Thursday, April 22, 2021

හයවෙනි සැතපුම සහ අතීතාවර්ජනය

 අදට අවුරුදු හයකට කලින් සුදුපූසා ලෙස ඉතා කුඩා පියවරක් තබමින් සයිබර් අවකාශයට පැමිණි මම කෙමෙන් කෙමෙන් විවිධ මාතෘකාවන්ගෙන් යුතු කතා පියවරයන් පනස්පහක් අතැතිව සුදුපූසාගේ අඩවියේ හයවෙනි සැතපුම් කණුව අද දින පසුකරන්නෙමි.

අද මේ හයවෙනි වසර ගෙවෙන මේ වෙලාවේ මට බ්ලොග් ලියන්නට පෙලබවු හා උදව් කල කිහිපදෙනෙකුව මතක් කිරීම මගේ යුතුකමක් කියලා හිතනවා

  • මගේ බ්ලොග් එකේ පලමුවැනි පෝස්ටුව වෙච්චි දඩයමේ යාම  කතාවට හා හාපුරා කියලා නමෝවිත්තියෙන් පලවෙනි කමෙන්ටුව කෙටූ අවන්හලේ මහේශ් රත්නායක.
  • පන්සලේ කතා වගේම බස් පලුවන්ගේ කතා වගේම විශාල කතා ප්‍ර‍මාණයක් බ්ලොග් අවකාශයට දායාද කලා වූවද අද වන විට බ්ලොග් ලිවීම යනු කුමක්දැයි නොදන්නා තත්වයට පත්වී ඇති මාරයාගේ හෝරාවේ මාරයා 
  • බ්ලොග් ලෝකෙට මුල් ගුරු වෙච්චිතමන් දැල්වු   පහණින්  තවත්පහන් සිය ගණනක් දැල්වූපුක යනු කුණුහරුපයක් නොවන බව ඔප්පු කලාවූත් රසික සූරියාරච්චි නොහොත් පැරණි කතන්දරකාරයා  
  • ෂර්වුඩයෙ රොබින් වගේ කෙහෙල්කොටුවට පැනල කෙසෙල් ගස් පෙති පෙති කපාපු, හුරතලේට ඌරු පැටියෙක් හදාපු, කෙහෙල් කොටුවේ චූටි මහත්තයා නොහොත් බුද්ධී ප්‍රසාද් 
  • පූසාව සජීවි ලෙස මුණගැසී කතාබහ කල මගේම පාසලේ බ්ලොග්කරු  කාමරේ සිරා 


බ්ලොග් අඩවිය පටන් ගත්තු කාලයේදී නම් මාසයකට ඒක පෝස්ටුවක් හෝ අකුරු කලත් ආරම්බක සමයේ ලියන්නට තිබුන ආශාව නැතිවෙලා ගියාද කියලක් වෙලාවකට හිතෙන තරමටම දැන් පූසා කම්මැලි වෙලා. දෙදහස් දහනවය හා දෙදහස් විස්ස අවුරුදු දෙකටම මගේ අතින් ලියවුනේ එකම එක ලිපියක් විතරයි. ලියන්න දේවල් ගොඩක් හිතේ තිබුනත් දැන් ඒවා අකුරු කරන්න පූසා කම්මැලියි. කොහොම උනත් ආයෙත් පරණ විදිහටම ලියන්න උත්සහා කරනවා. කොහොම වුනත් අතීතයේදී ආසාවෙන් කියවපු බ්ලොග් අඩවි අද දවස වෙන කොට යාවත්කාලීන නොවීමත් ඒවා අකුරු කල සොඳුරු නිර්මාණකරුවන්ට බ්ලොග් යනු කුමක්දැයි අමතකවී තිබීමත් කණගාටුවට කරුණක්.

එදා පළමු අවුරුද්ද පසුකරපු මොහොතේ මම ඔබට කිව්වා මම කොහොමද බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියලා. මුලදි කරගන්න බැරිවෙයි කියලා හිතුනත් දැන්නම් අබිං කෑවාවගේ තමයි. මොනවාහරි නොලියා ඉන්නම බෑ වගේම බ්ලොග් කියවන්නේ නැතුව ඉන්නත් බෑ කොච්චර වැඩ රාජකාරී ගොඩගැහිලා තිබ්බත්. බ්ලොග් ලියන කෙනෙකුගෙන් ඇහුවොත් ඇයි ලියන්නේ කියලා, නොයෙකුත් පිළිතුරු ලැබෙන්නට පුළුවන්. අපි කාටවත් මේ සමාජයේ තනිවී ඉන්නට බැහැ. අපගේ සිතුවිලි හා චිත්තාවේගයන් සදහන් නොකර ඉන්නට බැහැ. සමහර විටකදී සිතෙහි පවතින ආවේගයන් හා කෝපයන් පිටකරන්නත් මගේ අතින් ලිපි ලියවෙච්ච අවස්ථාවන් නැතුවාම නෙවෙයි නිර්සත්වයෝ කතාමාලාව ඒකට හොඳම උදාහරණයක්, අපාය අමතක කලොත් ඉතිරි සෙසු චරිත සියල්ලක්ම අදටත් සූජීවත්ව සිටින අය. අනෙකුත් සෑම ලේඛන සහ ප්‍රකාශන මාධ්‍යවල යෙදෙන්නන් කරන්නේත් එයමයි. ඉතින් බ්ලොග් ලියන අපිත්, අනෙකුත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලට වඩා පෞද්ගලිකත්වය විදහා දක්වමින්, ආවේගයන් පිටකරමින් ලියන එකයි කරන්නේ කියලයි මම නම් හිතන්නේ.  

සුදුපූසාගේ අඩවිය ඇරඹීමට මුල් වූ හේතු ඇතුලත් කජුකැලෙය හරහා කටුබැද්ද කථාමාලාවට මුල්වූ ප්‍රධාන චරිතය මේ වසරේ දුරුතු මාසයේ උපාධි ලෝගුව කරලා ගෙන කටුබැද්දෙන් නික්ම ගියාය. නිර්සත්වයෝ  බදුවූ කතා කිහිපයකුත් මත්තට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිමි.


ඉහත සදහන් කල පිරිසට අමතරව සුදුපූසාගේ අඩවිය අරබා ගෙවුනු වසර හය පුරාවට නිතරම ගොඩවදින අම්බලන්ගොඩයා ,කුරුට්ටන් පිරිස , දිනේෂ් , කැලේ පිපුණු මල් , වැසි දැරිය අටම්පහුර අටම්තුමා, බ්‍රා මෙන්ඩිස් සහ ප‍්‍ර‍සන්න වැනි අය මෙන්ම වරක් හෝ පැමිණි කොමෙන්ටු යෙදූ නම් වශයෙන් සදහන් නොකල එකී මෙකී නොකී සෑම සියලුම දෙනාටම හිස නමා ආචාර කරමි..... 

 

ඒ වඟත් මෙසේම අදත් පහුරු ගෑ මම සුුදුපූසා වෙමි...................... 

No comments:

Post a Comment