Tuesday, June 4, 2019

පුංචි පැංච්යකගේ ඉරණම වෙනස් කරමු

අද කියන්නට යන්නේ මෙතෙක් මා අතින් නොලියවුනු අන්දමේ සටහනකි. බෞද්ධ දර්ශණය පිලිබදව පැහැදී ඒ පිලිබදව හැදෑරීමට නිරන්තරයෙන් ලංකාවට පැමිණෙන දැනට ස්කෝට්ලන්තයේ වාසය කරන රොකෝ මහතාට අප රටේ දුෂ්කර ප්‍රදේශයක අධ්‍යාපනයට දක්ෂ නමුත් ආර්ථික අපහසුතා ඇති දරුවෙකුට පොත් පත් වැනි අධ්‍යාපනික ද්‍රව්‍ය වලින් උපකාර කිරීමට අවශ්‍යතාවයක් ඇතිවිය. පසුව අනුරාධපුර ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකුට අපගේ අවශ්‍යතාවය පැවසූ පසු ඔහු විසින් සොයාබලා නිර්දේශ කරන ලද තැනැත්තිය වූයේ අද මෙහි කථානායිකාව වන ඕෂදී දියණියයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් වන කරුක්කන්කුලම ගමෙහි පදිංචිව සිටින ඕෂදී දියණිය දැනට ඉගෙනුම ලබන්නේ 8 වන ශ්‍රේණියේය. පසුගිය දිනක රොකෝ මහතා සමඟ මමද සාමාජිකත්වය දරණ ආරණ්‍ය.lk හි සාමාජිකයන් අනුරාධපුරය බලා පිටත්ව ගියේ ඇයට අවශ්‍ය අධ්‍යාපනික ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සදහාය.‍
පරිත්‍යාග කිරීමට සූදානම් කල ද්‍රව්‍ය සමඟ රොකෝ මහතා
ඕෂදී දියණිය අධ්‍යාපනය හදාරන්නේ කොතරම් දුෂ්කරතා මධ්‍යයේද යන්න අපට අවබෝධ වූයේ ඇයගේ නිවස දුටුවිටදීමය. ඇයගේ පවුලේ පියා නොමැති අතර මව සහ වියපත් මිත්තණිය සමග ඇය වාසය කරයි. මිත්තණිය අන්ධ භාවයෙන් පෙලෙයි. මව ජීවිකාව ලෙස දැනට කුලී රැකියාවක නිරතවෙන නමුත් ඇය නිරන්තර ඇඳුම රෝගයෙන් පිඩා විදින්නීය. මෙම දියණිය දැනට ජීවත්ව සිටින්නේ මැටියෙන් නිමවන ලද අඩි 10 x 10 ප්‍රමාණයේ එක් කාමරයක් සහ කුඩා සාලයක් පමණක් ඇති ඉතා අබලන් තත්වයේ පවතින කුඩා නිවසකයි. ඇයගේ මුලු නිවසටම  ගෘහ භාණ්ඩ ලෙස කිබුනේ කුඩා පාඩම් මේසයක් සහ ප්ලාස්ටික් පුටු තුනක් පමණක් වන අතර නිවසේ සකස්කරන ලද කුස්සියක් නොමැතිවූ අතර නිවස පිටුපස එළිමහනට විවෘතව සකස්කල ලිපක්ද අබලන්වූ පිඟන් රදවනයක වූ පිඟන් තුනක් සහ වීදුරු තුනක් හැර වෙනත් කිසිදු දෙයක් එහි නොවීය. අප සාමාජිකයන් ඇගේ නිවසට ගිය දිනයේ පෙරදින ඇතිවූ වර්ෂාවට කුස්සිය තෙමීම නිසා ඹවුන් එදින ආහාර පිස තිබුනේද නැත.
නිවසේ ඉදිරිපස පෙනුම
 දැඩි ආර්ථික අපහසුතා සහ නොයෙක් දුෂ්කරතා මැද වුවද ඇය පසුගිය වාර විභාග සියල්ලේදීම සියලුම විෂයන් සදහා 75% වැඩියෙන් ලකුණු ලබාගෙන ඇත. ඇයගේ ඉගෙන ගැනීමට ඇති දැඩි උනන්දුව සහ කැපවීම මෙන්ම නිවසේ ඇති අපහසුතාවයන් දැක සංවේදී වූ රොකෝ මහතා ඇයට මාසිකව රුපියල් 5,000/- ක මුදලක් බැගින් වසරක කාලයක් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබා දීමට කටයුතු කර ඇත.
කුස්සිය සහිත නිවසේ පිටුපස කොටස
ඉහත ජායාරූපයේ ඇත්තේ ඇයගේ අබලන් නිවසෙහි පිටුපස කොටසයි. Aranya.lk සාමාජිකයින් විසින් ඇයට නව නිවසක් ඉදිකර දීමට තීරණය කර ඇත. ඒ සදහා වන වියදම රුපියල් 600,000/- ලෙස ඇස්තමේන්තු ගත කර ඇත. ඉදිකිරීමට යෝජිත නව නිවස අඩි 21 x 18 ප්‍රමානයෙන් කාමර දෙකක් සහ සාලයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇත.
යෝජිත නිවසේ ත්‍රිමාණ පෙනුම
 
යෝජිත නිවසේ සැලසුම

ඇය දැනට පදිංචිව සිටින ඉඩමේ අයිතිය සහ නීතිමය භාවය මේ වන විට සොයා බලා තහවුරු කරගෙන ඇති අතර ඉදි කරන නව නිවසේ වහලය සදහා සම්පූර්ණ වියදම දැරීමට මේ වන විට අයෙකු ඉදිරිපත් වී ඇත. මල් කැකුළකට ඉබේ පරවී යන්නට ඉඩ නොතබමු. ඔබටද මටද ලැබූ ආකාරයටම ඇයටත් අධ්‍යාපනයෙන් ජයගන්නට මෙන්ම හිසට වහලක්  සාදා දෙන්නටත් දායකවන්නට ඔබත් කැමැත්තක් දක්වන්නේ නම් ඔබටයි මේ ඇරයුම. ඔබත් මුදලින්, ශ්‍රමයෙන් හෝ වෙනත් කිසියම් ආකාරයකින් දායක වීමට කැමැත්තක් දක්වන්නේ නම් හෝ වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍යවන්නේ නම් පහත සබැදියන් මඟින් ආරණ්‍ය.lk සාමාජිකයින් සම්බන්ද කර ගන්න.

වෙබ් අඩවියට - මෙතනින් පිවිසෙන්න 
මුහුණු පොත් සමූහය - මෙතනින් පිවිසෙන්න 
දුරකතන අංකය - 070 2 79 79 59
ඊ මේල් ලිපිනය
- info@aranya.lk



 රොකෝ මහතා ඇය සොයා ගිය ගමන

පසු සටහන
  •  අධ්‍යාපනික පහසුකම් අතින් ඉහලයැයි සම්මත ප්‍රදේශයන්හී ඇති පහසුකම් වලින් එක් දශමයකදු නොමැතිව ඕෂදී දියණිය අධ්‍යාපන කටයුතු සහ ජීවත්වීම දරනා වූ උත්සහය දැක රොකෝ මහතාට පමණක් නොව එදින ගමනට එක්වූ සාමාජිකයන්ගේ නෙතඟට කඳුලක් එක් කිරීමට සමත්වූවා යැයි පැවසීම අතිශෝක්තියක් නොවේය. ඒ තරමටම එහි පවතින්නේ දූෂ්කර කටුක තත්වයකි.

 
 අදත් වෙනදා මෙන්ම පහුරු ගෑ මම සුදු පූසා වම්හ..........

No comments:

Post a Comment