Thursday, September 1, 2016

බැංකුවේ ජීවිතේ දෙවන කොටස - හුරතල් දිවියා සහ විශ්‍රාමිකයින්ගේ චාරිකාව

දෙදහස් දහතුන වසර මැද සමය වන විට මම සේවය කරමින් සිටියේ කොළඹ පිහිටි ලංකාවටම තෙල් බෙදන ස්ථානයට නුදුරින් තිබූ ජාතියේ මහා පහන්ටැබේ ශාඛාවක් තුලය. දෙදහස් දහතුන වසර යනු ලංකා බැංකුවේ වයස 55 සහ 60 සපුරා බැංකු සේවයෙන් එකවර සේවකයින් රැසක් විශ්‍රාම ලැබු වසරයි. පරිඝණක ගතකර නොතිබූ මුල් කාලයේ සියල්ල තම දෑතින්ම සිදුකරමින් බැංකුවේ නාමය හා කීර්තිය වර්ධනයට මොහුන්ගෙන් ලද දායකත්වය අතිමහත්ය. අප අයත් වූ බස්නාහිර පළාත් උතුරු කලාපයේ මෙවන් විශ්‍රාම ලබන්නන් රැසක් සිටි නිසාවෙන් ආසන්න ශාඛාවන් දෙකක් එකතුවී විනෝද සවාරියක් සැලසුම් කලේ ඔහුන්ගේත් රාජකාරී කාලය තුල යැවෙන අවසාන චාරිකාව නිසාය.
නුවරඑළියට නුදුරු ළිදුල නම් නගරයේ පිහිටි ආයතනික නිවාඩු නිකේතනයද වෙන්කරවාගත් අප දින තුනකට චාරිකාව සැලසුම් කලේ සිකුරාදා දිනය බැංකු නිවාඩුවක් වු බැවින්ය. චාරිකාව යාමට අවශ්‍යවන ආසන 54 අලුත්ම ලේලන්ඩ් බස්රථය නොමිලේම ලබා දුන්නේ හිතවත් බස් මුදලාලි මහතෙකු වු අතර සීදූව ගල් වැඩපලෙහි නිශ්පාදිත හෙලඔසුපැන් බෝතල් දහයක් අඩංගු මල්ල ලැබුනේ හන්දියේ වයින් ස්ටෝරුව අධිපති තම්බි නානාගෙනි.
ශාඛාවන් දෙකෙහිම සාමාජික එකතුව පවුල්වල සාමාජිකයිනුත් සමග පණහක් පමණ විය. පාසල් හැරගිය පුහුණුවන්නන් විධායක නිලදාරීන් කලමණාකරුවන් තම තනතුරු අමතක කර විනෝද වන්නට ගත්තේ තමන් මුහුණදෙන දෛනික ඒකාකාරී ජීවන රටාව මොහොතකය අමතක කරමිනි.

ගීත ගයමින් විනෝද වූවන් අතර නොබෝ දිනකින් විශ්‍රාම යාමට සිටි තිලකසිරි මහතා බන්දුසේන මහතා දයාසීලී මහත්මිය ආදීන් වූ අතර බන්දුසේන මහතා කලක් සරස්චන්ද්‍ර‍ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි නිසා මිහිරි හඩින් නාට්‍ය ගීත ගායනා කිරීමට හැකියාව ඇත්තෙකි. අප ඒවන විට නුවරඑලියට ආසන්නයෙන් වනාන්තර පදෙසකින් ගමන් කරමින් සිටි අතර මීවිතක් අතින් ගත් බන්දුසේන මහතා මනමේ නාටකයේ ගීතයක් ආරම්බ කලේ සැමගේ ඉල්ලීම පිටය.
"වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ 
මගුල් මඩුවකට බදු වු
වනාන්තරයේ සෝබාව නරබමින් යන විට
ගමන් විඩාව ඉබේටම මග හැරේ සොදුර
වන රැජිණද නෙක් විසිතුරු පාන්නේ
අප දෙදෙනාගේ විවාහයට සතුටු වන්නා සේය"

එක්වරම ඩෝං ශබ්දයත් සමග බස්රථය තම ගමන නවතාලීය. පසුපස රෝදයේ හුලං නැත. අප රථය නැවතී තිබුනේ විශාල තේ වත්තක් මැදින් වැටී ඇති මාර්ගයකය. මිනිස් පුලුටක් පෙන්නවත් නැත අප රාත්‍රී ආහාරය නවාතැනේන ගන්නට සිටි නිසා දැන් කට්ටියගේම බඩපණුවන් බොක්ෂිං ගසන්වාය. වයසක උදවියත් බලවත් උදවියත් බසයේ නතර කල මමත් හිරන්ත අයියාත් ආරුමුක්කම් මහතාත් සේනකත් සිකුරුටි හේමේත් සමග ඇතින් පෙනුන ලැයිමක් වෙත ගියේ රථය පිලිසකර කර ගැනීමට උදව්වක් සොයා ගැනීමටය. 
අප වැටී සිටි අමාරුව දුටු විගසඒ දමිල සහෝදරයින් පිරිස අපත් සමග රථය වෙත ආවේ ටයර් වැඩ දන්නා කාර්මිකයෙකුද සමගිනි.
අප යන විට නඩයේ සියලුම දෙනා බිමට බැස ආසන්නයේ ගල්තලාවකට නැග සිටි අතර අප සමග සිටි දෙමල තරුණයින් කීවේ "අයියෝ මාතියා බිම ඉන්න එපා මේ රේ යාමේ දිවියා තමා ඉන්නවා" කියාය දැන් කට්ටියම දිවියන්ට එකසිය ගානට බිය වී ඇත. අප සමග සිටි කුඩා දරුවන් නින්දට පත්ව ඇති අතර කාන්තා පාර්ශවයද නින්දත් නොනින්දත් අතර පසුවිය.
 වැඩ නිමවු බස්රථය තුලින් එක්වරම දිවියෙකුගේ ගෙරවීමකට සමාන ශබ්දයක් ඇසෙන්නට වූ අතර කෙමෙන් කෙමෙන් ඉහල යන්නට විය. රියදුරු තෙමේ බඩුභාණ්ඩ වල ආරක්ෂාව තකා ජනෙල් සහ දොරවල් දෙක වසා තිබුණු අතර දැන් සියල්ලන්ගේම අදහස වුයේ දිවියෙකු බසයතුලට රිංගාගෙන ඇති බවයි. බසයේ රියදුරු මහතා දිග ලීයක් උපකාරී කරගෙන ඉදිරිපස දොර සහ ජනේ්ලයක් විවෘත කලේ දිවියෙකු සිටිනවානම් පිටවීමටය. ඈතට වී බලා සිටියද දිවියෙකු පිටවෙනවා නොදැක්ක නිසාත් ගෙරවීම යලි ඇසෙන නිසාත් බලවත් උදවියගේ කීම නොඅසා හේමචන්ද්‍ර‍ අංකලුත් තිවංක අයියාත් රියදුරු මහතාත් මමත් බසයට නැග්ගේ දිවියා බැලීමටය. දිවියෙකු තබා පුල්ලියක්වත් නොදැක්කත් පසුපස අසුනේ දිගාවී තද නින්දේ ගොරවමින් සිටියේ පියදාස මහතාය ඇහැරුව විට පුතා ටිකක් වැඩි උනා ලිදුලට ගියහම ඇහැරවන්න යැයි කියා යලිත් නින්දට වැටුණ ඒතුමා අප වින්ද හිතේ ගින්දර දන්නේ පහුවදා උදේය. උදව් කල සොයුරන්ට ස්තූති කර අප ලිදුල නවාතැනට ලගාවන විට අලුයම දෙකට ආසන්න වී තිබුණ බව යාන්තමින් මට මතකය..

පසු සටහන

  • අදින් වර්ෂ හතරකට පමණ පෙරදී යන්නට යෙදුන මේ චාරිකාව මාගේ සිතේ නොමැකෙන ලෙස සටහන් වී ඇත. ඒදා ඒ මහ රෑ තේවත්තක් මැද අතරමන් වු අයගෙන් කිසිවෙකු මේ වනවිට ඒ ශාඛාවල සේවයේ නැත. පිරිස පුවක්වල්ල පොලවේ ගැසුවා සේ සී සී කඩ විසිරිලාය. එදා ලමාවයසේ සිටිවුන් අද තරුණය. සමහරුන් දීර්ඝකාලීන් රෝගයන්ගෙන් පීඩා විදිනවාය.
  • අපට ගීත ගායනා කරමින් රස සයුරක පිනවු බන්දුසේන මහතා විශ්‍රාම ලබා කෙටි කලකින්ම මියදුන අතර දිවියා මෙන් ගොරවමින් සිටි පියදාස මහතා මේ වසරේ මැයි මාසයේදී දෙවියන් වහන්සේ බැහැදැකීමට පිටත් වී ගියේය. මම දන්නා පරිදි ඒ ශාඛාවන් දෙකෙහි එකමුතුවෙන් ගිය අවසන් චාරිකාව එයම විය.

ඒ වගත් මෙසේමැ අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදුපූසා වම්හ.....



20 comments:

  1. poosa mokatada diwiyata bhaya une. ubala nayo neda?

    ReplyDelete
    Replies
    1. දිවියට බය උනානම් බස් එකට නගින්නේ නෑනේ.
      දිවියත් සමග කිසිදු නෑකමක් නැත

      Delete
  2. Replies
    1. ලිදුල ලස්සන නමක් වගෙම ලස්සන area එකක්

      Delete
    2. @ නිම්නයක තනි වී හීන දකින්නී -
      ළිදුල කියන්නේ තේවතු වලින් වටවෙලා තියෙන් මීදුමින් වැහිච්ච ප්‍රදේශයක්
      නුවරඑලියට ඉතාම ආසන්නයේ

      Delete
    3. @ ශලිත-
      ගිහිල්ලම තමයි බලන්න ඕනේ ලස්සන. අපි හිටපු නවාතැන තිබුනේ තේ වත්තක් මැද. උදේට පුදුම ලස්සනක් තියෙන්නේ

      Delete
    4. ස්තුතියි පූස්, ගිහින් බලන්න තියනවා නම් කියලා හිතුනා...ළිදුලේ ලස්සන ..

      Delete
    5. බන්ඩාරවෙල කියන්නෙත් ලස්සන ප්‍රදේශයක් පුලුවන් වෙලාවක එන්න.

      Delete
    6. @ නිම්නයක තනි වී හීන දකින්නී -
      ලංකා බැංකුවේ හිතවෙතකු සිටී නම් ඔහු ලවා ළිදුල නිවාඩු නිකේතනය වෙන් කරවා ගෙන ගිහින් බලන්න නොවැම්බර් දෙසැම්බර් මාසවල.
      තේ වත්තක් මැද තියෙන අපූරු නවාතැනක්

      Delete
  3. දිවියන් මිනිස්සුන්ට බයයි. උන් මිනිස්සුන්ට බයේ දුවන්නේ හරියට මුගටියෝ මිනිස්සු හමු උනාම දුවන විඩිහට. ජය වේවා හුග කාලෙකින් ආවේ.

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්නත් බෑ මොකද කියනවනම් ඒ පැත්තේ දිවියෝ මිනිස්සුන්ට පහරදුන්න අවස්ථා ගැනත් එදා ඒ උදව්වට ආපු දෙමල සොයුරු පිරිස පැවසුවා

      Delete
    2. මන් අහලා තියෙන ආකාරයට නම් දිවියන් බොහෝ විට බල්ලන් වගේ සතුන් ආහාරයට ගන්නවා කියලා. දිවියන්ට කරදර කරොත් විතරක් මිනිසුන්ට කරදර කරනවා කියලත් අහලා තියෙනවා.

      Delete
    3. පහරදෙන්න දිවියා පුරුදු උනොත් හරිම භයානකයි.
      නැත්තම් කුකුල්ලු බල්ලෝ එලුවෝ වගේ තමා දිවියා ආහාරයට ගන්නේ

      Delete
  4. විශ්‍රාම ගොස් ඒ තරම් අඩු කාලයකින් මිය ගිය බව ඇසීම දුකකි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔහුන් තව කාලයක් ජීවත්විය යුතුව සිටි උදවිය.
      හදිසි රෝගාබාද ගැන කොහොම කලින් සිතන්නද?

      Delete
  5. ළිඳුල ගැන අහලා තියෙනවා. ගිහින් නෑ
    පැරණි මතකයක් අපූරුවට පෙල ගස්වලා තියෙනවා . . !

    ReplyDelete
    Replies
    1. නුවරඑලියට ඉතාමත් ආසන්නයි නිවාඩුවක් ගත කරන්න යන්න නම් හොදම පැත්තක්

      Delete
    2. ස්තූතියි ඔත්තුවට ලබන නිවාඩුවක සලකා බලන්න ඕන

      Delete
    3. ලංකා බැංකුවේ කවුරු හරි අදුරන නිලධාරියෙක් ඉන්නවනම් ලිදුල සී බෑන්ක් නවාතැන වෙන් කරගෙන ගිහින් බලන්න

      Delete