Monday, April 8, 2019

සිව්මංසල

අඳින් මාස හතලිස් අටකට පෙර අදවන් දිනක සුදුපූසා ලෙසින් බිළාල ස්වරූපයට පත්ව සයිබර් අවකාශයට සපැමිණ මම විවිධ මාතෘකාවන්ගෙන් යුතු කතා පියවරයන් පනස්තුනක්ද හිට් හැටපන්දහසකට මදක් වැඩි අගයක් සහිතව මගේ බ්ලොග් අඩවියේ හතරවන සැතපුම් කණුව අද දිනයේ පසුකර යන්නෙමි.

අද මේ සිව්වන වසර ගෙවෙන මේ වෙලාවේ මට බ්ලොග් ලියන්නට පෙලබවු හා උදව් කල කිහිපදෙනෙකුව මතක් කිරීම මගේ යුතුකමක් කියලා හිතනවා
  • මගේ බ්ලොග් එකේ හා හාපුරා කියලා පලකරපු පෝස්ටුව වෙච්චි දඩයමේ යාම  කතාවට ඉස්සෙල්ලාම නමෝවිත්තියෙන් පලවෙනි කමෙන්ටුව කොටන්නට යෙදුනාවූ  අවන්හලේ මහේශ් රත්නායක
  • කැන්ගරුලන්තයේ බටහිරට ආසන්න පර්ත් නගරබද පදිංචිව සිටියාවූද සිරි ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ සහ ගම්පහ ප්‍රාදේශීය වැඩපලවල් වල මාගේ පියා සමග සේවය කලාවූද හදිසියේ අප අතරින් සමුගත් ඔබ්සවර් නැත්තම් ඔබා මාමා ලෙසින් බ්ලොග් ලොව දැන හදුනාගත් සනත් විජේවර්ධනයන් 
  • මගේ පාසලේ මා හා සමාන්තර ශ්‍රේණිවල ඉගෙනුම ලැබුවා වූත් මෑතකදී නාස් ලණුව දමා බැද ඇති තහනම් අඩවියේ අඩවි රජු.
  • පන්සලේ කතා වගේම බස් පලුවන්ගේ කතා වගේම විශාල කතා ප්‍ර‍මාණයක් බ්ලොග් අවකාශයට දායාද කලා වූවද අද වන විට බ්ලොග් ලිවීම යනු කුමක්දැයි නොදන්නා තත්වයට පත්වී ඇති මාරයාගේ හෝරාවේ මාරයා 
  • බ්ලොග් ලෝකෙට මුල් ගුරු වෙච්චිතමන් දැල්වු   පහණින්  තවත්පහන් සිය ගණනක් දැල්වූපුක යනු කුණුහරුපයක් නොවන බව ඔප්පු කලාවූත් රසික සූරියාරච්චි නොහොත් පැරණි කතන්දරකාරයා  
  • ෂර්වුඩයෙ රොබින් වගේ කෙහෙල්කොටුවට පැනල කෙසෙල් ගස් පෙති පෙති කපාපු, හුරතලේට ඌරු පැටියෙක් හදාපු, කෙහෙල් කොටුවේ චූටි මහත්තයා නොහොත් බුද්ධී ප්‍රසාද් 
  • පූසාව සජීවීව හමුවී ඇති මගේම පාසලේ බ්ලොග්කරු සිරාගේ කාමරේ සිරා කොලුවා 
 
එදා පළමු අවුරුද්ද පසුකරපු මොහොතේ මම ඔබට කිව්වා මම කොහොමද බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියලා. මුලදි කරගන්න බැරිවෙයි කියලා හිතුනත් දැන්නම් අබිං කෑවාවගේ තමයි. මොනවාහරි නොලියා ඉන්නම බෑ වගේම බ්ලොග් කියවන්නේ නැතුව ඉන්නත් බෑ කොච්චර වැඩ රාජකාරී ගොඩගැහිලා තිබ්බත්. බ්ලොග් ලියන කෙනෙකුගෙන් ඇහුවොත් ඇයි ලියන්නේ කියලා, නොයෙකුත් පිළිතුරු ලැබෙන්නට පුළුවන්. අපි කාටවත් මේ සමාජයේ තනිවී ඉන්නට බැහැ. අපගේ සිතුවිලි හා චිත්තාවේගයන් සදහන් නොකර ඉන්නට බැහැ. සමහර විටකදී සිතෙහි පවතින ආවේගයන් හා කෝපයන් පිටකරන්නත් මගේ අතින් ලිපි ලියවෙච්ච අවස්ථාවන් නැතුවාම නෙවෙයි නිර්සත්වයෝ කතාමාලාව ඒකට හොඳම උදාහරණයක්, අපාය අමතක කලොත් ඉතිරි සෙසු චරිත සියල්ලක්ම අදටත් සූජීවත්ව සිටින අය. අනෙකුත් සෑම ලේඛන සහ ප්‍රකාශන මාධ්‍යවල යෙදෙන්නන් කරන්නේත් එයමයි. ඉතින් බ්ලොග් ලියන අපිත්, අනෙකුත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලට වඩා පෞද්ගලිකත්වය විදහා දක්වමින්, ආවේගයන් පිටකරමින් ලියන එකයි කරන්නේ කියලයි මම නම් හිතන්නේ.  


බ්ලොග් අඩවිය ඇරඹුදිනයේ සිටම මාසයකට ඒක පෝස්ටුවක් වත් පල කලද ආරම්බක සමයේ ලියන්නට තිබුන ආශාව නැතිවෙලා ගියාද කියලක් වෙලාවකට හිතෙන තරමටම දැන් කම්මැලි වෙලා. දෙදහස් දහඅට අවුරුද්දටම මගේ අතින් ලියවුනේ ලිපි දෙකක් විතරයි. ලියන්න දේවල් ගොඩක් හිතේ තිබුනත් ඒවා අකුරු කරන්න පූසා කම්මැලියි. කොහොම උනත් ආයෙත් පරණ විදිහටම ලියන්න උත්සහා කරනවා. කෙසේ වුනත් අතීතයේ ආසාවෙන් කියවපු බ්ලොග් අඩවි අදවන කොට යාවත්කාලීන නොවීමත් ඒවා රචනාකල සොඳුරු නිර්මාණකරුවන්ට බ්ලොග් යනු කුමක්දැයි අමතකවී තිබීමත් කණගාටුවට කරුණක්.

ගෙවුන වසරේ ලංකාව තුල පිහිටා තිබෙන්නාවූ සියලූම පන්සල් ආරමයන් පිළිබඳ විස්තර හා ස්වාමීන්වහන්සේලාගේ අවශ්‍යතාවයන් සොයා බලා ගිහි පින්වතුන් වෙත ඉතාමත් විධිමත් හා විශ්වසනීය ක්‍රමවේදයක් හරහා සම්බන්ධීකරණය කරමින් ඒවායේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය සැලසීම ප්‍රමුඛතම අරමුණ කරගනිමින් ආරම්භ කරන ලද ආරණ්‍ය.lk සංවිධානය හා එක්ව කටයුතු කරන්නට ලැබීම අලුත් අත්දැකීමක් මෙන්ම මානසික සුවයක් ලබාගැනීමටත් ඉවහල් වුනා. එහි සියලුම සාමාජික සාමාජිකාවන් තරුණ වයසේ පසුවන්නන්. මෙම සටහන කියවන ඔබලාගේ ප්‍රදේශයේ දුෂ්කර විහාරස්ථාන වල අඩුපාඩු තියෙනවා නම් හෝ එවැනි අවශ්‍යතාවයන් පවතින ස්ථාන ගැන දන්නවා නම් ආරණ්‍ය.lk වෙත දන්වන්න. ඒ සදහා වේබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ මුහුණුපොත හරහා වැඩිදුර තොරතුරු ලබා ගන්නත් මේ වනතුරු සිදුකර ඇති ප්‍රණ්‍යකර්ම වල විස්තර දැකබලා ගන්නත් ඔබට පුලුවන්.


ඉහත සදහන් කල පිරිසට අමතරව සුදුපූසාගේ අඩවිය අරබා ගෙවුනු වසර හතර පුරාවට නිතරම ගොඩවදින අම්බලන්ගොඩයා ,කුරුට්ටන් පිරිස , දිනේෂ් , කැලේ පිපුණු මල් , වැසි දැරිය අටම්පහුර අටම්තුමා, බ්‍රා මෙන්ඩිස් සහ ප‍්‍ර‍සන්න වැනි අය මෙන්ම වරක් හෝ පැමිණි කොමෙන්ටු යෙදූ නම් වශයෙන් සදහන් නොකල එකී මෙකී නොකී සෑම සියලුම දෙනාටම හිස නමා ආචාර කරමි.....




ඒ වඟත් මෙසේම අදත් පහුරු ගෑ මම සුුදුපූසා වම්හ.......................

2 comments: