Wednesday, March 1, 2017

මල්සරාගේ කතාවස්තුව

දඩාස් ගාල මොකද්ද වැටෙනවා වගේ සද්දයක් ඇහිලා නිදාගෙන හිටපු මාව උඩගිහින් බිම වැටුණා. වෙලාව පාන්දර දෙකත් පහුවෙලා යකෝ මේ මහ රෑ ගේ ඇතුලෙන් සද්දයක් ඇහෙන්නේ ගෙට හොරෙක් පැන්නවත්ද? කෑගහන්නත් හදලා කෝකටත් බලන එක හොදයිනේ කියලා ඇදෙන් බැහැලා ඇවිල්ලා වටපිට බැලුවාග බලපුවම කාමරේ ජනේලෙ වහලා නැතුව හුලගට බිත්තියේ වදිනවා ඒක දැක්කම තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ. එතකොටමයි මතකෙට ආවේ මම ජනේලේ ලොක් කරලනේ නිදාගන්න ගියේ එහෙවු ජනේලේ කොහොමද ඇරුණේ.. ඕන දෙයක් වෙච්චාවේ කියලා ගිහින් ජනේලය වැහුවා. මේන්න බොලේ එතකොටම කවුදෝ එකෙක් මගේපිටිපස්සෙ ඉන්නව ඉන්නවා වගේ. හැරිලා බැලුවම කලුවට කලුවේ අඟුරු කැටයක් වගේ එකෙක් විරිත්තගෙන ඉන්නවා
තමුසේ කවුද ? ගොත ගගහා මම ඇහවා. මේන්න මේකා අඩන්න ගත්තේ නැතැයි පොඩි එකෙක් වගේ මම ආයෙත් ඇහුවා නෝ රිප්ලයි. කෝකටත් කියලා ගිහින් දැම්මා ලයිට් එක. ඒ දැක්ක දේට මාව උඩගියා

ඇමරිකාවේ ඔබාමා ඇදලා අයින් කරපු ඉරිච්ච ඩෙනිමකුයි ලංකාවේ රැප් කාරයෙක්ගෙන් ගත්තු ටීශර්ට් එකකුයි ඇදගෙන මදිවට රොකට් ලොන්චරයක් පිටේ එල්ලගෙන. පපුව පුරා අත්බෝම්බයි පතුරම්වැලුයි පුදුම වෙපන් ගොඩක් ෂුවර් එකටම බින්ලාඩන් ගේ හරි අයිඑස් කාරයන්ගේ ගෝලයෙක්ද මන්දා මුට මගෙ ගෙදර පුපුරවලා මොනවද හම්බවෙන්නේ

තමුසේ කවුද ඕයි මම ආයේ ඇහුවා

ඔන්න ඕකනේ අයිසේ තමුසෙලට දැන් සිංහල සිරිත් විරිතුත් අමතකයි. ඉස්සරනම් කියන්නේ ලංකාවේ ඉන්න උන් හොදට ආගන්තුක සත්කාර දන්නවා කියලා ඒත් තමුසේ මට ඉදගන්න කිව්වේවත් නෑනේ  මම මෙච්චර දුර ඉදලා ඇවිල්ලත් 

යකෝ මූ ලේසි පහසු එකෙක් නම් නෙවෙයි වගේ. ඉතින් ඕයි මේ යක්කු ගස්යන වෙලාවට මටත් හොරෙන් මගේ කාමරේට පැන්න තමුසේ වගේ හොරෙකුට වාඩි වෙන්න කියන්න මට පිස්සු කියලා හිතුවද? තමුසේ පිරිභාහරන්ගේ ගෝලයෙක්ද? නැත්තම් අයිඑස් කාරයෙක්ද?

පිස්සුද ඕයි මම තමයි අනංගයා
මාව උඩගියා මූ කොහොමද මල්සරා වෙන්නේ ඒත් කමක් නෑ අත ලගටම ආපු වෙලාවේ මේකට කියලා වැඩක් කරගන්න  පුලුවන්නේ කියලා හිතලා මම කිව්වා සොරි සොරි ආයෙ මොකද හිටගෙනඉන්නේ සුදුසු තැනක් බලලා ඉදගන්න කියලා මමත් අනිත් පුටුව ඇදගෙන වාඩිවුනා. අපි අහලා තිබුණ විදිහටනම් මල්සරා අරගෙන යන්නේ දුන්නයි මල් ඊතලයි නේද? අනික මේ ඇදුම මම හිමීට හිතේ තිබුණ සැක ඇරගන්න ප්‍ර‍ශ්ණ පත්තරේ දිග ඇරියා.

අයියෝ ඒකවත් දන්නේ නැද්ද? මේක විසිඑක්වෙනි සියවසනේ තාක්ෂණ යුගය එහෙව් එකේ දැන් දුණු ඊතල වලින් තියලා වැඩක් නැහැ නවීන තාක්ෂණය යොදා ගන්න ඕනේ. 

දැන් මොකද එකපාරටම ලංකාවට ආවේ?

අපේ ගෑනි ෂොපින් යන්න එන්නේ ලංකාවටනේ මල්ලී. පෙරේදා යනවා කියලා ගියා ගියාමයි ආවේ නෑනේ. ඒකයි මේ හොයන්න කියලා ආවේ.

ඇයි දෙයියනේ එහෙ දිව්‍ය සලුපිලි වගේම ලස්සන ලස්සන මල් ජාති එහෙම තියෙනවලු නේද?

පිස්සු කතාකරනවා ලංකාවේ කට්ටියක් මෙහෙට ආවනේ. ආව ගමන්ම උන් තිබුන ගස්ටික කපන්න පටන්ගත්තා අන්තිමේදී එකම ගහක්වත් නැතිවෙලා ගියා. දැන් ඒක හින්දා ඇමරිකාවෙන් ජපානෙන් ප්ලාස්ටික් ගසුයි මලුයි ගෙන්නලා තියෙන්නේ. ඒක නෙවෙයි මම අහන්නම හිටියේ මොකද මේ සායවල් කොට වෙන්න වෙන්න ගණං වැඩි?

මෙහෙමනේ ඕවට ගණං දාන්නේ රෙදිවල ප්‍ර‍මානෙට නෙවෙයිනේ, ඒක ඇන්දහම පේන ශරීර ප්‍ර‍මානය  අනුවනේග අනික මෙහෙ තියෙන විදුලිබිලයි වැඩකරන අන්ගේ පඩියි ඔක්කොම එකතු කරලා තමයි බිල දාන්නේ.
ඇත්තටම මම අහන්නමයි උන්නේ අපේ ලංකාවේ මගෝඩිස්තුමාලා පිංකරලද එහෙට යන්නේ?

ඒක ඇහුවා විතරයි මෙන්න මේකා හිනාවෙන්න තියාගත්තා. ඇත්තටම තමුසේ ලංකාවේ නෙවෙයිද ජීවත්වුනේ. මගෝඩිස්ලා පිං කරපු අය නෙවේ. යම රජ්ජුරුවන්ටයි අපේ ලොක්කටයි පගාව දීලා දිව්‍යලෝකෙට පැනගෙන දැන් එන හැමඑකාම පගාවක් දීලා හරි පස්සේ ගෙවීමේ ක්‍ර‍මයට හරි දිව්‍යලෝකෙට රිංග ගන්නවා. එහෙම ආපු උන් වෙන තැනකට යන්නත් කැමති නෑ දැන් යම ලෝකෙනුත් කෑල්ලක් බද්දට ගන්න හදන්නේ ඉඩ නැති හින්දම. ඒත් ප්‍ර‍ශ්නෙ වෙලා තියෙන්නේ යමයෝ ස්ට්‍ර‍යික් කරනවලු අපායට සෙනග එන්නේ නෑ කියලා.

අනංගයා ගෙදරටම ආව වෙලාවේ ට්‍රයි කරන ගෑණු ලමයා සෙට් කරගන්න හිතලා මම මිනිහට කිව්වා අනේ මේ මට පොඩි උදව්වක් කරන්නකෝ කියලා 

මල්ලි මම මගේ ගෑණි හොයාගන්න බැරුව ඉන්නවා ඔයා මෙහේ මඟුලක් කතා කරන්න කියනවා. හ්ම් කමක්නෑ කියනවා බලන්න ලමයාගේ නම එහෙම නැත්තම් මට පෙන්නනවකෝ ඒ ලමයව

මං අහගෙන අද උදේ ඒ ලමයා මොන්ටානා එකේ පංති එනවා කියලා, 200 බස් ස්ටෑන්ඩ් එකට ගියා නම් හරියටම පෙන්නන්න තිබුණා

හ්ම් ඒකත් එහෙමද? එහෙනම් එනවා යන්න

පිස්සුද මෙහෙම යන්න පුලුවන්ද? මම දත් මැදලා තියා මුණ හොදලවත් නෑ අනික ශොටක් දාගෙන මෙහෙම යන්න පුලුවන්ද

බය වෙන්න එපා ඕයි අපිව කවුරුත් දකින්නේ නෑ කියලා මිනිහා අර එල්ලගෙන හිටපු ග්‍රෙනේඩ්  එකක් අරගෙන පින් එක ඇදලා බිමට ගැහුවා. ඒ එක්කම ලොකු සද්දෙකුයි දුමකුයි පිටවුනා. මම ඇස් දෙක ඇරලා බලද්දී මෙන්න අපි කොළඹ බස් ස්ටෑන්ට් එක ඉස්සරහා


කොහොමහරි විනාඩියක්වත් ගියේ නෑ දූවිලි අවුස්සගෙන කොළඹ පැත්තේ ඉදලා ආව බස් එකක් සද්දෙට බ්‍රේක් ගහලා හොල්ට් එක ලග නතරකලා. එකෙන් බැස්ස ගෑණු කෙනෙක්ව දැක්ක ගමන් මල්සරා ගොයියා කෑ ගහපි මේ මගේ හාමිනේ කියලා.
ඒත් එක්කම හැන්ඩි කොල්ලෙකුගේ අතින් අල්ලගෙන මල්කුමාරි පබ්ලික් හෝල් එක පැත්තට යනවා බලන් හිටපු අනංග ගොයියා හාට් ඇටෑක් හැදිලා දිව්‍යලෝකෙටම චුතඋනා.
(එතනින් එහාට උනේ මොකක්ද කියලා බලාගන්න බැරිඋනා මොකද මාව නින්දෙන් ඇහැරුන හින්දා. මොකද මම දැක්කේ හීනයක් අනේ)



ඒ වගත් මෙසේමැයි අද නින්දෙන් ඇහැරී පහුරු ගෑ මම සුදුපූසා වම්හ.......

Friday, February 10, 2017

අනාගතයෙන් ගෙනා ගැසට්පත්‍ර‍ය


රාජ්‍ය සේවා කොමිෂන් සභාව
ගේ දොර කටයුතු පිලිබද දෙපාර්ථමේන්තුව
අති විශේෂ (හොල්මන්) ගැසට්පත්‍ර‍ය

පෙම්වතිය III ශ්‍රේණිය තනතුර (මධ්‍ය විධායක සේවක ගණය) විවෘත පදනමට බදවා ගැනීම - 2017(2018)

නරලොව හොල්මන් අමාත්‍යංශයට අනුබද්ධිත ගේ දොර කටයුතු දෙපාර්ථමේන්තුවට පෙම්වතිය III ශ්‍රේණිය තනතුරට විවෘත පදනමට බදවා ගැනීමට සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික තරුණියන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. තම අත්අකුරින් අයදුම්පත සම්පූර්ණ කල යුතු අතර එය 01/04/2017 ට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු අතර එය බහා එවන කවරයේ වම් කෙරවලේ "හොල්මන්කරුවන්ගේ පෙම්වතිය III ශ්‍රේණිය තනතුර" ලෙස සටහන් කල යුතුය.

(01)සේවා කොන්දේසි

මෙම පත්වීම (තමාගේ මනාපයෙන් හෝ අනුන්ගේ බලපෑමන් මත වෙන් නොවන්නේනම්) ස්ථීර වන අතර විශ්‍රාම වැටුප් සහිතය.තෝරාගන්නා ලද අයදුම්කාරිය පලමුව අනියම් පෙම්වතියක් ලෙස තුන් වසරක ආධුනික කාලයකට යටත්විය යුතුය. වින්නඹු හා අනත්දරු අරමුදලට දායක මුදල් ගෙවිය යුතුය. තෝරාගනු ලැබූ අපේක්ෂිකාව නරලොව හොල්මන්කරුවන් හදිසියේ කරන්නාවූ මහා රාත්‍රියේ තබ්ලා සර්පිනා වයලින් වාදනය, පූල් ගැසීම, ඕමි ගැසීම ආදී පුද්ගලික වැඩ කටයුතු වලට ඇඟිලි නොගැසිය යුතුයි.

සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම නොකල යුතු අතර එසේ කර ඇතිබව පත්වීම් ප්‍ර‍දානයෙන් පසුව හෙලිවුවහොත් අපකීර්තිමත් ලෙස සේවයෙන් පහකරනු ලැබේ.

(02) වැටුප් ක්‍ර‍මය
  • ආධුනික කාලය තුල දෛනික දීමනාවක් පමණක් ගෙවනු ලබන අතර සේවා ස්ථීර කරනු ලැබුවහොත් සියලුම දීමනා ඇතුලත්ව අපගේ සම්පූර්ණ වැටුපම අපට හොරෙන් අතගා ගැනීමට ඉඩ දෙනු ලැබේ.
  • පත්වීම ස්ථීර කරන තුරු පෙබරවාරි දාහතරට හිමි වැලන්ටයින් දීමනාව සහ උපන්දින උත්සව දීමනාවන් කිසිවක් ගෙවනු නොලැබේ.

  • සීට්ටු දීමනාව, අරුමෝසම් භාණ්ඩ දීමනාව, විලාසිතා දීමනාව, ඇදුම් ආයිත්තම් හා පලදනා දීමනාව, ද්වේශ සහගත පහරදීමේ දීමනාව සහ සියලු ගමන් වියදම් දීමනා ගෙවනු ලැබේ. ගෙවල් කුලී දීමනාව නොගෙවන අතර සේවා ස්ථීර වුවහොත් නිවාස පහසුකම් සපයනු ලැබේ.


(03) අධ්‍යාපන සුදුසුකම්

ශ්‍රී ලංකාවේ පිලිගත් විශ්වවිද්‍යාලයකින් හෝ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාව පිලිගන්නා ආයතනයකින් ඕනෑම විශය මාධ්‍යයකින් ලබාගෙන ඇති ගෞරව හෝ සාමාන්‍ය (පන්ති සාමාර්ථ සහිතව හෝ රහිතව) පලමු උපාධිය හෝ උපාධි අපේක්ෂිකාවක් වීම.
සැලකිය යුතුයි - මොරටුව විශ්ව විද්‍යාලයේ විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍ර‍වර්ධනය දැනට හදාරමින් සිටින කිහිවෙකු හට මෙම තනතුරට අයදුම්කිරීමට නොහැකිවන සේ මෙම ලයිස්තුවෙන් අසාදු ලේඛණගත කර ඇත.

හෝ

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය මගින් ලබාදෙන උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව හෝ උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව ලබා සිටීම හෝ මේ වනවිටත් හදාරමින් සිටීම  

හෝ

ජාතික ව්‍යාපාර කළමණාකරණ ආයතනය වරලත් ගණකාධිකරුවන්ගේ ආයතනය ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෝ ලංකාවේ පිලිගත් ආයතනයකින් වසරක කුමක් හෝ පාඨමාලාවක් හදාරා  තිබීම හෝ මේ වනවිටත් හදාරමින් සිටීම

හෝ

අ.පො.ස උසස්පෙල පස්වතාවකට නොඅඩු වාරගණනකදී පොදු පරීක්ෂණය හැර අවම විශයන් දෙකකින් සමත්වීම

සහ

මල්වතුවල රවුම් ගැසීම, පාලු දුම්රිය මැදිරි තුල ගමන් කිරීම, පුස්ථකාලයට යන බව දන්වා චිත්‍රපටි බලන්නට යාම, පෝය රජයේ නිවාඩු දිනවල අමතර පන්ති ඇතැයි පවසා ගෙදරින් පිටවීමට ඇති හැකියාව, විශ්ව විද්‍යාලයක හෝ උසස් තාක්ෂණ ආයතනයක නේවාසිකාගාරයක නේවාසිකව සිට ඇතිවීම හා මිතුරන් සමග හෝ නිවසේ සිටින විට දහයට ගණින්නට බැරි ලෙස සිටීය හැතිවිය යුතුය.

(04) වෙනත් සුදුසුකම්

මීට පෙර පෙම්වතියක් ලෙස අවම වසරක පලපුරුද්දක් ලබා තිබීම අමතර සුදුසුකමක් සේ සලකනු ලැබේ (අත්‍යාවශ්‍ය නැත)

සෑම ඉල්ලුම්කාරියක්ම 21/03/2017 දිනට වයස අවුරුදු 26 ක් හෝ ඊට අඩුවිය යුතු අතර අවුරුදු දහඅටට වඩා වැඩිවිය යුතුය

කුඩය යටින් ජෝඩුදමා ගමන් බිමන් යාමට ඇති හැකියාවද අමතර සුදුසුකමක් ලෙස සලකණු ලැබේ.

(05) සේවා කොන්දේසි

  • තෝරා ගන්නා තනතුරුලාභිනියන් සදහා පත්වීම් ලද දින සිට වසරක් ඇතුලත පළමුවන කාර්යක්ෂමතා කඩයිම පවත්වනු ලැබේ. එයින් සමත්වීම අත්‍යාවශය වන අතර කාර්යක්ෂමතා කඩයිම අසමත්වන්නන්ගේ පත්වීම අසමත්වූ මොහොතේ සිට බලපැවෙත්වන පරිදි අවලංගු කරනු ලැබේ.

  • මෙම පත්වීම වූ කලී මුදල් රෙගුලාසි, ආයතනික සංග්‍ර‍හය, පවුල් සංවිධාන සංග්‍ර‍හ රෙගුලාසි, උපත්පාලන රෙගුලාසි, මුලුතැන්ගෙයි සේවා කොමිෂන් සභා රෙගුලාසි හා අප විසින් කාලීනව විටින් විට පනවනු ලබන අමතර රෙගුලාසි වලට යටත් විය යුතුය.


  • රාජ්‍ය පරිපාලණ චක්‍රලේඛන 01/2014 අනුව සේවයට බැදී වසර තුනක් ඇතුලත සේවයට බැදුනු භාෂාව හැර අනෙක් රාජ්‍ය භාෂාවන් වන ප්‍රේම වචන හා සම්මත සිංහල පිලිබදව ප්‍ර‍වීනතාවය ලබාගත යුතුය.

  • පත්කරනු ලබන නිළධාරිනියන් 2017 අංක 999 දරණ ගේ දොර පිලිබද කොමිෂන් සභා පණතේ විධිවිදාන අනුව ප්‍රේම වචනයෙන් සෑම විටම කතාකීමට බැදීසිටියි. ප්‍රකෝප කරනු ලැබූ පසු පරිභව කිරීම සදහා සත්වනාම හෝ පිරිසිදු සම්මත සිංහල භාෂාව යොදා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්ය. (මෙම නීතිය කඩකරීම නිසා නිදහසට කරුණු දැක්වීමට හෝ වැඩ තහනමකට ලක්වීමට සිදුවිය හැකිය)

  • තෝරාගන්නා අයවලුන් කෙටි දැනුම්දීමකින් දිවයිනේ ඕනෑම පලාතක ඕනෑම කාලගුණ තත්වයක් යටතේ ඕනෑම වේලාවක සේවය කිරීමට හැද පැලදගෙන සූදානම්වී සිටිය යුතුය.

 (06) බදවා ගන්නා ක්‍ර‍මය හා අනෙකුත් කොන්දේසි

  • පලමුව සාමාන්‍ය දැනීම සහ බුද්ධි මට්ටම මැන බැලීමට පවත්වන සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකින්ද පසුව වෛද්‍ය පරීක්ෂණයක්ද පවත්වා ඒ දෙකෙහිම ප්‍ර‍තිඵල මත බදවා ගැනීම් සිදුකරනු ලැබේ.

  • එම සියලුම දෙනා මාලබේ නෙවිල් ප්‍ර‍නාන්දු ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු පිරිස පවත්වනු ලබන පූර්ණ වෛද්‍ය පරීක්ෂණයෙන් සමත්විය යුතුය.(ඇතිවිය හැකි භයානක ප්‍ර‍ථිඵල වලට වගකියනු නොලැබේ)

  • පලමුවන කාර්යක්ෂමතා කඩඉම පැවැත්වීමෙන් පසුව මුදුමාරු කර ආධුනික කාලයෙන් පසුව කච්චේරියේදී හදිසි මරණ පරීක්ෂක තැන ඉදිරියේදී ලියාපදිංචිකර ස්ථිර සේවයට බදවා ගනු ලැබේ.

(07) අත්සන සහතික කිරීම

අයදුම්කාරියගේ අත්සන පහත සදහන් අයෙකු විසින් සහතික කර තිබිය යුතුය.

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලයිස්තුවෙහි නම සදහන් වන අයි.ආර්.සී  නාමධාරියෙකු / කසිප්පු මුදලාලි කෙනෙකු / හදිසි මරණ පරීක්ෂකවරයෙකු / පලාතේ වයින් ස්ටෝරුවේ අධිපති කෙනෙකු / මල්ශාලාවක එම්බාම් කරුවෙකු / පලාතේ (හොර)පොල් කඩන්නෙකු / පලාතේ තැපැල්කරු / පික්පොකට් කරුවෙකු / නගරසභා කුණුලොරියේ රියදුරුතැන විසින් තම ඇඟිලි අත්සන තබා සහතික කර තිබිය යුතුය. ඉහත ලයිස්තුවෙහි අයෙකු සොයාගත නොහැකි විටකදී පමණක් පාසලක විදුහල්පතිවරයෙකු / පූජ්‍ය පක්ෂයේ සැලකිය යුතු තනතුරක් දරන්නෙකු හෝ කොට්ඨාශයේ ග්‍රාම නිලධාරියා විසින් මුද්‍රාවතබා සහතික කල යුතුයි.

සෑම අයදුම් පතක් සමගම පහත සහතිකපත්වල පිටපත් එවිය යුතුයි.
(සෑම පිටපතක්ම සත්‍යබවට අයි.ආර්.සී නාමධාරියෙකු නම් තම 
 අයි.ආර්.සී අංකය පැහැදිලිවම සදහන් කරද සාමවිනිසුරෙකු නම් තම මුද්‍ර‍ාව මගින්ද සහතික කර එවිය යුතු වන්නේය)

  • උප්පැන්න සහතිකය (පාසලට ඉදිරිපත් කල සහතිකය හෝ නංගිගේ සහතිකය හෝ බාරගනු නොලැබේ)
  • මෑතකදී ගන්නා ලද ජායාරූපයක්(පරිඝණකය මගින් වෙනස් කරන ලද්දක් නම් දෙදෙනාම එක්අයෙකු බවට සහතික කරන ලද දිව්රුම් ප්‍ර‍කාශය)
  • කේන්දර කොපිය (මෑතකදී ලියවන ලද හොර කේන්දරයක් නම් දුම්මැස්සේ දමා නියමිත පරිදි පරණ කර තිබිය යුතුයි)
  • ගල් බොරැල්ලේ බානි රේමන්ඩ් මහතා හෝ ජයරත්න මහතා හා පුත්‍ර‍යා විසින් නිකුත් කරන ලද සුජීවත්බව තහවුරු කරන සහතිකය.
  • මෑතකදී ලබාගත් චරිත සහතික තුනක් (මෙයින් දෙකක් මීට පෙර පෙම්කල පෙම්වතකුගෙන් හා පාසලේ/විශ්වවිද්‍යාලයේ/උසස් තාක්ෂණ ආයතණයේ අදාල විනයභාර නිලධාරියාගෙන් විය යුතුය) 
  • මෙතෙක් ලබා ඇති ලස්සනම පෙම්හසුන හෝ කෙටි පණිවිඩය (ඇත්නම්)

(08) වෙනත් කරුණු

පළමු වරට ඉදිරිපත් වන අයදුම්කරුවන් තම අයදුම්පත් තමා විසින්ම හෝ දෙමාපියන් මාර්ගයෙන්ද, අනෙකුත් අයදුම්කාරියන් තම අයදුම්පත පැරණි පෙම්වතා මගින්ද එවිය යුතුයි.වත්මන් පෙම්වතුන් සිටින අයදුම්කාරියන් වෙතොත් කරුමෙකට හෝ තෝරා ගනු ලැබුවහොත් දික්කසාද නීති සංග්‍ර‍හය යටතේ අනුප්‍රාප්තිකයෙකු රහිතව මුදාහැරීමට හැකිබවට පෙම්වතා විසින් කල සහතිකය අමුණා එවිය යුතුයි.

ආධුනික කාලය තුල යම්හේතුවක් නිසා තනතුර අත්හරින්නේනම් එතෙක් ඒ වෙනුවෙන් දරණු ලැබූ වියදම් යලි ගෙවන බවට පොරොන්දුවී සේවය අරබන මොහොතේදී හොල්මන්කරුවන් සමග ගිවිසුමකට එලබිය යුතුයි.
(පලමුවන කාර්යක්ෂමතා කඩයිම අසමත්වී සේවය අවසන් කලහොත් මේ රෙගුලාසිය වලංගු නොවේ)



*මෙම තනතුරු සදහා මඟුල් කපුවන් මගින් අයතා බලපෑම් සිදුකිරීම අයදුම්කාරීය වහාම නුසුදුස්සෙකු වීමට හේතුවේ***




මීට අණපරිදි සුදුපූසා වන මම,
ගේ දොර කටයුතු පිලිබද දෙපාර්ථමේන්තුවෙහි,
ඉතිරිවී සිටින අවිවාහක හොල්මන් නිලධාරීන් පිරිස වෙනුවෙන්,
2017 වූ නවම් මස 10 වන දින 19:10 පැයට,
සාගරය මැද අමුතු රටේ, බස්නාහිර පලාතේ,
සියනෑ කෝරලයේ, දකුණු අලුත්කූරු පත්තුවේ පිහිටි,

බිළාල මුද්‍ර‍ණාලයේ යතුරුපුවරුවෙන් අච්චුගස්සවා ප්‍ර‍සිද්ධ කරන ලදී.


********
ඒ වඟත් මෙසේම අදත් වෙනදා මෙන්ම පහුරුගෑ මම සුදුපූසා වෙමි...

Friday, January 27, 2017

ලේ දන්දීමේ පින්කමට මත්තෙන්

"මා වැනි බිළින්දා
මරුවා යයිද කැන්දා
අනේ ඒ හින්දා
දෙන්න ලේ බිදු මාමා නැන්දා"

නිතර දෙවෙලේ කොහේහරි තාප්පෙක ඇලවිලා තියෙන මේ කවියට අදාල පොස්ටරේ ඔයාල කවදහරි දවසක දැකලා තියෙන බවට සැකයක් නැහැ. අපේ ලංකාවේ පිළිකා සඳහා ප්‍රතිකාර ලබන පුංචි නංගිල මල්ලිලා අඩු වයසින් ඉපදුන ළමයින්, හදවත් සැත්කම් වලට ලක්වන ළමයින්ට වගේම වැඩිහිටියන්ට සහ ඩෙංගු රක්තපාත තත්වයට පත්වෙලා රුධිරය මෙන්ම රුධිර පට්ටිකාද ඒ ඒ අදාල රුධිර වර්ගයන්ගෙන් නිරන්තරයෙන්ම වුවමනා වෙනවා.රක්ත හීනතාවයෙන් පෙළෙන රෝගීන්ට රුධිර සෛල ප්‍රමාණය වැඩි කිරීමට රුධිර පාරවිලයනය යොදාගන්න පුලුවන්.තැලසීමියාව කියන ප්‍රවේණික රෝගය ලංකාවේ පුද්ගලයින් දෙදහසකට කට පමණ ඇති අතර ඔවුන්ට මාස්පතා රුධිර පාරවිලයනයන් සිදුකිරීම අවශ්‍ය වේ. 
ලංකා රුධිරපාරවිලන සේවයේ තොරතුරුවලට අනුව ලැබෙන පරිත්‍යාග වලින් 38% පමණ ප්‍ර‍මාණයක් O+ රුධිර කාණ්ඩයෙන්ද 34% පමණ ප්‍ර‍තිශතයක් A+ රුධිර කාණ්ඩයෙන්ද ලැබෙන අතර එම රුධිර කාණ්ඩයන් සුලබ වන අතර B- රුධිර කාණ්ඩයෙන් 2% ද AB- රුධිර කාණ්ඩයෙන් 1% වශයෙන් වාර්ථාවෙනුයේ ඉතා හිඟතාවයෙන් පෙලෙන රුධිර කාණ්ඩයන් ලෙසින්ය.

මේ සටහන මම ලියන වෙලාව වෙනකොට අපි සංවිධානය කරන ලේ දන්දීමේ කදවුරට තියෙන්නේ පැය 30 වගේ කාලයක්. අපි මේ වෙනකොට විවිධ ක්‍ර‍ම මගින් මේ පිලිබදව දැනුවත් කරලා තියෙනවා පසුගිය වසර තුන පුරාවටම පැමිණි සියලුම රුධිර දායකයන් හට මෙවර කඳවුර පිලිබදව දන්වා ලිපි තැපැල් කර යවා තිබෙනවා. 
පෙර වසරවල දායකයන්ට සිහිකැදවීම්
පෙර වසරවල දායකයන්ට සිහිකැදවීම්

පෝස්ටර් සකසමින්
පෝස්ටර් සකසමින්
පෝස්ටර් සකසමින්

ඊට අමතරවඅතින් අදින ලද පොස්ටර් මගින් ගම්පහ නගරය අවට දැනුවත් කිරීමේ කටයුතු සිදුකලත් ඇදහැලුණු වර්ෂාව තරමක භාදාවන් ඇතිකලා.

රුධිර දායකයෙකු වීමට අවශ්‍ය සුදුසුකම්
  • වයස අවුරුදු 18-60 ත් අතර ගැහැණු පිරිමි දෙපාර්ශවයටම (පලමු වරට ලබාදෙන්නේ නම් උපරිම වයස 55 ක් ලෙස සලකනු ලැබේ)
  • බර කිලෝග්‍රෑම් 50 ට වඩා වැඩිවිය යුතුයි
  • රුධිරයේ හිමොග්ලොබින් ප්‍ර‍මාණය ඩෙසිලීටරයකට ග්‍රෑම් 12 ට වඩා වැඩිවිය යුතුය.
  • රුධිරය ලබා දෙන මොහොත වන විට පැය හයකට වඩා නින්දක් ලබා තිබිය යුතු වීම.
රුධිර ප්‍ර‍දානයට නුසුදුස්සෙකු වීමට හේතු
  • පසුගිය වසරක කාලය තුල ඔබට රුධිරය හෝ රුධිර කොටස් ලබාදීමට සිදුවූවා නම්
  • ඔබට විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවකුට වඩා සිටිනවා නම්
  • කෙදිනක හෝ මත්ද්‍ර‍්‍ය එන්නත් ලබාගෙන තියෙනවා නම්
  • පසුගිය මාස හයක් තුල කුමක් හෝ ශල්‍යකර්මයකට භාජනය වී ඇත්නම්
  • පසුගිය මාස හයක් තුල විදේශගතව පැමිණියා නම්
  • පසුගිය වසරක් තුල කන්විදීමක් හෝ පච්චා කෙටීමක් සිදුකර ඇත්නම්
  • කෙදිනක හෝ සෙංගමාලය හෙවත් කහඋණ වැලදී ඇත්නම්
රුධිරය ලබාදීමෙන් පසුව

  • රුධිරය ලබාදීමෙන් පසුව අවම විනාඩි 20 පමණ විවේකීව වෛද්‍යවරයාගේ හා කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ එම ස්ථානයේම රැදී සිටිය යුතුයි
  • සුලු ආහාරයක් හා දියරමය පානයක් ලබාගත යුතුයි
  • කුමක් හෝ අපහසුතාවයක් ඇත්නම් වෛද්‍යවරයාට හෝ කාර්ය මණ්ඩලයට දැන්විය යුතුයි
  • රුධීරය ලබාගත් ස්ථානයේ ඇලවූ ප්ලාස්ටරය පැය දොලහක් ගතවෙන තුරු නොගැලවිය යුතුයි
  • ඊලග ප්‍ර‍ධාන ආහාරය ලබාගන්නා තුරු මත්පැනෙන් වැලකිය යුතුයි

දිනය    - 2017 ජනවාරි 28 සෙනසුරාදා

ස්ථානය
 - බෞද්ධ කාන්තා සමිති නිවහන ගම්පහ (යශෝදරා බාලිකා විදුහල අසල)

වේලාව  - පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා


(ගම්පහ දුම්රිය පොලේ සිට මාර්ග සිතියම)
ඔයාලට ලේ වලින් අඩුවක් නැහැ නේද වැඩිපුරත් එක්ක තියෙනවා. ඒත් ලේ අඩු වෙලා ජීවිතයත් මරණයත් අතර සටන් කරන අය ඔබ අප අතරේ ගොඩක් ඉන්නවා. ඒ අයව ඒ සටනින් දිනවන්න ඔයාලටත් පුලුවන්. 
ඔයාලගේ ලේ වලින් මේ අපේ රටේ කොතනක හරි මරණාසන්නව ඉන්න අම්ම තාත්තා කෙනෙක් ආච්චි සීයා කෙනෙක් සහෝදර සහෝදරියක් නැත්නම් අහිංසක පුංචි එකෙක් ජීවත් කරවන්න පුලුවන්නම් එයින් ඔබට දැනෙන සතුට සල්ලි වලට ගන්න බැරිවෙයි. ඒ සතුට ලබා ගන්න ඔබේ ලේ වලින් ජීවිතයක් ජීවත් කරවන්න ඇවිත් යන්න එන්න
අමතක කරන්න එපා ඔයාටත් කවදා හෝ දවසක කාගේ හරි ලේ ජීවිතේ රැකගන්න ඕන වෙන්නත් බැරි නැහැ..

හැල්මේ දුවන ජීවිතත් එක්ක කියවන ඔයාලා හැමෝටම මේකට එන්න බැරිවෙන බව අපි දන්නවා. ඒත් පුලුවන් කමක් තිබුණොත් ඇවිත් යන්න එන්න නැත්නම් ඔයාල දන්න ගම්පහ අවට ඉන්න යාලුවන්ට කියන්න එදාට ගම්පහ යශෝදරාව ඉදිරිපිට නිවහනට එන්න කියලා
ඔබත් ඇවිත් යන්න එන්න තවත් ජීවිතයකට ආලෝකයක් වන්නට......



අදත් වෙනදා මෙන්ම පහුරු ගෑ මම සුදුපූසා වෙමි..........


Wednesday, December 21, 2016

බැංකුවේ ජීවිතේ තුන්වන කොටස - පුද්ගලික ණය හා හණමිටි අදහස්

වස්සානයේ හිරිකඩත් මීදුමත් අතරින් අවධි වූ ලෝකයෙන් තවමත් හිරුඑලිය වහන් වෙලාය. නගරය පුරා එහි අණසක පැතිරෙන විටදී තවත් වරක් නිදන්නට සිතුනත් හිරු එලිය පොලවට සැපත්වන නිමේෂයේදී රාජකාරි ස්ථානයත් වේලාවත් සිහිවන විටදී ක්ෂණිකවම නිදිමත මා වෙතින් පලා යයි.
රාජකාරී ස්ථානයේ පඩිපෙල නැග පුටුවේ වාඩි වූ මොහොතේ සිට විවිධාකාර ප්‍ර‍ශ්ණ හා ගැටෙමින් ලිපිගොණු අතර කාලය ගෙවෙන විට පුද්ගලික ජීවිතයේ සියල්ල අමතකය. රාජකාරි නිමවා ආපසු යන විට පමණක් මට මා ගැන මතකය අවධිවන තරමට වැඩ මා වසාගෙන ඇත. අද විස්තර කරන්නට යෙදෙන මේ සිදුවීම කලකට පෙර මම ණය අංශයේ පුහුණුවන නිළදාරියා ලෙස කොළඹට හූවක දුරින් පිහිටි ස්ථානයක සේවය කරමින් සිටියදී සිදුවූවකි. දිනක වැඩ ආරම්බකර සුලු මොහොතකින් මමත් මාණ්ඩලික සහකාර තේමියත් ණය ලිපිගොණු අතර අතරමං වී සිටි අතරතුර තරුණියන් දෙදෙනෙකු අප සිටි ස්ථානයට ඇතුල්විය.
"සර් මට පර්සනල් ලෝන් එකක් ගන්න ඕනේ මට නෙවෙයි නංගිට එයාගෙ වෙඩින් එකට"

නංගී මොකද කරන්නේ? කීයක් විතරද මිස් ගන්න බලාපොරොත්තු වෙන්නේ?

"එයා ජොබ් එකක් කරන්නේ නෑ සර් එයා කැළණිය යුනිවර්සිටි එකේ තර්ඩ් ඉයර්. ලක්ෂ පහක් විතර ගන්න තමයි බලන්නේ සර්. මටම ලෝන් එක ගන්න තිබුණා ඒත් මම දැනට එකක් අරන් තියෙන නිසා තමයි නංගිගේ නමින් ගන්නේ. අයියා දැනට රට ඉදලා සල්ලි එවන්නේ නංගිගේ ගිණුමට ඒකෙන් ණය වාරිකය කපා ගන්න පුලුවන්"

නංගි ජොබ් එකක් කරන්නෙත් නැතුව ලක්ෂ පහක් අරගෙන කොහොමද මිස් ගෙවන්නේ මාසෙකට 13500/- විතර ගෙවන්න වෙනවනේ. බැරිවෙලා හරි අයියා ලංකාවට ආවොත්?

"ඒ ආවත් අයියා එන්නේ නිවාඩුවටනේ සර් එයා දැන් අවුරුදු දහයක් තිස්සේ ඉදලා ඉන්නේ පිටරට. දැනටමත් එයා හතලිහක් පණහක් විතර එවනවනේ"

ලක්ෂ පහක්ම ඉල්ලන්නේ වෙඩින් එකටමද? "නංගිට දෙන්නයි වෙඩින් එකටයි දෙකටම සර්"
මට ලක්ෂ පහක්ම දෙනවා කියලා පොරොන්දු වෙන්න බැහැ. අයියගේ ආදායම සහතික කරන ලියවිලියි තියෙනවා නම් සේවා ගිවිසුමේ කොපියකුයි ඇප කාරයන්ගේ විස්තරයි අරගෙන එන්නකෝ අපි බලමු. මාස කිහිපයක් තිස්සේ කරවෙන්න පායන අව්ව හිතට ගතට මෙන්ම පරිසරයටද එකසේ බලපා ඇති සැටියකි. එය සාමාන්‍ය ජන ජීවිතයට කොතෙක් බලපෑමක් කර ඇත්දැයි ණය ඉල්ලාගෙන පැමිණෙන පිරිසෙන්ම පෙනේ කාළගුණයට කොතරම් දේ කල හැකිද?
අදින් වසර එකහමාරකට පෙර උකස් අංශයේ සිටින සමයේදී සිදුවූ දෙයක් සිහියට නැගේ

සර් මට මේක තියලා උපරිම ඕනේ. එවලේ ගැලවූ කරාබු ජෝඩුව හා මුද්දක් මා අත තබමින් ඇය පැවසුවාය. මේ මාසේ ඇද ගත්තේ නැත්තම් මහන්සිය ඔක්කොම ඉවරයි සර් අපේ කරුමෙට පායනවනේ වතුර දාන්න මෝටරේට භූමිතෙල් ගන්න තමයි සල්ලි ඕනේ සතියකට මෝටරේට විතරක් රුපියල් තුන්දාහක් විතර යනවා

"මේකට නම් උපරිමය දෙන්න පුලුවන් 8000/- වගේ තමා මිස්.
අයියෝ මම හිතුවේ පහලවක් වත් පුලුවන් වෙයි කියලා අඩුම 12000/- වත් බැරිද?"


මාගේ සහායක මා දෙස බලා දෙපසට හිස වනමින් නොහැකි බව හගවයි.
චක්‍රලේඛණ අණපණත් නීති සහ ආයතන සංග්‍ර‍හය අප වටකරගෙන අප දෙස විරිත්තමින් බලා සිටිනු පෙනෙයි. උපරිමය අටදාහ තමයි මිස්.



**********

"කොහොමද සර් මගේ වැඩේ අර විස්තර නම් ගන්න විදිහක් නෑ කියලා අයියා කිව්වා"

ලෝන් එක දෙන්න වෙන්නේ නංගිගේ නමටනේ මිස් එයා ජොබ් එකක් කරන්නෙත් නෑ ඒක හින්දා ලක්ෂ පහකට යන්න අමාරුයි. ලක්ෂ දෙකක් දෙන්නම් ගණුදෙණු කරලා තියෙන විදිහ ඇපකාරයෝ දිහා බලලා.

අයියෝ දෙකක් මදි සර් මම මැනේජර් එක්ක කතා කරන්නද? කිසි ප්‍ර‍ශ්ණයක් නෑ මිස් ගිහින් කතා කරන්න.
"සර් මට ඇප්ලිකේෂන් එක දෙන්න මැනේජර් කිව්වේත් දෙකක් තමයි. කමක් නෑ ඒකවත් ගන්නම්"
තත්පර විනාඩි පැය විදිහට ගෙවෙන කාලය තුල ලිපිගොණු අතර මම අතරමංවී ඇති සැටියකි
***********
මම දුන්න ලියවිලි ටික ආපහු ගන්න පුලුවන්ද සර් දැන් ලෝන් එක අරගෙන වැඩක් නෑ සර්...ඇයි වෙඩින් එක කලාද? 
නෑ සර්ලා හිතනවට වඩා ලෝකේ වෙනස් එයාලා සල්ලිම ඉල්ලනවා "ඉතින් ලෝන් එක හම්බවුනා නම් බොහෝදුරට වෙඩින් එක ගන්න තිබුණා. කමක් නෑ සර් අපි ගිහින් එන්නම්"

මම මට පිටුපා යන ඔහුන් දෙස බලා සිටියෙමි. රාජකාරීකාලයේදී මම මුහුණදුන් කණගාටුදායකම අවස්ථාවලින් එකක් එය විය. උදව් කිරීමට අපි තිදෙනාටම අවශ්‍ය වුවත් අයතන සංග්‍ර‍හය අණපණත් හා නානාප්‍ර‍කාර නීතිරීති මගින් අප සියලුදෙනාගේම සිත් හා දෑත් බන්ධනය කොට ඇත.

පසු සටහන

  • බොහෝවිට දෙදහස් දහසය වසර සදහා ලියවෙන මාගේ අවසාන පෝස්ටුව මෙයයි. ගෙවුන වසර දෙස යලිත් හැරී බැලුවහොත් සතුටත් දුකත් සමබරව විදින්නට ලද වසරක්ම විය. මගෙන් අනේක උදවුගෙන දැන් මා නොහදුනන තත්වයට පත්ව ඇති සොයුරියක් මොරටුව විශ්වවිද්‍යාලයේ වෙසෙත් ඒ පිලිබදව මතක්වන විට මහත්වූ ශෝකයක් දැනෙනමුත් සිටිනා තැනක සතුටින් අතුරු අන්තරාවකින් තොරව සිටීමට ලැබේවා යන්න මගේ පැතුමයි.
  • එසේම අවසාන වශයෙන් නත්තල සමරන කතෝලික සැමට සුභ නත්තලක්ද, බ්ලොග් අවකාශයේ සැරිසරන සියලුම දෙනාට ලබන්නා වූ දෙදහස් දාහත නව වසර ආයු වර්ණ සැප බල කීර්තිය හා යසසින් පිරි සියලු පැතුම් බලාපොරොත්තු පැතූලෙසින්ම ඉටුවන නීරෝගිමත් වාසනාවන්ත සුභ නව වසරක්ම වේවා.........

ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ...............

Sunday, November 20, 2016

ඇස් රතු කල මඟඩි වරෙන්තුව

කාලයකට පසුව අද යලිත් අපගේ පාසල් සමය සිහිපත් වන්නට යෙදුනි. වෙනින් කිසිවක් නිසා නොව සියනෑ කෝරලයේ මිරිස්වත්තට නුදුරු ස්ථානයකදී කලකට පසුව සිදුවන්නට යෙදුනා වූ මිතුරු හමුවක් නිසාවෙනි. ඒ හැර සාමාන්‍යපෙල සමයේ සිදුවූ රසවත් කතාවක් ලියන්නයැයි මෙන්න මේ කතාවේ ප්‍ර‍ධාන චරිතයක්ව සිටි තැනැත්තෙක් කරන්නාවූ ඉල්ලීමද සලකා බලා මෙය ලිවීමට අදහස් කලෙමි.
සියල්ලටම පෙර මෙසේ පවසා සිටිය යුතුමය "මා විසින් මෙසේ අසනු ලැබුවා පමණි. මේ සියලුම සුරංගනා කතාවන් හට මුල් උනේ සාමාන්‍යපෙල පන්තියේ අවසානම දින කිහිපයයි.මෙය සිදුවූයේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය තුලය. එකල අනෙකුත් පන්ති සාමාන්‍ය ආකාරයට පැවතියද මේ පන්තිය පමණක් කලු කරන ලද වීදුරුවලින්ද එල්ලන ලද තිරරෙදි මගින් වටකර භාහිර ලෝකයෙන් වෙන්වූ අමුතුම බලකොටුවක ආකාරයෙන් පවත්වාගෙන ගිය එකක් විය.
සාමාන්‍යපෙල විභාගයට කෙමෙන් කෙමෙන් දින ආසන්න වෙත්ම මගඩි වැඩක් කරන්නට එක් සාමාජිකයෙකු හට අගනා අදහසක් පහලවූ අතර එයට ඉලක්කය වූයේ එම පන්තියේම සිටි ගල්පාත මහතාවය. ගල්පාත මහතාගේ කියුම් කෙරුම් අඩංගු කර දුකසේ චරිතය ඝාතනය තර සකසන ලද පෝස්ටරයක්(වරෙන්තුව) සහ හසුන්පතක් ඔහුගේ පුද්ගලික ලිපිනයට තැපැල් කර අනෙක් පිටපත පන්ති සගයන් අතර බෙදා හරින්නට මහමොලකරු වූ සුනඛ තෙමේ කටයුතු කරන ලදී.


පන්තියේ සගයන් අතර අතින් අත යමින් රසවින්ද මෙම මඩ පත්‍රිකාව තවත් චරිතයක් වූ මන්ද+ලාල් විසින් කල ක්‍රියාවක් හේතුකොට ගෙන පන්තිභාර ඇදුරා වන පාලින්ද මැතිදු අතට පත්වන්නට යෙදුනේය. පසුදිනක මෙවැනි මිතුරන් ඇසුරු නොකරන මෙන් එතුමා උපදෙස් දුන් බවද සුනඛ තෙමේ පැවසුවේය 

හොදම කතාව උදා වුනේ පසු දිනකය ගල්පාත මහතාගේ නිවසට යවන්නට සකස්කල පිටපතේ ලිපිනය සුනඛ තෙමේහට වැරදී එය ලැබී තිබුනේ අසල නිවසකටයි. වැරදීමකින් කඩා හසුන්පත කියවූ නිවැසියෝ ඉමහත් බියට පත්වී ගල්පාත මහතාගේ දෙමාපියන්හට දන්වා ඇති මුත් අද වෙනතුරු මෙය එව්ව මහමොළකරු කවුදැයි නිවැසියන් නොදන්නා බව මම විශ්වාස කරමි. මෙය සර්ව සම්පූර්ණ වන්නටනම් යවන ලද ලිපියේ පිටපතක්ද මෙයට එක්කලයුතු නමුත් ලිපිය ලද හා ලිපිය සකස්කල දෙදෙනා සතුවම මෙහි පිටපතක් මේවනවිට නැතිය.
පසු සටහන
  • මේ සිදුවීම හොදින්ම දන්නා උදවිය ඒ පිලිබදව ඇනෝ කොමන්ටුවක් ලෙස හෝ සටහන් කරන මෙන් ඇරයුම් කරන අතරම වතුර ටැංකිය යට කොල ටයිපටි ස්කෝලෙට යවනලද පිටපතත් එයට ලද පිලිතුරත් සදහන් කලාටද කමක් නැත.
  • කිසියම් දෙයක් සදහා අවශ්‍ය උනහොත් මන්දක් ගසා බල්ලා අල්ලා ගන්නා මෙන් කාරුණිකව කියවන්නා වූ උතුමන්ගෙන් ඉල්ලා සිටින අතර කොට්ටාව පැත්තට ගියානම් අල්ලා ගන්නට හැකි බව පමණක් සදහන් කරමි. 

ඒ වඟත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි........

Wednesday, September 21, 2016

සරසවි තරණයට මත්තෙන්

අ.පො.ස උසස්පෙල සමත්වන සියලුම අයෙකුගේ සුන්දර සිහිනයක් වන්නේ සරසවි වරම් ලබාගැනීමටයි.අවාසනාවට එලෙස සරසවි වරම් ලබා ගැනීමට හැකි වන්නේ විසිහත්දහසකටත් වඩා අඩු සිසුසිසුවියන් පිරිසකට පමණක් වීමය. අධ්‍යන වර්ශ 2015/16 වසර සදහා අදාල වන අවම කඩයිම් ලකුණු අද මධ්‍යහනේ සිට නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රවේශ කොමිෂම කටයුතු කර තිබුණි.මෙවර 2015/16 වර්ශය සදහා පිලිගත් විශ්වවිද්‍යාල දාසතරක් මණ්ඩප තුනක් සහ උසස් ආයතන දහයක් සදහා විවිධ පාඨමාලා අනූහතක් උදෙසා සිසු සිසුවියන් විසිහත්දහස් අසූවක්(27080) ඇතුලත් කර ගැනීමට සියලු කටයුතු මේවන විට සකස්කර අවසානය.
පලමු වරට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීම අනිවාර්ය කල පසුගිය වතාවේ මෙන්ම මම මෙවරද නිවස ආසන්නයේ පස්දෙනෙකුගේ පමණ අයදුම්පත්‍ අන්තර්ජාලය හරහා යොමු කරදීමට කටයුතු කලෙමි. නමුත් මෙවර එයින් සරසවි වරම් හිමිකර ගත්තේ එක් මානවකයෙකු පමණක් වන අතර මම හදුනාගත් පරිදි අනෙක් අය සිදුකර ගත් වැරදි කිහිපයක් මම පහතින් සටහන් කරමි.

(01) මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1.4353 ක ඉසෙඩ් අගයක් සහිත වාණිජ අංශයේ සමත් එක් සහෝදරයෙකු වාණිජ පාඨමාලාවට ඇතුලත් කලේ කොළඹ ජයවර්ධනපුර කැළණිය යන විශ්වවිද්‍යාල පමණි.
ප්‍ර‍ථිපල සටහන
කඩයිම් ලකුණු නිකුත් වූ පසු

මේ සදහා වයඹ විශ්වවිද්‍යාලයත් යාපනය විශ්වවිද්‍යාලයත් ඇතුලත් කරගන්නා ලෙස මම කටකැඩෙනකම් කිව්වද එය තබ සතයකට මායිම් කලේ ඔහුනොවේය. උඹට එපානම් මට මොකදයැයි සිතූ මමද එය අයදුම්පතට එක්නොකල අතර මා ඒ සොහොයුරාට පැවසූ උපදෙසෙහි වටිනාකම ඔහුට තේරුනේ කඩයිම් ලකුණු නිකුත්කල පසුවය
 යාපනය සදහා අවම ලකුණ

යාපනය මාගේ කීමට ඇතුලත් කලානම් අද ඔහුටද සරසවි වරම් ලැබීමට වැඩි ඉඩකඩක් පැවති බව මගේ හැගීමයි. ගිය නුවන ලගාවන විට ඔහු ප්‍ර‍මාද වැඩිය.

(02) මම දැක්ක තවත් ලොකුම වැරැද්දක් තමයි පසුගිය අවුරුද්දේ Z-Scores අගය මත තීරණ අරගෙන සමහර වැදගත් හා තරගකාරීබවින් අඩු පහසුවෙන්ම ඇතුලත් වෙන්න පුලුවන්කම තියෙන පාඨමාලාවන් අතහැරලා දාන එක. විශ්ව විද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂම නිරන්තරයෙන් මතක් කරපු දෙයක් තමයි Z-Scores අගය සෑම වසරකම වෙනස්වෙන නිසා තමන්ගේ සුදුසුකම් මත අයදුම් කරන්න කියන එක.
උදාහරණයක් විදිහට අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තොත් 2014/15 අධ්‍යන වර්ෂයට විලාසිතා හා සැපයුම් ප්‍ර‍වර්ධනය පාඨමාලාවට අවම සුදුසුකම 0.8363 වුවද මෙවර 2015/16 අධ්‍යන වසරට එය 0.6169 දක්වා පහලට පැමිණ තිබෙනවා. එම නිසා පසුගිය වසරට පදනම්ව ගන්න තීරණත් අවාසිදායකයි.

(03) මේ වසරේ මම දැක්ක ඇසුව හොදම ගොන්කම මෙය යැයි බය නැතුව මට කියන්න පුලුවන්. කිසිවකු කියන දේ නාසන තවත් පණ්ඩිතයෙකු ( ඒ තුනක් එක්ක ටිකක් ඔලුවෙන් ඉදපු) සල්ලි ගෙවලත් කිසිම පෙර ඇතුලත්වීමේ පරීක්ෂණයකට(Aptitude Test) මුහුණදෙන්න ගියේ නෑ. නමුත් කණගාටුවට කරුණනම් ඒ සොයුරාට ලද පිලිතුරත් වුනේ තේරීපත්ව නැත යන්නයි.

පසු සටහන
  • හරියටම වසරකට පෙර අදවැනි දිනක අධ්‍යන වර්ෂ 2014/15 අදාලව අවම Z-Scores නිකුත් කල දින මම අතිශයෙන් සතුටට පත්වුනේ මම පුද්ගලිකවම සොයාබැලු විශේෂිත මානවිකාවක ඇය බලාපොරොත්තු වූ ස්ථානයටම සරසවි වරම් ලැබීම නිසාය. විශ්ව විද්‍යාල ප්‍රවේශ පුස්තකය නිකුත් තල තැන සිට මම ඇයට උදවු උපකාර කලෙමි. ප්‍රවේශ පුස්තකය නිකුත් කරන තුරු වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රවේශ කොමිසම ඉදිරිපිට සවස්වන තුරු ගතකල මතකය අදටත් මට මතකය.
  • එසේ සරසවි වරම් ලබා ගියවුන් ඉන්නා තැනක අතුරු ආන්තරාවක් නොමැතිව ඉන්නවා ඇතැයි මම සිතමි.
හන්තානට පායන සද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහද
එබට හැකිය දකින්න


ඒ වඟත් මෙසේමැයි අදත් පහරා පහුරු ගෑ මම සුදු පූසා වෙමි.

Thursday, September 1, 2016

බැංකුවේ ජීවිතේ දෙවන කොටස - හුරතල් දිවියා සහ විශ්‍රාමිකයින්ගේ චාරිකාව

දෙදහස් දහතුන වසර මැද සමය වන විට මම සේවය කරමින් සිටියේ කොළඹ පිහිටි ලංකාවටම තෙල් බෙදන ස්ථානයට නුදුරින් තිබූ ජාතියේ මහා පහන්ටැබේ ශාඛාවක් තුලය. දෙදහස් දහතුන වසර යනු ලංකා බැංකුවේ වයස 55 සහ 60 සපුරා බැංකු සේවයෙන් එකවර සේවකයින් රැසක් විශ්‍රාම ලැබු වසරයි. පරිඝණක ගතකර නොතිබූ මුල් කාලයේ සියල්ල තම දෑතින්ම සිදුකරමින් බැංකුවේ නාමය හා කීර්තිය වර්ධනයට මොහුන්ගෙන් ලද දායකත්වය අතිමහත්ය. අප අයත් වූ බස්නාහිර පළාත් උතුරු කලාපයේ මෙවන් විශ්‍රාම ලබන්නන් රැසක් සිටි නිසාවෙන් ආසන්න ශාඛාවන් දෙකක් එකතුවී විනෝද සවාරියක් සැලසුම් කලේ ඔහුන්ගේත් රාජකාරී කාලය තුල යැවෙන අවසාන චාරිකාව නිසාය.
නුවරඑළියට නුදුරු ළිදුල නම් නගරයේ පිහිටි ආයතනික නිවාඩු නිකේතනයද වෙන්කරවාගත් අප දින තුනකට චාරිකාව සැලසුම් කලේ සිකුරාදා දිනය බැංකු නිවාඩුවක් වු බැවින්ය. චාරිකාව යාමට අවශ්‍යවන ආසන 54 අලුත්ම ලේලන්ඩ් බස්රථය නොමිලේම ලබා දුන්නේ හිතවත් බස් මුදලාලි මහතෙකු වු අතර සීදූව ගල් වැඩපලෙහි නිශ්පාදිත හෙලඔසුපැන් බෝතල් දහයක් අඩංගු මල්ල ලැබුනේ හන්දියේ වයින් ස්ටෝරුව අධිපති තම්බි නානාගෙනි.
ශාඛාවන් දෙකෙහිම සාමාජික එකතුව පවුල්වල සාමාජිකයිනුත් සමග පණහක් පමණ විය. පාසල් හැරගිය පුහුණුවන්නන් විධායක නිලදාරීන් කලමණාකරුවන් තම තනතුරු අමතක කර විනෝද වන්නට ගත්තේ තමන් මුහුණදෙන දෛනික ඒකාකාරී ජීවන රටාව මොහොතකය අමතක කරමිනි.

ගීත ගයමින් විනෝද වූවන් අතර නොබෝ දිනකින් විශ්‍රාම යාමට සිටි තිලකසිරි මහතා බන්දුසේන මහතා දයාසීලී මහත්මිය ආදීන් වූ අතර බන්දුසේන මහතා කලක් සරස්චන්ද්‍ර‍ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි නිසා මිහිරි හඩින් නාට්‍ය ගීත ගායනා කිරීමට හැකියාව ඇත්තෙකි. අප ඒවන විට නුවරඑලියට ආසන්නයෙන් වනාන්තර පදෙසකින් ගමන් කරමින් සිටි අතර මීවිතක් අතින් ගත් බන්දුසේන මහතා මනමේ නාටකයේ ගීතයක් ආරම්බ කලේ සැමගේ ඉල්ලීම පිටය.
"වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ 
මගුල් මඩුවකට බදු වු
වනාන්තරයේ සෝබාව නරබමින් යන විට
ගමන් විඩාව ඉබේටම මග හැරේ සොදුර
වන රැජිණද නෙක් විසිතුරු පාන්නේ
අප දෙදෙනාගේ විවාහයට සතුටු වන්නා සේය"

එක්වරම ඩෝං ශබ්දයත් සමග බස්රථය තම ගමන නවතාලීය. පසුපස රෝදයේ හුලං නැත. අප රථය නැවතී තිබුනේ විශාල තේ වත්තක් මැදින් වැටී ඇති මාර්ගයකය. මිනිස් පුලුටක් පෙන්නවත් නැත අප රාත්‍රී ආහාරය නවාතැනේන ගන්නට සිටි නිසා දැන් කට්ටියගේම බඩපණුවන් බොක්ෂිං ගසන්වාය. වයසක උදවියත් බලවත් උදවියත් බසයේ නතර කල මමත් හිරන්ත අයියාත් ආරුමුක්කම් මහතාත් සේනකත් සිකුරුටි හේමේත් සමග ඇතින් පෙනුන ලැයිමක් වෙත ගියේ රථය පිලිසකර කර ගැනීමට උදව්වක් සොයා ගැනීමටය. 
අප වැටී සිටි අමාරුව දුටු විගසඒ දමිල සහෝදරයින් පිරිස අපත් සමග රථය වෙත ආවේ ටයර් වැඩ දන්නා කාර්මිකයෙකුද සමගිනි.
අප යන විට නඩයේ සියලුම දෙනා බිමට බැස ආසන්නයේ ගල්තලාවකට නැග සිටි අතර අප සමග සිටි දෙමල තරුණයින් කීවේ "අයියෝ මාතියා බිම ඉන්න එපා මේ රේ යාමේ දිවියා තමා ඉන්නවා" කියාය දැන් කට්ටියම දිවියන්ට එකසිය ගානට බිය වී ඇත. අප සමග සිටි කුඩා දරුවන් නින්දට පත්ව ඇති අතර කාන්තා පාර්ශවයද නින්දත් නොනින්දත් අතර පසුවිය.
 වැඩ නිමවු බස්රථය තුලින් එක්වරම දිවියෙකුගේ ගෙරවීමකට සමාන ශබ්දයක් ඇසෙන්නට වූ අතර කෙමෙන් කෙමෙන් ඉහල යන්නට විය. රියදුරු තෙමේ බඩුභාණ්ඩ වල ආරක්ෂාව තකා ජනෙල් සහ දොරවල් දෙක වසා තිබුණු අතර දැන් සියල්ලන්ගේම අදහස වුයේ දිවියෙකු බසයතුලට රිංගාගෙන ඇති බවයි. බසයේ රියදුරු මහතා දිග ලීයක් උපකාරී කරගෙන ඉදිරිපස දොර සහ ජනේ්ලයක් විවෘත කලේ දිවියෙකු සිටිනවානම් පිටවීමටය. ඈතට වී බලා සිටියද දිවියෙකු පිටවෙනවා නොදැක්ක නිසාත් ගෙරවීම යලි ඇසෙන නිසාත් බලවත් උදවියගේ කීම නොඅසා හේමචන්ද්‍ර‍ අංකලුත් තිවංක අයියාත් රියදුරු මහතාත් මමත් බසයට නැග්ගේ දිවියා බැලීමටය. දිවියෙකු තබා පුල්ලියක්වත් නොදැක්කත් පසුපස අසුනේ දිගාවී තද නින්දේ ගොරවමින් සිටියේ පියදාස මහතාය ඇහැරුව විට පුතා ටිකක් වැඩි උනා ලිදුලට ගියහම ඇහැරවන්න යැයි කියා යලිත් නින්දට වැටුණ ඒතුමා අප වින්ද හිතේ ගින්දර දන්නේ පහුවදා උදේය. උදව් කල සොයුරන්ට ස්තූති කර අප ලිදුල නවාතැනට ලගාවන විට අලුයම දෙකට ආසන්න වී තිබුණ බව යාන්තමින් මට මතකය..

පසු සටහන

  • අදින් වර්ෂ හතරකට පමණ පෙරදී යන්නට යෙදුන මේ චාරිකාව මාගේ සිතේ නොමැකෙන ලෙස සටහන් වී ඇත. ඒදා ඒ මහ රෑ තේවත්තක් මැද අතරමන් වු අයගෙන් කිසිවෙකු මේ වනවිට ඒ ශාඛාවල සේවයේ නැත. පිරිස පුවක්වල්ල පොලවේ ගැසුවා සේ සී සී කඩ විසිරිලාය. එදා ලමාවයසේ සිටිවුන් අද තරුණය. සමහරුන් දීර්ඝකාලීන් රෝගයන්ගෙන් පීඩා විදිනවාය.
  • අපට ගීත ගායනා කරමින් රස සයුරක පිනවු බන්දුසේන මහතා විශ්‍රාම ලබා කෙටි කලකින්ම මියදුන අතර දිවියා මෙන් ගොරවමින් සිටි පියදාස මහතා මේ වසරේ මැයි මාසයේදී දෙවියන් වහන්සේ බැහැදැකීමට පිටත් වී ගියේය. මම දන්නා පරිදි ඒ ශාඛාවන් දෙකෙහි එකමුතුවෙන් ගිය අවසන් චාරිකාව එයම විය.

ඒ වගත් මෙසේමැ අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදුපූසා වම්හ.....