගියවුන් ඉන්නා තැනක අතුරු ආන්තරාවක් නොමැතිව ඉන්නවා ඇතැයි මම සිතමි.
හන්තානට පායන සද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහද
එබට හැකිය දකින්න


ඒ වඟත් මෙසේමැයි අදත් පහරා පහුරු ගෑ මම සුදු පූසා වෙමි.

Thursday, September 1, 2016

හුරතල් දිවියා සහ විශ්‍රාමිකයින්ගේ චාරිකාව

දෙදහස් දහතුන වසර මැද සමය වන විට මම සේවය කරමින් සිටියේ කොළඹ පිහිටි ලංකාවටම තෙල් බෙදන ස්ථානයට නුදුරින් තිබූ ජාතියේ මහා පහන්ටැබේ ශාඛාවක් තුලය. දෙදහස් දහතුන වසර යනු ලංකා බැංකුවේ වයස 55 සහ 60 සපුරා බැංකු සේවයෙන් එකවර සේවකයින් රැසක් විශ්‍රාම ලැබු වසරයි. පරිඝණක ගතකර නොතිබූ මුල් කාලයේ සියල්ල තම දෑතින්ම සිදුකරමින් බැංකුවේ නාමය හා කීර්තිය වර්ධනයට මොහුන්ගෙන් ලද දායකත්වය අතිමහත්ය. අප අයත් වූ බස්නාහිර පළාත් උතුරු කලාපයේ මෙවන් විශ්‍රාම ලබන්නන් රැසක් සිටි නිසාවෙන් ආසන්න ශාඛාවන් දෙකක් එකතුවී විනෝද සවාරියක් සැලසුම් කලේ ඔහුන්ගේත් රාජකාරී කාලය තුල යැවෙන අවසාන චාරිකාව නිසාය.
නුවරඑළියට නුදුරු ළිදුල නම් නගරයේ පිහිටි ආයතනික නිවාඩු නිකේතනයද වෙන්කරවාගත් අප දින තුනකට චාරිකාව සැලසුම් කලේ සිකුරාදා දිනය බැංකු නිවාඩුවක් වු බැවින්ය. චාරිකාව යාමට අවශ්‍යවන ආසන 54 අලුත්ම ලේලන්ඩ් බස්රථය නොමිලේම ලබා දුන්නේ හිතවත් බස් මුදලාලි මහතෙකු වු අතර සීදූව ගල් වැඩපලෙහි නිශ්පාදිත හෙලඔසුපැන් බෝතල් දහයක් අඩංගු මල්ල ලැබුනේ හන්දියේ වයින් ස්ටෝරුව අධිපති තම්බි නානාගෙනි.
ශාඛාවන් දෙකෙහිම සාමාජික එකතුව පවුල්වල සාමාජිකයිනුත් සමග පණහක් පමණ විය. පාසල් හැරගිය පුහුණුවන්නන් විධායක නිලදාරීන් කලමණාකරුවන් තම තනතුරු අමතක කර විනෝද වන්නට ගත්තේ තමන් මුහුණදෙන දෛනික ඒකාකාරී ජීවන රටාව මොහොතකය අමතක කරමිනි.

ගීත ගයමින් විනෝද වූවන් අතර නොබෝ දිනකින් විශ්‍රාම යාමට සිටි තිලකසිරි මහතා බන්දුසේන මහතා දයාසීලී මහත්මිය ආදීන් වූ අතර බන්දුසේන මහතා කලක් සරස්චන්ද්‍ර‍ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි නිසා මිහිරි හඩින් නාට්‍ය ගීත ගායනා කිරීමට හැකියාව ඇත්තෙකි. අප ඒවන විට නුවරඑලියට ආසන්නයෙන් වනාන්තර පදෙසකින් ගමන් කරමින් සිටි අතර මීවිතක් අතින් ගත් බන්දුසේන මහතා මනමේ නාටකයේ ගීතයක් ආරම්බ කලේ සැමගේ ඉල්ලීම පිටය.
"වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ 
මගුල් මඩුවකට බදු වු
වනාන්තරයේ සෝබාව නරබමින් යන විට
ගමන් විඩාව ඉබේටම මග හැරේ සොදුර
වන රැජිණද නෙක් විසිතුරු පාන්නේ
අප දෙදෙනාගේ විවාහයට සතුටු වන්නා සේය"

එක්වරම ඩෝං ශබ්දයත් සමග බස්රථය තම ගමන නවතාලීය. පසුපස රෝදයේ හුලං නැත. අප රථය නැවතී තිබුනේ විශාල තේ වත්තක් මැදින් වැටී ඇති මාර්ගයකය. මිනිස් පුලුටක් පෙන්නවත් නැත අප රාත්‍රී ආහාරය නවාතැනේන ගන්නට සිටි නිසා දැන් කට්ටියගේම බඩපණුවන් බොක්ෂිං ගසන්වාය. වයසක උදවියත් බලවත් උදවියත් බසයේ නතර කල මමත් හිරන්ත අයියාත් ආරුමුක්කම් මහතාත් සේනකත් සිකුරුටි හේමේත් සමග ඇතින් පෙනුන ලැයිමක් වෙත ගියේ රථය පිලිසකර කර ගැනීමට උදව්වක් සොයා ගැනීමටය. 
අප වැටී සිටි අමාරුව දුටු විගසඒ දමිල සහෝදරයින් පිරිස අපත් සමග රථය වෙත ආවේ ටයර් වැඩ දන්නා කාර්මිකයෙකුද සමගිනි.
අප යන විට නඩයේ සියලුම දෙනා බිමට බැස ආසන්නයේ ගල්තලාවකට නැග සිටි අතර අප සමග සිටි දෙමල තරුණයින් කීවේ "අයියෝ මාතියා බිම ඉන්න එපා මේ රේ යාමේ දිවියා තමා ඉන්නවා" කියාය දැන් කට්ටියම දිවියන්ට එකසිය ගානට බිය වී ඇත. අප සමග සිටි කුඩා දරුවන් නින්දට පත්ව ඇති අතර කාන්තා පාර්ශවයද නින්දත් නොනින්දත් අතර පසුවිය.
 වැඩ නිමවු බස්රථය තුලින් එක්වරම දිවියෙකුගේ ගෙරවීමකට සමාන ශබ්දයක් ඇසෙන්නට වූ අතර කෙමෙන් කෙමෙන් ඉහල යන්නට විය. රියදුරු තෙමේ බඩුභාණ්ඩ වල ආරක්ෂාව තකා ජනෙල් සහ දොරවල් දෙක වසා තිබුණු අතර දැන් සියල්ලන්ගේම අදහස වුයේ දිවියෙකු බසයතුලට රිංගාගෙන ඇති බවයි. බසයේ රියදුරු මහතා දිග ලීයක් උපකාරී කරගෙන ඉදිරිපස දොර සහ ජනේ්ලයක් විවෘත කලේ දිවියෙකු සිටිනවානම් පිටවීමටය. ඈතට වී බලා සිටියද දිවියෙකු පිටවෙනවා නොදැක්ක නිසාත් ගෙරවීම යලි ඇසෙන නිසාත් බලවත් උදවියගේ කීම නොඅසා හේමචන්ද්‍ර‍ අංකලුත් තිවංක අයියාත් රියදුරු මහතාත් මමත් බසයට නැග්ගේ දිවියා බැලීමටය. දිවියෙකු තබා පුල්ලියක්වත් නොදැක්කත් පසුපස අසුනේ දිගාවී තද නින්දේ ගොරවමින් සිටියේ පියදාස මහතාය ඇහැරුව විට පුතා ටිකක් වැඩි උනා ලිදුලට ගියහම ඇහැරවන්න යැයි කියා යලිත් නින්දට වැටුණ ඒතුමා අප වින්ද හිතේ ගින්දර දන්නේ පහුවදා උදේය. උදව් කල සොයුරන්ට ස්තූති කර අප ලිදුල නවාතැනට ලගාවන විට අලුයම දෙකට ආසන්න වී තිබුණ බව යාන්තමින් මට මතකය..

පසු සටහන

  • අදින් වර්ෂ හතරකට පමණ පෙරදී යන්නට යෙදුන මේ චාරිකාව මාගේ සිතේ නොමැකෙන ලෙස සටහන් වී ඇත. ඒදා ඒ මහ රෑ තේවත්තක් මැද අතරමන් වු අයගෙන් කිසිවෙකු මේ වනවිට ඒ ශාඛාවල සේවයේ නැත. පිරිස පුවක්වල්ල පොලවේ ගැසුවා සේ සී සී කඩ විසිරිලාය. එදා ලමාවයසේ සිටිවුන් අද තරුණය. සමහරුන් දීර්ඝකාලීන් රෝගයන්ගෙන් පීඩා විදිනවාය.
  • අපට ගීත ගායනා කරමින් රස සයුරක පිනවු බන්දුසේන මහතා විශ්‍රාම ලබා කෙටි කලකින්ම මියදුන අතර දිවියා මෙන් ගොරවමින් සිටි පියදාස මහතා මේ වසරේ මැයි මාසයේදී දෙවියන් වහන්සේ බැහැදැකීමට පිටත් වී ගියේය. මම දන්නා පරිදි ඒ ශාඛාවන් දෙකෙහි එකමුතුවෙන් ගිය අවසන් චාරිකාව එයම විය.

ඒ වගත් මෙසේමැ අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදුපූසා වම්හ.....