Wednesday, March 15, 2017

අපි නොදන්න චෙක්පත් - පලමු කොටස

ජීවිතේ කවදහරි දවසක ඔයාලටත් මොකක්හරි දේකට චෙක්පතක් ලැබිලා ඇතිනේද? එහෙමත් නැත්නම් ඔබ චෙක්පත් මගින් ගෙවීමක් සිදුකරලා තියෙනවා වෙන්නත් පුලුවන්. ඔයාගේ නමට ලැබුණ චෙක්පත බැංකුවේ කවුන්ටරයට ගෙනිහින් මුදල් බවට පත්කරගෙන හෝ ගිණුමට තැන්පත්කරලා මුදල් අරගෙනත් ඇති නමුත් ඒ පිටිපස්සේ තියෙන විශාල ක්‍රියාවලිය ගැන ඔයාල ටිකක් හරි දැනගෙන සිටියාද? 
මම චෙක්පත් සම්බන්දව කාලයක් තිස්සේ කටයුතු කරන හින්දා අපේ ගණුදෙණූකරුවෝ කරන වැරදි ගොඩක් නිරීක්ෂණය කරලා තියෙනවා. දැනට මේ ඉන්න තැනට සාමාන්‍ය දවසක නම් චෙක්පත් 250-300 අතර ප්‍ර‍මානයක්ද වැටුප් හා වැටුප් අත්තිකාරම් ආසන්න දවස්වලට චෙක්පත් 850 ත් 1000ත් අතර ප්‍ර‍මානයක් දෛනිකව දැබෙනවා උනත් හැමදාමත් චෙක්පත් 70ත් 100ත් අතර ගණනක් අඟරු(Return) වෙනවා.ඒක හින්දා චෙක්පත්වල ඉතිහාසය වගේම නිතර කරන වැරදිත් මේ ලිපි පෙලෙන් කියන්න මම අදහස් කරනවා.
චෙක්පත් නිකුත් කරන්නේ ජංගම ගිණුම් සදහා පමණක් වන අතර එය පුද්ගලික ජංගම ගිණුම් සහ ව්‍යාපාරික ජංගම ගිණුම් ලෙස ප්‍ර‍ධාන වශයෙන් කොටස් දෙකකට බෙදා තිබෙනවා. ජංගම ගිණුම් ව්‍යාපාරිකයින්  සදහා ඉතා වැදගත් ගිණුම් වර්ගයකි. මුදල් මගින් ගනුදෙනු කරනු වෙනුවට චෙක්පත් මගින් ගනුදෙනු කිරිමට මෙම ගිණුම් තුල අවකාශ ලැබී ඇත. එමගින් තම මුදල් සදහා වැඩි ආරක්ෂාවක් හිමිවේ. ව්‍යාපාරික ජංගම ගිණුම් ඇරඹිමට ආයතනය ලියාපදිංචි කර ති‍බිම වදගත් අතර එවිට එහි නමින් ජංගම ගිණුම් පවත්වා ගෙන යා හැකිය. ජංගම ගිණුම් වල තැන්පතු සදහා බැංකුව විසින් කිසිදු පොලියක් නොගෙවන අතර බැංකුව විසින් ජංගම ගිණුම් සදහා පමණක් සපයන  අනෙකුත් සේවාවන් සදහා සේවා ගාස්තුවක් අය කෙරෙන අතර සමහර බැංකු ශේෂය යම් අවම ම්ට්ටමට වඩා අඩුවෙන් ඇති විටද සේවා ගාස්තුවක් අය කරයි. ප්‍රමාණවත් තරම් ශේෂයක් නොමැති විට නිකුත් කරන ලද චෙක්පත සදහා ගෙවීම් කිරිම බැංකුව ප්‍රතික්ෂේප කරන අතර එවැනි ‍අගර‍ැ වෙක්පත් සදහා ‍අගර‍ැ වෙක්පත් ගාස්තුවක්ද අයකෙරේ. බැංකුව විසින් සැම මාසයක් අවසානයේදි ගිණුම් හිමියා වෙත එම මාසය තුල සිදුවු ගනුදෙනු පිලිබදව විස්තරයක් නිකුත් කරනු ඇත. ලංකා බැංකුවේ ජංගම ගිණුම් ඇරඹීමට අදාල අවම අගයන් පහත පරිදි නියමකර තිබෙනවා


ශාඛා වර්ගය                     ව්‍යාපාරික ජංගම          ගිණුම්                              පුද්ගලික                                                  ජංගම ගිණුම් 

අධි ශ්‍රේණිය 15,000 10,000
‘A’ ශ්‍රේණිය 15,000 5,000
‘B’ ශ්‍රේණිය  10,000 5,000
‘C’ ශ්‍රේණිය 5,000 2,500

මීට අමතරව මූලස්ථාන ආයතනික ශාඛාවේ ඕනෑම ජංගම ගිණුමක අවම තැන්පතුව රුපියල් ලක්ෂයක් ලෙසද පුද්ගලික ශාඛාව මහනුවර අධිශ්‍රේණි හා පිටකොටුව ශඛාවන් සදහා අවම තැන්පතුව රුපියල් විසිපන්දහසක් ලෙසද නියමකර තිබෙනවා (මේ අවම තැන්පතු අගයන් ලංකා බැංකුවේ ජංගම ගිණුම් සදහා පමණයි) 

මේ ලෝකේ හා හාපුරා කියලා චෙක්පත් පාවිච්චිය ආරම්බ කරලා තියෙන්නේ 1659 තරම් ඈත කාලයේ එංගලන්තයේ Bank of England කියන ආයතනයකින්. ඒක අද කාලේ වගේ ලස්සනය මුද්‍ර‍ණය කරපු විධිමත් ආකාරයේ චෙක්පතක් නෙවෙයි.අද පවතින ආකාරයට සමාන වෙන්න මුද්‍ර‍ණය කරපු චෙක්පත් භාවිතය ආරම්බ වෙලා තියෙන්නේ 1717 දී එංගලන්තයේ ලන්ඩන් නුවරදී. 
ලොව පලමු චෙක්පත

මේ චෙක්පත් වල නිශ්කාෂණ(Clearing) කටයුතු කෙරෙන්නේ කොහොමද කියල දන්නවද? මේ ක්‍රියාවලිය අපිට පුලුවන් කොටස් තුනකට බෙදන්න
  1. එකම බැංකුවක එකම ශාඛාවක් අතර ගණුදෙණු වෙන චෙක්පත්
  2. එකම බැංකුවක විවිධ ශාඛාවන් අතර සිදුවන චෙක්පත් ගණුදෙණු
  3. බැංකු ආයතන දෙකක් අතර සිදුවන චෙක්පත් ගණුදෙණු
අංක එක යටතේ සිදුවෙන ගණුදෙණුවක් නම් උදාහරණ ලෙස ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ ගිණුම් හිමියෙකුට ඒ ශාඛාවේම චෙක්පතක් ලැබුනොත් ආදාල කාරණා සම්පූර්ණ වෙනවානම්(ගිණුමේ මුදල් පැවතීම,ආදර්ශ අත්සන් නිවරදි වීම ආදී) ඒ මොහොතේදීම චෙක්පත මුදල් කරගැනීමට හෝ ගිණුමට තැන්පත් කර ගන්නට පුලුවන්.

අංක දෙක යටතට එන ගණුදෙණුවක් නම් උදාහරණ ලෙස ලංකා බැංකුවේ හාලිඇල ශාඛාවේ චෙක්පතක් ලංකා බැංකුවේම මරදාන ශාඛාවේ ගිණුමකට දැම්මොත් ඒක එදා දවසේ වැඩ ඉවරවෙන්න කලින්(තැන්පත් කල මොහොතේ සිට 4.30 අතර) නිශ්කාශණ කටයුතු සිද්ධවෙනවා.

අංක තුන යටතට එන ගණුදෙණුවක් නම් උදාහරණ විදිහට ලංකා බැංකුවේ ගිණුම් හිමියෙකුට සම්පත් බැංකුවේ චෙක්පතක් ලැබුනොත් ඒක නිශ්කාශණය වෙන්නේ ඊලගට වැඩකරන දවසේ දවල් 2.30 පස්සේ (සිකුරාදා දවසක තැන්පත්  කලානම් සදුදා දවල් 2.30 පස්සේ තමා)

ඉස්සර නම් මේ ලංකාවේ සතරදිගන්තෙම චෙක්පත් දිනපතාම කුරියර් සර්විස් මගින් කොළඹට ගෙන්න ගත්තා. විශේෂයෙන් යුද්ධය පැවති මුල්සමයේ යාපනය වගේ දුරපලාත් වල චෙක්පත් නිශ්කාශණය වෙන්න ගොඩක් කල්ගතවුනා මොකද ඒ චෙක්පත් සියල්ලම සජීවීව කොළඹටම ලැබිය යුතුනිසා. අද වෙනකොට මේ නිශ්කාශණ කටයුතු වලට වෙනම ආයතනයක් පිහිටුවා තිබෙනවා සීමාසහිත ලංකා ක්ලියර් (Lanka Clear) සමාගම ලෙසින්. එය ලංකා බැංකු මූලස්ථානයේ 23 වන මහලේ පිහිටා තිබෙනවා.
නිශ්කාශණ ක්‍රියාවලිය
අද වෙනකොට ලංකාවේ සෑම බැංකුවක්ම ලංකා ක්ලියර් වෙත තම චෙක්පත් යොමුකරන්නේ ස්කෑන් කරනලද ප්‍රතිම්භයන් ලෙසයි. ලංකා ක්ලියර් වසරකට ආසන්න වශයෙන් මිලියන පනහක චෙක්පත් නිශ්කාෂණ කටයුතු සිදු කරනවා. දෛනික පියවීම් කටයුතු අවසානයේ අඟරු චෙක්පත් නිවේදනත්(Cheque Return Notice - CRN)  ඔහුන් විසින්ම නිකුත් කරනු ලබනවා.
අපි බලමු චෙක්පතක මූලික කොටස්
  1. චෙක්පතේ දිනය (වි‍ශේෂයෙන් සදහනක් නොවේනම් දාතමේ සිට මාස හයකට වලංගුය) 
  2. බැංකුවේ නම සහ ශාඛාවේ නම
  3. හෝ රැගෙන එන්නාට යන විධානය
  4. ආදායකයාගේ නම
  5. චෙක්පතේ වටිනාකම ඉලක්කමෙන්  
  6. චෙක්පතේ වටිනාකම අකුරෙන්
  7. අණකරුගේ අත්සන
  8. චෙක්පත් අංකය
  9. චෙක්පත අයිති බැංකුවේ සංඛේත අංකය
  10. චෙක්පත අයිති බැංකු ශාඛාවේ සංඛේත අංකය
  11. චෙක්පත හිමියාගේ ජංගම ගිණුම් අංකය
  12. විද්යුත් කියවුම් දත්ත සහිත තීරුව
චෙක්පත් රේඛන වර්ග අඟරු වීමට බලපාන හේතු වගේම නිතර කරන වැරදිත් වගේම සංචාරක චෙක්පත් ගැනත් ඊලග කොටස් වලින් ලියන්නම්.
මේ සම්බන්දයෙන් කියවන ඔයාලට ගැටලු වගේම දැනගන්න දෙයක් එහෙම ති‍යෙනවනම් අහන්න.

පසු සටහන
  • මම දැකපු අඩුම අගයකට රිටන් උන චෙක්එකේ අගය ශත විස්සයි.
  • තමන්ගේ අත්සන තමන්ටම මතක නැතුව එන ගණුදෙණුකාර මහත්වරුත් නැතුවම නෙවෙයි..

ඒ වගත් මෙසේම අද චැක්පොත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ......

18 comments:

  1. එල එල... නියම තොරතුරු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට සහ පැමිණියාට ස්තූතියි.
      කිසියහ් හෝ දැනුමක් ලැබුවානම් එයයි සතුට

      Delete
  2. වටින ලිපියක්,
    පහතින් ලියන්නේ මගේ අත්දැකිමක් අපහාසයක් විදියට ගන්න එපා..
    මම ලංකා බැංකුවට ගියා අනේවාසික විදේස මුදල් ගිණුමක් අරම්බ කරන්ඩ, මට දීපු ෆෝරම් සෙට් එක මාගලක් විතර ලොකුයි. පස්සේ මම පුද්ගලික බැංකුවකින් පහසුවෙන් ගිණුමක් ආරම්බ කරා, මේ ෆෝරම කෙටි කරන්ඩ යෝජනා කරනවා. ලංකා බැංකුව තමයි හොදම NRFC සේවාව සලසන්නේ කියන එකත් මතක්කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. අපහාසයක් නෙවෙයි ලලිත් මමත් ඔබගේ ප්‍ර‍කාශයට එකඟයි,ලංකා බැංකුවේ හැමදේකටම අනවශ්‍ය නීතිරීති තියෙන්නේ යල්පැනපු.
      NRFC සේවාව විතරක් නෙවෙයි මනිග්‍රෑම්,වෙස්ටර්න් යුනියන්,රියා වගේ ලංකාවේ වේගවත්ම විදේශ මුදල් ප්‍රේෂණ පද්ධතිය තියෙන්නෙත් ලංකා බැංකුව සතුව.
      අනවශ්‍ය නීතිරීති තමයි වැඩි

      Delete
  3. බොහොම වටිනා තොරතුරු ටිකක්. 👍🏽 (thumb up එක ඉස්සුවෙ ටික්කගෙන්)

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට සහ පැමිණියාට ස්තූතියි.
      කිසියහ් හෝ දැනුමක් ලැබුවානම් එයයි සතුට

      Delete
  4. වැදගත් තොරතුරු. පූසෝ මේ ශත විස්සේ චෙක් එකේ කතාව පොඩ්ඩක් කියන්නකෝ. ලංකාවේ පළමු චෙක් එක ගැන විස්තර තියෙනවද....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අනුර ශත විස්සේ චෙක්පත කොටස් වෙලදපල ලාබාංශ ගෙවීමකට අදාලව සමාගමක් විසින් කොටස් හිමියෙකුය නිකුත් කරපු චෙක්පතක්.
      කෙසේ උනත් නික්කාෂණ ක්‍රියාවලියෙදි ඒ චෙක්පත අඟරු උනා.
      ලංකාවේ චෙක්පොත් වල ඉතිහාසය ලංකා බැංකු මුදල් කෞතුකාගාරයේ දැක බලා ගන්න පුලුවන්

      Delete
  5. මටත් ලාබාංශ විදිහට රුපියල් සියයක චෙක් එකක් ලැබිලා තිබුනා. විලි ලැජ්ජාවේ බෑ ඒක බැංකුවේ තැම්පත් කරන්න ගියාම. හොද ලිපියක් සුදු පුසෝ...

    ReplyDelete
    Replies
    1. විලි ලැජ්ජාව වෙන්නේ රිටන් උනානම් තමයි.
      අගය කිරීමට සහ පැමිණියාට ස්තූතියි.කිසියම් හෝ දැනුමක් ලැබුවානම් එයයි සතුට

      Delete
  6. මට කියන්න පුලුවන්ද ගිනුම් අංකයට චෙක් පතක් ලියන්නෙ කෙසේද කියලා

    ReplyDelete
    Replies
    1. Pay කියලා තියෙන තීරයේ ගිණුම් අංකයත් ආදායකයාගේ නමත් ලියන්න. චෙක්පත අයිති බැංකුවේ නොවන ගිණුමක් නම් බැංකුවේ නමත් ලියන්න
      උදා- මහජන බැංකුව ගිණුම් අංක 1000469 ඩී.ඩී පියසේන

      Delete
  7. ජංගම ගිනුමක් තියෙන කෙනෙකුට බැංකු අය්රා ඇරෙන්න වෙන ලැබෙන පහසුකම් තියෙද

    ReplyDelete
  8. මට කියල දෙන්න පුලුවන්ද, චෙක්පතක් මගින් මුදල් ලබාගන්න ආකරයට චෙක් පතක් ලියන ආකාරය.. ඔබ ඒ සම්බන්දව ලියා ඇත්නම් මට එම link එක එවනවද..

    ReplyDelete