Friday, January 27, 2017

ලේ දන්දීමේ පින්කමට මත්තෙන්

"මා වැනි බිළින්දා
මරුවා යයිද කැන්දා
අනේ ඒ හින්දා
දෙන්න ලේ බිදු මාමා නැන්දා"

නිතර දෙවෙලේ කොහේහරි තාප්පෙක ඇලවිලා තියෙන මේ කවියට අදාල පොස්ටරේ ඔයාල කවදහරි දවසක දැකලා තියෙන බවට සැකයක් නැහැ. අපේ ලංකාවේ පිළිකා සඳහා ප්‍රතිකාර ලබන පුංචි නංගිල මල්ලිලා අඩු වයසින් ඉපදුන ළමයින්, හදවත් සැත්කම් වලට ලක්වන ළමයින්ට වගේම වැඩිහිටියන්ට සහ ඩෙංගු රක්තපාත තත්වයට පත්වෙලා රුධිරය මෙන්ම රුධිර පට්ටිකාද ඒ ඒ අදාල රුධිර වර්ගයන්ගෙන් නිරන්තරයෙන්ම වුවමනා වෙනවා.රක්ත හීනතාවයෙන් පෙළෙන රෝගීන්ට රුධිර සෛල ප්‍රමාණය වැඩි කිරීමට රුධිර පාරවිලයනය යොදාගන්න පුලුවන්.තැලසීමියාව කියන ප්‍රවේණික රෝගය ලංකාවේ පුද්ගලයින් දෙදහසකට කට පමණ ඇති අතර ඔවුන්ට මාස්පතා රුධිර පාරවිලයනයන් සිදුකිරීම අවශ්‍ය වේ. 
ලංකා රුධිරපාරවිලන සේවයේ තොරතුරුවලට අනුව ලැබෙන පරිත්‍යාග වලින් 38% පමණ ප්‍ර‍මාණයක් O+ රුධිර කාණ්ඩයෙන්ද 34% පමණ ප්‍ර‍තිශතයක් A+ රුධිර කාණ්ඩයෙන්ද ලැබෙන අතර එම රුධිර කාණ්ඩයන් සුලබ වන අතර B- රුධිර කාණ්ඩයෙන් 2% ද AB- රුධිර කාණ්ඩයෙන් 1% වශයෙන් වාර්ථාවෙනුයේ ඉතා හිඟතාවයෙන් පෙලෙන රුධිර කාණ්ඩයන් ලෙසින්ය.

මේ සටහන මම ලියන වෙලාව වෙනකොට අපි සංවිධානය කරන ලේ දන්දීමේ කදවුරට තියෙන්නේ පැය 30 වගේ කාලයක්. අපි මේ වෙනකොට විවිධ ක්‍ර‍ම මගින් මේ පිලිබදව දැනුවත් කරලා තියෙනවා පසුගිය වසර තුන පුරාවටම පැමිණි සියලුම රුධිර දායකයන් හට මෙවර කඳවුර පිලිබදව දන්වා ලිපි තැපැල් කර යවා තිබෙනවා. 
පෙර වසරවල දායකයන්ට සිහිකැදවීම්
පෙර වසරවල දායකයන්ට සිහිකැදවීම්

පෝස්ටර් සකසමින්
පෝස්ටර් සකසමින්
පෝස්ටර් සකසමින්

ඊට අමතරවඅතින් අදින ලද පොස්ටර් මගින් ගම්පහ නගරය අවට දැනුවත් කිරීමේ කටයුතු සිදුකලත් ඇදහැලුණු වර්ෂාව තරමක භාදාවන් ඇතිකලා.

රුධිර දායකයෙකු වීමට අවශ්‍ය සුදුසුකම්
  • වයස අවුරුදු 18-60 ත් අතර ගැහැණු පිරිමි දෙපාර්ශවයටම (පලමු වරට ලබාදෙන්නේ නම් උපරිම වයස 55 ක් ලෙස සලකනු ලැබේ)
  • බර කිලෝග්‍රෑම් 50 ට වඩා වැඩිවිය යුතුයි
  • රුධිරයේ හිමොග්ලොබින් ප්‍ර‍මාණය ඩෙසිලීටරයකට ග්‍රෑම් 12 ට වඩා වැඩිවිය යුතුය.
  • රුධිරය ලබා දෙන මොහොත වන විට පැය හයකට වඩා නින්දක් ලබා තිබිය යුතු වීම.
රුධිර ප්‍ර‍දානයට නුසුදුස්සෙකු වීමට හේතු
  • පසුගිය වසරක කාලය තුල ඔබට රුධිරය හෝ රුධිර කොටස් ලබාදීමට සිදුවූවා නම්
  • ඔබට විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවකුට වඩා සිටිනවා නම්
  • කෙදිනක හෝ මත්ද්‍ර‍්‍ය එන්නත් ලබාගෙන තියෙනවා නම්
  • පසුගිය මාස හයක් තුල කුමක් හෝ ශල්‍යකර්මයකට භාජනය වී ඇත්නම්
  • පසුගිය මාස හයක් තුල විදේශගතව පැමිණියා නම්
  • පසුගිය වසරක් තුල කන්විදීමක් හෝ පච්චා කෙටීමක් සිදුකර ඇත්නම්
  • කෙදිනක හෝ සෙංගමාලය හෙවත් කහඋණ වැලදී ඇත්නම්
රුධිරය ලබාදීමෙන් පසුව

  • රුධිරය ලබාදීමෙන් පසුව අවම විනාඩි 20 පමණ විවේකීව වෛද්‍යවරයාගේ හා කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ එම ස්ථානයේම රැදී සිටිය යුතුයි
  • සුලු ආහාරයක් හා දියරමය පානයක් ලබාගත යුතුයි
  • කුමක් හෝ අපහසුතාවයක් ඇත්නම් වෛද්‍යවරයාට හෝ කාර්ය මණ්ඩලයට දැන්විය යුතුයි
  • රුධීරය ලබාගත් ස්ථානයේ ඇලවූ ප්ලාස්ටරය පැය දොලහක් ගතවෙන තුරු නොගැලවිය යුතුයි
  • ඊලග ප්‍ර‍ධාන ආහාරය ලබාගන්නා තුරු මත්පැනෙන් වැලකිය යුතුයි

දිනය    - 2017 ජනවාරි 28 සෙනසුරාදා

ස්ථානය
 - බෞද්ධ කාන්තා සමිති නිවහන ගම්පහ (යශෝදරා බාලිකා විදුහල අසල)

වේලාව  - පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා


(ගම්පහ දුම්රිය පොලේ සිට මාර්ග සිතියම)
ඔයාලට ලේ වලින් අඩුවක් නැහැ නේද වැඩිපුරත් එක්ක තියෙනවා. ඒත් ලේ අඩු වෙලා ජීවිතයත් මරණයත් අතර සටන් කරන අය ඔබ අප අතරේ ගොඩක් ඉන්නවා. ඒ අයව ඒ සටනින් දිනවන්න ඔයාලටත් පුලුවන්. 
ඔයාලගේ ලේ වලින් මේ අපේ රටේ කොතනක හරි මරණාසන්නව ඉන්න අම්ම තාත්තා කෙනෙක් ආච්චි සීයා කෙනෙක් සහෝදර සහෝදරියක් නැත්නම් අහිංසක පුංචි එකෙක් ජීවත් කරවන්න පුලුවන්නම් එයින් ඔබට දැනෙන සතුට සල්ලි වලට ගන්න බැරිවෙයි. ඒ සතුට ලබා ගන්න ඔබේ ලේ වලින් ජීවිතයක් ජීවත් කරවන්න ඇවිත් යන්න එන්න
අමතක කරන්න එපා ඔයාටත් කවදා හෝ දවසක කාගේ හරි ලේ ජීවිතේ රැකගන්න ඕන වෙන්නත් බැරි නැහැ..

හැල්මේ දුවන ජීවිතත් එක්ක කියවන ඔයාලා හැමෝටම මේකට එන්න බැරිවෙන බව අපි දන්නවා. ඒත් පුලුවන් කමක් තිබුණොත් ඇවිත් යන්න එන්න නැත්නම් ඔයාල දන්න ගම්පහ අවට ඉන්න යාලුවන්ට කියන්න එදාට ගම්පහ යශෝදරාව ඉදිරිපිට නිවහනට එන්න කියලා
ඔබත් ඇවිත් යන්න එන්න තවත් ජීවිතයකට ආලෝකයක් වන්නට......



අදත් වෙනදා මෙන්ම පහුරු ගෑ මම සුදුපූසා වෙමි..........


Wednesday, December 21, 2016

බැංකුවේ ජීවිතේ තුන්වන කොටස - පුද්ගලික ණය හා හණමිටි අදහස්

වස්සානයේ හිරිකඩත් මීදුමත් අතරින් අවධි වූ ලෝකයෙන් තවමත් හිරුඑලිය වහන් වෙලාය. නගරය පුරා එහි අණසක පැතිරෙන විටදී තවත් වරක් නිදන්නට සිතුනත් හිරු එලිය පොලවට සැපත්වන නිමේෂයේදී රාජකාරි ස්ථානයත් වේලාවත් සිහිවන විටදී ක්ෂණිකවම නිදිමත මා වෙතින් පලා යයි.
රාජකාරී ස්ථානයේ පඩිපෙල නැග පුටුවේ වාඩි වූ මොහොතේ සිට විවිධාකාර ප්‍ර‍ශ්ණ හා ගැටෙමින් ලිපිගොණු අතර කාලය ගෙවෙන විට පුද්ගලික ජීවිතයේ සියල්ල අමතකය. රාජකාරි නිමවා ආපසු යන විට පමණක් මට මා ගැන මතකය අවධිවන තරමට වැඩ මා වසාගෙන ඇත. අද විස්තර කරන්නට යෙදෙන මේ සිදුවීම කලකට පෙර මම ණය අංශයේ පුහුණුවන නිළදාරියා ලෙස කොළඹට හූවක දුරින් පිහිටි ස්ථානයක සේවය කරමින් සිටියදී සිදුවූවකි. දිනක වැඩ ආරම්බකර සුලු මොහොතකින් මමත් මාණ්ඩලික සහකාර තේමියත් ණය ලිපිගොණු අතර අතරමං වී සිටි අතරතුර තරුණියන් දෙදෙනෙකු අප සිටි ස්ථානයට ඇතුල්විය.
"සර් මට පර්සනල් ලෝන් එකක් ගන්න ඕනේ මට නෙවෙයි නංගිට එයාගෙ වෙඩින් එකට"

නංගී මොකද කරන්නේ? කීයක් විතරද මිස් ගන්න බලාපොරොත්තු වෙන්නේ?

"එයා ජොබ් එකක් කරන්නේ නෑ සර් එයා කැළණිය යුනිවර්සිටි එකේ තර්ඩ් ඉයර්. ලක්ෂ පහක් විතර ගන්න තමයි බලන්නේ සර්. මටම ලෝන් එක ගන්න තිබුණා ඒත් මම දැනට එකක් අරන් තියෙන නිසා තමයි නංගිගේ නමින් ගන්නේ. අයියා දැනට රට ඉදලා සල්ලි එවන්නේ නංගිගේ ගිණුමට ඒකෙන් ණය වාරිකය කපා ගන්න පුලුවන්"

නංගි ජොබ් එකක් කරන්නෙත් නැතුව ලක්ෂ පහක් අරගෙන කොහොමද මිස් ගෙවන්නේ මාසෙකට 13500/- විතර ගෙවන්න වෙනවනේ. බැරිවෙලා හරි අයියා ලංකාවට ආවොත්?

"ඒ ආවත් අයියා එන්නේ නිවාඩුවටනේ සර් එයා දැන් අවුරුදු දහයක් තිස්සේ ඉදලා ඉන්නේ පිටරට. දැනටමත් එයා හතලිහක් පණහක් විතර එවනවනේ"

ලක්ෂ පහක්ම ඉල්ලන්නේ වෙඩින් එකටමද? "නංගිට දෙන්නයි වෙඩින් එකටයි දෙකටම සර්"
මට ලක්ෂ පහක්ම දෙනවා කියලා පොරොන්දු වෙන්න බැහැ. අයියගේ ආදායම සහතික කරන ලියවිලියි තියෙනවා නම් සේවා ගිවිසුමේ කොපියකුයි ඇප කාරයන්ගේ විස්තරයි අරගෙන එන්නකෝ අපි බලමු. මාස කිහිපයක් තිස්සේ කරවෙන්න පායන අව්ව හිතට ගතට මෙන්ම පරිසරයටද එකසේ බලපා ඇති සැටියකි. එය සාමාන්‍ය ජන ජීවිතයට කොතෙක් බලපෑමක් කර ඇත්දැයි ණය ඉල්ලාගෙන පැමිණෙන පිරිසෙන්ම පෙනේ කාළගුණයට කොතරම් දේ කල හැකිද?
අදින් වසර එකහමාරකට පෙර උකස් අංශයේ සිටින සමයේදී සිදුවූ දෙයක් සිහියට නැගේ

සර් මට මේක තියලා උපරිම ඕනේ. එවලේ ගැලවූ කරාබු ජෝඩුව හා මුද්දක් මා අත තබමින් ඇය පැවසුවාය. මේ මාසේ ඇද ගත්තේ නැත්තම් මහන්සිය ඔක්කොම ඉවරයි සර් අපේ කරුමෙට පායනවනේ වතුර දාන්න මෝටරේට භූමිතෙල් ගන්න තමයි සල්ලි ඕනේ සතියකට මෝටරේට විතරක් රුපියල් තුන්දාහක් විතර යනවා

"මේකට නම් උපරිමය දෙන්න පුලුවන් 8000/- වගේ තමා මිස්.
අයියෝ මම හිතුවේ පහලවක් වත් පුලුවන් වෙයි කියලා අඩුම 12000/- වත් බැරිද?"


මාගේ සහායක මා දෙස බලා දෙපසට හිස වනමින් නොහැකි බව හගවයි.
චක්‍රලේඛණ අණපණත් නීති සහ ආයතන සංග්‍ර‍හය අප වටකරගෙන අප දෙස විරිත්තමින් බලා සිටිනු පෙනෙයි. උපරිමය අටදාහ තමයි මිස්.



**********

"කොහොමද සර් මගේ වැඩේ අර විස්තර නම් ගන්න විදිහක් නෑ කියලා අයියා කිව්වා"

ලෝන් එක දෙන්න වෙන්නේ නංගිගේ නමටනේ මිස් එයා ජොබ් එකක් කරන්නෙත් නෑ ඒක හින්දා ලක්ෂ පහකට යන්න අමාරුයි. ලක්ෂ දෙකක් දෙන්නම් ගණුදෙණු කරලා තියෙන විදිහ ඇපකාරයෝ දිහා බලලා.

අයියෝ දෙකක් මදි සර් මම මැනේජර් එක්ක කතා කරන්නද? කිසි ප්‍ර‍ශ්ණයක් නෑ මිස් ගිහින් කතා කරන්න.
"සර් මට ඇප්ලිකේෂන් එක දෙන්න මැනේජර් කිව්වේත් දෙකක් තමයි. කමක් නෑ ඒකවත් ගන්නම්"
තත්පර විනාඩි පැය විදිහට ගෙවෙන කාලය තුල ලිපිගොණු අතර මම අතරමංවී ඇති සැටියකි
***********
මම දුන්න ලියවිලි ටික ආපහු ගන්න පුලුවන්ද සර් දැන් ලෝන් එක අරගෙන වැඩක් නෑ සර්...ඇයි වෙඩින් එක කලාද? 
නෑ සර්ලා හිතනවට වඩා ලෝකේ වෙනස් එයාලා සල්ලිම ඉල්ලනවා "ඉතින් ලෝන් එක හම්බවුනා නම් බොහෝදුරට වෙඩින් එක ගන්න තිබුණා. කමක් නෑ සර් අපි ගිහින් එන්නම්"

මම මට පිටුපා යන ඔහුන් දෙස බලා සිටියෙමි. රාජකාරීකාලයේදී මම මුහුණදුන් කණගාටුදායකම අවස්ථාවලින් එකක් එය විය. උදව් කිරීමට අපි තිදෙනාටම අවශ්‍ය වුවත් අයතන සංග්‍ර‍හය අණපණත් හා නානාප්‍ර‍කාර නීතිරීති මගින් අප සියලුදෙනාගේම සිත් හා දෑත් බන්ධනය කොට ඇත.

පසු සටහන

  • බොහෝවිට දෙදහස් දහසය වසර සදහා ලියවෙන මාගේ අවසාන පෝස්ටුව මෙයයි. ගෙවුන වසර දෙස යලිත් හැරී බැලුවහොත් සතුටත් දුකත් සමබරව විදින්නට ලද වසරක්ම විය. මගෙන් අනේක උදවුගෙන දැන් මා නොහදුනන තත්වයට පත්ව ඇති සොයුරියක් මොරටුව විශ්වවිද්‍යාලයේ වෙසෙත් ඒ පිලිබදව මතක්වන විට මහත්වූ ශෝකයක් දැනෙනමුත් සිටිනා තැනක සතුටින් අතුරු අන්තරාවකින් තොරව සිටීමට ලැබේවා යන්න මගේ පැතුමයි.
  • එසේම අවසාන වශයෙන් නත්තල සමරන කතෝලික සැමට සුභ නත්තලක්ද, බ්ලොග් අවකාශයේ සැරිසරන සියලුම දෙනාට ලබන්නා වූ දෙදහස් දාහත නව වසර ආයු වර්ණ සැප බල කීර්තිය හා යසසින් පිරි සියලු පැතුම් බලාපොරොත්තු පැතූලෙසින්ම ඉටුවන නීරෝගිමත් වාසනාවන්ත සුභ නව වසරක්ම වේවා.........

ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ...............

Sunday, November 20, 2016

ඇස් රතු කල මඟඩි වරෙන්තුව

කාලයකට පසුව අද යලිත් අපගේ පාසල් සමය සිහිපත් වන්නට යෙදුනි. වෙනින් කිසිවක් නිසා නොව සියනෑ කෝරලයේ මිරිස්වත්තට නුදුරු ස්ථානයකදී කලකට පසුව සිදුවන්නට යෙදුනා වූ මිතුරු හමුවක් නිසාවෙනි. ඒ හැර සාමාන්‍යපෙල සමයේ සිදුවූ රසවත් කතාවක් ලියන්නයැයි මෙන්න මේ කතාවේ ප්‍ර‍ධාන චරිතයක්ව සිටි තැනැත්තෙක් කරන්නාවූ ඉල්ලීමද සලකා බලා මෙය ලිවීමට අදහස් කලෙමි.
සියල්ලටම පෙර මෙසේ පවසා සිටිය යුතුමය "මා විසින් මෙසේ අසනු ලැබුවා පමණි. මේ සියලුම සුරංගනා කතාවන් හට මුල් උනේ සාමාන්‍යපෙල පන්තියේ අවසානම දින කිහිපයයි.මෙය සිදුවූයේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය තුලය. එකල අනෙකුත් පන්ති සාමාන්‍ය ආකාරයට පැවතියද මේ පන්තිය පමණක් කලු කරන ලද වීදුරුවලින්ද එල්ලන ලද තිරරෙදි මගින් වටකර භාහිර ලෝකයෙන් වෙන්වූ අමුතුම බලකොටුවක ආකාරයෙන් පවත්වාගෙන ගිය එකක් විය.
සාමාන්‍යපෙල විභාගයට කෙමෙන් කෙමෙන් දින ආසන්න වෙත්ම මගඩි වැඩක් කරන්නට එක් සාමාජිකයෙකු හට අගනා අදහසක් පහලවූ අතර එයට ඉලක්කය වූයේ එම පන්තියේම සිටි ගල්පාත මහතාවය. ගල්පාත මහතාගේ කියුම් කෙරුම් අඩංගු කර දුකසේ චරිතය ඝාතනය තර සකසන ලද පෝස්ටරයක්(වරෙන්තුව) සහ හසුන්පතක් ඔහුගේ පුද්ගලික ලිපිනයට තැපැල් කර අනෙක් පිටපත පන්ති සගයන් අතර බෙදා හරින්නට මහමොලකරු වූ සුනඛ තෙමේ කටයුතු කරන ලදී.


පන්තියේ සගයන් අතර අතින් අත යමින් රසවින්ද මෙම මඩ පත්‍රිකාව තවත් චරිතයක් වූ මන්ද+ලාල් විසින් කල ක්‍රියාවක් හේතුකොට ගෙන පන්තිභාර ඇදුරා වන පාලින්ද මැතිදු අතට පත්වන්නට යෙදුනේය. පසුදිනක මෙවැනි මිතුරන් ඇසුරු නොකරන මෙන් එතුමා උපදෙස් දුන් බවද සුනඛ තෙමේ පැවසුවේය 

හොදම කතාව උදා වුනේ පසු දිනකය ගල්පාත මහතාගේ නිවසට යවන්නට සකස්කල පිටපතේ ලිපිනය සුනඛ තෙමේහට වැරදී එය ලැබී තිබුනේ අසල නිවසකටයි. වැරදීමකින් කඩා හසුන්පත කියවූ නිවැසියෝ ඉමහත් බියට පත්වී ගල්පාත මහතාගේ දෙමාපියන්හට දන්වා ඇති මුත් අද වෙනතුරු මෙය එව්ව මහමොළකරු කවුදැයි නිවැසියන් නොදන්නා බව මම විශ්වාස කරමි. මෙය සර්ව සම්පූර්ණ වන්නටනම් යවන ලද ලිපියේ පිටපතක්ද මෙයට එක්කලයුතු නමුත් ලිපිය ලද හා ලිපිය සකස්කල දෙදෙනා සතුවම මෙහි පිටපතක් මේවනවිට නැතිය.
පසු සටහන
  • මේ සිදුවීම හොදින්ම දන්නා උදවිය ඒ පිලිබදව ඇනෝ කොමන්ටුවක් ලෙස හෝ සටහන් කරන මෙන් ඇරයුම් කරන අතරම වතුර ටැංකිය යට කොල ටයිපටි ස්කෝලෙට යවනලද පිටපතත් එයට ලද පිලිතුරත් සදහන් කලාටද කමක් නැත.
  • කිසියම් දෙයක් සදහා අවශ්‍ය උනහොත් මන්දක් ගසා බල්ලා අල්ලා ගන්නා මෙන් කාරුණිකව කියවන්නා වූ උතුමන්ගෙන් ඉල්ලා සිටින අතර කොට්ටාව පැත්තට ගියානම් අල්ලා ගන්නට හැකි බව පමණක් සදහන් කරමි. 

ඒ වඟත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි........

Wednesday, September 21, 2016

සරසවි තරණයට මත්තෙන්

අ.පො.ස උසස්පෙල සමත්වන සියලුම අයෙකුගේ සුන්දර සිහිනයක් වන්නේ සරසවි වරම් ලබාගැනීමටයි.අවාසනාවට එලෙස සරසවි වරම් ලබා ගැනීමට හැකි වන්නේ විසිහත්දහසකටත් වඩා අඩු සිසුසිසුවියන් පිරිසකට පමණක් වීමය. අධ්‍යන වර්ශ 2015/16 වසර සදහා අදාල වන අවම කඩයිම් ලකුණු අද මධ්‍යහනේ සිට නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රවේශ කොමිෂම කටයුතු කර තිබුණි.මෙවර 2015/16 වර්ශය සදහා පිලිගත් විශ්වවිද්‍යාල දාසතරක් මණ්ඩප තුනක් සහ උසස් ආයතන දහයක් සදහා විවිධ පාඨමාලා අනූහතක් උදෙසා සිසු සිසුවියන් විසිහත්දහස් අසූවක්(27080) ඇතුලත් කර ගැනීමට සියලු කටයුතු මේවන විට සකස්කර අවසානය.
පලමු වරට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීම අනිවාර්ය කල පසුගිය වතාවේ මෙන්ම මම මෙවරද නිවස ආසන්නයේ පස්දෙනෙකුගේ පමණ අයදුම්පත්‍ අන්තර්ජාලය හරහා යොමු කරදීමට කටයුතු කලෙමි. නමුත් මෙවර එයින් සරසවි වරම් හිමිකර ගත්තේ එක් මානවකයෙකු පමණක් වන අතර මම හදුනාගත් පරිදි අනෙක් අය සිදුකර ගත් වැරදි කිහිපයක් මම පහතින් සටහන් කරමි.

(01) මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1.4353 ක ඉසෙඩ් අගයක් සහිත වාණිජ අංශයේ සමත් එක් සහෝදරයෙකු වාණිජ පාඨමාලාවට ඇතුලත් කලේ කොළඹ ජයවර්ධනපුර කැළණිය යන විශ්වවිද්‍යාල පමණි.
ප්‍ර‍ථිපල සටහන
කඩයිම් ලකුණු නිකුත් වූ පසු

මේ සදහා වයඹ විශ්වවිද්‍යාලයත් යාපනය විශ්වවිද්‍යාලයත් ඇතුලත් කරගන්නා ලෙස මම කටකැඩෙනකම් කිව්වද එය තබ සතයකට මායිම් කලේ ඔහුනොවේය. උඹට එපානම් මට මොකදයැයි සිතූ මමද එය අයදුම්පතට එක්නොකල අතර මා ඒ සොහොයුරාට පැවසූ උපදෙසෙහි වටිනාකම ඔහුට තේරුනේ කඩයිම් ලකුණු නිකුත්කල පසුවය
 යාපනය සදහා අවම ලකුණ

යාපනය මාගේ කීමට ඇතුලත් කලානම් අද ඔහුටද සරසවි වරම් ලැබීමට වැඩි ඉඩකඩක් පැවති බව මගේ හැගීමයි. ගිය නුවන ලගාවන විට ඔහු ප්‍ර‍මාද වැඩිය.

(02) මම දැක්ක තවත් ලොකුම වැරැද්දක් තමයි පසුගිය අවුරුද්දේ Z-Scores අගය මත තීරණ අරගෙන සමහර වැදගත් හා තරගකාරීබවින් අඩු පහසුවෙන්ම ඇතුලත් වෙන්න පුලුවන්කම තියෙන පාඨමාලාවන් අතහැරලා දාන එක. විශ්ව විද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂම නිරන්තරයෙන් මතක් කරපු දෙයක් තමයි Z-Scores අගය සෑම වසරකම වෙනස්වෙන නිසා තමන්ගේ සුදුසුකම් මත අයදුම් කරන්න කියන එක.
උදාහරණයක් විදිහට අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තොත් 2014/15 අධ්‍යන වර්ෂයට විලාසිතා හා සැපයුම් ප්‍ර‍වර්ධනය පාඨමාලාවට අවම සුදුසුකම 0.8363 වුවද මෙවර 2015/16 අධ්‍යන වසරට එය 0.6169 දක්වා පහලට පැමිණ තිබෙනවා. එම නිසා පසුගිය වසරට පදනම්ව ගන්න තීරණත් අවාසිදායකයි.

(03) මේ වසරේ මම දැක්ක ඇසුව හොදම ගොන්කම මෙය යැයි බය නැතුව මට කියන්න පුලුවන්. කිසිවකු කියන දේ නාසන තවත් පණ්ඩිතයෙකු ( ඒ තුනක් එක්ක ටිකක් ඔලුවෙන් ඉදපු) සල්ලි ගෙවලත් කිසිම පෙර ඇතුලත්වීමේ පරීක්ෂණයකට(Aptitude Test) මුහුණදෙන්න ගියේ නෑ. නමුත් කණගාටුවට කරුණනම් ඒ සොයුරාට ලද පිලිතුරත් වුනේ තේරීපත්ව නැත යන්නයි.

පසු සටහන
  • හරියටම වසරකට පෙර අදවැනි දිනක අධ්‍යන වර්ෂ 2014/15 අදාලව අවම Z-Scores නිකුත් කල දින මම අතිශයෙන් සතුටට පත්වුනේ මම පුද්ගලිකවම සොයාබැලු විශේෂිත මානවිකාවක ඇය බලාපොරොත්තු වූ ස්ථානයටම සරසවි වරම් ලැබීම නිසාය. විශ්ව විද්‍යාල ප්‍රවේශ පුස්තකය නිකුත් තල තැන සිට මම ඇයට උදවු උපකාර කලෙමි. ප්‍රවේශ පුස්තකය නිකුත් කරන තුරු වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රවේශ කොමිසම ඉදිරිපිට සවස්වන තුරු ගතකල මතකය අදටත් මට මතකය.
  • එසේ සරසවි වරම් ලබා ගියවුන් ඉන්නා තැනක අතුරු ආන්තරාවක් නොමැතිව ඉන්නවා ඇතැයි මම සිතමි.
හන්තානට පායන සද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහද
එබට හැකිය දකින්න


ඒ වඟත් මෙසේමැයි අදත් පහරා පහුරු ගෑ මම සුදු පූසා වෙමි.

Thursday, September 1, 2016

බැංකුවේ ජීවිතේ දෙවන කොටස - හුරතල් දිවියා සහ විශ්‍රාමිකයින්ගේ චාරිකාව

දෙදහස් දහතුන වසර මැද සමය වන විට මම සේවය කරමින් සිටියේ කොළඹ පිහිටි ලංකාවටම තෙල් බෙදන ස්ථානයට නුදුරින් තිබූ ජාතියේ මහා පහන්ටැබේ ශාඛාවක් තුලය. දෙදහස් දහතුන වසර යනු ලංකා බැංකුවේ වයස 55 සහ 60 සපුරා බැංකු සේවයෙන් එකවර සේවකයින් රැසක් විශ්‍රාම ලැබු වසරයි. පරිඝණක ගතකර නොතිබූ මුල් කාලයේ සියල්ල තම දෑතින්ම සිදුකරමින් බැංකුවේ නාමය හා කීර්තිය වර්ධනයට මොහුන්ගෙන් ලද දායකත්වය අතිමහත්ය. අප අයත් වූ බස්නාහිර පළාත් උතුරු කලාපයේ මෙවන් විශ්‍රාම ලබන්නන් රැසක් සිටි නිසාවෙන් ආසන්න ශාඛාවන් දෙකක් එකතුවී විනෝද සවාරියක් සැලසුම් කලේ ඔහුන්ගේත් රාජකාරී කාලය තුල යැවෙන අවසාන චාරිකාව නිසාය.
නුවරඑළියට නුදුරු ළිදුල නම් නගරයේ පිහිටි ආයතනික නිවාඩු නිකේතනයද වෙන්කරවාගත් අප දින තුනකට චාරිකාව සැලසුම් කලේ සිකුරාදා දිනය බැංකු නිවාඩුවක් වු බැවින්ය. චාරිකාව යාමට අවශ්‍යවන ආසන 54 අලුත්ම ලේලන්ඩ් බස්රථය නොමිලේම ලබා දුන්නේ හිතවත් බස් මුදලාලි මහතෙකු වු අතර සීදූව ගල් වැඩපලෙහි නිශ්පාදිත හෙලඔසුපැන් බෝතල් දහයක් අඩංගු මල්ල ලැබුනේ හන්දියේ වයින් ස්ටෝරුව අධිපති තම්බි නානාගෙනි.
ශාඛාවන් දෙකෙහිම සාමාජික එකතුව පවුල්වල සාමාජිකයිනුත් සමග පණහක් පමණ විය. පාසල් හැරගිය පුහුණුවන්නන් විධායක නිලදාරීන් කලමණාකරුවන් තම තනතුරු අමතක කර විනෝද වන්නට ගත්තේ තමන් මුහුණදෙන දෛනික ඒකාකාරී ජීවන රටාව මොහොතකය අමතක කරමිනි.

ගීත ගයමින් විනෝද වූවන් අතර නොබෝ දිනකින් විශ්‍රාම යාමට සිටි තිලකසිරි මහතා බන්දුසේන මහතා දයාසීලී මහත්මිය ආදීන් වූ අතර බන්දුසේන මහතා කලක් සරස්චන්ද්‍ර‍ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි නිසා මිහිරි හඩින් නාට්‍ය ගීත ගායනා කිරීමට හැකියාව ඇත්තෙකි. අප ඒවන විට නුවරඑලියට ආසන්නයෙන් වනාන්තර පදෙසකින් ගමන් කරමින් සිටි අතර මීවිතක් අතින් ගත් බන්දුසේන මහතා මනමේ නාටකයේ ගීතයක් ආරම්බ කලේ සැමගේ ඉල්ලීම පිටය.
"වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ 
මගුල් මඩුවකට බදු වු
වනාන්තරයේ සෝබාව නරබමින් යන විට
ගමන් විඩාව ඉබේටම මග හැරේ සොදුර
වන රැජිණද නෙක් විසිතුරු පාන්නේ
අප දෙදෙනාගේ විවාහයට සතුටු වන්නා සේය"

එක්වරම ඩෝං ශබ්දයත් සමග බස්රථය තම ගමන නවතාලීය. පසුපස රෝදයේ හුලං නැත. අප රථය නැවතී තිබුනේ විශාල තේ වත්තක් මැදින් වැටී ඇති මාර්ගයකය. මිනිස් පුලුටක් පෙන්නවත් නැත අප රාත්‍රී ආහාරය නවාතැනේන ගන්නට සිටි නිසා දැන් කට්ටියගේම බඩපණුවන් බොක්ෂිං ගසන්වාය. වයසක උදවියත් බලවත් උදවියත් බසයේ නතර කල මමත් හිරන්ත අයියාත් ආරුමුක්කම් මහතාත් සේනකත් සිකුරුටි හේමේත් සමග ඇතින් පෙනුන ලැයිමක් වෙත ගියේ රථය පිලිසකර කර ගැනීමට උදව්වක් සොයා ගැනීමටය. 
අප වැටී සිටි අමාරුව දුටු විගසඒ දමිල සහෝදරයින් පිරිස අපත් සමග රථය වෙත ආවේ ටයර් වැඩ දන්නා කාර්මිකයෙකුද සමගිනි.
අප යන විට නඩයේ සියලුම දෙනා බිමට බැස ආසන්නයේ ගල්තලාවකට නැග සිටි අතර අප සමග සිටි දෙමල තරුණයින් කීවේ "අයියෝ මාතියා බිම ඉන්න එපා මේ රේ යාමේ දිවියා තමා ඉන්නවා" කියාය දැන් කට්ටියම දිවියන්ට එකසිය ගානට බිය වී ඇත. අප සමග සිටි කුඩා දරුවන් නින්දට පත්ව ඇති අතර කාන්තා පාර්ශවයද නින්දත් නොනින්දත් අතර පසුවිය.
 වැඩ නිමවු බස්රථය තුලින් එක්වරම දිවියෙකුගේ ගෙරවීමකට සමාන ශබ්දයක් ඇසෙන්නට වූ අතර කෙමෙන් කෙමෙන් ඉහල යන්නට විය. රියදුරු තෙමේ බඩුභාණ්ඩ වල ආරක්ෂාව තකා ජනෙල් සහ දොරවල් දෙක වසා තිබුණු අතර දැන් සියල්ලන්ගේම අදහස වුයේ දිවියෙකු බසයතුලට රිංගාගෙන ඇති බවයි. බසයේ රියදුරු මහතා දිග ලීයක් උපකාරී කරගෙන ඉදිරිපස දොර සහ ජනේ්ලයක් විවෘත කලේ දිවියෙකු සිටිනවානම් පිටවීමටය. ඈතට වී බලා සිටියද දිවියෙකු පිටවෙනවා නොදැක්ක නිසාත් ගෙරවීම යලි ඇසෙන නිසාත් බලවත් උදවියගේ කීම නොඅසා හේමචන්ද්‍ර‍ අංකලුත් තිවංක අයියාත් රියදුරු මහතාත් මමත් බසයට නැග්ගේ දිවියා බැලීමටය. දිවියෙකු තබා පුල්ලියක්වත් නොදැක්කත් පසුපස අසුනේ දිගාවී තද නින්දේ ගොරවමින් සිටියේ පියදාස මහතාය ඇහැරුව විට පුතා ටිකක් වැඩි උනා ලිදුලට ගියහම ඇහැරවන්න යැයි කියා යලිත් නින්දට වැටුණ ඒතුමා අප වින්ද හිතේ ගින්දර දන්නේ පහුවදා උදේය. උදව් කල සොයුරන්ට ස්තූති කර අප ලිදුල නවාතැනට ලගාවන විට අලුයම දෙකට ආසන්න වී තිබුණ බව යාන්තමින් මට මතකය..

පසු සටහන

  • අදින් වර්ෂ හතරකට පමණ පෙරදී යන්නට යෙදුන මේ චාරිකාව මාගේ සිතේ නොමැකෙන ලෙස සටහන් වී ඇත. ඒදා ඒ මහ රෑ තේවත්තක් මැද අතරමන් වු අයගෙන් කිසිවෙකු මේ වනවිට ඒ ශාඛාවල සේවයේ නැත. පිරිස පුවක්වල්ල පොලවේ ගැසුවා සේ සී සී කඩ විසිරිලාය. එදා ලමාවයසේ සිටිවුන් අද තරුණය. සමහරුන් දීර්ඝකාලීන් රෝගයන්ගෙන් පීඩා විදිනවාය.
  • අපට ගීත ගායනා කරමින් රස සයුරක පිනවු බන්දුසේන මහතා විශ්‍රාම ලබා කෙටි කලකින්ම මියදුන අතර දිවියා මෙන් ගොරවමින් සිටි පියදාස මහතා මේ වසරේ මැයි මාසයේදී දෙවියන් වහන්සේ බැහැදැකීමට පිටත් වී ගියේය. මම දන්නා පරිදි ඒ ශාඛාවන් දෙකෙහි එකමුතුවෙන් ගිය අවසන් චාරිකාව එයම විය.

ඒ වගත් මෙසේමැ අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදුපූසා වම්හ.....



Saturday, August 20, 2016

ඔලුබක්කන්ගේ නැටුම සහ හිතහොද ජම්බු තුමා

ලියාගෙන පැමිණි කථාව අනුව නම් කැම්පස් කටුබැද්දේ ඉතිරි මතක සටහන් ලියවිය යුතු උනත් එක දිගට ලිවීම නීරස වන නිසාවෙන් අද වෙනත් මතකයක් අවදි කිරීමට සිතුවෙමි. මතකයත් සමග අතීතයට යන විට නැවතුන වසර 2005 වසරයි. මේ වසර අපි කොට කලිසමින් සැරසුණු අවසන් වසර වූ අතර වසර භාර ආචාර්ය වරයා වශයෙන් සිටියේ එදා මෙදා තුර අපට හමුවු මතක්වන විටත් සිනහා යන අන්වර්ථනාමයන් රාශියක හිමිකරු වූ අබේසිංහ බංඩා මහතාය.
මම හිටපු මැංගුස් ගහ යට පන්තියට මේතුමා ඉගැන්නුවේ නැතිවුනත් අනිත් පන්තිවලට ජීවන නිපුනතා උගන්නපු මෙතුමට තිබුබා අලි නහයක්. ඉතිං අපි ආදරේට කිවුවේ පිණි ජම්බුවා කියලා අපිට මල පැන්නම කිව්වේ ජම්බුවා කියලා. මෙතුමා පහර දෙන්නේ කොයිවෙලෙත් පස්සටමයි. පශ්චාත් කලාපය හරහා එල්ල කරන ස්විප්කට් ප්‍ර‍හාරය හින්දා පුකමරුවා කියන සුවිශේෂී නාමයෙන් මෙතුමව රෙජිස්ටර් කරලා තිබ්බා. ඒ අතර තුර ජම්බුතුමාට තිබුණා නායකයෝ දුසිම් ගානක් පන්තියකට පත්කරන්න. නායකයෝ වැඩි උනාමත් ඉතින් වැඩේ අල වෙනවනේ මගේ මතකයේ හැටියට

  • විනය නායක - පන්තියේ විනය ආරක්ෂා කිරීම(පන්ති නායකයා නමට පමණි)
  • වැසිකිලි නායක - වැසිකිලි සුද්ධ පවිත්‍ර‍කරීම මොහුගේ වගකීමයි
  • ඇගයීම් නායක - ඇගයීම් වල ලකුණු සටහන් කල යුතුය.
  • දවසේ නායක - වසරේන්ම එක් අයෙකු දවසේ නායක වී සෑහෙන පරිප්පුවක් දවස පුරා අනුභව කල යුතුය.
  • ඒස් 5 නායක - පංතියේ එස්5 සංකල්පයට අනුව පවත්වාගෙන යාම මොහුගේ රාජකාරියයි.
උදේට පහන තියන තැන ඉදලා ඉස්කෝලේ ඇරෙනකම් හැම මඟුලටම නායකයෝ පත් කරලා උන්නා.මටත් සාරධර්ම නායක කියලා පට්ටමක් හම්බවෙලා තිබුණා.හැබැයි මගේ සාරධර්මේ වැඩිවෙලා වැඩපැහැර හැරියා කියලා මේකා මට මාස හයක් පන්තිය අතුගාන්න නියම කලාට මම අතුගෑවේ නෑ මොකද මගේ අතේ වරදක් නැති නිසා. ඊලග දවසේ සුපුරුදු ස්වීප්කට් පහර කාල ගෙදර ගිහින් කිව්වම අපේ පියතුමා ඇවිල්ලා මේ පිස්සු කෙලින ජම්බුතුමාට ජාතිය අමතලා ගියහම තමයි මට වදදෙන එක ජම්බුවා නතරකලේ.(අතුනොගෑවේ මට ඒ කාලේ දරුණුවටම හතිය තිබුණා.දූවිල්ල ගිය ගමන් වැඩිවෙන හින්දා මෙඩිකල් දීලත් තිබුනේ කොහෙද ජම්බුතුමාට කිවුවට පිලිගත්තේම නෑනේ)
මෙතුමා කරපු හොදවැඩ ගැනත් නොකියාම බෑ. එතෙක් අඩපණ වෙලා තිබුබ සාහිත්‍ය සමිතිය දෙසතියකට වරක් පවත්වන්න කටයුතු කලේ මෙතුමගේ මැදිහත් වීමෙන් අනිවාර්යෙන්ම හැම පන්තියකින්ම ඉදිරිපත් කිරීමක් භාර අරගෙන කල යුතුව තිබුණා. ඔලුබක්කන්ගේ නැටුම සම්බන්ද වෙන්නේ මෙන්න මෙතන ඉදලයි. එදා සමිතියේ අවස්ථාව උදාවෙලා තිබුණේ 9-F නැත්නම් ඉංග්‍රීසි මාධ්‍ය පන්තියට. ඒකාලේ ටිකක් අලි ඔලුවෙන් ඉදපු පන්තියක්ය කියලා අනිත් පන්ති ටික හිතන් උන්න මේ පන්තියේ අයගේ ඉදිරිපත් කිරීම බලන්නයි අපේ සූදානම. ඉස්සෙල්ලා අවේ ඔහුන්ගේ පන්තියේ නිවේදක තැන්පත් ධනංජය. ඒ කාලේ කිසිම අසුරක් නැති උනත් වර්ථමානය වෙනකොට මේ කියන පන්තියේ හැම එක්කෙනාම නිරන්තරවම පොදු වැඩවලදී එකට කටයුතු කරන මගේ හොදම යාලුවෝ.
තිරය විවෘත වෙනවාත් එක්කම ඇසුනේ පහත ගීතයයි.


"නැත්තේ මොලේ පිලිගන්න සැකේ
ඔලුබක්කෝ අපියි සිරි ලංකාවේ"

මේ කියන කාලේ හිටපු ප්‍රසිද්ධම දේශපාලන චරිත වගේ ඇදගෙන තමයි මේ සිනුදුවට කට්ටිය නටන්න ආවේ. තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න මෙයාලා තමන්ගේ මුහුණත් තහඩු ටික පෙට්ටියකින් වහගෙනයි ආවේ මෙන්න මේ වගේ.
තම තමන්ව අදුරගන්නවට මූණට පෙට්ටි දාගෙන ආවත් මම රනිල් වික්‍ර‍මසිංහ විපක්ෂ නායක විදිහට ඇදගෙන රඟපාපු නලුවාව නම් අදුරගත්තා කිසිම අපහසුවකින් තොරවම. එදා ඒ නටපු අනිත් අය කවුද කියලා දැනගෙන හිටියේ ඒ පන්තියෙම උදවිය තමයි. වෙනදට වඩා වෙනස්ම ඉදිරිපත් කිරීමක් නිසා ඔලුබක්කෝ ටික නැගලම ගියා. ටික වෙලාවක් යද්දී ආණ්ඩු පක්ශෙයි විපක්ශෙයි දෙමල සංධානෙයි ස්ටේජ් එක උඩ එකාට එකා හැප්පෙන්න ගත්තා. නටනවා ඒ වගේම හැප්පෙනවා නිකන් අන්ධයෝ ටිකක් ඩාන්ස් කලා වගේ. එදා ඒ එකපාරටම අන්ධයෝ උනේ ඇයි කියන එකට උත්තරයක් නම් එදා හොයා ගන්න බැරි උනා. 

මේ සිදුවීමෙන් වසර දොලහකට විතර පස්සේ මෑතකදී අපි සංවිධානය කරපු පොදු වැඩකට ආව වෙලාවේ එදා හිටපු නිවේදක තුමාගෙන් මම ඇහුවා මචන් ඔලුබක්කෝ නැටුම ගැන කියහන්කෝ උඹලා ඇයි එකම තැන හැප්පි හැප්පි නැටුවේ කියලා?
මචන් මෙහෙමනේ බන් ඕක උනේ. අපේ පාලින්ද සර් තමයි ආදී කල්ප කාලයක් පරණ කැසට් තොගයක් උස්සන් ඇවිල්ලා එක එක දාල බලලා ඔය සින්දුව තෝර ගත්තේ. 

මම තමයි බන් ඕක හොදයි කියලා කිව්වේ. ඊට පස්සේ දවස් ගානක් හවස් වරුවේ පුරුදු උනා බන් නටන්න. පාලින්ද සර් පුරුදු කලා නියම නැටුමක් නටන්න ආයේ කාතා කරලා වැඩක් නෑ. අපි අර දාගෙන උන්න පෙට්ටි හැදුවේ එදා උදේ ලැබ් එකේදි. අපි ප්‍රැක්ටිස් කරද්දි පෙට්ටි දාගන්නේ නැතුවනේ පුරුදු උනේ. ඉතින් අර පෙට්ටිය ඔලුවේ නමාගත්තම මුකුත් පේන්නේ නැතුව ගියා. ඒක හින්දා හරියට පුරුදු වෙච්ච එකත්වත් නටා ගන්න බැරි උනා. හු පාරවල් කන්නේ නැතුව හැප්පි හැප්පි හරි නටලා බේරුන එකම මදිද බන්.

පසු සටහන

  • මේ විස්තර කල පන්තියේ මිතුරන් වර්තමානය වන විටත් එකමුතුව එකාවන්ව කටයුතු කරමින් සිටින්නේ අප සාමාන්‍යපෙලට මුහුණ දී වසර නවයකට පසුත් වෙනත් කිසිදු පන්තියක නොවුවිරූ ලෙසටය. අනෙක් පන්ති අතර මෙවැනි මිතුරු බැදීම් නැත්තේය. මෙය එදා ඔලුබක්කන් ලෙස වේදිකාව සැරසූවන්ට හා මේ පිලිබදව මාගේ මතකයද අවුස්සා මා නොදත් නිධාන කතාවද පැවසූ මිත්‍ර‍යාටත් ස්තූතිය පලකරමි. 
  • ජම්බුතුමා ගැන කියනවානම් ඒ කාලේ අපහට මහත්ම ඇණයක්ම විය. පිස්සුවෙත් හොදම පිස්සුවක්වූ නායකත්ව මේනියාවත් පරිවාස මේනියාවත් නොතිබුණානම් ගුරුවරයෙකු ලෙස හොද මිනිසෙකි.
    වරක් අ.පො.ස සාමාන්‍යපෙල ප්‍ර‍ශ්ණපත්‍ර‍ මිටියක් අසල මාර්ගයක දමා යන්නට තරම් මෙතුමා පුංචි පහේ හපනෙක් විය.
  • මේ පන්තියේ සිට ක්‍රියාත්මක වූ "Sri Lanka CIA" නම් රහස් පරීක්ෂණ කණ්ඩායමත් එයින් යවන්නට යෙදුනා වූ ඉලඇදෙන වරෙන්තුව ගැන මතකය ඉදිරියට...

ඒ වගත් මෙසේම අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදුපූසා වෙමි...


Thursday, August 4, 2016

කජුකැලය හරහා කටුබැද්ද මතක තෙවන දිගහැරුම - දොස්තර නෝනාගේ දැනමුතුකම් සහ බ්ලඩ් ප්‍රෙශර්


පලමු දිගහැරුම
දෙවන දිගහැරුම


අද කියන්නට යන්නේ මොරටුව විශ්වවිද්‍යාල ශාඛාවේ ගත කල කාලසීමාවේදී මුණ ගැසුණු තවත් අපූරු චරිතයක් ගැනය. ඉහත ජායාරූපයේ ඇත්තේ මොරටු සරසවියේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයයි. මේ තුලද ඉතා රසවත් පුද්ගලයින් කිහිපදෙනෙකුම වූ අතර මෙහි සිටි ලොකු දොස්තර නෝනාගේ නම දැන් මට මතක නැති වුවත් ඇය එක්තරා විනෝදකාමී තැනැත්තියක් ලෙස ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසුනට අධිපතිව සිටියාය. මාගේ මතකය අනුව ඇයට අමතරව කාර්ය මණ්ඩලය ලෙස තවත් වෛද්‍ය නිලධාරියෙකු, සිසුන්ගේ දත් ගැලවීමට හපන් දත් දොස්තරවරයෙක් හෙද නිලධාරීන් ඕෂධවේදියෙකු ඇතුලු පිරිසකගෙන් සමන්විත විය.
සල්පිටිකෝරාල මහතා නැතිනම් මගේ කලමණාකාරතුමා සමග යම් අවශ්‍යතාවකට සෙනට් බිල්ඩිමට ගිය විට ඔලුව කැක්කුමක් ඇතිවූ නිසා බෙහෙතක් ඉල්ලා ගැනීමට  වෛද්‍ය මධ්‍යස්ථානයට යන්නට සල්පිටි මහතා මටත් කතාකල බැවින් අපි දෙදෙනා වේගයෙන් පඩිපෙල බැස ආපු වේගයෙන්ම පාරමාරුවී වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුල්වීමු. ලොකු දොස්තර නොනා නොසිටි අතර අනෙක් වෙදදුරු තෙමේ සල්පිටි මහතාගේ ප්‍රෙෂර් බලා ලුණු නැතුව ඇඹුල් අඹයක් කෑ අයෙකු මෙන් මූණ ඇඹුල් කර ගත්තේය.

මිස්ටර් සල්පිටි හාට්බීට් ඒක  ඇබ්නෝමල් ඒවගේම ප්‍රෙශර් එකත් හොදටම වැඩියි. ඔලුව රිදුනෙත් මේ හින්දා තමයි. මම මේ දෙන බේත් ටික වරද්දන්නේ නැතුව ගන්න ඒ අතරේ කොලොස්ටරෝල් ටෙස් කරගන්න යැයි පැවසු වෙදදුරු තෙමේ වීරක්කොඩි ලවා බෙහෙත් පිරවූ මලු කිහිපයක් අත තැබීය.
සල්පිටි මහතා වෛද්‍ය මධ්‍යස්ථානයෙන් එලියට බැස්සේ ඇමතිකමක් නොලැබුණ මන්ත්‍රීවරයෙකු අරලියගහ මැදුරෙන් එලියට බසින්නාක් මෙනි. මද දුරක් ගොස් මට ඔහු පැවසුවේ බලහන් මගේ ලමයි දෙන්නත් තාම පොඩියි ලෙඩ උනොත් මම විනාශයි කියලාය. එක් වරම පිටුපසින් කිසිවෙකු අමතන හඩක් ඇසුනි.
ඒයි ඒයි දෙන්නා කොහෙද ඔය යන්නේ මලු ටිකකුත් උස්සගෙන යනුවෙන් අපෙන් ඇසුවේ එතෙක් අතුරුදහන්ව සිටි ලොකු දොස්තර නෝනාය. මෙහේ එන්න මෙහේ එන්න කියමින් අපවත් රැගෙන ඇගේ කුටියට ගිය ඇය දෙන්න බලන්න මේ මොනවද කියලා යැයි පවසා අතේ තිබූ බෙහෙත් මලු මේසය මතට හැලීය.

දෙයියනේ මේවා දෙන්නේ හාට් ප්‍රේෂන්ට්ලටනේ මිස්ටර් සලපිටි ඔයාට ඇති ලෙඩක් නෑ යැයි පවසා අර බෙහෙත් සියල්ලම කුණු කූඩයට විසිකර දැමීය. සල්පිටි මහතා ඩොක්ටර් මගේ ප්‍රෙෂර් එකත් වැඩී යැයි පැවස් විට ඇය කිව්වේ ඈත ඉදලා දුවගෙන ආවහම ප්‍රෙශර් වැඩිවෙනවා තමයි මිස්ටර්. මම දැක්කනේ දුවගෙන ආව ස්පීඩ් එක කොහොමද කියලා. පසුව යලිත් බලන විට නාඩි වේගය පැවතියේ සාමාන්‍ය තත්වයේය. එදා ඇය මුණගැසුණේ නැත්නම් සල්පිටි මහතා නිකරුණේ රෝගී වෙමින් හිතෙන් දුක් විදිනවාය. 

අවසාන වශයෙන් අධ්‍යන වර්ෂ 2014/15 සදහා නවක සිසුන් සරසවි ලියාපදිංචිය සිදුකල දින ඇය සිසු සිසුවියන්ට ‍වෛද්‍ය මධ්‍යස්ථානයේදී ලබාදුන් උපදෙස් මාලාවෙහි මෙග් මතකේ රැදුණු ෙකාටසින් අද ලිපිය අවසන් කරන්නට සිතුවෙමි.

"ලමායි ඔයාලා ඒග්සෑම් වලින් රිපීට් වෙන එ්ක මට ප්‍රශ්ණයක් නෙවෙයි

කැන්ටිමේ කෑම වලින් බඩයන්න ගත්තත් ඒකත් මට ප්‍රශ්ණයක් නෙවෙයි

පැපොල සරම්ප වගේ ලෙඩක් හැදුනත් 
ඒකත් මට ප්‍රශ්ණයක් නෙවෙයි

But specially ladies got pregnant, It is big problem for me
 Immediately come and meet me.because I can sign yours marriage"

*******
පසු සටහන
  • මේ සටහන තබන මේ මොහොත වන විට දොස්තර නෝනා සරසවියේ සේවයෙන් නික්ම ගොස් ඇති බව මම දැනගත්තේ පසුගිය දිනක හදිසියේ කජුකැලේ පැත්තට ගිය වේලාවේදීය.
  • සාමාන්‍යයෙන් සරසවි සිසු කාණ්ඩයන් එකමුතුව සිටිනා පිරිසක්ය යන බව සියල්ලන්ම හොදින් දන්නා කාරණාවක්ය. නමුත් එසේ බැච් එකේ එකෙකුට එකෙක් නැති අරුම පුදුම කණ්ඩායමක් අධ්‍යන වර්ෂ 2014/2015 යටතේ සිටින බවත් ඒ පිලිබදව රසකතා ගොඩක් මේ ලගකදී අසන්නට ලැබුණි. දිවයිනේ සතරදිග්භාගයේ මොලේ අනිත් පැත්තෙන් සිතනා හතලිහක පිරිසක් පමණක් සිටිනා මෙහි රසකතා කිහිපයක් ඉදිරියේදී ලියන්නට අදහස් කරගෙන සිටිමි.


ඒ වගත් මෙසේම අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදු පූසා වම්හ....