මම මේ කියන්න යන චරිතය ගම්පහ බණ්ඩාරණායක විදුහලේ ඉතාම ප්‍රසිද්ධ චරිතයක් එවකට ප්‍රධාන විනය පාලක තනතුර පතිරත්න මහතා සමග හවුලේ දැරුවේ මෙතුමා තමයි. ජාතික හැදුණුම්පතේ සටහන් වෙච්චි ඇත්ත නම ප්‍රේමරත්න වුනත් මෙතුම ඉස්කෝලේ ඇතුලේ ප්‍රසිද්ධ වෙලා හිටියේ කක්කුට්ටා නමින්. ඉස්කෝලේ කොතනක වලියක් ගියත් කොයි තරම් චන්ඩියෙක් වුනත් කක්කුට්ටා එනවෝ කියල කිවුව ගමන් ගස් ගල් පෙරලගෙන දුවන්නේ අහුවුනොත් විදින්නට වෙන සංග්‍රහයේ රස දන්න හින්දමයි.
අපේ ඉස්කෝලෙට ඇතුල් වෙන්න ප්‍රධාන මාර්ග දෙකයි තියෙන්නේ ප්‍රධාන පිවිසුම සහ ක්‍රීඩා පිටියෙන් ඇති පිවිසුම ලෙසින්. ප්‍රධාන පිවිසුමේ ශිෂ්‍ය නායකයින් සමග අනිවාර්යෙන්ම විනය මණ්ඩලය නියෝජනය කරමින් මෙතුමා රැදී ඉන්නේ වැරැද්දක් කරලා එන වාසනාවන්තයෙක් එනකම්. කොණ්ඩ රැවුල් වවාගෙන නිල ඇදුම අනුමත ආකාරයෙන් නැතිව එන වැරදි කාරයෙක් කිසිම දවසක බේරිලා යන්නේ නෑ වගේම ඒ අයට වැරැද්දේ ප්‍රමාණය අනුව ක්ෂණික තෑගි වගේම සැනසිලි තෑගිත් මදිනොකියන්නම බෙදලා දෙන්නත් මෙතුමා පසුබට වෙන්නේ නෑ.
මට ඔහුව ලගින් ඇසුරු කරන්නට ලැබුනේ උසස්පෙල පන්තිවලට ආවට පස්සේ. ගොඩක් අය හිතන්නේ වගේම මාත් ඇතුලුව හිතාගෙන හිටියේ ඔහු ඉතාමත් සැරපරුෂ අයෙකු ලෙසින් නමුත් ප්‍රේමරත්න සර් ඇවිදින ආර්ථික විද්‍යා දැනුම් ගබඩාවක් බව දන්නේ බොහෝම ටික දෙනෙක් විතරයි. බොහොමයක් වෙලාවට ඉතා දරදඬු පුද්ගලයෙක් විදියට පෙනුනට එතුමා තුළ ඉතා සුන්දර මනුස්සයෙක් ජීවත් වුණා. ඔහුගේ නිදහස් කාලපරිච්චේදයකදී අපි පන්තියට කතා කලත් ඒ හැමදාම ඇවිත් කුමක් හෝ නොදන්නා දෙයක් කියා දෙන්නට ඔහු කවදාවත් දෙපාරක් සිතුවේ නැහැ.
ඒකට හොඳම උදාහරණයක් මම කියන්නම් මේ සිද්ධිය සිදුවුණේ X-Ban 2008 ප්‍රදර්ශනය පවත්වන්න ඉදිකිරීම් කරගෙන ගිය කාලවකවානුවේදී.
එ්කාලේ පාසලේ විනය නීති අනුව ජංගම දුරකථන පාසලට රැගෙන යන්න බැහැ. ඒත් අපේ නිර්මාණයට අදාළව අමුද්‍රව්‍ය හොයන්න යන්න වෙනත් කටයුතු වලට කණ්ඩායම් යද්දී ඒ කණ්ඩායම් අතර සම්බන්ධීකරණය පවත්වා ගන්න ඕන නිසාත් හදිසි පණිවිඩ දැනුම්දෙන්න පහසුව තකාත් මම මගේ ජංගම දුරකතනය හොරෙන් පාසලට අරගෙන ගියා ඒත් කවදාවත් ඒක මාට්ටු වුනේ නෑ. ඒත් එක දවසක් ඉදිකිරීම් කරගෙන යන අතරතුරදී මොකක් හරි දේකට ප්‍රේමරත්න සර් ඇවිල්ල මාත් එක්ක කතා කර කර හිටියා. සර්ත් එක්ක කතා කර කර ඉන්නකොට ටික වෙලාවකින් මගේ සාක්කුවේ උන්න ජංගමයා අඩන්න ගත්තා. මගේ දෙලොව රත්වුනේ අහුවුනා නම් ඇපත් නැති බඩුත් රාජසන්තක වෙන හයිකෝට් වැරැද්දක් හින්දා. ඒත් සර් එදා මට කිව්වේ කොල්ලෝ හොරෙන් අරගෙන ආවානම් ඕක හොරෙන්ම තියා ගනින් නැත්තම් විනය පාලකයා වුන මගේ පට්ටමේ තේරුම කියලා විතරමයි.
********
මම ඊලඟට කියන්න යන්නේ ඉස්කෝලෙ හිටපු තවත් වැදගත් චරිතයක් ගැන. අපේ ඉස්කෝලේ පුස්තකාල තුනක් තිබුණා කනිෂ්ඨ පුස්තකාලය විද්‍යා අංශයේ පුස්තකාලය සහ සියවස සමරු පුස්තකාලය වශයෙන්. සියවස පුස්ථකාලය නමින් මේක හදුන්වන්නේ හිටපු කීර්තිමත් අධ්‍යාපන ඇමතිවරයෙකු වු ඊරියගොල්ල මහතාගේ සමයේදී පැවති සියවස අධ්‍යාපන ප්‍රදර්ශණය සිහිවීමට ඉදිකරන ලද්දක් නිසා. මම කියන සියවස පුස්තකාලයේ පුස්තකාලයාධිපතිනිය විදියට හිටියේ සුනේත්‍රා මහත්මිය. අනාදිමත් කාලෙක ඉඳලා ඇයගේ නම ප්‍රසිද්ධ වෙලා තිබුණේ කාලි අම්මා කියලා.
පුස්ථකාලය පාලනය කරද්දී ඇය ඉතා දරදඬු නපුරු තැනැත්තියක් වුණත් ඉතා හොද මනුෂ්‍ය ගුණදම් හිතේ පැවති ගුරුවරියක් විදියට මගේ මතකයේ රැඳී තිබෙනවා. පුස්ථකාලේ ඇතුලේ කියවන දගලන කොල්ලන්ව කනෙන් අල්ලලා එලියට ඇදලා දාන්නත් ඇය දෙපාරක් හිතන්නේ නෑ.සියවස පුස්තකාලය කෙරවලේ අන්තිම මේසය හැමදාම අපිට වෙන්වෙලා තිබුනේ අපේ පුස්තකාලය උදේ ඉඳලා බදු අරගෙන හිටපු යාවජීව සාමාජිකයෝ හින්දා. පන්තියෙන් බෑග් තිබ්බ ගමන් දුවන් යන්නේ පුස්ථකාලෙට. සමහර වෙලාවට අපි කාටහරි පුස්ථකාලේ බලාගන්න කියලා දීලායන වෙලාවලුත් නොතිබුනා නෙවෙයි.
උසස් පෙල විභාගය කිට්ටු වෙද්දී වරකට බැහැර දෙන්නේ එක පොතක් වුනත් අපි පොත් තුන හතර ගෙනාපු දවස් තිබුනා.ඇගේ මතකය කොතරම් හොඳයි ද කියනවා නම් ඇයට උදෑසන ඕනෑම මොහොතක ඕනෑම පොතක් නම කිවූ සැණින් එය තිබෙන ස්ථානය නිවැරදිව පැවසීමේ හැකියාව තිබුණා. කාලෙකට පස්සෙ මට මේ ගුරුවරු දෙන්න ගැනම මතක් වුනේ මේ ලගදී ප්‍රේමරත්න සර්ව ගම්පහ නගරයේදී කාලෙකට පස්සේ මුණගැහිලා කථාබස් කරපු හින්දා. මෑත කාලීන ඉතිහාසය තුල අප පාසලේ ස්වර්ණමය යුගය වෙච්ච හිටපු විදුහල්පති පූජ්‍ය ලබුතලේ සුදස්සන හිමියන්ගේ පාලන කාලයෙන් පස්සේ පත්වෙලා අාපු කාඩ්බෝඩ් විදුහල්පති චරිතය හින්දා ස්ථාන මාරු ලබපු ගුරුවරුන් අතරේ මේ ගුරුවරු දෙන්නත් ඇතුලත් වුනා.
පසු සටහන
අප පාසලින් සමුගත් දා සුනේත්‍රා මහත්මිය සමගින් පුස්ථකාලයේදී
පුරා වසර දෙකක් අපිටම වෙන්කර තිබූ මේසය
පසු සටහන
- මේ වෙද්දී ප්‍රේමරත්න සර් තුඩැල්ල ක්‍රිස්තුරාජ විදුහලින් විශ්‍රාම ලබා ඇති අතර සුනේත්‍රා මහත්මිය සිය ගුරු දිවියේ අවසාන මාස කිහිපය උඩුගම්පොල විදුහලක සේවය කරමින් සිටියි.
- අද වන විට සියවස පුස්ථකාලය එහි නැති අතර එය කඩාබිද දමා විද්‍යාගාරයක් ගොඩනගා ඇත.
ඒ වගත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ....
මේ වගේ ගුරුවරු කීප දෙනෙක් අපේ ඉස්කෝලෙත් ඉන්නවා/හිටියා. එත් තාම මම ඉස්කෝලේ ඉන්න නිසා දැන්මම ලියන එක අවුල්. මටත් මේ මාතෘකාව කතා කරන්න උවමනාව තියනවා. ඉස්කෝලෙන් ගියාම තමා..
ReplyDeleteඉස්කෝලේ ආචාර්ය මණ්ඩලේ ඉදගෙනම ඒ ගැන ලියන්න එපා අගහරුවෝ පස්සේ කාලෙක ලියන්න තියාගන්න
DeletePoosage mathakaya gana Sathutu wemi. Mewa adala sir laa ta baleemata kramayak thibe nam owun aneka warayak sathutu wanu atha. Ehema kramayak nadda poos uthumaanani?
ReplyDeleteමගේ මතකය හොදබව උඹ දන්නවනේ කොහොමත්. තව අමතක කරන්න බැරි කී දෙනෙක් ඉන්නවද දඹගල්ල වගේ උදවිය
Deleteප්‍රේමරත්න සර්ට නම් පස්සේ කාලෙක පෙන්නන්න බැරියෑ බන්
Deleteඇත්තෙන්ම හොඳ ගුරුවරු රාශියක් අපිට හිටියා. සමහර අය පෞද්ගලිකවත් අපේ ඉදිරිය, ඉගෙනුම ගැන හෙව්වා. ඒ අතරේ මට ගල් ලෝඩ් එකක් බාන්න හදපු ගුරුවයෙකුත් හිටියා. ඒ යකා නං රජයේ සේවයෙන්ම එලවල දැම්මා. මොකද අපේ අම්මා ඒ දවස් වල කියල තිබුනා ඔය උඹගේ චූව කිට්ටුවට අතගාන කව්රු හරි ඉන්නවනං වහාම කියන්න ඕනය කියලා. ඒකෙන් අම්ම ගේටම බැස්සා. කොල්ලො බරගානක් බේරුනා ඒ යකාගෙන්.
ReplyDeleteඅපේ නම් එහෙම උදවිය හිටියේ නෑ හැබැයි තමන්ගෙම ගෝලයෙක් එක්ක පාසල් වෙලාවේ පාසල ඇතුලෙම කොටු පැනපු ආචාර්යවරියක් නම් හිටියා.
Deleteඒ ගැනත් පස්සේ ලියන්නම් තව ඉන්නවා කට්ටියක්ම අමතක කරන්නම බැරි.
අපිට උගන්නපු සහ ඉස්කෝලෙ හිටපු ගුරුවරු අතරෙත් ඔය වගේ දෙපැත්තෙම අය හිටිය. මොනව උණත් දරදඬුයි කියල පේන්න ඉන්න අය අතරෙ හොඳ මිනිස්සුත් ඉන්නව.
ReplyDeleteමං වගේ නෙහ්.. හැක්.. අර යාලුවා මේ පැත්තේ එන්නේ නැතිව ඇති නේද?
Deleteතමන්ගේ වියදමින් ලමයින්ට උගන්නපු ගුරුවරු අපෙත් හිටියා.
Deleteඇත්ත දරදඬුයි කියල පේන්න ඉන්න ගුරුවරු අතරේ සුන්දර මිනිස්සු ජීවත්වුණා..
@දේශකයා,
Deleteඌට හරියන සයිට් වලට විතරයිද කොහෙද මිනිහ යන්නෙ.
ගුරුවරු ගැන ...අපේ පාසල් කාලය ගැන ඕන තරන් සිද්දි කියතැකි..... අපේ ජීවිතේ සුන්දරම කාලයක් නොවැ ඔය පාසල් කාලය..
ReplyDeleteසුනේත්‍රා මිය හරිම දරදඬුයි තමා...අපි උ/පෙ කරන කාලෙ කොල්ලෙක් බැරි වෙලාවත් නව කථාවක් එහෙම ගෙදර අරගෙන යන්න ආවොත්..බැණුමක් ෂුවර්...විභාගෙට මාස කීයද....නවකථා කියෙව්වම හරි යනවද...ඔය වචන ටික හැමදාම ඇහුනා...
ReplyDelete