Friday, October 6, 2017

දිසාපාමොක් මතක දෙවන කොටස - විඳු නැණ ඇඳුරු මතක

පලමු කොටස
ඉස්කොලේ හිටපු ගුරුවරු ගැන මතකය  ලියන්න ගත්තට තාම ලියාගන්න පුලුවන් වුනේ එක කොටසයි. අද ජාත්‍යන්තර ගුරුදිනේ නිසාවෙන් අදත් මම කියන්න හදන්නේ මගේ මතකයේ රැදුනු තවත් අපූරුම ගුරුවරුන් දෙන්නෙක් ගැන. මේ කියන්න යන ගුරුවරුන් දෙදෙනාම විද්‍යාව හා තාක්ෂණවේදය විෂය පිලිබදව ඉහලතම දැනුමක් තිබූ ගුරුභවතුන්. පලමුවෙන්ම මම කියන්න යන චරිතය ගම්පහ බණ්ඩාරණායක විදුහලේ ඉතාමත් ජනප්‍රිය හා මිනිස්කම අතින් ඉහලින්ම සිටි ගුරුවරයෙක්
නමින් රංජිත් ප්‍රනාන්දු වෙච්ච මෙතුමා එවකට පාසලේ පැවති විශාලතම විද්‍යාගාරය භාර ආචාර්යවරයා වශයෙන් කටයුතු කරන අතරම පාසල් විනය පාලක මණ්ඩලයේ ප්‍රභල සාමාජිකයෙක්ද උනා. මට ඔහු මුණගැසුණේ සාමාන්‍යපෙල අධ්‍යණ කටයුතු පටන්ගත් සමයේදීය මක්නිසාදයත් අප පන්තියට විද්‍යාව විෂය සදහා පත්ව සිටි ගුරුවරයා රංජිත් මහතා වූ බැවිනි. අනෙකුත් පන්ති සදහා විද්‍යාගාරය ලබාදුන්නේ සතියකට එක් කාලපරිජේදයක් වුවද අපි වසර දෙකක්ම විද්‍යාව  කාලපරිජේදයන් ගත කලේ විද්‍යාගාරය තුලමය.
විෂය නිර්දේශයට අදාල සියලුම පරීක්ෂණ කටයුතු සම්පූර්ණ කරන්නට ලැබුනේ අප පන්තියට පමණක්මය එම නිසා අනෙක් පන්තිවලට වඩා දැනුම අතින් ඉදිරියෙන් සිටින්නට අපට සිටින්නට හැකිවු බව පැවසිය යුතුමය. වර්ෂ අවසාන විභාග කටයුතු සදහා පාසලින් විද්‍යාව ප්‍රශ්ණපත්‍රය සකස් කරනු ලැබුවේ රංජිත් මහතා වන අතර සිසුන් රන්ජිත් මහතා සකස්කරන්නාවූ ප්‍රශ්ණපත්‍ර වලට පිලිතුරු සැපයීම යනු ලේසි දෙයක් නොව අමාරුම වීම නිසාය. තරමක් සාමකාමී ගුරුතුමෙකු වුවද ඉතාමත් කෝපයෙන් පහරදුන් අවස්ථාවක් මගේ මතකයේ ඇත. එනම් පැරෆින් තෙල් වල බහා තිබූ සෝඩියම් කැබැල්ලක් ගෙන අපේම පන්ති සගයෙකුගේ සාක්කුවට දමද්දීම මාට්ටු වීමයි. හයිකෝට් මට්ටමේ වැරැද්දක් වූ එය කලේ කවුදැයි ඉදිරිපත් නොවූ නිසාත් කිසිවෙකුත් පාවා නොදුන් නිසාත් රංජිත් සර්ගෙන් පෝරියල් වීදීමට සැමටම සිදුවිය. 
11 - A පන්තියේෙ සිටියේ නාහෙට අහන්නේ නැති සොමිබර ජොලිබර සෙට් එකකි. හිස් පීරියඩ් එකක් ආවොත් සෙට් එක පිටින් එකකෝ පිට්ටනියේය එසේ නැතහොත් මහා සංගීත සංදර්ශණයක් බවට පෙරලේ.  අල්ලපු පන්ති වලින් සද්දේ වැඩියි කියා ගුරුවරුන් කීවද ගනන් ගන්නේ නැත. සංගීතය අවසානයේ බයිලා ගායනයක් බවට පත්වේ. එසේ ගලා යන අතරතුර සංගීත ප්‍රසංගය බාල්දි වැටෙන අවස්ථාද නොතිබුනා නොවේය. මක්නිසාදයත් අපගේ සංගීත මිහිරියාව කෙමෙන් කෙමෙන් විද්‍යාගාරය දක්වාම පැතිරගොස් විද්‍යාගාරයේ වාසය කරනා රංජිත් ප්‍රනාන්දු මහාතාගේ සවන්පත් සිපගත් කල සිදුකරන්නාවූ හදිසි කඩාපැනීම් හේතුවෙනි. අනිත් ගුරුවරුන් වන පතිරත්න දයාරන්ජිත් ගුණතිලක වැන්නන් පහරදුන්නද රංජිත් මහතා කිසිම කලෙක අපේ බජව්කරුවන්ට දඩුවම් කලබවක් නම් මගේ මතකයේ නැත. ඔහු කලේ තදින් බැණ වැදීම පමණකි. ඔහුට කලාව පිලිබදව ඇල්මක් තිබූ බව මගේ හැගීමය මන්දයත් විවේක කාලයට විද්‍යාගාරයට එන රතුකුරුස ඒකකය භාරව සිටි චන්ද්‍රදාස සතරසිංහ හා සමන් ජයසේකර මහතුන් සමග ඉදහිට ගී ගයනු ඇසී තිබෙන නිසාය.
බොහෝ කාලයක් සිසුන් දැනුමින් පෝෂණ්‍ය කල මෙතුමා මේ වන විට විශ්‍රාම සුවයෙන් නිට්ටඹුව මාඉබුලේ පිහිටි සිය නිවසේ වෙසෙත්.

*******
එකල ගම්පහ නගරයේ සාමාන්‍යපෙල විද්‍යාව විෂය සදහා සිටි සාර්ථකම හා ජනප්‍රියතම පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා වුයේ බණ්ඩාරවත්ත ගයා පෙදෙසෙහි විසූ තිලක් ගමගේ මහතාය. හය වසරෙන් ආරම්බකර එකොලහ වසරෙන් අවසන් වන ලෙස පන්ති පැවති අතර එක් ශේණියකට පන්ති තුනක් බැගින් වෙන්කර තිබුණි. මම අවසන් වන තුරුම සහභාගී වුයේ සෙනසුරාදා දින පැවැති පන්තියට වන අතර එහි සාමාජිකයන් තුන්සියයකට ආසන්න ගණනක් සිටිබව මගේ මතකයේ පවතී. 
පාසල් විෂය නිර්දේශයට පෙර අන්වීක්ෂය වැනි උපකරණ භාවිතා කිරීමටත් රසායන ද්‍රව්‍ය භාවිතා කර විවිධ පරීක්ෂණයන් සිදුකර සාර්ථක ප්‍රථිඵල ලබාගැනීමටත් ඉඩකඩ සැලසුනේ ඔහුගෙන් ලද මඟපෙන්වීම නිසාවෙනි. පන්තියට සහභාගී වන සිසුන්ට ගිරවුන් මෙන් විෂය කරුණු පමණක් නොව නිර්මාණ ශක්තියද වර්ධනය වනු පිණිසත් දැනුම පරීක්ෂා කරණු පිණිසද ක්‍රියාමාර්ග යොදා තිබිණි.වසරකට නියම කල නිර්මාණයන් ගණනක් නිමවා ඉදිරිපත් කිරීම අනිවාර්ය වූ අතර අපගේ පොත්පත් කලකට වරක් පරීක්ෂා කලේ රූපා අක්කාය.
පලමු වරට ඡන්දයක අත්දැකීම විදින්නට ලැබුනේද මෙහීදීය. එනම් පන්ති නායක හා පන්ති නායිකාව තෝරාගත්තේ සිසුන්ගේ ඡන්දයෙනි. නාමයෝජනා එකකට වඩා ලදහොත් රහස් ඡන්දයක් පවත්වයි. මැතිවරණ කොමසාරිස් වෙන කිසිවෙකුත් නොව ගමගේ සර්මය. මමද සහභාගී වු සෙනසුරාදා පන්තියේ වැඩිම වසර ගණනක් පන්ති නායකයා වූයේ චින්තන සොයුරාය ඔහු මගේ පාසල් පන්ති සඟයෙකි. සාමාන්‍යපෙල විභාගය පැවති වසරේ ඡන්දයෙන් ප්‍රතිවාදී අපේක්ෂකයාට ඇපත් නැති කරමින් ජයගත්තේ මම තුමායි. ප්‍රතිවාදියා වූ ජූඩ් මිලින්ද සොයුරාව පන්තියෙන් සමුගත් පසුව මට යලිත් කිසුදු දිනක මුණගැසී නැත.

ලමා මානසිකත්වය පිලිබදව "ඔබේ දරුවා රජ කරවමු" වැනි ග්‍රන්ථයක්ද පලකර ඇති එතුමා ගත් කතුවරයෙක්ද වෙයි. දශක කිහිපයක් විශාල වූ සිසුන් ප්‍රමාණයකය දැණූම බෙදා දුන් තිලක් ගමගේ මහතා අද බණ්ඩාරවත්ත ගයා පෙදෙසේ වූ නිවසේ වෙසෙත්.
ජාත්‍යන්තර ගුරු දිනය සමරණ අද දිනයේ මගේ පැතුම ඉදිරි කාලය මම සදහන්කල ගුරුභවතුන් දෙදෙනා ඇතුලු සමස්ථ ගුරුවරුන් හට නිදුක් නීරෝගිමත්ව ගත කිරීමට හැකිවේවා යන්නයි.
තිලක් ගමගේ ගුරුපියාණන්ගේ මුහුණු පොත් ගිණුම.


පසු සටහන

  • වසර දෙකහමාරකට පෙර අරබන ලද මාගේ බ්ලොග් අඩවියේ අද මෙයත් සමගම සපුරාලන්නේ ලියා පලකරන ලද පනස්වන සටහනයි.
  • රංජිත් ප්‍රනාන්දු මහතාගේ ජායාරූප සපයා දුන්නේ අප විදුහලේම සංජීව සිරිවර්ධන සොයුරා විසිනි.

ඒ වඟත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.......

2 comments:

  1. පනහට සුබ පැතුම් !!
    ළමයෙක්ගෙ හිත ගන්න පුලුවන්නං ඒ ගුරුවරයා ඒ ළමයගෙ මතකයේ සදා රැඳෙනව.

    ReplyDelete
  2. පනස්වන සටහනට මගේ සුභ පැතුම් සුදු පූසො. මම 1993 6 වසරට එද්දි රංජිත් සර් තමයි අංශ භාරව හිටියෙ...වරදකදි බනින විදියට අපිට හිතෙන්නෙ දැන් දැන් පාර සැරටම වදියි කියලා...ඒත් සර් කොල්ලෙක්ට අතක් ඉස්සුවෙ හරිම කලාතුරකින්...බනින එක නම් සැරටම බැන්නා...මම තූර්ය වාදක ඛණ්ඩයේ හිටිය එකා නිසා..අපි වගේ උන් දිහා බැලුවෙ අමුතුම නොරුස්නා බැල්මකින්...අපි පාසලෙන් ඉවත් වෙලා වැඩි හිටියෙ උනාට පස්සෙ...අපේ සුහද හමුවීමකදි සර් ඒ අතීතය මතක් කරලා..ඇස් වල කදුලු පුරෝගෙන මගෙන් සමාව ඉල්ලුවා අතීතයෙදි ඒ විදියට සලකපු එක ගැන...අපි ඉගෙන ගන්න උන්ව ඔලුව උඩ තියාගෙන උඹලට සලකපු විදිය හොද නෑ...අද පාරක දැක්කත් අපිට සර් කියලා කථා කරන්නෙ අපෙන් බැනුම් අහපු උඹලා මිසක අපි ඔලුව උඩ තියාන හිටිය උන් නෙමෙයි...සෑර් කිව්වෙ එහෙමයි.

    ReplyDelete