Friday, February 1, 2019

බැංකුවේ ජීවිතේ හතරවන කොටස - ණය අයකරගැනීම සහ ව්‍යාජ දිනුම

පලමුවන කොටස
දෙවන කොටස
තුන්වන කොටස

මේ අද සදහන් කරන සිදුවීම සිදුවන කාලට වන විට මම ජාතියේ මහා පහන්ටැබේ කොළඹ නවයට ආසන්න ශාඛාවකට වී දැහැමෙන් සෙමින් පුහුණු කාලය ගත කරමින් සිටි සමයයි. විවිධ විවිධ අංශයන් තුල පුරුදු පුහුණුවී අවසානයට පැමිණියේ එපාම කරපු අංශයක් වන ණය අංශයටයි. එය ණය ලබාදීම්(Credits) සහ ණය අයකර ගැනීම්(Recovery) ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන්කර තිබුණේ පරිපාලනයේ පහසුව තකාය.


ණය අංශයේ කටයුතු කිරීම එපා වන්නේ සමහරක් ගනුදෙණුකරුවන් ණය මුදල අනුමතකර ලබාගන්නා තුරු දත් තිස්දෙක විලිස්සා පෙන්වමින්ද සිනාසී කෙකරගා වැඳ වැටෙමින් දිනපතා වාතයක් වන තරමටම බැංකුව වෙත පැමිණියත් ණය මුදල ලබාගත් පසුව එය ගෙවන්නේද නැතිව හිටිහැටියේ උන්හිටි තැන්වලින් අතුරුදහන් වන නිසාය. ණය වාරික හිඟවූ විට ඒවා අයකර ගැනීමට අපිට ගනුදෙනුකරුවන් පසුපස හොරා පොලිස් සෙල්ලම් කරමින් මැරතන් දුවන්න සිදුවෙනවාය. සමහරුන් හදිසියේම අසනීපවී අසාධ්‍ය තත්වයේ පසුවෙති. තවත් සමහරෙක් අප නිවසට යන විටත් සිටිනවා දුටුවත් අපි නිවෙස වෙත යනවිට ණයකරු නිවසේ නැතිව දුර කතරක නෑදෑ ගමනක් හෝ අවමඟුලකට ගොසින්ය. එසේත් නැත්නම් අපි එනවා දුටු විගස ගෙදර දොර ජනෙල් සියල්ල වසා ගෙන කිසිවකු නිවසේ නොමැති බව හඟවමින් අතිවිශිෂ්ඨ ලෙස රඟපාති.

එකල අප ශාඛාවේ කළමණාකරුට අමතරව සිටි ලයිසන් චන්ඩියා වුණේ සහාය කලමනාකරු හිරන්ත අයියායි. කලින් කතාවල මා පවසා තිබෙන පරිදි උදෑසනට සුපිපුන මලක් මෙන් සිටියද දහවල් කාලයවන විට මල පරවී හිරන්තගේ ඉහ මුදුනට ඊරියකා වඩිනා බැවින් ඉතාමත් භයානක තත්වයට පත්වේ. එවිට කිසිවෙකුවත් හිරන්තගේ ලගින්වත් නොයන්නේ තම ආරක්ෂාව පිණිසය. ඔය අතරතුර ණය අයකර ගැණීමේ අංශය හිරන්තට සහ මා වෙත පවරමින් පත්මසිරි මහතා දුන් අභියෝගය වූයේ වර්ෂාවසානයට පෙර දෙමසක් තුල හිඟහිටි ණය මුදල් යලි අයකර ගැනීමේ කාර්යයයි.
මාසයක් ගතවන විට ලයිස්තුව සෑහෙන දුරට අවසන් කලත් වසර කිහිපයක් තිස්සේ විශාල ණය මුදලකට පොලු තබන ලද මෝරෙක් පිලිබදව  අපගේ අවධානය යොමු වූයේ මඟතොටේදීවත් ඇස නොගැටෙන ආකාරයට කලකසිට අතුරුදහන්ව සිටි නිසාය. මීට පෙර සිටි මාණ්ඩලික නිලධාරීන් ගෙදරට හොයාගෙන ගිය විටත් නිවැසියන් ලබාදී ඇති පිලිතුරවී තිබුනේ ණයකරු පිලිබදව තමන් කිසිවක් නොදන්නා බවයි.

එක් සෙනසුරාදා දිනයක සාමාන්‍ය ඇදුමින් සැරසුනු හිරන්ත සහ මම ලිපිගොණුවේ සදහන්ව තිබූ ලිපිනයට ණයකරු සොයා ගියෙමු. නිවසට ආසන්නවත්ම අප දුටුවේ කාන්තාවන් පිරිසක් ගම්මිරිස් සාදික්කා ආදී විවිධ වර්ගයේ කුළුබඩු වත්ත පුරාම ගෝණිවල අතුරා වියලමින් සිටින අයුරුය. කියන තරම් අඟහිඟයක් මෙම නිවෙස්හිමියන්ට නොමැතිබව අපි වටහාගත් අතර නිවසෙහි නැතැයි පැවසූ ණයකරු වූ නාගසේන මහතාද කොට කළිසමකින් සැරසී මිරිස් ගොඩක් සමඟ ඔට්ටු වන අයුරුද මනාව දැක බලා ගත්තෙමු. නාගසේනගේ නිවස අසලම පිහිටි වෙළඳසැලට ගිය හිරන්ත තමන් සතුවූ මිනිසුන් කතාකරවීමේ හැකියාව උපයෝගී කරගෙන නාගසේනගේ තත්වය විමසා සිටි අතර කඩයේ හිමිකරු තහවුරු කලේද නාගසේන මහතාට කිසිදු අහේනියක් නොමැති බවයි.

රැස්කරගත්
තොරතුරු අප කළමණාකාර තැන්පත් පත්මසිරි මහතා හටද දන්වා ඔහුගෙන් ලද උපදෙස් පරිදි නාගසේන මහතාගෙන් ණය අයකරගැනීම සඳහා ඔහුටත් දිරවාගත නොහැකි ලණුවක් අඹරූ අපි ඒ ලණුව ගිල්ලවීම සදහා කෙලින්ම ගියේ නාගසේනගේ නිවසටයි. මල්ලී උඹ එක වචනයක්වත් කියන්න එපා යැයි මටත් කලින්ම තර්ජනය කල හිරන්ත කෙලින්ම ගොස් නාගසේන මහතා ඇමතීය

"මිස්ටර් නාගසේන මම බැංකුවෙන් ආවේ අපේ කස්ටමර්ලා අතර පවත්වන මේගා වාසනා දිනුම් ඇදීමෙන් ඔබතුමාට දිණුමක් ඇදිලා තියෙනවා අපි ඒක දැනුම් දෙන්නයි ආවේ. ඒත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා තෑග්ග ලබා ගැනීම පිලිබදව කරුණාකරලා අදම බැංකුවට ඇවිල්ලා මැනේජර්ව මුණගැහෙනවද?"

"මොකක්ද මහත්තයෝ තෑග්ග? හරි මම දැන් එන්නම්"
යැයි පැවසූ නාගසේන තම බිරින්දෑ සමග කතා කරන ඇසිල්ලෙන් අපි යලිත් බැංකුව වෙත පැමිණියේ පත්මසිරි මහතාගේ උපදෙස් පරිදිය. තවත් විනාඩි දහයක් ගෙවුන තැන වසර ගණනක් අතුරුදහන්වී සිටි නාගසේන මහතා සුභ නැකතින් බැංකුව වෙත සම්ප්‍රාප්ත වූයේ තමා ගිල්ලේ ඒසේ මෙසේ ලණුවක් බව නොදැනය. පත්මසිරි මහතා සහ නාගසේන අතර ඇතිවූයේ පහත පරිදි සංවාදයක්ය

"මැනේජර් මහත්තයා මට දිනුමක් ඇදිලා තියෙනවා කිවුවා ඒක දැනගන්න කියලා ආවේ"

"මිස්ටර් නාගසේන එන්න එන්න වාඩිවෙන්න. තෑග්ගක් නම් ලැබිලා තියෙනවා ඒකයි මම අපේ ඔෆිසර් කෙනෙකුට කිව්වේ ගෙදරටම ගිහින් කියන්න කියලා. හැබැයි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා"

"මොකක්ද මැනේජර් මහත්තයා?"

"මේකයි මිස්ටර් නාගසේන ඔයා ලෝන් එකක් අරන් තියෙනවා ඒක ගෙවලා නෑ.  ඒක සෙට්ල් කලොත් තමයි මේ තෑග්ග ඔබතුමාට ලබාගන්න පුලුවන් මොකද කරන්නේ?"

 
 මදක් කල්පනා කරමින් සිටි නාගසේන මහතා පසුදින පැමිණ තමාගේ හිඟහිටි ණය මුදලත් පොලියත් ගෙවා දැමුවේ අප කවුරුත් නොසිතූ ලෙසින්ය. ණයත් ගෙවා කළමණාකාර තැන්පත් පත්මසිරි මහතා අතින් තම ත්‍යාගයත් ලබා නාගසේන මහතා නික්ම ගියේ අපේ හිසේ තිබූ විශාල බරක් පසෙක හෙලමින්ය.

පසුවදන

  • නාගසේන මහතා ත්‍යාගයක් නිසා ණය මුදල ගෙවා දැමුවද එවැනි තරඟයක් කිසිදා පැවැත්වූයේද නැත. තරඟය නිර්මාණය කලේ ජයකොඩි මහතාත් මමත් හිරන්තත් හවුලේය. නාගසේන මහතා රැගෙන ගියේ මල්වත්ත පාරේ රූපසිංහ ස්ටෝර්ස් වෙතින් මිලට ගත් අඩු වටිනාකමකින් යුතු රයිස් කුකරයක් බව අදටත් ඔහු නොදන්නා බව ඉරහද සේ විශ්වාසය.
  • කතාවේ කතානායකයන් වූ පත්මසිරි මහතා අද විදෙස් ගතව පසුවෙන අතර හිරන්ත සොයුරා අද ආයතනික ශාඛාවේ ණය නිළධාරී ලෙස කටයුතු කරයි.
  •  හදිසියේම මෙම කතාව සිහිවූයේ පසුගිය සතියේ දිනක පිටකොටුවේදී මා හට නාගසේන මහතා මුණගැසුණු නිසාය.


 
 ඒ වඟත් මෙසේම මතකය පහරා පහුරු ගෑ මම සුදුපූසා වම්හ........

Wednesday, January 2, 2019

ලේ දන්දීමේ පිංකම පස්වන පියවරට මත්තෙන්

"මා වැනි බිළීන්දා
මරුවා යයිද කැන්දා
අනේ ඒ හින්දා
දෙන්න ලේ බිඳු මාමා නැන්දා "

නිතර දෙවෙලේ කොහේහරි තාප්පෙක ඇලවිලා තියෙන මේ කවියට අදාල පොස්ටරේ ඔයාල කවදහරි දවසක දැකලා තියෙන බවට කිසිදු සැකයක් නැහැ. ඔබ ජීවිතයේ කෙදිනකහෝ රුධිරය පරිත්‍යාග කරලා තියෙනවද? ඔබ පරිත්‍යාග කරණු ලබන සෑම ලේ පයින්ට් එකක් භාවිතයෙන් ජීවිත තුනක් බේරාගන්න පුලුවන්. අවුරුදු 18 ට වැඩි 60 ට අඩු නිරෝගී ඕනෑම කෙනෙකුට හිමෝග්ලොබින් ප්‍ර‍තිශතය ඒකක 12 ට වැඩි නම් සෑම මාස හතරකටම වරක් ලේ පරිත්‍යාග කරන්න පුලුවන්. ප්‍රධාන රුධිර ගණ හතරක් වන අතර (A, B, AB, O) ඒවා තවදුරටත් positive හෝ negative ලෙස Rh සාධකය (Rh factor) අනූව බෙදේ. රතු රුධිරාණු සඳහා AB යනු සර්වප්‍රතිග්‍රාහකයෙකු වන අතර O negative යනු සර්වදායකයෙකු ලෙස සැලකේ. 
පළමුව මෙසේ රුධිර වර්ග හතරක් ඇති බව හඳුනා ගන්නා ලද්දේ 1901 වසරේදී වෛද්‍ය කාර්ල් ලෑන්ඩ්ස්ටයිනර් විසිනි. මීට අමතරව 1952 දී ඉන්දීය ජාතික වෛද්‍ය Y.M බෙහෙන්දේ විසින් බොම්බායේදී රිය අනතුරකට පත් තරුණයන් දෙදෙනෙකුගේ රුධිර පරික්ෂාවකින් පසු සොයාගත් බොම්බේ O+ රුධිර ගණය ලොව ඇති දුර්ලභම රුධිර කාණ්ඩය ලෙසින් සැලකෙන අතර ලංකාවේ පවුල් පහක් පමණක් වාර්ථාවන බව සදහන් වේ.

රුධිර ගණ අනුව ගැලපීම්



රුධිර දායකයෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම්
  • වයස අවුරුදු 18-60 ත් අතර ගැහැණු පිරිමි දෙපාර්ශවයටම (පලමු වරට ලබාදෙන්නේ නම් උපරිම වයස 55 ක් ලෙස සලකනු ලැබේ)
  • බර කිලෝග්‍රෑම් 50 ට වඩා වැඩිවිය යුතුයි
  • රුධිරයේ හිමොග්ලොබින් ප්‍ර‍මාණය ඩෙසිලීටරයකට ග්‍රෑම් 12 ට වඩා වැඩිවිය යුතුය.
  • රුධිරය ලබා දෙන මොහොත වන විට පැය හයකට වඩා නින්දක් ලබා තිබිය යුතු වීම.
රුධිර ප්‍ර‍දානයට නුසුදුස්සෙකු වීමට හේතු
  • පසුගිය වසරක කාලය තුල ඔබට රුධිරය හෝ රුධිර කොටස් ලබාදීමට සිදුවූවා නම්
  • ඔබට විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවකුට වඩා සිටිනවා නම්
  • කෙදිනක හෝ මත්ද්‍ර‍්‍ය එන්නත් ලබාගෙන තියෙනවා නම්
  • පසුගිය මාස හයක් තුල කුමක් හෝ ශල්‍යකර්මයකට භාජනය වී ඇත්නම්
  • පසුගිය මාස හයක් තුල විදේශගතව පැමිණියා නම්
  • පසුගිය වසරක් තුල කන්විදීමක් හෝ පච්චා කෙටීමක් සිදුකර ඇත්නම්
  • කෙදිනක හෝ සෙංගමාලය හෙවත් කහඋණ වැලදී ඇත්නම්
රුධිරය ලබාදීමෙන් පසුව
  • රුධිරය ලබාදීමෙන් පසුව අවම විනාඩි 20 පමණ විවේකීව වෛද්‍යවරයාගේ හා කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ එම ස්ථානයේම රැදී සිටිය යුතුයි
  • සුලු ආහාරයක් හා දියරමය පානයක් ලබාගත යුතුයි
  • කුමක් හෝ අපහසුතාවයක් ඇත්නම් වෛද්‍යවරයාට හෝ කාර්ය මණ්ඩලයට දැන්විය යුතුයි
  • රුධීරය ලබාගත් ස්ථානයේ ඇලවූ ප්ලාස්ටරය පැය දොලහක් ගතවෙන තුරු නොගැලවිය යුතුයි
  • ඊලග ප්‍ර‍ධාන ආහාරය ලබාගන්නා තුරු මත්පැනෙන් වැලකිය යුතුයි
ඔබ පරිත්‍යාග කල රුධිරය රෝගියෙකුට ලබාදීමට පෙර විවිධ සංඝටක වලට වෙන් කරනු ලබයි. ඒ රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා හා රුධිර ප්ලාස්මාව ලෙසයි. මෙම එක් එක් සංඝටක විශේෂිත උෂ්ණත්වල නියමිත කාලයක් ගබඩා කරනු ලබයි.
රතු රුධිර සෛල සෙල්සියස් අංශක 4 ක් වැනි උෂ්ණත්වයක දින 35-42 අතර කාලයක් ගබඩා කර තබාගත හැකිය. රුධිර ප්ලාස්මාව  සෙල්සියස් අංශක ඍණ 30 වඩා පහල උෂ්ණත්වයක වසරක පමණ කාලයක්ද සුදු රුධිරාණු සෙල්සියස් අංශක 22 උෂ්ණත්වයක් යටතේ එක් දිනක කාලයක් තබා ගත හැකිය. පරිත්‍යාග කල සෑම රුධිර ඒකකයක්ම ප්‍ර‍ධාන වශයෙන් රෝග පහක් සදහා පරීක්ෂා කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ රුධිර ගණ අනුව ව්‍යාප්තිය
පිළිකා සඳහා ප්‍රතිකාර ලබන ළමයින්, අඩු වයසින් උපන් ළමයින්, හදවත් සැත්කම් වලට ලක්වන ළමයින්ට සහ ඩෙංගු රක්තපාත තත්වයට පත්වන්නන් හට රුධිරය මෙන්ම රුධිර පට්ටිකාද ඒ ඒ අදාල රුධිර වර්ගයෙන් අවශ්‍ය වේ.රක්ත හීනතාවයෙන් පෙළෙන රෝගීන්ට රුධිර සෛල ප්‍රමාණය වැඩි කිරීමට රුධිර පාරවිලයනය යොදා ගත හැක.තැලසීමියාව නම් ප්‍රවේණික රෝගය ලංකාවේ පුද්ගලයින් දෙදහසකට කට පමණ ඇති අතර ඔවුන්ට මාස්පතා රුධිර පාරවිලයනයන් සිදුකිරීම අවශ්‍ය වේ. ලංකා රුධිරපාරවිලන සේවයේ තොරතුරුවලට අනුව ලැබෙන පරිත්‍යාග වලින් 38% පමණ ප්‍ර‍මාණයක් O+ රුධිර කාණ්ඩයෙන්ද 34% පමණ ප්‍ර‍තිශතයක් A+ රුධිර කාණ්ඩයෙන්ද ලැබෙන අතර එම රුධිර කාණ්ඩයන් සුලබ වන අතර B- රුධිර කාණ්ඩයෙන් 2% ද AB- රුධිර කාණ්ඩයෙන් 1% වශයෙන් වාර්ථාවෙනුයේ ඉතා හිඟතාවයෙන් පෙලෙන රුධිර කාණ්ඩයන් ලෙසින්ය.

ලේ බැංකුවට ලැබෙන් පරිත්‍යාග වල ප්‍රතිශතයන් රුධිර ගණ අනුව

ලේ දන් දී නැති අයගෙන් 17% පවසන්නේ ඒ ගැන කිසිවිටකත් නොසිතූ බවත්, නොදැන සිටි බවත් ය. 15% ලේ දන් දීමට තමාට විවේකයක් නැති බව පවසයි.ලේ දන් දෙන අය ඊට පෙළබීමට ප්‍රධානතම හේතුව ලෙස දක්වන්නේ අනුන්ට උදව් කිරීමට ඇති කැමැත්තයි.ලේ දායක කිරීමට පමණක් ගත වන්නේ විනාඩි 15 කටත් අඩු වේලාවකි. ඔබ පැමිණි වේලාවේ සිට ලේ දී පිට වනතුරු පැයක් පමණ ගත වේ.ලේ පරිත්‍යාගයකින් පසුව පිටවූ දියර පැය කීපයක් ඇතුලත රුධිර සංසරණ පද්ධතියට එකතු වේ. රතු රුධිරාණු සති හතරක් ඇතුලත පෙර මට්ටමට පැමිණේ. පරිත්‍යාගයේදී වැය වූ යකඩ නැවත අවශෝෂණයට සති අටක් පමණ ගතවේ.ලේ පරිත්‍යාගයෙන් ඒඩ්ස් හෝ වෙනත් බෝවන රෝග වැළඳීමේ කිසිදු හැකියාවක් නැත. එසේ රෝග බෝ වෙනවා යැයි කීම මිත්‍යාමතයක්ම වන්නේය.
*******
කුෂාන් සහ ධනුෂ්ක

රුධිර පාරවිලනය සහ රුධිරය පිලිබදව මම මුලින් සදහන් කලේ අද කතාවට ප්‍රවේශ වීමට පහසුවක් ලෙසයි. ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ ඉගෙනුම ලබමින් 2013 දී හදිසියේ අප අතරින් වෙන්වූ ධනුෂ්ක සමරකෝන් මිතුරා සහ 2016 වසරේදී අප අතරින් වෙන්වූ කුෂාන් දහනායක මිතුරාත් සිහිකරමින් ආරණ්‍ය.lk එකමුතුවේ සංවිධාන ශක්තියෙන් වසරක නිහැඩියාවකින් පසුව පස්වන වරටත් ලේ දනදීමේ කඳවුරක් එලබෙන ජනවාරි 05 දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

දිනය     - 2019 ජනවාරි 05 සෙනසුරාදා දින
 
ස්ථානය
 - ගම්පහ සාම විහාරය (රත්නාවලී බාලිකා විදුහල අසල)

වේලාව  - 
පෙරවරු 08.30 සිට පස්වරු 03.30 දක්වා


මේ සටහන මම ලියන වෙලාව වෙනකොට අපි සංවිධානය කරන ලේ දන්දීමේ කදවුරට තියෙන්නේ තවත් පැය 72 ත් අඩු කාලයක්. අපි මේ වෙනකොට විවිධ ක්‍ර‍ම මගින් මේ පිලිබදව දැනුවත් කරලා තියෙනවා  පසුගිය වසර හතර පුරාවටම පැමිණි සියලුම රුධිර දායකයන් හට මෙවර කඳවුර පිලිබදව දන්වා ලිපි තැපැල් කර යවා තිබෙන අතරම ගම්පහ නගරයේ පොස්ටර් හා අත්පත්‍රිකා මඟින් දැනුවත් කර තිබෙනවා.
පෝස්ටර් සකසමින්
පෝස්ටර් සකසමින්
පසුගය දායකයින්ට සිහිකැඳවීම් ලිපි
ඔයාලට ලේ වලින් අඩුවක් නැහැ වැඩිපුරත් එක්ක තියෙනවා. ඒත් ලේ අඩු වෙලා ජීවිතයත් මරණයත් අතර සටන් කරන අය ඔබ අප අතරේ ගොඩක් ඉන්නවා. ඒ අයව ඒ සටනින් දිනවන්න ඔයාලටත් පුලුවන්. 
ඔබේ ලේ වලින් මේ අපේ රටේ කොතනක හරි මරණාසන්නව ඉන්න අම්ම තාත්තා කෙනෙක් ආච්චි සීයා කෙනෙක් සහෝදර සහෝදරියක් නැත්නම් අහිංසක පුංචි එකෙක් ජීවත් කරවන්න පුලුවන්නම් එයින් ඔබට දැනෙන සතුට සල්ලි වලට ගන්න බැහැ. ඒ සතුට ලබා ගන්න ඔබේ ලේ වලින් ජීවිතයක් ජීවත් කරවන්න පුලුවන්නම් එදාට එන්න
අමතක කරන්න එපා ඔයාලටත් කවදා හරි දවසක කාගේ හරි  ලේ  ජීවිතේ රැකගන්න ඕන වෙන්නත් බැරිකමක් නැහැ..



ඔබත් ඇවිත් යන්න එන්න තවත් ජීවිතයකට ආලෝකයක් වන්නට......

පසු සටහන

  • රුධිර පාරවිලනය සම්බන්ද සංඛ්‍යාත්මක තොරතුරු ලබාදෙමින් කඳවුර පිලිබදව සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරනය ලබාදුන් නාරාහේන්පිට මධ්‍යම රුධිරපාරවිලයන සේවයට සහ දුර්ලභ බොම්බේ O+ රුධිර කාණ්ඩය පිලිබදව තොරතුරු ලබාදුන් කොළඹ වෛද්‍ය පීඨයේ නොලාන් සසේන්ද්‍ර සොයුරාට විශේෂ ස්තූතිය පිරිනැමිය යුත්තේය...
  • ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුවට අනුව දෙසැම්බර් සහ පෙබරවාරි අතර කාල සීමාව දැඩි ලේ හිඟයක් පවතින කාලසීමාවක් වන අතර යලිත් ඩෙංගු උණ ව්‍යාප්ත වීමත් සමග හිඟය උග්‍ර විය හැකිය.
  • ඔබ එදිනට පැමිණෙනවා නම් ජාතික හැදුණුම්පත/රියදුරු බලපත්‍රය හෝ වෙනත් අනන්‍යතාවය සහතික කල හැකි ලියවිල්ලක් රැගෙන ඒමටත් අමතක කරන්න ඒපා.

අදත් වෙනදා මෙන් පහුරු ගෑ මම සුදුපූසා වෙමි..........

Wednesday, September 19, 2018

කජුකැලය හරහා මතක කැම්පස් කටුබැද්ද සිව්වන දිගහැරුම - සුභා,ෆැෂන් ඩිසයින් සහ අවසානය


පළමු කොටස 
දෙවන කොටස 
තෙවන කොටස 

ජාතියේ මහා පහන්ටැබේ රාජකාරී කල කාලය පිලිබදව තරම් යලිත් අතීතයට ගොස් ආවර්ජනය කිරීම තරම් සතුටක් ලේසියෙන් අත්වන්නේ නැතිතරම්ය. ඒ ගතකල කාලය ඉතාමත් සොදුරුය. මේ දවස්වල යලිත් මගේ මතකය කැරකෙමින් පවතින්නේ මොරටුව කටුබැද්දේය. තේරෙන භාෂාවකින් කියනවානම් මොරටුව විශ්වවිද්‍යාලය තුල ගත කල කාල සීමාවේ මතකයයි. ඉතිරි වී ඇත්තේ ඒ හා බැඳුණු මිහිරි හා අමිහිරි මතකයන් කිහිපයක් සිහිකිරීම පමණි. 

මගේ මතකයෙන් කිසිදිනක නොමැකෙන චරිතයක් වූවේ එකල ප්‍රධාන වෛද්‍යතුමියයි. ඇයගේ කියුම් කෙරුම් මීට පෙර ලිපියක සදහන් කලත් මෙයද නොකියාම බැරිය. එක්තරා දිනෙක මා යනවිට සරසවියේ සිසුවෙකු ඉතා වැදගත් ශරීරාංගයක් තුවාල වී ප්‍රතිකාර ගන්නට ඇවිල්ලාය. මානවකයා පවසන්නේ විනෝද චාරිකාව අතරතුර සියඇල්ල නැරබීමට යාමේදී පය ලිස්සා ගලක ඇතිල්ලීම නිසා මේ තුවාලය සිදුවු බවයි.

ඔහු සමග පැමිණි මිතුරන්ගෙන්ද විමසූ විට ඔහුන්ද සිසුවාගේ කියමන තහවුරු කල අතර ප්‍රධාන හෙද නිලධාරිවරයා බෙහෙත් දමමින් සිටියේය.
මේක නම් මේ ගලක ඇතිල්ලිලා වෙච්ච දෙයක් නම් නෙවෙයි මේකට වෙන හිස්ට්‍රියක් තියෙනවායැයි අපට පැවසූ දොස්තර නෝනා  යලිත් තුවාල ලද මානවකයාගෙන් ඇත්ත කියන්න යැයි පැවසූවිට ඔහු යලිත් පෙර හේතුවම පවසා සිටින්නට විය. 

එවිට මදක් කල්පනා කල වෙදදුරුතුමිය සියල්ලන්ටම ඇසෙන සේ ඇසුවේ "ඈ දරුවෝ ඔය කියන ගලට අත් දෙකකුයි කකුල් දෙකකුයිත් තිබුනාද පුතේ කියාලාය". එය ඇසූ සියල්ලන්ගේම මුවට සිනහව නැගුනු අතර මානවකයා පමණක් ලැජ්ජාවෙන් ඇබරෙන්නට විය.
*******
එකල කටුබැද්දේ රාජකාරී කල කාලයේ මමද මල් කඩමින් කාලය ගත කල සමයක් වූ අතර එයට උපරිම නිදහස පැවති ස්ථානයක් ලෙස මෙය මම නොබියව ප්‍රකාශ කරමි. මගේ මල්කැඩීමේ සහායිකාවද එකල අපොස උසස්පෙලට මුහුණදී විශ්වවිද්‍යාල වරම් බලාපොරොත්තුවෙන් පසුවූවාය. ඇයව සුභා ලෙසින් මම හදුන්වමි. එම වසරේ විශ්වවිද්‍යාල අත්පොත නිකුත් කල දිනම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් රැගෙන ආවේද පලමු වරට අන්තර්ජාලය මගින් අයදුම්පත යොමුකලේද මා විසිනි. 
දිවංගත අධ්‍යාපන අමාත්‍ය C.W.W කන්නංගර මැතිතුමාගේ සංකල්පයකට අනුව අරබන ලද පලමු මධ්‍ය විදුහල් පහෙන් එකක අධ්‍යාපනය හැදෑරු ඇය අධ්‍යාපන පහසුකම් අතින් දුෂ්කර යැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම විසින් සදහන් කර ඇති වියලි කලාපයේ දිස්ත්‍රික්කයකට අයත් නිසා ඇයගේ ඉසෙඩ් අගය ප්‍රමානවත් වූ අතර එවර අධ්‍යන වර්ෂය සදහා අවම කඩයිම් ලකුණු නිකුත් කලදා නිසකවම ඇය වඩාත් කැමැත්තෙන් සිටි විලාසිතා නිර්මාණවේදය පාඨමාලාවටම සුදුසුකම් ලබා ඇති බව දැන්වූවාය. මා හොදින් දන්නා මිතුරියක් එම පාඨමාලාවේම තෙවන වසරේ සිටි නිසා ඇය සුභාට අවශ්‍ය උදව් කිරීමට පොරොන්දු වූවාය.

කාලය ගත වන විට මා හට රාජකාරීමට වශයෙන් හා අධ්‍යාපනික වශයෙන් නොසිතූ ගැටලු කිහිපයකට මුහුණදීමට සිදුවූ අතර තෙමසක් පමණ කටුබැද්දෙන් ඉවත්වී ප්‍රධාන කාර්යාලයේ සේවයට ගිය අතර තවත් මසක් අධ්‍යන කටයුතු සදහා සම්පූර්ණයෙන්ම නිවාඩු ලදිමි. ඒ අතරතුර එක්වරම ඇය වෙනස්වන්නට ගත්තේ සිතා ගැනීමටවත් නොහැකි ආකාරයෙනි. සමාජ ජාල වලින් මා අවහිර වන්නට වූ අතර කෙටි කලකින් දුරකතන අංක අවහිර වන්නටද විය. මා හට මෙය මහත් ප්‍රෙහේලිකාවක්වූ අතර කුමක් වූවාදැයි මම නොදනිමි. අදටත් ඇයට සිදුවූ දෙය පිලිබදව මම කල්පනා කරමි. ඇතිවූ කණස්සල්ල නිසා සතියක් පමණ නිවාඩු ගෙන නිවසට වී සිටියේ සිත්වේදනාව දැඩි වූ නිසාය. ඇය පිලිබදව මගේ දෙපාර්ථමේන්තු ප්‍රධානී ජේෂ්ඨ කලමණාකාර ජනක මහතා දැනසිටියේය ඒ දිනක් ඇයත් සමග රස්සියාදුවක ගොස් සිටියදී පිටකොටුවේ මයුරා විදීයේදී අප මුණගැසීම නිසාය.
සිදුවුයේ කුමක්දැයි දැන ගැනීමට මුණගැසී කතා කරන්නට කිහිප වතාවක්ම උත්සහාකලත් ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූවාය. ඇයට මගේ නමට ලබාදී තිබූ සිම්පතද මම අවලංගු කර දැමුවේ ඇයගෙන් ප්‍රතිචාරයක් නොවූ තැනය. අවසානයේ මිතුරන්ගේ අවවාද උපදෙස් නිසා හිත හදාගත් මම තීරණයකට ආවෙමි.එනම් තව දුරටත් මොරටුව විශ්වවිද්‍යාල ශාඛාවේ හිතට එකගව කටයුතු කල නොහැකි නිසා මම වෙනුවෙන් ක්‍රිෂාන් කටුබැද්දට අනුයුක්ත කර මාව යලිත් ප්‍රධාන කාර්යාලය වෙත ගෙන්වා ගැනීමට නැසීගිය දෙපාර්ථමේන්තු ප්‍රධානී ජේෂ්ඨ කලමණාකාර ජනක මහතා කටයුතු කල  නිසා එක් ගුරුදාවක සියලු මතකයන් සිතෙහි රදවාගෙන මම කටුබැද්දෙන් නික්ම ආවෙමි. 
*******

පසුවදන

මේ සටහන තබන අද දිනයේ විශේෂත්වයන් දෙකක් ඇතිබව මතකයට නැගේ. පළමුවැන්න නම් වසර දෙකකට පෙර මේ සියලුම සිදුවීම් සිදුවූවේ අද වැනි දිනයකදී වීමයි.
දෙවැන්න නම් අද ඇයගේ උපන් දිනයයි. ගතවූ කාලය තුල ඇය ඇමතීමට කිහිප වතාවක්ම මට සිත්වූවද එයද යටපත් කරගෙන සිටියෙමි. 

කටුබැද්දේ මතකය ගැන කියාගෙන පැමිණි කතා පෙල අනුව තවත් කතා කිහිපයක්යම ඉදිරිපත් කල යුතු වුවත් සිතට එකගව තවදුරටත් කටුබැද්දේ මතකය අවදිකිරීම සිත්වේදනා ගෙන දෙන්නක් බැවින්ද සියල්ල අමතක කල යුතුව ඇති නිසාවෙන්ද මේ ලිපියත් සමගින්ම කජුකැලය හරහා කටුබැද්ද මතක කතාමාලාවට සදාකාලිකවම විරාමයක් තබමි.


ඒ වගත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ......


Friday, April 6, 2018

තුන්වන සැතපුම

අදින් හරියටම මාස තිස්හයකට පෙර සුදුපූසා බවට පත් වු මම අද බ්ලොග් අවකාශයේ තුන්වන සැතපුම සපුරාලන්නෙමි. අද දින හිමිදිරිය වන විට මෙයත් සමග පෝස්ටු පනස් එකකුත් සහ හිට් කවුන්ටරය පනස්හත් දහසකට අාසන්න ලෙස දර්ශණය වෙනවා. වර්ශ 2012 පමණ සිට බ්ලොග් කියෙවුවත් ලියන්න නම් කාලයක් හා ඉස්පාසුවක් ලැබුනේ 2015 වසරේ මුල වගේ තමා.

අද මේ තුන්වන වසර ගෙවෙන මේ වෙලාවේ මට බ්ලොග් ලියන්නට පෙලබවු හා උදව් කල කිහිපදෙනෙකුව මතක් කිරීම මගේ යුතුකමක් කියලා හිතනවා

  • කැන්ගරුලන්තයේ බටහිරට ආසන්න පර්ත් නගරබද පදිංචිව සිටියාවූද සිරි ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ සහ ගම්පහ ප්‍රාදේශීය වැඩපලවල් වල මාගේ පියා සමග සේවය කලාවූද ඔබ්සවර් නැත්තම් ඔබා මාමා ලෙසින් බ්ලොග් ලොව දැන හදුනාගත් සනත් විජේවර්ධනයන් 
  • මගේ බ්ලොග් එකේ පලමුවැනි පෝස්ටුව වෙච්චි දඩයමේ යාම  කතාවට හා හාපුරා කියලා නමෝවිත්තියෙන් පලවෙනි කමෙන්ටුව කෙටූ අවන්හලේ මහේශ් රත්නායක
  • පන්සලේ කතා වගේම බස් පලුවන්ගේ කතා වගේම විශාල කතා ප්‍ර‍මාණයක් බ්ලොග් අවකාශයට දායාද කලා වූවද අද වන විට බ්ලොග් ලිවීම යනු කුමක්දැයි නොදන්නා තත්වයට පත්වී ඇති මාරයාගේ හෝරාවේ මාරයා 
  • බ්ලොග් ලෝකෙට මුල් ගුරු වෙච්චිතමන් දැල්වු   පහණින්  තවත්පහන් සිය ගණනක් දැල්වූපුක යනු කුණුහරුපයක් නොවන බව ඔප්පු කලාවූත් රසික සූරියාරච්චි නොහොත් පැරණි කතන්දරකාරයා  
  • ෂර්වුඩයෙ රොබින් වගේ කෙහෙල්කොටුවට පැනල කෙසෙල් ගස් පෙති පෙති කපාපු, හුරතලේට ඌරු පැටියෙක් හදාපු, කෙහෙල් කොටුවේ චූටි මහත්තයා නොහොත් බුද්ධී ප්‍රසාද් 
  • පූසාව සජීවි ලෙස මුණගැසී කතාබහ කල මගේම පාසලේ බ්ලොග්කරු  කාමරේ සිරා 

    එදා පළමු දොලොස්මස පසුකරපු මොහොතේ මම ඔබට කිව්වා මම කොහොමද බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියලා. මුලදි කරගන්න බැරුවයයි කියලා හිතුනත් දැන්නම් අබිං කෑවාවගේ තමයි. මොනවාහරි නොලියා ඉන්නම බෑ වගේම බ්ලොග් කියවන්නේ නැතුව ඉන්නත් බෑ කොච්චර වැඩ රාජකාරී ගොඩගැහිලා තිබ්බත්. බ්ලොග් ලියන කෙනෙකුගෙන් ඇහුවොත් ඇයි ලියන්නේ කියලා, නොයෙකුත් පිළිතුරු ලැබෙන්න පුළුවන්. අපි කාටවත් මේ සමාජයේ තනිවී ඉන්නට බැහැ. අපගේ සිතුවිලි හා චිත්තාවේගයන් සදහන් නොකර ඉන්නට බැහැ. සමහර විටකදී සිතෙහි පවතින ආවේගයන් හා කෝපයන් පිටකරන්නත් මගේ අතින් ලිපි ලියවෙන අවස්ථාවන් නැතුවාම නෙවෙයි. අනෙකුත් සෑම ලේඛන සහ ප්‍රකාශන මාධ්‍යවල යෙදෙන්නන් කරන්නේත් එයමයි. ඉතින් බ්ලොග් ලියන අපිත්, අනෙකුත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලට වඩා පෞද්ගලිකත්වය විදහා දක්වමින්, චිත්තාවේග පිටකරමින් ලියන එකයි කරන්නේ කියලයි මමනම් හිතන්නේ.   


    බ්ලොග් අඩවිය ඇරඹුදිනයේ සිටම මාසයකට ඒක පෝස්ටුවක් වත් පල කලද පසුගිය නොවැම්බරයේ සිට අද වෙනතුරුම කිසිවක් පල කරීමට නොහැකි වුනේ අධික කාර්යබහුලත්වයත් සහ ලිවීමට ඇති ආශාව හීනවුන නිසාදෝ කියලත් වෙලාවකට හිතෙනවා. පසුගිය වසරේ සිදුවූ සිදුවීම් අතර අසමි දකිමි සොයමි අඩවිය පවත්වාගෙන ගිය විචාරක තුමාගේ හදිසි අභාවය මෙන්ම බැංකුවේ ජීවිතේ කතා රැසක චරිතයක් වූ ප්‍රියන්ත මහතාගේ හදිසි නික්මයාමද සිනිටුහන් විය. සුදුපූසාගේ අඩවිය ඇරඹීමට මුල් වූ හේතු ඇතුලත් කජුකැලෙය හරහා කටුබැද්ද කථාමාලාවේ ඉතිරිවී ඇති නොකී කථාත් නිර්සත්වයෝ බදුවූ කතා කිහිපයකුත් මත්තට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිමි.

    ඉහත සදහන් කල පිරිසට අමතරව ගතවූ තෙවසර පුරාවට නිතරම ගොඩවදින අම්බලන්ගොඩයා ,කුරුට්ටන් පිරිස , දිනේෂ් , කැලේ පිපුණු මල් , වැසි දැරිය අටම්පහුර අටම්තුමා, බ්‍රා මෙන්ඩිස් සහ ප‍්‍ර‍සන්න වැනි අය මෙන්ම වරක් හෝ පැමිණි  නම් වශයෙන් සදහන් නොකල එකී මෙකී නොකී සෑම සියලුම දෙනාටම හිස නමා ආචාර කරමි......


    ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.............

    Wednesday, November 1, 2017

    ජයදොරිස්ගේ කලකම් ඵලදීම සහ වව්චර් මිටිය

    කාලෙකට පස්සේ ආයෙත් බැංකුවේ කතාවක් කියන්නයි අද මගේ කල්පනාව. අපිට එදිනෙදා ජීවිතකාලය අතරතුර විවධාකාරයේ පුද්ගලයින් සමඟ සමාජයේදී රාජකාරීමය වශයෙන් සහ පුද්ගලික මට්ටමෙන් නිරන්තරයෙන් කටයුතු කරන්නට සිදුවෙනවා. සමහරුන් තම දිවියෙන් ආදර්ශයන් අනුන්ට ලබාදෙමින් තමන් පිලිබදව අන්අයගේ සිත්සතන් තුල නොමැකෙන ලෙස මතක සටහන් තබමින් සමුගන්නා අතරතුර තවත් පිරිසක් තම ගතිගුණ නිසාම අන්අයට වහකඳුරු බවට පත්වී කාලයේ වැලිතලාවට හසුව මතකයෙන් ගිලිහීයයි. අද ලියන්නට යන පෝස්ටුව අමුතු පුද්ගලයෙකු සහ මා වටා සිදුවූ රසවත් සිදුවීම් කිහිපයක් වන අතර මෙම සිදුවීම් වලට දායක වූ පුද්ගලයා මේ වනවිට රාජකාරියේ නොමැති වුවත් එම පුද්ගලයින්ට අගෞරවයක් නොවනු පිණිස අන්වර්ථ නාමයක් යොදාගෙන ලියන්නට අදහස් කරමි. 
    මෙතැන් සිට අපි ඔහුව ජයදෝරිස් නමින් හදුනවමු. ජයදෝරිස් උන්නැහේ මට හාහාපුරා කියලා මුණගැහෙන්නේ මගේ පලමුවන පත්වීම ලබා ලංකාවටම තෙල් බෙදන්නාවූ ස්ථානයට ආසන්න ශාඛාවට  ආගමනයත් සමගය. ඒ වර්ෂ දෙදහස් දහතුන වසරයි. මම පත්වීම් ලබා ජාතියේ මහා පහන් ටැබේ සේවයට ගොඩවූ සමයේදී එම ශාඛාවේ නිළබලය අනුව දෙවනියා ලෙස කටයුතු කලේ අද අපේ කථානායන වන ජයදෝරිස්ය. කෙටිකලකින් එවකට කළමණාකාරියවූ නාලනී මහත්මිය ජේෂ්ඨ කළමණාකාර තනතුරට උසස්වීමක් ලබා ගියපසු ශාඛාවේ කළමණාකරු බවට පත්වූයේ ජයදෝරිස් උන්නැහේය. 
    වලිඟයක් හා අං තට්ටුවක් නොමැති වුවද පාද දෙකකින් ඇවිදින මහා වෘෂභ රාජයෙකු බදු ජයදෝරිස් මහතාට ජංගම ගිණුම් සහ ජංගම ගිණුම් හිමි ගණුදෙණු කරුවන් පෙන්නන්නට නොහැකිය නයා අඳුකොල දැක්කා මෙන්ය. අයිරා පහසුකම ජයදෝරිස්ගෙන් ලබාගන්නවාට වඩා ඉබ්බෙකුගෙන් පිහාටු ඉල්ලීම පහසු බව ව්‍යාපාරික ප්‍රජාව අතර ප්‍රසිද්ධ රහසක් විය. සෑම ජංගම ගිණුමක් සදහාම අඟරු චෙක්පත් සටහන් කාඩ්පතක් ඇති අතර එහි චෙක්පත් දෙකකට වඩා අඟරු බව සටහන් වුවහොත් කිසිදු වග විභාගයකින් තොරවම එම ගිණුම අත්හිටුවා වසාදැමීම සිදුකරයි. බොහෝවිට එසේ අත්හිටුවා ඇති බව ගිණුම් හිමිකරු දැනගන්නේ තමා නිකුත් කල චෙක්පත් සදහා වෙනත් බැංකුවකින් ගෙවීම් ප්‍රතික්ශේප කලවිටකදීය. එවකට චෙක්පත් නික්ඛාශණ කටයුතු භාරව සිටියේ මමතුමාය. ගණුදෙණුකරුවන් අධික කෝපයෙන් යුතුව ඒ පිලිබදව විමසීමට එන්නේ මාවෙතටය. සත්‍ය කථාව මගෙන් දැනගන්නා
    බොහෝමයක් ව්‍යාපාරික මහතුන් විසින් ජයදෝරිස්ගේ මියගිය මව්පියන්ගේ ගුණ ගයමින් පින්පෙත් අනුමෝදන් කරනුයේ මා ඉදිරිපිටදීය.

    තම තනතුර පිලිබදව ඉතාමත් මහන්තත්වයකින් පෙලුණු ජයදෝරිස් හට තිබුන තවත් අසනීපයක් වූයේ වාඩිවීමට තිබූ පුටු පිලිබදව ඔහු දැරූ ආකල්පයයි. එනම් විධායක නිළධාරීන්ගේ පුටු යනුවෙන් ඔහු විසින්ම හදුන්වාගත් පුටුවල හිදගැනීම ඔහු විසින් තහනම් කර තිබුණි. මාද ඇතුලුව විධායක ශ්‍රේණියේ නිළධාරීන් සතර දෙනෙක් ශාඛාවේ සිටි අතර  සේවා කාලය අතින් ජේෂ්ඨවූ අතර කණිෂ්ටතම තැනැත්තා වූයේ මමතුමාය. ජේෂ්ඨත්වය නොසලකා හැරියහොත් සිවුදෙනාම විධායක නිළධාරී (Executive Officer) තනතුරේ කටයුතු කරන්නන් විය. 
    රාජකීය උෂ්ණය සහිත පඩුපුල් අසුන


    දිනක් පුහුණුවට පැමිණි ශිෂ්‍යාවක් ගණුදෙණුකරුවකුගේ කිසියම් කටයුත්තක් ඉටුකර දීමට රාජකීය උෂ්ණය සහිත පඩුපුල් ආසනයේ වාඩිවූවාය. එය දැකීමෙන් පරල වූ ජයදෝරිස් කළමණාකරුගේ වීදුරු කුටියේ සිට පැමිණ ගණුදෙණුකරුවන් ඉදිරිපිට ඇයට බැණවැදුණේ සිත්පිත් නැති පුද්ගලයෙකු ලෙසින්ය. ඇය හැඩූ කඳුලෙන්ද ගණුදෙණුකරුවන් ඉදිරිපිටදී නොකල වරදකට බැනීම නිසා ඇතිවූ ලැජ්ජාවෙන්ද මිරිකෙමින් සිටියදී, මෙවන් පිස්සු විකාර දැක තිත්ත වූ  මගේ ඉවසීමේ රතුකටුව පැන ගිය නිසා තමුසෙටත් මේ වයසේ ලමයි ඉන්නවා නේද? ලමයින්ට ඔහොම සලකන එක හරිදැයි ජයදෝරිස්ගෙන් ඇසුවෙමි. නොසිතූ අයෙකුගෙන් තමාට එල්ලවූ වදන්ද ගණුදෙණුකරුවන් කිහිපදෙනෙකුගෙන් එල්ලවූ බලවත් විරෝධයද හේතුවෙන් ජයදෝරිස් යලිත් තම කුටියට පසුබසින ලදී.

    පසුව හඩමින් සිටි ඇයව ඒ අසල සිටි මාණ්ඩලික නිළධාරිණී කේතකී සමඟ උඩු මහලට යවා මම ඉවසා සිටියේ දිනයේ බැංකුව වසන වේලාව එලබෙන තුරුය. සවස්වරුවේ දෛනික සමාලෝචන වේලාවේදී  "ජයදෝරිස් මහත්තයා බලු වැඩ කරන්න එපා අයිසේ, ඔහේ මේ ලමයි බල්ලෝ බළල්ලු කියලද හිතාගෙන ඉන්නේ ඔය පුටුව ඔහේ යද්දී අරගෙන යනවාදැයි හිරන්ත අයියා ඇසුවේ මටත් පෙර ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්මවාගොස් තිබූ නිසාය. එතැන් සිට මටත් හිරන්ත අයියාටත් පල නොකියා පලා බෙදන්නට ජයදෝරිස් කටයුතු කරන්නට විය. මගෙන් පලිගැනීමට ඔහු කලේ තවත් මළගිය ප්‍රාණකාරියක බදු මහත් වාතයක්වූ සිරියලතා මගේ ලොක්කී කර නික්ඛාශණ අංශයට එවන්නටය. ඇය නිසා සිදුවූ දෑ මීට පෙර ලියා ඇති බැවින් මෙහිදී කිසිවක් සදහන් නොකරමි. අපෙන් පලිගැනීම තම ප්‍රමුඛතම අරමුණ කරගත් ජයදෝරිස් මහතා සිරියලතාගේ නියමුවාද උපදේශකයාද මෙන්ම වධකයාද විය.

    ගණුදෙණුකරුවන් තමාට සෑම විටම ගරු කල යුතුයැයි සිතාගෙන සිටි හෙතෙම හමුවීමට ගණුදෙණුකරුවන් බලා සිටින විට මට සිහිවන්නේ පාසලේ වැරැද්දක් කර විදුහලපති හමුවට යාමට සැරසී සිටින පාසල් සිසුන් පිරිසක් ලෙසිනි. කාලයක් ගතවන විට ආරක්ෂක අංශයේ සිටි බත්කන හරකෙකුගේ කේලම් හා ලණු වලදමින් සේවක මණ්ඩලයෙන් පලිගැනීමට පටන්ගත් අතර දිගු කාලීනව ශාඛාවේ ගිණුම් හිමියන් තම ගිණුම් පුද්ගලික බැංකු වෙත ගෙන ගියේ ගණුදෙණුකරුවන්ට එය තිත්ත වී ගිය නිසාය. මාහට ප්‍රධාන කාර්යාලයේ අන්තර්ජාතික මුල්‍ය දෙපාර්ථමේන්තුව වෙත ලද ස්ථානමාරුව මගෙන් පලිගැනීම සදහා සියදෝරිස් අනුමත නොකර සිටියේ අනුප්‍රාප්තිකයෙකු රහිතව නිදහස් කල කොහැකිය යන තුරුම්පුව යොදා ගනිමින්ය. මේ නිසා කලකිරීසිටි අප සියලුදෙනා මෙයින් ගැලවෙන උපායක් සොයමින් කල්ගත කලෙමු.
    ජයදෝරිස් තෙමේහට කලකම් පලදුන්නේ කිසිවෙකුත් නොසිතූ නොවිරූ ලෙසින්ය. වර්ෂ අවසාන කාර්තුවේ මැද වාර්ෂික විගණන කටයුතු සදහා අභ්‍යන්තර විගණක කණ්ඩායම පැමිණීමට නියමිතව තිබූ දින උදෑසන මහා කලබලයකින් යුක්තව ජයදෝරිස් සහ චක්ගෝලයන් මොනවදෝ සොයමින් පසුවූ අතර සෑමකෙනෙකුගෙන්ම විමසා සිටියේ තම මේසය මත තිබු වව්චර් මිටිය දුටුවාද යන්නයි. එය පෙරදා තම මේසය මත තිබුණු බවත් දැන් එය ප්‍රාතූර්භූත වී ඇතිබවත් පවසා මුලු ශාඛාවම කණපිට හරවමින් සොයාබැලුවද එය හමුවුණේ නැත. අනෙකුත් දිනයන්ට අදාල වව්චර් මිටි සියල්ල පැවතුනද එක් දිනයකට අදාල මිටි දෙකම අතුරුදහන්ය. මේ සියලුම ජරමර අස්සේ ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නාක් මෙන් එදින දහවල වන විට වාර්ෂික විගණන කටයුතු සදහා අභ්‍යන්තර විගණක කණ්ඩායම පැමිණි අතර ඔහුන් විසින් එම වව්චර් මිටි අස්ථානගත වීම විශාල වරදක් සේ සලකා විශේෂයෙන් ඉහලට දන්වා සිටීම නිසා  ජයදෝරිස්ට පලාත් කාර්යාලය වෙත ස්ථාන මාරුවක් ලද අතර  ජයදෝරිස්ගෙන් හිස්වූ තනතුරට පැමිණියේ අර්ථයේ පරිසමාප්ථියෙන්ම නියම මහත්මයෙකු වුද අප සියලුම දෙනා අදටත් හිසනමා ආචාර කරන්නා වු ප්‍රියන්ත මහතාය. තම සේවා කාලයේ අවසන් අඩවසර ගත කිරීමට පැමිණි හෙතෙම මානව දයාවෙන් යුක්තව කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාහට පියෙකු තම දරුවන්ට රැකවරණය සලසන්නාක් මෙන් කටයුතු කල අතර අප හැරගිය  ගණුදෙණුකරුවන් යලි අපවෙත අද්දවා ගනිමින් ගණුදෙණුකරුවන්ගේ ප්‍රසාදයද දිනාගනිමින් කටයුතු කලේ ගණුදෙණුකරුවන් හීන්නූලෙන් පාලනය කලයුතු ආකාරය මැනවින් දන්නා අයෙකු නිසාය. 
    කාලය කෙමෙන් කෙමෙන් ගෙවීයන අතරතුර ප්‍රියන්ත මහතා තම සේවා දිවිය අවසන් කර සමුඟත් පසුව යලිත් ජයදෝරිස් කලමණාකාර තනතුරට පත්ව එනවා දකින්නට අපි බොහෝදෙනෙක්ම එහි සිටියේ නැත.ඒවන විට අපි සිටියේ ජයදෝරිස් විසින් අනුමත නොකල ස්ථානමාරු ප්‍රියන්ත  මහතාගේ එක් පෑන් පහරින් ලබා ප්‍රධාන කාර්යාලය තුලය. කාලයාගේ ඇවෑමෙන් ජයදෝරිස් විශ්‍රාමයන බවට මානව සම්පත් අංශයෙන් ලද ආරංචිය අනුව අදාල දිනයේ පරණ තරහ මදකට අමතක කර ජයදෝරිස් උන්නැහේට ආයුබෝවන් කියන්නට මමත් හිරන්ත අයියාත් ගියේ  ජයදෝරිස් උන්නැහේ පුදුමයට පත්කරන්නට හැකි තෑග්ගක්ද අරගෙනය. එනම් ඊට වසරකට පමණ කලින් ජයදෝරිස්  මහතාගේ ආරක්ෂිත කාමරයේ මේසය උඩ තිබියදී හිටිහැටියේම අතුරුදහන්වී ගිය වව්චර් මිටිදෙකේ අවශේෂ ලේබලයයි. එය අප දෙදෙනාම එක්ව මිස්ටර් ජයදෝරිස් මෙන්න අපිව මතක් වෙන්නත් එක්ක පුංචි තෑග්ගක් කියා මේසය උඩට විසිකල අවස්ථාවේ  පිස්සු පූසා සහ පිරිවර දුටු  සාජන් මහත්මයා සේ ඇස්ගෙඩි දෙකත් ලොකු කරගෙන බොහොම පරාජිතයෙකු විලසින් අපි දෙස බලා සිට කතාකරන්නට කිහිපවිටක්ම උත්සහා කලත් කිසිදු හඩක් පිටුවූයේ නැතිය. සමහරවිට තමා පමණක් රැදී සිටින තැනෙන් අතුරුදහන්වූ වව්චර් මිටි අපේ අතට ආවේ කෙසේදැයි සිතුවා විය හැකිය. කෙසේ වුවත් තමන් තටු කපන්නට උත්සහා කරමින්ද බොරු වලවල් කපමින්ද සෙල්ලම් කලේ වැරදි පුද්ගලයින් සමගයැයි එදා ඔහුගේ ටිකිරි මොලයට වැටහෙන්නට ඇති බව මගේ විශ්වාසයයි.

    පසු සටහන

    • යමෙකුට නිසි ගරුත්වය ලැබීමට නම් ඔහුද පෙරලා අන් සේවකයන් හට නිසි ගරුත්වය ලබාදිය යුතුමය. ජයදෝරිස් හට කෙලවූයේ තම ස්ථීර කාර්ය මණ්ඩලය අවිශ්වාස කොට අන්අයගේ කේලාම් බස් හිස් මුදුනෙන්ම පිලිගැණීම නිසාය. ඒසේ කේලාම් විශ්වාස නොකර සිටියානම් සහාය කළමණාකාර ශ්‍රේණියට උසස්වීමක් ලබාගෙනම විශ්‍රාම යාමට හැකියාව තිබුණි.
    • ජයදෝරිස්ගේ සමුගැනීමත් සමගම නැතිවූ වව්චර් මිටි තමුන් කලින් සිටි ස්ථානයටම වැඩමකල අතර යලි කිසිදු දිනයක අදාල රාක්ක වලින් අතුරුදහන් වූයේ නැත
    • ජයදෝරිස්ගේ මේසය මතින් වව්චර් මිටිය තාවකාලිකව අතුරුදහන්වී පිටතට පියබා ගිය ආකාරය දන්නේ සරම් දෙකක් සහ එක් කම්බායකුත් පමණක්මය. හදිසි අනතුරක් හඟවන ශාඛාවේ අනතුරු නලාව, රූපවාහීනී දුරස්ථපාලකය යැයි සිතා අත්වැරදීමකින් මහදවාලේ නාදකර පොලීසිය කැදවීමට තරම් මෙතුමා වරක පුංචිපහේ හපනෙකුද විය.                                                              

    ඒ වඟත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ

    Friday, October 6, 2017

    දිසාපාමොක් මතක දෙවන කොටස - විඳු නැණ ඇඳුරු මතක

    පලමු කොටස
    ඉස්කොලේ හිටපු ගුරුවරු ගැන මතකය  ලියන්න ගත්තට තාම ලියාගන්න පුලුවන් වුනේ එක කොටසයි. අද ජාත්‍යන්තර ගුරුදිනේ නිසාවෙන් අදත් මම කියන්න හදන්නේ මගේ මතකයේ රැදුනු තවත් අපූරුම ගුරුවරුන් දෙන්නෙක් ගැන. මේ කියන්න යන ගුරුවරුන් දෙදෙනාම විද්‍යාව හා තාක්ෂණවේදය විෂය පිලිබදව ඉහලතම දැනුමක් තිබූ ගුරුභවතුන්. පලමුවෙන්ම මම කියන්න යන චරිතය ගම්පහ බණ්ඩාරණායක විදුහලේ ඉතාමත් ජනප්‍රිය හා මිනිස්කම අතින් ඉහලින්ම සිටි ගුරුවරයෙක්
    නමින් රංජිත් ප්‍රනාන්දු වෙච්ච මෙතුමා එවකට පාසලේ පැවති විශාලතම විද්‍යාගාරය භාර ආචාර්යවරයා වශයෙන් කටයුතු කරන අතරම පාසල් විනය පාලක මණ්ඩලයේ ප්‍රභල සාමාජිකයෙක්ද උනා. මට ඔහු මුණගැසුණේ සාමාන්‍යපෙල අධ්‍යණ කටයුතු පටන්ගත් සමයේදීය මක්නිසාදයත් අප පන්තියට විද්‍යාව විෂය සදහා පත්ව සිටි ගුරුවරයා රංජිත් මහතා වූ බැවිනි. අනෙකුත් පන්ති සදහා විද්‍යාගාරය ලබාදුන්නේ සතියකට එක් කාලපරිජේදයක් වුවද අපි වසර දෙකක්ම විද්‍යාව  කාලපරිජේදයන් ගත කලේ විද්‍යාගාරය තුලමය.
    විෂය නිර්දේශයට අදාල සියලුම පරීක්ෂණ කටයුතු සම්පූර්ණ කරන්නට ලැබුනේ අප පන්තියට පමණක්මය එම නිසා අනෙක් පන්තිවලට වඩා දැනුම අතින් ඉදිරියෙන් සිටින්නට අපට සිටින්නට හැකිවු බව පැවසිය යුතුමය. වර්ෂ අවසාන විභාග කටයුතු සදහා පාසලින් විද්‍යාව ප්‍රශ්ණපත්‍රය සකස් කරනු ලැබුවේ රංජිත් මහතා වන අතර සිසුන් රන්ජිත් මහතා සකස්කරන්නාවූ ප්‍රශ්ණපත්‍ර වලට පිලිතුරු සැපයීම යනු ලේසි දෙයක් නොව අමාරුම වීම නිසාය. තරමක් සාමකාමී ගුරුතුමෙකු වුවද ඉතාමත් කෝපයෙන් පහරදුන් අවස්ථාවක් මගේ මතකයේ ඇත. එනම් පැරෆින් තෙල් වල බහා තිබූ සෝඩියම් කැබැල්ලක් ගෙන අපේම පන්ති සගයෙකුගේ සාක්කුවට දමද්දීම මාට්ටු වීමයි. හයිකෝට් මට්ටමේ වැරැද්දක් වූ එය කලේ කවුදැයි ඉදිරිපත් නොවූ නිසාත් කිසිවෙකුත් පාවා නොදුන් නිසාත් රංජිත් සර්ගෙන් පෝරියල් වීදීමට සැමටම සිදුවිය. 
    11 - A පන්තියේෙ සිටියේ නාහෙට අහන්නේ නැති සොමිබර ජොලිබර සෙට් එකකි. හිස් පීරියඩ් එකක් ආවොත් සෙට් එක පිටින් එකකෝ පිට්ටනියේය එසේ නැතහොත් මහා සංගීත සංදර්ශණයක් බවට පෙරලේ.  අල්ලපු පන්ති වලින් සද්දේ වැඩියි කියා ගුරුවරුන් කීවද ගනන් ගන්නේ නැත. සංගීතය අවසානයේ බයිලා ගායනයක් බවට පත්වේ. එසේ ගලා යන අතරතුර සංගීත ප්‍රසංගය බාල්දි වැටෙන අවස්ථාද නොතිබුනා නොවේය. මක්නිසාදයත් අපගේ සංගීත මිහිරියාව කෙමෙන් කෙමෙන් විද්‍යාගාරය දක්වාම පැතිරගොස් විද්‍යාගාරයේ වාසය කරනා රංජිත් ප්‍රනාන්දු මහාතාගේ සවන්පත් සිපගත් කල සිදුකරන්නාවූ හදිසි කඩාපැනීම් හේතුවෙනි. අනිත් ගුරුවරුන් වන පතිරත්න දයාරන්ජිත් ගුණතිලක වැන්නන් පහරදුන්නද රංජිත් මහතා කිසිම කලෙක අපේ බජව්කරුවන්ට දඩුවම් කලබවක් නම් මගේ මතකයේ නැත. ඔහු කලේ තදින් බැණ වැදීම පමණකි. ඔහුට කලාව පිලිබදව ඇල්මක් තිබූ බව මගේ හැගීමය මන්දයත් විවේක කාලයට විද්‍යාගාරයට එන රතුකුරුස ඒකකය භාරව සිටි චන්ද්‍රදාස සතරසිංහ හා සමන් ජයසේකර මහතුන් සමග ඉදහිට ගී ගයනු ඇසී තිබෙන නිසාය.
    බොහෝ කාලයක් සිසුන් දැනුමින් පෝෂණ්‍ය කල මෙතුමා මේ වන විට විශ්‍රාම සුවයෙන් නිට්ටඹුව මාඉබුලේ පිහිටි සිය නිවසේ වෙසෙත්.

    *******
    එකල ගම්පහ නගරයේ සාමාන්‍යපෙල විද්‍යාව විෂය සදහා සිටි සාර්ථකම හා ජනප්‍රියතම පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා වුයේ බණ්ඩාරවත්ත ගයා පෙදෙසෙහි විසූ තිලක් ගමගේ මහතාය. හය වසරෙන් ආරම්බකර එකොලහ වසරෙන් අවසන් වන ලෙස පන්ති පැවති අතර එක් ශේණියකට පන්ති තුනක් බැගින් වෙන්කර තිබුණි. මම අවසන් වන තුරුම සහභාගී වුයේ සෙනසුරාදා දින පැවැති පන්තියට වන අතර එහි සාමාජිකයන් තුන්සියයකට ආසන්න ගණනක් සිටිබව මගේ මතකයේ පවතී. 
    පාසල් විෂය නිර්දේශයට පෙර අන්වීක්ෂය වැනි උපකරණ භාවිතා කිරීමටත් රසායන ද්‍රව්‍ය භාවිතා කර විවිධ පරීක්ෂණයන් සිදුකර සාර්ථක ප්‍රථිඵල ලබාගැනීමටත් ඉඩකඩ සැලසුනේ ඔහුගෙන් ලද මඟපෙන්වීම නිසාවෙනි. පන්තියට සහභාගී වන සිසුන්ට ගිරවුන් මෙන් විෂය කරුණු පමණක් නොව නිර්මාණ ශක්තියද වර්ධනය වනු පිණිසත් දැනුම පරීක්ෂා කරණු පිණිසද ක්‍රියාමාර්ග යොදා තිබිණි.වසරකට නියම කල නිර්මාණයන් ගණනක් නිමවා ඉදිරිපත් කිරීම අනිවාර්ය වූ අතර අපගේ පොත්පත් කලකට වරක් පරීක්ෂා කලේ රූපා අක්කාය.
    පලමු වරට ඡන්දයක අත්දැකීම විදින්නට ලැබුනේද මෙහීදීය. එනම් පන්ති නායක හා පන්ති නායිකාව තෝරාගත්තේ සිසුන්ගේ ඡන්දයෙනි. නාමයෝජනා එකකට වඩා ලදහොත් රහස් ඡන්දයක් පවත්වයි. මැතිවරණ කොමසාරිස් වෙන කිසිවෙකුත් නොව ගමගේ සර්මය. මමද සහභාගී වු සෙනසුරාදා පන්තියේ වැඩිම වසර ගණනක් පන්ති නායකයා වූයේ චින්තන සොයුරාය ඔහු මගේ පාසල් පන්ති සඟයෙකි. සාමාන්‍යපෙල විභාගය පැවති වසරේ ඡන්දයෙන් ප්‍රතිවාදී අපේක්ෂකයාට ඇපත් නැති කරමින් ජයගත්තේ මම තුමායි. ප්‍රතිවාදියා වූ ජූඩ් මිලින්ද සොයුරාව පන්තියෙන් සමුගත් පසුව මට යලිත් කිසුදු දිනක මුණගැසී නැත.

    ලමා මානසිකත්වය පිලිබදව "ඔබේ දරුවා රජ කරවමු" වැනි ග්‍රන්ථයක්ද පලකර ඇති එතුමා ගත් කතුවරයෙක්ද වෙයි. දශක කිහිපයක් විශාල වූ සිසුන් ප්‍රමාණයකය දැණූම බෙදා දුන් තිලක් ගමගේ මහතා අද බණ්ඩාරවත්ත ගයා පෙදෙසේ වූ නිවසේ වෙසෙත්.
    ජාත්‍යන්තර ගුරු දිනය සමරණ අද දිනයේ මගේ පැතුම ඉදිරි කාලය මම සදහන්කල ගුරුභවතුන් දෙදෙනා ඇතුලු සමස්ථ ගුරුවරුන් හට නිදුක් නීරෝගිමත්ව ගත කිරීමට හැකිවේවා යන්නයි.
    තිලක් ගමගේ ගුරුපියාණන්ගේ මුහුණු පොත් ගිණුම.


    පසු සටහන

    • වසර දෙකහමාරකට පෙර අරබන ලද මාගේ බ්ලොග් අඩවියේ අද මෙයත් සමගම සපුරාලන්නේ ලියා පලකරන ලද පනස්වන සටහනයි.
    • රංජිත් ප්‍රනාන්දු මහතාගේ ජායාරූප සපයා දුන්නේ අප විදුහලේම සංජීව සිරිවර්ධන සොයුරා විසිනි.

    ඒ වඟත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.......