Friday, October 6, 2017

දිසාපාමොක් මතක දෙවන කොටස - විඳු නැණ ඇඳුරු මතක

පලමු කොටස
ඉස්කොලේ හිටපු ගුරුවරු ගැන මතකය  ලියන්න ගත්තට තාම ලියාගන්න පුලුවන් වුනේ එක කොටසයි. අද ජාත්‍යන්තර ගුරුදිනේ නිසාවෙන් අදත් මම කියන්න හදන්නේ මගේ මතකයේ රැදුනු තවත් අපූරුම ගුරුවරුන් දෙන්නෙක් ගැන. මේ කියන්න යන ගුරුවරුන් දෙදෙනාම විද්‍යාව හා තාක්ෂණවේදය විෂය පිලිබදව ඉහලතම දැනුමක් තිබූ ගුරුභවතුන්. පලමුවෙන්ම මම කියන්න යන චරිතය ගම්පහ බණ්ඩාරණායක විදුහලේ ඉතාමත් ජනප්‍රිය හා මිනිස්කම අතින් ඉහලින්ම සිටි ගුරුවරයෙක්
නමින් රංජිත් ප්‍රනාන්දු වෙච්ච මෙතුමා එවකට පාසලේ පැවති විශාලතම විද්‍යාගාරය භාර ආචාර්යවරයා වශයෙන් කටයුතු කරන අතරම පාසල් විනය පාලක මණ්ඩලයේ ප්‍රභල සාමාජිකයෙක්ද උනා. මට ඔහු මුණගැසුණේ සාමාන්‍යපෙල අධ්‍යණ කටයුතු පටන්ගත් සමයේදීය මක්නිසාදයත් අප පන්තියට විද්‍යාව විෂය සදහා පත්ව සිටි ගුරුවරයා රංජිත් මහතා වූ බැවිනි. අනෙකුත් පන්ති සදහා විද්‍යාගාරය ලබාදුන්නේ සතියකට එක් කාලපරිජේදයක් වුවද අපි වසර දෙකක්ම විද්‍යාව  කාලපරිජේදයන් ගත කලේ විද්‍යාගාරය තුලමය.
විෂය නිර්දේශයට අදාල සියලුම පරීක්ෂණ කටයුතු සම්පූර්ණ කරන්නට ලැබුනේ අප පන්තියට පමණක්මය එම නිසා අනෙක් පන්තිවලට වඩා දැනුම අතින් ඉදිරියෙන් සිටින්නට අපට සිටින්නට හැකිවු බව පැවසිය යුතුමය. වර්ෂ අවසාන විභාග කටයුතු සදහා පාසලින් විද්‍යාව ප්‍රශ්ණපත්‍රය සකස් කරනු ලැබුවේ රංජිත් මහතා වන අතර සිසුන් රන්ජිත් මහතා සකස්කරන්නාවූ ප්‍රශ්ණපත්‍ර වලට පිලිතුරු සැපයීම යනු ලේසි දෙයක් නොව අමාරුම වීම නිසාය. තරමක් සාමකාමී ගුරුතුමෙකු වුවද ඉතාමත් කෝපයෙන් පහරදුන් අවස්ථාවක් මගේ මතකයේ ඇත. එනම් පැරෆින් තෙල් වල බහා තිබූ සෝඩියම් කැබැල්ලක් ගෙන අපේම පන්ති සගයෙකුගේ සාක්කුවට දමද්දීම මාට්ටු වීමයි. හයිකෝට් මට්ටමේ වැරැද්දක් වූ එය කලේ කවුදැයි ඉදිරිපත් නොවූ නිසාත් කිසිවෙකුත් පාවා නොදුන් නිසාත් රංජිත් සර්ගෙන් පෝරියල් වීදීමට සැමටම සිදුවිය. 
11 - A පන්තියේෙ සිටියේ නාහෙට අහන්නේ නැති සොමිබර ජොලිබර සෙට් එකකි. හිස් පීරියඩ් එකක් ආවොත් සෙට් එක පිටින් එකකෝ පිට්ටනියේය එසේ නැතහොත් මහා සංගීත සංදර්ශණයක් බවට පෙරලේ.  අල්ලපු පන්ති වලින් සද්දේ වැඩියි කියා ගුරුවරුන් කීවද ගනන් ගන්නේ නැත. සංගීතය අවසානයේ බයිලා ගායනයක් බවට පත්වේ. එසේ ගලා යන අතරතුර සංගීත ප්‍රසංගය බාල්දි වැටෙන අවස්ථාද නොතිබුනා නොවේය. මක්නිසාදයත් අපගේ සංගීත මිහිරියාව කෙමෙන් කෙමෙන් විද්‍යාගාරය දක්වාම පැතිරගොස් විද්‍යාගාරයේ වාසය කරනා රංජිත් ප්‍රනාන්දු මහාතාගේ සවන්පත් සිපගත් කල සිදුකරන්නාවූ හදිසි කඩාපැනීම් හේතුවෙනි. අනිත් ගුරුවරුන් වන පතිරත්න දයාරන්ජිත් ගුණතිලක වැන්නන් පහරදුන්නද රංජිත් මහතා කිසිම කලෙක අපේ බජව්කරුවන්ට දඩුවම් කලබවක් නම් මගේ මතකයේ නැත. ඔහු කලේ තදින් බැණ වැදීම පමණකි. ඔහුට කලාව පිලිබදව ඇල්මක් තිබූ බව මගේ හැගීමය මන්දයත් විවේක කාලයට විද්‍යාගාරයට එන රතුකුරුස ඒකකය භාරව සිටි චන්ද්‍රදාස සතරසිංහ හා සමන් ජයසේකර මහතුන් සමග ඉදහිට ගී ගයනු ඇසී තිබෙන නිසාය.
බොහෝ කාලයක් සිසුන් දැනුමින් පෝෂණ්‍ය කල මෙතුමා මේ වන විට විශ්‍රාම සුවයෙන් නිට්ටඹුව මාඉබුලේ පිහිටි සිය නිවසේ වෙසෙත්.

*******
එකල ගම්පහ නගරයේ සාමාන්‍යපෙල විද්‍යාව විෂය සදහා සිටි සාර්ථකම හා ජනප්‍රියතම පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා වුයේ බණ්ඩාරවත්ත ගයා පෙදෙසෙහි විසූ තිලක් ගමගේ මහතාය. හය වසරෙන් ආරම්බකර එකොලහ වසරෙන් අවසන් වන ලෙස පන්ති පැවති අතර එක් ශේණියකට පන්ති තුනක් බැගින් වෙන්කර තිබුණි. මම අවසන් වන තුරුම සහභාගී වුයේ සෙනසුරාදා දින පැවැති පන්තියට වන අතර එහි සාමාජිකයන් තුන්සියයකට ආසන්න ගණනක් සිටිබව මගේ මතකයේ පවතී. 
පාසල් විෂය නිර්දේශයට පෙර අන්වීක්ෂය වැනි උපකරණ භාවිතා කිරීමටත් රසායන ද්‍රව්‍ය භාවිතා කර විවිධ පරීක්ෂණයන් සිදුකර සාර්ථක ප්‍රථිඵල ලබාගැනීමටත් ඉඩකඩ සැලසුනේ ඔහුගෙන් ලද මඟපෙන්වීම නිසාවෙනි. පන්තියට සහභාගී වන සිසුන්ට ගිරවුන් මෙන් විෂය කරුණු පමණක් නොව නිර්මාණ ශක්තියද වර්ධනය වනු පිණිසත් දැනුම පරීක්ෂා කරණු පිණිසද ක්‍රියාමාර්ග යොදා තිබිණි.වසරකට නියම කල නිර්මාණයන් ගණනක් නිමවා ඉදිරිපත් කිරීම අනිවාර්ය වූ අතර අපගේ පොත්පත් කලකට වරක් පරීක්ෂා කලේ රූපා අක්කාය.
පලමු වරට ඡන්දයක අත්දැකීම විදින්නට ලැබුනේද මෙහීදීය. එනම් පන්ති නායක හා පන්ති නායිකාව තෝරාගත්තේ සිසුන්ගේ ඡන්දයෙනි. නාමයෝජනා එකකට වඩා ලදහොත් රහස් ඡන්දයක් පවත්වයි. මැතිවරණ කොමසාරිස් වෙන කිසිවෙකුත් නොව ගමගේ සර්මය. මමද සහභාගී වු සෙනසුරාදා පන්තියේ වැඩිම වසර ගණනක් පන්ති නායකයා වූයේ චින්තන සොයුරාය ඔහු මගේ පාසල් පන්ති සඟයෙකි. සාමාන්‍යපෙල විභාගය පැවති වසරේ ඡන්දයෙන් ප්‍රතිවාදී අපේක්ෂකයාට ඇපත් නැති කරමින් ජයගත්තේ මම තුමායි. ප්‍රතිවාදියා වූ ජූඩ් මිලින්ද සොයුරාව පන්තියෙන් සමුගත් පසුව මට යලිත් කිසුදු දිනක මුණගැසී නැත.

ලමා මානසිකත්වය පිලිබදව "ඔබේ දරුවා රජ කරවමු" වැනි ග්‍රන්ථයක්ද පලකර ඇති එතුමා ගත් කතුවරයෙක්ද වෙයි. දශක කිහිපයක් විශාල වූ සිසුන් ප්‍රමාණයකය දැණූම බෙදා දුන් තිලක් ගමගේ මහතා අද බණ්ඩාරවත්ත ගයා පෙදෙසේ වූ නිවසේ වෙසෙත්.
ජාත්‍යන්තර ගුරු දිනය සමරණ අද දිනයේ මගේ පැතුම ඉදිරි කාලය මම සදහන්කල ගුරුභවතුන් දෙදෙනා ඇතුලු සමස්ථ ගුරුවරුන් හට නිදුක් නීරෝගිමත්ව ගත කිරීමට හැකිවේවා යන්නයි.
තිලක් ගමගේ ගුරුපියාණන්ගේ මුහුණු පොත් ගිණුම.


පසු සටහන

  • වසර දෙකහමාරකට පෙර අරබන ලද මාගේ බ්ලොග් අඩවියේ අද මෙයත් සමගම සපුරාලන්නේ ලියා පලකරන ලද පනස්වන සටහනයි.
  • රංජිත් ප්‍රනාන්දු මහතාගේ ජායාරූප සපයා දුන්නේ අප විදුහලේම සංජීව සිරිවර්ධන සොයුරා විසිනි.

ඒ වඟත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.......

Monday, August 28, 2017

දිසාපාමොක් මතක පලමු කොටස - විනය පාලක කතා වස්තුව හා සියවස පුස්ථකාලය

ඉස්කොලේ හිටපු ගුරුවරු ගැන මතකය  ලියන්න ටික කාලෙක ඉදලා ඕනෑකම තිබුනත් ඒ ඕනෑකම දවසින් දවස මගහැරුණා කියමුකෝ. ඒ හින්ද නියපොතු ටිකත් උල් කරගෙන පූසා ලකලැහැස්ති වෙන්නේ ගුරුවරු කීපදෙනෙක් ගැන මතකය අවධි කරන්න. පූසා පොඩි පැටියා කාලේ ඉදලා උගන්නපු ගුරුවරුන් ඔක්කමලා ගැන සැරෙන් සැරේ ලියන්න ඕනෑ කියලා හිතුනත් ජම්බුතුමා ගැන විතරයි ලියාගන්න පුලුවන් වුනේ. ගුරුවරුත් කොටස් දෙකකට බෙදන්න පුලුවන් එපාම කරපු සහ මතකයේ රැදුනු ලෙස. අද මම කියන්නේ මගේ මතකයේ රැදුනු ගුරුවරු දෙන්නෙක් ගැන.

මම මේ කියන්න යන චරිතය ගම්පහ බණ්ඩාරණායක විදුහලේ ඉතාම ප්‍රසිද්ධ චරිතයක් එවකට ප්‍රධාන විනය පාලක තනතුර පතිරත්න මහතා සමග හවුලේ දැරුවේ මෙතුමා තමයි. ජාතික හැදුණුම්පතේ සටහන් වෙච්චි ඇත්ත නම ප්‍රේමරත්න වුනත් මෙතුම ඉස්කෝලේ ඇතුලේ ප්‍රසිද්ධ වෙලා හිටියේ කක්කුට්ටා නමින්. ඉස්කෝලේ කොතනක වලියක් ගියත් කොයි තරම් චන්ඩියෙක් වුනත් කක්කුට්ටා එනවෝ කියල කිවුව ගමන් ගස් ගල් පෙරලගෙන දුවන්නේ අහුවුනොත් විදින්නට වෙන සංග්‍රහයේ රස දන්න හින්දමයි.
අපේ ඉස්කෝලෙට ඇතුල් වෙන්න ප්‍රධාන මාර්ග දෙකයි තියෙන්නේ ප්‍රධාන පිවිසුම සහ ක්‍රීඩා පිටියෙන් ඇති පිවිසුම ලෙසින්. ප්‍රධාන පිවිසුමේ ශිෂ්‍ය නායකයින් සමග අනිවාර්යෙන්ම විනය මණ්ඩලය නියෝජනය කරමින්  මෙතුමා රැදී ඉන්නේ වැරැද්දක් කරලා එන වාසනාවන්තයෙක් එනකම්. කොණ්ඩ රැවුල් වවාගෙන නිල ඇදුම අනුමත ආකාරයෙන් නැතිව එන වැරදි කාරයෙක් කිසිම දවසක බේරිලා යන්නේ නෑ වගේම ඒ අයට වැරැද්දේ ප්‍රමාණය අනුව ක්ෂණික තෑගි වගේම සැනසිලි තෑගිත් මදිනොකියන්නම බෙදලා දෙන්නත් මෙතුමා පසුබට වෙන්නේ නෑ. 
මට ඔහුව ලගින් ඇසුරු කරන්නට ලැබුනේ උසස්පෙල පන්තිවලට ආවට පස්සේ. ගොඩක් අය හිතන්නේ වගේම මාත් ඇතුලුව හිතාගෙන හිටියේ ඔහු ඉතාමත් සැරපරුෂ අයෙකු ලෙසින් නමුත් ප්‍රේමරත්න සර් ඇවිදින ආර්ථික විද්‍යා දැනුම් ගබඩාවක් බව දන්නේ බොහෝම ටික දෙනෙක් විතරයි. බොහොමයක් වෙලාවට ඉතා දරදඬු පුද්ගලයෙක් විදියට පෙනුනට එතුමා තුළ ඉතා සුන්දර මනුස්සයෙක් ජීවත් වුණා. ඔහුගේ නිදහස් කාලපරිච්චේදයකදී අපි පන්තියට කතා කලත් ඒ හැමදාම ඇවිත් කුමක් හෝ නොදන්නා දෙයක් කියා දෙන්නට ඔහු කවදාවත් දෙපාරක් සිතුවේ නැහැ. 
ඒකට හොඳම උදාහරණයක් මම කියන්නම් මේ සිද්ධිය සිදුවුණේ X-Ban 2008 ප්‍රදර්ශනය පවත්වන්න ඉදිකිරීම් කරගෙන ගිය කාලවකවානුවේදී.
එ්කාලේ පාසලේ විනය නීති අනුව ජංගම දුරකථන පාසලට රැගෙන යන්න බැහැ. ඒත් අපේ නිර්මාණයට අදාළව අමුද්‍රව්‍ය හොයන්න යන්න වෙනත් කටයුතු වලට කණ්ඩායම් යද්දී ඒ කණ්ඩායම් අතර සම්බන්ධීකරණය පවත්වා ගන්න ඕන නිසාත් හදිසි පණිවිඩ දැනුම්දෙන්න පහසුව තකාත් මම මගේ ජංගම දුරකතනය හොරෙන් පාසලට අරගෙන ගියා ඒත් කවදාවත් ඒක මාට්ටු වුනේ නෑ. ඒත් එක දවසක් ඉදිකිරීම් කරගෙන යන අතරතුරදී මොකක් හරි දේකට ප්‍රේමරත්න සර් ඇවිල්ල මාත් එක්ක කතා කර කර හිටියා. සර්ත් එක්ක කතා කර කර ඉන්නකොට ටික වෙලාවකින් මගේ සාක්කුවේ උන්න ජංගමයා අඩන්න ගත්තා. මගේ දෙලොව රත්වුනේ අහුවුනා නම් ඇපත් නැති බඩුත් රාජසන්තක වෙන හයිකෝට් වැරැද්දක් හින්දා. ඒත් සර් එදා මට කිව්වේ කොල්ලෝ හොරෙන් අරගෙන ආවානම් ඕක හොරෙන්ම තියා ගනින් නැත්තම් විනය පාලකයා වුන මගේ පට්ටමේ තේරුම කියලා විතරමයි.


********

මම ඊලඟට කියන්න යන්නේ ඉස්කෝලෙ හිටපු තවත් වැදගත් චරිතයක් ගැන. අපේ ඉස්කෝලේ පුස්තකාල තුනක්  තිබුණා කනිෂ්ඨ පුස්තකාලය විද්‍යා අංශයේ පුස්තකාලය සහ සියවස සමරු පුස්තකාලය වශයෙන්. සියවස පුස්ථකාලය නමින් මේක හදුන්වන්නේ හිටපු කීර්තිමත් අධ්‍යාපන ඇමතිවරයෙකු වු ඊරියගොල්ල මහතාගේ සමයේදී පැවති සියවස අධ්‍යාපන ප්‍රදර්ශණය සිහිවීමට ඉදිකරන ලද්දක් නිසා. මම කියන සියවස පුස්තකාලයේ පුස්තකාලයාධිපතිනිය විදියට හිටියේ සුනේත්‍රා මහත්මිය. අනාදිමත් කාලෙක ඉඳලා ඇයගේ නම ප්‍රසිද්ධ වෙලා තිබුණේ කාලි අම්මා කියලා.
අප පාසලින් සමුගත් දා සුනේත්‍රා මහත්මිය සමගින් පුස්ථකාලයේදී

පුස්ථකා‍ලය පාලනය කරද්දී ඇය ඉතා දරදඬු නපුරු තැනැත්තියක් වුණත් ඉතා හොද මනුෂ්‍ය ගුණදම් හිතේ පැවති ගුරුවරියක් විදියට මගේ මතකයේ රැඳී තිබෙනවා. පුස්ථකාලේ ඇතුලේ කියවන දගලන කොල්ලන්ව කනෙන් අල්ලලා එලියට ඇදලා දාන්නත් ඇය දෙපාරක් හිතන්නේ නෑ.සියවස පුස්තකාලය කෙරවලේ අන්තිම මේසය හැමදාම අපිට වෙන්වෙලා තිබුනේ අපේ පුස්තකාලය උදේ ඉඳලා බදු අරගෙන හිටපු යාවජීව සාමාජිකයෝ හින්දා. පන්තියෙන් බෑග් තිබ්බ ගමන් දුවන් යන්නේ පුස්ථකාලෙට. සමහර වෙලාවට අපි කාටහරි පුස්ථකාලේ බලාගන්න කියලා දීලායන වෙලාවලුත් නොතිබුනා නෙවෙයි.
පුරා වසර දෙකක් අපිටම වෙන්කර තිබූ මේසය

උසස් පෙල විභාගය කිට්ටු වෙද්දී වරකට බැහැර දෙන්නේ එක පොතක් වුනත් අපි පොත් තුන හතර ගෙනාපු දවස් තිබුනා.ඇගේ මතකය කොතරම් හොඳයි ද කියනවා නම් ඇයට උදෑසන ඕනෑම මොහොතක ඕනෑම පොතක් නම කිවූ සැණින් එය තිබෙන ස්ථානය නිවැරදිව පැවසීමේ හැකියාව තිබුණා. කාලෙකට පස්සෙ මට මේ ගුරුවරු දෙන්න ගැනම මතක් වුනේ මේ ලගදී ප්‍රේමරත්න සර්ව ගම්පහ නගරයේදී කාලෙකට පස්සේ මුණගැහිලා කථාබස් කරපු හින්දා. මෑත කාලීන ඉතිහාසය තුල අප පාසලේ ස්වර්ණමය යුගය වෙච්ච හිටපු විදුහල්පති පූජ්‍ය ලබුතලේ සුදස්සන හිමියන්ගේ පාලන කාලයෙන් පස්සේ පත්වෙලා අාපු කාඩ්බෝඩ් විදුහල්පති චරිතය හින්දා  ස්ථාන මාරු ලබපු ගුරුවරුන් අතරේ මේ ගුරුවරු දෙන්නත් ඇතුලත් වුනා.

පසු සටහන

  • මේ වෙද්දී ප්‍රේමරත්න සර් තුඩැල්ල ක්‍රිස්තුරාජ විදුහලින් විශ්‍රාම ලබා ඇති අතර සුනේත්‍රා මහත්මිය සිය ගුරු දිවියේ අවසාන මාස කිහිපය උඩුගම්පොල විදුහලක සේවය කරමින් සිටියි.
  • අද වන විට සියවස පුස්ථකාලය එහි නැති අතර එය කඩාබිද දමා විද්‍යාගාරයක් ගොඩනගා ඇත.

ඒ වගත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ....

Friday, May 5, 2017

රඟමඩලෙන් බැසයන මනමේ වැඳිරජ

අ.පො.ස උසස්පෙල අවසන් කර ජාතික ව්‍යාපාර කළමණාකරණ විද්‍යායතනයේ උසස් අධ්‍යාපනය ඇරබීමට පෙරවූ සංක්‍රාන්ති සමය දැහැමෙන් සෙමෙන් ගතකරන අතරතුර අපි කතාකරගත්තේ සැමට ඉදිරියේදී එකාවන්ව මුහුණදීමට සිදුවන රැජිණගේ බස පිලිබද ගැටලුවෙන්  මිදෙන්නේ කෙසේද කියාය මක්නිසාදයත් විශේෂයෙන්ම රජයේ මෙන්ම පුද්ගලික විශ්වවිද්‍යාල වලද සියලු අධ්‍යන කටයුතු සිදුකරනු ලබන්නේ ඉංග්‍රීසි බසින් වන නිසා ඒ සදහා අප සතුව එවකට පැවති භාෂා හැකියාව කිසිලෙසකටවත් ප්‍ර‍මාණවත් නොවූනිසාය.
දින හතෙන් දින දාහතරෙන් මෙන්ම එක් මාසයකින් උගන්වන නානාප්‍ර‍කාර පංති හා කඳවුරු දිවයින පුරා අරබමින් සිටි වකවානුව වූ නිසාත් හොද පන්තියක් සොයමින් සිටි අපිට ඔත්තුවක් ලැබුනේ කොළඹ විශ්වවිද්‍යාලයේ මිතුරෙකුගෙනි. ස්ථානය නිවරදිව කියනවානම් කොළඹ විශ්වවිද්‍යාලීය ක්‍රීඩාපිටිය ඉදිරිපිට පිහිටා ඇති "Oxford Business Collage" නම් ආයතනයයි. 

අද මාතෘකාවට අදාල සොදුරු මිනිසා මට මුනගැසෙන්නේ එහිදීය.
ජයනාත් බණ්‌ඩාර නම්වූ ඔහු ඉතාමත් අපූරු ගුරුවරයෙකු විය. පාසල් සමය තුල අපහට ඉංග්‍රීසී භාෂාව වහ කදුරු බවට පත්වූයේ පාසල්වල විශය ඉගැන්වූ ගුරුවරුන් ඉගැන්වූ ඒකාකාරී රටාව නිසා බව අප සියලුදෙනාම විශ්වාස කරන්නාවූ කාරණාවකි. නමුත් නීරස හා අපහසු ඉංග්‍රීසි භාෂාවේ සිද්ධාන්ත හා ප්‍රායෝගික කොටස් ඔහු අපට ඉගැන්වූයේ භාෂාව පිලිබදව කිසිදු අප්‍රියතාවයක් අපතුල ඇතිවන්නට ඉඩක් නොතබමින්ය. තෙමසකට සැලසුම් කර තිබූ අප පාඨමාලාව තුල විසිදෙනෙකු පමණ සහබාගීවූ අතර නොවැලැක්විය හැකි කරුණුමත අමතර මාසයක් දක්වා දීර්ඝ කරන්නට සිදුවිය. මාසයක් පමණ ගතවන විට භාෂා දැනුම අප සැමගේ ඉහල ගියේ ඔහුගේ ඉගැන්වීමේ හැකියාවට පින්සිදු වන්නටය.

වීවේකී දිනක ගාලුමුවදොරදී


කටුබැද්ද ජයනාත් මහතාගේ නිවසේ

භාෂාවක් නිවරදිව ඉගෙන ගැනීමට කථනය,කියවීම,සවන්දීම හා ව්‍යාකරණ දැනුමද අවශ්‍යවන බවත් බොහෝ දෙනෙකු හට ඉංග්‍රීසි භාෂාව නොහැකි වන්නේ එය පාවිච්චියේදී වැරදීම් සිදුවේයැයි ඇති අනිසි බිය නිසා යැයි පැවසූ ඔහු ආයතනය තුලදී සිංහල බස භාවිතය තහනම් කරන ලදී. කොටින්ම කිවහොත් කැන්ටිමේ අංකල් බිස්නස් කලෙත් කඩු බසින් විමසුවොත් පමනි.

අවසාන දින ආයතනය ඉදිරිපිට

අද මාතෘකාවට අදාල කථාව ඇරබෙන්නේ මෙතැන් සිටය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ජයනාත් බණ්‌ඩාර ලාංකීය නාට්‍ය වේදිකාව ජයගත් අපූර්ව රංගන ශිල්පියෙකි. 1989 වර්ෂයේ යෞවන සම්මාන උළෙලේ දී උඩරට නැටුම් ඒකල ප්‍රථම ස්‌ථානය දිනා ගනිමින් මෙන්ම විද්‍යාලයේ නාට්‍ය අංශයේ කැපී පෙනෙන චරිතයක්‌ වෙමින්ද ජයනාත් බණ්‌ඩාර රංගාවතරණය සිදු විය.
1989 දී  "මිහිදුම් සිහින", "හෙට කළුවර නෑ" ආදී නාට්‍යවල මෙන්ම 1993 සරසවි නාට්‍ය සම්මාන උළෙලේ හොඳම නළුවා වැනි සම්මාන දිනා ගනිමින් ඔහු තමන්ගේ රංගන ගමන් මඟ සනිටුහන් කළේය. 1999 රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී සම්මාන හතක්‌ දිනාගත් තුමිඳු දොඩන්තැන්නගේ "අරුන්දතී" නාට්‍යයේ මනෝරාජ්ගේ චරිතය සදහා හොඳම නළුවා සම්මානයත් දිනා ගැනීමට සමත්විය. 

වර්ෂ 1999 දී දක්ෂයන් අතරිනුත් අතිදක්ෂයන්ට පමණක් දොරටු විවර වන  අසහාය නාට්‍යවේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මනමේ" නාටකයේ පීරිස් සමරවික්‍ර‍ම මහතාට පසුව වැදි රජුගේ චරිතයටත්,
ඉන් අනතුරුව වර්ෂ 2001 දී "සිංහබාහු" නාට්‍යයේ දීර්ඝ කාලයක් සිංහයාට පණපෙවූ ජය ශ්‍රී චන්ද්‍ර‍ජිත් මහතාගෙන් පසුව සිංහයාගේ චරිතයටත් රංගන දායකත්වය ලබාදීමට තොරාගැනීමෙන් අනතුරුව ඔහුගේ රංගන ජීවිතයේ ස්‌වර්ණමය යුගය උදාවිය.

 

“ප්‍රේමයෙන් වැඩුයේ මෙපුතා නොවේ දෝ
ආන්තරායෙන් රැක ගෙන වනයේ
මා මරණට දැන් එන්නේ මෙලෙසා
ඔද වැඩි හින්දා දෝ යෞවනයෙන්
මානය බිඳ හැර ලන්නෙමි මෙවරා
දෙන්නෙමි දඬුවම් ඔළමොළ කමටා”


විටෙක තමන් පණ මෙන් ආරක්ෂා කල බිරිඳත් දියණියත් අහිමිවීමේ දුකද, තම පුතු තමන් මැරීමට පැමිණීම නිසා ඇතිවන කෝපයද , පියා සහ පුතු අතර ඇතිවන්නා වූ අවසන් ද්වන්ද සටන මැනවින් විදහා දක්වමින් හැගීම් ප්‍රකාශවන ආකාරයට සිංහබාහුහි සිංහයාගේ චරිතයට ප්‍රවිශ්ඨ වෙයි. තවත් විටක "සත්හට සෙත්දෙන ලෝක ශිවාකර භගවා පතනුන් ගෙන් සරණා" ලෙසින් ගායනා කරමින් තම දියණිය වන දුලා කුමරිය තක්සලාවේ දක්ෂතම සිසුවා වූ මනමේ කුමරුට විවාහ කරදෙන දිසාපාමොක් ඇදුරාගේ චරිතය පණ පොවන අතර, තවත් වරෙක ඔහු මනමේ නාටකයේම ගොරහැඩි දුෂ්ඨ වැදි රජුගේ චරිතයට පණපොවයි. එසේත් නැතිනම් ඊට හාත්පසින්ම වෙනස් බක්මහ අකුණු හි මුදලිතුමාගේ චරිතයට ප්‍ර‍විෂ්ඨ වෙයි. එසේ විවිධ විවිධ ශෛලීන්ගෙන් යුතු චරිත නිරූපනයට ඔහු මනා හැකියාවකින් යුක්තය. ඔහු දායකත්වය දෙන වෙනත් නාට්‍ය කිහිපයක් මෙසේයි

මනමේ - වැඳිරජු / දිසාපාමොක් ඇඳුරු
සිංහභාහු - සිංහයා
බක්මහ අකුණු - මුදළිතුමා
නරිබෑණා - ගමරාල / කපුවා
අරුන්දතී - මනෝරාජ්
දික්තල කාලගෝල - දික්පිටියා
හැමිලට්
රතු හැට්ටකාරි


පුංචි තිරයේ දී ඔහු දි. ග. සෝමපාලගේ "නිල්ල පෙනෙන මානයේ" ප්‍රධාන චරිතයටත්, ලක්‍ෂ්මන් විජේසේකරගේ "දඟයන්ට පමණයි" ටෙලි නාටකයේ ප්‍රධාන චරිතයටත් රංගන දායකත්වය ලබාදුන් ඔහු ස්‌වභාවික නාට්‍ය සම්ප්‍රදාය විෂයෙහිද තම ප්‍රතිභාව ප්‍රකට කළේය. හඬ කැවීම් ශිල්පියෙකු ලෙසද ටෙලි නාට්‍ය හා කාටුන් සඳහා සිරස ටී.වී., හිරු ටී.වී. වැනි නාලිකා හරහා ජයනාත් බණ්‌ඩාර තම හඬ අවදි කළේය. ජයනාත් බණ්ඩාරයන් මේ සියලු දේ කරන්නේ වෘත්තිමය වශයෙන් ඉංග්‍රීසි කථීකාචාර්යවරයකු විදියටත්,ටවර් හෝල් රඟහල පදනමේ බාහිර කථිකාචාර්යවරයකු විදියටත් කටයුතු කරන අතරතුරය. ඊට අමතරව ජාතික රූපවාහිනියේ රංග භූමි අධ්‍යාපනික වැඩසටහනේ පිටපත් රචකයකු හා කථිකයකු වශයෙන්ද ඔහු කටයුතු කරයි.

ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
සිංහබා! සිංහබා!! සිංහබා!!!

මා සොදුර! මා සොදුර !!මා සොදුර!!!

සිංහ සීවලී!  මා ප්‍රිය දියණිය
ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
මම දැන ගතිමි- මම සැක කලෙමි
සිංහබා! සිංහබා!! සිංහබා!!
 

නමුත් කණගාටුවට කරුණ වන්නේ ජයනාත් බණ්ඩාරයන්ගේ රැගුම් මනමේ සිංහභාහු නාට්‍යයන් තුලින් යලිත් කිසිදා ප්‍රේක්ශකයන් හට දැක ගැනීමට තිබු අවස්තාව නොමැතිවීමයි. මක්නිසාදයත් ඔහු මේ වන විට මනමේ සිංහභාහු සරච්චන්ද්‍ර රඟමඩලෙන් සමුගැනීමට තීරණය කර ඇති නිසාවෙනි. නමුත් බක්මහ අකුණු හැමිලට් නරිබෑණා වැනි වේදිකා නාට්‍ය හරහා මෙන්ම මේ දිනවල විකාශය වන මුතකුඩ හා සල්සපුනා ටෙලි නාට්‍ය තුලින්ද ඔහුගේ රඟපෑම් දැකබලාගත හැකිය. තවත් චිරාත් කාලයක් සබේ රඟන්නටත් ශක්තිය ලැබේවා යන්න අපගේ පැතුමයි. සිංහභාහු නාට්‍යයේ සමාප්ති ගීතයෙන් අද ලිපිය අවසන් කරමි.

"සසරේ යාත්‍රා සුවපත් වන්නට
නොබිදෙන්නට ජීවිත නෞකා
වේවා සැමටම සුභ මංගලම්"


ඒ වඟත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ.......

Saturday, April 29, 2017

සුභ ගමනක් වේවා තුමනි.....



වසර දෙකක බ්ලොග් කෙරුවාව ඇතුලතදී බ්ලොග් ලෝකයේදී හමුවු සොඳුරු මිනිසුන් අතරේ විචාරකතුමා මටත් බොහොම සුවිශේෂි පුද්ගලයෙක් බවට පත්වූනා. සැබෑ ජීවිතයේදී මට එතුමා මුණ ගැසුණේ සයිබර් සිහින උළෙලේදී අහඔුලෙසින්.


ශ්‍රී ලංකා යුධ හමුදාවේ අවිආයුධ පදක්කම් පලදනා හමුදා නීතිය මෙන්ම පැරණි මෙහෙයුම් පිලිබද සාමාන්‍ය ස්ථානයකින් ලබාගත නොහැකි තොරතුරු කියවන්නන්ගේ සිත්ගන්නා ලෙස ඉදිරිපත් කරන්නට ඔහු සතුවූ හැකියාව ඉතා ඉහලමට්ටමක පැවතිබව නොරහසක්.





දවසක් නොමියෙන මිනිසුන් චිත්‍රපටිය බලද්දී අහම්බෙන් විචාරක වගේ කෙනෙක්ව දැක්ක හින්දා මම ඒ ගැන විමසලා දාපු කොමන්ටුවට විචාරක දාපු කොමන්ටුව තමයි ඉහලින් තියෙන්නේ. පස්සේ චිත්‍රපටිය රූගත කරද්දී වෙච්ච දේවල් ටිකක් එක්ක මේල් එකක් එවලා තිබ්බා. වෙනම පෝස්ටුවක් ඒ ගැන ලියන්න පොරොන්දුවක් දුන්නත් එය ලියා පලකරන්නට පෙර ඔහු නික්ම ගිහින්.



ඉක්මනින්ම යන්න වෙන බව ඒතුමා කලින් දැනගෙන හිටියද කියලත් වෙලාවකට හිතෙනවා අන්තිම පෝස්ට් වලට දාපු කොමන්ට්ස් දැක්කම


යලි මතු උපදින්නාවූ ආත්මයන්හීදී ඔබට මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවී අවසානයේ උතුම්වූ නිර්වාන සුවයම අත්වේවා යැයි මම ප්‍රාර්ථනා කරමි. එතෙක් ඔබ නින්දට පත්වන තුරාවට සියලු දේවතාවෝ ඔබ වෙනුවෙන් ගී ගයත්වා..
ඔබට සුවදායී රාත්‍රියක් වේවා තුමනි..........


අදත් මතකය  පහරා පහුරු ගෑ මම සුදුපූසා වෙමි............

Thursday, April 6, 2017

දෙවසරක් පුරා ආ ගමන සොදුරුයි විශ්මයජනකයි

අදින් හරියටම මාස විසිහතරකට පෙර සුදුපූසා බවට පත් වු මම අද බ්ලොග් අවකාශයේ දෙවනි වසර සපුරාලන්නෙමි. අද දින හිමිදිරිය වන විට මෙයත් සමග පෝස්ටු හතලිස් පහකුත් සහ හිට් කවුන්ටරය පනස්දහසකට ආසන්න ලෙස දර්ශණය වෙනවා. වර්ශ 2012 පමණ සිට බ්ලොග් කියෙවුවත් ලියන්න නම් කාලයක් හා ඉස්පාසුවක් ලැබුනේ 2015 වසරේ මුල වගේ තමා.

අද මේ දෙවසරක් ගෙවෙන මේ වෙලාවේ මට බ්ලොග් ලියන්නට පෙලබවු හා උදව් කල කිහිපදෙනෙකුව මතක් කිරීම මගේ යුතුකමක් කියලා හිතනවා

  • කැන්ගරුලන්තයේ බටහිරට ආසන්න පර්ත් නගරයේ පදිංචිව සිටියාවූද සිරි ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ සහ ගම්පහ ප්‍රාදේශීය වැඩපලවල් වල මාගේ පියා සමග සේවය කලාවූද ඔබ්සවර් නැත්තම් ඔබා මාමා ලෙසින් බ්ලොග් ලොව දැන හදුනාගත් සනත් විජේවර්ධනයන් 
  • පන්සලේ කතා වගේම බස් පලුවන්ගේ කතා වගේම විශාල කතා ප්‍ර‍මාණයක් බ්ලොග් අවකාශයට දායාද කලා වූවද අද වන විට බ්ලොග් ලිවීම යනු කුමක්දැයි නොදන්නා තත්වයට පත්වී ඇති මාරයාගේ හෝරාවේ මාරයා 
  • බ්ලොග් ලෝකෙට මුල් ගුරු වෙච්චිතමන් දැල්වු   පහණින්  තවත් පහන් සිය ගණනක් දැල්වූපුක යනු කුණුහරුපයක් නොවන බව ඔප්පු කලාවූත් රසික සූරියාරච්චි නොහොත් පැරණි කතන්දරකාරයා
  • මගේ බ්ලොග් එකේ පලමුවැනි පෝස්ටුව වෙච්චි දඩයමේ යාම  කතාවට හා හාපුරා කියලා නමෝවිත්තියෙන් පලවෙනි කමෙන්ටුව කෙටූ අවන්හලේ මහේශ් රත්නායක  
  • පූසාව සජීවි ලෙස මුණගැසී කතාබහ කල මගේම පාසලේ බ්ලොග්කරු  කාමරේ සිරා
  • මේ වන විට මද අසනීප තත්වයෙන් පෙලෙන අසමි දකිමි සොයමි විචාරක තුමා
  •  


එදා පළමු දොලොස්මස පසුකරපු මොහොතේ මම ඔබට කිව්වා මම කොහොමද බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියලා. මුලදි කරගන්න බැරුවයයි කියලා හිතුනත් දැන්නම් අබිං කෑවාවගේ තමයි. මොනවාහරි නොලියා ඉන්නම බෑ වගේම බ්ලොග් කියවන්නේ නැතුව ඉන්නත් බෑ කොච්චර වැඩ රාජකාරී ගොඩගැහිලා තිබ්බත්. බ්ලොග් ලියන කෙනෙකුගෙන් ඇහුවොත් ඇයි ලියන්නේ කියලා, නොයෙකුත් පිළිතුරු ලැබෙන්න පුළුවන්. අපි කාටවත් මේ සමාජයේ තනිවී ඉන්නට බැහැ. අපගේ සිතුවිලි හා චිත්තාවේගයන් සදහන් නොකර ඉන්නට බැහැ. සමහර විටකදී සිතෙහි පවතින ආවේගයන් හා කෝපයන් පිටකරන්නත් මගේ අතින් ලිපි ලියවෙන අවස්ථාවන් නැතුවාම නෙවෙයි. අනෙකුත් සෑම ලේඛන සහ ප්‍රකාශන මාධ්‍යවල යෙදෙන්නන් කරන්නේත් එයමයි. ඉතින් බ්ලොග් ලියන අපිත්, අනෙකුත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලට වඩා පෞද්ගලිකත්වය විදහා දක්වමින්, චිත්තාවේග පිටකරමින් ලියන එකයි කරන්නේ කියලයි මමනම් හිතන්නේ.   

මෙවර නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ හොදම බ්ලොග් නවකතාව තුන්වන ස්ථානය මා ලියූ නිර්සත්වයෝ කතාමාලවට හිමිවීම  සතුටක් මෙන්ම තවතවත් ලියන්නට උත්තේජනයක්ම විය. නිර්සත්වයෝ කතාමාලාව මගේ පුද්ගලික ජීවිතයේදී ලද අත්දැකීමක් ඇසුරින් ලියන ලද්දකි. අපාය පමණක් කල්පිතයක් වූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය මොරටුව විශ්වවිද්‍යාලය බවට ආදේශ කලහොත් අනෙකුත් සියලුම ප්‍ර‍ධාන චරිත මෙන්ම අතුරු චරිත වල නම්ගම් සත්‍ය වන අතර ඔහුන් පුද්ගලයින් ලෙස ජීවමානව අදටත් සුවසේ වෙසෙත්.  
මේ කතාව පිලිබද සත්‍ය කතාව දන්නේ ඒ පිලිබදව විමසා සිටි ඩ්‍රැකී සීනියර් පමණි.

ඉහත සදහන් කල පිරිසට අමතරව නිතරම ගොඩවදින අම්බලන්ගොඩයා , කුරුට්ටන් පිරිස , දිනේෂ් , කැලේ පිපුණු මල් , වැසි දැරිය , අටම්පහුර අටම්තුමා, බ්‍රා මෙන්ඩිස් සහ ප‍්‍ර‍සන්න වැනි අය මෙන්ම වරක් හෝ පැමිණි  නම් වශයෙන් සදහන් නොකල එකී නොකී සියලුම දෙනාටම හිස නමා ආචාර කරමි......

අවසාන වශයෙන් ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සෑම සියලු දෙනාටම සාමය සතුට සෞභාග්‍යයෙන් සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා............



ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.............


Monday, April 3, 2017

අපි නොදන්න චෙක්පත් - දෙවන කොටස

අපි නොදන්න චෙක්පත් පලමුවෙනි කොටසින් චෙක්පතක් කියන්නේ මොකක්ද කියලා වගේම චෙක්පතක මූලික කොටස් මොනවද කියලා මම සටහන් කලානේ. අද ලිපියෙන් චෙක්පත් රේඛණයන් ගැන හා වලංගු කාල සීමාවන් ගැන විස්තර කරන්න තමයි හදන්නේ.

සාමාන්‍ය විදිහට චෙක්පතක් ලිව්වා නම් ලිව්ව දිනයත් ඇතුලත්ව මාස හයක කාලයක් දක්වා වලංගු වන අතරම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට චෙක්පත ලිවූ දින සිට වසර දෙකක කාලයක් ඇතුලත හැකියාව තිබෙනවා. චෙක්පතක් රේඛණය කරනවා කියන්නේ මොකක්ද? ගොඩක් අය චෙක්එක ලියලා වම්පැත්තේ උඩ කෙලවරේ සමාන්තර ඉරිකෑලි දෙකක් ගහනවා දැකලා ඇති. ඒ හැරුණම සාමාන්‍ය හා විශේෂ කියලා රේඛණය කොටස් දෙකකට බෙදන්න පුලුවන්. චෙක්පතකට රේඛණයක් යොදන්නේ ඒමගින් චෙක්පතේ ආරක්ෂාව වැඩිකර ගන්නයි

අපි බලමු චෙක්පත් සදහා රේඛණයන් යොදන ආකාරය

  • ආදායකයාගේ ගිණුමට පමණයි

ඉහත චෙක්පතේ තියෙන්නේ ආදායකයාගේ ගිණුමට පමණයි(Account Payee only) කියලා. මේක නම් හැමවෙලාවෙම වගේ බහුලව යෙදෙන රේඛණයක්. මේකෙන් කියවෙන්නේ මේ චෙක්පතේ වටිනාකම ලබා ගන්න පුලුවන් වෙන්නේ චෙක්පතේ ආදායකයා වශයෙන් නම සදහන් වෙන තැනැත්තාට පමණයි. ඒ වගේම මේක බැංකුවේ කවුන්ටරයෙන් මාරුකර ගන්න බෑ. අනිවාර්යෙන්ම ආදායකයාගේ නමට තියෙන ජංගම ගිණුමක තැන්පත් කරලා මාරුකරගත යුතුයි.

  • ගණුදෙණු කල නොහැක
චෙක්පත් වලින් තියෙන වටිනාම ප්‍රයෝජනයක් තමයි තමන්ට ලැබුන චෙක්පත තමන්ගේ ගණුදෙණුවක් පියවන්නට තවත් අයෙකුට පිටසන් කර ලබාදීමට හැකිවීම. මේක ව්‍යාපාරිකයින් අතර හරිම ජනප්‍රිය ක්‍ර‍මයක් වුනත් සමහරුන් කැමති නෑ තමන් දුන්න චෙක්පතක් අතින් අත යනවට ඒවගේ උදවිය යොදන රේඛණයක් තමයි ගණුදෙණූ කල නොහැක.
මේක යෙදුවහම ඒ චෙක්පත වලංගු වෙන්නේ් මුහුණතේ නම සටහන්ව පවතින ආදායකයාට තම ගණුදෙණුව පියවා ගැනීම සදහා පමණයි.

  • උපරිම මුදලට සීමා පැණවීම

සමහර අවස්ථාවන් වලදී මුදල් අගයක් සටහන් නොකර චෙක්පත් ලබාදීමේදී ආරක්ෂාව තකා උපරිම මුදලක් රේඛණයක් ලෙසින් යෙදිය හැකියි. උදාහරණයක් ලෙස ඉහත චෙක්පතේ රුපියල් 14000/- නොයික්මවිය යුතුයි යනුවෙන් රේඛණයක් යොදා තියෙනවා. ඒවිට චෙක්පත ලද තැනැත්තාට චෙක්පතේ අගය ලෙස සටහන්කර මුදල් ගත හැක්කේ රුපියල් දාහතර දහසක් හෝ ඊ්ට අඩු අගයක් පමණයි

  •  වලංගුවන කාලය සීමා කිරීම

සාමාන්‍යයෙන් චෙක්පතක් වලංගු කාලසීමාව මාස හයයි. නමුත් සමහර අවස්ථාවල දින සීමාවන් පණවමින් චෙක්පත් නිකුත් කරනවා. බොහෝවිට රාජ්‍ය ආයතන වලින් කරනු ලබන ගෙවීම මෙලෙස දින සීමාවට යටත්ව නිකුත් කරනවා. ඉහත උදාහරණයේ පරිදි දින 30 60 90 වශයෙන් සීමාවන් යෙදීමට හැකියාව තිබෙනවා. එලෙස සදහන් දින ගණන පසුවුවහොත් ඒ චෙක්පත අඟරු චෙක්පතක් බවට පත්වනවා

  • විශේෂ රේඛණයන්
ඉහත ජායාරූපයේ තියෙන්නේ විශේෂ රේඛණයන්ගෙන් එකක්. මේකේ තියෙන විදිහට මේ චෙක්පත අනිවාර්යෙන්ම ලංකා බැංකුවේ මැල්සිරිපුර ශාඛාවේ ආදායකයා නමින්ම ඇති ගිණුමක තැන්පත් කිරීමෙන් පමණක් මුදල් ලබාගැනීමට පුලුවන්. වෙනත් කිසිදු ආකාරයකට මුදල් ලබා ගත නොහැකියි. නැතහොත් චෙක්පත යලිත් අණකරුවෙත ලබාදී වෙනත් චෙක්පතක් ලබා ගැනීම හෝ යොදා ඇති රේඛණය අවලංගු කරගත යුතුයි.

රේඛණයන් අවලංගු කරවා ගැනීම

 සෑම චෙක්පතකම රේඛණයන් අවලංගු කරගත හැකි අවස්ථාවන් දෙකක් පවතිනවා 
  • චෙක්පත ලිවු තැනැත්තා හෝ අායතනය මගින්
ආදායකයාගේ ගිණුමට පමණයි යණුවෙන් සදහන් රේඛණය ඉවත් කර ගැනීමට නම් චෙක්පත ලිව්ව පුද්ගලයා විසින් රේඛණ්‍ය අවලංගුයි(Crossing cancel) යනුවෙන් ලියා යලිත් සිය ආදර්ශ අත්සන යෙදිය යුතුයි එවිට රේඛණය බලාත්මක වන්නේ නැහැ.
උපරිම දින සීමාවක් සදහන් චෙක්පත් වල කාලය දිගු කරවා ගැනීමට පුලුවන්. ඉහත පරිදිම චෙක්පත ලිව්ව පුද්ගලයා හෝ ආයතනය විසින් චෙක්පතේ උපරිම දිනය ඉක්මවා යෑමට පෙර දිනය දීර්ඝ කර අවශ්‍ය අත්සන් යලිත් වරක් චෙක්පතෙහි යෙදිය යුතුයි. 

ඉහත උදාහරණයේ චෙක්පත 12/11/2015 නිකුත්කලත් එය ලබාගත් තැනැත්තාට දින තිහක් තුල තැන්පත් කිරීමට නොහැකි වන නිසා යලිත් 12/12/2015 සිට තවත් දින 30 සදහා දීර්ඝ කරදී තිබෙනවා. නමුත් මතක තබා ගන්න මෙම දීර්ඝ කිරීම සිදුවිය යුත්තේ චෙක්පත් දිනය පසුවන්නට පෙරයි. 13/12/2015 මෙය දීර්ඝ කලා නම් චෙක්පත අඟරු වෙනවා


  •  තැන්පත් කල බැංකුව මගින්

ඔබ සිතන්නේ රේඛණයන් සිදුකරන්නේ ගණුදෙණුකරුවන් පමණක් කියලාද? නැහැ බැංකුව විසිනුත් චෙක්පත් වල රේඛණයන් සිදුකරනවා එය නිශ්කාෂණ මුද්‍රාව(Clearing Stamp) යනුවෙන් හදුන්වනු ලබනවා.

ඉහත චෙක්පතෙහි යොදා ඇත්තේ එම මුද්‍රාවයි. ස්කෑන් කරණු ලබන චෙක්පත් ප්‍ර‍තිම්භයන් ලංකා ක්ලියර් ආයතනයට යැවීමේදී ශාඛාවේ අනන්‍යතාවය තහවුරුකිරීම සදහා බැංකුවේ නමත් ශාඛාවේ නමත් සහ ශාඛාවේ අංකය සහිත මුද්‍රාවක් යොදනු ලැබේ. ඉන්පසුව එම චෙක්පත කිසිදු විටක වෙනත් බැංකුවකට යොමු කිරීමට නොහැකිය. සාමාන්‍යයෙන් අපි චෙක්පත් එකතු කරන්නේ එකම වේලාවකට නොවන අතර සෑමදිනකම පැයෙන් පැයට චෙක්පත් ලබාගෙන ඒසදහා නිශ්කාෂණ මුද්‍රාවන් යොදා නිශ්කාෂණ ක්‍රියාවලියට යොමුකරවනු ලැබේ. එම නිසා හදිසියේවත් තැන්පත් කල චෙක්පතක් යලි ගෙනයාමට ගණුදෙණුකරුවකුට අවශ්‍ය උවහොත් "සියලුම නිශ්කාෂණ මුද්‍රාවන් අවලංගුයි" (All Clearing crossings Cancel) යන මුද්‍රාව තබා එහි නිශ්කාෂණ කටයුතු භාර නිළධාරියා හෝ වෙනත් බළලත් අයෙකු විසින් තම අත්සන යොදා ලබාගත යුතුයි.

ඊලග කොටස් වලින් චෙක්පත් ලියද්දී බහුලව කරන අතපසුවීම්, චෙක්පත් අඟරු වෙන්න බලපාන හේතු, අඟරු චෙක්පත් නිවේදනය(CRN) වගේම සංචාරක චෙක්පත් ගැනත් පැහැදිලි කරන්නම්.



පසු සටහන

  • මම මෙහි විස්තර කලේ අවශ්‍යමයි කියලා හිතුන රේඛණයන් විතරයි.  නමුත් කියවන ඔයාලට චෙක්පත් සම්බන්දයෙන් දැනගන්න දෙයක් එහෙම තියෙනවානම් හරි නොපැහැදිලි තැනක් එහෙම තියෙනවානම් අහන්න

ඒ වගත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ ........

Wednesday, March 15, 2017

අපි නොදන්න චෙක්පත් - පලමු කොටස

ජීවිතේ කවදහරි දවසක ඔයාලටත් මොකක්හරි දේකට චෙක්පතක් ලැබිලා ඇතිනේද? එහෙමත් නැත්නම් ඔබ චෙක්පත් මගින් ගෙවීමක් සිදුකරලා තියෙනවා වෙන්නත් පුලුවන්. ඔයාගේ නමට ලැබුණ චෙක්පත බැංකුවේ කවුන්ටරයට ගෙනිහින් මුදල් බවට පත්කරගෙන හෝ ගිණුමට තැන්පත්කරලා මුදල් අරගෙනත් ඇති නමුත් ඒ පිටිපස්සේ තියෙන විශාල ක්‍රියාවලිය ගැන ඔයාල ටිකක් හරි දැනගෙන සිටියාද? 
මම චෙක්පත් සම්බන්දව කාලයක් තිස්සේ කටයුතු කරන හින්දා අපේ ගණුදෙණූකරුවෝ කරන වැරදි ගොඩක් නිරීක්ෂණය කරලා තියෙනවා. දැනට මේ ඉන්න තැනට සාමාන්‍ය දවසක නම් චෙක්පත් 250-300 අතර ප්‍ර‍මානයක්ද වැටුප් හා වැටුප් අත්තිකාරම් ආසන්න දවස්වලට චෙක්පත් 850 ත් 1000ත් අතර ප්‍ර‍මානයක් දෛනිකව දැබෙනවා උනත් හැමදාමත් චෙක්පත් 70ත් 100ත් අතර ගණනක් අඟරු(Return) වෙනවා.ඒක හින්දා චෙක්පත්වල ඉතිහාසය වගේම නිතර කරන වැරදිත් මේ ලිපි පෙලෙන් කියන්න මම අදහස් කරනවා.
චෙක්පත් නිකුත් කරන්නේ ජංගම ගිණුම් සදහා පමණක් වන අතර එය පුද්ගලික ජංගම ගිණුම් සහ ව්‍යාපාරික ජංගම ගිණුම් ලෙස ප්‍ර‍ධාන වශයෙන් කොටස් දෙකකට බෙදා තිබෙනවා. ජංගම ගිණුම් ව්‍යාපාරිකයින්  සදහා ඉතා වැදගත් ගිණුම් වර්ගයකි. මුදල් මගින් ගනුදෙනු කරනු වෙනුවට චෙක්පත් මගින් ගනුදෙනු කිරිමට මෙම ගිණුම් තුල අවකාශ ලැබී ඇත. එමගින් තම මුදල් සදහා වැඩි ආරක්ෂාවක් හිමිවේ. ව්‍යාපාරික ජංගම ගිණුම් ඇරඹිමට ආයතනය ලියාපදිංචි කර ති‍බිම වදගත් අතර එවිට එහි නමින් ජංගම ගිණුම් පවත්වා ගෙන යා හැකිය. ජංගම ගිණුම් වල තැන්පතු සදහා බැංකුව විසින් කිසිදු පොලියක් නොගෙවන අතර බැංකුව විසින් ජංගම ගිණුම් සදහා පමණක් සපයන  අනෙකුත් සේවාවන් සදහා සේවා ගාස්තුවක් අය කෙරෙන අතර සමහර බැංකු ශේෂය යම් අවම ම්ට්ටමට වඩා අඩුවෙන් ඇති විටද සේවා ගාස්තුවක් අය කරයි. ප්‍රමාණවත් තරම් ශේෂයක් නොමැති විට නිකුත් කරන ලද චෙක්පත සදහා ගෙවීම් කිරිම බැංකුව ප්‍රතික්ෂේප කරන අතර එවැනි ‍අගර‍ැ වෙක්පත් සදහා ‍අගර‍ැ වෙක්පත් ගාස්තුවක්ද අයකෙරේ. බැංකුව විසින් සැම මාසයක් අවසානයේදි ගිණුම් හිමියා වෙත එම මාසය තුල සිදුවු ගනුදෙනු පිලිබදව විස්තරයක් නිකුත් කරනු ඇත. ලංකා බැංකුවේ ජංගම ගිණුම් ඇරඹීමට අදාල අවම අගයන් පහත පරිදි නියමකර තිබෙනවා


ශාඛා වර්ගය                     ව්‍යාපාරික ජංගම          ගිණුම්                              පුද්ගලික                                                  ජංගම ගිණුම් 

අධි ශ්‍රේණිය 15,000 10,000
‘A’ ශ්‍රේණිය 15,000 5,000
‘B’ ශ්‍රේණිය  10,000 5,000
‘C’ ශ්‍රේණිය 5,000 2,500

මීට අමතරව මූලස්ථාන ආයතනික ශාඛාවේ ඕනෑම ජංගම ගිණුමක අවම තැන්පතුව රුපියල් ලක්ෂයක් ලෙසද පුද්ගලික ශාඛාව මහනුවර අධිශ්‍රේණි හා පිටකොටුව ශඛාවන් සදහා අවම තැන්පතුව රුපියල් විසිපන්දහසක් ලෙසද නියමකර තිබෙනවා (මේ අවම තැන්පතු අගයන් ලංකා බැංකුවේ ජංගම ගිණුම් සදහා පමණයි) 

මේ ලෝකේ හා හාපුරා කියලා චෙක්පත් පාවිච්චිය ආරම්බ කරලා තියෙන්නේ 1659 තරම් ඈත කාලයේ එංගලන්තයේ Bank of England කියන ආයතනයකින්. ඒක අද කාලේ වගේ ලස්සනය මුද්‍ර‍ණය කරපු විධිමත් ආකාරයේ චෙක්පතක් නෙවෙයි.අද පවතින ආකාරයට සමාන වෙන්න මුද්‍ර‍ණය කරපු චෙක්පත් භාවිතය ආරම්බ වෙලා තියෙන්නේ 1717 දී එංගලන්තයේ ලන්ඩන් නුවරදී. 
ලොව පලමු චෙක්පත

මේ චෙක්පත් වල නිශ්කාෂණ(Clearing) කටයුතු කෙරෙන්නේ කොහොමද කියල දන්නවද? මේ ක්‍රියාවලිය අපිට පුලුවන් කොටස් තුනකට බෙදන්න
  1. එකම බැංකුවක එකම ශාඛාවක් අතර ගණුදෙණු වෙන චෙක්පත්
  2. එකම බැංකුවක විවිධ ශාඛාවන් අතර සිදුවන චෙක්පත් ගණුදෙණු
  3. බැංකු ආයතන දෙකක් අතර සිදුවන චෙක්පත් ගණුදෙණු
අංක එක යටතේ සිදුවෙන ගණුදෙණුවක් නම් උදාහරණ ලෙස ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ ගිණුම් හිමියෙකුට ඒ ශාඛාවේම චෙක්පතක් ලැබුනොත් ආදාල කාරණා සම්පූර්ණ වෙනවානම්(ගිණුමේ මුදල් පැවතීම,ආදර්ශ අත්සන් නිවරදි වීම ආදී) ඒ මොහොතේදීම චෙක්පත මුදල් කරගැනීමට හෝ ගිණුමට තැන්පත් කර ගන්නට පුලුවන්.

අංක දෙක යටතට එන ගණුදෙණුවක් නම් උදාහරණ ලෙස ලංකා බැංකුවේ හාලිඇල ශාඛාවේ චෙක්පතක් ලංකා බැංකුවේම මරදාන ශාඛාවේ ගිණුමකට දැම්මොත් ඒක එදා දවසේ වැඩ ඉවරවෙන්න කලින්(තැන්පත් කල මොහොතේ සිට 4.30 අතර) නිශ්කාශණ කටයුතු සිද්ධවෙනවා.

අංක තුන යටතට එන ගණුදෙණුවක් නම් උදාහරණ විදිහට ලංකා බැංකුවේ ගිණුම් හිමියෙකුට සම්පත් බැංකුවේ චෙක්පතක් ලැබුනොත් ඒක නිශ්කාශණය වෙන්නේ ඊලගට වැඩකරන දවසේ දවල් 2.30 පස්සේ (සිකුරාදා දවසක තැන්පත්  කලානම් සදුදා දවල් 2.30 පස්සේ තමා)

ඉස්සර නම් මේ ලංකාවේ සතරදිගන්තෙම චෙක්පත් දිනපතාම කුරියර් සර්විස් මගින් කොළඹට ගෙන්න ගත්තා. විශේෂයෙන් යුද්ධය පැවති මුල්සමයේ යාපනය වගේ දුරපලාත් වල චෙක්පත් නිශ්කාශණය වෙන්න ගොඩක් කල්ගතවුනා මොකද ඒ චෙක්පත් සියල්ලම සජීවීව කොළඹටම ලැබිය යුතුනිසා. අද වෙනකොට මේ නිශ්කාශණ කටයුතු වලට වෙනම ආයතනයක් පිහිටුවා තිබෙනවා සීමාසහිත ලංකා ක්ලියර් (Lanka Clear) සමාගම ලෙසින්. එය ලංකා බැංකු මූලස්ථානයේ 23 වන මහලේ පිහිටා තිබෙනවා.
නිශ්කාශණ ක්‍රියාවලිය
අද වෙනකොට ලංකාවේ සෑම බැංකුවක්ම ලංකා ක්ලියර් වෙත තම චෙක්පත් යොමුකරන්නේ ස්කෑන් කරනලද ප්‍රතිම්භයන් ලෙසයි. ලංකා ක්ලියර් වසරකට ආසන්න වශයෙන් මිලියන පනහක චෙක්පත් නිශ්කාෂණ කටයුතු සිදු කරනවා. දෛනික පියවීම් කටයුතු අවසානයේ අඟරු චෙක්පත් නිවේදනත්(Cheque Return Notice - CRN)  ඔහුන් විසින්ම නිකුත් කරනු ලබනවා.
අපි බලමු චෙක්පතක මූලික කොටස්
  1. චෙක්පතේ දිනය (වි‍ශේෂයෙන් සදහනක් නොවේනම් දාතමේ සිට මාස හයකට වලංගුය) 
  2. බැංකුවේ නම සහ ශාඛාවේ නම
  3. හෝ රැගෙන එන්නාට යන විධානය
  4. ආදායකයාගේ නම
  5. චෙක්පතේ වටිනාකම ඉලක්කමෙන්  
  6. චෙක්පතේ වටිනාකම අකුරෙන්
  7. අණකරුගේ අත්සන
  8. චෙක්පත් අංකය
  9. චෙක්පත අයිති බැංකුවේ සංඛේත අංකය
  10. චෙක්පත අයිති බැංකු ශාඛාවේ සංඛේත අංකය
  11. චෙක්පත හිමියාගේ ජංගම ගිණුම් අංකය
  12. විද්යුත් කියවුම් දත්ත සහිත තීරුව
චෙක්පත් රේඛන වර්ග අඟරු වීමට බලපාන හේතු වගේම නිතර කරන වැරදිත් වගේම සංචාරක චෙක්පත් ගැනත් ඊලග කොටස් වලින් ලියන්නම්.
මේ සම්බන්දයෙන් කියවන ඔයාලට ගැටලු වගේම දැනගන්න දෙයක් එහෙම ති‍යෙනවනම් අහන්න.

පසු සටහන
  • මම දැකපු අඩුම අගයකට රිටන් උන චෙක්එකේ අගය ශත විස්සයි.
  • තමන්ගේ අත්සන තමන්ටම මතක නැතුව එන ගණුදෙණුකාර මහත්වරුත් නැතුවම නෙවෙයි..

ඒ වගත් මෙසේම අද චැක්පොත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ......