Saturday, December 5, 2015

VIP මිනීකාර් ටැක්සිය

පහතින් දැක්වෙන කතා දැන්ම ලියන්නට මාගේ තුන් හිතකවත් අදහසක් තිබුනේ නැත. අම්බලන්ගොඩ ගේ කොණ්ඩයා කතාවේ ඉහලින්ම තිබු කොමන්ටුවක් කියවීමෙන් මෙ ලිවිය යුතුයැයි මට සිත්විනි. ඒ ඇරත් කිහිප දෙනෙකු බැංකුවේ කතා ලියන ලෙස ඉල්ලා සිටි නිසාවෙන් මෙසේ ලියා පරසිද්ද කරන්නෙමි. මෙහි අද කියන කතාවේ සියලු චරිත නාම පුද්ගල නාම සහ ස්ථාන මනක්කලිපිත වන අතර සිදුවීම් සියල්ලම සත්‍ය වශයෙන් සිදුවු ඒවා වේ.  
ලංකා බැංකුවේ දෙමටගොඩින් සමුගෙන මම පැමිණියේ මුලස්ථානයේ අන්තර්ජාතික එන ‍ප්‍රේෂණ දෙපාර්ථමේන්තව වෙතටය. එහි අප කණ්ඩායම යලිදු එකතු වු අතර අප අතර සිටියේ ලංකාවේ ප්‍රසිද්ධම මල් ශාලාවක හිමිකරුවකුගේ පුත්‍ර රත්නයයි. අප මෙන් නොව හෙන හැඩි දැඩි සිරුරක් තිබූ මොහුට අපි අරවින්ද යැයි කියමු.
තරමක් දඩබ්බර ගති තිබු මොහු සැමදා වැඩට පැමිණියේ නවීන පන්නයේ සුදු පැහැති වෑන් රථයක වන අතර පොඩි පරහකට තිබුනේ මෙය මල්ශාලාවේ ශ්‍රී නාමය සදහන් කර තිබීමයි. අපගේ නිල ට්‍රාන්ස්පෝට් සර්විස් එක උනේ ඒ ශ්‍රී රථයයි. කොටුවේ දුම්රියපලට මරදාන දුම්රියපලට මෙන්ම බොරැල්ල දක්වා අපේ උන්ට නොමිලේ ගමන් පහසුකම් ලබා දුන්නේ මෙම රථයට පින්සිදුවන්නටය. 
අරවින්දගේ දෙපාර්ථමේන්තුවේ උද්ධච්ච නිලධාරියකු සැමදා එම රථයෙන් එන නිසා ඔහුව පාච්චල් මෙන්ම සමච්චලයටද ලක්කරන්නේ ඉමහත් සිත් පීඩා ගෙන දෙන අයුරිනි කොටින්ම කිවහොත් අරවින්දගේ රථයේ යාම පවා ඔහු පිලිකෙව් කරයි. අපි හව්ලේ ගිය චාරිකා රැසකම මානවිකාවන්ද පිරිවරාගෙන ගියේ මේ රථයේමය. මෙයට අධික කෝපයෙන් පසුවු අපේ එකාට නොසිතූ නොවිරූ ආකරයට තම කේන්තිය පිරිමහගන්නට වාසනාව උදාවිය. මාණ්ඩලික නිලධාරීන් හට පුහුණු සැසියකට මහරගම යාමට නියමිතව තිබූ අතර එය අනිවාර්ය කර තිබුනු අතර පිරිසකට බැංකුවේ බස් රථයෙන් ප්‍රවාහන පහසුකම් සපයා තිබු නමුත් වාහන ඇති පිරිස වෙන වෙනම යාමට රැදී සිටියහ. දෙපාර්ථමේන්තුවේ සහකාර මහා කළමණාකරු(AGM) ගේ නිල රථය ලෙඩ දුන් බැවින් අර උඩගු නිලධාරියාටත් යාමට නොහැකිව සිටියදී එතනට පැමිනි අරවින්ද දුටු සහකාර මහා කළමණාකාරතුමා ඇසුවේ පුතා අපිව මහරගමට දාලා එන්න පුලුවන්ද යනුවෙනි. අපේ එකා කිව්වේ මම අද ආවේ කාර් එකේ කැමතිනම් යමු අන්න කාර් එක කියා අත දිගු කර රථගාලේ නවතා තිබු කලු පැහැ අලුත්ම කාර් එකකටය.
ඉහත ජායාරූපයේ ඇති වර්ගයේ අලංකාර අලුත්ම මිනීකාර් එකක් බැබලි බැබලි එහිවිය. කවදා හරි මේකේ යන්න වෙන එකේ පුරුදුවෙන්න යමු යැයි කියා සහකාර මහා කළමණාකරු රථයට ගොඩ වුවත් උද්ධච්ච පිස්සු පුසා මුහුණ පුලුටු කරගෙන අහකබලාගත් අතම බලාසිටියේ සහකාර මහා කළමණාකරුගේ ඉවසීමේ රතුකටුව පන්නමිනි. මලේ උපරිමයට පැමිණ උද්ධච්ච නිලධාරියාට කෑගැසුවේ පිස්සු කෙලින්නේ නැතුව නැගපන් කියාය. අකමැත්තෙන් හර්ස් එකට නැග යාමට අවසානයේ ඔහුට සිදුවිය. නමුත් ඒ වෙලාවේ ඔහුගේ විරූපී ලැජ්ජාබර මුහුණ මට අදටත් මෙය ලියනවිටද මැවී පෙනෙයි.

පසු සටහන

  • අවසානයේදී ලොකු මහත්තයා VIP අවමංගල්‍ය සේවයේ නැගී මහරගම පුහුණු මධයස්ථානය වෙත ගියේ තවකෙක්ට කල අවමානයට දිස්ඪධර්මවේදනීය කර්මය පලදුන්නාක් මෙනි.
  • අදටත් එතුමාගෙන් සර් රයිඩ් එකක් යමු දැයි ඇසුවෝත් ලැබෙන්නේ හොදම සිංහලේ වචන පෙලකි.

මේ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වම්හ.....





Tuesday, December 1, 2015

X-Ban 2008 දෙවන කොටස

පලමු කොටස කෙසේ හෝ සජිත් සහ මමතුමා එදින පාසලට කල් ඇතිව පැමිණියේ උණබට වලට සහ මැටි කැපීමට යන කණ්ඩායම් වලට අදාල ගමන් අවසරපත් සහ අදාල වියදම් සදහා අවශ්‍ය වන මුදල් හැකි ඉක්මනින් නිකුත් කර කණ්ඩායම පිටත් කර යැවීම මගින් ඉදිකිරීමේ කටයුතු වේගවත් කර ගැනීමටය.අප දෙදෙනා ඈත සිටියදීම දුටුවේ විදුහල්පති ලබුතලේ සුදස්සන ස්වාමීන් වහන්සේ සහ පාසලේ විනය මණ්ඩල සාමාජිකයන් අප නිර්මාණය ඉදිකල ඉසව්වේ රැස්ව සිටියහ.
පෙරදින රාත්‍රී ඉදිකිරීම් වල නිරතව සිටි පිරිස බිම බලාගෙන සිටි අතර අපේ විදුහල්පති හාමුදුරුවෝ පිරිත් දෙසුමක් අරබා තිබුණු අතර එය මම කිසිදා අසා නැති පාලි සංස්කෘතික හා මධුර මනෝහර සුද්ධ සිංහල භාෂාවන් ගෙන් සමන්විත විය..
මම හිමින් සීරුවේ විනය පාලක ප්‍රේමරත්න මහතාට (කක්කුට්ටා) ලංවූයේ‍ මේ හදිසි දහම් දෙසුමට හේතු කාරනා නිවරදිව දැන ගැනීමටයි. සජිත්ව සහ මමතුමාව පසකට කැදවාගෙන ගිය ප්‍රේමරත්න සර් කිව්වේ කොල්ලෝ මුන් ඊයේ හවස උණගස් කපන්න පැන්න වත්තේ තිබ්බ තැඹිලි ගස් පාලුකරලා මදිවට තැඹිලි කෝම්බ වලින් අයිතිකාරයට ගහලා ඇවිල්ලා කියලාය.
                                         ප්‍රේමරත්න මහතා (කක්කුට්ටා)
පස්සේ පහු හොයනකොට ආරන්චි උනේ එදා ගිය අපේ මනීෂ ලක්ෂාන්/යසිරු/අසේල/වරුන ලක්මාල් කයන සෙට් එකෙන් ඉස්කෝලේ මොකක්ද කියලා අහපුවම මුන් බණ්ඩාරණායකේ කියලා හින්දා මිසක් නැත්තම් අපේ උන්ව අල්ලනවා බොරු බවයි. කෙසේ හෝ අපේ හාමුදුරුවන්ට දන්න සියලු ආකාරයන්ගෙන් කරුණු පහදවා බිම පෙරලී වැද වැටිලා යලි ඉතිරි කොටස ඉදිකරන්නට අවසර ගැනීමට අපට හැකිවිය. ප්‍රදර්ශණය ඇරබීමට සති දෙකක් පමණ වන විට මන්දගාමීව සිදුවූ ඉදිකිරීම් වේගවත් වූයේ උත්තර පත්‍ර පරීක්ෂාව අතහැර දමා පන්තිභාර කුසුම් මිස් පාසලට සම්ප්‍රාප්ත වු නිසාවෙනි.

                                      ගහ උඩ පැල ඉදිකරවාගෙන යන අතර තුර


                                                                      අර්ධ වශයෙන් සකස් කල නිර්මානය

මේ අතර විවිධ ආයතන වලින් ලද අනුග්‍රාහක මුදල් මෙන්ම මගේ නම විකුණා ගුරු මණ්ඩලයෙන් ගත් මුදල් සමග ගොට්ටා අතුරුදහන් වුයේ යලි පාසලෙන් ඉවත් වන තුරාවට දක්නට ඉඩක් නොතබමිනි. ඒ අපතයා ගැන අවසාන කොටසින් මා පවසන අතර ඒකා සෑහෙන වියදමක් දරා භාගෙට අටවා තිබු වී බිස්ස මහ හඩක් නගමින් බිමට පතබෑවුනේ ප්‍රදර්ශණය ඇරබීමට පෙර දින සවස් කාලයේදීය. සියලු කටයුතු අවසන් කර ප්‍රදර්ශණ කාර්ය මණ්ඩලයද පත්කර අප අවසන් නිමැවුම ඇතින් නිරීක්ෂනය කරමින් සිටිනා විට වී බිස්ස බිම සිප ගත්තේ රුපියල් හාරදහසක පමණ මුදලක් අපතේ හරිමිනි. වී බිස්සක් නැති ගැමි පෙදෙසක් කෙලෙස ප්‍රදර්ශණය කරම්ද යන්න ඒ වනවිට රැදී සිටි කුමාර සුපුන් මහේෂ් හා මට තිබු විශාලතම ගැටලුවයි. පෙර සසරක කල පිනක් පලදුන්නාක් මෙන් අපේ පිහිටට ආවේ ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ හමුදා සොයුරන් පිරියක් සහ ප්‍රදර්ශණ රාජකාරී පැමිනි තවත් හමුදා සොයුරන් පිරිසකි. මේජර් නිලන්ත සොයුරා ඇතුලු 30 පමණ වු කණ්ඩායම පෙර පැවති මට්ටමටම සකසා අවසන් වන විට අලුයම හතරේ කනිසමද පසුවී හමාරය.
අවසන් කොටස හා ප්‍රදර්ශණය අතරතුර සිදු වු දෑ මීලග කොටසින්..... 



මේ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වම්හ.....


Friday, November 20, 2015

විසකුරු රළු මිනිසුන් මග හිඳිවී බිළින්දෝ

මේක මම කොටන්න අදහස් කලේ මගේ වූටි නංගියා වෙනුවෙන්.  මෙවර අධ්‍යන වර්ෂය සදහා විශ්වවිද්‍යාල වරම් ලබලා ජීවිතේ පලවෙනි වතාවට අපේ ගෙදරින් දුරස් වෙලා යන්න සූදානම් වෙලා ඇගිලි ගැන ගැන ඉන්න වෙලාවේ තමා ලියන්න හිතුනේ. කැම්පස් එක ඇතුලේ සිද්ධ වෙන දේවල් වත් එහි පවතින උප සංස්කෘතිය ගැනවත් මම ඔබව දැනුවත් කරන්න වුවමනා නැහැ ඒ සියල්ලම අත්දැකලා  අත්දැකීමෙන්ම ඔබ ලබාගත යුතුමයි.
නමුත් සුන්දර ගම් පියසක ඉපදී හැදී වැඩුනු නුඔට ඉදිරි වසර සතරක පමණ කාලයක් ගත කරන්නට වන්නේ හිතක් පපුවක් නොමැති තිරිසන් ගති ඇති මිනිසුන් වැඩි ප්‍රමාණයක් වෙසෙන කොළඹ නාගරික බල ප්‍රදේශය තුල නිසාවෙන් කල්පනාකාරීව නිරතුරු අවධානයෙන් සිටිය යුතුමයි. සමහරුන්ට හැදෙන ලෙඩක් තමයි කැම්පස් ගිය ගමන් ගම අමතක වෙන එක. ගමේදි අග වැහෙන්න ඇදුම් ඇන්ද උන් වේගයෙන් ඇදුම කොට කරගෙන ගිහින් විහින් අමාරුවේ වැටෙනවා. හැම වෙලාවෙම හැදුනු වැඩුණු ගම අමතක කරන්න එපා ඒක තමා වරදින්න පුලුවන් මුල්ම තැන. මට මතක්වෙන්නේ සිබිල් වෙත්තසිංහ ගේ වැනියන් කලු පොතේ එන මේ කවිය

"සිදාදියට එන දවසේ

හදවත මගෙ නැති වුණා
සෙව්වට මට සොයාගන්න
කොහොමටවත් බැරිවුණා
අපේ වත්තේ පොල් මුලේ ද
ලොකු අම්මාගෙ පන් වෙලේ ද 
අත්තම්මගෙ කුස්සියේ ද 
ජෑම් ගහේ අතු අතරෙ ද 
කොහොම වුණත් ගමේ ගොඩේ 
මගේ හදවත හැංගිලා 
මා නම් නෑ මෙහෙ ගෙනාවෙ ඒක හොඳීන් දන්නවා"

අනිත් දේ තමා කෙල්ලන්ව රවට්ටලා අයතු ප්‍රයෝජන ගන්න බලන් ඉන්න මානසික අසහන කාරයෝත් පිරිලා ඉන්නවා බස්සි අක්කා කලින් මෙන්න මේ කතාවෙන් කිව්වා වගේ ප්‍රීතියේ පරම කෝටිය සොයන් එන උන්ගෙනුත් පරිස්සම් වෙලා ඉන්න වෙනවාපෙනෙන තරම් ලස්සන නැහැ කිසිම දෙයක්. එකට ඉදලා එකට කාලා බීලා අපිටම කෙලලා යන ජාතියේ සමහරකුත් ඉන්නවා. මම මගේ අත්දැකීමෙන් කියන්නේ විභාග ලංවෙද්දී තමන්ගේ යාලුවන්ගේ / රෑමගේ නොට් අතුරුදහන් කරන්න තරම් බලවත් හොරුත් නැතුවම නෙවෙයි.

සිඟිති මා බිළින්දෝමොටද මල් පිය පොඩි ඔසවන්නේ
ටිකිරි මා බිළින්දෝමිනිස් ලොව දොරටුව වෙත යන්නයි
කැකුළු පිනි විසිරුණු අරුණලු පියැවිල්ලේ
අසනු මා බිළින්දෝ
නිසල දිය ඇති තැන වෙයි ගැඹුරූ
සිතනු මා බිළින්ද
මලක නටු අතරෙද විස කටු තියෙයි
රුසිරු හිම කඳුවැටි අතරෙ ද ගිනි කඳු තියේ
කිරි පැණි හඳ හාමි ලාඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව් ඒ ලෝකෙ නෑ බිළින්දෝ



සරසවිබිමෙන් ඔබ එකතුකරගන්නා ඒ අත්දැකීම් ජීවිතයේ සැදෑ සමයේ සිහිපත් කරන්න පුලුවන් සුන්දර මතක සටහන් වෙවි. හැමෝටම පොදුවේ සැමට කියන්නේ මෙවර අධ්‍යන වසරට කැම්පස් වරම් ලැබ ආදර කන්දට හිරිකටුඔයට මල්පාරට සයිබීරියාවට කජුකැලේට සිරීපාදෙට මෙන්ම වගේම පූජාභූමියටත් මෙකී නොකී සෑමතැනකටම යන්නට වීසා ලද සියලු සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභ පැතුම්.
ලබැදි මා සොයුරියේ හිනා ගෑස්,බැටන් කුරුදු පොලු සංග්‍රහ සහ තැලුම් තෙල් වලින් තොරව අධ්‍යන කටයුතු කරගෙන යාමට ඔබට ශක්තිය ධෛරය ලැබේවා. වාසනාව  නිබදවම ඔබ සමග රුදේවා යන්න මාගේ එකායනික පැතුමයි.

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මහලේ
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතු
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ


මේ වගත් එසේම අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි.....




Monday, November 2, 2015

නොබැලිය යුතු කිසිත් නොමැති නොහොත් X-Ban 2008

X BAN යනු ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලය මගින් අවුරුදු පහකට වරක් පවත්වනු ලබන්නා වු අධ්‍යාපන හා තාක්ෂණික ප්‍රදර්ශණයකි. සියනෑ කෝරලයේ හෝ වෙනත් පාසලකින් ඉදිරිපත් නොකරන හා අපටම ආවේණික වන විශේෂාංග වලින් ප්‍රදර්ශණය සමන්විත වේ. අවසාන වරට මෙය 2013 වසරේදි පැවැත්විණි. 6 වසරේ සිට උසස්පෙල දක්වා කාලයේදී ප්‍රදර්ශණ දෙකකට සහභාගී වීමට ලැබීම වාසනාවකි. ඒ අනුව පූසා ඇතුලු පිරිස හත වසරේ සිටියදී 2003 දීත් උසස්පෙල ඇරඹුණු 2008 දීත් පාසල් කාලය තුලදී ප්‍රදර්ශණය සදහා දායක වීමට අවස්ථාව ලබාගතිමු. අප ප්‍රදර්ශණයට ආසන්න මට්ටමක අධ්‍යාපනික ප්‍රදර්ශණයක් මා නැරඔුවේ 2011 ගම්පහ රත්නාවලී විදුහල් වල පැවති අධ්‍යාපනික ප්‍රදර්ශණයේදීය.

1993 දී මෙම ප්‍රදර්ශණය නැරබීමට පැමිණි එවකට අධ්‍යාපන ඇමතිව සිටි දිවංගත ලලිත් ඇතුලත් මුදලි මහතා BAN යන්නට අර්ථකතනයක් ලබා දී තිබේ.


X - යනු ජරාව
BAN- ඉවතට
එනම් නොබැලිය යුතු දේවල් කිසිවක් නැත යන්නයි.

2008 වසරේ දී වාණිජ අංශයේ සිසුන් වු අප පන්තියේ කට්ටියගේ කල්පනාව උනේ ඉතිහාසයේ වෙනදා වගේම හොදම නිර්මාණයට හිමි සම්මානය අපේ පන්තියට ගන්න. අවසානයේ දීර්ඝ සාකච්චා වලින් පස්සේ අපේ ගුරුතුමිය තීරණය කලේ ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය නිරූපනය වන පරිදි කුඩා ගම්මානයක් නිර්මාණය කරන්නටයි. සත්‍ය නාමය සදහන් කල නොහැකි නිසාවෙන් ගොට්ටා ලෙස අපි හදුනවපු පංති සගයෙක් තමා අපිටත් වඩා උනන්දුවෙන් වැඩේට බැස්සේ. අවසානයේ දී මගඩි නැටුම අපට සිහිගන්වමින් අපට සැමටම ණය කරුවන් කරමින් ලද අනුග්‍රාහක මුදල් ද සමග අතුරුදහන් වීමද වෙනමම අවසානයේ දී සිහිකරන්න අවශ්‍යයි.



වර්ෂ 2008 අගෝස්තු 29 වෙනි බදාදා උදේ 10.15 ට අපේ නිර්මානය ඉදිකිරීම සදහා පලමු පස් පිඩැල්ල කපලා වැඩ ඇල්ලුවේ වාණිජ අංශයේ ප්‍රේමරත්න සර් සහ එවකට අංශ ප්‍රධානී නිමල්සිරි යන මහත්වරුන්. නිර්මානයට අදාල කොටස් සිසුන් අතරේ බෙදලා දීලා කණ්ඩායම් නායකයොත් පත්කරලා සිටියේ. සජිත් සහ පුසා වන මමතුමා තමා ඇඩ්මින් වැඩේ පැවරිලා තිබ්බ‍ෙ. පාසලින් බැහැර යන්නන් ට අවශ්‍ය අවසර පත්‍ර වගේම පාසලෙන් ලබා දුන්න මුදල් වලින් අවශය මුදල් නිකුත් කිරීම හා ප්‍රදර්ශණ කාර්යමණ්ඩල සදහා රාත්‍රී ආහාර පහසුකම් සැපයීම අයත්ම තිබුනා. 
                                               සජිත් රෂ්මික සහ මහේෂ්


ඒ කාලයේ විදුහල්පතිව වැඩසිටියේ පූජ්‍ය ලබුතලේ සුදස්සන හාමුදුරුවෝ. අයාලේ යමින් තිබ්බ බණ්ඩාරණායකේ අලු පිහදාලා පණ ගහලා ආවේ අපේ ස්වාමීන් වහන්සේගේ නොබසුබට උත්සහාය නිසාමයි. යකාට වත් බය නැති උන්වහන්සේ සැමට පැනවූ පොදු කොන්දේසිය උනේ කචල් දාලා වලි දා ගත්තොත් කොච්චර දුරට වියදම් කරලා හැදුවත් නිර්මාණය ඉවත් කරනවා යන්නයි. පන්තිභාර කුසුම් මිස්ට අ.පො.ස උ/පෙල ඇගයීම් කටයුතු නිසාවෙන් අප පන්තියේ කටයුතු අධීක්ෂණය කලේ ග්ලැසියර් නමින් පාසල පුරා ප්‍රසිද්ධ රණසිංහ මහතාය. අර්ථයේ පරිසමාපත්තියෙන්ම හොද මහත්මයෙකු වු එතුමා අපිත් සමග හරි හරියට වැඩ කලේ දිවා රෑ නොබලාය. දිනක් සිසුන් නැතිව සිටි මොහොතක ගම්පහ ඉහලගම ලමා නිවාස පරිශ්‍රෙය් සිට උණ ගසක් කරතබාගෙන යක්කු ගස් යාමට ඔන්න මෙන්න වේලාවක රණසිංහ මහතාත් මමත් පාසල වෙත පැමිණි අයුරු අදටත් සිහිවන විට මුවට නැගෙන්නේ සිනහවකි.

දිනක් උදෑසන මම පාසලට යනවිට විදුහල්පති ස්වාමීන් වහන්සේ අප නිර්මාණය ඉදිකරණ භූමි භාගයේ රැදී සිටි අතර කනට මිහිරි කිසිදා අසා නැති මනෝහර පාලි හා සංස්කෘත භාෂාවෙන් අපේ පිරිසට දහම් දෙසමින් සිටින ආකාරය දුටුවෙමි. විනය මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම පෙරදා රාත්‍රියේ ඉදිකිරීම් වල යෙදුනු පිරිස හිස පහත් කරගෙන සිටිනු දුටු විට මුන් ඊයේ කුමක් හෝ මගඩි නැටුමක් නටා ඇති බව මට පැහැදිලි විය.. 

මෙතැන් සිට ඉතිරිය මතුවට..........

පසු සටහන

  • රණසිංහ මහතා 2009 වසරේ ඉසිඹු ලැබුවේය. කුසුම් මිස් සහ ප්‍රේමරත්න සර් අද වන විට ස්ථාන මාරු ලැබ පාසලින් නික්ම ගොසිනි.
  • අදත් සුදු ඇදුමින් සැරසුන දහසක් දෙනා අප ගම්මාණය ඉදිකල භූමියේ සැරිසරති එහි මතකයන් කාලයේ වැලි තලාවන්ට හසුවී වැසී ගොසින්ය. මතකය පමණක් හදවතෙහි ගැබුරුතම ස්ථානයක රැදී පවතී.

මේ වගත් එසේම වෙනදා මෙන් පහුරු ගෑ මම සුදු පූසා වම්හ.....





Thursday, September 17, 2015

හපන්කම් පුරසාරම් සහ ගොන්කම්

අපිට එදිනෙදා ජීවිතයේදී විවධාකාරයේ පුද්ගලයින් සමාජයේදී නිරන්තරයෙන් මුනගැසේ. සමහරුන් තම දිවියෙන් ආදර්ශයන් අනුන්ට ලබාදෙමින් තමා පිලිබදව අන්සිත් තුල නොමැකෙන මතක සටහන් තබමින් සමුගන්නා අතරතුර තවත් සමහරුන් තම ගතිගුණ නිසාම මතක සටහන් නොමැතිවම කාලයේ වැලිතලාවට හසුව මග හැරීයයි. 
රාජකාරී මට්ටමේදී මට මේ දෙගොල්ලන්වම ඇසුරු කරන්න ලැබුණා. මගේ සුන්දර නවාතැන්පල වෙච්ච දෙමටගොඩත් අසුන්දර කරපු කෙනෙක් ගැනයි අද කියන්නේ. 
  විධායක නිලදාරිනියක් වෙලා උන්න මෙයාට මම සිරියලතා කියන්නම්. අපි කරපු පව් පලදීමක් විදිමක් විදිහට මෙයා දෙමටගොඩ ට ගොඩබැස්සේ අපි ඒ වෙනකම් කරගෙන් ආව වැඩ පිලිවෙල අනිත්පැත්ත කරකවමින්. මේ අපේ අලුත් නෝනට කැම්පස් වලින් ආව අලුත් කොල්ලෝ කෙල්ලෝ පේන්න බැරි ලෙඩක් තිබ්බා. ඒ අසනීපේ ප්‍රතිපල විදිහට සිරියලතා මගේ හැම වැඩක්ම එයාගෙන් අවසර අරගෙන කරන්නයි කියලා මට කිව්ව වෙලේ ඉදලා තමා මට වැඩ එපා උනේ. මට තිබ්බ වැඩ ඩබල් ට්‍රිපල් කරපු එක තමා මෙයා හැමදාම කලේ.
මට අවසර දීලා තබ්බා දේශන වලට යන හින්දා හවස හතර වෙනකොට off වෙලා යන්න අපේ සිරියලතා අක්කා මම කලින් යනවට කැමති නෑ දවසක් දෙකක් මට යන්න දුන්නේ නෑ මෙයා කලින්. බලලා බැරිතැන මම මම නොකියා ගිහින් දින දෙකක් නිවාඩු දාලා නොගිහින් හිටියා. 

දවස් දෙකකින් එද්දි මෙන්න සිරියලතා ඉන්නවා නිකන් ඉඩි අමීන් වගේ කන්න බලාගෙන. මගේ ඉවසීමේ සීමාවත් පැනලා යමින් තිබ්බ වෙලාවක මගේ කේන්තිය පිට උනේ මම යටතේ හිටපු ලකිත මල්ලිගෙන් හා නිලූෂා නංගිගෙන්. මෙයාව කාලයක් යද්දී බැංකුවටම එපා වෙලා මට්ටු කරන්න ඕනේ කියන අදහස ඇවිල්ලා තිබ්බා.



කවුරුවත් නොහිතපු වෙලාවක හිරකරගෙන හිටපු පීඩනය පිට වෙලා ගියා. දවසක් උසාවි නියෝගයකට අදාලව චෙක්පත් නික්කාෂණ වාර්ථාවක් මම හදලා දීලා ගියා අපේ සිරියාලතාට කොහොම හරි වාර්ථාව මෙයා යවලා නැතුව මම සතියකින් ඇවිත් බලනකොටත් මේසේ උඩ.
තමුන්ගේ වැරැද්ද පෙනි පෙනී මේ ගෑණි කියාපි මේ පූසා හින්දා තමා මේක යවන්න බැරි උනේ කියලා. මට උන්හිටි තැන අමතක උනා ඒ කතාව අහපු ගමන්. කළමණාකාරතුමා ඉස්සරහම හොද සුද්ධ සිංහලෙන් ජාතිය අමතලා 
වව්චර් මිටිය ගුවනේම පාකරලා යැව්වා. නිකන් දෙවෙනි ලෝක යුද්දේ කලා වගේ වව්චර් හැම තැනම පාවෙන්න ගත්තා. මේ ටිකත් උබම බලාගනින් එහෙනම් කියලා මම දබලා ගහලා පහලට ගිහින් හිටියා දවස් තුනක් යනකම් මම සිරියලතා ගේ අංශයට අදාලව කිසිම වැඩක් කලේ නෑ.

පස්සේ අපේ ජයකොඩි සර් ආයේ එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා පොරොන්දු උන හින්දා මම ආයෙත් Clearing Department එකේ වැඩකටයුතු පටන් ගත්තා. මට මගේ වැඩ ස්වාධීනව කරගෙන යන්න පුලුවන් තත්වයක් ඒ වෙද්දී ඇතිවෙලා තිබ්බා. මම දෙමටගොඩින් සමුගන්නා සමය වෙන කොට සිරියලතා අක්කට අඩුම ගානේ බැංකුවේ ආරක්ෂකයින් වත් ගරු නොකරන තත්වයක් ඇතිවෙලා තිබ්බේ.....

ඉතිරිය මතුවට.........


පසු වදන


  • නවක සේවකයන් හට ආදර්ෂයක් වන ලෙස පැරණි නිලධාරීන් හැසිරිය යුතු උනත් සමහරක් යල් පැණගිය හණමිටි අදහස් ඇත්තන් නිසා සමස්ථ පද්ධතියම බිද වැටීමට ඇති හැකියාට ඉහලය. ගණුදෙණු කරුවන්ට සැලකීමට නම් චක්‍ර ලේඛන අමතක කර සේවා සැපයීමට සුදානම් විය යුතු බව මගේ හැගීමයි.
  • තමාට ගරුත්වයක් ලබා ගැනීමට නම් තමුන් ප්‍රථමයෙන් අනිකාට ගරු කල යුතු වන්නේය.
  • දිනක් හදිසි විමර්ෂණයකදී වැඩ අතපසු කර තිබීම නිසා සිරියලතා තනතුරින් පහත හෙලා ඇති බව පසු කලෙක මට දැනුම් දුන්නේ ජයකොඩි මහතාය.


ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම  සුදු පූසා වෙමි....................


Tuesday, September 1, 2015

පුංචි පහේ අපි

මම එක වසරේ ඉදලා පහේ ශිෂ්‍යත්වය වෙනකම් ඉගෙන ගත්තේ ගම්පහ ගෝතමී කණිෂ්ඨ විදුහලේ. එක වසරේ ඉදලා පහට යනකම් අවුරුදු පහම පන්ති සගයෝ වෙනස් උනේ නෑ. ඔක්කොම කෙල්ලෝ කොල්ලෝ පනහක් හිටියා අපේ පන්තියේ. එක වසරේ පිණිබිදු පන්තියෙන් පටන් ගත්තු අපේ මිතුරු දම් වසරින් වසර වැඩිදියුණු උනා.
                             පිණිබිදු පන්ති බාර ශ්‍රීමතී චන්ද්‍රිකා ගුරුතුමිය ඇතුලු සිසුන්ගෙන් කොටසක්

එකදහස් නවසිය අනූහතේ අවුරුද්දේ පිණීබිදු පන්තියෙන් පටන් ගත්තු අපේ චාරිකාව අවුරුද්ද අවුරුද්ද ගෙවිල ගිහින් දෙදෙහස් එක වෙද්දී ජීවිතයේ පලවෙනි කඩයිම බවට පත් උනේ ශීෂ්‍යත්ව විභාගය යෙදිලා තිබ්බ නිසා. එකේ ඉදලා හතරට යනකම් පන්තිවල උන දේවල් මම වෙනම අකුරු කරන්නම්. දැනට පහේ පන්තියේ මතකය අවුස්සලා ගන්නම්.
පහේ පන්තිය ගැන කියනකොටම විශේෂ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා සිහිකල යුතුම. එක්කෙනෙක් තමා මේ පන්තිය භාරව උන්න ඊ.කුමාරසිංහ ගුරුතුමා. සර්ගේ අතේ තිබ්බ මුද්දෙන් ටොකු කාපු අයනම් දන්නවා සර්ගේ ටොක්කේ රස කොහොමද කියලා. මම සර්ව අන්තිමට දැක්කේ 2003 වසරේදි ගම්පහ දුම්රියපල අසලදි. 

කුමාරසිංහ සර්ට අනගි සහයක් දුන්න අනිත් කෙනා තමයි පුහුණු ගුරුවරියක ලෙස පලමු පත්වීම ලබාගෙන පැමිණි මනෝජා නිල්මිණී කුමාරි ගුරුතුමිය.
                                                          නිල්පාට සාරිය ඇදලා ඉන්නේ මනෝජා ගුරුතුමිය

කොහොම හරි උත්සහ කරලා අපේ පන්තියෙන් තමයි වැඩිම සමත් ලමුන් ගණනක් හිටියේ අනිත් පන්ති අටටම වඩා. අපේ පන්තියෙන් දහඅට දෙනෙක් සමත් වෙලා හිටියා.
                                                        5E පන්තියේ සමත් සියලු දෙනා කුමාරසිංහ මහතා සමග

ඒ අවුරුද්ද අවසානයේ සෑම හමුවීමකම වෙන්වීමක් ඇත කියන කියමන පසක් කරමින් අපි විවිධ විවිධ පාසල් වෙත යන්න වෙන්උනා. කවදාවත් අමතක කරන්නේ නෑ කියලා වෙන් උනත් අපේ කාර්යය බහුලත්වය මත ඔහුන්ව මතකයෙන් ගිලිහිලා ගියා. අදටත් සමහරුනගේ නමත් තවත් සමහරකුගේ රුවත් පමණයි අදටත් මතකයේ තියෙන්නේ..............

                                       *****************
වසර පහලවකට පස්සේ මගේ හිතවත් මිත්‍රයා ගයාන් සංඛ ගේ යෝජනාවක් පරිදි අපි අපේ කට්ටියව ආයේ හොයන්න ගත්තා මාස හයක් විතර උත්සහා කරලා දැනට පන්ති සගයෝ 25 අපේ මුහුණුපොතේ කණ්ඩායමට එකතු කර ගන්න පුලුවන් උනා.
සමහරුන් විදේශ ගතවෙලා තවත් පිරිසක් විශ්ව විද්‍යාල වල අධයාපනය හදාරනවා ඒ අතර සමහරු විවාහ දිවියටත් එලබිලා. 

මගේ අදහසක් තියෙනවා අපේ පන්තියේ කට්ටියවම අයේ එක තැනකට ගෙනනලා සුහද හමුවක් සූදානම් කරන්න. ඉතුරු විසිපස්දෙනා ගැන කිසිම නොරතුරක් මේ වෙනකම් හොයාගන්න බැරි උනා.
මේ බ්ලොක් අවකාසෙත් අපේ කට්ටිය ඉන්න පුලුවන්. එහෙම උනොත්
https://www.facebook.com/groups/1417266881900781/
ඉහත සබැදියෙන් එකතු වෙන්න කියලා ඉල්ලනවා...


පසු සටහන

  • කුමාරසිංහ සර් ගැන කිසිදු තොරතුරක් මේ වන විටදීත් සොයා ගැනීමට මම අපොහොසත්ව සිටිමි. අංක 17 කජුහේන බෙම්මුල්ල යන්න ඔහුගේ මා සතුව පවතින ලිපිනයයි. බෙම්මුල්ලේ වෙසෙන සොහොයුරෙක් හෝ සොයුරියක් වෙතොත් තොරතුරක් සොයා ගැනීමට මා හට උපකාර කරත්වා.
  • මනොජා ගුරුතුමිය නුගේගොඩ පසලක සේවය කරන අතරතුරක අහම්බෙන් මෙන් හදුනාගැනීමට හැකිවිය. ඇය සතුවත් කුමාරසිංහ මහතාගේ තොරතුරක් නැත.



ඒ වගත් මෙසේම පහුරු ගෑ මම  සුදු පූසා වම්හ....................



       

Sunday, August 2, 2015

ඉස්කෝලෙන් සමුගැනීම

2002 වසරේ දිනක හිමිදිරි උදෑසනක ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා ගම්පහ බණ්ඩාරණායක ඉස්කෝලෙ කන්ද නැගලා අපි ගියේ ලොකු සතුටකින් වගේම බලාපොරොත්තු ගොඩක් එක්ක. කාලයත් එක්ක වසර 8 ක් ගතකල මෙතැන ගැන කියන්න ගොඩක් දේවල් තිබ්බත් ඒවා පස්සට දාලා අද මත්ක් කරන්නේ උසස් පෙල පන්තියේ ගත කරපු සුන්දර අව්රුදු දෙකේ මතක සටහන් කිහිපයක්.

2008/07/13 වෙනිදා තමා අපි ඉස්සෙල්ලාම වානිජ අංශෙට ගොඩබැස්සේ. අපේ පන්ති 4ක් තිබ්බා ඒ කාලේ 12J / 13J කියන්නේ ජොලියට වලියට වගේම ඉගෙන ගන්නත් දක්ශම කට්ටිය හිටපු පන්තිය.
එකා වගේ හිටපු 41 දෙනෙක් හිටියා මේ කියන සුන්දර පන්තියේ.

පන්තිය භාරව හිටියේ කුසුම් මිස්. ඒ වගේම අපිට අනෙක් විශයන්ටත් ලැබුනේ හොදම ගුරැවරු.


                                             
                                           ආර්ථික විද්‍යාව  ගිණුම්කරණය ව්‍යාපාර අධ්‍යනය


                                         මහේෂ් යුලන්ග කසුන් සුපුන් ඉසුරු කුමාර ගිහාන් තුසිත
                                         හෂාන් සමග කමල්සිරි පියරත්න මයා (ඤාව්වා)


                                           මහේෂ් යුලන්ග කසුන් සුපුන් ඉසුරු කුමාර ගිහාන් තුසිත
                                         හෂාන් සමග මහේන්ද්‍රා මිය (ට්‍රැක්ටරේ)                                        


                                         මහේෂ් යුලන්ග කසුන් සුපුන් ඉසුරු කුමාර ගිහාන් තුසිත
                                         හෂාන් සමග කුසුම් මිය


ජායාරූප වල ඉන්නේ උසස් පෙලට ලංවෙනකම් ම අාව අයගේ විතරයි.
සෑමවිටම ජායාරූප ශිල්පියා පූසා හින්දා පුසා නම් එක 
ජායාරූපෙකවත් නෑ.....
අද මේ ඉන්න අයගෙන් බහුතරයක් විවිධ විශ්ව විද්‍යාල වල අධයාපනය හදාරනවා. අවුරුදු දෙකක උසස් පෙල පන්තියේ දී හිටපු අපිට සැමටම පොදු ධර්මතාවයට මුහුණ දෙන්නට සිදු උනා.
හමුවන හැමවිටම වෙන්වීමක් තියෙනවා කීවාක් මෙන් අපිට සමුගැනීමට කාලය උදා උනා. සතුරන් මිතුරන් උනුන් බදාගනිමින් එදා වෙන් උනේ යලිත් හමුවීමේ බලාපොරොත්තුවෙන්.

ඒ වෙන් වීමට අදට හරියටම වසර පහක් ගතවුනා. ඒ සොදුරු කාලය මතක් වෙන්නයි අද සටහන ලියවුනේ.


මතකය අවදි කර ආපසු හැරී බැලුවෙමි පස් වසරකට පසුව
සක්මන් කලෙමි පැමිණි මතක මංපෙතෙහි යලිත් පසුපසට
සුපුරුදු මිතුරන් ගුරුවරුන් කිසිවෙකුත් නොවීය ඒ පුරාණ පන්ති කාමරය තුල

සොදුරු මතක සටහන් පමණක් විසිරි තිබුණි එදා මෙන් නොවෙනස්ව

*
*
*
*
*

ප/ලි

මේ අපේ අයත් එක්ක ගතවුන් සුන්දර මතක සටහන් ගොඩක් පූස් මතකේ තියෙනවා රසවත්ව. සමහර දේවල් ප්‍රසිද්ධියේ කියන්න බෑ කොහොමටවත්ම. ඒවා කිසිදා එලි නොදක්වන පයිල් එකට දාල තියෙන්නේ.

X- Ban 2008 ප්‍රදර්ශනයේ ඉදිකිරීම් කරද්දී තැබිලි හොරෙන් බාපුවා / ගොට්ටා සල්ලිත් අරන් මාරු වුන විදිහ / කක්කුට්ටගේ රසකතා / රණසිංහ සර්ගේ මනරංජන English පංතිය වගේම කාලි මැණියන්ගේ පුස්ථකාලේ මතක සටහන් මින් ඉදිරියට
 




ඒ වගත් මෙසේමැ පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........