Sunday, May 1, 2016

නිර්සත්වයෝ තෙවන කොටස - සරසවියෙදි අද විතරයි හමුවන්නේ

පලමු කොටසට
දෙවන කොටසට

මා නිහඩවම කල්පනා කලේ අපාගතවීමට තරම් මා කල වරද කුමක්දැයි කියාය. මම කෙමෙන් කෙමෙන් අතීතය සිහිකරන්නට වීමි.
මේ සියලුම අකරතැබ්බයන් හා අලකලංචි සිදුවීමට මූලික වූයේ හන්තාන අඩවියේ පේරාදෙණිය සොදුරු සරසවි භූමියයි. දෙවන වරටත් උසස් පෙලට පෙනීසිට සරසවි වරම් ලද මම ඒවන විට කළමණාකරණ හා තොරතුරු තාක්ෂණ පාඪමාලාවේ තෙවන වසරේ සිසුවෙකුව සිටියෙමි. 


අලුත් අධ්‍යනවර්ෂයක් සදහා පැමිණීමට නියමිත කණ්ඩායම නොහොත් අලුත් නැව පිලිගන්නට පලවෙනි පන්තියේ ජේෂ්ඪ උතුමන් වන අප සැදී පැහැදී සිටියෙමු. දිවා රෑ නොබලා ගලහ හන්දියේ සිට සරසවිය දක්වා සැරසිලි කටයුතු මැනැවින් සකස්කලෙමු. අලුත් නැව පිලිගෙන නවකවදය හා හැඩගැස්වීමේ කටයුතු අපවිසින් ඉතා උනන්දුවෙන් කරගෙන යන ලදී. අලුත් නැවක් පැමිණෙන තුරු වැඩිහිටි සිසුන් බලා සිටින්නේ කෙසේ හෝ ගොඩයාමටය. ඒ අතර තුර සිටි එක් අලුත් මානවිකාවක් කෙරෙහි මගේ සිතේ යම් අදහසක් ඇති වූ අතර ඇය කලුතර දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වුවාය. මගේ යහලුවන් විසින් කල කපුකමක් නිසා කෙසේ හෝ පසුකාලීනව ඇය මා කැමැත්ත විමසූවිට ඇගේ කැමැත්ත පලකලාය.
පසුවදා මටත් ඇයටත් මල්බකට් නාන්නට වුයේ මගේ පංති සගයන්ගේ මෙහෙයවීම හේතුවෙනි. එකල්හි මා නැවතී සිටියේ හිඳගල නේවාසිකාගාරයේය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවෙනා විට අපගේ සම්බන්දය ඇගේ නිවසට දැනගන්නට ලැබී ඇගේ මව එකහෙලාම විරුද්ධ වුවාය. නමුත් සරසවිය තුලදී අපට බාධාකරන්නට කිසිවෙකුත් නොවන නිසා අපගේ ආදර සම්බන්ධය බාධාවකින් තොරව ගලාගෙන ගියේය.
  
කාලය කෙමෙන් කෙමෙන් දින සති මාස ගතවන අතර තුර මාහට සරසවියෙන් සමුගැනීමට කාලය උදාවිය දෙවන පන්තියේ ඉහල සාමාර්ථයක් සහිතව සමත්වු මාහට ඒ ආසන්න කාලයේදීම ප්‍ර‍සිද්ධ ආයතනයක සේවයට එක්වීමට හැකියාව ලැබුණි. උපාධි ප්‍ර‍ධානොත්සවයෙන් පසුව මම මගේ නේවාසිකාගාර සගයන්ගෙනුත් සිව්වසරක් පුරාවට දැන හදුනාගෙන සිටි පිරිසගෙනුත්  සමුගෙන ඇයත් සමග පියමැන්නේ විශ්වවිද්‍යාලයක් මැදින් වැටී ඇති ලංකාවේ එකම දුම්රිය ස්ථානය වන සරසවි උයන දුම්රිය පලටයි. වෙනදා නිවාඩුවට ගමට යද්දීත් යලි පැමිණෙන විටත් එකට එකම දුම්රියේ පැමිණෙන අපි දෙදෙනාගෙන් අදින් පසුව සරසවියට ආයුබෝවන් කියා පැමිණි මම මෙම දුම්රිය ස්ථානය හරහා යලි කිසිදා නිවාඩුවට නිවසට යන්නටවත් නිවාඩුව අවසානයේ යලි සරසවියට පැමිනෙන්නේවත් නැත 

"සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ 
කිමද කුමරි නෙතු කදුලැලි පුරවන්නේ
දොඹ සූරන මහ වැස්සේ තනිකුඩයේ
අපි තනිවී දොඩමලු වූ හැටි දෙණියේ
කොමල පපා මුකුලු සිනා පෑ දෙතොලේ
මතකද මහවැලිදෑලේ සපු සෙවනේ 
අපේ මියුරු සීන පිරුනු රජදහනේ
මෙදා සුවද පමණි ඉතිරි හන්තානේ" 


දිගින් දිගටම ඇගේ මවගේ විරුද්ධ වීම් දැඩි වන්නට වු අතර මම මගේ ආයතනයේ සිටි වැඩිහිටි කළමණාකාරතමෙකු සමග ඇගේ මව මුණගැසීමට ගියෙමි ඇය මට අකමැති හේතුව පැහැදිලිව සදහන් නොකරන අතර මගේ කළමණාකරතුමාගේ පැහැදිලි කිරීම් හමුවේ කේන්ද්‍ර‍බැලීමට අවශ්‍ය යැයි පැවසු නිසා මම ඇයට විස්තර දී ආපසු පැමිණියෙමි. මම කිසිලෙසටවත් කේන්දර සත පහකටවත් විශ්වාස නොකරන්නෙක්මි. 
ආයතනයේ නිවාඩු දිනයක මම මාත් සමග නේවාසිකාගාරයේ සිටි මිතුරා වු සුමිත්ත ගේ නිවසට යතුරු පැදියෙන් ගියෙමි. නිවාඩුවක් ලදවිට ලංකාවේ කුමන හෝ ස්ථානයකට සංචාරයේ යාම එකල මාගේ විනෝදාංශය විය. අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගත් මම එතැනින් ගල්කුලමේ තවත් මිතුරකුද මුනගැසී රාත්‍රී හතට පමණ යාපනය හන්දියේ වු සුමිත්තගේ නිවසට ලගා වුනෙමි. එදිනම රාත්‍රීකාලයේ මට ලැබුණු දුරකතන ඇමතුමකින් කියවුනේ අයියේ අම්මා කියනවා කීයටවත් මේ සම්බන්දෙට කැමැති නෑ කියලා තව ඔයාලගෙ ගෙවල් ලග ඉන්න අම්මගේ යාලු ටීචර් කෙනෙකුත් ඔයාගැන වැරදි කතාවකුත් කියලා තියෙනවා අපි මේක නවත්තමු අයියේ කියලාය.
                                                                       යාපනේ හන්දිය

 එයින් කෝපයට පත්වු ඒ මහ රෑ යලිත් නිවස බලා පිටත්වීමට සැරසුනද සුමිත්ත ඇතුලු පිරිසගේ බලකිරීම මත උදෑසන වනතුරු ඉවසා සිට මම සැලෙන හදෙන් යුතුව සුමිත්තගේ නිවසින් පිටත්වුයේ අද දෙකෙන් එකක් හොදින් බැරිනම් නරකින් විසදගන්නවායැයි සිතමිනි. පහ පාරෙන් නොගොස් පුත්තලම් පාරට දැමුවේ ඉක්මනින් යාමේ අදහසින් වුවද සාලියවැව හංදිය ආසන්නයේදී වේගය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන ලයිට් කණුවේ ගැටීම නිසා මගේ ජීවිතයට නැවතීමේ තිත තැබිණි.
********
එක්වරම මා  අමතන හඩක් ඇසුණු නිසා බැලූ කල දුටුවේ චන්දරේ අයියා මට අමතක ආකාරයයි. මල්ලී තව පැයක් විතර තියෙනවනේ එන්න තේ එකක්වත් බොන්න යැයි පැවසූ නිසා ඒ දෙසට යන්නට පියවර මැන්නෙමි. චන්දරේ අයියා මා කැටුව ගියේ ඔහුගේ නිල මැදිරිය වෙතටය අපායේ විධායක මට්ටමේ වගකියයුතු  නිලදාරියෙකු වූ ඔහුට වෙනම විශාල නිලමැදිරියක් විය.ඒ කාමරය පුරාවට LED තිර මත මනුලොව සියලුම රූපවාහිනි නාලිකාද විශේෂයෙන් ශ්‍රීලංකාවේ සෑම ප්‍ර‍ධාන නගරයකම CCTV දර්ශණද දිස්වෙමින් පැවතිනි.
*****මතු සැබැදි*****

පසු සටහන
  • කිසිවක් සිදුවී අවසාන වන්නේ නැත. සියල්ල සැමවිටම සිදුවෙමින්ම පවතින්නේය.

ඒවගත් මෙසේම අදත් වෙනදා මෙන් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.........

Thursday, April 21, 2016

නිර්සත්වයෝ දෙවන කොටස - අපායේ පැයක්

පලමුවන කොටස

රැදීසිටීමේ කවුලුවේ අසුනක ඉදගත් මම පලමුවෙන්ම ඇස්දෙක පිහදාගෙන බැලුවේ මේ මම දකින්නේ දවල් සිහිනයක්ද කියාය සැබැවින්ම එය සිහිනයක් නොවේ. මම සිදුවුයේ කුමක්දැයි කල්පනා කරන්නට වීමි. අපේක්ෂා භංගත්වයට පත්වීම හා සිතට නැගුණු ක්ෂණික කෝපය නිසා මාගේ හොස්ටල් රූමා වු සුමිත්තගේ යාපනය හංදියේ නිවසින් පිටත්ව යතුරුපැදිය අධික වේගයෙන්  අනුරාධපුර  පුත්තලම මාර්ගයේ අපරික්ෂාකාරීව ධාවනය කරගෙන එන අතරතුර අධීක වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන  අනුරපුර - පුත්තලම මාර්ගයේ  පිහිටා ඇති සාලිය ආදර්ශ විදුහල අසල ලයිට් කණුවක ගැටුණු ආකාරය චිත්‍ර‍පටියක දර්ශණ මෙන් මතකයට නැගෙන්නට විය. හදිසි කෝපයෙන් මඩිනා ලදුව ක්‍රියාත්මක වීම නිසා කෙසේ හෝ මා දැන් මලවුන් ගොස් ඇත. මනුලොව තව මා විසින් කල යුතු කටයුතු රැසක් ඉතිරිවී තිබුනද දැන් මා  ප්‍ර‍මාද වැඩිය.
එක්වරම යමපල්ලකු පැමිණ මට කිව්වේ නඩුවට අදාල පිරිස පැමිනෙන තුරු කැමතිනම් අපාය ඇතුලත විසිට් එකක් දමා බැලීමට අවසර දිය හැකිබවයි. වෙන කරන්නටද දෙයක් නොමැති නිසා මා එයට කැමැත්ත පල කරනවාත් සමගම යමපල්ලා කිව්වේ මම තමුසෙට ගයිඩ් වැඩේ කරන්න තමුසෙගෙම ගමේ එකෙක්ව දෙන්නම් කියාය. ටිකකින් පැමිණි අමුත්තා නෙහොත් මගේ ගයිඩ්ව මම එක්වරම හදුනාගතිමි. ඒ වෙන කිසිවෙකුත් නොව අපේ ගමේ සහ අසල ගම්මාන හය හතකම හොර මත්පැන් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ඇප කැපවී කටයුතු කල කසිප්පු චන්දරේය. මා දුටු විගසම චන්දරයා දුවගෙන විත් මා පිලිගෙන අපාය අභ්‍යන්තරයට කැදවාගෙන ගියේය.


නිවරදි පදමට ලෝදිය රත් කිරීමට හා ඇගටපතට නොදැනෙන ඒවා මිනිසුන්ට පෙවීමටත් චන්දරේ සතුවූ අසමසම හැකියාව හා පලපුරුද්ද මත පදනම්ව ලෝදිය හැලියේ සියලුම නඩත්තු කටයුතු යමරජු විසින් චන්දරේට පවරා තිබුනේ අසල ගම් හතකම හුදී ජහමනයාගේ කසිප්පු අවශ්‍යතාවය සපුරා දුන්  පිනෙන් තවත් ආත්ම ගණනාවක්ම අපායේ සිටීමට තරම් වීසා චන්දරේ සතුවූ නිසාය.


ඇතුලට යන විට විවිධ විවිධ පුද්ගලයින් දක්නට ලැබුණු අතර චන්දරේ එක් මිනිසෙකු ලගට ගොස් මා අමතා මල්ලී මේකා කොටට හිටියට මනුස්ස ලෝකේ දක්ෂම නීතීවේදියෙක් කොච්චර දක්ෂයිද කියනවානම් නඩුවක් කල් ගියත් මේකට රුපියල් 25000/- දෙන්න ඕනේ. එහෙම මිනිස්සුන්ව හූරගෙන කාපු හින්දා තමා මේකා මේ අපායේ දුක් විදින්නේ.

"එතකොට මේ ඉන්නේ පොලීසියේ ඉහල තනතුරක් දරපු ප්‍ර‍සිද්ධ නිලධාරියෙක්. දැන් ඔය සිංදුවක් කියාගෙන හිටියට සර්විස් එකේ ඉන්නකොට පගාව අරගෙන කැම්පස් වල කොල්ලන්ගේ ඔලු පලලා කරගත්තු පිං හින්දා තමා මේ අපායේ දුක් විදින්නේ" යැයි චන්දරයා කියව ගෙන යයි.

එක් වරම එතැනට ප්‍රාතූර්භුත වුවේ සිවුරක් දරාගත් ශාන්ත ගතියෙන් ඇවිදින තැනැත්තෙකි. පෙනුමෙන් මනුලොව සිටි ප්‍ර‍සිද්ධම හිමිනමකි. චන්දරේ පැනපුගමන් හිමිගේ බෙල්ලෙන් අල්ලන් පැවසුවේ හාමුදුරුවරු යන්නේ දිව්‍යලෝකේ තෝ මෙහෙට ආවේ මොනවා කරලද? මෙතන ඉන්න උන් ඔක්කොම ජරා වැඩ කරපු උන් කියපන් තෝ මොනවද කලේ කියලා
එවිට හිමිනම  "මම වශී ගුරුකම් කලා, වාහන බිස්නස් කලා,තුන්වෙනි සිල්පදෙත් කැඩුවා, මත්පැනුත් පානය කලා" යැයි පැවසීය.

එවිට චන්දරයා කිවුවේ අපේ පන්සල් වලට ගෙනත් දාන්නේ බලු පැටව් පූස් පැටව්ග එත් මුගේ පන්සලට ගෙනත් දාන්නේ අලි පැටව් කියාය.

මා නිහඩවම කල්පනා කලේ අපාගතවීමට තරම් මා කල වරද කුමක්දැයි කියාය. කෙසේ වුවත් මනුලොවින් පැමිනෙන්නන් දැකගන්නට තවත් හෝරාවක් පමණ මා බලා සිටිය යුතුය. මගේ පන්ති සගයින් දැන් කුමක් කරනවා ඇත්ද? මම කෙමෙන් කෙමෙන් අතීතය සිහිකරන්නට වීමි....

***** මතු සැබැදි *****


ප/ලි
  • කෙටිකථා හෝ නවකථා යනු අනුන්ගේ මනැස් විග්‍ර‍හ කෙරෙන්නක් බව බහුශ්‍ර‍ැතයෝ පවසති. මට අනුන්ගේ මනැස් විග්‍ර‍හ කරන්නට අවශ්‍යතාවයක් නැත එබැවින් මම මගේ මනැස පමණක් විග්‍ර‍හ කරගතිමි. 
  • අප්‍රේල් 30 වෙනිදා වැල්ලවත්ත කුරේ පිටියේ පැවැත්වෙන සයිබර් සිහින උලෙලට පැමිණීමට බලාපොරොත්තු වෙමි‍ෙ
පසුව එකතු කරමි


මෙම පුණ්‍ය කර්මය සදහා තැබිලි ගෙඩි 2500ක් පමණ ප්‍රමාණයක් අපට අවශ්‍ය වනු ඇත. මේ සදහා ඔබටද දායක විය හැකිය. පිංකමට සහභාගී වීමට කැමැති අයෙකු වෙතොත් පහත සැබැදියෙන් Merit Foundation හා සම්බන්ද වන්න

අදත් වෙනදා මෙන්ම පහුරු ගෑ මම සුදුපූසා වෙමි.........
 

Wednesday, April 6, 2016

දොළොස් මසකට පසු

අදින් හරියටම දොලොස් මසකට පෙර සුදුපූසා බවට පත් වු මම අද බ්ලොග් අවකාශයේ පලමුවෙනි වසරට පා තබන්නෙමි. අද දින සවස් වන විට මෙයත් සමග පෝස්ටු විසිපහකුත් සහ හිට් කවුන්ටරය 16510 කුත් ලෙස දර්ශණය වෙනවා. වර්ශ 2012 පමණ සිට බ්ලොග් කියෙවුවත් ලියන්න නම් කාලයක් හා ඉස්පාසුවක් ලැබුනේ පසුගිය වසරේ මුල වගේ තමා.


අද මේ වසරක් ගෙවෙන වෙලාවේ මාහට බ්ලොග් ලියන්නට පෙලබවු හා උදව් කල කිහිපදෙනෙකුව මතක් කිරීම මගේ යුතුකමක්


  • බටහිර කැන්ගරුලන්තයේ පදිංචිව සිටියාවුත් සිරි ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ හා ගම්පහ ප්‍රාදේශීය වැඩපලවල් වල මාගේ පියා සමග සේවය කලාවූද ඔබ්සවර් නැත්තම් ඔබා මාමාලෙස බ්ලොග් ලොව හදුනාගත් සනත් විජේවර්ධනයන්

  • බ්ලොග් ලෝකෙට මුල් ගුරු වෙච්චිතමන් දැල්වු   පහණින්  තවත් පහන් සිය ගණනක් දැල්වූපුක යනු කුණුහරුපයක් නොවන බව ඔප්පු කලා වූත් රසික සූරියාරච්චි නොහොත් පැරණි කතන්දරකාරයා

  • පන්සලේ කතා වගේම බස් පලුවන්ගේ කතා වගේම විශාල කතා ප්‍ර‍මාණයක් බ්ලොග් අවකාශයට දායාද කලා වූවද අද වන විට බ්ලොග් ලිවීම යනු කුමක්දැයි නොදන්නා තත්වයට පත්වී ඇති මාරයාගේ හෝරාවේ මාරයා නොහොත් චතූෂ තුෂර කුමාර අයියා
  • මගේ බ්ලොග් එකේ පෝස්ට් එකකට නමෝවිත්තියෙන් පලවෙනි කමෙන්ටුව කෙටූ අවන්හලේ මහේශ් රත්නායක

  • නොදත් සමහර තාක්ෂණීක කරුණු සහ ඇතැම් දොෂ නිරාකරණය කර දුන් අගහරු ලොව පියාබන පීරිසි අංගනයේ ප්‍ර‍ධාන ඉංජිනේරු තැන්පත් අගහරු තුමා.

  • නිතරම මේ පැත්තට ඇවිත් යන්න එන කුරුටු ගෑ ගී පවුරේ  කුරුට්ටන් පිරිස

     

මීට අමතරව විටින් විට පැමිණි ඩ්‍රැකී, අටම්පහුරේ අටම්තුමා, විචාරක තුමා, නවාතැනේ බස්සි හා කැලේ පිපුනු මල් අඩවියේ W.K වැන්නන් හා මෙහි නම් සදහන් නොකල උදව් කල සැමටත් මා හිසනමා අචාර කරමි.


අදත් වෙනදා මෙන් පහුරු ගෑ මම සුදු පූසා වෙමි.....

Friday, April 1, 2016

නිර්සත්වයෝ පලමු කොටස - දේශසීමාවට පිවිසීම

හෝරා කිහිපයකට පෙර වාතලයට එකතු වු මාගේ අවසන් සුසුම් පොද නිවස වටේ සැරිසැරුවේය. එක් වරම මහත්වු සුලි සුලගක් හැමුවාක්මෙන් මා ගසාගෙන යන්නට විය. අදුරු කුටියක් මැදින් ගමන් කරන්නාක් මෙන් හැගීමක් පහලවිය. කොපමන වේලාවක් එසේ ගමන් කලාදැයි මාහට වැටහීමක්ද නැත එක්වරම එම ගමන නතරවු බව මා හට පසක් විය. ඒ භුමිය පාලු ගතියක් ඉසිලු නමුත් වළාකුලක් අහසක් හිරු සදු හෝ නොපෙනෙන විශාල ගුහාවක් බදුය.

කෙමෙන් ඉදිරියටම යන විට මිනිස් පෝලිමක් දක්නට ලද අතර මාද එයට එකතු වුවෙමි. මේ පෝලිම කුමක්දැයි මා අනෙක් අයගෙන් විමසුවද කිසිවෙකුගෙන් පිලිතුරක් නැත සියල්ලෝම තැතිගත් මුහුණෙන් යුතුව බිම බලාගෙන ගමන් කරති. ඈතින් ගිනිජාලාවක් ඈතින් පෙනෙන්නට විය තව තවත් ලංවෙන විට විශාල ඇතුල්වීමේ දොරටුවක් පෙනෙන්නට වූ අතර දොරටුව ආසන්නයට ලං වන විට භාශා තුනෙන්ම අපායේ පිවිසුම් දොරටුව යනුවෙන් සදහන් පුවරුවක් විය. 
මම ඇතුල්වීමේ දොරටුව ආසන්නයටම පැමිණ සිටින අතර ඉන් මදක් ඈතින් පිටවීම ලෙස තවත් දොරටුවක් විය. ඇතුල්වීමේ දොරටුවෙහි යුධ හමුදා කැලෑ ඇදුම ඇද සන්ග්ලාස් දමා AK-47 සහ T-56 වැනි නවීන ස්වයංක්‍රීය ආයුධවලින් සන්නද්ධ යමපල්ලන් සිටියත් පිටවීමේ දොරටුවෙහි කිසිවෙකුත් දකින්නට නොමැත. මෙතෙක් මා රැදී සිටි කාලයටම පිටවී ගියේ දෙදෙනෙකු පමණි. CCTV කැමරා පද්ධතිය වලින් සමන්විත වු එහි ප්‍රධාන ආරක්ෂක පවුරේ ඩිජිටල් රූපවාහිනී තිරයක් සවිකර ඇති අතර එමගින් දිස්වුයේ අපාය තුල ඇති එක් එක් අංශවල දෙනු ලබන දඩුවම් වල ස්භාවයයි. යම පල්ලන් විසින් සියලු දෙනාවම කැදවා අපායට පැමිණීමට ආසන්න හේතුව සොයා යම රජුට නඩු වාර්ථා ඉදිරිපත් කිරීමෙහි යෙදී සිටි අතර කෙමෙන්  මගේ වාරයද පැමිණි අතර වායුසමණය කල කුටියක් සිටි යමපල්ලකු මා කැදවීය. 


මා බලාපොරොත්තු වුනේ ඉස්සර දහම් පාසලේදී ගුණසිරි අංකල් මවා පෙන්නූ උල්වු දත් ඇති කාලවර්ණ යමපල්ලන්වය. නමුත් කුටියේ සිටියේ ජැන්ඩි පහට ඇදගෙන ටයි පොල්ලක්ද එල්වා ගත් කඩවසම් යමපල්ලන් රැසකි. කරුණාකර ඔබේ නරලොව ජාතික හැදුණුම්පත් අංකය පවසනු යැයි කී ඔහු මාගේ අංකය පරිඝණක දත්ත පද්ධතියට ඇතුල් කර බලා ඇඹුල් කර ගත් මුහුණෙන් යුතුව ඔබ හා සම්බන්ද සිදුවීමට අදාල අයවලුන් පිරිසක් මනුස්ස ලෝකයේ තවමත් සුජීවත්ව සිටින් අතර ඔහුන් පැමිණීමට පිලිවෙලින් වසර 2 වසර 5 වසර 10 සහ වසර 20ක් ගතවීමට නියමිතයි. එතෙක් මෙම නඩුව යම රජුට ඉදිරිපත් කල නොහැකියි ඒ නිසා ඔහුන් පැමිණෙන තුරු ඔබ පිවිසුමේ රැදී සිටිනු යැයි පැවසීය.

"අනුකම්පා කරන්න යමපල්තුමා වසර 20ක් එලියට වී සිටින්නේ කෙසේද? මම එපමණ කාලයක් ජීවත් වෙයිද කියලා කවුද දන්නේ කියා පැවසුවෙමි"

"හා හා හා එම්බා නරය තොපගේ මිනිස් ලොව විසි වසරක් යනු අප අපායතුල දෙපැයකි.තෝ දැන් මිනිසෙකු නොව නිර්සත්වයෙකි. අපායේ දඩුවම් අවසන් වන තුරු නිර්සත්වයන් මියයන්නේ නැත. මාගේ පුෂ්පය පැනීමට පෙර වහා පිටවී ගොස් කැදවන තුරු රැදී සිටිනු" යැයි යමපලුතැන ගෝරනාඩු කල බැවින් මම පිලිගැනීමේ කවුලුව අසල ඇති ආසන පෙලින් එකක අසුන් ගත්තෙමි. සත්‍යවශයෙන්ම මට සිදු වුයේ කුමක්ද?
මා පැදවු යතුරුපැදිය බස් රථයකට ඉස්සර කලාක්මෙන් යන්තමට මතකය.......



***මතු සැබැදි***


ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි......

Tuesday, March 1, 2016

බැංකුවේ ජීවිතේ අවසානය

දෙමටගොඩින් ස්ථාන මාරු ලැබ ලංකා බැංකුවේ පිට්ටු බම්බුවේ අටවන හා නවවන මහල් වල පවත්වාගෙන යනු ලබන අන්තර්ජාතික අංශයේ ලැබෙන විදේශ ප්‍රේශණ දෙපාර්ථමේන්තුවේ දැහැමෙන් සෙමින් කාලය ගතකරන අතරතුර පසුගිය දෙසැම්බර් මස මැදදී පුහුණු හා සංවර්ධන අංශය මාහට සිහිකැදවුයේ ඔබගේ පුහුණුකාලය අවසානවීමට ආසන්න වන බවයි. වර්ෂ 2013 සැප්තැම්බර් සිට මේ දක්වා ගත කාලය සුන්දරය. අවශ්‍යයනම් තවත් මාස තුනකට කාලය දිගු කරවාගත හැකි අතර නැතිනම් සේවය අවසන් කිරීමටද හැකිවිය. පුහුණු අංශයේ සහකාර මහා කළමණාකරු අපට පැවසුයේ අනෙක් අයත් එක්ක කතා කරලා තීරණයක් අරං මට කියන්න යනුවෙනි.
සහෝදර කාර්ය මණ්ඩලය හා මගෙන් පුහුණුව ලබමින් සිටි නවක සොයුරු සොයුරියන්ද ඉතිරි තෙමසද රැදෙන ලෙස ඉල්ලා සිටියද බැංකුව පිලිබදව අන්තිම අඩියටම කලකිරී සිටි අප සේවා දිර්ඝය බාර නොගෙන සමුගැනීමට තීරණය කලෙමු. මා සමග කොළඔ විශ්වවිද්‍යාලයේ සොයුරියන් දෙදෙනෙකු සහ පන්නිපිටිය ධර්මපාලයේ සොයුරෙකු වු අතර ඔහුන් තිදෙනා මාස හයක කාලයක් රැදී සිටි අතර මම වසර දෙකකට ආසන්න කාලයක සේවයක් සම්පූර්ණ කර ඇත්තෙමි. සාම්ප්‍ර‍දායට අනුව අපි සේවයෙන් ඉවත් වන බව  මුලින්ම පැවසුවේ මාගේ ගුරුවරයා බදුවු කලමණාකරු කැල්වින් විජේසුරිය මහතාටය.
ඇත්තෙන්ම පැවසුවහෝත් Inward Remittances නැත්නම් එන විදේශ ප්‍රේශණ අංශය යනු බැංකුවේ වටිනාම ස්ථානයක් මෙන්ම කාර්ය බහුලත්වය තරමක් වැඩි වුවද අවශ්‍ය වන්නා වු විවේකය විනෝදය සහ නිදහස නොඅඩුවම පැවතුන ස්ථානයක්ම විය. දේශණ සදහා සහබාගී වීමට කලින් පැන යන්නට කිසිදු බාධාවක් කරන්නෙකු එහි සිටියේ නැත. ඒ තරමටම එය ඉතාමත් සුන්දරම නවාතැන්පලක්ම විය. අපගේ සියලුම ඉහල නිළධාරීන් පොළවේ පයගසා ජීවත්වූවන් බැවින් රාජකාරීකටයුතු ඉතාම පහසු විය.
කැල්වින් මහතා හා Money Gram අංශය
දුකට සැපට එකට හිටපු අනිත් තුන්කට්ටුව


උදව් උපකාර කල සියලුදෙනා පිලිබදවම මෙහි සදහන් කිරීමට නොහැකි වුවද අනිවාර්යෙන්ම සදහන් කල යුතු කිහිපදෙනෙකු වෙයි. පලමුව ආදරණීය නැසීගිය සහාය කළමණාකරු ජනක් රණසිංහ මහතාව ඉතාමත් ආදරයෙන් සිහිපත් කරන්නට යෙදෙන්නේ තරුණ සිත් හදුනාගෙන ඔහුන් සමග කටයුතු කරන්නට මෙතුමා සතු වු අපූරුතම හැකියාව නිසාය. තනතුර නිසා සතුවු අසීමිත බලතල මගින් හිස උදුම්මාගත්තකු නොවුන මෙතුමා වරක් අප සමග කොලුකමට ගිය දඩයම් සවාරියටද එක්වුයේය. එතුමාගේ හදිසි අභාවය අප සැමට කණගාටුවක්ම විය. ඊට අමතරව අමිල නිරෝෂන් හා හිමාල් චාමිකර යන සොයුරන් ලබා දුන් උපදෙස් හා මිල කල නොහැකිය. අද දෙදෙනාම සහාය කළමණාකරුවන්ය
මම අවසාන වශයෙන් සදහන් කරන්නේ අපේ හොදම රසවතුන් ගැනය. කැල්වින් විජේසූරිය යනු Money Gram ආයතනයටත් ගණුදෙණු කරණා ආකාරය ඉගැන්වීමට සමත් තරම් අයෙකි. බැංකු සේවකයන් හට ලැබෙන්නා වු ලබ්බත් තට්ටෙත් ලැබෙමින් පැවතියා වුද සෑම උදෑසනකම " I am Wijesoriya from Bank of ceylon, my unit has been deactivated, kindly reset" ලෙස අමතා Money Gram ආයතනයේ සුද්දන්ට වද දෙන්නා වුත් අති සුන්දර නිහතමානි මිනිසෙකු විය. සෑම කෙනෙකු පිලිබදවම පියකු මෙන් සොයා බැලූ මේ මිනිසාද පසුගිය දිනක ඉසුඔු ලබා කැන්ගරු දේශයේ ස්ථීර පදිංචියට ගියේය.

කෙසේ හෝ අප සිව්දෙනාගේ සමුගැනීම වෙනුවෙන් අන්තර්ජාතික අංශයේ කුඩා සාදයක් සංවිධානය කර තිබුනේ අප කාටවත් නොදන්වාය. නැටුම් ගැයුම් වැයුම් මැද සියලුම දෙනා අප සිවුදෙනාට සුබ පැතූ අතර සාදයේ කෙලවර යලිත් මතු දිනෙක පුංචි ලංකාවේ කුමන ස්ථානයකදී හෝ මතු කවදා හෝ හමුවන බලාපොරොත්තු පෙරදැරිව ජීවිතයේ අමතක කල නොහැකි අත්දෑකීම් රැසක් සමග මමත් රුචිරත් දිනුලි අක්කාත් අසංගී අක්කාත් මුලස්ථාන ශාඛාවේ පියගැට පෙල බැස නික්ම ආවෙමු.....

පසු සටහන

  • මාගේ අතින් කියවුන කතා වලට වඩා නොකී කතා ප්‍ර‍මාණය ඉහලය. සමහරක් අයගේ ඉල්ලීම් හා ආයාචනා නිසා සටහන් නොකල ඇතැම් කතාවන් ඉදිරියේදී අකුරු කරමි. 

අදත් වෙනදා මෙන්මැ පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........



Thursday, February 18, 2016

ගල්ලෙන බිදීම හා ජයසිරි මාස්ටර්ගේ සර්පිනාව

කවුරුහරි කෙනෙක්ගෙන් තමා ගතකරපු ජීවිතේ ලස්සනම කාලේ මොකක්ද කියලා ඇහුවොත් මම හිතන්නේ 90% වඩා කියන්නේ පාසල් ගිය කාලේ කියලා තමා. කිසිම බරක්පතලක් නැතුව විනෝදෙන් ගත කරපු වලි වලට පන්ති පිටින්ම බැහැලා දුවන්නම නෙලපු ඒ සුන්දර කාලෙට ආයෙත් හිතෙන් හරි යන්න අපි කොච්චර ආසයිද? ඒ අතීතය ගැන මේ ලගකදී පන්ති සගයෝ මතක් කරපු නිසාම අද මේක ලියලා දාන්න ඕනේ කියලා හිතුවේ. මෙතනින් එහාට හම්බවෙන චරිතනාමයන් සියල්ලම මනක්කල්පිතයි ඒ වුනාට මේ සිද්ධි මාලාවන් අතීතයේ දවසක ඒ සුන්දර සංගීත කාබරේ ඇතුලේ  ඇත්තටම සිදුවෙච්ච දේවල් ඕංං.

අපේ ඉස්කෝලේ පෙරදිග සංගීත ගුරුවරු හතර දෙනෙක් හිටියා මේ අය අතරින් අපේ නසරාණි පන්තිය බාරව හිටියේ ජයසිරි සර් (ආදරේට අපේ කොල්ලෝ කිව්වේ සරිගම කන්නා කියලා) අපිත් ඉතින් හත වසරේ ඉදලා ලෙඩ කපුටෝ වැල කනවා වගේ සංගීනේ කලාට මෙලෝ සංසාරයක් තේරුනේ නම් නෑ. අර රාගය මේ රාගය මධ්‍යලය ගීතය කියාගෙන උගුරෙන් කෑගහන එකත් එක්තරා විදිහක විකාරයක් කියලා තමා ඒ කාලේ හිතුනේ. පුබුදු ගයාන් ලක්ෂිත ඉසුරු රිසිත තරංග නදීමාල් ජයනාත් අසංක සුපුන් සිතුම් වගේ මගේ අතිජාත මිත්‍රයෝ හතේ ඉදලා පෙරදිග සංගීතේ කලාට මම මුන්ට එකතු උනේ වෙස්ටර්න් මියුසික් කරපු යක්ෂණී මාත් එක්ක යුද්ධ ප්‍ර‍ාකාශ කලාට පස්සේ දහයේ පන්තියේ මැද විතර වගේ. කරපු අය දන්නවා ඇතිනේ සා/පෙ ලංවෙලා ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියෙනවා කියලා ගොඩයන්න(පැරණි නිර්දේශේ හැටියට ඒකාලේ ඕක තිබ්බේ සා/පෙලට කලින්) දැන් ඕකට කණ්ඩායම් හැදිලා නාට්‍ය ජවනිකාවකුත් කරන්න ඕනේ. අපි තෝරගත්තේ සිංහබාහු නාට්‍යයේ ජවනිකාවක් මේකට අවශ්‍ය කාන්තා චරිත සියල්ල රඟපෑවේ වතුර ටැංකිය අසල ඉස්කෝලේ මානවිකාවෝ විසින් මොකද ඒ කාලේදී පාසල් දෙකටම එකටයි ටෙස්ට් එක තිබ්බේ.
සිංහයාට ඇන්දේ මලිත් ගොයියා ඒ සිංහයාව මහාචාර්ය සරත්චන්ද්‍ර‍යන් දැක්කනම් නාට්ටි කෙරුවාවත් නවත්තන එකනම් ඉරහද වගේ විශ්වාසයි. ඒ කාලේ සිංහයා වෙච්ච මාර්ක් ඇන්තනී මහත්මයා හරි වර්ථමාන සිංහයා වන ජයනාත් බණ්ඩාර අපේ ඉංග්‍රීසි ඇදුරුතුමා මලිත් සිංහයාගේ ඇක්ටිං දැක්කනම් මඩුවලිගෙන් මූට තලන්නේ. අම්මපල්ලා මේ වගේ ලෙඩ සිංහයෙක් මම දැක්කමයි මුට පුරුදුකරන්න අපේ ජයසිරි සර්ට සෑහෙන්න ගේමක් දෙන්න උනා දැන් සිංදුව පුරුදුවෙන අතරතුරේ ගීතයේ පදයෙන් පදයට මූ අතින් වන්නේ විනාශයකි
ගල්ලෙන බිදලා...(ස්ටේජ් එකට පැන්න පාර සර්පිනාව ඩවුන්ද පල්ලං)
ලෙන්දොර ඇරලා...(ලෙන්දොර වෙනුවට මු ඇරපු දොර පලුව ගැලවිලා බිම)
නැතේ කිසිවෙක්.. ගොසින් සැමදෙන.. සිංහබා..... සිංහබා..... කියාගෙන සුප්පාදේවිට අත තියනවාත් එක්කම වේදිකාව දෙසින් ඇසුනේ ජර බරාස්ස් ශබ්දයෙන් යමක් ඉරීයන හඩකි ඒ සමගම විදුලි ආලෝකය විසන්දි කර තිරයද හනික පහත දමන ලදී අහෝ ඛේදයකි සුප්පා දේවියගේ උඩුකය වස්ත්‍රයේ කොටසක් සිංහයාගේ දෑතේය...... ක්ෂණිකවම ඇයවෙත පැමිණි ඇගේ මිතුරියන් නිසා ඇගේ ජාමේ බේරුනේය.අපි වාදනය නවතා පහල බලන විට දත්මිටි කමින් පැමිණි ජයසිරි සර් මලිතාගේ දුර්වල තැන් කිහිපයකටම තම ශක්තිය මුදාහලේ කිසිදු ලොබයකින් තොරවය.....
බඩා මලිතා සුප්පාදේවියට පණ පුදන්නට සූදානමින් සිටි අතර මුගේ සිහින කුමාරිය උනේ ඇයයි. ගම්පහ කොල ටයි පාසලේ සාඩම්බර නිපැයුමක් වු ඇය පසුව සමස්ථ ලංකා නාට්‍ය තරඟවලින් එම විදුහලට කීර්තියක් ගෙන එන්නට සමත් වුවාය. ඇය එදිනෙන් පසුව අපේ මලිතා දෙස ඇහැක් ඇර බැලුවේ නැත.
************* 
අපිට අවුරුදු ගාණක්ම සංගීතේ තිබ්බේ විවේක කාලයට පස්සේ පීරියඩ් වල. මේ කියන සංගීත කාමරේ පිහිටලා තිබ්බේ කාර්යාලයත් ගුරු විවේකාගාරයටත් අතර මැද්දෑවේ. මේකේ සියලුම සංගීත භාණ්ඩ තිබ්බා වගේම අරගෙන වාදනය කරන්නත් කිසිම තහනමක් තිබුනේ නම් නෑ ඒ කාලේ. අපි ඉන්ටවල් එකට පනිනවා සංගීත කාමරේට ඊට පස්සේ සර් එනකම්ම නන්ස්ටොප් ප්ලේ කරනවා අහගෙන ඉන්න අයට පිස්සු හැදෙන්නම. රිදම් ගිටාරය ජයනාත් බේස් ගිටාරය මමතුමා බොක්ස් ගිටාරය නදීමාල් වයලීන් සුපුන් පුබුදු අසංක  වගේම සරපිනාව වාදනය කල දමිත් කියන අපේ කට්ටිය. හැමදාම ගී සරණිය ඇරබුනේ එකම ගීතයකින් ඒ සිංදුව ඇහෙද්දී අපේ ජයසිරි සර් කොහේ හිටියත් සංගීත කාබරේට ඔටෝ ඇදිලා එනවා.
"ජයසිරි මාස්ටර්ගේ සර්පිනාව බල්ලෝ කාලා
මිනිහට මල පැනලලු දැන්
තබ්ලාවට අණ්ඩ දාලා හුලන් යනවා හෝස් ගාලා
ලොක්කගේ සරිගම අවුල් වෙලා දැන්"




කවදාවත් අපි පිස්සු නැටුවට සර් අපේ හිතරිදෙන්න වචනයක්වත් කිව්වේ නෑ. අපි සාමාන්‍යපෙල විභාගයේ ඇඩ්මිශන් ගත්තු දවසේ සර්ත් අපිත් එක්කම එකතුවෙලා සිංදු කිව්වා අදින් පස්සේ තොපි ඉතින් මේවා අල්ලන්න එන එකක් නෑනේ බං කියලා තමා සර් කිව්වේ. උසස්පෙලට අපේ පංතියේ කවුරුත් කලා විශයන් නොකල නිසාවෙන් ඒ සුන්දර සංගීත කාබරේ කරපු කියපුවා මතකයන්ට පමණක් සීමාවෙලා අතීතයට එක්කාසු උනා. අපෙන් පස්සේ නම් ඒ වගේ ආතල් ගත්තු කට්ටියක් නොසිටි බවයි මගේ හැගීම. 

පසු සටහන
  • මම සර්ව අන්තිමට හමුවුනේ පාසලෙන් අස්වීම ගන්න ගිය 2011 සැප්තැම්බර් මාසේ 19 වෙනිදා.එදා දිනේ අවුරුද්ද හැර හරියටම මට මතක තියෙන්නේ පන්තියේ උන්ගෙන් අන්තිමටම අස්වීම ගත්තටත් වඩා ඒ දවස පස්සෙන් පහු කාලෙක මගේ ජීවිතයට ඉතාම සුවිශේෂී එකක් වුන හින්දා. සර්ට නම් මාව අමතක වෙන්න විදිහක් නෑ මොකද වයලින් එකේ තත් හතරම එක සැරේ කඩපු එකෙකුට කියලා සර්ට හම්බඋනේ මම ගෝලයා විතරමයි. 
  • අදත්  විවෙික වෙලාවන් වලදී මටත් හොරෙන් හිතින් මම ඒ සංගීත කාබරේට යනවා පොඩි එකෙක් විදිහට. තාමත් ඒ කාබරේ පොඩි උන් සප්තස්වර ඉගෙනගන්නවා ඇති වගේම මම හිතන්නේ අද වෙද්දී නම් ජයසිරි සර් ඉස්කෝලේ නැතුවත් ඇති.

ඒ වගත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි..........................
 

Saturday, February 6, 2016

කවුන්ටරේ රසකතා - මාරු සල්ලි සහ බූට් සින්දු

පසුගිය දින කිහිපයේම අපි හවුලේ කල නසරාණි වැඩ ගැනම කිව්ව නිසාවෙන් ඒ හා සහ සම්බන්දවු සමහරක් පිරිසගෙන් සුන්දර තර්ජන ගර්ජන හා ගුජුප්සාජනක කෙටි පණිවිඩ මාගේ ජංගම දුරබණුවට ලැබෙන්නට විය. ඊට අමතරව කාමසූත්‍ර‍ පුස්ථකයේ ඔරිජිනල් ඉන්දියන් පිටපත ඉල්ලා ලැබෙන්නා වූ ඉල්ලීම්ද අතිමහත් වන නමුත් අවාසනාවක මහත නම් අයිතිකරුවා සතුව පැවති පිටපතද සොයාගත නොහැකි ලෙස අස්ථාන ගතවී තිබීමයි. විවිධ පුද්ගලයන් සමග රාජකාරී කරනාවිට ලද අත්දැකීම් ඉතාමත් සුන්දර නමුත් බොහෝමයක් කිසිදා එලි නොදක්වන ගොඩට දමා ඇත්තේ අදාල පාර්ශවයන් තවමත් සුජීවත්ව සිටින නිසාය. අද කියන්නට යන්නේ රාජකාරී කරන අතරතුර සිදුවු මතකයේ රැදුණු කෙටි සිදුවීම් කිහිපයකි.

****************

01. මාරු සල්ලි
බැංකුවකට සාමාන්‍යයෙන් එක එක ආකාරයේ ගණුදෙණු කරුවන් පැමිණෙති. ඉවසිලිවන්ත අය මෙන්ම මුලක්ගිණී කාරයන්ද ඒ අතර වෙයි. සමහරක් වැඩ දෙක කරන්නන්ද වෙයි. කොලොන්නාවට ආසන්න තැනක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වු අතර නාමය මාටින් ගුණදාස වැනි නමක් විය. මිනිහා ප්‍ර‍සිද්ධ වී සිටියේ කුණු ලෝබයෙකු ලෙසය. මුදල් ආපසු ගැනීමට කිසිදිනක ATM යන්ත්‍ර‍ක් භාවිතා නොකරන්නේ යන්ත්‍ර‍ පිලිබදව විශ්වාසයක් නැති නිසාය. කොටින්ම කිව්වොත් කවුන්ටරයේ අයකැමිවරයා ලබාදෙන මුදල තෙවතාවක් පමණ ඔහු ගණන් කරයි. තමාට පිටුපසින් තව සියයක් සිටියත් මොහුට ඒගැන වගේ වගක් නැත. කාලයකට පසුව හිරන්ත අයියාත් තේජා අක්කාත් කවුන්ටරයේ මල් කඩමින් කටයුතු කල සමය උදාවු අතර හිරන්ත අයියාට අපේ ව්‍යාපාරික තුමාව දැකීම නයාට අඳුකොල පේනවා වැනිය ඒ තරමටම ඔහු හා ගණුදෙණු කිරීම අප්‍ර‍සන්නය. දිනක් රුපියල් ලක්ෂයක චෙක්පතක් මාරු කරගැනීමට පැමිණි මාටිං අංකල්ට හිරන්ත අයියා තෙවරක් ගැන පන්දහයේ නොට්ටුවෙන් මුදල් නිකුත් කල අතර එතැන් සිට පහත දෙබස් අසන්නට ලැබුණි.

මාටින් - මල්ලී මට මේක මාරු කරලා දෙනවාද ඊලග සයිස් එකෙන්
හිරාන්ත අයියා යලිත් මුදල් ගෙන දෙදහසේ නොට්ටුවෙන් මුදල් නිකුත් කල අතර එය අතට ගත් මාටිං ගොයියා 

මාටින් - මල්ලී මට මේක මාරු කරලා දෙනවාද 1000/- න්
මුවින් නොබැන හිරන්තයා 1000/- නොට්ටු මිටිය අත තබනවාත් සමගම කල්පනා කල මාටිං අයියා මල්ලී එක්කෝ 500/- න් දෙන්න යැයි පවසමින් අවසානයේ 100/- කොලවලින් දෙන්නකෝ කියද්දී හිරන්තයාගේ මුණ කෝපයෙන් දිලිසෙන්නට වු අතර 100/- කොල වලින් මුදල් අතටගත් මාටිං යලිත් කල්පනා කර කට අරිනවාත් සමග එක්වරම නැඟීසිටි හිරන්තයා වරෙන් බන් යන්න කියා මාවද ඇදගෙන ගියේ වෝල්ට් එක එහෙමත් නැත්නම් බැංකුවේ සුරක්ෂිතාගාරයටයි.
ගිය විඟස සේප්පුව ඇර එවකට දිස්ත්‍රික්ක විසිපහට වෙන වෙනම නිකුත්කල කිරි කිරි අලුත් රුපියල් 10/- කාසි පිරවු බෑග් රුපියල් ලක්ෂයටම සමානවන්නට ගෙන පැමිණ ඉදා උඹට මාරු සල්ලි කියා මාටිං අයියාට දුන්නේ එයිට වඩා මාරු නෑ කියමින්ය. එක මල්ලක දසදහසක වටිනාකමින් යුතු කාසි දහසක් තිබු අතර මලු දහයම ඔසවාගත් මාටිං දුටු අප කළමණාකාර තුමා බඩ අල්ලන් හිනාවෙන අතරම මාටිං ලොක්කා බැංකුවෙන් අතුරුදහන් වුනේ මාරුසල්ලි පිලිබදව හොදම පාඩමක් ඉගෙන ගනිමිනි. එදිනෙන් පසුව යලි කිසිදා මාටිං අන්කල් අයකැමිවරයාට වාතයක් වෙන්න ආවේ නැත.ගණනින් දසදහසක් වු දහයේ කාසිවලට මාටිං කුමක් කලාදැයි අප දන්නේ නැත.නමුත් අදටත් අන්කල් මාටිං ගෙන් මාරුකාසි නැද්ද යනුවෙන් කවුරුන්හෝ ඇසුවොත් සිංහලේ ඇති සුන්දරම වචන ටිකක් අසා දැන ගැනීමට හැකිය. 

02. බූට් සින්දු 

කොළඹ පිට්ටු බම්බුවේ අන්තර්ජාතික අංශයට වෙලා දැහැමෙන් සෙමෙන් කාලය ගෙවන අතරතුර නවක කිහිපදෙනෙකුව පුහුණු පුරුදු කරන්නට මට සිදුවිය. කළණ මලයා පුහුණු කරන්නට මට කොන්ත්‍රාන්තුව ලැබුනේ එලෙසය. මරදාන අශෝක විද්‍යාලයේ සාඩම්බර නිශ්පාදනයක් වු මොහු ඉතා කාර්යක්ෂමව කටයුතු කල නිසාවෙන් විදේශ ප්‍රේෂණ ජාලයේ බේරුම්කරුවකු ලෙස කටයුතු කරන්නට අපි විසින් ඔහුට අවස්ථාව ලබා දුන්නෙමු. හොදින් සිටි කොල්ලා එක්වරම පිස්සු කෙලින්නට ගත්තේ අපේ වැඩ එක දෙක කරමින්ය. යන්නේ කොහේද මල්ලේ පොල් වැනි පිලිතුරු ලැබෙන නිසාවෙන් අප කිසිවක් ඔහුගෙන් විමසුවේ නැත. පසුය දැනඟත් පරිදි කොල්ලාගේ සිහින කුමරිය මු සමග තරහා වෙලාය කොටින්ම බූට් එකකට ආසන්න තත්වයකි. වරැද්ද උගේ අතේය. අපේ අංශයට පමණක් ඇසෙන පරිදි ගුවන්විදුලි යන්ත්‍ර‍ක් ධාවනය වෙයි. මා කියන දිනයේ කිසිදා නොවුන පරිදි ජාතික ගුවන් විහිලුවෙන් ඇසෙන්නට වු ගීත වෙනදානම් එකපෙලට වාදනය වන ඒවා නොවේය. මාගේ මතකය නිවරදි නම් වාදනය ඇරබුනේ පුන්සිරි සොයියා මහතාගේ "සුභා කියා මා ඔබ අමතන්නද" යන ගීතයෙනි. කළණ මලයා කරකර හිටපු දේ නවතා සිංදුව අසන අතර දත්මිටි කමින් රේඩියෝව ගිලින්නට මෙන් ඒදෙස බලයි. ඉන් පසුව පිලිවෙලින්
  • මිල්ටන් පෙරේරා මහතාගේ "එදා රෑ ගුවන්තොටුපලේදි" ගීතය
  • නාමල් උඩුගම ගේ "වෙන්වන්නේ නෑ සමුගන්නේ නෑ" ගීතය
  • නීලා වික්‍ර‍සිංහ මහත්මියගේ "පාරමී දම් පුරමු අපි දෙදෙනා" ගීතය
  • සෝමතිලක ජයමහ මහතාගේ "දමා යන්නට නොහැකි මිහිමත" ගීතය
  • බන්දුල විජේවීර මහතාගේ "කුල ගෙදරින් දුම්බර කදුවැටියේ" ගීතය
  • අමරදේවයන්ගේ පෙරදිනයක මා පෙම්කල යුවතිය ගීතය
  • ආදර හසුන චිත්‍ර‍පටයේ සුදු මුතු රළ පෙළ ගීතය 
  • අමරසිරි පීරිස් මහතාගේ "ඉකි ගසා හඩන අතීතයක කදුලු එක්ක" ගීතය
ආදී වශයෙන් වාදනය වන විට මීලග ගීතය ලෙස ඇසෙන්නට වුනේ තවත් විරහා ගීතයක් සේ පෙනෙන ගීතයකි. නමුත් මමද මේ ගීතයට දැඩි සේ ඇලුම්කරන නිසාවෙන් අපේ කා.කා.ස තැන්පත් සුමනසිරි අංකල් ට සද්දේ වැඩිකරන්නැයි ඉන්ටර්කෝමයෙන් ඇමතුමක් දී කීවෙමි. පුන්සිරි සොයිසා මහතාගේ තවත් ගීතයක් වු එය මෙසේ මහ හඩින් වාදනය විය.
"සුභාෂිණී ඔබ මගේ නමට එව් ඇරයුම් පත ලැබුණා
මනාලියක වී සුබ මොහොතින් අද යන බව එහි තිබුණා
ඊයේ වනතුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුනා"

යනුවෙන් ගීතය වාදනය වන අතරතුර කළණ මලයාගේ ඉවසීම පැන එකවරම සුමනසිරිට කෑ ගැසුවේ ඕක වහපන්කෝ බන් කියලාය. ඒකාලයේ ජනක මහතා දෙවියන් වහන්සේ වෙත යාමට පෙර අප සමඟ ගත කල සමය වු බැවින් ජනක් අයියා කළණ ගෙන් ඇහුවේ ඇයි උබට ඔය සිංදුව ඇහුණම මොකද වෙන්නේ නිකන් කිචි වගේද කියලාය. අනේ කොල්ලා දුන්න උත්තරය නිසා කම්පනයට පත් අප  කිසිදු කථාවකින් තොරවම අපි රේඩියෝව වසා දැමුවෙමු.කොල්ලා අඩමින් පැවසුවේ බුදු අයියේ මගේ කෙල්ලගේ නමත් ඕකමයි කියලායි.

පසු සටහන

  • පුන්සිරි මහතා ගයන මේ ගීතය මාගේ ජීවිතයටද දැඩි සමීප බවක් ඇති නිසාවෙන් මම මේ ගීතයට දැඩිලෙස ඇලුම්කරමි. මා පමණක් නොව ජනක අයියා හා සිතාර අයියාද මේ ගීතයට ඇලුම්කරන නිසාවෙන් ශබ්දය වැඩිකරන ලෙස අප පැවසුවෙමු.
  • මෙම ගීතයට පසුබිම් වු නිධාන කථාව අප සංවිධානය කල සංගීත සන්දර්ශණයක් අතරතුරදී පුන්සිරි සොයිසා මහතා අපහට විස්තර කලා මට අද මෙන් මතකය. ඒ පිලිබදව වෙනත් දිනක අකුරුකරමි.

ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........