Friday, April 1, 2016

නිර්සත්වයෝ පලමු කොටස - දේශසීමාවට පිවිසීම

හෝරා කිහිපයකට පෙර වාතලයට එකතු වු මාගේ අවසන් සුසුම් පොද නිවස වටේ සැරිසැරුවේය. එක් වරම මහත්වු සුලි සුලගක් හැමුවාක්මෙන් මා ගසාගෙන යන්නට විය. අදුරු කුටියක් මැදින් ගමන් කරන්නාක් මෙන් හැගීමක් පහලවිය. කොපමන වේලාවක් එසේ ගමන් කලාදැයි මාහට වැටහීමක්ද නැත එක්වරම එම ගමන නතරවු බව මා හට පසක් විය. ඒ භුමිය පාලු ගතියක් ඉසිලු නමුත් වළාකුලක් අහසක් හිරු සදු හෝ නොපෙනෙන විශාල ගුහාවක් බදුය.

කෙමෙන් ඉදිරියටම යන විට මිනිස් පෝලිමක් දක්නට ලද අතර මාද එයට එකතු වුවෙමි. මේ පෝලිම කුමක්දැයි මා අනෙක් අයගෙන් විමසුවද කිසිවෙකුගෙන් පිලිතුරක් නැත සියල්ලෝම තැතිගත් මුහුණෙන් යුතුව බිම බලාගෙන ගමන් කරති. ඈතින් ගිනිජාලාවක් ඈතින් පෙනෙන්නට විය තව තවත් ලංවෙන විට විශාල ඇතුල්වීමේ දොරටුවක් පෙනෙන්නට වූ අතර දොරටුව ආසන්නයට ලං වන විට භාශා තුනෙන්ම අපායේ පිවිසුම් දොරටුව යනුවෙන් සදහන් පුවරුවක් විය. 
මම ඇතුල්වීමේ දොරටුව ආසන්නයටම පැමිණ සිටින අතර ඉන් මදක් ඈතින් පිටවීම ලෙස තවත් දොරටුවක් විය. ඇතුල්වීමේ දොරටුවෙහි යුධ හමුදා කැලෑ ඇදුම ඇද සන්ග්ලාස් දමා AK-47 සහ T-56 වැනි නවීන ස්වයංක්‍රීය ආයුධවලින් සන්නද්ධ යමපල්ලන් සිටියත් පිටවීමේ දොරටුවෙහි කිසිවෙකුත් දකින්නට නොමැත. මෙතෙක් මා රැදී සිටි කාලයටම පිටවී ගියේ දෙදෙනෙකු පමණි. CCTV කැමරා පද්ධතිය වලින් සමන්විත වු එහි ප්‍රධාන ආරක්ෂක පවුරේ ඩිජිටල් රූපවාහිනී තිරයක් සවිකර ඇති අතර එමගින් දිස්වුයේ අපාය තුල ඇති එක් එක් අංශවල දෙනු ලබන දඩුවම් වල ස්භාවයයි. යම පල්ලන් විසින් සියලු දෙනාවම කැදවා අපායට පැමිණීමට ආසන්න හේතුව සොයා යම රජුට නඩු වාර්ථා ඉදිරිපත් කිරීමෙහි යෙදී සිටි අතර කෙමෙන්  මගේ වාරයද පැමිණි අතර වායුසමණය කල කුටියක් සිටි යමපල්ලකු මා කැදවීය. 


මා බලාපොරොත්තු වුනේ ඉස්සර දහම් පාසලේදී ගුණසිරි අංකල් මවා පෙන්නූ උල්වු දත් ඇති කාලවර්ණ යමපල්ලන්වය. නමුත් කුටියේ සිටියේ ජැන්ඩි පහට ඇදගෙන ටයි පොල්ලක්ද එල්වා ගත් කඩවසම් යමපල්ලන් රැසකි. කරුණාකර ඔබේ නරලොව ජාතික හැදුණුම්පත් අංකය පවසනු යැයි කී ඔහු මාගේ අංකය පරිඝණක දත්ත පද්ධතියට ඇතුල් කර බලා ඇඹුල් කර ගත් මුහුණෙන් යුතුව ඔබ හා සම්බන්ද සිදුවීමට අදාල අයවලුන් පිරිසක් මනුස්ස ලෝකයේ තවමත් සුජීවත්ව සිටින් අතර ඔහුන් පැමිණීමට පිලිවෙලින් වසර 2 වසර 5 වසර 10 සහ වසර 20ක් ගතවීමට නියමිතයි. එතෙක් මෙම නඩුව යම රජුට ඉදිරිපත් කල නොහැකියි ඒ නිසා ඔහුන් පැමිණෙන තුරු ඔබ පිවිසුමේ රැදී සිටිනු යැයි පැවසීය.

"අනුකම්පා කරන්න යමපල්තුමා වසර 20ක් එලියට වී සිටින්නේ කෙසේද? මම එපමණ කාලයක් ජීවත් වෙයිද කියලා කවුද දන්නේ කියා පැවසුවෙමි"

"හා හා හා එම්බා නරය තොපගේ මිනිස් ලොව විසි වසරක් යනු අප අපායතුල දෙපැයකි.තෝ දැන් මිනිසෙකු නොව නිර්සත්වයෙකි. අපායේ දඩුවම් අවසන් වන තුරු නිර්සත්වයන් මියයන්නේ නැත. මාගේ පුෂ්පය පැනීමට පෙර වහා පිටවී ගොස් කැදවන තුරු රැදී සිටිනු" යැයි යමපලුතැන ගෝරනාඩු කල බැවින් මම පිලිගැනීමේ කවුලුව අසල ඇති ආසන පෙලින් එකක අසුන් ගත්තෙමි. සත්‍යවශයෙන්ම මට සිදු වුයේ කුමක්ද?
මා පැදවු යතුරුපැදිය බස් රථයකට ඉස්සර කලාක්මෙන් යන්තමට මතකය.......



***මතු සැබැදි***


ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි......

Tuesday, March 1, 2016

බැංකුවේ ජීවිතේ අවසානය

දෙමටගොඩින් ස්ථාන මාරු ලැබ ලංකා බැංකුවේ පිට්ටු බම්බුවේ අටවන හා නවවන මහල් වල පවත්වාගෙන යනු ලබන අන්තර්ජාතික අංශයේ ලැබෙන විදේශ ප්‍රේශණ දෙපාර්ථමේන්තුවේ දැහැමෙන් සෙමින් කාලය ගතකරන අතරතුර පසුගිය දෙසැම්බර් මස මැදදී පුහුණු හා සංවර්ධන අංශය මාහට සිහිකැදවුයේ ඔබගේ පුහුණුකාලය අවසානවීමට ආසන්න වන බවයි. වර්ෂ 2013 සැප්තැම්බර් සිට මේ දක්වා ගත කාලය සුන්දරය. අවශ්‍යයනම් තවත් මාස තුනකට කාලය දිගු කරවාගත හැකි අතර නැතිනම් සේවය අවසන් කිරීමටද හැකිවිය. පුහුණු අංශයේ සහකාර මහා කළමණාකරු අපට පැවසුයේ අනෙක් අයත් එක්ක කතා කරලා තීරණයක් අරං මට කියන්න යනුවෙනි.
සහෝදර කාර්ය මණ්ඩලය හා මගෙන් පුහුණුව ලබමින් සිටි නවක සොයුරු සොයුරියන්ද ඉතිරි තෙමසද රැදෙන ලෙස ඉල්ලා සිටියද බැංකුව පිලිබදව අන්තිම අඩියටම කලකිරී සිටි අප සේවා දිර්ඝය බාර නොගෙන සමුගැනීමට තීරණය කලෙමු. මා සමග කොළඔ විශ්වවිද්‍යාලයේ සොයුරියන් දෙදෙනෙකු සහ පන්නිපිටිය ධර්මපාලයේ සොයුරෙකු වු අතර ඔහුන් තිදෙනා මාස හයක කාලයක් රැදී සිටි අතර මම වසර දෙකකට ආසන්න කාලයක සේවයක් සම්පූර්ණ කර ඇත්තෙමි. සාම්ප්‍ර‍දායට අනුව අපි සේවයෙන් ඉවත් වන බව  මුලින්ම පැවසුවේ මාගේ ගුරුවරයා බදුවු කලමණාකරු කැල්වින් විජේසුරිය මහතාටය.
ඇත්තෙන්ම පැවසුවහෝත් Inward Remittances නැත්නම් එන විදේශ ප්‍රේශණ අංශය යනු බැංකුවේ වටිනාම ස්ථානයක් මෙන්ම කාර්ය බහුලත්වය තරමක් වැඩි වුවද අවශ්‍ය වන්නා වු විවේකය විනෝදය සහ නිදහස නොඅඩුවම පැවතුන ස්ථානයක්ම විය. දේශණ සදහා සහබාගී වීමට කලින් පැන යන්නට කිසිදු බාධාවක් කරන්නෙකු එහි සිටියේ නැත. ඒ තරමටම එය ඉතාමත් සුන්දරම නවාතැන්පලක්ම විය. අපගේ සියලුම ඉහල නිළධාරීන් පොළවේ පයගසා ජීවත්වූවන් බැවින් රාජකාරීකටයුතු ඉතාම පහසු විය.
කැල්වින් මහතා හා Money Gram අංශය
දුකට සැපට එකට හිටපු අනිත් තුන්කට්ටුව


උදව් උපකාර කල සියලුදෙනා පිලිබදවම මෙහි සදහන් කිරීමට නොහැකි වුවද අනිවාර්යෙන්ම සදහන් කල යුතු කිහිපදෙනෙකු වෙයි. පලමුව ආදරණීය නැසීගිය සහාය කළමණාකරු ජනක් රණසිංහ මහතාව ඉතාමත් ආදරයෙන් සිහිපත් කරන්නට යෙදෙන්නේ තරුණ සිත් හදුනාගෙන ඔහුන් සමග කටයුතු කරන්නට මෙතුමා සතු වු අපූරුතම හැකියාව නිසාය. තනතුර නිසා සතුවු අසීමිත බලතල මගින් හිස උදුම්මාගත්තකු නොවුන මෙතුමා වරක් අප සමග කොලුකමට ගිය දඩයම් සවාරියටද එක්වුයේය. එතුමාගේ හදිසි අභාවය අප සැමට කණගාටුවක්ම විය. ඊට අමතරව අමිල නිරෝෂන් හා හිමාල් චාමිකර යන සොයුරන් ලබා දුන් උපදෙස් හා මිල කල නොහැකිය. අද දෙදෙනාම සහාය කළමණාකරුවන්ය
මම අවසාන වශයෙන් සදහන් කරන්නේ අපේ හොදම රසවතුන් ගැනය. කැල්වින් විජේසූරිය යනු Money Gram ආයතනයටත් ගණුදෙණු කරණා ආකාරය ඉගැන්වීමට සමත් තරම් අයෙකි. බැංකු සේවකයන් හට ලැබෙන්නා වු ලබ්බත් තට්ටෙත් ලැබෙමින් පැවතියා වුද සෑම උදෑසනකම " I am Wijesoriya from Bank of ceylon, my unit has been deactivated, kindly reset" ලෙස අමතා Money Gram ආයතනයේ සුද්දන්ට වද දෙන්නා වුත් අති සුන්දර නිහතමානි මිනිසෙකු විය. සෑම කෙනෙකු පිලිබදවම පියකු මෙන් සොයා බැලූ මේ මිනිසාද පසුගිය දිනක ඉසුඔු ලබා කැන්ගරු දේශයේ ස්ථීර පදිංචියට ගියේය.

කෙසේ හෝ අප සිව්දෙනාගේ සමුගැනීම වෙනුවෙන් අන්තර්ජාතික අංශයේ කුඩා සාදයක් සංවිධානය කර තිබුනේ අප කාටවත් නොදන්වාය. නැටුම් ගැයුම් වැයුම් මැද සියලුම දෙනා අප සිවුදෙනාට සුබ පැතූ අතර සාදයේ කෙලවර යලිත් මතු දිනෙක පුංචි ලංකාවේ කුමන ස්ථානයකදී හෝ මතු කවදා හෝ හමුවන බලාපොරොත්තු පෙරදැරිව ජීවිතයේ අමතක කල නොහැකි අත්දෑකීම් රැසක් සමග මමත් රුචිරත් දිනුලි අක්කාත් අසංගී අක්කාත් මුලස්ථාන ශාඛාවේ පියගැට පෙල බැස නික්ම ආවෙමු.....

පසු සටහන

  • මාගේ අතින් කියවුන කතා වලට වඩා නොකී කතා ප්‍ර‍මාණය ඉහලය. සමහරක් අයගේ ඉල්ලීම් හා ආයාචනා නිසා සටහන් නොකල ඇතැම් කතාවන් ඉදිරියේදී අකුරු කරමි. 

අදත් වෙනදා මෙන්මැ පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........



Thursday, February 18, 2016

ගල්ලෙන බිදීම හා ජයසිරි මාස්ටර්ගේ සර්පිනාව

කවුරුහරි කෙනෙක්ගෙන් තමා ගතකරපු ජීවිතේ ලස්සනම කාලේ මොකක්ද කියලා ඇහුවොත් මම හිතන්නේ 90% වඩා කියන්නේ පාසල් ගිය කාලේ කියලා තමා. කිසිම බරක්පතලක් නැතුව විනෝදෙන් ගත කරපු වලි වලට පන්ති පිටින්ම බැහැලා දුවන්නම නෙලපු ඒ සුන්දර කාලෙට ආයෙත් හිතෙන් හරි යන්න අපි කොච්චර ආසයිද? ඒ අතීතය ගැන මේ ලගකදී පන්ති සගයෝ මතක් කරපු නිසාම අද මේක ලියලා දාන්න ඕනේ කියලා හිතුවේ. මෙතනින් එහාට හම්බවෙන චරිතනාමයන් සියල්ලම මනක්කල්පිතයි ඒ වුනාට මේ සිද්ධි මාලාවන් අතීතයේ දවසක ඒ සුන්දර සංගීත කාබරේ ඇතුලේ  ඇත්තටම සිදුවෙච්ච දේවල් ඕංං.

අපේ ඉස්කෝලේ පෙරදිග සංගීත ගුරුවරු හතර දෙනෙක් හිටියා මේ අය අතරින් අපේ නසරාණි පන්තිය බාරව හිටියේ ජයසිරි සර් (ආදරේට අපේ කොල්ලෝ කිව්වේ සරිගම කන්නා කියලා) අපිත් ඉතින් හත වසරේ ඉදලා ලෙඩ කපුටෝ වැල කනවා වගේ සංගීනේ කලාට මෙලෝ සංසාරයක් තේරුනේ නම් නෑ. අර රාගය මේ රාගය මධ්‍යලය ගීතය කියාගෙන උගුරෙන් කෑගහන එකත් එක්තරා විදිහක විකාරයක් කියලා තමා ඒ කාලේ හිතුනේ. පුබුදු ගයාන් ලක්ෂිත ඉසුරු රිසිත තරංග නදීමාල් ජයනාත් අසංක සුපුන් සිතුම් වගේ මගේ අතිජාත මිත්‍රයෝ හතේ ඉදලා පෙරදිග සංගීතේ කලාට මම මුන්ට එකතු උනේ වෙස්ටර්න් මියුසික් කරපු යක්ෂණී මාත් එක්ක යුද්ධ ප්‍ර‍ාකාශ කලාට පස්සේ දහයේ පන්තියේ මැද විතර වගේ. කරපු අය දන්නවා ඇතිනේ සා/පෙ ලංවෙලා ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියෙනවා කියලා ගොඩයන්න(පැරණි නිර්දේශේ හැටියට ඒකාලේ ඕක තිබ්බේ සා/පෙලට කලින්) දැන් ඕකට කණ්ඩායම් හැදිලා නාට්‍ය ජවනිකාවකුත් කරන්න ඕනේ. අපි තෝරගත්තේ සිංහබාහු නාට්‍යයේ ජවනිකාවක් මේකට අවශ්‍ය කාන්තා චරිත සියල්ල රඟපෑවේ වතුර ටැංකිය අසල ඉස්කෝලේ මානවිකාවෝ විසින් මොකද ඒ කාලේදී පාසල් දෙකටම එකටයි ටෙස්ට් එක තිබ්බේ.
සිංහයාට ඇන්දේ මලිත් ගොයියා ඒ සිංහයාව මහාචාර්ය සරත්චන්ද්‍ර‍යන් දැක්කනම් නාට්ටි කෙරුවාවත් නවත්තන එකනම් ඉරහද වගේ විශ්වාසයි. ඒ කාලේ සිංහයා වෙච්ච මාර්ක් ඇන්තනී මහත්මයා හරි වර්ථමාන සිංහයා වන ජයනාත් බණ්ඩාර අපේ ඉංග්‍රීසි ඇදුරුතුමා මලිත් සිංහයාගේ ඇක්ටිං දැක්කනම් මඩුවලිගෙන් මූට තලන්නේ. අම්මපල්ලා මේ වගේ ලෙඩ සිංහයෙක් මම දැක්කමයි මුට පුරුදුකරන්න අපේ ජයසිරි සර්ට සෑහෙන්න ගේමක් දෙන්න උනා දැන් සිංදුව පුරුදුවෙන අතරතුරේ ගීතයේ පදයෙන් පදයට මූ අතින් වන්නේ විනාශයකි
ගල්ලෙන බිදලා...(ස්ටේජ් එකට පැන්න පාර සර්පිනාව ඩවුන්ද පල්ලං)
ලෙන්දොර ඇරලා...(ලෙන්දොර වෙනුවට මු ඇරපු දොර පලුව ගැලවිලා බිම)
නැතේ කිසිවෙක්.. ගොසින් සැමදෙන.. සිංහබා..... සිංහබා..... කියාගෙන සුප්පාදේවිට අත තියනවාත් එක්කම වේදිකාව දෙසින් ඇසුනේ ජර බරාස්ස් ශබ්දයෙන් යමක් ඉරීයන හඩකි ඒ සමගම විදුලි ආලෝකය විසන්දි කර තිරයද හනික පහත දමන ලදී අහෝ ඛේදයකි සුප්පා දේවියගේ උඩුකය වස්ත්‍රයේ කොටසක් සිංහයාගේ දෑතේය...... ක්ෂණිකවම ඇයවෙත පැමිණි ඇගේ මිතුරියන් නිසා ඇගේ ජාමේ බේරුනේය.අපි වාදනය නවතා පහල බලන විට දත්මිටි කමින් පැමිණි ජයසිරි සර් මලිතාගේ දුර්වල තැන් කිහිපයකටම තම ශක්තිය මුදාහලේ කිසිදු ලොබයකින් තොරවය.....
බඩා මලිතා සුප්පාදේවියට පණ පුදන්නට සූදානමින් සිටි අතර මුගේ සිහින කුමාරිය උනේ ඇයයි. ගම්පහ කොල ටයි පාසලේ සාඩම්බර නිපැයුමක් වු ඇය පසුව සමස්ථ ලංකා නාට්‍ය තරඟවලින් එම විදුහලට කීර්තියක් ගෙන එන්නට සමත් වුවාය. ඇය එදිනෙන් පසුව අපේ මලිතා දෙස ඇහැක් ඇර බැලුවේ නැත.
************* 
අපිට අවුරුදු ගාණක්ම සංගීතේ තිබ්බේ විවේක කාලයට පස්සේ පීරියඩ් වල. මේ කියන සංගීත කාමරේ පිහිටලා තිබ්බේ කාර්යාලයත් ගුරු විවේකාගාරයටත් අතර මැද්දෑවේ. මේකේ සියලුම සංගීත භාණ්ඩ තිබ්බා වගේම අරගෙන වාදනය කරන්නත් කිසිම තහනමක් තිබුනේ නම් නෑ ඒ කාලේ. අපි ඉන්ටවල් එකට පනිනවා සංගීත කාමරේට ඊට පස්සේ සර් එනකම්ම නන්ස්ටොප් ප්ලේ කරනවා අහගෙන ඉන්න අයට පිස්සු හැදෙන්නම. රිදම් ගිටාරය ජයනාත් බේස් ගිටාරය මමතුමා බොක්ස් ගිටාරය නදීමාල් වයලීන් සුපුන් පුබුදු අසංක  වගේම සරපිනාව වාදනය කල දමිත් කියන අපේ කට්ටිය. හැමදාම ගී සරණිය ඇරබුනේ එකම ගීතයකින් ඒ සිංදුව ඇහෙද්දී අපේ ජයසිරි සර් කොහේ හිටියත් සංගීත කාබරේට ඔටෝ ඇදිලා එනවා.
"ජයසිරි මාස්ටර්ගේ සර්පිනාව බල්ලෝ කාලා
මිනිහට මල පැනලලු දැන්
තබ්ලාවට අණ්ඩ දාලා හුලන් යනවා හෝස් ගාලා
ලොක්කගේ සරිගම අවුල් වෙලා දැන්"




කවදාවත් අපි පිස්සු නැටුවට සර් අපේ හිතරිදෙන්න වචනයක්වත් කිව්වේ නෑ. අපි සාමාන්‍යපෙල විභාගයේ ඇඩ්මිශන් ගත්තු දවසේ සර්ත් අපිත් එක්කම එකතුවෙලා සිංදු කිව්වා අදින් පස්සේ තොපි ඉතින් මේවා අල්ලන්න එන එකක් නෑනේ බං කියලා තමා සර් කිව්වේ. උසස්පෙලට අපේ පංතියේ කවුරුත් කලා විශයන් නොකල නිසාවෙන් ඒ සුන්දර සංගීත කාබරේ කරපු කියපුවා මතකයන්ට පමණක් සීමාවෙලා අතීතයට එක්කාසු උනා. අපෙන් පස්සේ නම් ඒ වගේ ආතල් ගත්තු කට්ටියක් නොසිටි බවයි මගේ හැගීම. 

පසු සටහන
  • මම සර්ව අන්තිමට හමුවුනේ පාසලෙන් අස්වීම ගන්න ගිය 2011 සැප්තැම්බර් මාසේ 19 වෙනිදා.එදා දිනේ අවුරුද්ද හැර හරියටම මට මතක තියෙන්නේ පන්තියේ උන්ගෙන් අන්තිමටම අස්වීම ගත්තටත් වඩා ඒ දවස පස්සෙන් පහු කාලෙක මගේ ජීවිතයට ඉතාම සුවිශේෂී එකක් වුන හින්දා. සර්ට නම් මාව අමතක වෙන්න විදිහක් නෑ මොකද වයලින් එකේ තත් හතරම එක සැරේ කඩපු එකෙකුට කියලා සර්ට හම්බඋනේ මම ගෝලයා විතරමයි. 
  • අදත්  විවෙික වෙලාවන් වලදී මටත් හොරෙන් හිතින් මම ඒ සංගීත කාබරේට යනවා පොඩි එකෙක් විදිහට. තාමත් ඒ කාබරේ පොඩි උන් සප්තස්වර ඉගෙනගන්නවා ඇති වගේම මම හිතන්නේ අද වෙද්දී නම් ජයසිරි සර් ඉස්කෝලේ නැතුවත් ඇති.

ඒ වගත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි..........................
 

Saturday, February 6, 2016

කවුන්ටරේ රසකතා - මාරු සල්ලි සහ බූට් සින්දු

පසුගිය දින කිහිපයේම අපි හවුලේ කල නසරාණි වැඩ ගැනම කිව්ව නිසාවෙන් ඒ හා සහ සම්බන්දවු සමහරක් පිරිසගෙන් සුන්දර තර්ජන ගර්ජන හා ගුජුප්සාජනක කෙටි පණිවිඩ මාගේ ජංගම දුරබණුවට ලැබෙන්නට විය. ඊට අමතරව කාමසූත්‍ර‍ පුස්ථකයේ ඔරිජිනල් ඉන්දියන් පිටපත ඉල්ලා ලැබෙන්නා වූ ඉල්ලීම්ද අතිමහත් වන නමුත් අවාසනාවක මහත නම් අයිතිකරුවා සතුව පැවති පිටපතද සොයාගත නොහැකි ලෙස අස්ථාන ගතවී තිබීමයි. විවිධ පුද්ගලයන් සමග රාජකාරී කරනාවිට ලද අත්දැකීම් ඉතාමත් සුන්දර නමුත් බොහෝමයක් කිසිදා එලි නොදක්වන ගොඩට දමා ඇත්තේ අදාල පාර්ශවයන් තවමත් සුජීවත්ව සිටින නිසාය. අද කියන්නට යන්නේ රාජකාරී කරන අතරතුර සිදුවු මතකයේ රැදුණු කෙටි සිදුවීම් කිහිපයකි.

****************

01. මාරු සල්ලි
බැංකුවකට සාමාන්‍යයෙන් එක එක ආකාරයේ ගණුදෙණු කරුවන් පැමිණෙති. ඉවසිලිවන්ත අය මෙන්ම මුලක්ගිණී කාරයන්ද ඒ අතර වෙයි. සමහරක් වැඩ දෙක කරන්නන්ද වෙයි. කොලොන්නාවට ආසන්න තැනක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වු අතර නාමය මාටින් ගුණදාස වැනි නමක් විය. මිනිහා ප්‍ර‍සිද්ධ වී සිටියේ කුණු ලෝබයෙකු ලෙසය. මුදල් ආපසු ගැනීමට කිසිදිනක ATM යන්ත්‍ර‍ක් භාවිතා නොකරන්නේ යන්ත්‍ර‍ පිලිබදව විශ්වාසයක් නැති නිසාය. කොටින්ම කිව්වොත් කවුන්ටරයේ අයකැමිවරයා ලබාදෙන මුදල තෙවතාවක් පමණ ඔහු ගණන් කරයි. තමාට පිටුපසින් තව සියයක් සිටියත් මොහුට ඒගැන වගේ වගක් නැත. කාලයකට පසුව හිරන්ත අයියාත් තේජා අක්කාත් කවුන්ටරයේ මල් කඩමින් කටයුතු කල සමය උදාවු අතර හිරන්ත අයියාට අපේ ව්‍යාපාරික තුමාව දැකීම නයාට අඳුකොල පේනවා වැනිය ඒ තරමටම ඔහු හා ගණුදෙණු කිරීම අප්‍ර‍සන්නය. දිනක් රුපියල් ලක්ෂයක චෙක්පතක් මාරු කරගැනීමට පැමිණි මාටිං අංකල්ට හිරන්ත අයියා තෙවරක් ගැන පන්දහයේ නොට්ටුවෙන් මුදල් නිකුත් කල අතර එතැන් සිට පහත දෙබස් අසන්නට ලැබුණි.

මාටින් - මල්ලී මට මේක මාරු කරලා දෙනවාද ඊලග සයිස් එකෙන්
හිරාන්ත අයියා යලිත් මුදල් ගෙන දෙදහසේ නොට්ටුවෙන් මුදල් නිකුත් කල අතර එය අතට ගත් මාටිං ගොයියා 

මාටින් - මල්ලී මට මේක මාරු කරලා දෙනවාද 1000/- න්
මුවින් නොබැන හිරන්තයා 1000/- නොට්ටු මිටිය අත තබනවාත් සමගම කල්පනා කල මාටිං අයියා මල්ලී එක්කෝ 500/- න් දෙන්න යැයි පවසමින් අවසානයේ 100/- කොලවලින් දෙන්නකෝ කියද්දී හිරන්තයාගේ මුණ කෝපයෙන් දිලිසෙන්නට වු අතර 100/- කොල වලින් මුදල් අතටගත් මාටිං යලිත් කල්පනා කර කට අරිනවාත් සමග එක්වරම නැඟීසිටි හිරන්තයා වරෙන් බන් යන්න කියා මාවද ඇදගෙන ගියේ වෝල්ට් එක එහෙමත් නැත්නම් බැංකුවේ සුරක්ෂිතාගාරයටයි.
ගිය විඟස සේප්පුව ඇර එවකට දිස්ත්‍රික්ක විසිපහට වෙන වෙනම නිකුත්කල කිරි කිරි අලුත් රුපියල් 10/- කාසි පිරවු බෑග් රුපියල් ලක්ෂයටම සමානවන්නට ගෙන පැමිණ ඉදා උඹට මාරු සල්ලි කියා මාටිං අයියාට දුන්නේ එයිට වඩා මාරු නෑ කියමින්ය. එක මල්ලක දසදහසක වටිනාකමින් යුතු කාසි දහසක් තිබු අතර මලු දහයම ඔසවාගත් මාටිං දුටු අප කළමණාකාර තුමා බඩ අල්ලන් හිනාවෙන අතරම මාටිං ලොක්කා බැංකුවෙන් අතුරුදහන් වුනේ මාරුසල්ලි පිලිබදව හොදම පාඩමක් ඉගෙන ගනිමිනි. එදිනෙන් පසුව යලි කිසිදා මාටිං අන්කල් අයකැමිවරයාට වාතයක් වෙන්න ආවේ නැත.ගණනින් දසදහසක් වු දහයේ කාසිවලට මාටිං කුමක් කලාදැයි අප දන්නේ නැත.නමුත් අදටත් අන්කල් මාටිං ගෙන් මාරුකාසි නැද්ද යනුවෙන් කවුරුන්හෝ ඇසුවොත් සිංහලේ ඇති සුන්දරම වචන ටිකක් අසා දැන ගැනීමට හැකිය. 

02. බූට් සින්දු 

කොළඹ පිට්ටු බම්බුවේ අන්තර්ජාතික අංශයට වෙලා දැහැමෙන් සෙමෙන් කාලය ගෙවන අතරතුර නවක කිහිපදෙනෙකුව පුහුණු පුරුදු කරන්නට මට සිදුවිය. කළණ මලයා පුහුණු කරන්නට මට කොන්ත්‍රාන්තුව ලැබුනේ එලෙසය. මරදාන අශෝක විද්‍යාලයේ සාඩම්බර නිශ්පාදනයක් වු මොහු ඉතා කාර්යක්ෂමව කටයුතු කල නිසාවෙන් විදේශ ප්‍රේෂණ ජාලයේ බේරුම්කරුවකු ලෙස කටයුතු කරන්නට අපි විසින් ඔහුට අවස්ථාව ලබා දුන්නෙමු. හොදින් සිටි කොල්ලා එක්වරම පිස්සු කෙලින්නට ගත්තේ අපේ වැඩ එක දෙක කරමින්ය. යන්නේ කොහේද මල්ලේ පොල් වැනි පිලිතුරු ලැබෙන නිසාවෙන් අප කිසිවක් ඔහුගෙන් විමසුවේ නැත. පසුය දැනඟත් පරිදි කොල්ලාගේ සිහින කුමරිය මු සමග තරහා වෙලාය කොටින්ම බූට් එකකට ආසන්න තත්වයකි. වරැද්ද උගේ අතේය. අපේ අංශයට පමණක් ඇසෙන පරිදි ගුවන්විදුලි යන්ත්‍ර‍ක් ධාවනය වෙයි. මා කියන දිනයේ කිසිදා නොවුන පරිදි ජාතික ගුවන් විහිලුවෙන් ඇසෙන්නට වු ගීත වෙනදානම් එකපෙලට වාදනය වන ඒවා නොවේය. මාගේ මතකය නිවරදි නම් වාදනය ඇරබුනේ පුන්සිරි සොයියා මහතාගේ "සුභා කියා මා ඔබ අමතන්නද" යන ගීතයෙනි. කළණ මලයා කරකර හිටපු දේ නවතා සිංදුව අසන අතර දත්මිටි කමින් රේඩියෝව ගිලින්නට මෙන් ඒදෙස බලයි. ඉන් පසුව පිලිවෙලින්
  • මිල්ටන් පෙරේරා මහතාගේ "එදා රෑ ගුවන්තොටුපලේදි" ගීතය
  • නාමල් උඩුගම ගේ "වෙන්වන්නේ නෑ සමුගන්නේ නෑ" ගීතය
  • නීලා වික්‍ර‍සිංහ මහත්මියගේ "පාරමී දම් පුරමු අපි දෙදෙනා" ගීතය
  • සෝමතිලක ජයමහ මහතාගේ "දමා යන්නට නොහැකි මිහිමත" ගීතය
  • බන්දුල විජේවීර මහතාගේ "කුල ගෙදරින් දුම්බර කදුවැටියේ" ගීතය
  • අමරදේවයන්ගේ පෙරදිනයක මා පෙම්කල යුවතිය ගීතය
  • ආදර හසුන චිත්‍ර‍පටයේ සුදු මුතු රළ පෙළ ගීතය 
  • අමරසිරි පීරිස් මහතාගේ "ඉකි ගසා හඩන අතීතයක කදුලු එක්ක" ගීතය
ආදී වශයෙන් වාදනය වන විට මීලග ගීතය ලෙස ඇසෙන්නට වුනේ තවත් විරහා ගීතයක් සේ පෙනෙන ගීතයකි. නමුත් මමද මේ ගීතයට දැඩි සේ ඇලුම්කරන නිසාවෙන් අපේ කා.කා.ස තැන්පත් සුමනසිරි අංකල් ට සද්දේ වැඩිකරන්නැයි ඉන්ටර්කෝමයෙන් ඇමතුමක් දී කීවෙමි. පුන්සිරි සොයිසා මහතාගේ තවත් ගීතයක් වු එය මෙසේ මහ හඩින් වාදනය විය.
"සුභාෂිණී ඔබ මගේ නමට එව් ඇරයුම් පත ලැබුණා
මනාලියක වී සුබ මොහොතින් අද යන බව එහි තිබුණා
ඊයේ වනතුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුනා"

යනුවෙන් ගීතය වාදනය වන අතරතුර කළණ මලයාගේ ඉවසීම පැන එකවරම සුමනසිරිට කෑ ගැසුවේ ඕක වහපන්කෝ බන් කියලාය. ඒකාලයේ ජනක මහතා දෙවියන් වහන්සේ වෙත යාමට පෙර අප සමඟ ගත කල සමය වු බැවින් ජනක් අයියා කළණ ගෙන් ඇහුවේ ඇයි උබට ඔය සිංදුව ඇහුණම මොකද වෙන්නේ නිකන් කිචි වගේද කියලාය. අනේ කොල්ලා දුන්න උත්තරය නිසා කම්පනයට පත් අප  කිසිදු කථාවකින් තොරවම අපි රේඩියෝව වසා දැමුවෙමු.කොල්ලා අඩමින් පැවසුවේ බුදු අයියේ මගේ කෙල්ලගේ නමත් ඕකමයි කියලායි.

පසු සටහන

  • පුන්සිරි මහතා ගයන මේ ගීතය මාගේ ජීවිතයටද දැඩි සමීප බවක් ඇති නිසාවෙන් මම මේ ගීතයට දැඩිලෙස ඇලුම්කරමි. මා පමණක් නොව ජනක අයියා හා සිතාර අයියාද මේ ගීතයට ඇලුම්කරන නිසාවෙන් ශබ්දය වැඩිකරන ලෙස අප පැවසුවෙමු.
  • මෙම ගීතයට පසුබිම් වු නිධාන කථාව අප සංවිධානය කල සංගීත සන්දර්ශණයක් අතරතුරදී පුන්සිරි සොයිසා මහතා අපහට විස්තර කලා මට අද මෙන් මතකය. ඒ පිලිබදව වෙනත් දිනක අකුරුකරමි.

ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........

Saturday, January 23, 2016

හොර දොස්තර සහ රෝයල් සර්ජරි සුද්ධය

මේ සිදුවීම වන විට මමතුමා ලංකා බැංකුවේ දෙමටගොඩ සිට අන්තර්ජාතික අංශයේ ලැබෙන විදේශ ප්‍රේෂණ දෙපාර්ථමේන්තුවට ස්ථාන මාරුවීම් ලබා පැමිණි අලුතම වාගේය. Money Gram, Ria, Sigue වැනි විදේශ මුදල්  ලංකාවට ලැබෙන්නා වු බැංකුවක් සතු විශාලතම හා ප්‍රධානතම ජාලය ලංකා බැංකුව වෙනුවෙන් එහි සියලුම පාලන කටයුතු සිදුවුයේ පිට්ටු බම්බුවේ නවවන මහලේ පිහිටුවා තිබු අප අන්තර්ජාතික දෙපාර්ථමේන්තුව මඟිනි. වරක හිරු නොබසින රාජධානියේ Money Gram මුලස්ථානයෙන් ලංකාවේ සේවය ලබාගන්නන් දිරිමත් කිරීමට ගණුදෙණුකරුවන් හට තිළිණයක් පිරිනෑමීමට කටයුතු කර ට්‍රැවලින් බෑග් තොගපිටින් දෙපාර්ථමේන්තුව වෙත එවන ලදී. සෑම බෑගයක්ම වර්ණ කරදාසිවල දවටා අදාල ශාඛා වෙත යැවීම අපට බාර විය.
මේවා කපන්නට කොටන්නට කතුරු නැතිව ලත වන විට මාහට සිහිවුයේ මාගේ සොයුරියක පැවසු සැත්කම් තල නොහොත් Surgical Blades පිලිබද මතකයයි. මිල අඩුකම හා පාවිච්චියේ පහසුව මත එය භාවිතා කිරීමට සියල්ලන්ම කැමැත්ත පල කල නිසා අවැසි මුදල් කැල්වින් මහතාගෙන් ලබාගත් මමත් පොඩි අමිල අයියාත් පලමු හරස්වීදියේ රෝයල් සර්ජරියට ගියේ අවශ්‍ය අඩුමකුඩුම මිලට ගැනීම සදහාය. පහත ජායාරූපයේ ඇත්තේ තල වල මට්ටම් දැක්වෙන සටහනයි.
අප මිල ගනන් විමසා අංක 11/15/23/24 යන ප්‍රමාණයන්ගෙන් තොග මිල ගණන් විමසූ අතර එක තලයක් රුපියල් 30/- වන බව බඩතඩි මුදලාලියා පැවසුවත් මා සමග ගිය පොඩි අමිල අයියා වෙනත් ගණුදෙණු කරුවකු හා කල කථාවකට කනදමාගෙන සිට කිව්වේ මල්ලී මු අපිට තිහයි කියලා අර අව දෙමල එකාට දහයයි කියලා දෙමලෙන් කිව්වා මුට මතක හිටින්න දෙයක් හෙට කරමු දැන් එකක් විතරක් අරගෙන වර යන්න කියලාය. අපේ වාසනාවට හා බඩතඩි මුදලාලියාගේ අවාසනාවට අමිලයාට දෙමලබස හැසිරවීමට හැකියාව ඇත. පසුදා අපේ අංශයේ තරුණ තරුණියන් දහයක් පමණ රෝයල් සර්ජරි සුද්ධය දෙන්නට යන්න ලක ලැහැස්ති වී රෙඩිපිට සිටියහ. රෝයල් සර්ජරියේ බඩතඩි මුදලාලි සහ ගෝලයන් පිස්සු වැට්ටවීම අපගේ පැතුම නිසා අප සියලු දෙනාම අවසන් වසර වෛද්‍ය සිසුන් ලෙස හා ජීවකයින් ලෙස වෙස්ගෙන රෝයල් සර්ජරිය වෙත ගියෙමු....
 
මමත් මිනෝලි අක්කාත් අමිල අයියාත් පලමුව ඇතුලට ගොස් අවශ්‍ය දෑ තොරන විටම පෙර සැලසුම් කල පරිදි"ඩොක්ටර් වෝඩ් එකෙන් කෝල් එකක් ප්‍රේශන්ට් ට අමාරුයිලු" කියමින් එතනට කඩාගෙන පැන්නේ චන්දන මලයාය. මහාචාර්ය හෙඩ් (හොර) ඩොකාගේ චරිතය රගපෑ අමිල වෙදදුරු තුමා දුරබණුව ගෙන හර්ණියා තද වෙලානම් යකුනේ ඉක්මනට තියටර් එකට ගනිල්ලා. සිහිනැති කරන්න වෙලා යනවානම් එ්ක පස්සේ කරගන්න පුලුවන් ඉස්සෙල්ලා කපලා ඉදහන් යැයි පවසා මාගේ අතට දුරබණුව දෙන විට බඩතඩි මුදලාලියාගේ ඇස්දෙක නලලෙනුත් උඩය. මහත්තයෝ එහෙමත් කරන්න පුලුවන්දැයි ඇසූවිට අමිල වෙදදුරු තුමා කිව්වේ බඩ විතරක් නෙවේ මුදලාලි වෙන වෙන තැනුත් සිහිනැති නොකරම කපනවා කියාය.
ටිකකින් බලද්දී අපේ මහාචාර්ය තුමා දුරකතනයෙන් බයිපාස් එකක් කරනවාය. විශේෂත්වයනම් සැත්කමට අවශ්‍ය ශල්‍ය උපකරණ ගැන උපදෙස් දෙන්නේ අලෙවියට ඇති දෑ අතට ගෙන පරීක්ෂා කරමින්මය.

මුදලාලිට කිසිවක් සිතාගැනීමට ඉඩ නොතබා චතුරිකා හා රුචිර ඇවිත් ඇහුවේ මුදලාලි අපි කොළඹ මෙඩිකල් එකෙන් නොම්බර 15 සයිස් එකේ වෑල් කපන්න පුලුවන් බ්ලේඩ් තියෙනවානම්  කියායි. අපේ දහ දෙනාම දැන් ඇතුලට ඇවිත් රටේ නැති ජාති මුදලාලියාගෙන් ඉල්ලයි. සමහර දෙබස් මෙසේවිය.
අමිල-: මුදලාලි හම ඉරන කතුරු නැද්ද? එක පාරම ගලවන්න පුලුවන් ජාතියේ එක
මුදලාලි-: මහත්තයෝ ඒවා එන්නේ නෑනේ දැන්(මුදලාලි හොල්මන් වී)
මමතුමා-: මල්ලී අර බයිපාස් කරනකොට ඉල ඇට කුඩු වෙන්න ගහන මිටිය තියෙනවාද (ගෝලයෝ රොත්ත කොර)
මිනෝලි-: මුදලාලි  වයර් කපන්න පුලුවන් 15 බ්ලේඩ් 20ක් දෙන්න...
ගෝලයා-: වයර්  කපන්න නම් මෙකෙන් බැරිවෙයි මොන වයර්ද කපන්න යන්නේ 
මිස්? ගෙයක් වයරින් කරන්නද?
මිනෝලි-: ඔව් මල්ලී මේ බඩවැල් වගයක් වෙල්ඩින් කරන්න කියලා බැලුවේ

දවසේ හොදම ක්‍රියාව කලේ නිම්සරා අක්කාය 23 තලයක් ගෙන සර් මේවා කැපෙනවා හොදද කියලා බලන්න ටෙස්ට් කරා නම් හොදයි යැයි පැවසුවේ දවසට ඩොකෙක් වු මටත් හෙඩ් ගේ භූමිකවට පන පෙවු අමිල අයියාටත්ය. අමිල මහාචාර්ය තුමා ගත්තු කටටම කිව්වේ අපි පැමිණි වාහනයේ ඇති මෘතදේහය කපා බලා පරීක්ෂාකරගෙන එන ලෙසය.නිම්සරා අක්කා අත්ආවරණයක් ද පැලැද යනවිට මුදලාලියා කටත් ඇරගෙන බලා සිටියේ අපායෙන් පැමිණි යකුන් රැලකට හසුවුවාක් මෙනි. කෙසේ හෝ පැයකට ආසන්න කාලයක් මුදලාලියා සහ ගෝල රොත්ත බයිට් කල අපි ආපසු එන්නට හැරුනේ පෙරදින 30/- කිව්ව තලය රු10/- මිලට ගනිමිනි. ගෙනගිය මුදලට විවිධ ප්‍රමාන වලින් තල 50ක් පමණ අපි රැගෙන ආවෙමු. අපේ රාජකාරියට වැය වුයේ තල 20කටත් අඩු ගනණකි. මම ජීව විද්‍යාව හැදෑරූ මාගේ සොයුරෙකුටද තල කිහිපයක් ගෙනවිත් දුනිමි. තවමත් අප දෙපාර්ථමේන්තුවේ අය සතුව මෙම ආයුධය පවතී. පහතින් ඇත්තේ මාගේ මේස ලාච්චුවේ ඉතිරිව තිබු එවැනි කිහිපයක ජායාරූපයි..
                                        

අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට අපට රුපියල් 5000/- මුදලක් ලැබී තිබුණද සියලු දෑ සදහා වියදම් වී තිබුනේ දහසකට ආසන්න මුදලකි. අප දෙපාර්ථමේන්තුවට ලැබෙන මුදල් වලට සිදුවිය යුතුවන්නේ කෙසේ හෝ වියදම් වීම පමණක් යුතු නිසා ඉතිරි මුදලින් සවස තේ පානයට ඇවැසි කේක් පෙරේරා මහතා සහ පුත්තුන්ගේ අලෙවි සැලෙන් මිලට ගෙන ආවෙමු....


පසු සටහන


  • සර්ජිකල් බ්ලේඩ් වලින් කපන්නට ගොස් සමහර බෑග් ප්‍රයෝජනයක් ගත නොහැකි ආකාරයටම කීතු කීතු වලට කැපී ගොස් තිබුණි. මෙම තලය ඉතාමත් තියුණු නිසා ගැවුණු විටම කැපී යයි. කැල්වින් බොස් සහ අකාලයේ දෙවියන්වහන්සේගේ තුරුලට ගිය ජනක බොස් වැඩිම බෑග් ගණනක් කැපීමේ වාර්ථාවට හිමිකම් කියන ලද අතර ආසන්නව එකසිය පණහක් පමණ ඉවත්කර දැමීමට සිදුවිය.
  • කට්ටියට අප මෙය දුන්නේ තලයේ තියුණුබව සැමට සිහිකැදවමිනි.
    නමුත් අක්කලා අයියලාගේ අතපය සියුම් ලෙසද කැපී ගොස් තිබුනි.
    සුදු අක්කලා අයියලා අතපය වලින් රතු ලේ හලනු ඒ දිනවල සුලබ දසුනක් විය. රුචිර මල්ලී අත කපාගෙන රිදෙන්නේ නෑ කියු සැනින්ම අඟල් දෙකක් පමණ කැපුනු තැන විවෘත වී ලේ ගලනා විට පිට්ටු බම්බුව දෙවනත් වෙන්නම නැගූ විලාපයට බියවී අප සහාකාර මහා කළමණාකාර තුමානෝද ඇගේ හලාගත් කෝපි කෝප්පයක් සහිතව අප ඉදිරියේ දර්ශණය විය. පසුව ආයතන වෛද්‍යවරයා ලවා රුචිරගේ අතට මැහුම් යෙදීමටද සිදුවිය.
     
  • බඩතඩි මුදලාලියාව තවත් බයිට් කලානම් ඒ අසරණයා පිස්සු තදවී මුල්ලේරියාවට ගොහින් දමන්නට වෙනවා ඒකාන්තය. සුදු කබායන් ඉල්ලාගෙන ගියේ අසල තිබු ඔසුසලේ අප හිතවත් මිතුරෙකුගෙනි. මේ ලඟකදීත් මම රෝයලයට ගොඩවූ විටත් මුදලාලි අප ඇමතුවේ Doctor කියාය.


ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.............

Wednesday, January 20, 2016

ලේ දන්දීමේ පිංකම සහ මිතුරෙකුගේ නික්මයාම

ඔබ ජීවිතයේ එක් වරක් හෝ රුධිරය ප්‍ර‍දානය කරතිබේද?
ඔබ ප්‍ර‍දානය කරණු ලබන සෑම ලේ පයින්ට් එකක් පාවිච්චියෙන් ජීවිත 3 දක්වා බේරා ගත හැක.
අවුරුදු 18 ට වැඩි 60 ට අඩු නිරෝගී වැඩිහිටියෙකුට හිමෝග්ලොබින් ප්‍ර‍තිශතය ඒකක 12 ට වැඩි නම් සෑම මාස හතරකටම වරක් ලේ පයින්ට් එකක් දක්වා පරිත්‍යාග කල හැක.ප්‍රධාන රුධිර ගණ හතරකි. (A, B, AB, O) ඒවා තවදුරටත් positive හෝ negative ලෙස Rh සාධකය (Rh factor) අනූව බෙදේ. රතු රුධිරාණු සඳහා AB යනු සර්වප්‍රතිග්‍රාහකයෙකි O negative යනු සර්වදායකයෙකි.පළමුව මෙසේ රුධිර වර්ග හතරක් ඇති බව හඳුනා ගන්නා ලද්දේ 1901දී වෛද්‍ය කාර්ල් ලෑන්ඩ්ස්ටයිනර් (Dr. Karl Landsteiner) විසිනි.
පිළිකා සඳහා ප්‍රතිකාර ලබන ළමයින්, අඩු වයසින් උපන් ළමයින්, හදවත් සැත්කම් වලට ලක්වන ළමයින්ට රුධිරය මෙන්ම පට්ටිකාද ඒ ඒ අදාල රුධිර වර්ගයෙන් අවශ්‍ය වේ.රක්ත හීනතාවයෙන් පෙළෙන රෝගීන්ට රුධිර සෛල ප්‍රමාණය වැඩි කිරීමට රුධිර පාරවිලයනය යොදා ගත හැක.තැලසීමියාව නම් ප්‍රවේණික රෝගය ලංකාවේ පුද්ගලයින් 2000 කට පමණ ඇති අතර ඔවුන්ට මාස්පතා රුධිර පාරවිලයනයන් අවශ්‍ය වේ. ලංකාවේ ලේ බැංකු ප්‍ර‍ධාන වශයෙන් AB- සහ B- යන රුධිර කාන්ඩයන් අධික හිඟතාවයකින් පෙලේ

ලේ දන් දී නැති අයගෙන් 17% පවසන්නේ ඒ ගැන කිසිවිටකත් නොසිතූ බවත්, නොදැන සිටි බවත් ය. 15% ලේ දන් දීමට තමාට විවේකයක් නැති බව පවසයි.ලේ දන් දෙන අය ඊට පෙළබීමට ප්‍රධානතම හේතුව ලෙස දක්වන්නේ අනුන්ට උදව් කිරීමට ඇති කැමැත්තයි.ලේ දායක කිරීමට පමණක් ගත වන්නේ විනාඩි 15 කටත් අඩු වේලාවකි. ඔබ පැමිණි වේලාවේ සිට ලේ දී පිට වනතුරු පැයක් පමණ ගත වේ.ලේ පරිත්‍යාගයකින් පසුව පිටවූ දියර පැය කීපයක් ඇතුලත රුධිර සංසරණ පද්ධතියට එකතු වේ. රතු රුධිරාණු සති හතරක් ඇතුලත පෙර මට්ටමට පැමිණේ. පරිත්‍යාගයේදී වැය වූ යකඩ නැවත අවශෝෂණයට සති අටක් පමණ ගතවේ.ලේ පරිත්‍යාගයෙන් ඒඩ්ස් හෝ වෙනත් බෝවන රෝග වැළඳීමේ කිසිදු හැකියාවක් නැත. එසේ රෝග බෝ වෙනවායැයි කීම මිත්‍යාමතයක්ම වන්නේය.

****************

ඉහතින් රුධිර පාරවිලනය පිලිබදව කෙටි සටහනක් තැබුවේ අද කථාවට ප්‍රවේශයක් ලබාගැනීමේ පහසුව තකාය. 
ධනුෂ්ක සමරකෝන් නම් ඔහු ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලය පලමු වරට 2002 දී බිහිකල ඉංග්‍රීසි මාධ්‍ය පන්තියෙන් අරබා උසස්පෙල මා සමගම වාණිජ අංශයේ සමාන්තර පන්තියක ඉගෙනුම ලැබුවෙක් විය.
හදිසියේ ඇතිවු මොලයේ ගෙඩියක් හේතුවෙන් අප කිසිවෙකුත් නොසිතූ ොපැතූ මොහොතක අපෙන් සමුගෙන පුරා වසර තුනක් සම්පූර්ණ වන් මෙම වසරටය. ඔහුත් සමඟ ඉගෙනුම ලැබූ 11 F පංති සඟයන්ගේ සංවිධාන හා මූල්‍ය ශක්තියෙන් පුරා දෙවසරක් ලේ දන්දීමේ කදවුරක් පවත්වන ලදී. එහි තෙවන අදියර මෙම එලැබෙන පෙබරවාරි 13 දින පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට 
Merit Foundation එකමුතුව විසින් සංවිධානය කර ඇත.
  
දිනය    - 2016 පෙබරවාරි 13 සෙනසුරාදා

ස්ථානය
- ගම්පහ සාම මහා විහාරය (රත්නාවලී විදුහල අසල)

වේලාව  - පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා

ඉතින් ඔබටත් හැකියාවක් ඇත්නම් එදිනට සහබාගී වෙලා රුධිරය දන්දෙන්නට එය මහඟු පිංකමක්ම වේවි. විශේෂයෙන් ඔබ  B+ B- O-AB- රුධිර කාණ්ඩ වලට අයත්නම් මතක තබා ගන්න එම රුධිර කාණ්ඩයන් යනු ලේ බැංකුවට හිඟම හා අත්‍යාවශම වන රුධිර කාණ්ඩයන් බව. හැකියාවක් ඇතොත් ඔබත් ඇවිත් යන්න එන්න.......


ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි.......

Sunday, January 10, 2016

බැංකුවේ ජීවිතේ පලමුවන කොටස - වැරදුණු කුරුමානම සහ කාමසූත්‍රය

කිසිදා නොකියන්නට සිතාගෙන සිටි කතා බොහෝම වන නමුත් අවසානවරට මම කිව්ව සිරියලතාගේ මල්වඩම කතාවෙන් පසු මාහට හොදින් පුරුදු අංකයකින් ලද දුරබණු ඇමතුමකින් ලැබුණේ තර්ජනයකි."අඩෝ තෝ ආයේ අපේ පැත්තේ එනවා එහෙම නෙවේ" යන්න ඒ සොදුරු තර්ජනයයි. තර්ජනයේ හිමිකරු කලින් කතාවේ ගරු රගපෑම කල මහමොළයයි. දීර්ඝ කාලයකින් පසුව අතීතය සිහිකරමින් කථාව ඇදීයන විටම ඔහු සිහිකෙරුවේ තවත් චරිතයක් කල අමතක නොවන රඟපෑමකි. හිරන්ත අයියාගේ ඉල්ලීමට ගරු කරමින් මම කිසිදා නොලියන්නට සිටි මේ ප්‍රේම කථාව කුශාන් වෙනුවෙන් අද මෙසේ සටහන් කරමී. අද කතාවෙහි මතු දැක්වෙන රොමියෝ ජුලියට් ගේ නම් දෙක පමණක් සත්‍ය නාමයන් නොවන බවත්, ආරූඩ කරගත් පුද්ලගනාමයන් උපයෝගී කරගෙන මෙය ඉදිරිපත් කරන බවද කියවන්නෝ සලකනු මැනවි.
මම දෙමටගොඩ පය ගැසු සමය වෙන විටත් අපේ කුශාන් අයියා තනිකඩ කොල්ලෙකි. බැංකු සේවකයන්ට උරුම වන ලබ්බයි තට්ටෙයි අඩුවයසින්ම ලැබෙමින් සිටියද එකල වයස අවුරුදු විසිඅටක් පමණ අයෙකි. ශ්‍රී ලංකා යක්ෂවිද්‍යාල පද්ධතියේ හන්තාන උප දෙපාර්ථමේන්තුවේ භෙෘතික විද්‍යා උපාධිදාරියෙකු වු මේ උත්තමයා නිකන් සිටින වේලාවට ඇසුරු කරන්නන්ට පූසෙකු මෙන් හීලෑ අයෙකි.නමුත් දිනයේ මුදල් බැලන්ස් නොවී මල පැන්න විට ඊරියකා ඉහමුදුනට වඩින බැවින් ඒ වේලාවට කවුරුත් ඒ පැත්තට නොයන්නට වල බලාගන්නේ තම ආරක්ෂාව තකාය. වැරදිලාවත් ගියහොත් අතට අහුවන දෙයක් පියබා ඔබවෙත පැමිණීමේ සම්භාවිතාව වැඩිය.
කුශානයාට අංගනවන් නයාට අඳුකොල මෙන් විය. සරසවියේදී අනුබව කරන ලද රසවත් බූට් එකක් නිසා "ගෑණු ජාතිය ජරා ජාතිය" යන තියරියෙන්ම සිටියෙකි අපේ කුශාන් ලොකු අයියා. මේ අතර අපිට අලුතින් පැමිණි සාමාජිකාව වුවේ රීජන්ට් වීදීයේ ශාඛාවෙන් පැමිනි අපේ තේජානි අක්කාය.ඇය ඉතා ඉක්මණින් අප හා මිතුරු වුවේ දිගුකලක් දැන සිටි අයෙකු විලසින්ය. මැදි වයස පසුකල ආච්චිලා සීයලා රැසක් මැද තරුණ වයසේ සිටියේ අප කිහිප දෙනෙකු පමණක් වීමද එසේ වීමට හේතුවක් වන්නට ඇත. සතියකට පැමිණියත් ඇය අවසානේ අප ශාඛාවටම සින්න වීමට බල පෑවේ ජයකොඩි මහතාගේ ඇඟ පුරා දුවා ඇති කට්ට මොලයයි. ඇගේ ආගමනය මේ තරම් විශාල වෙනසකට මුලපුරනු ඇතැයි අපි ඒ මොහොතේදී කිසිදු විටෙක නොසිතුවෙමු....
කොහොම කෙල්ලන්ට ගෙම්බර් දැම්මාත් අපේ ලොකු අයියාට අනංගයාගේ මල්සරින් බේරීමට නොහැකිවිය ඉදලා ඉදලා මල්සරා විද්දේ කුශාන් අයියාගේ පපුවටමය. එදා සිට වෙනස් කම් රැසකි. කොටින්ම කිවහොත් අපිත් එක්ක වෙනදා කෑමට යන කුශාන් දැන් ක්‍රෂ් එක කන්න යන වෙලාව බලාගෙනම කෑමට යන්නේ අනේ මල්ලි මේක කරලා දාපන් යැයි කරකරහිටපු දේ අපේ ඇගේ පටවලාය.නමුත් මේකා කෙලින්ම ආදරය ප්‍රකාශ කිරීමට බියවිය. ජයකොඩි සර් නම් කුශාන්  අයියාට දඩයම කරගන්නට හැකි පමණ සහයෝගය දැක්වූයේ රාජකාරී සදහා දෙදෙනාව එකට යොදවමින්ය. තේජානි අක්කාට ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නට යැයි ඉවෙන් මෙන් දැනී කුශාන් අයියාව මග හැර මගේ අංශයට පැමිණි අතර මුදල් අංශයේ සිටි මේකා මාවත් හර්ෂවත් බලෙන් මුදල් අංශයට තල්ලුකර දමා ණය අංශයට පැනගත්තේ තේජාණි අක්කාව අපි ඩැහැගෙන යාවි යන බියෙන් විය යුතුමය. ආරම්භ කල දෙයක අවසානයක් තිබිය යුතු නිසා අපි කුශාන් අයියාට බලකලේ අක්කාගෙන් කැමැත්ත විමසා බලන ලෙසයි.
අවසානයේ එයට අවශ්‍ය පසුබිම සකස් කිරීම භාරගත්තේ දිල් අක්කාය. ඇගේ නියෝග මත ඉහත ජායාරූපයේ පරිදි එදින තේජාණි අක්කා කෑමට එන වෙලාවට වෙන කිසිවෙකුටත් කෑමට උඩුමහලට යාම තහනම් විය. කිසිවෙකු හෝ කඩකලහොත් දඩුවම් ලැබෙන වරදකි. මෙහෙයුමට උර දුන් මමත් හර්ෂත් ජයකොඩි මහතාත් කෑම කාබරයට ආසන්න ගබඩාවේ කල් වේලා ඇතුව සැගවී සිටියෙමු. දිල් අක්කාත් සෙව්වන්දි අක්කාත් නොපෙනෙන තැන් වල ස්ථාන ගතවී සිටියහ. හිරන්ත අයියා පුරුෂ දහිරිය වඩවා ගෙන අක්කා සමග කතාව අරබා කල කී දෑ අසල සැගවී සිටි අපිට හොදින්ම ඇසුනු අතර සර් කිව්වේ මේකට ලව් කරන්න උගන්නන්න තමා විසින් වෙනම පංතියක් කල යුතු බවයි කෙසේ හෝ වේවා කුශාන් අයියාගේ පදුරවටේ තැලීම ඉවසා සිටීමට නොහැකි වු මමත් හර්ෂත් ගබඩාවෙන් එලියට එනවාත් සමගම අපටපෙර "මංගලම් ජය මංගලම් වේවා සිරිසුභ මංගලම්" යැයි කියමින් එතනට කඩාපැන්නේ අපේ වියපත් බඔරා වන ජයකොඩි කළමණාකාරතුමාය. කුශා හා තේජාණිට කිසිවක් සිතාගැනීමට ඉඩක් නොතබා අපේ අනික් කට්ටියද සැගවී සිටි තැන්වලින් මතුවන්න විය.
කාලය කෙමෙන් ගෙවී යන විට දෙදෙනාගේ ආදර කතාවද කෙමෙන් මොරන්නට විය. කුශාන් අයියා හා තේජානි අක්කා එකට කවුන්ටරයේ රාජකාරී කරමින් සිටිනා විටදී අපි ඇගට පතට නොදැනී කියන්නාවූ කටකැඩිච්ච කුප්ප කතා වලට අක්කා හෝ අයියා කවදාවත් අපි හා තරහාවුනේ නැත.මෙහිදී දෙදෙනාට කපුකම කිරීමට මඟුල් කපුවා වුයේ මමත් හර්ෂත්ය.
දෙදෙනාගේම උපන්දින යෙදී තිබුනේ එකම සතියක දින දෙකකදීය දෙදෙනාට දීමට තෑග්ගක් අපි පොදුවේ යොජනා කල විට ජයකොඩි සර් කිව්වේ නියම තෑග්ගක් තමා ගෙන එන බවයි.කුශාන් හා තේජානි තවම අතදරුවන් බැවින් තමා ගෙන එන තෑග්ග උන්ට මතුවට උවමනා විය හැකිබව සර් කිව්ව නමුදු කුමක්දැයි හෙලිකලේ නැත. පසුදා ජයකොඩි සර් ගෙන ආ තෑග්ග මා අතට පත් කලේ අනිත් උන්ට පෙන්වා ඉක්මණින්ම පාර්සල් කරන ලෙස කියමින්ය. තෑග්ග දුටු  උපන්දින කාරයන් හැර අනෙක් සියල්ලන්ම ඇතිපදම් සිනාසුනහ. කොටින්ම කිවුවොත් දෙදෙනාව දකින විට තෑග්ග අරඹයා විශේෂ හෑන්ඩ් සිග්නල් එකක් පවා දෙමටගොඩින් බිහිවිය. ත්‍යාගය වුයේ එකම පොතක පිටපත් දෙකකි. 
ඒ මහා ග්‍රන්ථ රාජයා නම් තරුණ තරුණියන් අත් පොතක් සේ දිවා රාත්‍රී පරිශීලනය කල යුතුයැයි පැවසෙන්නාවුද පුරාණ ඉන්දියාවේ විසු වාත්ස්‍යායන මහා පඬිතුමාණන් විසින් අදින් අවුරුදු එකදහස් හත්සීයකටත් පෙර කාලයකදී හුදී තරුණ තරුණියන්ට අනුකම්පාවෙන් චිත්‍ර සටහන් සහිතව ග්‍රන්ථාරූඪ කරන ලද ''කාම සූත්‍ර'' නම් වූ අනර්ඝ පුස්තකයේ ඔරිජිනල් ඉන්දියන් පිටපතයි. ජයකොඩි මහතා දෙදෙනා පිලිබද ඇතිවු ශෝකය හේතුවෙන් තෑග්ගට ගෙනැවිත් දුන්නේ ඒ මැහැඟි පුස්තකයයි. කාලය කෙමෙන් ගතවන විට දෙදෙනාගේ ආදරය ගලාගිය අතර 
"සියලු කාරනා අවසානයේදී කුශාන් අයියා හා තේජානි අක්කා විවාහ දිවියට ඇතුලත්ව මේ වන විට සාර්ථක විවාහ දිවියක් ගත කරයි " 
යනුවෙන් පවසා මේ කතාව අවසන් කරන්නට තිබුණේනම් කොච්චර හොදදැයි මෙය ලියන මොහොතේත් මට සිතුනද සත්‍ය වශයෙන් එසේ අවසන් කර ගැනීමට කුශාන් අයියා සමත් වුයේ නැති බව කණගාටුවෙන් වුවද පවසමි. එය කුශානයාගේම වැරැද්දෙන් සිදුවු දෙයක්මයි


මෙසේ කාලය කෙමෙන් ගතවන අතරතුර කුශාන් අයියාට සැකය නැමැති භයානක විශබීජය සිතට ඇතුල්වීමට පටන්ගෙන තිබිනි. නිතරම ඔහු අක්කා දෙස බැලුවේ සැකයෙනි. ඇයගේ ජංගම දුරබණුව සෑම දිනකම පරීක්ෂා කරන ලොකු අයියා නාදුනන අංකයක් තිබුනොත් පරලවෙයි. තරුණ ගණුදෙණුකරුවකු කරුමෙකට ඇයහා සිනාසුනහොත් මේකා දුම්මලවරම ගත් කපුවා මෙන් කෝප වෙයි. අක්කාට තිබූ ඇගේ නිදහස කෙමෙන් කෙමෙන් නැතිවනබව පැහැදිලිවම පෙනෙන්නට විය.මේ නිසාවෙන් කුශාන්ව වෙනත් අංශයක නිලධාරියා කර මම හෝ හර්ෂ මාරුවෙන් මාරුවට මුදල් අංශයට යවන්නට ජයකොඩි මහතා කටයුතු කලේය. 

කුශානයා සේවයට නොපැමිණි එක්තරා අදුරු වැසි දිනක දසකන් මන්ත්‍රණයක් අප උඩුමහලේ ඇතිවිය.මමත් ජයකොඩි මහතාත් දිල් අක්කා සහ තේජා අක්කාගේ පියානන් එහි මුසල සාමාජිකයන් විය. තේජානි අක්කා එදින ප්‍රකාශ කලේ අයියා පනවා ඇති නීතිරීති මත තමාට තවත් මෙම සබදතාවය පවත්වාගෙන යානොහැකි බවයි.තමාට සිරකාරියක ලෙස ජීවත්වීමට නොහැකි බවද ඇය පැවසුවාය. ඇය ජයකොඩි මහතාගෙන් ඉල්ලා සිටියේ තම ගම්පලාත ආසන්නයට ස්ථාන මාරුවක් ලබාගැනීමට උපකාර කරන ලෙසටයි. ජයකොඩි මහතා එයට එකගතාවය පලකල නිසා ඇය පසුවදාම සිය ලියකියවිලි ඉදිරිපත් කලාය.කුශාන් අයියාත් තේජා අක්කාත් සතුටින් දිවි ගෙවනු දැකීම අප කාර්යය මණ්ඩලයේ අවංක පැතුම උවත් එය දැන් බිදවැටී ඇති බැවින් අකමැත්තෙන් වුවද ජයකොඩි මහතා "A" පෙල අත්සන් තබා දුන් ඇයගේ ඉල්ලුම්පතට අනුප්‍රාප්තිකයෙකු රහිතවම නිදහස් කරන බව සදහන් කර"B"පෙල අත්සන් යෙදීමට මටත් හර්ෂටත් සිදුවිය.එය අප රාජකාරී ජීවිතය තුල මුහුණ දුන් අපහසුතම රාජකාරියක්ම විය.



මාසයකින් පමන ඇයට ස්ථාන මාරුවක් ලැබුන ඇතර එය ඇයට දැන්වීමට පෙර කුශාන්ව සතියක කාලයකට බොරැල්ල ශාඛාවට යැවීමට ජයකොඩි මහතා කටයුතු කලේ සැකයක් ඇති නොවන පරිදිය. පසුව පොරොන්දු වු පරිදිම අනුප්‍රාප්තිකයෙකු රහිතවම ඇයව නිදහස්කර හැරියේය. ඇය පිටත්වී යාමට පෙර මටත් හර්ෂට හා දිල් අක්කාට කල උදව් වෙනුවෙන් ස්තූති කලාය. ඇයට මාරුවීම ලද ස්ථානය කුශාන්ට නොකියන්නට අප සැවම එකගතාවයකට පැමිණියෙමු. කෙටිකලක් තුල අපහට නොමැකෙන මතක සටහන් රැසක් ඉතිරිකර එක්තරා ගුරුදාවක අප ශාඛාවේ පඩිපෙල අවසාන වරට බැස ඇය නික්ම ගියාය.

ඒ සියලු විනාශයන්ට මුල් වුයේ සැකයයි. ආදරය කරනා විට අනෙකා කෙරෙහි විශ්වාසය දැඩිනම් වෙනත් සොයා බැලීම් කිසිවක් අනවශ්‍ය බව මගේ අදහසයි. දෙදෙනාම එකිනෙකාට අවංකව කටයුතු කරයි නම් කිසිදු ගැටලුවක් ඇති නොවන්නේය. විශ්වාසය පරම ඤාතියා යැයි පැරැන්නන් කීවේද කට කහනවාට නොවේය.
                                                         
*********

පසු සටහන



  • ඒ සිදුවීමෙන් වසර එකහමාරකට පසුව තේජානි අක්කාව මෑතකදී පිට්ටු බම්බුවේදී මාහට යලිත් මුණගැසුනි. පොඩි එකෙකුවද වඩාගෙන රාජකාරී බහුල වේලාවක මා ඉදිරිපිට අසුන්ගත් ජොඩුව කවුදැයි බලන්නට හිසඔසවනවාත් සමගම මම දුටුවේ සුපුරුදු සිනාසුන මුහුනෙන් යුතුව සිටි තේජා අක්කාය. ඇය දුටු විට මටත්, මාව දුටු විට ඇයටත් සිනා පහල වුයේ ජයකොඩි මහතා දුන් ත්‍යාගය අරඹයා අප විතරක් තේරුම දන්නා හෑන්ඩ් සිග්නල් එක මතක්වෙලාය. ඇය පැවසුවේ අප ලබාදුන් "කාමසූත්‍රය" තවමත් ආරක්ෂිතව ඇය සතු බවයි. පැරණි කථාබහ මතක් වන විට පිට්ටු බම්බුවේ ඉහල මහලක සිටි හර්ෂට දුරබණු ඇමතුමක්දී ඔහුවද එහි කැදවා ගතිමි.... 

  • කුශාන් අයියා බොරැල්ලෙන් එනවිට කූඩුව හිස්වෙලාය. ඔහුට කුමක් උනාදැයි මම නොදනිමි. ඒ ආසන්න කාලයේදීම මමත් හර්ෂත් දෙමටගොඩින් සමුගෙන පැමිණියෙමු. අවසාන සමයේ කුශාන් ලොකු ලොකු ගණන් කෑශ් ෂෝට් කල බව මා සමග පසුකලක කිව්වේ සවී අයියාය. අද කුශාන්ද එහි නැත.

  • අදත් ඉදහිට දෙමටගොඩ යැවෙන සෑම උදෑසනකම සිනාමුසු මුහුනෙන් good morning කියා අපිව පිලිගත් තේජානි අක්කාද, ඕනෑම අබ්ලික් ගැටලුවකට නොවරදින අබ්ලික් උත්තර තිබු ඇවිදින විශ්ව කෝෂයක් බදුවු ජයකොඩි මහතාව කළමණාකරුගේ අසුනේද සිටින්නාක් මෙන්ද ශාඛාව තුලදී අදටත් මට මැවී පෙනේ. මක්නිසාදයත් ඔබ සැමගෙන දුන් මතකයන් නොමැකෙන ලෙස සැමදා මා සතු නිසාය...




ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.........