Tuesday, May 17, 2016

නිර්සත්වයෝ පස්වැනි කොටස - උසාවිය නිහඩ වෙනු

පලමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
හතරවන කොටස
නඩුවට පෙනීසිටීමට අදාල වේලාව කෙමෙන් කෙමෙන් ලංවන්නට විය චන්දරේ අයියා මා වෙනුවෙන් පෙනී සිටින්නට කලුකෝට් ලෝයර් කාරයෙකු සොයා දුන්නේ කලුකෝට් කාරයින් වැඩිහරියක්ම වාගේ අපායේ අච්චු කරුවන් වන නිසාය. ‍අලුතින් පැමිණි තවත් අච්චු කරුවන් පිරිසකට ලෝදිය වඩියක් උණුකර පෙවීමට ඇති නිසාවෙන් චන්දරේ අයියා මගෙන් සමුගත්තේ මගේ වගකීම කලුකෝට්කාර ලෝයර් කොටාට පවරාදෙමිනි.
අප කෙමෙන් කෙමෙන් අධිකරණයේ රෙජිස්ටාර්වරයාගේ කාර්යාලය අසලට පැමිණියෙමු.කලුකෝට් මාත්සමග ගොස් අධිකරණයේ රෙජිස්ටර් යමයා මුනගැසුනෙමු. මගේ නමත් පැමිණි රටත් පැවසූ විගස යමයා මා දෙස බැලුවේ ගෙදරවැඩ අතපසුකර පැමිනි පාසල් සිසුවෙකු දෙස බලන විදුහල්පතිවරයෙකු ලෙසය. ආහ් ඔය කියන්නේ අර ලව්කේස් එකනේද? ඒ නඩුව අන්තිමට අහනවා කියලයි යම ලොක්කා දැනුම්දීලා තියෙන්නේ මොකද කියනවානම් මේ වගේ ආතල් කේස් එනවා අඩුයි මෙහෙට. ඔහේලට එතකම් උසාවිය ඇතුලේ වාඩිවෙලා බලාගෙන ඉන්න පුලුවන් වෙන්නේ මොකක්ද කියලා. එහෙමත් ඉන්න කම්මැලියි වගේනම් අර ඔහේගේ පරණ ක්‍ර‍ෂ් එක ඇවිල්ලා ඉන්නේ එලියේ පාර්ක් එකට එක්ක ගිහින් ටිකක් කතා කරකර ඉන්න. අවුරුදු විස්සක් ගිහිල්ලා කතාකරගන්නත් ගොඩක් දේවල් ඇතිනේ.මෙහේ කතාකලා කියලා උසාවියේ වැඩවලට භාදාවක් වෙන්නේ නෑ යනුවෙන් පැවසුවේ ඇසක්ද ඉගිමරමිනි.

අධිකරණ ශාලාව දෙසට පියනගන්නට වු අතර අතර මගදී මට ඇයව මුහුණට මුහුණ හමුවිය. ඇයද කිසිදුවෙනසක් නැත සරසවියට අලුත් නැවෙන් පැමිණ ගොඩබැස්ස දිනයේ දුටු අයුරින්මය ඊට මඳක් පසුපසින් ඇයගේ මවත් විශ්‍රාමික ගුරු හැතිරියත් විය.
මාගේ හදෙහි ඇය පිලිබදව ඇති සෙනෙහස තවමත් එසේමය. ලවර්ස් ලේන් එකේ අතින් අල්ලාගෙන මම ඇවිදගියේ ඇය සමගය. මලක් බදුවු ඇයව පෙර මෙන් වැලද ගන්නට මට සිත්වුවද ඇය දැන් පරසතුමලක් බව සිහිවුනිසාවෙන් මම ආයාසයෙන් එය මැඩ ගතිමි.


"ආ මඟ දෑලේ පිපි මල් කර වී නෑ ඵල හටගන්නේ
සිතුවිලි මීමැසි පොදිනැත මී බැද උන්මය රිදවන්නේ
තණ්හා දෑතින් පැතුමේ වරපට ගිලිහී බිම වැටිලා
දෛවයේ ගොනු ඇද ජීවන ගැල ගෙන ආ මග දිග යනවා
ඈත අතීතයේ සිහින මැදින් යලි ජීවනයට යනවා
ආශා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා"

අධිකරණයේ සවස නඩුවාරයට පෙර විවේක කාලයේදී ඇය කෙසේ හෝ පැමිණ අපහසුවෙන් වචන ගැටගසමින් මා සමග කතාබහ කරන්නට විය. ඇයි අයියේ කලබලවෙලා මෙහෙම දෙයක් කර ගත්තේ මටත් පව් පිරෙනවානේද ඒකරගත්තු දෙයින්. මම මුවින් නොබැන අසාසිට ඕවා දැන් කියලා දුක්වෙලා වැඩක් නැහැනේ නංගී ඒවා ඒකාලේ හිතන්න තිබ්බා යැයි කිවෙමි.
විරාමය අවසානයේ තෝල්ක මුදලි ලෙස පැමිණි යමයා මහ හඩින් නඩු අංක 900888 යනුවෙන් කෑගසා මගේ නාමයද පැවසුවේය. ඒ කියන්නේ යමරජු නඩුව අසන්නට සූදානම් බවයි මටද අපායට පැමිණි හේතුව දැන ගන්නාතුරු ඉවසිල්ලක් නැත. සිදුවෙන දෙයක් සිදුවේවා යැයි සිතා මම අධිකරණ ශාලාවට ඇතුලු වුවෙමි. පිලිවෙලට ඇද පැලද ගත් නීතිවේදින් වෙන වෙනම සිටි අතර මහාධිකරණ විනිසුරුගේ නිළ ඇදුමකින් සැරසුණු යමරජු විනිශ්චයකරුගේ ආසනයේ විය.
  
තම කටහඩ අවදි කල යමරජු තමා මේ ප්‍ර‍ජාත්‍රන්තවාදී අපාය එක්සත් ජනරජ උසාවියට එන්නට හෙතු වු කාරණාව දන්නවාදැයි මගෙන් විමසුවේය. නැත ස්වාමීණී මම හේතුව නොදන්නා අතර එය දැනගැනීමට කැමැත්තෙමි යැයි මම යමරජුට පැවසුවෙමි.
"හසරංග නැමැති මේ නිර්සත්වයා දැඩි කෝපයට පත්වී රියපදවාගෙන එද්දී අනතුරට මුහුණදෙන අතරේදී අනුන්ගේ ජීවිතයකටද අනතුරක් කර තම ජීවිතයද නැතිකරගන්නා ආකාරයට දැඩිලෙස පලිගන්නා චේතනාවක් සිතේ ඇතිවී තිබෙනවා. එය මේ ප්‍ර‍ජාත්‍ර‍න්තවාදී එක්සත් අපාය ජනරජයේ දණ්ඩ නීති සංග්‍ර‍යට අනුව තම ජීවිතය තමන් විසින්ම නසාගැනීමකි" ඒ ඇතිවුන චේතනාම මත ඔබට මේ අපායට පැමිණිමට සිදුවී තිබෙනවා. නමුත් මේ අනික් පිරිසත් ඔබේ සිදුවීමට අදාලවන නිසාවෙන් සාක්ෂී විමසා ඔබලාට හිමි දඩුවම් මේ උසාවියෙන් තීරණය කරණු ඇත.


ඔබ සියලුදෙනා මතක තබාගතයුතු එක් කරුණක් ඇත එනම් කිසි විටකත් අසත්‍යක් ප්‍ර‍කාශ නොකල යුතුයි එසේ වුවහොත් තොපගේ දඩුවම ඉහලයා හැකිබව තරයේ මතක තබා ගනු. ජූරි සබාවේ යමමහතුනි මේ නිර්සත්වයන් කරන්නාවූ ප්‍ර‍කාශයන් හා සාක්ෂි පිලිබදව ඔබගේ දැඩි අවධානය යොමුකරන ලෙස මා ඉල්ලා සිටිනවා යැයි යමරජු පැවසීය. මින්පසු මගෙන් සාක්ෂී විමසීම ආරම්බ කරන ලදී. මම සිද්ධිය මුල සිට අඟට පැවසූ පසු හරස් ප්‍ර‍ශ්ණ ඇසීම අරබන ලදී

යමරජු -  නුඔ මෙතෙන සිටින අනෙකුත් නිර්සත්වයන් අදුරනවාද?
මම     -  ඔව් එක් අයෙකු මගේ මනුලොව පෙම්වතිය වන අතර ඇගේ මවද සිටින අතර මාගේ නිවස අසල දුර නෑදෑකමක් ඇති ගුරුවරියක්ද සිටියි.

යමරජු - ඔබ එදා කෝපයට පත්ව පලිගැනීමේ චේතනාවෙන් පැමිණි බව පිලිගන්නවාද?
මම     - එසේය. ඒ වෙලාවේ මම සිටියේ අධික කෝපයකින් එම නිසාම මට මගේ රථය පාලනය කර ගන්නට අපහසු වුනා

කෙසේ උවත් ඔබ තමන්ගේ ජීවිතයට හානිකරගැනීමේ චේතනාවෙන් පෙලුන නිසා අදිසි අනතුරකින් ඔබ මියගියද ඔබ සියදිවි නසා ගත්තායැයි සලකන්නට මේ අධිකරණයට සිදුවෙනවා. එය අනන්තරීය පාපකර්මයක් හා සමාන අකුසලයක් බව තරයේ සිහි තබා ගනු. සුබා නැමැති නිර්සත්වියට සාක්ෂි ලබාදෙන මෙන් මී ලගට නියෝග කරනවා යැයි යමරජු ප්‍රකාශ කලේය

"සුබා වන මම මේ සිදුවීම සිදුවන විට පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ කළමණාකරණය හා තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවියක්ව සිටියා. මගේ ගම්පලාත කලුතර දොඩංගොඩ වන අතර හිල්ඩා අබේසේකර නේවාසිකාගාරයේ සිට දේශණ වලට සහබාගී වුනේ. හසරංග අයියාව දැනගත්තු දවසේ ඉදලා එයා මට ඇත්තටම ආදරේ කලා. අපි කෑවේ බිව්වේ ගමන්ගියේ එකටමයි. කොටින්ම නිවාඩුවට ගෙදර යනකොටත් ආයේ එනකොටත් අපි ආවේ ගියේ එකටමයි.

කොහොමහරි අපි දෙන්නා ගැන දැනගෙන අපේ අම්මා අවුරුද්දකට වැඩි කාලෙක ඉදලා දැඩිලෙස විරුද්ධ උනා. අන්තිමට මේක නවත්තලාදාන්න කියලා මට තර්ජනය කලා ඒ බව හසරංග අයියාට දැනුම් දුන්න දවසට පස්සේ තමා එයා රියඅනතුරකින් නැති වුනේ. එපමණයි ස්වාමීණී " යනුවෙන් පවසා නිහඩ වු අතර මගේ නීතී මිතුරා වන කලුකෝට් සහ යමරජු හරස් ප්‍ර‍ශ්ණ ඇසීම අරබන ලදී

කලුකෝට් - ඔබට නිවසෙන් විවාහ යෝජනා ගෙන ආවාද? මව මොහුට විරුද්ධ වීමට හේතුවක් පැවසුවාද?
සුභා - නෑ කිසිවක් මට කිව්වේ නෑ නමුත් මෙතන ඉන්න අනිත් කාන්තාව තමයි ඒ සේරම මගේ මව සමග කියා තිබෙන්නේ..
කලුකෝට් - ඇයට එසේ කිරීමට වුයේ ඇයිදැයි ඔබ දන්නවාද? නැත්නම් ඇයට මෙවැනි කේලාම් කීමට ඇති අවශ්‍යතාවය කුමක්ද?
සුභා - ඇය මාගේ මවගේ සමීපතම යෙහෙලියක්ව සිටියා වුවත් එවැනි අසත්‍යකරුණු පැවසීමට තරම් හේතුවක් මාහට සිතාගැනීමට නොහැකිය. 
යමරජු - මේ නිර්සත්විය වෙනත් අයෙකු සමග විවාහ වීමට අකමැතිනම් ඒ පිලිබදව දෙමාපියන්ට නොදැන්වුයේ ඇයි? 
සුභා - ඒ සදහාමට ශක්තියක් හෝ හැකියාවක් තිබුනේ නෑ ස්වාමීණී

සැබැවින්ම ඔබ යමෙකුට ආදරය කලානම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට ඔබට හැකියාව තිබිය යුතුයි. එබැවින් යුෂ්මතිය හසරංග නැමැති මේ නිර්සත්වයාට බොරු කලායැයි මම යෝජනා කරනවා.
ඉන්පසු ඇතිවූයේ නිහඩතාවයකි.ඇයගෙන් කිසිදු පිලිතුරක් නොවුන තැන යමරජු පැවසුයේ මේ නිර්සත්වියගේ නිහඩතාවයෙන් පෙනී යන්නේ එම චෝදනාවට තමා වරදකාරිය බවයි. මේ පිලිබදව තම අවදානය යොමු කරන මෙන් ජූරියේ යමයින්ට මම අවධාරනය කරනවා.
මීලගට අනෙකුත් සාක්ෂිකරුවන් කැදවනු යැයි හඩනගා පවසනු ඇසිනි.
*******මතු සබැදි*******

පසු සටහන
අද කතාව කෙටියෙන් අවසන්කිරීමට සිදුවීම පිලිබදව කණගාටුවෙමි. ලබැදි රාජකාරි මිතුරකුගේ අවසන් ගමනකට සහබාගීවීමට ගංවතුරේම කුරුණෑගල ගනේවත්තට ගොස්  යලිත් පෙරලා එනවිට දැනගන්නට ලැබුනේ මේ වන සටහන තබනා මොහොත වනවිට(2016/05/17 වන දින 11:30 පැයට පමණ) ගම්පහ නගරය හා අවට අතුරු මාර්ග මෙන්ම නිවසට යන මාර්ගයන්ද හතරවටින් ජලයෙන් යටවෙමින් පවතින බවයි.
ඒ නිසා ඉදිරි දිනයන්හි අන්තරජාලය හා විදුලිය පිලිබදව විශ්වාස කල නොහැකි නිසා පෙරලා එන අතරතුර මිශ්‍ර දුම්රියේ සිටි මා මිත්‍ර‍ ප්‍ර‍ධාන නියාමක මහතාගේ කාරුණික අනුග්‍ර‍ය මත ඔහුගේ නිලමැදිරියේ මේසය මත ලැප තබාගෙන ඉතිරිකොටස ලියා අවසන්කර  ස්වයංක්‍රීය ආකාරයට පලවන ලෙස සකස්කලෙමි. 

ඒ වගත් මෙසේම අද දුම්රියේ ගාඩ්පෙට්ටියක සිට පහුරු ගෑ මම සුදුපූසා වෙමි...

Monday, May 9, 2016

නිර්සත්වයෝ සිව්වන කොටස - සුභා කියා මා යලි ඔබ අමතන්නද

පලමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
එක්වරම මා  අමතන හඩක් ඇසුණු නිසා බැලූ කල දුටුවේ චන්දරේ අයියා මට කතාකරනා ආකාරයයි. මල්ලී තව පැයක් විතර තියෙනවනේ එන්න තේ එකක්වත් බොන්න යැයි පැවසූ නිසා ඒ දෙසට යන්නට පියවර මැන්නෙමි. චන්දරේ අයියා මා කැටුව ගියේ ඔහුගේ නිල මැදිරිය වෙතටය. ප්‍ර‍ජාත්‍ර‍න්තවාදී එක්සත් අපාය ජනරජයේ විධායක මට්ටමේ වගකියයුතු  නිලදාරියෙකු වූ ඔහුට වෙනම විශාල නිලමැදිරියක් විය. ඒ කාබරය පුරාවට LED තිර මත මනුලොව සියලුම රූපවාහිනි නාලිකාද විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෑම ප්‍ර‍ධාන නගරයකම CCTV දර්ශණද දිස්වෙමින් පැවතිනි. 

චන්දරේ අයියේ මම මැරුණට පස්සේ මේ වෙනකම් මොකද උනේ කියලා බලාගන්න විදිහක් නැද්ද යනුවෙන් මම විමසුවෙමි. මල්ලී උන දේ වෙලා තියෙන දේ වෙන්න තියෙන දේ ඔක්කොම මෙතනින් බලන්න නම් පුලුවන් හැබැයි ඒවා බලලා නිකන් දුක් වෙන්න ඕනේ නෑ නේද? අනික දැන් දැක්කා කියලා මොනවා කරන්නද මල්ලී උඹ දැන් මැරිලනේ යැයි චන්දරේ අයියා පැවසුවත් මාගේ බලවත් ඉල්ලීම පිට වසා දමා තිබූ රූපවාහිනියක් ක්‍රියාත්මක කල චන්දරයා යතුරු පුවරුවෙන් මගේ නම ඇතුලත් කර මල්ලී දැන් ඉතින් දුක්  නොවී බලපන් යැයි පවසා ඉවතට ගියේය. චිත්‍ර‍පටයක මෙන් අවමඟුලක දර්ශණයක් දිස්වන්නට විය. ඒ නිවසත් අවට වටපිටාවත් මාහට හොදින් දැක පුරුදුය හුටා මේ දිස්වෙන්නේ මගේ මළගමයි.

මගේ සමකාලීන විශ්වවිද්‍යාල මිතුරන් මගදිගට සැරසිලි කටයුතු සිදුකරමින් පසුවෙයි. මම එහි සිටි නෑදෑයන් මිතුරන් අතරින් අමතක කල නොහැකි ඇයව සෙව්වෙමි. සුභා කොතනක හෝ සිටිය යුතු නමුත් මම ඇයව ඒ සෙනග අතරින් සොයා ගැනීමට අපොහොසත් වූවෙමි. අවසානයේ කනත්තේ  කොනක ඇය තවත් මිතුරියකට වාරුවී සිටිනවා මම යාන්තමින් දැක්කෙමි. සුභා අනුන්ට පෙනෙන්නට දුක්වෙනවාද නැත්නම් සැබෑලෙසටම දුක්වෙනවාද යන්න මට සිතාගත නොහැකි විය.අවසානයේ සියලුදෙනාගේම සෝ සුසුම් මැද සුදෝ සුදු දුම්රොටු ආදාහනාගාරයේ දුම් කවුලුවෙන් ඉහල නගින අකාරය දෙස මම උපේක්ෂාවෙන් බලාසිටියෙමි.
මතක බණ සහ හත්දොහේ දානයත් පසු පලමු වසර දානයේ දර්ශණ අවසන් වනවාත් සමගම නැවත පැමිණි චන්දරේ අයියා රූපවාහිනිය වසා දැම්මේ ඔතනින් එහාට බලන්න එපා උබට අප්සට් යයි යනුවෙන් පවසමින්ය.

ඒක නෙවේ චන්දරේ ඔය පවු පිං ලියවිලා තියෙනවයි කියන පොත ඇත්තටම තියෙනවාදැයි මම ඇසුවේ මේ ලෝකයේ හැමකෙනෙකුගේම පවු පිං සදහන් කරන්නට නම් ඒ පොතේ සයිස් එක ගැන සිතින් සිතමිනි. මෙහෙමනේ මල්ලී අලුත් තාක්ෂනෙත් එක්ක අපි අපාය තිබුණ විදිහ වෙනස් කරද්දී දිව්‍යලෝකෙත් එක්කත් සාකච්චා කරලා ඒ පොත දැනට අවුරුදු දෙකකට කලින් අයින් කරලා දැම්මා.දැන් ඒ වෙනුවට තියෙන්නේ බැංකුවක් එකේ තියෙනවා මේ ලෝකේ හැමෝගෙම නමට ගිණුමක් කරන පවු පිං ඔක්කොම ඒ ගිණුම්වල සටහන් වෙනවා. කවුරුහරි පිනක් කරලා ඒක අනුමෝදම් කලොත් එකත් ගිනුමේ සටහන් වෙනවා යැයි චන්දරයා කීවෙන් ඒ බැංකුව වෙත යාමට මට ආසවක් ඇතිවිය. ඒ වෙන කුමකටවත් නොව මගේ ගිණූම පරීක්ෂා කර ගැනීමටය. මගේ සිතැගි තේරුම් ගත් චන්දරේ තම අත්ඔරලෝසුවේ  වෙලාව බලා කිව්වේ තව පැයක් විතර තියෙන හින්දා ඉක්මනට ගිහින් එමුයැයි පවසා මා කැටුව බැංකුවට යාමට පය එසෙව්වේය.

ටික දුරක් යන විටම "මධ්‍යම පව් සහ පිං බැංකුව - ප්‍ර‍ජාත්‍ර‍න්තවාදී එක්සත් අපාය ජනරජය" ලෙස නාමපුවරුවක් දිස් වන්නට විය. කතාබහකින් තොරවම ගමන්කල චන්දරයා මාවත් ඇදගෙන බැංකුවට ඇතුල් විය. ඉතා අධික ජනකායක් ඒ ගොඩනැගිල්ල තුල වු අතර සියල්ලන්ම තමන්ට කවුරුන් හෝ පින් පමුණුවා ඇත්දැයි බලන්නට විවේක කාලයේදී පැමිණි අපායේ අච්චු විදින්නන් විය. චන්දරේ සමග ගිය නිසා අපට කෙලින්ම පාරිභොගික කටයුතු පිලිබද යමයා හමුවීමට ලැබුණි.
මධ්‍යම පව් සහ පිං බැංකුවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නවා. මේ බැංකුවේ ශාඛා දෙකයි තියෙන්න එකක් දැන් ඔයා මේ ඉන්න අපායේ අනිත් එක තියෙන්නේ දිව්‍යලෝකේ මේ දෙකම එකම ජාලයකින් සම්බන්ද වෙලා තියෙන්නේ පව් පිං ගැන අපි කතාකරනවානම් මෙහෙමයි  අපි කරණ පව් හා පින් ගිණුම්ගත වෙන ආකාර දෙකක් තියෙනවා. සමහර පව් වලට පින් ලැබුනම මේ නරකාදියෙන් නිදහස් වෙලා යන්න පුලුවන් ඒත් සමහර පව් තියෙනවා කොච්චර පින් දුන්නත් පාපය ගෙවෙනකම් ඒ පිං වලින් කිසිම වැඩක් වෙන්නේ නැති. කියන්නකෝ බලන්න ඔයාගේ නම අපි ඔයාගේ ගිණුමේ තත්වය බලන්න මේ අතර චන්දරයා පැන මගේ නාමය පැවසුවෙන් යමයා පද්ධතිය පරීක්ෂා කරන්නට විය. හසරංග නැමැති මේ නිර්සත්වයා මනුස්ස ලෝකෙදී පිං දහම් කරලා තියෙනවා වුනාට ගිණුම තාම යාවත්කාලින වෙලා නෑ යමරජ්ජුරුවෝ නඩු ඇහුවට පස්සේ හරියටම කියන්නම් යැයි මට පවසා චන්දරේට හොරෙන් කුමක් හෝ පවසනවා මම දැක්කෙමි.

අපි එතැනින් නික්මී යලිත් ආගමන විගමන කවුලුව වෙත පැමිනියෙමු. චන්දරයාගේ නිලබලය මත ආගමන කවුලුව ඇතුලට වී සිටින්නට හැකිවූ අතර එතැන සිටි ආගමන පාලක යමයා අන්න ණයකාරයෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා යැයි පවසා කාන්තාවන් දෙදෙනෙකු දෙසට අත දිගු කලේය. ඔවුන් දෙදෙනා අසුන්ගෙන බර සාකච්චාවකය. හුටා එක් අයෙකු  මගේ වෙන්න හිටපු නැන්දම්මා එහෙමත් නැත්නම් යාලුවෙලා හිටිය කෙල්ලගේ මෑණියැන්දෑය අනෙක් කාන්තාවද ක්ෂණිකයෙන් මා හදුනාගතිමි ඒ අපේ නිවස ආසන්නයේ පදිංචිව සිටි ගමේ රොයිටර් වාර්ථාකාරිණියගේ තනතුර ස්වෙච්චාවෙන්ම හෙබවූ විශ්‍රාමලත් ගුරුමහත්මියකි. 
හරියටම අපායේ සම්මත වේලාවෙන් යමපැය 09.45 ට මාහට එක්වරම අලුතින් පිවිසෙන තැනැත්තියක් දිස්වන්නට විය. එක්වරම මගේ ඇගට විදුලි සැරයක් වැදුනාක් මෙන් විය. මා වසර ගණනක් ආදරය කල ඇයද මියගොස් දැන් මා ඉදිරියේය.මට අතීතයේ රසවත් පැරණි සිදුවීම් සිහිපත්වන අතර නෙතට කදුලක් නැගුනේ නිරායාසයෙනි.

ලවර්ස් ලේන් එකේ ගස්වැල් වලට,හිල්මන් කොරිඩෝවට,පේරාදෙණිය මල්වත්තට,හිඳගල පන්සලට,කොළඹ කොටුවේ දුම්රිය පලට,මහවැලි ගඟට වගේම නුවරවැව රවුමටත් කතාකල හැකිනම් අප දෙදෙනා ගැන කුමක් පවසාවිද?අප දෙදෙනාගේ පයට නොපෑගුනු තැනක් සරසවි බිමේ තිබේද? එදා රාත්‍රියේ ඇය සම්බන්දය නවත්තමු යැයි නොකීවානම් මම තවමත් ජීවතුන් අතර නොවේද? මම වෙහෙස මහන්සියෙන් උත්සහා කලේ අප දෙදෙනාගේ අනාගතය ස්ථාවර කර ගැනීමට නොවේද? ඒ ගැන සිහිවන විට මගේ සිතට සියුම් කෝපයක් ඇතිවිය.


"කුඩාගමේ මද්දහනේ අව් රශ්මිය නිවා
හුරී කදුපෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පලදන්නයි සොභා"

"ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති හීනෙකි සකී
ආලෙ බිදුන දා කුමටද කඳුලු හෙලනු සකී
ආලවඩන යන තේරුම බෝසත් කම සකී"

නඩුවට පෙනීසිටීමට අදාල වේලාව කෙමෙන් කෙමෙන් ලංවන්නට විය චන්දරේ අයියා මා වෙනුවෙන් පෙනී සිටින්නට කලුකෝට් කාරයෙකු සොයා දුන්නේ කලුකෝට් කාරයින් සියල්ලම වාගේ අපායේ අච්චු කරුවන් වන නිසාය. අපි කෙමෙන් කෙමෙන් අධිකරණ ශාලාව අසලට පැමිණියෙමු.


*******මතු සැබැදි*******

පසු සටහන

ගලාගෙන යන සිදුවීම් මාලාවෙහි ඇතැම් සිද්ධි සහ විස්තර වන චරිතයන්ද ස්ථාන නාමයන්ද සත්‍යදැයි කියවන බොහෝ දෙනා විමසති. ඒ පිලිබදව යම් පැහැදිලි කිරීමක් මෙම කතාමාලාව අවසාන වන දිනයේදී කිරීමට බලාපොරොත්තු වෙමි.


ඒ වගත් මෙසේම වෙනදා මෙන් අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි ....

Sunday, May 1, 2016

නිර්සත්වයෝ තෙවන කොටස - සරසවියෙදි අද විතරයි හමුවන්නේ

පලමු කොටසට
දෙවන කොටසට

මා නිහඩවම කල්පනා කලේ අපාගතවීමට තරම් මා කල වරද කුමක්දැයි කියාය. මම කෙමෙන් කෙමෙන් අතීතය සිහිකරන්නට වීමි.
මේ සියලුම අකරතැබ්බයන් හා අලකලංචි සිදුවීමට මූලික වූයේ හන්තාන අඩවියේ පේරාදෙණිය සොදුරු සරසවි භූමියයි. දෙවන වරටත් උසස් පෙලට පෙනීසිට සරසවි වරම් ලද මම ඒවන විට කළමණාකරණ හා තොරතුරු තාක්ෂණ පාඪමාලාවේ තෙවන වසරේ සිසුවෙකුව සිටියෙමි. 


අලුත් අධ්‍යනවර්ෂයක් සදහා පැමිණීමට නියමිත කණ්ඩායම නොහොත් අලුත් නැව පිලිගන්නට පලවෙනි පන්තියේ ජේෂ්ඪ උතුමන් වන අප සැදී පැහැදී සිටියෙමු. දිවා රෑ නොබලා ගලහ හන්දියේ සිට සරසවිය දක්වා සැරසිලි කටයුතු මැනැවින් සකස්කලෙමු. අලුත් නැව පිලිගෙන නවකවදය හා හැඩගැස්වීමේ කටයුතු අපවිසින් ඉතා උනන්දුවෙන් කරගෙන යන ලදී. අලුත් නැවක් පැමිණෙන තුරු වැඩිහිටි සිසුන් බලා සිටින්නේ කෙසේ හෝ ගොඩයාමටය. ඒ අතර තුර සිටි එක් අලුත් මානවිකාවක් කෙරෙහි මගේ සිතේ යම් අදහසක් ඇති වූ අතර ඇය කලුතර දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වුවාය. මගේ යහලුවන් විසින් කල කපුකමක් නිසා කෙසේ හෝ පසුකාලීනව ඇය මා කැමැත්ත විමසූවිට ඇගේ කැමැත්ත පලකලාය.
පසුවදා මටත් ඇයටත් මල්බකට් නාන්නට වුයේ මගේ පංති සගයන්ගේ මෙහෙයවීම හේතුවෙනි. එකල්හි මා නැවතී සිටියේ හිඳගල නේවාසිකාගාරයේය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවෙනා විට අපගේ සම්බන්දය ඇගේ නිවසට දැනගන්නට ලැබී ඇගේ මව එකහෙලාම විරුද්ධ වුවාය. නමුත් සරසවිය තුලදී අපට බාධාකරන්නට කිසිවෙකුත් නොවන නිසා අපගේ ආදර සම්බන්ධය බාධාවකින් තොරව ගලාගෙන ගියේය.
  
කාලය කෙමෙන් කෙමෙන් දින සති මාස ගතවන අතර තුර මාහට සරසවියෙන් සමුගැනීමට කාලය උදාවිය දෙවන පන්තියේ ඉහල සාමාර්ථයක් සහිතව සමත්වු මාහට ඒ ආසන්න කාලයේදීම ප්‍ර‍සිද්ධ ආයතනයක සේවයට එක්වීමට හැකියාව ලැබුණි. උපාධි ප්‍ර‍ධානොත්සවයෙන් පසුව මම මගේ නේවාසිකාගාර සගයන්ගෙනුත් සිව්වසරක් පුරාවට දැන හදුනාගෙන සිටි පිරිසගෙනුත්  සමුගෙන ඇයත් සමග පියමැන්නේ විශ්වවිද්‍යාලයක් මැදින් වැටී ඇති ලංකාවේ එකම දුම්රිය ස්ථානය වන සරසවි උයන දුම්රිය පලටයි. වෙනදා නිවාඩුවට ගමට යද්දීත් යලි පැමිණෙන විටත් එකට එකම දුම්රියේ පැමිණෙන අපි දෙදෙනාගෙන් අදින් පසුව සරසවියට ආයුබෝවන් කියා පැමිණි මම මෙම දුම්රිය ස්ථානය හරහා යලි කිසිදා නිවාඩුවට නිවසට යන්නටවත් නිවාඩුව අවසානයේ යලි සරසවියට පැමිනෙන්නේවත් නැත 

"සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ 
කිමද කුමරි නෙතු කදුලැලි පුරවන්නේ
දොඹ සූරන මහ වැස්සේ තනිකුඩයේ
අපි තනිවී දොඩමලු වූ හැටි දෙණියේ
කොමල පපා මුකුලු සිනා පෑ දෙතොලේ
මතකද මහවැලිදෑලේ සපු සෙවනේ 
අපේ මියුරු සීන පිරුනු රජදහනේ
මෙදා සුවද පමණි ඉතිරි හන්තානේ" 


දිගින් දිගටම ඇගේ මවගේ විරුද්ධ වීම් දැඩි වන්නට වු අතර මම මගේ ආයතනයේ සිටි වැඩිහිටි කළමණාකාරතමෙකු සමග ඇගේ මව මුණගැසීමට ගියෙමි ඇය මට අකමැති හේතුව පැහැදිලිව සදහන් නොකරන අතර මගේ කළමණාකරතුමාගේ පැහැදිලි කිරීම් හමුවේ කේන්ද්‍ර‍බැලීමට අවශ්‍ය යැයි පැවසු නිසා මම ඇයට විස්තර දී ආපසු පැමිණියෙමි. මම කිසිලෙසටවත් කේන්දර සත පහකටවත් විශ්වාස නොකරන්නෙක්මි. 
ආයතනයේ නිවාඩු දිනයක මම මාත් සමග නේවාසිකාගාරයේ සිටි මිතුරා වු සුමිත්ත ගේ නිවසට යතුරු පැදියෙන් ගියෙමි. නිවාඩුවක් ලදවිට ලංකාවේ කුමන හෝ ස්ථානයකට සංචාරයේ යාම එකල මාගේ විනෝදාංශය විය. අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගත් මම එතැනින් ගල්කුලමේ තවත් මිතුරකුද මුනගැසී රාත්‍රී හතට පමණ යාපනය හන්දියේ වු සුමිත්තගේ නිවසට ලගා වුනෙමි. එදිනම රාත්‍රීකාලයේ මට ලැබුණු දුරකතන ඇමතුමකින් කියවුනේ අයියේ අම්මා කියනවා කීයටවත් මේ සම්බන්දෙට කැමැති නෑ කියලා තව ඔයාලගෙ ගෙවල් ලග ඉන්න අම්මගේ යාලු ටීචර් කෙනෙකුත් ඔයාගැන වැරදි කතාවකුත් කියලා තියෙනවා අපි මේක නවත්තමු අයියේ කියලාය.
                                                                       යාපනේ හන්දිය

 එයින් කෝපයට පත්වු ඒ මහ රෑ යලිත් නිවස බලා පිටත්වීමට සැරසුනද සුමිත්ත ඇතුලු පිරිසගේ බලකිරීම මත උදෑසන වනතුරු ඉවසා සිට මම සැලෙන හදෙන් යුතුව සුමිත්තගේ නිවසින් පිටත්වුයේ අද දෙකෙන් එකක් හොදින් බැරිනම් නරකින් විසදගන්නවායැයි සිතමිනි. පහ පාරෙන් නොගොස් පුත්තලම් පාරට දැමුවේ ඉක්මනින් යාමේ අදහසින් වුවද සාලියවැව හංදිය ආසන්නයේදී වේගය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන ලයිට් කණුවේ ගැටීම නිසා මගේ ජීවිතයට නැවතීමේ තිත තැබිණි.
********
එක්වරම මා  අමතන හඩක් ඇසුණු නිසා බැලූ කල දුටුවේ චන්දරේ අයියා මට අමතක ආකාරයයි. මල්ලී තව පැයක් විතර තියෙනවනේ එන්න තේ එකක්වත් බොන්න යැයි පැවසූ නිසා ඒ දෙසට යන්නට පියවර මැන්නෙමි. චන්දරේ අයියා මා කැටුව ගියේ ඔහුගේ නිල මැදිරිය වෙතටය අපායේ විධායක මට්ටමේ වගකියයුතු  නිලදාරියෙකු වූ ඔහුට වෙනම විශාල නිලමැදිරියක් විය.ඒ කාමරය පුරාවට LED තිර මත මනුලොව සියලුම රූපවාහිනි නාලිකාද විශේෂයෙන් ශ්‍රීලංකාවේ සෑම ප්‍ර‍ධාන නගරයකම CCTV දර්ශණද දිස්වෙමින් පැවතිනි.
*****මතු සැබැදි*****

පසු සටහන
  • කිසිවක් සිදුවී අවසාන වන්නේ නැත. සියල්ල සැමවිටම සිදුවෙමින්ම පවතින්නේය.

ඒවගත් මෙසේම අදත් වෙනදා මෙන් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.........

Thursday, April 21, 2016

නිර්සත්වයෝ දෙවන කොටස - අපායේ පැයක්

පලමුවන කොටස

රැදීසිටීමේ කවුලුවේ අසුනක ඉදගත් මම පලමුවෙන්ම ඇස්දෙක පිහදාගෙන බැලුවේ මේ මම දකින්නේ දවල් සිහිනයක්ද කියාය සැබැවින්ම එය සිහිනයක් නොවේ. මම සිදුවුයේ කුමක්දැයි කල්පනා කරන්නට වීමි. අපේක්ෂා භංගත්වයට පත්වීම හා සිතට නැගුණු ක්ෂණික කෝපය නිසා මාගේ හොස්ටල් රූමා වු සුමිත්තගේ යාපනය හංදියේ නිවසින් පිටත්ව යතුරුපැදිය අධික වේගයෙන්  අනුරාධපුර  පුත්තලම මාර්ගයේ අපරික්ෂාකාරීව ධාවනය කරගෙන එන අතරතුර අධීක වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන  අනුරපුර - පුත්තලම මාර්ගයේ  පිහිටා ඇති සාලිය ආදර්ශ විදුහල අසල ලයිට් කණුවක ගැටුණු ආකාරය චිත්‍ර‍පටියක දර්ශණ මෙන් මතකයට නැගෙන්නට විය. හදිසි කෝපයෙන් මඩිනා ලදුව ක්‍රියාත්මක වීම නිසා කෙසේ හෝ මා දැන් මලවුන් ගොස් ඇත. මනුලොව තව මා විසින් කල යුතු කටයුතු රැසක් ඉතිරිවී තිබුනද දැන් මා  ප්‍ර‍මාද වැඩිය.
එක්වරම යමපල්ලකු පැමිණ මට කිව්වේ නඩුවට අදාල පිරිස පැමිනෙන තුරු කැමතිනම් අපාය ඇතුලත විසිට් එකක් දමා බැලීමට අවසර දිය හැකිබවයි. වෙන කරන්නටද දෙයක් නොමැති නිසා මා එයට කැමැත්ත පල කරනවාත් සමගම යමපල්ලා කිව්වේ මම තමුසෙට ගයිඩ් වැඩේ කරන්න තමුසෙගෙම ගමේ එකෙක්ව දෙන්නම් කියාය. ටිකකින් පැමිණි අමුත්තා නෙහොත් මගේ ගයිඩ්ව මම එක්වරම හදුනාගතිමි. ඒ වෙන කිසිවෙකුත් නොව අපේ ගමේ සහ අසල ගම්මාන හය හතකම හොර මත්පැන් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ඇප කැපවී කටයුතු කල කසිප්පු චන්දරේය. මා දුටු විගසම චන්දරයා දුවගෙන විත් මා පිලිගෙන අපාය අභ්‍යන්තරයට කැදවාගෙන ගියේය.


නිවරදි පදමට ලෝදිය රත් කිරීමට හා ඇගටපතට නොදැනෙන ඒවා මිනිසුන්ට පෙවීමටත් චන්දරේ සතුවූ අසමසම හැකියාව හා පලපුරුද්ද මත පදනම්ව ලෝදිය හැලියේ සියලුම නඩත්තු කටයුතු යමරජු විසින් චන්දරේට පවරා තිබුනේ අසල ගම් හතකම හුදී ජහමනයාගේ කසිප්පු අවශ්‍යතාවය සපුරා දුන්  පිනෙන් තවත් ආත්ම ගණනාවක්ම අපායේ සිටීමට තරම් වීසා චන්දරේ සතුවූ නිසාය.


ඇතුලට යන විට විවිධ විවිධ පුද්ගලයින් දක්නට ලැබුණු අතර චන්දරේ එක් මිනිසෙකු ලගට ගොස් මා අමතා මල්ලී මේකා කොටට හිටියට මනුස්ස ලෝකේ දක්ෂම නීතීවේදියෙක් කොච්චර දක්ෂයිද කියනවානම් නඩුවක් කල් ගියත් මේකට රුපියල් 25000/- දෙන්න ඕනේ. එහෙම මිනිස්සුන්ව හූරගෙන කාපු හින්දා තමා මේකා මේ අපායේ දුක් විදින්නේ.

"එතකොට මේ ඉන්නේ පොලීසියේ ඉහල තනතුරක් දරපු ප්‍ර‍සිද්ධ නිලධාරියෙක්. දැන් ඔය සිංදුවක් කියාගෙන හිටියට සර්විස් එකේ ඉන්නකොට පගාව අරගෙන කැම්පස් වල කොල්ලන්ගේ ඔලු පලලා කරගත්තු පිං හින්දා තමා මේ අපායේ දුක් විදින්නේ" යැයි චන්දරයා කියව ගෙන යයි.

එක් වරම එතැනට ප්‍රාතූර්භුත වුවේ සිවුරක් දරාගත් ශාන්ත ගතියෙන් ඇවිදින තැනැත්තෙකි. පෙනුමෙන් මනුලොව සිටි ප්‍ර‍සිද්ධම හිමිනමකි. චන්දරේ පැනපුගමන් හිමිගේ බෙල්ලෙන් අල්ලන් පැවසුවේ හාමුදුරුවරු යන්නේ දිව්‍යලෝකේ තෝ මෙහෙට ආවේ මොනවා කරලද? මෙතන ඉන්න උන් ඔක්කොම ජරා වැඩ කරපු උන් කියපන් තෝ මොනවද කලේ කියලා
එවිට හිමිනම  "මම වශී ගුරුකම් කලා, වාහන බිස්නස් කලා,තුන්වෙනි සිල්පදෙත් කැඩුවා, මත්පැනුත් පානය කලා" යැයි පැවසීය.

එවිට චන්දරයා කිවුවේ අපේ පන්සල් වලට ගෙනත් දාන්නේ බලු පැටව් පූස් පැටව්ග එත් මුගේ පන්සලට ගෙනත් දාන්නේ අලි පැටව් කියාය.

මා නිහඩවම කල්පනා කලේ අපාගතවීමට තරම් මා කල වරද කුමක්දැයි කියාය. කෙසේ වුවත් මනුලොවින් පැමිනෙන්නන් දැකගන්නට තවත් හෝරාවක් පමණ මා බලා සිටිය යුතුය. මගේ පන්ති සගයින් දැන් කුමක් කරනවා ඇත්ද? මම කෙමෙන් කෙමෙන් අතීතය සිහිකරන්නට වීමි....

***** මතු සැබැදි *****


ප/ලි
  • කෙටිකථා හෝ නවකථා යනු අනුන්ගේ මනැස් විග්‍ර‍හ කෙරෙන්නක් බව බහුශ්‍ර‍ැතයෝ පවසති. මට අනුන්ගේ මනැස් විග්‍ර‍හ කරන්නට අවශ්‍යතාවයක් නැත එබැවින් මම මගේ මනැස පමණක් විග්‍ර‍හ කරගතිමි. 
  • අප්‍රේල් 30 වෙනිදා වැල්ලවත්ත කුරේ පිටියේ පැවැත්වෙන සයිබර් සිහින උලෙලට පැමිණීමට බලාපොරොත්තු වෙමි‍ෙ
පසුව එකතු කරමි


මෙම පුණ්‍ය කර්මය සදහා තැබිලි ගෙඩි 2500ක් පමණ ප්‍රමාණයක් අපට අවශ්‍ය වනු ඇත. මේ සදහා ඔබටද දායක විය හැකිය. පිංකමට සහභාගී වීමට කැමැති අයෙකු වෙතොත් පහත සැබැදියෙන් Merit Foundation හා සම්බන්ද වන්න

අදත් වෙනදා මෙන්ම පහුරු ගෑ මම සුදුපූසා වෙමි.........
 

Wednesday, April 6, 2016

දොළොස් මසකට පසු

අදින් හරියටම දොලොස් මසකට පෙර සුදුපූසා බවට පත් වු මම අද බ්ලොග් අවකාශයේ පලමුවෙනි වසරට පා තබන්නෙමි. අද දින සවස් වන විට මෙයත් සමග පෝස්ටු විසිපහකුත් සහ හිට් කවුන්ටරය 16510 කුත් ලෙස දර්ශණය වෙනවා. වර්ශ 2012 පමණ සිට බ්ලොග් කියෙවුවත් ලියන්න නම් කාලයක් හා ඉස්පාසුවක් ලැබුනේ පසුගිය වසරේ මුල වගේ තමා.


අද මේ වසරක් ගෙවෙන වෙලාවේ මාහට බ්ලොග් ලියන්නට පෙලබවු හා උදව් කල කිහිපදෙනෙකුව මතක් කිරීම මගේ යුතුකමක්


  • බටහිර කැන්ගරුලන්තයේ පදිංචිව සිටියාවුත් සිරි ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ හා ගම්පහ ප්‍රාදේශීය වැඩපලවල් වල මාගේ පියා සමග සේවය කලාවූද ඔබ්සවර් නැත්තම් ඔබා මාමාලෙස බ්ලොග් ලොව හදුනාගත් සනත් විජේවර්ධනයන්

  • බ්ලොග් ලෝකෙට මුල් ගුරු වෙච්චිතමන් දැල්වු   පහණින්  තවත් පහන් සිය ගණනක් දැල්වූපුක යනු කුණුහරුපයක් නොවන බව ඔප්පු කලා වූත් රසික සූරියාරච්චි නොහොත් පැරණි කතන්දරකාරයා

  • පන්සලේ කතා වගේම බස් පලුවන්ගේ කතා වගේම විශාල කතා ප්‍ර‍මාණයක් බ්ලොග් අවකාශයට දායාද කලා වූවද අද වන විට බ්ලොග් ලිවීම යනු කුමක්දැයි නොදන්නා තත්වයට පත්වී ඇති මාරයාගේ හෝරාවේ මාරයා නොහොත් චතූෂ තුෂර කුමාර අයියා
  • මගේ බ්ලොග් එකේ පෝස්ට් එකකට නමෝවිත්තියෙන් පලවෙනි කමෙන්ටුව කෙටූ අවන්හලේ මහේශ් රත්නායක

  • නොදත් සමහර තාක්ෂණීක කරුණු සහ ඇතැම් දොෂ නිරාකරණය කර දුන් අගහරු ලොව පියාබන පීරිසි අංගනයේ ප්‍ර‍ධාන ඉංජිනේරු තැන්පත් අගහරු තුමා.

  • නිතරම මේ පැත්තට ඇවිත් යන්න එන කුරුටු ගෑ ගී පවුරේ  කුරුට්ටන් පිරිස

     

මීට අමතරව විටින් විට පැමිණි ඩ්‍රැකී, අටම්පහුරේ අටම්තුමා, විචාරක තුමා, නවාතැනේ බස්සි හා කැලේ පිපුනු මල් අඩවියේ W.K වැන්නන් හා මෙහි නම් සදහන් නොකල උදව් කල සැමටත් මා හිසනමා අචාර කරමි.


අදත් වෙනදා මෙන් පහුරු ගෑ මම සුදු පූසා වෙමි.....

Friday, April 1, 2016

නිර්සත්වයෝ පලමු කොටස - දේශසීමාවට පිවිසීම

හෝරා කිහිපයකට පෙර වාතලයට එකතු වු මාගේ අවසන් සුසුම් පොද නිවස වටේ සැරිසැරුවේය. එක් වරම මහත්වු සුලි සුලගක් හැමුවාක්මෙන් මා ගසාගෙන යන්නට විය. අදුරු කුටියක් මැදින් ගමන් කරන්නාක් මෙන් හැගීමක් පහලවිය. කොපමන වේලාවක් එසේ ගමන් කලාදැයි මාහට වැටහීමක්ද නැත එක්වරම එම ගමන නතරවු බව මා හට පසක් විය. ඒ භුමිය පාලු ගතියක් ඉසිලු නමුත් වළාකුලක් අහසක් හිරු සදු හෝ නොපෙනෙන විශාල ගුහාවක් බදුය.

කෙමෙන් ඉදිරියටම යන විට මිනිස් පෝලිමක් දක්නට ලද අතර මාද එයට එකතු වුවෙමි. මේ පෝලිම කුමක්දැයි මා අනෙක් අයගෙන් විමසුවද කිසිවෙකුගෙන් පිලිතුරක් නැත සියල්ලෝම තැතිගත් මුහුණෙන් යුතුව බිම බලාගෙන ගමන් කරති. ඈතින් ගිනිජාලාවක් ඈතින් පෙනෙන්නට විය තව තවත් ලංවෙන විට විශාල ඇතුල්වීමේ දොරටුවක් පෙනෙන්නට වූ අතර දොරටුව ආසන්නයට ලං වන විට භාශා තුනෙන්ම අපායේ පිවිසුම් දොරටුව යනුවෙන් සදහන් පුවරුවක් විය. 
මම ඇතුල්වීමේ දොරටුව ආසන්නයටම පැමිණ සිටින අතර ඉන් මදක් ඈතින් පිටවීම ලෙස තවත් දොරටුවක් විය. ඇතුල්වීමේ දොරටුවෙහි යුධ හමුදා කැලෑ ඇදුම ඇද සන්ග්ලාස් දමා AK-47 සහ T-56 වැනි නවීන ස්වයංක්‍රීය ආයුධවලින් සන්නද්ධ යමපල්ලන් සිටියත් පිටවීමේ දොරටුවෙහි කිසිවෙකුත් දකින්නට නොමැත. මෙතෙක් මා රැදී සිටි කාලයටම පිටවී ගියේ දෙදෙනෙකු පමණි. CCTV කැමරා පද්ධතිය වලින් සමන්විත වු එහි ප්‍රධාන ආරක්ෂක පවුරේ ඩිජිටල් රූපවාහිනී තිරයක් සවිකර ඇති අතර එමගින් දිස්වුයේ අපාය තුල ඇති එක් එක් අංශවල දෙනු ලබන දඩුවම් වල ස්භාවයයි. යම පල්ලන් විසින් සියලු දෙනාවම කැදවා අපායට පැමිණීමට ආසන්න හේතුව සොයා යම රජුට නඩු වාර්ථා ඉදිරිපත් කිරීමෙහි යෙදී සිටි අතර කෙමෙන්  මගේ වාරයද පැමිණි අතර වායුසමණය කල කුටියක් සිටි යමපල්ලකු මා කැදවීය. 


මා බලාපොරොත්තු වුනේ ඉස්සර දහම් පාසලේදී ගුණසිරි අංකල් මවා පෙන්නූ උල්වු දත් ඇති කාලවර්ණ යමපල්ලන්වය. නමුත් කුටියේ සිටියේ ජැන්ඩි පහට ඇදගෙන ටයි පොල්ලක්ද එල්වා ගත් කඩවසම් යමපල්ලන් රැසකි. කරුණාකර ඔබේ නරලොව ජාතික හැදුණුම්පත් අංකය පවසනු යැයි කී ඔහු මාගේ අංකය පරිඝණක දත්ත පද්ධතියට ඇතුල් කර බලා ඇඹුල් කර ගත් මුහුණෙන් යුතුව ඔබ හා සම්බන්ද සිදුවීමට අදාල අයවලුන් පිරිසක් මනුස්ස ලෝකයේ තවමත් සුජීවත්ව සිටින් අතර ඔහුන් පැමිණීමට පිලිවෙලින් වසර 2 වසර 5 වසර 10 සහ වසර 20ක් ගතවීමට නියමිතයි. එතෙක් මෙම නඩුව යම රජුට ඉදිරිපත් කල නොහැකියි ඒ නිසා ඔහුන් පැමිණෙන තුරු ඔබ පිවිසුමේ රැදී සිටිනු යැයි පැවසීය.

"අනුකම්පා කරන්න යමපල්තුමා වසර 20ක් එලියට වී සිටින්නේ කෙසේද? මම එපමණ කාලයක් ජීවත් වෙයිද කියලා කවුද දන්නේ කියා පැවසුවෙමි"

"හා හා හා එම්බා නරය තොපගේ මිනිස් ලොව විසි වසරක් යනු අප අපායතුල දෙපැයකි.තෝ දැන් මිනිසෙකු නොව නිර්සත්වයෙකි. අපායේ දඩුවම් අවසන් වන තුරු නිර්සත්වයන් මියයන්නේ නැත. මාගේ පුෂ්පය පැනීමට පෙර වහා පිටවී ගොස් කැදවන තුරු රැදී සිටිනු" යැයි යමපලුතැන ගෝරනාඩු කල බැවින් මම පිලිගැනීමේ කවුලුව අසල ඇති ආසන පෙලින් එකක අසුන් ගත්තෙමි. සත්‍යවශයෙන්ම මට සිදු වුයේ කුමක්ද?
මා පැදවු යතුරුපැදිය බස් රථයකට ඉස්සර කලාක්මෙන් යන්තමට මතකය.......



***මතු සැබැදි***


ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි......

Tuesday, March 1, 2016

බැංකුවේ ජීවිතේ අවසානය

දෙමටගොඩින් ස්ථාන මාරු ලැබ ලංකා බැංකුවේ පිට්ටු බම්බුවේ අටවන හා නවවන මහල් වල පවත්වාගෙන යනු ලබන අන්තර්ජාතික අංශයේ ලැබෙන විදේශ ප්‍රේශණ දෙපාර්ථමේන්තුවේ දැහැමෙන් සෙමින් කාලය ගතකරන අතරතුර පසුගිය දෙසැම්බර් මස මැදදී පුහුණු හා සංවර්ධන අංශය මාහට සිහිකැදවුයේ ඔබගේ පුහුණුකාලය අවසානවීමට ආසන්න වන බවයි. වර්ෂ 2013 සැප්තැම්බර් සිට මේ දක්වා ගත කාලය සුන්දරය. අවශ්‍යයනම් තවත් මාස තුනකට කාලය දිගු කරවාගත හැකි අතර නැතිනම් සේවය අවසන් කිරීමටද හැකිවිය. පුහුණු අංශයේ සහකාර මහා කළමණාකරු අපට පැවසුයේ අනෙක් අයත් එක්ක කතා කරලා තීරණයක් අරං මට කියන්න යනුවෙනි.
සහෝදර කාර්ය මණ්ඩලය හා මගෙන් පුහුණුව ලබමින් සිටි නවක සොයුරු සොයුරියන්ද ඉතිරි තෙමසද රැදෙන ලෙස ඉල්ලා සිටියද බැංකුව පිලිබදව අන්තිම අඩියටම කලකිරී සිටි අප සේවා දිර්ඝය බාර නොගෙන සමුගැනීමට තීරණය කලෙමු. මා සමග කොළඔ විශ්වවිද්‍යාලයේ සොයුරියන් දෙදෙනෙකු සහ පන්නිපිටිය ධර්මපාලයේ සොයුරෙකු වු අතර ඔහුන් තිදෙනා මාස හයක කාලයක් රැදී සිටි අතර මම වසර දෙකකට ආසන්න කාලයක සේවයක් සම්පූර්ණ කර ඇත්තෙමි. සාම්ප්‍ර‍දායට අනුව අපි සේවයෙන් ඉවත් වන බව  මුලින්ම පැවසුවේ මාගේ ගුරුවරයා බදුවු කලමණාකරු කැල්වින් විජේසුරිය මහතාටය.
ඇත්තෙන්ම පැවසුවහෝත් Inward Remittances නැත්නම් එන විදේශ ප්‍රේශණ අංශය යනු බැංකුවේ වටිනාම ස්ථානයක් මෙන්ම කාර්ය බහුලත්වය තරමක් වැඩි වුවද අවශ්‍ය වන්නා වු විවේකය විනෝදය සහ නිදහස නොඅඩුවම පැවතුන ස්ථානයක්ම විය. දේශණ සදහා සහබාගී වීමට කලින් පැන යන්නට කිසිදු බාධාවක් කරන්නෙකු එහි සිටියේ නැත. ඒ තරමටම එය ඉතාමත් සුන්දරම නවාතැන්පලක්ම විය. අපගේ සියලුම ඉහල නිළධාරීන් පොළවේ පයගසා ජීවත්වූවන් බැවින් රාජකාරීකටයුතු ඉතාම පහසු විය.
කැල්වින් මහතා හා Money Gram අංශය
දුකට සැපට එකට හිටපු අනිත් තුන්කට්ටුව


උදව් උපකාර කල සියලුදෙනා පිලිබදවම මෙහි සදහන් කිරීමට නොහැකි වුවද අනිවාර්යෙන්ම සදහන් කල යුතු කිහිපදෙනෙකු වෙයි. පලමුව ආදරණීය නැසීගිය සහාය කළමණාකරු ජනක් රණසිංහ මහතාව ඉතාමත් ආදරයෙන් සිහිපත් කරන්නට යෙදෙන්නේ තරුණ සිත් හදුනාගෙන ඔහුන් සමග කටයුතු කරන්නට මෙතුමා සතු වු අපූරුතම හැකියාව නිසාය. තනතුර නිසා සතුවු අසීමිත බලතල මගින් හිස උදුම්මාගත්තකු නොවුන මෙතුමා වරක් අප සමග කොලුකමට ගිය දඩයම් සවාරියටද එක්වුයේය. එතුමාගේ හදිසි අභාවය අප සැමට කණගාටුවක්ම විය. ඊට අමතරව අමිල නිරෝෂන් හා හිමාල් චාමිකර යන සොයුරන් ලබා දුන් උපදෙස් හා මිල කල නොහැකිය. අද දෙදෙනාම සහාය කළමණාකරුවන්ය
මම අවසාන වශයෙන් සදහන් කරන්නේ අපේ හොදම රසවතුන් ගැනය. කැල්වින් විජේසූරිය යනු Money Gram ආයතනයටත් ගණුදෙණු කරණා ආකාරය ඉගැන්වීමට සමත් තරම් අයෙකි. බැංකු සේවකයන් හට ලැබෙන්නා වු ලබ්බත් තට්ටෙත් ලැබෙමින් පැවතියා වුද සෑම උදෑසනකම " I am Wijesoriya from Bank of ceylon, my unit has been deactivated, kindly reset" ලෙස අමතා Money Gram ආයතනයේ සුද්දන්ට වද දෙන්නා වුත් අති සුන්දර නිහතමානි මිනිසෙකු විය. සෑම කෙනෙකු පිලිබදවම පියකු මෙන් සොයා බැලූ මේ මිනිසාද පසුගිය දිනක ඉසුඔු ලබා කැන්ගරු දේශයේ ස්ථීර පදිංචියට ගියේය.

කෙසේ හෝ අප සිව්දෙනාගේ සමුගැනීම වෙනුවෙන් අන්තර්ජාතික අංශයේ කුඩා සාදයක් සංවිධානය කර තිබුනේ අප කාටවත් නොදන්වාය. නැටුම් ගැයුම් වැයුම් මැද සියලුම දෙනා අප සිවුදෙනාට සුබ පැතූ අතර සාදයේ කෙලවර යලිත් මතු දිනෙක පුංචි ලංකාවේ කුමන ස්ථානයකදී හෝ මතු කවදා හෝ හමුවන බලාපොරොත්තු පෙරදැරිව ජීවිතයේ අමතක කල නොහැකි අත්දෑකීම් රැසක් සමග මමත් රුචිරත් දිනුලි අක්කාත් අසංගී අක්කාත් මුලස්ථාන ශාඛාවේ පියගැට පෙල බැස නික්ම ආවෙමු.....

පසු සටහන

  • මාගේ අතින් කියවුන කතා වලට වඩා නොකී කතා ප්‍ර‍මාණය ඉහලය. සමහරක් අයගේ ඉල්ලීම් හා ආයාචනා නිසා සටහන් නොකල ඇතැම් කතාවන් ඉදිරියේදී අකුරු කරමි. 

අදත් වෙනදා මෙන්මැ පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........