Showing posts with label පූස් මෙමරි. Show all posts
Showing posts with label පූස් මෙමරි. Show all posts

Wednesday, September 19, 2018

කජුකැලය හරහා මතක කැම්පස් කටුබැද්ද සිව්වන දිගහැරුම - සුභා,ෆැෂන් ඩිසයින් සහ අවසානය


පළමු කොටස 
දෙවන කොටස 
තෙවන කොටස 

ජාතියේ මහා පහන්ටැබේ රාජකාරී කල කාලය පිලිබදව තරම් යලිත් අතීතයට ගොස් ආවර්ජනය කිරීම තරම් සතුටක් ලේසියෙන් අත්වන්නේ නැතිතරම්ය. ඒ ගතකල කාලය ඉතාමත් සොදුරුය. මේ දවස්වල යලිත් මගේ මතකය කැරකෙමින් පවතින්නේ මොරටුව කටුබැද්දේය. තේරෙන භාෂාවකින් කියනවානම් මොරටුව විශ්වවිද්‍යාලය තුල ගත කල කාල සීමාවේ මතකයයි. ඉතිරි වී ඇත්තේ ඒ හා බැඳුණු මිහිරි හා අමිහිරි මතකයන් කිහිපයක් සිහිකිරීම පමණි. 

මගේ මතකයෙන් කිසිදිනක නොමැකෙන චරිතයක් වූවේ එකල ප්‍රධාන වෛද්‍යතුමියයි. ඇයගේ කියුම් කෙරුම් මීට පෙර ලිපියක සදහන් කලත් මෙයද නොකියාම බැරිය. එක්තරා දිනෙක මා යනවිට සරසවියේ සිසුවෙකු ඉතා වැදගත් ශරීරාංගයක් තුවාල වී ප්‍රතිකාර ගන්නට ඇවිල්ලාය. මානවකයා පවසන්නේ විනෝද චාරිකාව අතරතුර සියඇල්ල නැරබීමට යාමේදී පය ලිස්සා ගලක ඇතිල්ලීම නිසා මේ තුවාලය සිදුවු බවයි.

ඔහු සමග පැමිණි මිතුරන්ගෙන්ද විමසූ විට ඔහුන්ද සිසුවාගේ කියමන තහවුරු කල අතර ප්‍රධාන හෙද නිලධාරිවරයා බෙහෙත් දමමින් සිටියේය.
මේක නම් මේ ගලක ඇතිල්ලිලා වෙච්ච දෙයක් නම් නෙවෙයි මේකට වෙන හිස්ට්‍රියක් තියෙනවායැයි අපට පැවසූ දොස්තර නෝනා  යලිත් තුවාල ලද මානවකයාගෙන් ඇත්ත කියන්න යැයි පැවසූවිට ඔහු යලිත් පෙර හේතුවම පවසා සිටින්නට විය. 

එවිට මදක් කල්පනා කල වෙදදුරුතුමිය සියල්ලන්ටම ඇසෙන සේ ඇසුවේ "ඈ දරුවෝ ඔය කියන ගලට අත් දෙකකුයි කකුල් දෙකකුයිත් තිබුනාද පුතේ කියාලාය". එය ඇසූ සියල්ලන්ගේම මුවට සිනහව නැගුනු අතර මානවකයා පමණක් ලැජ්ජාවෙන් ඇබරෙන්නට විය.
*******
එකල කටුබැද්දේ රාජකාරී කල කාලයේ මමද මල් කඩමින් කාලය ගත කල සමයක් වූ අතර එයට උපරිම නිදහස පැවති ස්ථානයක් ලෙස මෙය මම නොබියව ප්‍රකාශ කරමි. මගේ මල්කැඩීමේ සහායිකාවද එකල අපොස උසස්පෙලට මුහුණදී විශ්වවිද්‍යාල වරම් බලාපොරොත්තුවෙන් පසුවූවාය. ඇයව සුභා ලෙසින් මම හදුන්වමි. එම වසරේ විශ්වවිද්‍යාල අත්පොත නිකුත් කල දිනම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් රැගෙන ආවේද පලමු වරට අන්තර්ජාලය මගින් අයදුම්පත යොමුකලේද මා විසිනි. 
දිවංගත අධ්‍යාපන අමාත්‍ය C.W.W කන්නංගර මැතිතුමාගේ සංකල්පයකට අනුව අරබන ලද පලමු මධ්‍ය විදුහල් පහෙන් එකක අධ්‍යාපනය හැදෑරු ඇය අධ්‍යාපන පහසුකම් අතින් දුෂ්කර යැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම විසින් සදහන් කර ඇති වියලි කලාපයේ දිස්ත්‍රික්කයකට අයත් නිසා ඇයගේ ඉසෙඩ් අගය ප්‍රමානවත් වූ අතර එවර අධ්‍යන වර්ෂය සදහා අවම කඩයිම් ලකුණු නිකුත් කලදා නිසකවම ඇය වඩාත් කැමැත්තෙන් සිටි විලාසිතා නිර්මාණවේදය පාඨමාලාවටම සුදුසුකම් ලබා ඇති බව දැන්වූවාය. මා හොදින් දන්නා මිතුරියක් එම පාඨමාලාවේම තෙවන වසරේ සිටි නිසා ඇය සුභාට අවශ්‍ය උදව් කිරීමට පොරොන්දු වූවාය.

කාලය ගත වන විට මා හට රාජකාරීමට වශයෙන් හා අධ්‍යාපනික වශයෙන් නොසිතූ ගැටලු කිහිපයකට මුහුණදීමට සිදුවූ අතර තෙමසක් පමණ කටුබැද්දෙන් ඉවත්වී ප්‍රධාන කාර්යාලයේ සේවයට ගිය අතර තවත් මසක් අධ්‍යන කටයුතු සදහා සම්පූර්ණයෙන්ම නිවාඩු ලදිමි. ඒ අතරතුර එක්වරම ඇය වෙනස්වන්නට ගත්තේ සිතා ගැනීමටවත් නොහැකි ආකාරයෙනි. සමාජ ජාල වලින් මා අවහිර වන්නට වූ අතර කෙටි කලකින් දුරකතන අංක අවහිර වන්නටද විය. මා හට මෙය මහත් ප්‍රෙහේලිකාවක්වූ අතර කුමක් වූවාදැයි මම නොදනිමි. අදටත් ඇයට සිදුවූ දෙය පිලිබදව මම කල්පනා කරමි. ඇතිවූ කණස්සල්ල නිසා සතියක් පමණ නිවාඩු ගෙන නිවසට වී සිටියේ සිත්වේදනාව දැඩි වූ නිසාය. ඇය පිලිබදව මගේ දෙපාර්ථමේන්තු ප්‍රධානී ජේෂ්ඨ කලමණාකාර ජනක මහතා දැනසිටියේය ඒ දිනක් ඇයත් සමග රස්සියාදුවක ගොස් සිටියදී පිටකොටුවේ මයුරා විදීයේදී අප මුණගැසීම නිසාය.
සිදුවුයේ කුමක්දැයි දැන ගැනීමට මුණගැසී කතා කරන්නට කිහිප වතාවක්ම උත්සහාකලත් ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූවාය. ඇයට මගේ නමට ලබාදී තිබූ සිම්පතද මම අවලංගු කර දැමුවේ ඇයගෙන් ප්‍රතිචාරයක් නොවූ තැනය. අවසානයේ මිතුරන්ගේ අවවාද උපදෙස් නිසා හිත හදාගත් මම තීරණයකට ආවෙමි.එනම් තව දුරටත් මොරටුව විශ්වවිද්‍යාල ශාඛාවේ හිතට එකගව කටයුතු කල නොහැකි නිසා මම වෙනුවෙන් ක්‍රිෂාන් කටුබැද්දට අනුයුක්ත කර මාව යලිත් ප්‍රධාන කාර්යාලය වෙත ගෙන්වා ගැනීමට නැසීගිය දෙපාර්ථමේන්තු ප්‍රධානී ජේෂ්ඨ කලමණාකාර ජනක මහතා කටයුතු කල  නිසා එක් ගුරුදාවක සියලු මතකයන් සිතෙහි රදවාගෙන මම කටුබැද්දෙන් නික්ම ආවෙමි. 
*******

පසුවදන

මේ සටහන තබන අද දිනයේ විශේෂත්වයන් දෙකක් ඇතිබව මතකයට නැගේ. පළමුවැන්න නම් වසර දෙකකට පෙර මේ සියලුම සිදුවීම් සිදුවූවේ අද වැනි දිනයකදී වීමයි.
දෙවැන්න නම් අද ඇයගේ උපන් දිනයයි. ගතවූ කාලය තුල ඇය ඇමතීමට කිහිප වතාවක්ම මට සිත්වූවද එයද යටපත් කරගෙන සිටියෙමි. 

කටුබැද්දේ මතකය ගැන කියාගෙන පැමිණි කතා පෙල අනුව තවත් කතා කිහිපයක්යම ඉදිරිපත් කල යුතු වුවත් සිතට එකගව තවදුරටත් කටුබැද්දේ මතකය අවදිකිරීම සිත්වේදනා ගෙන දෙන්නක් බැවින්ද සියල්ල අමතක කල යුතුව ඇති නිසාවෙන්ද මේ ලිපියත් සමගින්ම කජුකැලය හරහා කටුබැද්ද මතක කතාමාලාවට සදාකාලිකවම විරාමයක් තබමි.


ඒ වගත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ......


Friday, May 5, 2017

රඟමඩලෙන් බැසයන මනමේ වැඳිරජ

අ.පො.ස උසස්පෙල අවසන් කර ජාතික ව්‍යාපාර කළමණාකරණ විද්‍යායතනයේ උසස් අධ්‍යාපනය ඇරබීමට පෙරවූ සංක්‍රාන්ති සමය දැහැමෙන් සෙමෙන් ගතකරන අතරතුර අපි කතාකරගත්තේ සැමට ඉදිරියේදී එකාවන්ව මුහුණදීමට සිදුවන රැජිණගේ බස පිලිබද ගැටලුවෙන්  මිදෙන්නේ කෙසේද කියාය මක්නිසාදයත් විශේෂයෙන්ම රජයේ මෙන්ම පුද්ගලික විශ්වවිද්‍යාල වලද සියලු අධ්‍යන කටයුතු සිදුකරනු ලබන්නේ ඉංග්‍රීසි බසින් වන නිසා ඒ සදහා අප සතුව එවකට පැවති භාෂා හැකියාව කිසිලෙසකටවත් ප්‍ර‍මාණවත් නොවූනිසාය.
දින හතෙන් දින දාහතරෙන් මෙන්ම එක් මාසයකින් උගන්වන නානාප්‍ර‍කාර පංති හා කඳවුරු දිවයින පුරා අරබමින් සිටි වකවානුව වූ නිසාත් හොද පන්තියක් සොයමින් සිටි අපිට ඔත්තුවක් ලැබුනේ කොළඹ විශ්වවිද්‍යාලයේ මිතුරෙකුගෙනි. ස්ථානය නිවරදිව කියනවානම් කොළඹ විශ්වවිද්‍යාලීය ක්‍රීඩාපිටිය ඉදිරිපිට පිහිටා ඇති "Oxford Business Collage" නම් ආයතනයයි. 

අද මාතෘකාවට අදාල සොදුරු මිනිසා මට මුනගැසෙන්නේ එහිදීය.
ජයනාත් බණ්‌ඩාර නම්වූ ඔහු ඉතාමත් අපූරු ගුරුවරයෙකු විය. පාසල් සමය තුල අපහට ඉංග්‍රීසී භාෂාව වහ කදුරු බවට පත්වූයේ පාසල්වල විශය ඉගැන්වූ ගුරුවරුන් ඉගැන්වූ ඒකාකාරී රටාව නිසා බව අප සියලුදෙනාම විශ්වාස කරන්නාවූ කාරණාවකි. නමුත් නීරස හා අපහසු ඉංග්‍රීසි භාෂාවේ සිද්ධාන්ත හා ප්‍රායෝගික කොටස් ඔහු අපට ඉගැන්වූයේ භාෂාව පිලිබදව කිසිදු අප්‍රියතාවයක් අපතුල ඇතිවන්නට ඉඩක් නොතබමින්ය. තෙමසකට සැලසුම් කර තිබූ අප පාඨමාලාව තුල විසිදෙනෙකු පමණ සහබාගීවූ අතර නොවැලැක්විය හැකි කරුණුමත අමතර මාසයක් දක්වා දීර්ඝ කරන්නට සිදුවිය. මාසයක් පමණ ගතවන විට භාෂා දැනුම අප සැමගේ ඉහල ගියේ ඔහුගේ ඉගැන්වීමේ හැකියාවට පින්සිදු වන්නටය.

වීවේකී දිනක ගාලුමුවදොරදී


කටුබැද්ද ජයනාත් මහතාගේ නිවසේ

භාෂාවක් නිවරදිව ඉගෙන ගැනීමට කථනය,කියවීම,සවන්දීම හා ව්‍යාකරණ දැනුමද අවශ්‍යවන බවත් බොහෝ දෙනෙකු හට ඉංග්‍රීසි භාෂාව නොහැකි වන්නේ එය පාවිච්චියේදී වැරදීම් සිදුවේයැයි ඇති අනිසි බිය නිසා යැයි පැවසූ ඔහු ආයතනය තුලදී සිංහල බස භාවිතය තහනම් කරන ලදී. කොටින්ම කිවහොත් කැන්ටිමේ අංකල් බිස්නස් කලෙත් කඩු බසින් විමසුවොත් පමනි.

අවසාන දින ආයතනය ඉදිරිපිට

අද මාතෘකාවට අදාල කථාව ඇරබෙන්නේ මෙතැන් සිටය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ජයනාත් බණ්‌ඩාර ලාංකීය නාට්‍ය වේදිකාව ජයගත් අපූර්ව රංගන ශිල්පියෙකි. 1989 වර්ෂයේ යෞවන සම්මාන උළෙලේ දී උඩරට නැටුම් ඒකල ප්‍රථම ස්‌ථානය දිනා ගනිමින් මෙන්ම විද්‍යාලයේ නාට්‍ය අංශයේ කැපී පෙනෙන චරිතයක්‌ වෙමින්ද ජයනාත් බණ්‌ඩාර රංගාවතරණය සිදු විය.
1989 දී  "මිහිදුම් සිහින", "හෙට කළුවර නෑ" ආදී නාට්‍යවල මෙන්ම 1993 සරසවි නාට්‍ය සම්මාන උළෙලේ හොඳම නළුවා වැනි සම්මාන දිනා ගනිමින් ඔහු තමන්ගේ රංගන ගමන් මඟ සනිටුහන් කළේය. 1999 රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී සම්මාන හතක්‌ දිනාගත් තුමිඳු දොඩන්තැන්නගේ "අරුන්දතී" නාට්‍යයේ මනෝරාජ්ගේ චරිතය සදහා හොඳම නළුවා සම්මානයත් දිනා ගැනීමට සමත්විය. 

වර්ෂ 1999 දී දක්ෂයන් අතරිනුත් අතිදක්ෂයන්ට පමණක් දොරටු විවර වන  අසහාය නාට්‍යවේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මනමේ" නාටකයේ පීරිස් සමරවික්‍ර‍ම මහතාට පසුව වැදි රජුගේ චරිතයටත්,
ඉන් අනතුරුව වර්ෂ 2001 දී "සිංහබාහු" නාට්‍යයේ දීර්ඝ කාලයක් සිංහයාට පණපෙවූ ජය ශ්‍රී චන්ද්‍ර‍ජිත් මහතාගෙන් පසුව සිංහයාගේ චරිතයටත් රංගන දායකත්වය ලබාදීමට තොරාගැනීමෙන් අනතුරුව ඔහුගේ රංගන ජීවිතයේ ස්‌වර්ණමය යුගය උදාවිය.

 

“ප්‍රේමයෙන් වැඩුයේ මෙපුතා නොවේ දෝ
ආන්තරායෙන් රැක ගෙන වනයේ
මා මරණට දැන් එන්නේ මෙලෙසා
ඔද වැඩි හින්දා දෝ යෞවනයෙන්
මානය බිඳ හැර ලන්නෙමි මෙවරා
දෙන්නෙමි දඬුවම් ඔළමොළ කමටා”


විටෙක තමන් පණ මෙන් ආරක්ෂා කල බිරිඳත් දියණියත් අහිමිවීමේ දුකද, තම පුතු තමන් මැරීමට පැමිණීම නිසා ඇතිවන කෝපයද , පියා සහ පුතු අතර ඇතිවන්නා වූ අවසන් ද්වන්ද සටන මැනවින් විදහා දක්වමින් හැගීම් ප්‍රකාශවන ආකාරයට සිංහබාහුහි සිංහයාගේ චරිතයට ප්‍රවිශ්ඨ වෙයි. තවත් විටක "සත්හට සෙත්දෙන ලෝක ශිවාකර භගවා පතනුන් ගෙන් සරණා" ලෙසින් ගායනා කරමින් තම දියණිය වන දුලා කුමරිය තක්සලාවේ දක්ෂතම සිසුවා වූ මනමේ කුමරුට විවාහ කරදෙන දිසාපාමොක් ඇදුරාගේ චරිතය පණ පොවන අතර, තවත් වරෙක ඔහු මනමේ නාටකයේම ගොරහැඩි දුෂ්ඨ වැදි රජුගේ චරිතයට පණපොවයි. එසේත් නැතිනම් ඊට හාත්පසින්ම වෙනස් බක්මහ අකුණු හි මුදලිතුමාගේ චරිතයට ප්‍ර‍විෂ්ඨ වෙයි. එසේ විවිධ විවිධ ශෛලීන්ගෙන් යුතු චරිත නිරූපනයට ඔහු මනා හැකියාවකින් යුක්තය. ඔහු දායකත්වය දෙන වෙනත් නාට්‍ය කිහිපයක් මෙසේයි

මනමේ - වැඳිරජු / දිසාපාමොක් ඇඳුරු
සිංහභාහු - සිංහයා
බක්මහ අකුණු - මුදළිතුමා
නරිබෑණා - ගමරාල / කපුවා
අරුන්දතී - මනෝරාජ්
දික්තල කාලගෝල - දික්පිටියා
හැමිලට්
රතු හැට්ටකාරි


පුංචි තිරයේ දී ඔහු දි. ග. සෝමපාලගේ "නිල්ල පෙනෙන මානයේ" ප්‍රධාන චරිතයටත්, ලක්‍ෂ්මන් විජේසේකරගේ "දඟයන්ට පමණයි" ටෙලි නාටකයේ ප්‍රධාන චරිතයටත් රංගන දායකත්වය ලබාදුන් ඔහු ස්‌වභාවික නාට්‍ය සම්ප්‍රදාය විෂයෙහිද තම ප්‍රතිභාව ප්‍රකට කළේය. හඬ කැවීම් ශිල්පියෙකු ලෙසද ටෙලි නාට්‍ය හා කාටුන් සඳහා සිරස ටී.වී., හිරු ටී.වී. වැනි නාලිකා හරහා ජයනාත් බණ්‌ඩාර තම හඬ අවදි කළේය. ජයනාත් බණ්ඩාරයන් මේ සියලු දේ කරන්නේ වෘත්තිමය වශයෙන් ඉංග්‍රීසි කථීකාචාර්යවරයකු විදියටත්,ටවර් හෝල් රඟහල පදනමේ බාහිර කථිකාචාර්යවරයකු විදියටත් කටයුතු කරන අතරතුරය. ඊට අමතරව ජාතික රූපවාහිනියේ රංග භූමි අධ්‍යාපනික වැඩසටහනේ පිටපත් රචකයකු හා කථිකයකු වශයෙන්ද ඔහු කටයුතු කරයි.

ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
සිංහබා! සිංහබා!! සිංහබා!!!

මා සොදුර! මා සොදුර !!මා සොදුර!!!

සිංහ සීවලී!  මා ප්‍රිය දියණිය
ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
මම දැන ගතිමි- මම සැක කලෙමි
සිංහබා! සිංහබා!! සිංහබා!!
 

නමුත් කණගාටුවට කරුණ වන්නේ ජයනාත් බණ්ඩාරයන්ගේ රැගුම් මනමේ සිංහභාහු නාට්‍යයන් තුලින් යලිත් කිසිදා ප්‍රේක්ශකයන් හට දැක ගැනීමට තිබු අවස්තාව නොමැතිවීමයි. මක්නිසාදයත් ඔහු මේ වන විට මනමේ සිංහභාහු සරච්චන්ද්‍ර රඟමඩලෙන් සමුගැනීමට තීරණය කර ඇති නිසාවෙනි. නමුත් බක්මහ අකුණු හැමිලට් නරිබෑණා වැනි වේදිකා නාට්‍ය හරහා මෙන්ම මේ දිනවල විකාශය වන මුතකුඩ හා සල්සපුනා ටෙලි නාට්‍ය තුලින්ද ඔහුගේ රඟපෑම් දැකබලාගත හැකිය. තවත් චිරාත් කාලයක් සබේ රඟන්නටත් ශක්තිය ලැබේවා යන්න අපගේ පැතුමයි. සිංහභාහු නාට්‍යයේ සමාප්ති ගීතයෙන් අද ලිපිය අවසන් කරමි.

"සසරේ යාත්‍රා සුවපත් වන්නට
නොබිදෙන්නට ජීවිත නෞකා
වේවා සැමටම සුභ මංගලම්"


ඒ වඟත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ.......

Thursday, September 1, 2016

බැංකුවේ ජීවිතේ දෙවන කොටස - හුරතල් දිවියා සහ විශ්‍රාමිකයින්ගේ චාරිකාව

දෙදහස් දහතුන වසර මැද සමය වන විට මම සේවය කරමින් සිටියේ කොළඹ පිහිටි ලංකාවටම තෙල් බෙදන ස්ථානයට නුදුරින් තිබූ ජාතියේ මහා පහන්ටැබේ ශාඛාවක් තුලය. දෙදහස් දහතුන වසර යනු ලංකා බැංකුවේ වයස 55 සහ 60 සපුරා බැංකු සේවයෙන් එකවර සේවකයින් රැසක් විශ්‍රාම ලැබු වසරයි. පරිඝණක ගතකර නොතිබූ මුල් කාලයේ සියල්ල තම දෑතින්ම සිදුකරමින් බැංකුවේ නාමය හා කීර්තිය වර්ධනයට මොහුන්ගෙන් ලද දායකත්වය අතිමහත්ය. අප අයත් වූ බස්නාහිර පළාත් උතුරු කලාපයේ මෙවන් විශ්‍රාම ලබන්නන් රැසක් සිටි නිසාවෙන් ආසන්න ශාඛාවන් දෙකක් එකතුවී විනෝද සවාරියක් සැලසුම් කලේ ඔහුන්ගේත් රාජකාරී කාලය තුල යැවෙන අවසාන චාරිකාව නිසාය.
නුවරඑළියට නුදුරු ළිදුල නම් නගරයේ පිහිටි ආයතනික නිවාඩු නිකේතනයද වෙන්කරවාගත් අප දින තුනකට චාරිකාව සැලසුම් කලේ සිකුරාදා දිනය බැංකු නිවාඩුවක් වු බැවින්ය. චාරිකාව යාමට අවශ්‍යවන ආසන 54 අලුත්ම ලේලන්ඩ් බස්රථය නොමිලේම ලබා දුන්නේ හිතවත් බස් මුදලාලි මහතෙකු වු අතර සීදූව ගල් වැඩපලෙහි නිශ්පාදිත හෙලඔසුපැන් බෝතල් දහයක් අඩංගු මල්ල ලැබුනේ හන්දියේ වයින් ස්ටෝරුව අධිපති තම්බි නානාගෙනි.
ශාඛාවන් දෙකෙහිම සාමාජික එකතුව පවුල්වල සාමාජිකයිනුත් සමග පණහක් පමණ විය. පාසල් හැරගිය පුහුණුවන්නන් විධායක නිලදාරීන් කලමණාකරුවන් තම තනතුරු අමතක කර විනෝද වන්නට ගත්තේ තමන් මුහුණදෙන දෛනික ඒකාකාරී ජීවන රටාව මොහොතකය අමතක කරමිනි.

ගීත ගයමින් විනෝද වූවන් අතර නොබෝ දිනකින් විශ්‍රාම යාමට සිටි තිලකසිරි මහතා බන්දුසේන මහතා දයාසීලී මහත්මිය ආදීන් වූ අතර බන්දුසේන මහතා කලක් සරස්චන්ද්‍ර‍ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි නිසා මිහිරි හඩින් නාට්‍ය ගීත ගායනා කිරීමට හැකියාව ඇත්තෙකි. අප ඒවන විට නුවරඑලියට ආසන්නයෙන් වනාන්තර පදෙසකින් ගමන් කරමින් සිටි අතර මීවිතක් අතින් ගත් බන්දුසේන මහතා මනමේ නාටකයේ ගීතයක් ආරම්බ කලේ සැමගේ ඉල්ලීම පිටය.
"වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ 
මගුල් මඩුවකට බදු වු
වනාන්තරයේ සෝබාව නරබමින් යන විට
ගමන් විඩාව ඉබේටම මග හැරේ සොදුර
වන රැජිණද නෙක් විසිතුරු පාන්නේ
අප දෙදෙනාගේ විවාහයට සතුටු වන්නා සේය"

එක්වරම ඩෝං ශබ්දයත් සමග බස්රථය තම ගමන නවතාලීය. පසුපස රෝදයේ හුලං නැත. අප රථය නැවතී තිබුනේ විශාල තේ වත්තක් මැදින් වැටී ඇති මාර්ගයකය. මිනිස් පුලුටක් පෙන්නවත් නැත අප රාත්‍රී ආහාරය නවාතැනේන ගන්නට සිටි නිසා දැන් කට්ටියගේම බඩපණුවන් බොක්ෂිං ගසන්වාය. වයසක උදවියත් බලවත් උදවියත් බසයේ නතර කල මමත් හිරන්ත අයියාත් ආරුමුක්කම් මහතාත් සේනකත් සිකුරුටි හේමේත් සමග ඇතින් පෙනුන ලැයිමක් වෙත ගියේ රථය පිලිසකර කර ගැනීමට උදව්වක් සොයා ගැනීමටය. 
අප වැටී සිටි අමාරුව දුටු විගසඒ දමිල සහෝදරයින් පිරිස අපත් සමග රථය වෙත ආවේ ටයර් වැඩ දන්නා කාර්මිකයෙකුද සමගිනි.
අප යන විට නඩයේ සියලුම දෙනා බිමට බැස ආසන්නයේ ගල්තලාවකට නැග සිටි අතර අප සමග සිටි දෙමල තරුණයින් කීවේ "අයියෝ මාතියා බිම ඉන්න එපා මේ රේ යාමේ දිවියා තමා ඉන්නවා" කියාය දැන් කට්ටියම දිවියන්ට එකසිය ගානට බිය වී ඇත. අප සමග සිටි කුඩා දරුවන් නින්දට පත්ව ඇති අතර කාන්තා පාර්ශවයද නින්දත් නොනින්දත් අතර පසුවිය.
 වැඩ නිමවු බස්රථය තුලින් එක්වරම දිවියෙකුගේ ගෙරවීමකට සමාන ශබ්දයක් ඇසෙන්නට වූ අතර කෙමෙන් කෙමෙන් ඉහල යන්නට විය. රියදුරු තෙමේ බඩුභාණ්ඩ වල ආරක්ෂාව තකා ජනෙල් සහ දොරවල් දෙක වසා තිබුණු අතර දැන් සියල්ලන්ගේම අදහස වුයේ දිවියෙකු බසයතුලට රිංගාගෙන ඇති බවයි. බසයේ රියදුරු මහතා දිග ලීයක් උපකාරී කරගෙන ඉදිරිපස දොර සහ ජනේ්ලයක් විවෘත කලේ දිවියෙකු සිටිනවානම් පිටවීමටය. ඈතට වී බලා සිටියද දිවියෙකු පිටවෙනවා නොදැක්ක නිසාත් ගෙරවීම යලි ඇසෙන නිසාත් බලවත් උදවියගේ කීම නොඅසා හේමචන්ද්‍ර‍ අංකලුත් තිවංක අයියාත් රියදුරු මහතාත් මමත් බසයට නැග්ගේ දිවියා බැලීමටය. දිවියෙකු තබා පුල්ලියක්වත් නොදැක්කත් පසුපස අසුනේ දිගාවී තද නින්දේ ගොරවමින් සිටියේ පියදාස මහතාය ඇහැරුව විට පුතා ටිකක් වැඩි උනා ලිදුලට ගියහම ඇහැරවන්න යැයි කියා යලිත් නින්දට වැටුණ ඒතුමා අප වින්ද හිතේ ගින්දර දන්නේ පහුවදා උදේය. උදව් කල සොයුරන්ට ස්තූති කර අප ලිදුල නවාතැනට ලගාවන විට අලුයම දෙකට ආසන්න වී තිබුණ බව යාන්තමින් මට මතකය..

පසු සටහන

  • අදින් වර්ෂ හතරකට පමණ පෙරදී යන්නට යෙදුන මේ චාරිකාව මාගේ සිතේ නොමැකෙන ලෙස සටහන් වී ඇත. ඒදා ඒ මහ රෑ තේවත්තක් මැද අතරමන් වු අයගෙන් කිසිවෙකු මේ වනවිට ඒ ශාඛාවල සේවයේ නැත. පිරිස පුවක්වල්ල පොලවේ ගැසුවා සේ සී සී කඩ විසිරිලාය. එදා ලමාවයසේ සිටිවුන් අද තරුණය. සමහරුන් දීර්ඝකාලීන් රෝගයන්ගෙන් පීඩා විදිනවාය.
  • අපට ගීත ගායනා කරමින් රස සයුරක පිනවු බන්දුසේන මහතා විශ්‍රාම ලබා කෙටි කලකින්ම මියදුන අතර දිවියා මෙන් ගොරවමින් සිටි පියදාස මහතා මේ වසරේ මැයි මාසයේදී දෙවියන් වහන්සේ බැහැදැකීමට පිටත් වී ගියේය. මම දන්නා පරිදි ඒ ශාඛාවන් දෙකෙහි එකමුතුවෙන් ගිය අවසන් චාරිකාව එයම විය.

ඒ වගත් මෙසේමැ අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදුපූසා වම්හ.....



Wednesday, April 6, 2016

දොළොස් මසකට පසු

අදින් හරියටම දොලොස් මසකට පෙර සුදුපූසා බවට පත් වු මම අද බ්ලොග් අවකාශයේ පලමුවෙනි වසරට පා තබන්නෙමි. අද දින සවස් වන විට මෙයත් සමග පෝස්ටු විසිපහකුත් සහ හිට් කවුන්ටරය 16510 කුත් ලෙස දර්ශණය වෙනවා. වර්ශ 2012 පමණ සිට බ්ලොග් කියෙවුවත් ලියන්න නම් කාලයක් හා ඉස්පාසුවක් ලැබුනේ පසුගිය වසරේ මුල වගේ තමා.


අද මේ වසරක් ගෙවෙන වෙලාවේ මාහට බ්ලොග් ලියන්නට පෙලබවු හා උදව් කල කිහිපදෙනෙකුව මතක් කිරීම මගේ යුතුකමක්


  • බටහිර කැන්ගරුලන්තයේ පදිංචිව සිටියාවුත් සිරි ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ හා ගම්පහ ප්‍රාදේශීය වැඩපලවල් වල මාගේ පියා සමග සේවය කලාවූද ඔබ්සවර් නැත්තම් ඔබා මාමාලෙස බ්ලොග් ලොව හදුනාගත් සනත් විජේවර්ධනයන්

  • බ්ලොග් ලෝකෙට මුල් ගුරු වෙච්චිතමන් දැල්වු   පහණින්  තවත් පහන් සිය ගණනක් දැල්වූපුක යනු කුණුහරුපයක් නොවන බව ඔප්පු කලා වූත් රසික සූරියාරච්චි නොහොත් පැරණි කතන්දරකාරයා

  • පන්සලේ කතා වගේම බස් පලුවන්ගේ කතා වගේම විශාල කතා ප්‍ර‍මාණයක් බ්ලොග් අවකාශයට දායාද කලා වූවද අද වන විට බ්ලොග් ලිවීම යනු කුමක්දැයි නොදන්නා තත්වයට පත්වී ඇති මාරයාගේ හෝරාවේ මාරයා නොහොත් චතූෂ තුෂර කුමාර අයියා
  • මගේ බ්ලොග් එකේ පෝස්ට් එකකට නමෝවිත්තියෙන් පලවෙනි කමෙන්ටුව කෙටූ අවන්හලේ මහේශ් රත්නායක

  • නොදත් සමහර තාක්ෂණීක කරුණු සහ ඇතැම් දොෂ නිරාකරණය කර දුන් අගහරු ලොව පියාබන පීරිසි අංගනයේ ප්‍ර‍ධාන ඉංජිනේරු තැන්පත් අගහරු තුමා.

  • නිතරම මේ පැත්තට ඇවිත් යන්න එන කුරුටු ගෑ ගී පවුරේ  කුරුට්ටන් පිරිස

     

මීට අමතරව විටින් විට පැමිණි ඩ්‍රැකී, අටම්පහුරේ අටම්තුමා, විචාරක තුමා, නවාතැනේ බස්සි හා කැලේ පිපුනු මල් අඩවියේ W.K වැන්නන් හා මෙහි නම් සදහන් නොකල උදව් කල සැමටත් මා හිසනමා අචාර කරමි.


අදත් වෙනදා මෙන් පහුරු ගෑ මම සුදු පූසා වෙමි.....

Tuesday, December 1, 2015

X-Ban 2008 දෙවන කොටස

පලමු කොටස කෙසේ හෝ සජිත් සහ මමතුමා එදින පාසලට කල් ඇතිව පැමිණියේ උණබට වලට සහ මැටි කැපීමට යන කණ්ඩායම් වලට අදාල ගමන් අවසරපත් සහ අදාල වියදම් සදහා අවශ්‍ය වන මුදල් හැකි ඉක්මනින් නිකුත් කර කණ්ඩායම පිටත් කර යැවීම මගින් ඉදිකිරීමේ කටයුතු වේගවත් කර ගැනීමටය.අප දෙදෙනා ඈත සිටියදීම දුටුවේ විදුහල්පති ලබුතලේ සුදස්සන ස්වාමීන් වහන්සේ සහ පාසලේ විනය මණ්ඩල සාමාජිකයන් අප නිර්මාණය ඉදිකල ඉසව්වේ රැස්ව සිටියහ.
පෙරදින රාත්‍රී ඉදිකිරීම් වල නිරතව සිටි පිරිස බිම බලාගෙන සිටි අතර අපේ විදුහල්පති හාමුදුරුවෝ පිරිත් දෙසුමක් අරබා තිබුණු අතර එය මම කිසිදා අසා නැති පාලි සංස්කෘතික හා මධුර මනෝහර සුද්ධ සිංහල භාෂාවන් ගෙන් සමන්විත විය..
මම හිමින් සීරුවේ විනය පාලක ප්‍රේමරත්න මහතාට (කක්කුට්ටා) ලංවූයේ‍ මේ හදිසි දහම් දෙසුමට හේතු කාරනා නිවරදිව දැන ගැනීමටයි. සජිත්ව සහ මමතුමාව පසකට කැදවාගෙන ගිය ප්‍රේමරත්න සර් කිව්වේ කොල්ලෝ මුන් ඊයේ හවස උණගස් කපන්න පැන්න වත්තේ තිබ්බ තැඹිලි ගස් පාලුකරලා මදිවට තැඹිලි කෝම්බ වලින් අයිතිකාරයට ගහලා ඇවිල්ලා කියලාය.
                                         ප්‍රේමරත්න මහතා (කක්කුට්ටා)
පස්සේ පහු හොයනකොට ආරන්චි උනේ එදා ගිය අපේ මනීෂ ලක්ෂාන්/යසිරු/අසේල/වරුන ලක්මාල් කයන සෙට් එකෙන් ඉස්කෝලේ මොකක්ද කියලා අහපුවම මුන් බණ්ඩාරණායකේ කියලා හින්දා මිසක් නැත්තම් අපේ උන්ව අල්ලනවා බොරු බවයි. කෙසේ හෝ අපේ හාමුදුරුවන්ට දන්න සියලු ආකාරයන්ගෙන් කරුණු පහදවා බිම පෙරලී වැද වැටිලා යලි ඉතිරි කොටස ඉදිකරන්නට අවසර ගැනීමට අපට හැකිවිය. ප්‍රදර්ශණය ඇරබීමට සති දෙකක් පමණ වන විට මන්දගාමීව සිදුවූ ඉදිකිරීම් වේගවත් වූයේ උත්තර පත්‍ර පරීක්ෂාව අතහැර දමා පන්තිභාර කුසුම් මිස් පාසලට සම්ප්‍රාප්ත වු නිසාවෙනි.

                                      ගහ උඩ පැල ඉදිකරවාගෙන යන අතර තුර


                                                                      අර්ධ වශයෙන් සකස් කල නිර්මානය

මේ අතර විවිධ ආයතන වලින් ලද අනුග්‍රාහක මුදල් මෙන්ම මගේ නම විකුණා ගුරු මණ්ඩලයෙන් ගත් මුදල් සමග ගොට්ටා අතුරුදහන් වුයේ යලි පාසලෙන් ඉවත් වන තුරාවට දක්නට ඉඩක් නොතබමිනි. ඒ අපතයා ගැන අවසාන කොටසින් මා පවසන අතර ඒකා සෑහෙන වියදමක් දරා භාගෙට අටවා තිබු වී බිස්ස මහ හඩක් නගමින් බිමට පතබෑවුනේ ප්‍රදර්ශණය ඇරබීමට පෙර දින සවස් කාලයේදීය. සියලු කටයුතු අවසන් කර ප්‍රදර්ශණ කාර්ය මණ්ඩලයද පත්කර අප අවසන් නිමැවුම ඇතින් නිරීක්ෂනය කරමින් සිටිනා විට වී බිස්ස බිම සිප ගත්තේ රුපියල් හාරදහසක පමණ මුදලක් අපතේ හරිමිනි. වී බිස්සක් නැති ගැමි පෙදෙසක් කෙලෙස ප්‍රදර්ශණය කරම්ද යන්න ඒ වනවිට රැදී සිටි කුමාර සුපුන් මහේෂ් හා මට තිබු විශාලතම ගැටලුවයි. පෙර සසරක කල පිනක් පලදුන්නාක් මෙන් අපේ පිහිටට ආවේ ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ හමුදා සොයුරන් පිරියක් සහ ප්‍රදර්ශණ රාජකාරී පැමිනි තවත් හමුදා සොයුරන් පිරිසකි. මේජර් නිලන්ත සොයුරා ඇතුලු 30 පමණ වු කණ්ඩායම පෙර පැවති මට්ටමටම සකසා අවසන් වන විට අලුයම හතරේ කනිසමද පසුවී හමාරය.
අවසන් කොටස හා ප්‍රදර්ශණය අතරතුර සිදු වු දෑ මීලග කොටසින්..... 



මේ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වම්හ.....


Monday, November 2, 2015

නොබැලිය යුතු කිසිත් නොමැති නොහොත් X-Ban 2008

X BAN යනු ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලය මගින් අවුරුදු පහකට වරක් පවත්වනු ලබන්නා වු අධ්‍යාපන හා තාක්ෂණික ප්‍රදර්ශණයකි. සියනෑ කෝරලයේ හෝ වෙනත් පාසලකින් ඉදිරිපත් නොකරන හා අපටම ආවේණික වන විශේෂාංග වලින් ප්‍රදර්ශණය සමන්විත වේ. අවසාන වරට මෙය 2013 වසරේදි පැවැත්විණි. 6 වසරේ සිට උසස්පෙල දක්වා කාලයේදී ප්‍රදර්ශණ දෙකකට සහභාගී වීමට ලැබීම වාසනාවකි. ඒ අනුව පූසා ඇතුලු පිරිස හත වසරේ සිටියදී 2003 දීත් උසස්පෙල ඇරඹුණු 2008 දීත් පාසල් කාලය තුලදී ප්‍රදර්ශණය සදහා දායක වීමට අවස්ථාව ලබාගතිමු. අප ප්‍රදර්ශණයට ආසන්න මට්ටමක අධ්‍යාපනික ප්‍රදර්ශණයක් මා නැරඔුවේ 2011 ගම්පහ රත්නාවලී විදුහල් වල පැවති අධ්‍යාපනික ප්‍රදර්ශණයේදීය.

1993 දී මෙම ප්‍රදර්ශණය නැරබීමට පැමිණි එවකට අධ්‍යාපන ඇමතිව සිටි දිවංගත ලලිත් ඇතුලත් මුදලි මහතා BAN යන්නට අර්ථකතනයක් ලබා දී තිබේ.


X - යනු ජරාව
BAN- ඉවතට
එනම් නොබැලිය යුතු දේවල් කිසිවක් නැත යන්නයි.

2008 වසරේ දී වාණිජ අංශයේ සිසුන් වු අප පන්තියේ කට්ටියගේ කල්පනාව උනේ ඉතිහාසයේ වෙනදා වගේම හොදම නිර්මාණයට හිමි සම්මානය අපේ පන්තියට ගන්න. අවසානයේ දීර්ඝ සාකච්චා වලින් පස්සේ අපේ ගුරුතුමිය තීරණය කලේ ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය නිරූපනය වන පරිදි කුඩා ගම්මානයක් නිර්මාණය කරන්නටයි. සත්‍ය නාමය සදහන් කල නොහැකි නිසාවෙන් ගොට්ටා ලෙස අපි හදුනවපු පංති සගයෙක් තමා අපිටත් වඩා උනන්දුවෙන් වැඩේට බැස්සේ. අවසානයේ දී මගඩි නැටුම අපට සිහිගන්වමින් අපට සැමටම ණය කරුවන් කරමින් ලද අනුග්‍රාහක මුදල් ද සමග අතුරුදහන් වීමද වෙනමම අවසානයේ දී සිහිකරන්න අවශ්‍යයි.



වර්ෂ 2008 අගෝස්තු 29 වෙනි බදාදා උදේ 10.15 ට අපේ නිර්මානය ඉදිකිරීම සදහා පලමු පස් පිඩැල්ල කපලා වැඩ ඇල්ලුවේ වාණිජ අංශයේ ප්‍රේමරත්න සර් සහ එවකට අංශ ප්‍රධානී නිමල්සිරි යන මහත්වරුන්. නිර්මානයට අදාල කොටස් සිසුන් අතරේ බෙදලා දීලා කණ්ඩායම් නායකයොත් පත්කරලා සිටියේ. සජිත් සහ පුසා වන මමතුමා තමා ඇඩ්මින් වැඩේ පැවරිලා තිබ්බ‍ෙ. පාසලින් බැහැර යන්නන් ට අවශ්‍ය අවසර පත්‍ර වගේම පාසලෙන් ලබා දුන්න මුදල් වලින් අවශය මුදල් නිකුත් කිරීම හා ප්‍රදර්ශණ කාර්යමණ්ඩල සදහා රාත්‍රී ආහාර පහසුකම් සැපයීම අයත්ම තිබුනා. 
                                               සජිත් රෂ්මික සහ මහේෂ්


ඒ කාලයේ විදුහල්පතිව වැඩසිටියේ පූජ්‍ය ලබුතලේ සුදස්සන හාමුදුරුවෝ. අයාලේ යමින් තිබ්බ බණ්ඩාරණායකේ අලු පිහදාලා පණ ගහලා ආවේ අපේ ස්වාමීන් වහන්සේගේ නොබසුබට උත්සහාය නිසාමයි. යකාට වත් බය නැති උන්වහන්සේ සැමට පැනවූ පොදු කොන්දේසිය උනේ කචල් දාලා වලි දා ගත්තොත් කොච්චර දුරට වියදම් කරලා හැදුවත් නිර්මාණය ඉවත් කරනවා යන්නයි. පන්තිභාර කුසුම් මිස්ට අ.පො.ස උ/පෙල ඇගයීම් කටයුතු නිසාවෙන් අප පන්තියේ කටයුතු අධීක්ෂණය කලේ ග්ලැසියර් නමින් පාසල පුරා ප්‍රසිද්ධ රණසිංහ මහතාය. අර්ථයේ පරිසමාපත්තියෙන්ම හොද මහත්මයෙකු වු එතුමා අපිත් සමග හරි හරියට වැඩ කලේ දිවා රෑ නොබලාය. දිනක් සිසුන් නැතිව සිටි මොහොතක ගම්පහ ඉහලගම ලමා නිවාස පරිශ්‍රෙය් සිට උණ ගසක් කරතබාගෙන යක්කු ගස් යාමට ඔන්න මෙන්න වේලාවක රණසිංහ මහතාත් මමත් පාසල වෙත පැමිණි අයුරු අදටත් සිහිවන විට මුවට නැගෙන්නේ සිනහවකි.

දිනක් උදෑසන මම පාසලට යනවිට විදුහල්පති ස්වාමීන් වහන්සේ අප නිර්මාණය ඉදිකරණ භූමි භාගයේ රැදී සිටි අතර කනට මිහිරි කිසිදා අසා නැති මනෝහර පාලි හා සංස්කෘත භාෂාවෙන් අපේ පිරිසට දහම් දෙසමින් සිටින ආකාරය දුටුවෙමි. විනය මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම පෙරදා රාත්‍රියේ ඉදිකිරීම් වල යෙදුනු පිරිස හිස පහත් කරගෙන සිටිනු දුටු විට මුන් ඊයේ කුමක් හෝ මගඩි නැටුමක් නටා ඇති බව මට පැහැදිලි විය.. 

මෙතැන් සිට ඉතිරිය මතුවට..........

පසු සටහන

  • රණසිංහ මහතා 2009 වසරේ ඉසිඹු ලැබුවේය. කුසුම් මිස් සහ ප්‍රේමරත්න සර් අද වන විට ස්ථාන මාරු ලැබ පාසලින් නික්ම ගොසිනි.
  • අදත් සුදු ඇදුමින් සැරසුන දහසක් දෙනා අප ගම්මාණය ඉදිකල භූමියේ සැරිසරති එහි මතකයන් කාලයේ වැලි තලාවන්ට හසුවී වැසී ගොසින්ය. මතකය පමණක් හදවතෙහි ගැබුරුතම ස්ථානයක රැදී පවතී.

මේ වගත් එසේම වෙනදා මෙන් පහුරු ගෑ මම සුදු පූසා වම්හ.....