Saturday, January 23, 2016

හොර දොස්තර සහ රෝයල් සර්ජරි සුද්ධය

මේ සිදුවීම වන විට මමතුමා ලංකා බැංකුවේ දෙමටගොඩ සිට අන්තර්ජාතික අංශයේ ලැබෙන විදේශ ප්‍රේෂණ දෙපාර්ථමේන්තුවට ස්ථාන මාරුවීම් ලබා පැමිණි අලුතම වාගේය. Money Gram, Ria, Sigue වැනි විදේශ මුදල්  ලංකාවට ලැබෙන්නා වු බැංකුවක් සතු විශාලතම හා ප්‍රධානතම ජාලය ලංකා බැංකුව වෙනුවෙන් එහි සියලුම පාලන කටයුතු සිදුවුයේ පිට්ටු බම්බුවේ නවවන මහලේ පිහිටුවා තිබු අප අන්තර්ජාතික දෙපාර්ථමේන්තුව මඟිනි. වරක හිරු නොබසින රාජධානියේ Money Gram මුලස්ථානයෙන් ලංකාවේ සේවය ලබාගන්නන් දිරිමත් කිරීමට ගණුදෙණුකරුවන් හට තිළිණයක් පිරිනෑමීමට කටයුතු කර ට්‍රැවලින් බෑග් තොගපිටින් දෙපාර්ථමේන්තුව වෙත එවන ලදී. සෑම බෑගයක්ම වර්ණ කරදාසිවල දවටා අදාල ශාඛා වෙත යැවීම අපට බාර විය.
මේවා කපන්නට කොටන්නට කතුරු නැතිව ලත වන විට මාහට සිහිවුයේ මාගේ සොයුරියක පැවසු සැත්කම් තල නොහොත් Surgical Blades පිලිබද මතකයයි. මිල අඩුකම හා පාවිච්චියේ පහසුව මත එය භාවිතා කිරීමට සියල්ලන්ම කැමැත්ත පල කල නිසා අවැසි මුදල් කැල්වින් මහතාගෙන් ලබාගත් මමත් පොඩි අමිල අයියාත් පලමු හරස්වීදියේ රෝයල් සර්ජරියට ගියේ අවශ්‍ය අඩුමකුඩුම මිලට ගැනීම සදහාය. පහත ජායාරූපයේ ඇත්තේ තල වල මට්ටම් දැක්වෙන සටහනයි.
අප මිල ගනන් විමසා අංක 11/15/23/24 යන ප්‍රමාණයන්ගෙන් තොග මිල ගණන් විමසූ අතර එක තලයක් රුපියල් 30/- වන බව බඩතඩි මුදලාලියා පැවසුවත් මා සමග ගිය පොඩි අමිල අයියා වෙනත් ගණුදෙණු කරුවකු හා කල කථාවකට කනදමාගෙන සිට කිව්වේ මල්ලී මු අපිට තිහයි කියලා අර අව දෙමල එකාට දහයයි කියලා දෙමලෙන් කිව්වා මුට මතක හිටින්න දෙයක් හෙට කරමු දැන් එකක් විතරක් අරගෙන වර යන්න කියලාය. අපේ වාසනාවට හා බඩතඩි මුදලාලියාගේ අවාසනාවට අමිලයාට දෙමලබස හැසිරවීමට හැකියාව ඇත. පසුදා අපේ අංශයේ තරුණ තරුණියන් දහයක් පමණ රෝයල් සර්ජරි සුද්ධය දෙන්නට යන්න ලක ලැහැස්ති වී රෙඩිපිට සිටියහ. රෝයල් සර්ජරියේ බඩතඩි මුදලාලි සහ ගෝලයන් පිස්සු වැට්ටවීම අපගේ පැතුම නිසා අප සියලු දෙනාම අවසන් වසර වෛද්‍ය සිසුන් ලෙස හා ජීවකයින් ලෙස වෙස්ගෙන රෝයල් සර්ජරිය වෙත ගියෙමු....
 
මමත් මිනෝලි අක්කාත් අමිල අයියාත් පලමුව ඇතුලට ගොස් අවශ්‍ය දෑ තොරන විටම පෙර සැලසුම් කල පරිදි"ඩොක්ටර් වෝඩ් එකෙන් කෝල් එකක් ප්‍රේශන්ට් ට අමාරුයිලු" කියමින් එතනට කඩාගෙන පැන්නේ චන්දන මලයාය. මහාචාර්ය හෙඩ් (හොර) ඩොකාගේ චරිතය රගපෑ අමිල වෙදදුරු තුමා දුරබණුව ගෙන හර්ණියා තද වෙලානම් යකුනේ ඉක්මනට තියටර් එකට ගනිල්ලා. සිහිනැති කරන්න වෙලා යනවානම් එ්ක පස්සේ කරගන්න පුලුවන් ඉස්සෙල්ලා කපලා ඉදහන් යැයි පවසා මාගේ අතට දුරබණුව දෙන විට බඩතඩි මුදලාලියාගේ ඇස්දෙක නලලෙනුත් උඩය. මහත්තයෝ එහෙමත් කරන්න පුලුවන්දැයි ඇසූවිට අමිල වෙදදුරු තුමා කිව්වේ බඩ විතරක් නෙවේ මුදලාලි වෙන වෙන තැනුත් සිහිනැති නොකරම කපනවා කියාය.
ටිකකින් බලද්දී අපේ මහාචාර්ය තුමා දුරකතනයෙන් බයිපාස් එකක් කරනවාය. විශේෂත්වයනම් සැත්කමට අවශ්‍ය ශල්‍ය උපකරණ ගැන උපදෙස් දෙන්නේ අලෙවියට ඇති දෑ අතට ගෙන පරීක්ෂා කරමින්මය.

මුදලාලිට කිසිවක් සිතාගැනීමට ඉඩ නොතබා චතුරිකා හා රුචිර ඇවිත් ඇහුවේ මුදලාලි අපි කොළඹ මෙඩිකල් එකෙන් නොම්බර 15 සයිස් එකේ වෑල් කපන්න පුලුවන් බ්ලේඩ් තියෙනවානම්  කියායි. අපේ දහ දෙනාම දැන් ඇතුලට ඇවිත් රටේ නැති ජාති මුදලාලියාගෙන් ඉල්ලයි. සමහර දෙබස් මෙසේවිය.
අමිල-: මුදලාලි හම ඉරන කතුරු නැද්ද? එක පාරම ගලවන්න පුලුවන් ජාතියේ එක
මුදලාලි-: මහත්තයෝ ඒවා එන්නේ නෑනේ දැන්(මුදලාලි හොල්මන් වී)
මමතුමා-: මල්ලී අර බයිපාස් කරනකොට ඉල ඇට කුඩු වෙන්න ගහන මිටිය තියෙනවාද (ගෝලයෝ රොත්ත කොර)
මිනෝලි-: මුදලාලි  වයර් කපන්න පුලුවන් 15 බ්ලේඩ් 20ක් දෙන්න...
ගෝලයා-: වයර්  කපන්න නම් මෙකෙන් බැරිවෙයි මොන වයර්ද කපන්න යන්නේ 
මිස්? ගෙයක් වයරින් කරන්නද?
මිනෝලි-: ඔව් මල්ලී මේ බඩවැල් වගයක් වෙල්ඩින් කරන්න කියලා බැලුවේ

දවසේ හොදම ක්‍රියාව කලේ නිම්සරා අක්කාය 23 තලයක් ගෙන සර් මේවා කැපෙනවා හොදද කියලා බලන්න ටෙස්ට් කරා නම් හොදයි යැයි පැවසුවේ දවසට ඩොකෙක් වු මටත් හෙඩ් ගේ භූමිකවට පන පෙවු අමිල අයියාටත්ය. අමිල මහාචාර්ය තුමා ගත්තු කටටම කිව්වේ අපි පැමිණි වාහනයේ ඇති මෘතදේහය කපා බලා පරීක්ෂාකරගෙන එන ලෙසය.නිම්සරා අක්කා අත්ආවරණයක් ද පැලැද යනවිට මුදලාලියා කටත් ඇරගෙන බලා සිටියේ අපායෙන් පැමිණි යකුන් රැලකට හසුවුවාක් මෙනි. කෙසේ හෝ පැයකට ආසන්න කාලයක් මුදලාලියා සහ ගෝල රොත්ත බයිට් කල අපි ආපසු එන්නට හැරුනේ පෙරදින 30/- කිව්ව තලය රු10/- මිලට ගනිමිනි. ගෙනගිය මුදලට විවිධ ප්‍රමාන වලින් තල 50ක් පමණ අපි රැගෙන ආවෙමු. අපේ රාජකාරියට වැය වුයේ තල 20කටත් අඩු ගනණකි. මම ජීව විද්‍යාව හැදෑරූ මාගේ සොයුරෙකුටද තල කිහිපයක් ගෙනවිත් දුනිමි. තවමත් අප දෙපාර්ථමේන්තුවේ අය සතුව මෙම ආයුධය පවතී. පහතින් ඇත්තේ මාගේ මේස ලාච්චුවේ ඉතිරිව තිබු එවැනි කිහිපයක ජායාරූපයි..
                                        

අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට අපට රුපියල් 5000/- මුදලක් ලැබී තිබුණද සියලු දෑ සදහා වියදම් වී තිබුනේ දහසකට ආසන්න මුදලකි. අප දෙපාර්ථමේන්තුවට ලැබෙන මුදල් වලට සිදුවිය යුතුවන්නේ කෙසේ හෝ වියදම් වීම පමණක් යුතු නිසා ඉතිරි මුදලින් සවස තේ පානයට ඇවැසි කේක් පෙරේරා මහතා සහ පුත්තුන්ගේ අලෙවි සැලෙන් මිලට ගෙන ආවෙමු....


පසු සටහන


  • සර්ජිකල් බ්ලේඩ් වලින් කපන්නට ගොස් සමහර බෑග් ප්‍රයෝජනයක් ගත නොහැකි ආකාරයටම කීතු කීතු වලට කැපී ගොස් තිබුණි. මෙම තලය ඉතාමත් තියුණු නිසා ගැවුණු විටම කැපී යයි. කැල්වින් බොස් සහ අකාලයේ දෙවියන්වහන්සේගේ තුරුලට ගිය ජනක බොස් වැඩිම බෑග් ගණනක් කැපීමේ වාර්ථාවට හිමිකම් කියන ලද අතර ආසන්නව එකසිය පණහක් පමණ ඉවත්කර දැමීමට සිදුවිය.
  • කට්ටියට අප මෙය දුන්නේ තලයේ තියුණුබව සැමට සිහිකැදවමිනි.
    නමුත් අක්කලා අයියලාගේ අතපය සියුම් ලෙසද කැපී ගොස් තිබුනි.
    සුදු අක්කලා අයියලා අතපය වලින් රතු ලේ හලනු ඒ දිනවල සුලබ දසුනක් විය. රුචිර මල්ලී අත කපාගෙන රිදෙන්නේ නෑ කියු සැනින්ම අඟල් දෙකක් පමණ කැපුනු තැන විවෘත වී ලේ ගලනා විට පිට්ටු බම්බුව දෙවනත් වෙන්නම නැගූ විලාපයට බියවී අප සහාකාර මහා කළමණාකාර තුමානෝද ඇගේ හලාගත් කෝපි කෝප්පයක් සහිතව අප ඉදිරියේ දර්ශණය විය. පසුව ආයතන වෛද්‍යවරයා ලවා රුචිරගේ අතට මැහුම් යෙදීමටද සිදුවිය.
     
  • බඩතඩි මුදලාලියාව තවත් බයිට් කලානම් ඒ අසරණයා පිස්සු තදවී මුල්ලේරියාවට ගොහින් දමන්නට වෙනවා ඒකාන්තය. සුදු කබායන් ඉල්ලාගෙන ගියේ අසල තිබු ඔසුසලේ අප හිතවත් මිතුරෙකුගෙනි. මේ ලඟකදීත් මම රෝයලයට ගොඩවූ විටත් මුදලාලි අප ඇමතුවේ Doctor කියාය.


ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.............

Wednesday, January 20, 2016

ලේ දන්දීමේ පිංකම සහ මිතුරෙකුගේ නික්මයාම

ඔබ ජීවිතයේ එක් වරක් හෝ රුධිරය ප්‍ර‍දානය කරතිබේද?
ඔබ ප්‍ර‍දානය කරණු ලබන සෑම ලේ පයින්ට් එකක් පාවිච්චියෙන් ජීවිත 3 දක්වා බේරා ගත හැක.
අවුරුදු 18 ට වැඩි 60 ට අඩු නිරෝගී වැඩිහිටියෙකුට හිමෝග්ලොබින් ප්‍ර‍තිශතය ඒකක 12 ට වැඩි නම් සෑම මාස හතරකටම වරක් ලේ පයින්ට් එකක් දක්වා පරිත්‍යාග කල හැක.ප්‍රධාන රුධිර ගණ හතරකි. (A, B, AB, O) ඒවා තවදුරටත් positive හෝ negative ලෙස Rh සාධකය (Rh factor) අනූව බෙදේ. රතු රුධිරාණු සඳහා AB යනු සර්වප්‍රතිග්‍රාහකයෙකි O negative යනු සර්වදායකයෙකි.පළමුව මෙසේ රුධිර වර්ග හතරක් ඇති බව හඳුනා ගන්නා ලද්දේ 1901දී වෛද්‍ය කාර්ල් ලෑන්ඩ්ස්ටයිනර් (Dr. Karl Landsteiner) විසිනි.
පිළිකා සඳහා ප්‍රතිකාර ලබන ළමයින්, අඩු වයසින් උපන් ළමයින්, හදවත් සැත්කම් වලට ලක්වන ළමයින්ට රුධිරය මෙන්ම පට්ටිකාද ඒ ඒ අදාල රුධිර වර්ගයෙන් අවශ්‍ය වේ.රක්ත හීනතාවයෙන් පෙළෙන රෝගීන්ට රුධිර සෛල ප්‍රමාණය වැඩි කිරීමට රුධිර පාරවිලයනය යොදා ගත හැක.තැලසීමියාව නම් ප්‍රවේණික රෝගය ලංකාවේ පුද්ගලයින් 2000 කට පමණ ඇති අතර ඔවුන්ට මාස්පතා රුධිර පාරවිලයනයන් අවශ්‍ය වේ. ලංකාවේ ලේ බැංකු ප්‍ර‍ධාන වශයෙන් AB- සහ B- යන රුධිර කාන්ඩයන් අධික හිඟතාවයකින් පෙලේ

ලේ දන් දී නැති අයගෙන් 17% පවසන්නේ ඒ ගැන කිසිවිටකත් නොසිතූ බවත්, නොදැන සිටි බවත් ය. 15% ලේ දන් දීමට තමාට විවේකයක් නැති බව පවසයි.ලේ දන් දෙන අය ඊට පෙළබීමට ප්‍රධානතම හේතුව ලෙස දක්වන්නේ අනුන්ට උදව් කිරීමට ඇති කැමැත්තයි.ලේ දායක කිරීමට පමණක් ගත වන්නේ විනාඩි 15 කටත් අඩු වේලාවකි. ඔබ පැමිණි වේලාවේ සිට ලේ දී පිට වනතුරු පැයක් පමණ ගත වේ.ලේ පරිත්‍යාගයකින් පසුව පිටවූ දියර පැය කීපයක් ඇතුලත රුධිර සංසරණ පද්ධතියට එකතු වේ. රතු රුධිරාණු සති හතරක් ඇතුලත පෙර මට්ටමට පැමිණේ. පරිත්‍යාගයේදී වැය වූ යකඩ නැවත අවශෝෂණයට සති අටක් පමණ ගතවේ.ලේ පරිත්‍යාගයෙන් ඒඩ්ස් හෝ වෙනත් බෝවන රෝග වැළඳීමේ කිසිදු හැකියාවක් නැත. එසේ රෝග බෝ වෙනවායැයි කීම මිත්‍යාමතයක්ම වන්නේය.

****************

ඉහතින් රුධිර පාරවිලනය පිලිබදව කෙටි සටහනක් තැබුවේ අද කථාවට ප්‍රවේශයක් ලබාගැනීමේ පහසුව තකාය. 
ධනුෂ්ක සමරකෝන් නම් ඔහු ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලය පලමු වරට 2002 දී බිහිකල ඉංග්‍රීසි මාධ්‍ය පන්තියෙන් අරබා උසස්පෙල මා සමගම වාණිජ අංශයේ සමාන්තර පන්තියක ඉගෙනුම ලැබුවෙක් විය.
හදිසියේ ඇතිවු මොලයේ ගෙඩියක් හේතුවෙන් අප කිසිවෙකුත් නොසිතූ ොපැතූ මොහොතක අපෙන් සමුගෙන පුරා වසර තුනක් සම්පූර්ණ වන් මෙම වසරටය. ඔහුත් සමඟ ඉගෙනුම ලැබූ 11 F පංති සඟයන්ගේ සංවිධාන හා මූල්‍ය ශක්තියෙන් පුරා දෙවසරක් ලේ දන්දීමේ කදවුරක් පවත්වන ලදී. එහි තෙවන අදියර මෙම එලැබෙන පෙබරවාරි 13 දින පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට 
Merit Foundation එකමුතුව විසින් සංවිධානය කර ඇත.
  
දිනය    - 2016 පෙබරවාරි 13 සෙනසුරාදා

ස්ථානය
- ගම්පහ සාම මහා විහාරය (රත්නාවලී විදුහල අසල)

වේලාව  - පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා

ඉතින් ඔබටත් හැකියාවක් ඇත්නම් එදිනට සහබාගී වෙලා රුධිරය දන්දෙන්නට එය මහඟු පිංකමක්ම වේවි. විශේෂයෙන් ඔබ  B+ B- O-AB- රුධිර කාණ්ඩ වලට අයත්නම් මතක තබා ගන්න එම රුධිර කාණ්ඩයන් යනු ලේ බැංකුවට හිඟම හා අත්‍යාවශම වන රුධිර කාණ්ඩයන් බව. හැකියාවක් ඇතොත් ඔබත් ඇවිත් යන්න එන්න.......


ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි.......

Sunday, January 10, 2016

බැංකුවේ ජීවිතේ පලමුවන කොටස - වැරදුණු කුරුමානම සහ කාමසූත්‍රය

කිසිදා නොකියන්නට සිතාගෙන සිටි කතා බොහෝම වන නමුත් අවසානවරට මම කිව්ව සිරියලතාගේ මල්වඩම කතාවෙන් පසු මාහට හොදින් පුරුදු අංකයකින් ලද දුරබණු ඇමතුමකින් ලැබුණේ තර්ජනයකි."අඩෝ තෝ ආයේ අපේ පැත්තේ එනවා එහෙම නෙවේ" යන්න ඒ සොදුරු තර්ජනයයි. තර්ජනයේ හිමිකරු කලින් කතාවේ ගරු රගපෑම කල මහමොළයයි. දීර්ඝ කාලයකින් පසුව අතීතය සිහිකරමින් කථාව ඇදීයන විටම ඔහු සිහිකෙරුවේ තවත් චරිතයක් කල අමතක නොවන රඟපෑමකි. හිරන්ත අයියාගේ ඉල්ලීමට ගරු කරමින් මම කිසිදා නොලියන්නට සිටි මේ ප්‍රේම කථාව කුශාන් වෙනුවෙන් අද මෙසේ සටහන් කරමී. අද කතාවෙහි මතු දැක්වෙන රොමියෝ ජුලියට් ගේ නම් දෙක පමණක් සත්‍ය නාමයන් නොවන බවත්, ආරූඩ කරගත් පුද්ලගනාමයන් උපයෝගී කරගෙන මෙය ඉදිරිපත් කරන බවද කියවන්නෝ සලකනු මැනවි.
මම දෙමටගොඩ පය ගැසු සමය වෙන විටත් අපේ කුශාන් අයියා තනිකඩ කොල්ලෙකි. බැංකු සේවකයන්ට උරුම වන ලබ්බයි තට්ටෙයි අඩුවයසින්ම ලැබෙමින් සිටියද එකල වයස අවුරුදු විසිඅටක් පමණ අයෙකි. ශ්‍රී ලංකා යක්ෂවිද්‍යාල පද්ධතියේ හන්තාන උප දෙපාර්ථමේන්තුවේ භෙෘතික විද්‍යා උපාධිදාරියෙකු වු මේ උත්තමයා නිකන් සිටින වේලාවට ඇසුරු කරන්නන්ට පූසෙකු මෙන් හීලෑ අයෙකි.නමුත් දිනයේ මුදල් බැලන්ස් නොවී මල පැන්න විට ඊරියකා ඉහමුදුනට වඩින බැවින් ඒ වේලාවට කවුරුත් ඒ පැත්තට නොයන්නට වල බලාගන්නේ තම ආරක්ෂාව තකාය. වැරදිලාවත් ගියහොත් අතට අහුවන දෙයක් පියබා ඔබවෙත පැමිණීමේ සම්භාවිතාව වැඩිය.
කුශානයාට අංගනවන් නයාට අඳුකොල මෙන් විය. සරසවියේදී අනුබව කරන ලද රසවත් බූට් එකක් නිසා "ගෑණු ජාතිය ජරා ජාතිය" යන තියරියෙන්ම සිටියෙකි අපේ කුශාන් ලොකු අයියා. මේ අතර අපිට අලුතින් පැමිණි සාමාජිකාව වුවේ රීජන්ට් වීදීයේ ශාඛාවෙන් පැමිනි අපේ තේජානි අක්කාය.ඇය ඉතා ඉක්මණින් අප හා මිතුරු වුවේ දිගුකලක් දැන සිටි අයෙකු විලසින්ය. මැදි වයස පසුකල ආච්චිලා සීයලා රැසක් මැද තරුණ වයසේ සිටියේ අප කිහිප දෙනෙකු පමණක් වීමද එසේ වීමට හේතුවක් වන්නට ඇත. සතියකට පැමිණියත් ඇය අවසානේ අප ශාඛාවටම සින්න වීමට බල පෑවේ ජයකොඩි මහතාගේ ඇඟ පුරා දුවා ඇති කට්ට මොලයයි. ඇගේ ආගමනය මේ තරම් විශාල වෙනසකට මුලපුරනු ඇතැයි අපි ඒ මොහොතේදී කිසිදු විටෙක නොසිතුවෙමු....
කොහොම කෙල්ලන්ට ගෙම්බර් දැම්මාත් අපේ ලොකු අයියාට අනංගයාගේ මල්සරින් බේරීමට නොහැකිවිය ඉදලා ඉදලා මල්සරා විද්දේ කුශාන් අයියාගේ පපුවටමය. එදා සිට වෙනස් කම් රැසකි. කොටින්ම කිවහොත් අපිත් එක්ක වෙනදා කෑමට යන කුශාන් දැන් ක්‍රෂ් එක කන්න යන වෙලාව බලාගෙනම කෑමට යන්නේ අනේ මල්ලි මේක කරලා දාපන් යැයි කරකරහිටපු දේ අපේ ඇගේ පටවලාය.නමුත් මේකා කෙලින්ම ආදරය ප්‍රකාශ කිරීමට බියවිය. ජයකොඩි සර් නම් කුශාන්  අයියාට දඩයම කරගන්නට හැකි පමණ සහයෝගය දැක්වූයේ රාජකාරී සදහා දෙදෙනාව එකට යොදවමින්ය. තේජානි අක්කාට ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නට යැයි ඉවෙන් මෙන් දැනී කුශාන් අයියාව මග හැර මගේ අංශයට පැමිණි අතර මුදල් අංශයේ සිටි මේකා මාවත් හර්ෂවත් බලෙන් මුදල් අංශයට තල්ලුකර දමා ණය අංශයට පැනගත්තේ තේජාණි අක්කාව අපි ඩැහැගෙන යාවි යන බියෙන් විය යුතුමය. ආරම්භ කල දෙයක අවසානයක් තිබිය යුතු නිසා අපි කුශාන් අයියාට බලකලේ අක්කාගෙන් කැමැත්ත විමසා බලන ලෙසයි.
අවසානයේ එයට අවශ්‍ය පසුබිම සකස් කිරීම භාරගත්තේ දිල් අක්කාය. ඇගේ නියෝග මත ඉහත ජායාරූපයේ පරිදි එදින තේජාණි අක්කා කෑමට එන වෙලාවට වෙන කිසිවෙකුටත් කෑමට උඩුමහලට යාම තහනම් විය. කිසිවෙකු හෝ කඩකලහොත් දඩුවම් ලැබෙන වරදකි. මෙහෙයුමට උර දුන් මමත් හර්ෂත් ජයකොඩි මහතාත් කෑම කාබරයට ආසන්න ගබඩාවේ කල් වේලා ඇතුව සැගවී සිටියෙමු. දිල් අක්කාත් සෙව්වන්දි අක්කාත් නොපෙනෙන තැන් වල ස්ථාන ගතවී සිටියහ. හිරන්ත අයියා පුරුෂ දහිරිය වඩවා ගෙන අක්කා සමග කතාව අරබා කල කී දෑ අසල සැගවී සිටි අපිට හොදින්ම ඇසුනු අතර සර් කිව්වේ මේකට ලව් කරන්න උගන්නන්න තමා විසින් වෙනම පංතියක් කල යුතු බවයි කෙසේ හෝ වේවා කුශාන් අයියාගේ පදුරවටේ තැලීම ඉවසා සිටීමට නොහැකි වු මමත් හර්ෂත් ගබඩාවෙන් එලියට එනවාත් සමගම අපටපෙර "මංගලම් ජය මංගලම් වේවා සිරිසුභ මංගලම්" යැයි කියමින් එතනට කඩාපැන්නේ අපේ වියපත් බඔරා වන ජයකොඩි කළමණාකාරතුමාය. කුශා හා තේජාණිට කිසිවක් සිතාගැනීමට ඉඩක් නොතබා අපේ අනික් කට්ටියද සැගවී සිටි තැන්වලින් මතුවන්න විය.
කාලය කෙමෙන් ගෙවී යන විට දෙදෙනාගේ ආදර කතාවද කෙමෙන් මොරන්නට විය. කුශාන් අයියා හා තේජානි අක්කා එකට කවුන්ටරයේ රාජකාරී කරමින් සිටිනා විටදී අපි ඇගට පතට නොදැනී කියන්නාවූ කටකැඩිච්ච කුප්ප කතා වලට අක්කා හෝ අයියා කවදාවත් අපි හා තරහාවුනේ නැත.මෙහිදී දෙදෙනාට කපුකම කිරීමට මඟුල් කපුවා වුයේ මමත් හර්ෂත්ය.
දෙදෙනාගේම උපන්දින යෙදී තිබුනේ එකම සතියක දින දෙකකදීය දෙදෙනාට දීමට තෑග්ගක් අපි පොදුවේ යොජනා කල විට ජයකොඩි සර් කිව්වේ නියම තෑග්ගක් තමා ගෙන එන බවයි.කුශාන් හා තේජානි තවම අතදරුවන් බැවින් තමා ගෙන එන තෑග්ග උන්ට මතුවට උවමනා විය හැකිබව සර් කිව්ව නමුදු කුමක්දැයි හෙලිකලේ නැත. පසුදා ජයකොඩි සර් ගෙන ආ තෑග්ග මා අතට පත් කලේ අනිත් උන්ට පෙන්වා ඉක්මණින්ම පාර්සල් කරන ලෙස කියමින්ය. තෑග්ග දුටු  උපන්දින කාරයන් හැර අනෙක් සියල්ලන්ම ඇතිපදම් සිනාසුනහ. කොටින්ම කිවුවොත් දෙදෙනාව දකින විට තෑග්ග අරඹයා විශේෂ හෑන්ඩ් සිග්නල් එකක් පවා දෙමටගොඩින් බිහිවිය. ත්‍යාගය වුයේ එකම පොතක පිටපත් දෙකකි. 
ඒ මහා ග්‍රන්ථ රාජයා නම් තරුණ තරුණියන් අත් පොතක් සේ දිවා රාත්‍රී පරිශීලනය කල යුතුයැයි පැවසෙන්නාවුද පුරාණ ඉන්දියාවේ විසු වාත්ස්‍යායන මහා පඬිතුමාණන් විසින් අදින් අවුරුදු එකදහස් හත්සීයකටත් පෙර කාලයකදී හුදී තරුණ තරුණියන්ට අනුකම්පාවෙන් චිත්‍ර සටහන් සහිතව ග්‍රන්ථාරූඪ කරන ලද ''කාම සූත්‍ර'' නම් වූ අනර්ඝ පුස්තකයේ ඔරිජිනල් ඉන්දියන් පිටපතයි. ජයකොඩි මහතා දෙදෙනා පිලිබද ඇතිවු ශෝකය හේතුවෙන් තෑග්ගට ගෙනැවිත් දුන්නේ ඒ මැහැඟි පුස්තකයයි. කාලය කෙමෙන් ගතවන විට දෙදෙනාගේ ආදරය ගලාගිය අතර 
"සියලු කාරනා අවසානයේදී කුශාන් අයියා හා තේජානි අක්කා විවාහ දිවියට ඇතුලත්ව මේ වන විට සාර්ථක විවාහ දිවියක් ගත කරයි " 
යනුවෙන් පවසා මේ කතාව අවසන් කරන්නට තිබුණේනම් කොච්චර හොදදැයි මෙය ලියන මොහොතේත් මට සිතුනද සත්‍ය වශයෙන් එසේ අවසන් කර ගැනීමට කුශාන් අයියා සමත් වුයේ නැති බව කණගාටුවෙන් වුවද පවසමි. එය කුශානයාගේම වැරැද්දෙන් සිදුවු දෙයක්මයි


මෙසේ කාලය කෙමෙන් ගතවන අතරතුර කුශාන් අයියාට සැකය නැමැති භයානක විශබීජය සිතට ඇතුල්වීමට පටන්ගෙන තිබිනි. නිතරම ඔහු අක්කා දෙස බැලුවේ සැකයෙනි. ඇයගේ ජංගම දුරබණුව සෑම දිනකම පරීක්ෂා කරන ලොකු අයියා නාදුනන අංකයක් තිබුනොත් පරලවෙයි. තරුණ ගණුදෙණුකරුවකු කරුමෙකට ඇයහා සිනාසුනහොත් මේකා දුම්මලවරම ගත් කපුවා මෙන් කෝප වෙයි. අක්කාට තිබූ ඇගේ නිදහස කෙමෙන් කෙමෙන් නැතිවනබව පැහැදිලිවම පෙනෙන්නට විය.මේ නිසාවෙන් කුශාන්ව වෙනත් අංශයක නිලධාරියා කර මම හෝ හර්ෂ මාරුවෙන් මාරුවට මුදල් අංශයට යවන්නට ජයකොඩි මහතා කටයුතු කලේය. 

කුශානයා සේවයට නොපැමිණි එක්තරා අදුරු වැසි දිනක දසකන් මන්ත්‍රණයක් අප උඩුමහලේ ඇතිවිය.මමත් ජයකොඩි මහතාත් දිල් අක්කා සහ තේජා අක්කාගේ පියානන් එහි මුසල සාමාජිකයන් විය. තේජානි අක්කා එදින ප්‍රකාශ කලේ අයියා පනවා ඇති නීතිරීති මත තමාට තවත් මෙම සබදතාවය පවත්වාගෙන යානොහැකි බවයි.තමාට සිරකාරියක ලෙස ජීවත්වීමට නොහැකි බවද ඇය පැවසුවාය. ඇය ජයකොඩි මහතාගෙන් ඉල්ලා සිටියේ තම ගම්පලාත ආසන්නයට ස්ථාන මාරුවක් ලබාගැනීමට උපකාර කරන ලෙසටයි. ජයකොඩි මහතා එයට එකගතාවය පලකල නිසා ඇය පසුවදාම සිය ලියකියවිලි ඉදිරිපත් කලාය.කුශාන් අයියාත් තේජා අක්කාත් සතුටින් දිවි ගෙවනු දැකීම අප කාර්යය මණ්ඩලයේ අවංක පැතුම උවත් එය දැන් බිදවැටී ඇති බැවින් අකමැත්තෙන් වුවද ජයකොඩි මහතා "A" පෙල අත්සන් තබා දුන් ඇයගේ ඉල්ලුම්පතට අනුප්‍රාප්තිකයෙකු රහිතවම නිදහස් කරන බව සදහන් කර"B"පෙල අත්සන් යෙදීමට මටත් හර්ෂටත් සිදුවිය.එය අප රාජකාරී ජීවිතය තුල මුහුණ දුන් අපහසුතම රාජකාරියක්ම විය.



මාසයකින් පමන ඇයට ස්ථාන මාරුවක් ලැබුන ඇතර එය ඇයට දැන්වීමට පෙර කුශාන්ව සතියක කාලයකට බොරැල්ල ශාඛාවට යැවීමට ජයකොඩි මහතා කටයුතු කලේ සැකයක් ඇති නොවන පරිදිය. පසුව පොරොන්දු වු පරිදිම අනුප්‍රාප්තිකයෙකු රහිතවම ඇයව නිදහස්කර හැරියේය. ඇය පිටත්වී යාමට පෙර මටත් හර්ෂට හා දිල් අක්කාට කල උදව් වෙනුවෙන් ස්තූති කලාය. ඇයට මාරුවීම ලද ස්ථානය කුශාන්ට නොකියන්නට අප සැවම එකගතාවයකට පැමිණියෙමු. කෙටිකලක් තුල අපහට නොමැකෙන මතක සටහන් රැසක් ඉතිරිකර එක්තරා ගුරුදාවක අප ශාඛාවේ පඩිපෙල අවසාන වරට බැස ඇය නික්ම ගියාය.

ඒ සියලු විනාශයන්ට මුල් වුයේ සැකයයි. ආදරය කරනා විට අනෙකා කෙරෙහි විශ්වාසය දැඩිනම් වෙනත් සොයා බැලීම් කිසිවක් අනවශ්‍ය බව මගේ අදහසයි. දෙදෙනාම එකිනෙකාට අවංකව කටයුතු කරයි නම් කිසිදු ගැටලුවක් ඇති නොවන්නේය. විශ්වාසය පරම ඤාතියා යැයි පැරැන්නන් කීවේද කට කහනවාට නොවේය.
                                                         
*********

පසු සටහන



  • ඒ සිදුවීමෙන් වසර එකහමාරකට පසුව තේජානි අක්කාව මෑතකදී පිට්ටු බම්බුවේදී මාහට යලිත් මුණගැසුනි. පොඩි එකෙකුවද වඩාගෙන රාජකාරී බහුල වේලාවක මා ඉදිරිපිට අසුන්ගත් ජොඩුව කවුදැයි බලන්නට හිසඔසවනවාත් සමගම මම දුටුවේ සුපුරුදු සිනාසුන මුහුනෙන් යුතුව සිටි තේජා අක්කාය. ඇය දුටු විට මටත්, මාව දුටු විට ඇයටත් සිනා පහල වුයේ ජයකොඩි මහතා දුන් ත්‍යාගය අරඹයා අප විතරක් තේරුම දන්නා හෑන්ඩ් සිග්නල් එක මතක්වෙලාය. ඇය පැවසුවේ අප ලබාදුන් "කාමසූත්‍රය" තවමත් ආරක්ෂිතව ඇය සතු බවයි. පැරණි කථාබහ මතක් වන විට පිට්ටු බම්බුවේ ඉහල මහලක සිටි හර්ෂට දුරබණු ඇමතුමක්දී ඔහුවද එහි කැදවා ගතිමි.... 

  • කුශාන් අයියා බොරැල්ලෙන් එනවිට කූඩුව හිස්වෙලාය. ඔහුට කුමක් උනාදැයි මම නොදනිමි. ඒ ආසන්න කාලයේදීම මමත් හර්ෂත් දෙමටගොඩින් සමුගෙන පැමිණියෙමු. අවසාන සමයේ කුශාන් ලොකු ලොකු ගණන් කෑශ් ෂෝට් කල බව මා සමග පසුකලක කිව්වේ සවී අයියාය. අද කුශාන්ද එහි නැත.

  • අදත් ඉදහිට දෙමටගොඩ යැවෙන සෑම උදෑසනකම සිනාමුසු මුහුනෙන් good morning කියා අපිව පිලිගත් තේජානි අක්කාද, ඕනෑම අබ්ලික් ගැටලුවකට නොවරදින අබ්ලික් උත්තර තිබු ඇවිදින විශ්ව කෝෂයක් බදුවු ජයකොඩි මහතාව කළමණාකරුගේ අසුනේද සිටින්නාක් මෙන්ද ශාඛාව තුලදී අදටත් මට මැවී පෙනේ. මක්නිසාදයත් ඔබ සැමගෙන දුන් මතකයන් නොමැකෙන ලෙස සැමදා මා සතු නිසාය...




ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.........

Friday, December 11, 2015

වර්ෂ අවසාන සාදය සහ සිරියලතාගේ මල්වඩම

ජාතියේ මහා පහන් ටැබේ සේවය කරන්නන්ට විනෝදය ලැබෙන ප්‍රධානතම අවස්ථාව වන්නේ වෙලද වර්ෂයක් අවසානයේ විගණන කටයුතු අහවර වු පසුව කාටත් ලැබෙන්නා වු සංක්‍රාන්ති සමය සැරීමට කළමණාකරුවන් සහ විධායක ශ්‍රේණියේ නිළධාරීන් පවත්වන්නා වු සාදයයි. මේ වන විට මමතුමා එවැනි වර්ෂාවසාන සාද දෙකකට සහභාගී වුවේ දෙදහස් දහතුනේ දෙමටගොඩ දීත් දෙදහස් දහසතරේ අන්තර්ජාතික අංශයේදීත්ය. මෙවර මා සහබාගී උනේ මාගේ අවසන් සාදයටයි. අද මම කියන්නට යන කාරණා සිදුවුයේ දෙදහස් දහතුන වසරේ අග සතියේ දිනක සුන්දර දෙමටගොඩ දී හා ඒ අසල කොලොන්නාව පාරේදීය.
එවකට දෙමටගොඩ ප්‍රධාන කළමණාකාරුගේ ආසනයට අධිපතිව වැඩ සිටියේ අර්තයේ පරිසමාප්ථියෙන්ම නියම මහත්මයෙකු වුද මම අදටත් හිසනමා ආචාර කරන්නා වු ප්‍රියන්ත ජයකොඩි මහතාය. මේ කාලයේ සිටි කණ්ඩායමේ සංයුතිය පහත පරිදි විය. ජයකොඩි මහතා සහ නාලනී මහත්මිය කළමණාකාර ශ්‍රේණියේද සෙව්වන්දි(කැළණියේ කොටජීවිතේ) හා ලසන්තිකා(බරණැස) දෙදෙන විධායක නිළධාරීන් ලෙසින්ද කණිෂ්ඨ විධායක නිළධාරීන් ලෙස හිරන්ත අයියා සහ දිල් අක්කා කටයුතු කලහ. මීට අමතරව පුහුණු නිළධාරී ලෙස මමතුමාත් ලිපිකරු ශ්‍රේණියේ පසිදු හේෂාණි ලසන්ති රසිකා හා චාමරද විය. ගුණේ,අයිවන්,හේමචන්ද්‍ර ආරක්ෂකයින්ය. ලකිත නිලූෂා යසිත් බුද්ධිනී පාසල් පුහුණු පදනමට ගත් උදවිය විය. සවී අයියා කාගේත් දුක්ගන්නා රාල බදු අපේ කා.කා.ස විය. සාදයට සම්පූර්ණයෙන්ම බරපැන දරන්නේ පලමුවෙන් සදහන් කල ශ්‍රේණි තුනෙහි උදවියයි. මීට අමතරව වසරේ ශාඛාවේ ලාබය මත ලැබෙන්නා වූ ප්‍රසාද මුදලක් වෙයි. එයද සම්පූර්ණයෙන්ම බැරවන්නේ විනෝද සමයේ ගිණුමටයි.
දෙමටගොඩ සිටින ආප්ප හා කොත්තු බාස්ලා පැමීණ ටෙම්පරි ජංගම නයිට් කඩයක් අටවන්නේ අප තුන්වන මහලේය. ඒ රාත්‍රී ආහාරය සදහාය. අපේ උන්ගේ අවශ්‍යතාවය මත ඉල්ලන ඕනෑම දෙයක් සකස්කර දෙන්නට ඉන්ද්‍රා හොටෙල්හි සාජා සහ ගුණපාල සුදානම්ය. නටන නැටුම් සදහා ඉන්දන අවශ්‍යවන්නන්ට නැටුම් තෙල් ද කලින්ම ගෙනත් ස්ටෝරුවේ ගබඩා කරලාය. එදා දිනයේ කටයුතු හැකි ඉක්මණින් අවසන් කර සියලු මුදල් සේප්පුවට තල්ලුකර අගුල් දැමු පසු අප සැනසම් සුසුම් හෙලුවේ විනෝද සමය හැකි ඉක්මනින් ඇරඔීමටයි. VAT 69 මුඩියක් කඩමින් සාදය ආරම්බ කිරීමට මුල පිරුවේ ජයකොඩි මහතාය. සාදය ගලායන විට එකවරම ගීත ගායනාවක් ඇසෙන්නට විය බෙග් මාස්ටර්ව නොමරා මරමින් ගීතය ගායනා කලේ ජයසේන මාස්ටර්ය. ගුණේත් අයිවනුත් වැදි නැටුම නැටුවේ බෝර 12 ගිනිඅවි ඉහලට ඔසවමින්ය.
මේ කියනා සමය වන විට සිරියලතා අපිට වද දුන්න හොදම කාලයයි. හිරන්ත අයියාත් මමත් පසනාත් නැටුම්තෙල් පාවිච්චි නොකරන නිසා මදකට ශාඛාවෙන් ඉවතට ආවිට දුටුවේ දෙමල ජාතිකයෙකුගේ අවමංගල්‍යකට ඉදිකර තිබු තොරණ ඉවත් කරමින් සිටි අපේ ගණුදෙණු කරුවන් පිරිසකි. සිරියලතාට රිටන් එකක් දෙන්නට බලාගෙන සිටි හිරන්ත අයියාට අමුතුම අදහසක් පහලවුයේ ක්ෂණිකවය.

වමේ පසන් /මැද හිරන්ත / දකුණේ මමතුමා

ශාඛාව ඇතුලත සිටි පාසල් පුහුණු මල්ලිලා තිදෙනා එලියට ගෙන්වා අදාල තොරණ ගලවා කරතබා ගත් අප පිරිස මහ රෑ එය රැගෙන දෙමටගොඩ කොලොන්නාව පාරේ පිහිටි සිරියලතාගේ නිවස බලා ගමන් කරන්නට වුයේ අමුතුම ඉදිකිරීමක් නිවස ආසන්නයේ නොමිලේ ඉදිකරදීමටය. ගලවාගෙන පැමිණි තොරන් රාජයා විනාඩි දහයකින් පමණ සිරියලතා ගේ නිවස ඉදිරියේ සිටගෙන හරිබරි ගැසුනේ සිරියලතාව පිලිගන්නට තමන් සුදානම් බව පෙන්නමිනි. ඒ මදිවට මේකා මාකර් පෑනකින් "Rest in Peace" ලෙස සහ මල්වඩමේ "From Chairman BOC" ද සටහන් කර ආපසු යන්නට හැරුනේ සාදයේ ඉතිරි කොටසට සහභාගී වන්නටය. මගදී නොමිලේ ලද ප්‍රවාහන පහසුකමක් උපයෝගී කර කිසිවක් නොවුනා සේ අප හොර පූසන් රැලක් මෙන් බැංකුවට රිංගා සාදයේ ඉතිරි කොටසට සහභාගී වීමු.
පසුව දා සිරියලතා පැමිණියේ වෙඩිකෑ ඊරියක් සේ කුපිතවය. රාත්‍රියේ නිවසට යන විට තම නිවස ඉදිරිපිට තම නමට තොරණක් සහ ලංකා බැංකුවෙන් මල්වඩමක් ඇති බව දුටු ඇයට මොනවා සිතුනා දැයි මම අදටත් කල්පනා කරමි. ඇය ජයකොඩි මහතාට පුන පුනා කිව්වේ මේක අපේම අයගේ වැඩක් බවත් වරදකරුවන්ට දඩුවම් දෙන තුරු ඇය කිසිදු ලේඛණයකට තම "B" පෙල අත්සන නොතබන බවයි. ජයකොඩි සර්ටද වාතයක් වී සිටි නිසා සර් හිරන්ත අයියාට ලේඛණ හා වව්චර් සදහා  "B" පෙල අත්සන් යෙදීමට බලය පවරා ඒ ගැටලුවටද විසදුම් ලබා දුනි. පසුව සිරියලතා පරාජය පිලිගත් අතර ඇය අප අතර බලු විය. 

පසු සටහන

  • මෙම සිදුවීම් මාලාව සිදුවී දැනට පුරා වසර දෙකක් ගතවී ඇති නමුත් තොරණත් මල්වඩමත් තිබූ ආකාරයට සිරියලතාට කුමක් සිතුණේදැයි මම අදටත් කල්පනා කරමි. ඒ හොරෙන් ගිය ගමනත් අප තොරණ ඇටැවු ආකාරය දැක්කේ දෙමටගොඩ පොලීසියේ ජංගම මුර රථයයි. ආපසු එදිදී බැංකුව ආසන්නයට අප ගෙනත් දැම්මේ එහි සිටි නිලදරුවන්ය.
  • ජයකොඩි මහතා දැන් විශ්‍රාමික අතර රවී අයියා හැර අපේ කට්ටිය කවුරුත් දැන් දෙමටගොඩ නැත පිරිස විසිරී ගොසින්ය. නමුත් ඒ ඇතිකරගත් මිතුරු බැදීම් අදටත් නොවෙනස්ව පවතී. මහා මෙලකරු හිරන්ත අයියා අද සහකාර කළමණාකරුවෙකි.
  •  අදටත් දෙමටගොඩ පසුකර යන විට මගේ සිහියට නැගෙන්නේ තොරණ දුටුව පසු පැමිණි සිරියලතා ගේ මුහුණත සහ විස්තරය කිව්ව පසු ජයකොඩි මහතා ඇතුලු පිරිස සිරියාලතා නැති තැන බිම පෙරලී සිනාසුනු ආකාරයයි.


මේ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි...........


Saturday, December 5, 2015

VIP මිනීකාර් ටැක්සිය

පහතින් දැක්වෙන කතා දැන්ම ලියන්නට මාගේ තුන් හිතකවත් අදහසක් තිබුනේ නැත. අම්බලන්ගොඩ ගේ කොණ්ඩයා කතාවේ ඉහලින්ම තිබු කොමන්ටුවක් කියවීමෙන් මෙ ලිවිය යුතුයැයි මට සිත්විනි. ඒ ඇරත් කිහිප දෙනෙකු බැංකුවේ කතා ලියන ලෙස ඉල්ලා සිටි නිසාවෙන් මෙසේ ලියා පරසිද්ද කරන්නෙමි. මෙහි අද කියන කතාවේ සියලු චරිත නාම පුද්ගල නාම සහ ස්ථාන මනක්කලිපිත වන අතර සිදුවීම් සියල්ලම සත්‍ය වශයෙන් සිදුවු ඒවා වේ.  
ලංකා බැංකුවේ දෙමටගොඩින් සමුගෙන මම පැමිණියේ මුලස්ථානයේ අන්තර්ජාතික එන ‍ප්‍රේෂණ දෙපාර්ථමේන්තව වෙතටය. එහි අප කණ්ඩායම යලිදු එකතු වු අතර අප අතර සිටියේ ලංකාවේ ප්‍රසිද්ධම මල් ශාලාවක හිමිකරුවකුගේ පුත්‍ර රත්නයයි. අප මෙන් නොව හෙන හැඩි දැඩි සිරුරක් තිබූ මොහුට අපි අරවින්ද යැයි කියමු.
තරමක් දඩබ්බර ගති තිබු මොහු සැමදා වැඩට පැමිණියේ නවීන පන්නයේ සුදු පැහැති වෑන් රථයක වන අතර පොඩි පරහකට තිබුනේ මෙය මල්ශාලාවේ ශ්‍රී නාමය සදහන් කර තිබීමයි. අපගේ නිල ට්‍රාන්ස්පෝට් සර්විස් එක උනේ ඒ ශ්‍රී රථයයි. කොටුවේ දුම්රියපලට මරදාන දුම්රියපලට මෙන්ම බොරැල්ල දක්වා අපේ උන්ට නොමිලේ ගමන් පහසුකම් ලබා දුන්නේ මෙම රථයට පින්සිදුවන්නටය. 
අරවින්දගේ දෙපාර්ථමේන්තුවේ උද්ධච්ච නිලධාරියකු සැමදා එම රථයෙන් එන නිසා ඔහුව පාච්චල් මෙන්ම සමච්චලයටද ලක්කරන්නේ ඉමහත් සිත් පීඩා ගෙන දෙන අයුරිනි කොටින්ම කිවහොත් අරවින්දගේ රථයේ යාම පවා ඔහු පිලිකෙව් කරයි. අපි හව්ලේ ගිය චාරිකා රැසකම මානවිකාවන්ද පිරිවරාගෙන ගියේ මේ රථයේමය. මෙයට අධික කෝපයෙන් පසුවු අපේ එකාට නොසිතූ නොවිරූ ආකරයට තම කේන්තිය පිරිමහගන්නට වාසනාව උදාවිය. මාණ්ඩලික නිලධාරීන් හට පුහුණු සැසියකට මහරගම යාමට නියමිතව තිබූ අතර එය අනිවාර්ය කර තිබුනු අතර පිරිසකට බැංකුවේ බස් රථයෙන් ප්‍රවාහන පහසුකම් සපයා තිබු නමුත් වාහන ඇති පිරිස වෙන වෙනම යාමට රැදී සිටියහ. දෙපාර්ථමේන්තුවේ සහකාර මහා කළමණාකරු(AGM) ගේ නිල රථය ලෙඩ දුන් බැවින් අර උඩගු නිලධාරියාටත් යාමට නොහැකිව සිටියදී එතනට පැමිනි අරවින්ද දුටු සහකාර මහා කළමණාකාරතුමා ඇසුවේ පුතා අපිව මහරගමට දාලා එන්න පුලුවන්ද යනුවෙනි. අපේ එකා කිව්වේ මම අද ආවේ කාර් එකේ කැමතිනම් යමු අන්න කාර් එක කියා අත දිගු කර රථගාලේ නවතා තිබු කලු පැහැ අලුත්ම කාර් එකකටය.
ඉහත ජායාරූපයේ ඇති වර්ගයේ අලංකාර අලුත්ම මිනීකාර් එකක් බැබලි බැබලි එහිවිය. කවදා හරි මේකේ යන්න වෙන එකේ පුරුදුවෙන්න යමු යැයි කියා සහකාර මහා කළමණාකරු රථයට ගොඩ වුවත් උද්ධච්ච පිස්සු පුසා මුහුණ පුලුටු කරගෙන අහකබලාගත් අතම බලාසිටියේ සහකාර මහා කළමණාකරුගේ ඉවසීමේ රතුකටුව පන්නමිනි. මලේ උපරිමයට පැමිණ උද්ධච්ච නිලධාරියාට කෑගැසුවේ පිස්සු කෙලින්නේ නැතුව නැගපන් කියාය. අකමැත්තෙන් හර්ස් එකට නැග යාමට අවසානයේ ඔහුට සිදුවිය. නමුත් ඒ වෙලාවේ ඔහුගේ විරූපී ලැජ්ජාබර මුහුණ මට අදටත් මෙය ලියනවිටද මැවී පෙනෙයි.

පසු සටහන

  • අවසානයේදී ලොකු මහත්තයා VIP අවමංගල්‍ය සේවයේ නැගී මහරගම පුහුණු මධයස්ථානය වෙත ගියේ තවකෙක්ට කල අවමානයට දිස්ඪධර්මවේදනීය කර්මය පලදුන්නාක් මෙනි.
  • අදටත් එතුමාගෙන් සර් රයිඩ් එකක් යමු දැයි ඇසුවෝත් ලැබෙන්නේ හොදම සිංහලේ වචන පෙලකි.

මේ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වම්හ.....





Tuesday, December 1, 2015

X-Ban 2008 දෙවන කොටස

පලමු කොටස කෙසේ හෝ සජිත් සහ මමතුමා එදින පාසලට කල් ඇතිව පැමිණියේ උණබට වලට සහ මැටි කැපීමට යන කණ්ඩායම් වලට අදාල ගමන් අවසරපත් සහ අදාල වියදම් සදහා අවශ්‍ය වන මුදල් හැකි ඉක්මනින් නිකුත් කර කණ්ඩායම පිටත් කර යැවීම මගින් ඉදිකිරීමේ කටයුතු වේගවත් කර ගැනීමටය.අප දෙදෙනා ඈත සිටියදීම දුටුවේ විදුහල්පති ලබුතලේ සුදස්සන ස්වාමීන් වහන්සේ සහ පාසලේ විනය මණ්ඩල සාමාජිකයන් අප නිර්මාණය ඉදිකල ඉසව්වේ රැස්ව සිටියහ.
පෙරදින රාත්‍රී ඉදිකිරීම් වල නිරතව සිටි පිරිස බිම බලාගෙන සිටි අතර අපේ විදුහල්පති හාමුදුරුවෝ පිරිත් දෙසුමක් අරබා තිබුණු අතර එය මම කිසිදා අසා නැති පාලි සංස්කෘතික හා මධුර මනෝහර සුද්ධ සිංහල භාෂාවන් ගෙන් සමන්විත විය..
මම හිමින් සීරුවේ විනය පාලක ප්‍රේමරත්න මහතාට (කක්කුට්ටා) ලංවූයේ‍ මේ හදිසි දහම් දෙසුමට හේතු කාරනා නිවරදිව දැන ගැනීමටයි. සජිත්ව සහ මමතුමාව පසකට කැදවාගෙන ගිය ප්‍රේමරත්න සර් කිව්වේ කොල්ලෝ මුන් ඊයේ හවස උණගස් කපන්න පැන්න වත්තේ තිබ්බ තැඹිලි ගස් පාලුකරලා මදිවට තැඹිලි කෝම්බ වලින් අයිතිකාරයට ගහලා ඇවිල්ලා කියලාය.
                                         ප්‍රේමරත්න මහතා (කක්කුට්ටා)
පස්සේ පහු හොයනකොට ආරන්චි උනේ එදා ගිය අපේ මනීෂ ලක්ෂාන්/යසිරු/අසේල/වරුන ලක්මාල් කයන සෙට් එකෙන් ඉස්කෝලේ මොකක්ද කියලා අහපුවම මුන් බණ්ඩාරණායකේ කියලා හින්දා මිසක් නැත්තම් අපේ උන්ව අල්ලනවා බොරු බවයි. කෙසේ හෝ අපේ හාමුදුරුවන්ට දන්න සියලු ආකාරයන්ගෙන් කරුණු පහදවා බිම පෙරලී වැද වැටිලා යලි ඉතිරි කොටස ඉදිකරන්නට අවසර ගැනීමට අපට හැකිවිය. ප්‍රදර්ශණය ඇරබීමට සති දෙකක් පමණ වන විට මන්දගාමීව සිදුවූ ඉදිකිරීම් වේගවත් වූයේ උත්තර පත්‍ර පරීක්ෂාව අතහැර දමා පන්තිභාර කුසුම් මිස් පාසලට සම්ප්‍රාප්ත වු නිසාවෙනි.

                                      ගහ උඩ පැල ඉදිකරවාගෙන යන අතර තුර


                                                                      අර්ධ වශයෙන් සකස් කල නිර්මානය

මේ අතර විවිධ ආයතන වලින් ලද අනුග්‍රාහක මුදල් මෙන්ම මගේ නම විකුණා ගුරු මණ්ඩලයෙන් ගත් මුදල් සමග ගොට්ටා අතුරුදහන් වුයේ යලි පාසලෙන් ඉවත් වන තුරාවට දක්නට ඉඩක් නොතබමිනි. ඒ අපතයා ගැන අවසාන කොටසින් මා පවසන අතර ඒකා සෑහෙන වියදමක් දරා භාගෙට අටවා තිබු වී බිස්ස මහ හඩක් නගමින් බිමට පතබෑවුනේ ප්‍රදර්ශණය ඇරබීමට පෙර දින සවස් කාලයේදීය. සියලු කටයුතු අවසන් කර ප්‍රදර්ශණ කාර්ය මණ්ඩලයද පත්කර අප අවසන් නිමැවුම ඇතින් නිරීක්ෂනය කරමින් සිටිනා විට වී බිස්ස බිම සිප ගත්තේ රුපියල් හාරදහසක පමණ මුදලක් අපතේ හරිමිනි. වී බිස්සක් නැති ගැමි පෙදෙසක් කෙලෙස ප්‍රදර්ශණය කරම්ද යන්න ඒ වනවිට රැදී සිටි කුමාර සුපුන් මහේෂ් හා මට තිබු විශාලතම ගැටලුවයි. පෙර සසරක කල පිනක් පලදුන්නාක් මෙන් අපේ පිහිටට ආවේ ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ හමුදා සොයුරන් පිරියක් සහ ප්‍රදර්ශණ රාජකාරී පැමිනි තවත් හමුදා සොයුරන් පිරිසකි. මේජර් නිලන්ත සොයුරා ඇතුලු 30 පමණ වු කණ්ඩායම පෙර පැවති මට්ටමටම සකසා අවසන් වන විට අලුයම හතරේ කනිසමද පසුවී හමාරය.
අවසන් කොටස හා ප්‍රදර්ශණය අතරතුර සිදු වු දෑ මීලග කොටසින්..... 



මේ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වම්හ.....


Friday, November 20, 2015

විසකුරු රළු මිනිසුන් මග හිඳිවී බිළින්දෝ

මේක මම කොටන්න අදහස් කලේ මගේ වූටි නංගියා වෙනුවෙන්.  මෙවර අධ්‍යන වර්ෂය සදහා විශ්වවිද්‍යාල වරම් ලබලා ජීවිතේ පලවෙනි වතාවට අපේ ගෙදරින් දුරස් වෙලා යන්න සූදානම් වෙලා ඇගිලි ගැන ගැන ඉන්න වෙලාවේ තමා ලියන්න හිතුනේ. කැම්පස් එක ඇතුලේ සිද්ධ වෙන දේවල් වත් එහි පවතින උප සංස්කෘතිය ගැනවත් මම ඔබව දැනුවත් කරන්න වුවමනා නැහැ ඒ සියල්ලම අත්දැකලා  අත්දැකීමෙන්ම ඔබ ලබාගත යුතුමයි.
නමුත් සුන්දර ගම් පියසක ඉපදී හැදී වැඩුනු නුඔට ඉදිරි වසර සතරක පමණ කාලයක් ගත කරන්නට වන්නේ හිතක් පපුවක් නොමැති තිරිසන් ගති ඇති මිනිසුන් වැඩි ප්‍රමාණයක් වෙසෙන කොළඹ නාගරික බල ප්‍රදේශය තුල නිසාවෙන් කල්පනාකාරීව නිරතුරු අවධානයෙන් සිටිය යුතුමයි. සමහරුන්ට හැදෙන ලෙඩක් තමයි කැම්පස් ගිය ගමන් ගම අමතක වෙන එක. ගමේදි අග වැහෙන්න ඇදුම් ඇන්ද උන් වේගයෙන් ඇදුම කොට කරගෙන ගිහින් විහින් අමාරුවේ වැටෙනවා. හැම වෙලාවෙම හැදුනු වැඩුණු ගම අමතක කරන්න එපා ඒක තමා වරදින්න පුලුවන් මුල්ම තැන. මට මතක්වෙන්නේ සිබිල් වෙත්තසිංහ ගේ වැනියන් කලු පොතේ එන මේ කවිය

"සිදාදියට එන දවසේ

හදවත මගෙ නැති වුණා
සෙව්වට මට සොයාගන්න
කොහොමටවත් බැරිවුණා
අපේ වත්තේ පොල් මුලේ ද
ලොකු අම්මාගෙ පන් වෙලේ ද 
අත්තම්මගෙ කුස්සියේ ද 
ජෑම් ගහේ අතු අතරෙ ද 
කොහොම වුණත් ගමේ ගොඩේ 
මගේ හදවත හැංගිලා 
මා නම් නෑ මෙහෙ ගෙනාවෙ ඒක හොඳීන් දන්නවා"

අනිත් දේ තමා කෙල්ලන්ව රවට්ටලා අයතු ප්‍රයෝජන ගන්න බලන් ඉන්න මානසික අසහන කාරයෝත් පිරිලා ඉන්නවා බස්සි අක්කා කලින් මෙන්න මේ කතාවෙන් කිව්වා වගේ ප්‍රීතියේ පරම කෝටිය සොයන් එන උන්ගෙනුත් පරිස්සම් වෙලා ඉන්න වෙනවාපෙනෙන තරම් ලස්සන නැහැ කිසිම දෙයක්. එකට ඉදලා එකට කාලා බීලා අපිටම කෙලලා යන ජාතියේ සමහරකුත් ඉන්නවා. මම මගේ අත්දැකීමෙන් කියන්නේ විභාග ලංවෙද්දී තමන්ගේ යාලුවන්ගේ / රෑමගේ නොට් අතුරුදහන් කරන්න තරම් බලවත් හොරුත් නැතුවම නෙවෙයි.

සිඟිති මා බිළින්දෝමොටද මල් පිය පොඩි ඔසවන්නේ
ටිකිරි මා බිළින්දෝමිනිස් ලොව දොරටුව වෙත යන්නයි
කැකුළු පිනි විසිරුණු අරුණලු පියැවිල්ලේ
අසනු මා බිළින්දෝ
නිසල දිය ඇති තැන වෙයි ගැඹුරූ
සිතනු මා බිළින්ද
මලක නටු අතරෙද විස කටු තියෙයි
රුසිරු හිම කඳුවැටි අතරෙ ද ගිනි කඳු තියේ
කිරි පැණි හඳ හාමි ලාඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව් ඒ ලෝකෙ නෑ බිළින්දෝ



සරසවිබිමෙන් ඔබ එකතුකරගන්නා ඒ අත්දැකීම් ජීවිතයේ සැදෑ සමයේ සිහිපත් කරන්න පුලුවන් සුන්දර මතක සටහන් වෙවි. හැමෝටම පොදුවේ සැමට කියන්නේ මෙවර අධ්‍යන වසරට කැම්පස් වරම් ලැබ ආදර කන්දට හිරිකටුඔයට මල්පාරට සයිබීරියාවට කජුකැලේට සිරීපාදෙට මෙන්ම වගේම පූජාභූමියටත් මෙකී නොකී සෑමතැනකටම යන්නට වීසා ලද සියලු සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභ පැතුම්.
ලබැදි මා සොයුරියේ හිනා ගෑස්,බැටන් කුරුදු පොලු සංග්‍රහ සහ තැලුම් තෙල් වලින් තොරව අධ්‍යන කටයුතු කරගෙන යාමට ඔබට ශක්තිය ධෛරය ලැබේවා. වාසනාව  නිබදවම ඔබ සමග රුදේවා යන්න මාගේ එකායනික පැතුමයි.

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මහලේ
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතු
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ


මේ වගත් එසේම අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි.....